"කියන්න කණගාටුයි මහත්මයා. ඔබට තියෙන්නේ මොළයේ පිළිකාවක්. ඔබට තව අවුරුද්දක් විතර ජීවත්වෙන්න පුළුවන් වේවි" වෛද්‍යවරයාගේ කියමන ඇන්තනි බර්ජෙස්ගේ (Anthony Burgess) ජීවිතයම කඩා බිඳදැමීමට සමත් වුණා.
"තව එක අවුරුද්දයි"
"ඔව්. තව එක අවුරුද්දයි"
තමා ඉපයූ සියල්ලම තමන්ගේ රෝගය වෙනුවෙන් වැයකොට අවසන්. තව අවුරුද්දකින් තනිවෙන බිරිඳ කෙරෙහි ඔහුට ඇතිවුනේ ඊටත් වඩා කණගාටුවක්. ඇය වෙනුවෙන් ඉතිරි කර යන්නට කිසිවක් ඔහු සතුව තිබුනේ නෑ.
ඒත් ඔහු හිතට දහිරිය ගත්තා. තමුන්ගේම අන්තිම අවුරුද්ද ඇතුළතදීවත් යමක් කර යම් මුදලක් ඉතිරිකරයාමට ඔහු හිතාගත්තා. ඒ වනවිටත් යම් යම් ලේඛන වැඩකටයුතු කරතිබුනත් ඔහු ලේඛකයෙකු ලෙස නමක් දිනා සිටියේ නෑ. ඔහු යතුරු ලියනයට කොළයක් දමා ලිවීමට පටන් ගත්තා. ඔහුට යමක් ලියාගන්න පුළුවන් වෙයිද ලියපුදේ ප්‍රකාශයට පත්කර ගෙන මුදල් සෙවිය හැකිවෙයිද කියලා විශ්වාසයක් නොතිබුනත් වෙන කළ හැකි කිසිවක් ඔහු දැනසිටියේ නෑ. ඔහු ලිව්වා. දිගටම ලිව්වා.
"ඒ 1960 ජනවාරි මාසයේ. මට ජීවත් වීමට තිබුනේ තවත් එක් ශීත සෘතුවකුත් වසන්ත සෘතුවකුත් ගිම්හාන කාලයකුත් පමණයි. හේමන්තයේදී කොළත්
එක්කම මගේ ජීවිතය හැලිලා යන්නයි තිබ්බේ."
බර්ජෙස් පුළුවන් තරම් වීර්යෙන් පුළුවන් තරම් ඉක්මණින් ලිව්වා. එකක් නෙමෙයි. නවකතා පහ මාරක්ම. සමහර රචකයෝ ජීවිත කාලයටම ලිව්වාටත් වැඩිය.
ඒත් හේමන්තයේදී කොළත් සමඟ බර්ජෙස් හැලී ගියේ නෑ. ඔහුගේ පිළිකාව පහව ගොස් තිබුනා. ඔහුට සාමාන්‍ය ආයුකාලයක්ම ජීවත්වීමේ හැකියාව ලැබුණා. ඒ කාලයේදී ඔහු පොත් 70කටත් වඩා ලිව්වා. එදා පිළිකාව පිළිබඳ අනතුර නොවෙන්නට සමහරවිට ඔහු මේ එකක්වත් ලියන එකක් නෑ. එහෙම කෙනෙක් හිටියාදැයි මිනිසුන් නොදැන සිටීවි.
අපිත් ගොඩක් වෙලාවට ඇන්තනි බර්ජෙස් වගේ. අපේ ඇතුලේ දක්ෂතා, හැකියා තියාගෙන මොකක් හරි පිටතින් තල්ලුවක් එනකම් බලාගෙන ඉන්නවා. හැමදේකටම කල් ගන්නවා. තමුන්ගෙන්ම අහලා බලන්න තමුන්ට ඒ වගේ දෙයක් අහන්න ලැබුනොත් මොනවද කරන්නෙ කියලා.
ඔයාට ජීවත් වෙන්න තියෙන්නෙ තව එකම එක අවුරුද්දක් නම් ඔයා මොකද කරන්නෙ?
තම තමුන්ගේ හැංගිච්ච, හංගපු හැකියා එළියට අරන් දුර ගමනක් යෑමට ලැබෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!
ප.ලි.: මේ ලිපියත් සමඟ මගේ හය අවුරුදු බ්ලොග් ගමනට තාවකාලික විරාමයක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. පහු පහු වෙද්දි එක දිගට නොලිව්වත් මම දිනපතාම බ්ලොග් කියෙව්වා. මෙතනින් එහාට ඒකත් නවතීවි. ආයෙ යම් ස්ථාවරත්වයකට ආපුවාම හමුවෙමු! එතකන් හැමෝටම ආයුබෝවන්! ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.