"බාස් ගුණේ මැරිලලු"
"මොකක්ද වෙලා තියෙන්නෙ?"
"එල්ලිලාලු මැරිලා තියෙන්නෙ"
"ඒ මොකද ඌ හොඳට වැඩපල කරගෙන හිටියනෙ."
"ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහින් කියන්නෙ"
"හපෝයි දෙයියනේ අතක් බැරුව ඉඳගෙනත් හොයාගෙන කකා අම්මට සළකගෙන හිටපු එකා. මේ කොහෙවත් යන ගෑනියෙක් හින්දා කරගත්තු විනාසයක්"
"මං හිතුවා.... මං හිතුවා ගෑණිගෙ රොම්පිය වැඩිවේගන එද්දි ඔයවගේ දෙයක් තමයි කියලා."
"ඔව්. ඒකි ගමට එනකොට හරියට අඳින්න ඇඳුමක් නෑ. හඩු පෙරෙනවා. අන්තිමට අරූ මැරිලා මැරිලා හොයාගෙන එන එකෙන් එක එක විච්චූර්ණ කරන්න ගත්තා. මොඩ් උනා."
"පව් ඒකා. අර කොහෙවත් යන වනචර ගෑනියෙක් කරේ එල්ලගෙන නිකන් විනාස උනා. අම්මටත් සළකගෙන කොහොම හිඅපු එකෙක්ද? හ්ම්ම්ම්"
"හවසට ඒ පැත්තෙ ගිහින් එමු නේද?"
==================================================================
"බාස් ගුණේලගෙ ගෙවල් පැත්තෙ යන්නෙ නැද්ද?"
"ඒ මොකටද?"
"ඇයි දන්නෙ නැද්ද ආරංචිය. පාලම ගාව ගුණේ නැතිවෙලා."
"ඒ ගුණේ නෙමෙයි නැතිවෙලා තියෙන්නෙ. අර බාස්ලාට අත් උදව් දිදී හිටපු ගුණේ"
"ආහ්. ඇත්තද? මේ අපේ අත බැරි ගුණේ නෙමෙද?"
"මං ඒත් හිතුවා. ගුණේගෙ ගෑණි එහෙම නරක ගෑණියෙක් නෙමෙනෙ. දුප්පත් කමට හැදිච්චි එකී. දීග එනකොටත් බොහොම දුප්පත්. ඒත් ඔය යස අපූරුවට ගේදොරත් බලාගෙන කාලා ඇඳලා ඉන්නෙ."
"ඔව් එයා හරිම හොඳයි. දැකපු තැන හිනාවෙනවා කතාකරනවා."
"කට්ටිය ගුණේගෙ ගෑණි දාලා ගිහින් කියනකොටම මම හිතුවා එකත් එකටම කාගෙහරි බොරුවක් කියලා"
"දැන් එතකොට මැරිලා තියෙන්නෙ අත් උදව් දීපු ගුණයා?"
"ඔව් ඔව්"
"ආයෙ අහන්ඩ දෙයක් තියෙනවයෑ. ඌ ගෑණිව ගෙනාවෙ මුඩුක්කුවකින්ද කොහෙදනෙ. මුඩුක්කුවල ගෑණු ඔහොමමයි. රොම්පිය දාගෙන ඉන්නෙ කාත් එක්කද එල්ලෙන්නෙ බලාගෙන."
"පව්. කුලියක් මලියක් කරගෙන හිටපු කොල්ලා"