මීට අවුරුදු ගණනාවකට ඉස්සර අසල්වාසීන් අතර එකමුතුකමක් තිබුන, අසල්වාසීන් හා එකමුතුව නත්තල් අවුරුදු වගේ විශේෂ දවස් බෙදාහදාගෙන සමරපු, කාගෙහරි වැඩකදී අසල්වාසීන් සියලුදෙනාම පාහේ එකතුවෙච්චි, ළමයෙකුව අහළ පහළ ගෙදරක තියලා ගමනක් බිමනක් යන්න පුළුවන්වෙලා තිබ්බ කාලෙ කතාවක් තමයි මේ.
කවදත් හිත හොඳ මනුස්සයෙක් වෙච්ච නිහාල් මාමා ඒ කාලෙ කසාද බැඳලා හිටියෙත් නෑ. ඒ වගේම හතරවටේම ගෙවල්වල ළමයි ලොකු මහත්වෙලා තිබුනෙත් නෑ. නිහාල් මාමලාගේ පවුලෙ අය පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වටේ පිටේ කවුරුහරි දෙමාපියෙක් ගමනක් බිමනක් යනවා නම් ළමයින්ව නවත්වලා ගියෙ නිහාල් මාමලාගෙ ගෙදර. මමත් පොඩි කාලෙ අම්මලා තාත්තලා නැතිවෙලාවට එහෙ ගෙදර තමයි හිටියෙ.
මට මතකයි දවසක් මම නත්තලට එහෙ ගෙදර ගියා. ඒ ගෙදර නත්තල් ගහ නම් සරසලා තිබ්බා. ඒත් අපේ ගෙදර වගේ ගව මඩුවක් හදලා සුරුවම් තියලා තිබුනෙ නෑ. මම ගවලෙන හොයද්දි නිහාල් මාමා පෙන්නුවා එයාලගෙ ගවලෙනේ. කැඩිච්ච පුටුවක් උඩට පිදුරු දාලා ඒ උඩ ගවලෙනක පින්තූරයක් තියෙන නත්තල් කාර්ඩ් එකක් තියලා තිබුනා. ඒක දැකලා මට හිනා. මට තාම මතකයි මම ඒ දිහා බලපු අවඥාසහගත බැල්ම. මම ගෙදර ඇවිල්ලත් ඒ ගැන කිව්වම අම්මලා කිව්වෙත් ඒ තරම් දෙයක් කරන්නවත් උවමනාවක් නැතිකම හෝ ඔය වගේ ආසන්න හේතුවක් වෙන්න ඕනෙ.
කාලය ගෙවිලා ගියා. 2015 අවුරුද්දෙ නත්තල ලැබුවා. අපේම ගෙදරක හදන පළමුවෙනි ගවලෙන අපි හදමින් හිටියා. හැමදාම පිදුරු මිටි ගෙනැල්ලා කෝටු කෑලි හොයාගෙන ගව මඩුවක් හදලා ඒකෙ සුරුවම් ටික තැන්පත් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැද්ද? මම කල්පනා කළා.
ඒ මොහොතෙ තමයි මගේ මතකයට ආවෙ නිහාල් මාමගෙ ගවලෙන. මම මෙච්චර කාලයක් පහුවෙලා හදන්න හිතන වෙනස්ම තාලෙ ගවලෙන නිහාල් මා ඒකාලෙම හදලා තිබුණා නේද කියලා මට හිතුණා. ජේසු උපත නිරූපණය කිරීම තිබෙනවානම් ඕනෑම විදිහක ගවලෙනක් හොඳයි කියලා තේරුම්යන්න ගොඩක් කල් ගිහිල්ලා.එදා මම නිහාල් මාමගෙ ගවලෙනට හිනාවීම ගැන ඇතිවෙන්නෙ දුකක්. කුමන හෝ කාරණාවක් නිසා නිහාල් මාමා ඒ විදිහේ ගවලෙනක් හදන්න ඇති. මට ඒකට සමච්චල් නොකර ඉන්නයි තිබුනෙ.
මේ තියෙන්නෙ ඒ වගේම වෙනත් විදිහෙ ගවලෙන්.