5.25.2015

ගුරු ගීතය හා රඹුටන් ගස්

මිලදීගත් රඹුටන් වල්ලෙන් එකිනෙක ගිලිහෙද්දී ඇයත් මමත් මාවත අද්දර දොඩමළුවී සිටියෙමු. රඹුටන්වල මිහිරටත් වඩා කීමෙහි බිණීමෙහි මිහිර ගතසිත වෙලා ගොස් තිබිණි.

ඈ තවත් එක් රතුවන් රඹුටමක් ගෙන ලෙලි හැර කටේ රුවා ගත්තාය. මම එය ඇඟේ දකුණු කම්මුලටත් වම් කම්මුලටත් මාරුවනු බලා සිටියෙමි. තවත් මොහොතකින් මදයෙන් මිදුණු ඇටය බිමට පතිත විය.

"දැන් මෙතන ඇට දාලා ගිහින් ආයෙ එන්නකොට රඹුටන් ගස් තියෙයි මෙතන"

"අර පොප්ලර් ගස් වගේද?" ඇය සිනහාසෙමින් පැවසුවාය.

"පොප්ලර් ගස්?"

"ඇයි අර ගුරුගීතයෙ පොප්ලර් ගස්? කියවලා නැද්ද ඒක?" ඈ විමතියෙන් මා විමසුවාය.

"ම්හ්හ්හ්"

එතනදි ගුරුගීතය ඇසීමි. අද කියවීමි.

පරණ මතක අලුත් වන්නට යළිත් දුයිෂෙන්ට අල්තීනායි හමුවේවා. පාර අද්දර රඹුටන් ගස් පැළවේවා.

    “අල්තීනායි, දැන් උඹයි මමයි එක වැඩක් කරමු.“ යි ඔහු මඳ සිනා පෑවේ ය, “අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස් වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා, හොඳ කෙනෙකු වේවි. නුඹේ උපන් වෙලාවේ හැටියට නුඹට එහෙම හොඳ කලදසාවක් යන බව මට හොඳටම විශ්වාසයි. නුඹ තවම ලපටියි. හරියට මේ පොප්ලර් පැලෑටි වගේ. අල්තීනායි අපි දැන් මේ පැලෑටි හිටවමු හොඳේ! නුඹට ඉතා හොඳින් ඉගෙන ගන්ට වාසනාව ලැබේවායි කියා පතාගෙන පැලෑටි හිටවමු....“
Related Posts Plugin for WordPress, Blogger...