9.24.2012

සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද?

සිංහලෙන් මුලින්ම බ්ලොග් එකක් ලිව්වෙ කවුද? මම හිතන්නෙ බ්ලොග් ලෝකෙ ගොඩාක් දෙනෙක් දන්නෙ නෑ? ඒ ගැනත් කියන ගමන් මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය ගැනත් කියන්න තමයි මේ සූජානම. මුලින්ම කියලා ඉන්නම්කො මගේ බ්ලොග් ඉතිහාසෙ. මට හදිස්සි වැඩකුත් තියෙන එකේ කෙටියෙන්ම තමයි කියන්න වෙන්නෙ. අනික ඉතින් මගේ බ්ලොග් ඉතිහාසය දැනගත්තා කියලා වෙන කෙනෙකුට පලකුත් නෑනෙ. ඒක හින්දා ඔන්න කෙටියෙන්ම ගහලා දානවා.

මේ සිද්ධිය උනේ දවසක් මම විස්ස විජ්ජාලෙ ලැබ් එකේ ඉන්නකොට.  අපේ ලැබ් එකත් ඉතින් ඔන් කරලා ලෝඩ් වෙද්දි තේ එකක් බීලම වැඩට බහින්න පුලුවන් ජාතියෙ එකක් තමයි. මම ලැබ් එකේ ඉන්නකොට මගෙ යාලුවෙක් ඇවිත් මැශින් එකක් ගාවින් වාඩිවෙලා මට මොකක්දෝ එකක් පෙන්වන්ඩ කතා කළා. මාත් ඉතින් ගියා බලන්ට. බලද්දි ඌම ලියපු වෙබ් සයිට් එකක්. මම ඉතින් ඒක බලලා කාරිය ඒකෙ විස්තරත් දැනගෙන "උඹ වෙබ් සයිට් එකක් ගත්තද ඇහුවා"

9.21.2012

පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)

මෙතෙක් කතාව :-
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
                                                                     පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

------------------------------------------------------------------------------------------------------------

"අම්මෝ මෙච්චර ලොකු වටු රංචුවක් දැක්කමයි. මේතරම් වටුවො කොහෙන් එනවද?"

මේතරම් වටුවො කොහෙන් එනවද
"ඔය දෙවියන් වහන්සේ උඹලාට එවපු ආහාර. ඇති තරමට අල්ලා ගනිල්ලා" මෝසෙස්ගේ නියමයෙන් ජනතාවගේ රාත්‍රී ආහාරය වෙන්නෙ වටු මස්. මේ විදිහට ඉශ්‍රායෙල් ජනතාව මිසරයෙන් පිටවෙලා පොරොන්දු වූ දේශයට පැමිණෙනකම් අවුරුදු හතලිහක් පුරාම උදේට මන්නාත් හවසට වටු මසුත් කෑවාලු.

ජනතාව ටිකෙන් ටික සීන් කාන්තාරයෙන් නික්මිලා රෙපිඩීම් කියන ස්ථානයට එනවා. මෙතැනදීත් කලින් වගේම බොන්න වතුර නැතිවුන හින්දා ආයෙත් මැසිවිලි. "අපි බොන්නේ මොනවාද?"

"මෝසෙස්, උඹ අපිව එක්කන් ආවේ මරන්නද?"

"කටවහන් ඉඳපල්ලා. උඹලා ඔය අවලාද කියන්නෙ මට නෙමෙයි දෙවියන් වහන්සේට" මෝසෙස් ජනතාවට තරවටු කරනවා. ඒත් දිගින් දිගටම ජනතාවගෙන් එල්ලවන බලපෑම් නිසා මෝසෙස් දෙවියන් යදිනවා. "ස්වාමිනී, මේ මිනිස්සු මට ගල් ගහලා මරාවි. අපිට ජලය ලබාදෙන්න"

මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා
"මෝසෙස්, ඔබේ සැරයටියෙන් ඔය අසල ඇති පර්වතයට පහර දෙන්න."  මොසෙස් පර්වතයට පහරදීමත් සමග පර්වතයෙන් ජල කඳක් වෑස්සෙනවා. ඉශ්‍රායෙල්වරු ඇතිතරම් ජලය පානය කරනවා.



රෙපිඩීම්වල කඳවුරු බැඳගෙන වැඩිකල් යහතින් ඉන්න වෙන්නේ නෑ. ඉශ්‍රායෙල්වරුන්ගේ වස්තු සම්පත් දකින අමලෙක්වරු ඔවුන් හා යුද්ධයට පැමිණෙනවා. ඉශ්‍රායෙල්වරුන් බේරාගැනීමේ වගකීම පැවරෙන්නෙ ජෝෂුවාට. ජෝෂුවා කියන්නෙ ඉශ්‍රායෙල්වරු අතර හිටපු බොහෝම හැඩිදැඩි තරුණයෙක්. ජෝෂුවා ඉශ්‍රායෙල්වරු අතර හිටපු සටන් කරන්ඩ පුලුවන් පිරිමි ටිකත් අරන් යුද්ධයට යනවා. ඉශ්‍රායෙල් සේනාවට සහය වෙන්න හිතපු මෝසෙස් ආරෝනුත් තවත් කෙනෙකුත් එක්ක ළඟ තිබ්බ කන්දකට නගිනවා. කන්දෙ ඉඳන් මෝසෙස් දක්වන සහය තමයි තමුන්ගෙ හැරමිටියත් එක්ක අත්දෙක උස්සගෙන ඉන්න එක. මෝසෙස්ව දකින ඉශ්‍රායෙල්වරු නිර්භීතව සටන් කරනවා. ඒත් ඉතින් ඔහොම අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ. ඒත් මෝසෙස් අත පාත්කරද්දිම වෙන්නෙ අමලෙක්වරුන් ශක්තිමත්ව සටන් කරන එක. මෝසෙස්ගෙ අත් ඔසවාගෙන සිටීම ඉශ්‍රායෙලුන්ගේ ජයග්‍රහණයට හේතුවෙන බව දකින ආරොනුත් අනිකාත් මෝසෙස්ගේ අත දෙක අල්ලා ඔසවාගෙන ඉන්නවා. ඉශ්‍රායෙලුන්ට යුද්ධයේ ජය ලැබෙනවා.
අතදෙක උස්සන් දිගටම ඉන්න පුළුවනෑ

යුද්ධ ජයෙන් උද්දාම වෙලා ඉන්නකොට තමයි මෝසෙස්ව හමුවෙන්න අමුත්තො කට්ටියක් එන්නෙ.  අමුත්තො කිව්වට මෝසෙස්ට නම් මේගොල්ලෝ අමුත්තෝ නොවෙයි. මොසෙස්ගේ මාමණ්ඩි මෝසෙස්ගේ බිරිඳත් දරුවනුත් අරගෙන ඇවිල්ලා. මාමණ්ඩිට මෝසෙස් කළ කීදෑත් ඉශ්‍රායෙලුන් වහල්කමින් මිදුණු හැටිත් ආරංචිවෙලා. පොරොන්දු වූ දේශයට යන මෝසෙස්ට බිරිඳත් දරුවනුත් භාරදෙන්න තමයි ඔහු ඇවිත් තිබුනෙ. ඒත් මෝසෙස්ගේ කාර්‍යබහුලකම නිසා නිවී හැනහිල්ලේ කතා කරන්නවත් ලැබෙන්නේ නෑ. හවස්ජාමේ මෝසෙස් දවසේ වැඩ ඉවර කරලා තමුන්ගෙ කූඩාරමට එනවා. "සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක එවලෙම එන්න වුනේ නෑ."

"මොනාද පුතා ඔච්චර වැඩ. උදේ ඉඳන් හවස් වෙනකන් අර කූඩාරමකට වෙලා, ඒ මදිවට මිනිස්සු සිය ගාණක් පෝලිම් ගැහිලා. මොකද ඔය කරන්නෙ?"

සමාවෙන්න මාමා. මට තිබුනු වැඩත් එක්ක
"මිනිස්සු ඔක්කොම ප්‍රශ්න අරන් එන්නෙ මට මාමා. මෙච්චර මිනිස්සු කට්ටියකගෙ ප්‍රශ්න විසඳන එක ලේසි වැඩක්ද?"

"ඉතින් පුතා මෙහෙම කරන්ඩකො. හොඳ මිනිස්සු ටිකක් හොයාගෙන විනිශ්චයකාරයෝ කරන්න. දශාධිපතීන්, පණසාධිපතීන්, ශතාධිපතීන්, සහශ්‍රාධිපතීන් පත් කරන්න. එතකොට පුතාට විසඳන්න වෙන්නෙ ඒ අයට විසඳන්න බැරි ප්‍රශ්න විතරයි. " මේ විදිහට සෙනඟ අතර නඩුකාරවරු පත්වීමෙන් මෝසෙස්ගේ වැඩ අඩුවෙනවා. ඉන්පස්සෙ මෝසෙස් ඇතුළු පිරිස එතැනින් පිටවෙන්නෙ මෝසෙස්ගේ බිරිඳත් දරු දෙදෙනාත් තම කණඩායමට ඇතුළු කරගෙන. ජෙත්‍රෝ හැරී යනවා. 

ටිකදිනකින්ම පිරිස සීනායි කාන්තාරයේ. මතකද කලින් මම කිව්වා මෝසෙස්ට දෙවියන් වහන්සේ දර්ශනය වුන හැටි. අර ගිනිගන්න පඳුරෙ කතාව. ඉතින් ඒ විදිහට දෙවියන් වහන්සේ දර්ශනය වෙච්ච හෝරෙබ් කන්ද තියෙන්නෙත් මේ සීනායි කාන්තාරයේම තමයි. හෝරේබ් කන්දට සීනායි කන්ද කියලත් කියනවා. එදා දෙවියන් වහන්සේ කිව්වනෙ ඉශ්‍රායෙල්වරුන් වහල් කමින් ගලවාගෙන පොරොන්ඳු වූ දේශයට යන ගමනේදී මේ කන්දට ඇවිත් දෙවියන් වහන්සේට උපහාර දක්වන්න කියලා. ඒක නිසා තමයි පිරිස කන්ද පාමුල කූඩාරම් ගහන්නෙ.

කූඩාරම් ගැහීමෙන් පස්සෙ මෝසෙස් කන්දට නගිනවා.  දෙවියන් වහන්සේ ඔහුට කතා කරනවා. "මෝසෙස්, ජනතාවගෙන් අහන්න මට කීකරුව ඉන්නවාද කියලා. ඔවුන් ඒකට කැමති නම් ඔවුන් මට කැපවූ ජාතියක් කරන්නම්" මෝසෙස් කන්දෙන් බැසවිත් මේ බව ජනතාවට දැන්වුවාම ඔවුන් දෙවියන් වහන්සේගේ අණට කීකරුව ජීවත්වෙන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේත් ඔවුන් සමඟ ගිවිසුමකට එළඹීමට කැමතිවෙනවා. දෙවියන් වහන්සේගේ අණ පරිදි ජනතාව ගිවිසුම සඳහා දින තුනක් කැපවෙනවා. කන්ද වටා පිටස්තරයින්ට ඇතුළු විය නොහැකි විදිහට සීමා පනවනවා.

කන්දේ විදිලි කෙටීම් ගෙරවීම්
දවස් තුනකට පස්සෙ කන්දේ විදිලි කෙටීම් ගෙරවීම් අකුණු ගැහීම් ඇතිවෙනවා.  තද හොරණෑ හඬක් ඇසෙද්දීම කන්ද ගිනිගෙන දෙදරන්න ගන්නවා. දෙවියන් වහන්සේ කන්දට ආ බව දකින මෝසෙස් කන්දට නගිනවා. මෙතනදී තමයි දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමේ මූලික වගන්ති ප්‍රකාශ වෙන්නේ.

"මම හැර වෙන කිසිම දෙවිකෙනෙක් නුඹලාට නොසිටිය යුතුය"

දස පණත
"රූප වන්දනා නොකළ යුතුය"

"මාගේ ශ්‍රී නාමයට අගෞරව නොකළ යුතුය"

"සබත් දින ශුද්ධ ලෙස ගතකළයුතුය"

"දෙමව්පියන්ට ගෞරව කළ යුතුය"

"මිනී නොමැරිය යුතුය"

"කාමමිත්‍යාචාරය නොකළ යුතුය"

"සොරකම් නොකළ යුතුය"

"බොරු නොකිව යුතුය"

"අන්වස්තු ආශා නොකළ යුතුය"

මේ විදිහට ප්‍රකාශවෙච්ච වගන්ති දහය තමයි දෙවියන් වහන්සේත් ඉශ්‍රායෙල් ජනතාවත් අතර ගිවිසුමේ වගන්ති එහෙමත් නත්නම් 'දස පණත' වෙන්නේ. මෝසෙස් කඳවුරේ හිටපු කාලය ඇතුළත කිහිපවරක්ම කන්දට නගිනවා. කාලයක්ම නැවතිලාත් ඉන්නවා. මෙතනදී ගිවිසුමේ මූලික වගන්ති දස පණත ලෙස දැක්වුනාට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දසපණත පමණක් නොවේ. පූජා පිළිබඳ නීති, වහලුන් පිළිබඳ නීති, අපරාධ පිළිබඳ නීති, දේපළ පිළිබඳ නීති ඇතුළු මුළු ජුදා ව්‍යවස්ථාවම ඇතිවුනා කියන්නෙ මෙම ස්ථානයේදියි. දෙවියන් වහන්සේ වරින්වර මෝසෙස්ව කැඳවලා මේ නීති රීති කියවීම තමයි සිද්ධ කරන්නෙ.

එක පාරක් දෙවියන් වහන්සේ අඬ ගහන්නෙ ගිවිසුමේ වගන්ති තියෙන ගල්පුවරු දෙන්න. මෝසෙස් මේ ගමනෙ මඟක් වෙනකම් ජෝෂුවාවත් එක්කගෙන යනවා. මෝසෙස් එනතුරු සෙනඟගේ භාරකාරත්වය ආරොන්ට පැවරෙනවා. කන්දට ගිය මෝසෙස් දවස් හතළිහක්ම කන්දේ නැවතිලා ඉන්නවා.  දෙවියන් වහන්සේගේ නීතිය ලියූ ගල්පුවරු ඔහුට ප්‍රදානය කරනවා.

අද එයි හෙට එයි කිය කිය මෝසෙස්ගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් කන්ද පාමුල කූඩාරම්වල හිටපු ජනයා අතර මේ වෙනකොට කසුකුසුවක්. "මෝසෙස් ගියා ගියාමයි තාම නෑ"

"අපි ආරොන්ටවත් මේ ගැන කියමුද?"

සෙනඟ ආරොන් හම්බවෙන්න යනවා. "ආරොන්, මෝසෙස් ආගිය අතක් නෑ නේද? දැන් අපි අතරමං. අපිට මඟ පෙන්වන්න දෙවියෙක් හදලා දෙන්න"

මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ
"එහෙනම් උඹලා ගාව තියෙන රත්තරං ගෙනෙල්ලා" ආරොන්ගෙ ඉල්ලීමට අනුව සෙනඟ තමුන්ගෙ රත්තරන් බඩු අරගෙන එනවා. ආරොනුත් එව්වා උණු කරලා වස්සෙකුගේ රූපයක් හදනවා. ඊටපස්සෙ වහු රූපය වේදිකාවක තියනවා. වහු රූපය ඉදිරියට එන සෙනඟ "මේ අප මිසරයෙන් පිටතට ගෙනාපු අපේ දෙවියෝ" කියමින් වහු රූපයට වඳිනවා. පුද පූජා පවත්වනවා.

"හෙට මේ දෙවියන්ට මංගල්‍යයක් පවත්වමු" පහුවෙනිදා ජනතාව උදෙන්ම නැගිටලා වස්සාට පූජා පවත්වලා උත්සවයක් පවත්වනවා. මහා හයියෙන් කරන ස්තෝත්‍ර නැටුම් ගැයුම් වලින් වහු දෙවියා පිනවන්නත් අමතක කරන්නේ නෑ.

මේ වෙලාවෙ මේ කිසිවක් නොදන්න මෝසෙස් ඉන්නෙ අර ගල්පුවරුත් අතේ තියාන දෙවියන් වහන්සේ සමඟ සංවාදයේ.  "මෝසෙස්, මම උඹ හැර මුළු ඉශ්‍රායෙල් ජාතියම වනසනවා"

"ඒ ඇයි ස්වාමිනී"

"උන් දැනටම මගේ ගිවිසුම කඩකරලා. රත්තරන් වස්සෙක් හදාගෙන දෙවියෝ කිය කිය වඳිනවා. මම ඔක්කොවන්වම වනසනවා"

 "එහෙම කරන්නෙපා ස්වාමිනී, එතකොට ඔබ ආබ්‍රහම්ට, ඊසාක්ට, ජාකොබ්ට වෙච්ච පොරොන්දුව ඉටු කරන්නේ කොහොමද? පොරොන්දු වූ දේශය දෙන්නේ කාටද?" දෙවියන් වහන්සේ නිහඬයි.

කෝපයෙන් දැවෙන මෝසෙස් කන්දෙන් බැස එනවා. මඟදී තනියට ආපු ජෝෂුවාව හමුවෙනවා. මිනිස්සු පහළ උත්සව පවත්වන හඬ ජෝෂුවාට ඇහිලායි තිබුනේ. "මෝසෙස් තුමෙනි, කඳවුරේ යුද්ධයක් ද මන්දා? ලොකු හඬක් ඇහෙනවා"

"නෑ. ඒ මිනිස්සු සිංදු කියන සද්දෙ"

ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා
වස්සාත් මිනිස්සුත් ඔවුන්ගේ උත්සවයත් දකින මෝසෙස්ට හොඳටම කේන්ති යනවා.  ඔහු තරහින් ගල් පුවරු පොළොවේ ගසා කඩා දමනවා. වස්සාව අරගෙන ගින්නෙන් පුච්චලා කුඩු කරලා බොන්න තිබුනු වතුර වලට දානවා. ඉශ්‍රායෙල් සෙනඟට බොන්න වෙන්නේ ඒ වතුර.

"ආරොන්, මිනිස්සු මෙච්චර දෙයක් කරනකම් මොනවා කරාද මිනිහෝ?"

"අනේ තරහාගන්න එපා මෝසෙස්, දන්නවනෙ මේ මිනිස්සු කොහොමත් පාපිෂ්ඨ මිනිස්සු. ඉතින් උන් ඇවිත් කිව්වා 'දෙවියෙකු හදලා දෙන්න' කියලා. මාත් නිකමට වගේ කිව්වා 'එහෙනම් රත්තරං ගේන්න' කියලා. උනුත් ගෙනාවා. මම එව්වා ගිනි ගොඩට විසිකරා. විශ්වාස කරන්න මෝසෙස් එතකොටම ඒ වස්සා ගිනිගොඩෙන් මතුවුනානෙ "

මෝසෙස්ගේ කෝපයේ කෙළවරක් නෑ.  ඔහු මෙහෙම කෑගසනවා. "දෙවියන් වහන්සේගේ පැත්ත ගන්න උන් මෙහෙට වරෙල්ලා" මෝසෙගේත් ආරෝන්ගේත් ගෝත්‍රය වෙච්ච ලෙවී ගෝත්‍රයේ මිනිස්සු මෝසෙස් වටා එක් රැස් වෙනවා. "හොඳයි. නුඹලා ඇත්තටම දෙවියන්ට පක්ෂ්පාතී නම් වරදට පෙළඹීමේ වන්දියක් විදිහට ඔබලාගේ නෑයින්, සහෝදරයන්, මිතුරන් මරාපල්ලා" මේ විදිහට ඉශ්‍රායෙල්වරුන්ගෙ ජනගහනයෙන් කොටසක් මියයනවා.

මේ සංහාරයෙන් පස්සේ දෙවියන් වහන්සේ ඔවුන්ට වසංගතයක් එවනවා.  වසංගතය අවසානයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරනවා. "මෙච්චර කරපු මට ද්‍රොහීවුනු උඹලා දිහා මම ආයෙ බලන්නේ නෑ. යන තැනක පලයල්ලා. මම මඟපෙන්වන්නේ නෑ." දෙවියන් වහන්සේ ජනයාව අතහැරීම ගැන ජනයාට ඇතිවෙන්නෙ පසුතැවිල්ලක්. ඔවුන් කණකර ගලවාගෙන තමුන්ගෙ ශෝකය පල කරනවා.

බැබලෙන මූණකුත් එක්ක
ඒත් මොන වරද කළත් තාත්තෙක් දරුවන්ව අතහරින්නේ නෑ වගේ මෝසෙස්ගේ නොනවතින ඇවටිලි හමුවේ දෙවියන් වහන්සේගේ හිත වෙනස් වෙනවා.  නැවතත් කන්දට නගින මෝසෙස්ට අලුත් ගල් පුවරු ලැබෙනවා වගේම ගිවිසුමත් අලුත් කරනු ලබනවා. එහෙත් මේ කළ වරද නිසා පරම්පරා කීපයක් යනතුරු එයට වන්දි ගෙවීමට ඉශ්‍රායෙල්වරුන්ට සිදුවෙනවා. දෙවෙනිවර ගල් පුවරු රැගෙන මෝසෙස් එන්නෙ බැබලෙන මූණකුත් එක්ක. එය දකින ජනතාව ඔහු අසලට යන්න පවා භය වෙනවා. ඒ ගැන මෝසෙස් දැනගෙන ඉන්නෙ නෑ.

ඔය අතර කාලයේදී ආරොන් හා ආරොන්ගේ පුතුන්ව පූජකයන් විදිහට අභිශේක කරනවා ඒ වගේම සංගණනයකුත් පවත්වනවා. මේක ලෝකයේ පළවෙනි සංගණනය වෙන්න ඕනෙ. අවුරුදු කිහිපයක් සීනායි කන්ද අවට වාසය කළ ජනතාව එතනින් පිටත්වෙනවා. දසපණත ලියපු ගල්පුවරු දෙක කරඬුවක තැන්පත් කරලා ඔවුන් සමඟ ගෙන යනවා. ඊළඟට ඔවුන් එන්නේ 'පාරාන්' කාන්තාරයට.

ඊළඟට..

9.14.2012

ඔයා බොනවද?

එක්තරා දවසක ඉර බහින හවසක මා සිටියේ මුහුදු වෙරළකය. එදා මුහුද වෙනදාට වඩා හරිම ලස්සනයි වගේම අමුතු කතන්දරයක් කියාපාන්නාක් වැනි හැඟීමක් මට දැනුණි. ඈතින් ඇදී එන සුළඟත් සමඟ අත්වැල් බැඳගෙන නටමින් ප්‍රීතියෙන් වෙරළට ඇදෙන රැල්ල නවතින්නෙ ඔවුන්ගේ සම්බන්ධයට එරෙහිව නැඟී සිටින සතුරෙකු වන් ගල්පරයක හැපීමෙනි. ගල්පරය අභිබවා රැල්ල ගෙනයාමට අපොහොසත් සුළඟ ද රැල්ල හැරදමා මෙගොඩ වදිද්දී තනිවූ රැල්ල නැවතත් මුහුදටම ඇදුණි. නැවතත් වෙනත් සුළං පොදක් හා එක්වන රැල්ලට නැවතත් බාධා කරන්නට ගල්පරය සමත්වීමත් සමඟ ඒ සුළඟ ද හුදකලාව ගොඩබිමට වැදුණි. මම සුළඟ වූවානම් කුණාටුවක් වී ගල්පරය බිඳගෙන රැල්ලත් සමඟ මෙගොඩ වදිමි.  මම මේ නාටකය මට ආදේශ කරගන්නට උත්සාහ කළෙමි. සුළඟේත් රැල්ලේත් ගල්පරයේත් නාටකය නරඹමින් එයට දාර්ශනික අරුත් සොයමින් සිටි මාගේ දැහැන බිඳී ගියේ මාගේ කන ළඟින් ඇසුණු ලයාන්විත ස්වරයකින්. "මේ.. හරී.."

"හ්ම්ම්.." එය දිගු කතාවක ආරම්භයක් බව තේරුම්ගත්තත් රැල්ලෙන් නෙත ඉවතට ගැනීමට සිතක් මට නොවීය.

"මේ.. බලන්නකො" මිනිසාට ඇසෙන්නේ කන් දෙකෙන් බව මා සිතා සිටි ආකාරය නිවැරදි නොවන හැඩයි. රැල්ලෙන් ඉවතට ගත් මා නෙත් තවත් නෙත් යුගලක් අසල නැවතිණි. 

"මේ.. ඔයා බොනවද අනේ?" ප්‍රශ්නාර්ථයක් සහිත නෙත් යුවලක් මැවිණි. හදිසි ප්‍රශ්නයට හේතුව ඒ නෙත් යුවලේම රැඳී තිබුණි. අසල පිහිටි ධීවර බෝට්ටුවක පිට දී සිටි තරුණයෙක් තනිව මත්පැන් බෝතලයක් සෙමින් සෙමින් තොලගායි. ඒ අතර මා මෙන්ම රැල්ලේත් සුළඟේත් නාටකය බලා සිටියි. සමහරවිට ගල්පරයක් නිසා රැල්ල අතහැර පැමිණි සුළඟක් වන්නට පුළුවන. නැතහොත් රැල්ල වෙනත් සුළඟක පහස සොයා යන්නට ඇත. කුමක්වුවත් මට ඔහු ගැන දුක් වන්නට කාලයක් නැත. මා හමුවේ අභියෝගාත්මක පැනයකි. පැනයට පිළිතුරු සොයා මම අතීතයට පිය මැන්නෙමි. 

මීට වසරකට පමණ පෙරද මේ පැනයම එල්ල වූ අවස්ථාවේදී මගේ පිළිතුර වැරදී මා අසමත්වූ හැටි මට මතකය. එහෙත් මා එම පිළිතුර ලබාදුන්නේත් ඊටත් වසරකට පෙරාතුව උගත් පාඩමක් ඇසුරිණි. මීට වසර දෙකකට පෙර සමාන පැනයට මම මෙසේ පිළිතුරු බැන්දෙමි. "මම බොන්නෙ නෑ අනේ"

"බියර් එකක්වත්?"  මඳක් විශාලවූ නෙත් ඇති කෙනෙකුගේ මඳක් විවරවූ මුඛයෙන් දෙවෙනි පැනය යොමුවිය. මම නැතයි හඟවන්නට හිස දෙපසට සලමින් "ම්හ්හ්" ශබ්දය පිටකළෙමි. ප්‍රශ්නයට නිවැරදි පිළිතුර එය යැයි සිතා සිටියෙමි. එහෙත් මඳක් විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන් ඇරුණි. නැවත එය වැසුණේ සමච්චල් හිනාවක්ද සමඟිනි. "මොනවද හලෝ.. කොල්ලෙක් වුනාම පොඩ්ඩක් ජොලියෙ ඉන්න ඕනනෙ. අඩුම ගානෙ බියර් එකක්වත් බීලා" මගේ බඩ පපුව ලජ්ජාවෙන් පිච්චී ගියේය. පිළිතුර වැරදිය. මා පරාදය.

පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි කවුදෝ පඬිවරයෙක් කියා ඇත. පරාජයෙන් වසරකට පසු නැවතත් එම පැනයම යොමුවුනු විට මම සතුටින් ඉපිල ගියෙමි. 'පඬිරුවනට ජය වේවා අද මම ජය ගනිමි'යි සිතට වීරියගත් මා මගේ පිළිතුර එළියට හැලුවෙමි. "ඔව්.. මම බොනවා.. " මම හදපිරි සතුටින් කීවෙමි.

ඒ නෙත් සඟලත් පෙර පරිදිම මඳක් විශාලවෙද්දී මුඛයත් මඳක් විවර විය. "හොඳටෝම බොනවද?" මලානික ස්වරයකි.

පරාජයේ සේයාවක් ඉව වැටීමෙන් මගේ රැස් බැස්සේය. මම සෙමින් එහෙත් ස්ථිරව මෙසේ කීවෙමි.  "නෑ.. ටිකක් බොනවා. කොල්ලෙක් වුනාම ජොලියෙ ඉන්න ඕනනෙ"

එහෙත් එම පිළිතුරින් පෙරපරිදිම බාගෙට විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන්ම විවරවිය. නමුත් එය වැසුණේ සුපුරුදු සමච්චල් සිනහවෙන් නොව රුවිතෙට වක ගැසීමෙනි. කොටින්ම ඒ දෑසත් තෙත්වී මුහුණත් දහඩියෙන් නෑවී තිබුණි. ඉකි ගසන ස්වරයකින් මෙසේ පවසනු මට ඇසිණි. "මම කවමදාවත් හිතුවේ නෑ හරී ඔයා ඔහොම කෙනෙක් කියලා. අපේ තාත්තවත් ඔය ජාති කටේ තියෙන මනුස්සයෙක් නෙමේ " එකම පැනය දෙවන වරටත් මා පුච්චා දැම්මේය. දෙවෙනිවරටත් පිළිතුර වැරදිය. මා පරාදය.

එකම පැනයෙන් දෙවරක්ම පැරදුණු මා යළිත් එම පැනයටම මුහුණදී සිටිමි.  වැරදි පිළිතුරු දෙකක් මා දනිතත් නිවැරදි පිළිතුරක් මා අසලකවත් නොවීය. මම බිඳක් කල්පනා කළෙමි. 'ප්‍රශ්නයකින් බේරීමට ඇති හොඳම මාර්ගය තවත් ප්‍රශ්නයක් ඇසීම' යයි මොකක්දෝ විෂයක අවසාන දේශනයේදී එක් ආචාර්‍යයෙකු අපිට ඔවදන් දුන් හැටි හදිසියේම මට සිහිවිය. ඔහු එය දේශනවාරය මුළුල්ලේම මැනවින් අත්හදා බැලූයේ ප්‍රශ්න අසන්නාට එපාවෙන තරමටම ප්‍රශ්න ඇසීමෙනි. හදිසියේ පහළවූ නුවණ යොදාගැනීමට මම තීරණය කළෙමි.

"මොනවද?" ප්‍රශ්නය තේරුම් නොගියාක් යන හැඟීමෙකින් මම නැවත ප්‍රශ්නයක් ඇසීමි.

පෙර මෙන් බාගෙට පිරුණු මුඛය වෙනුවට සිනාවෙන් පිරුණු මුඛයක් දැකීමි.  "විහිළු නෙමෙයි අනේ.. ඔයා බොනවද කියලයි ඇහුවෙ" ඒ මුඛය එසේ කියද්දී ඒ නෙත් කොන් බෝතලය අතැති තරුණයා මට පෙන්වීමට උත්සාහ කරයි. ඒ නෙත් කොනින් පෙන්වන ඉසව්ව ඔස්සේ නෙත් මෑනූ මම කිසිවක් නොදැක්කා සේ නැවතත් කටහඬ අවදි කළෙමි. 

"මොනවද?" බලාපොරොත්තු නොවූ පිළිතුරෙන් ඒ මුහුණේ දිග පළල වෙනස් විය. මඳක් වේලා එක එල්ලේ මා දෙස බලා සිටි ඒ මුහුණ "හුහ්" හඬ නංවමින් වෙනතක හැරුනෙන් ප්‍රශ්නය නිමා විය. දෙවරක් පැරදුණු මා තෙවනවර ජයගතිමි. පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි. පරාජයන් අවසානයේ මම ජයගතිමි. ඒත් මේ උදම් වී ජයග්‍රහණයන් පරාජය කරගත යුතු මොහොත නොවේ. පිටතට නොපෙන්වා හිත පුරවාගත් සතුටින් මම නැවතත් රැල්ලේ නාටකය බැලීමට ගත්තෙමි. විශාල සුළඟක් සමඟ ආ රැල්ලක් ඒ මොහොතේම ගල්පරයට ඉහළින් පැන්නේය.

-නිර්මාණයකි-

9.10.2012

මිදීම..... පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)

මෙතෙක් කතාව :-

පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)

------------------------------------------------------------------------------------------------------------

උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න
 ඉස්සෙල්ලා කොටසෙ අන්තිමට සියල්ල එපාවෙලා හිටපු මෝසෙස්ට දෙවියන් වහන්සේ කතා කළ හැටි මතකයිනෙ. අර දෙවියන් වහන්සේ කිව්වෙ "අද රෑ තමයි රෑ" කියලා. ඊටපස්සෙ දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. "මෝසෙස් අද රෑ මම මුළු ඉශ්‍රායෙල් ජනතාවම වහල්කමින් ගලවාගන්නම්. මෙතෙක් කලක් වහල්කමින් හිරවී හිටපු ජනතාව අද නිදහස ලබාවි. මම ඔබලාව ගලවා ගත්තු රෑ ඒ කියන්නෙ අද රෑ ඔබලා කවදාවත් අමතක නොකළ යුතුයි. ඔබලාගේ දරු මුණුබුරන්ට මා ඔබ ගලවාගත් හැටි උගන්වා සඳහටම මා වෙනුවෙන් උත්සව පැවැත්විය යුතුයි. සෑම අවුරුද්දකදීම අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු මරා උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න ඕනෙ. ඊටපස්සෙ බැටළු මස් මදගින්නේ පුලුස්සා නුමුහුන් රොටිත් තිත්ත පලාත් සමග අනුභව කරන්න ඕනෙ. කිසිම දෙයක් උදේ වෙනකන් ඉතුරු කරන්න එපා. ඒවගේම ඔබලා මිසරයෙන් පිටවෙන්නේ හදිස්සියේ බැවින් එය සිහිවීමට මේ කෑම කන්න ඕනෙ හොඳ ඇඳුමකින් සැරසිලා, ඉඟපටිය බැඳගෙන, පාවහන් පැළඳගෙන සැරයටියත් අතට අරගෙනයි. ඒවගේම හදිස්සියෙන් ලහි ලහියෙ කන්න ඕන. මේ විදිහට මිසරයෙන් ගැලවී ඒම සඳහටම සිහිකළ යුතුයි. ඊළඟට සෑම අවුරුද්දකම මේ කාලයේ දින හතක්ම ඔබලා අනුභව කළ යුත්තේ මුහුන් නොදැමූ රොටියි. මොකද අද රෑ අනන පිටි පිපෙන්න කලින් ඔබලාට මිසරයෙන් පිටවෙන්න වෙනවා. "

Related Posts Plugin for WordPress, Blogger...