අද නොවැම්බර් 20 වෙනි ඉරිදා උදේ පාන්දරම පල්ලි ගිහිල්ලා එන ගමන් ගත්තා මව්බිමක්. ගෙදර ඇවිල්ලා උදේට කන ගමන් ඒකේ මාතෘකා ටික කියවගෙන යන්න පටන්ගත්තා. මෙන්න තරුපති කියලා අතිරේකයක මේ දවස්වල බුකි තරුවකගෙ ලිපියක් තියෙනවා ෆෙංශුයි ගැන. ෆෙංශුයි වලට කුරුල්ලො යොදාගන්න හැටි. ඔන්න මම ඒක කියවන්න පටන් ගත්තා.
ටිකක් කියවගෙන යද්දි ටිකක් වැදගත් තැනක් හම්බුනා. වාහනේ රිය අනතුරු වලින් ආරක්ෂාවෙන්න කුරුළු පිහාටු එල්ලන්නලු. මට මතක උනේ මරුටියේ එයාර් බෑග් නෑ, සේෆ්ටි නෑ කියලා කියන අපේ අයියලාව. දැන් උන්දැලා ඔක්කොටම පේන්නත් එක්ක එල්ලනවා වටේටම කුරුළු පිහාටු.
පිහාටු ටික එල්ලලා ගෙට ආවට පස්සෙයි මතක් උනේ පත්තරේ නොතිබ්බ ෆෙංශුයි ක්රමයක් මමත් දන්නවා නේද කියලා. මේ ක්රමය වැදගත් වෙන්නේ ඕගොල්ලොන්ට මොනවාහරි දෙයක් අව්වේ දාලා වේලාගන්න ඕනෑ නම් තමයි. අපි හිතමුකො ගේ ඇතුළෙ පුස්කාලා තියෙන කරෝල ටිකක්, නැත්නම් අග්ගලා හදන්න බත් ටිකක් වගේ වේලාගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නෙ කලින් අහුලගෙන තියාගත්තු කාක්පිහාටුවක් එතන එල්ලන්න. ආපහු සැරින් සැරේ කාක්කො එලව එලවා ඉන්න ඕනෙ නෑ.
මීටපස්සෙ කාක් පිහාටුවක් වැටිලා තිබුනාම අහක බලන් යන්න එපා. විශ්වාස කරන්න ඔබේ ජීවිතයේ දේවල් ආරක්ෂා කරන්න දෙයියෝ එවපු තෑග්ගක් කියලා.