7.31.2013

නානමුරේ

මීට වසර දහසකට පමණ පෙර, ඉන්දියාවේ කේරළය


මුළු කේරළයටම අගරජුවූ සේරමන් රජතුමා නිදිසුව ලබමින් සිය සිරියහන් ගබඩාවේ සැතපී සිටියේය. රජු නිදනා පැය කිහිපයේදී එතුමන්ගේ ආරක්ෂාව භාරවූ රාජපුරුෂයෝ ද නිහඬව නිස්කලංකව ගබඩාවේ දොරටු රැකවලේ නිරතව උන්හ. මනාව පුහුණුවලත් කාර්‍යයශූරවූ සෙබල මුලෙන් මිදී රජුගේ නින්දට බාධා කිරීමට යාමට මැස්සෙකුටවත් ඉඩ ප්‍රස්ථාවක් තිබුනේ නැත. රජු සුව නින්දේය.

එහෙත්, ගතවූයේ නිමේෂයකි.  රජුගේ මඟුල් උයනේ මඟුල් පොකුණ අසලින් විශාල ශබ්දයක් පැන නැග්ගේය. පොකුණ අසලින් නොනැවතුණ එය උයන හරහා රජ මාළිගයටද එතනින් සිරියහන් ගබඩාවටද වැදුනේය. තවදුරටත් නතර නොවී රජුගේ කනෙන් ඇතුළු වී කන් බෙරයේ වැදුනේය. ඒත් සමගම රජුගේ ඇස් ඇරුණි. තම ජීවිතයට තර්ජනයකැයි බියෙන් තැතිගත් රජු වහා ඇඳෙන් (නෑ.. නෑ.. සිරි යහනින්) පැන්නේය. එහෙත් එය ජීවිත තර්ජනයක් නොව නිකන්ම නිකන් ශබ්දයක් බව දැනගත් හෙතෙම ලජ්ජාවට පත්විය. නිදිසුවයට බාධාවීම ගැන කෝපයෙන් දැවුනේය. "වහාම.. මේ වහාම ඒ ශබ්දය ඇතිකළ එකා රැගෙන එනු" රජුගේ විශාලවූ දෑස් සිය සෙබල මුල වෙත යොමුවුණි.

6.02.2013

බැඳලා බැඳලා මං දැන් බැඳලා...

කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ. නිතර දෙවේලෙ කතාබහකරපු අය නම් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවෙච්ච හේතුව දන්නවා ඇතිනෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි.

ජීවිතය කියන්නෙත් මහා පුදුමාකාර දෙයක් නේද?  වෙලාවකට ඔහේ නිවී හැනහිල්ලෙ ගලාගෙන යනවා. තවත් වෙලාවකට නැඟගන්ඩ බැරි තරමට ගල්පර හමුවෙනවා. තවත් වෙලාවකදී දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ දොරටත් තට්ටු කරලමයි. ඒ වෙලාවට අවුරුදු ගානකින් කරන්ඩ බැරිවෙච්ච වැඩක් පැය කීපයකින් වෙන්න පුළුවන්. ජීවිතය පුදුමාකාරයි. ඒකනෙ ඒකට ජීවිතය කියන්නෙ. ජීවිතේ සුන්දරද මෙතරම්.. කියලා කවුදෝ ගායකයෙකුත් කිව්වා වගේ හීනි මතකයකුත් තියෙනවා. නප්පියට ගහලා ඉන්න වෙලාවක වෙන්ට ඇති.

ජීවිතේට ලොකූ බලපෑමක් කරන්න පුංචීම පුංචි දේකටත් පුළුවන්. හරියටම කිව්වොත් ලෝකයක් විනාශ කරන සුනාමියක් ඇතිකරන්න පුංචීම පුංචි සමනළ තටුවකට පුළුවන් වගේ. ඒ වගේම එක දුරකථනයකින් මිදිලා දුරකථන කුළුණක් ඔස්සේ හුවමාරු මධ්‍යස්ථානයකට ඇවිත් එතනින් තවත් දුරකථන කුළුණක් ඔස්සේ වෙනත් දුරකථනයකට ඇතුළු වෙලා තත්පරයකින් දෙකකින් හෝ ඊටත් අඩු කාලයකින් වියැකී යන නන්නාඳුන ගන්ධබ්බ ඇමතුමකට අවුරුදු ගානක් නිවී හැනහිල්ලෙ ගලාගෙන ආපු ජීවිතයක් වෙනස් කරන්ඩ පුළුවන්ද? විශ්වාස කළත් නොකළත් ඒක වෙලා ඉවරයි. ඔව් ඉවරෙටම ඉවරයි. ඒ ජීවිතය දැන් වෙනස් වෙලා.

4.28.2013

පන්සලේ බණ කියූ කතෝලික පියතුමා

අද පළවෙනිපාරට පොතක් ගැන කියන්න හිතුනා. අද කියන්න හිතුනා කියලා කිව්වට මේ පෝස්ටුව සැලසුම් කරලා ටිකක් කල්. ඔන්න අද තමයි හිතුනේ ඉවරයක් කරලා දාන්න. සාමාන්‍යයෙන් බ්ලොග් එකක පොතක් ගැන කියලා ඒක හොයාගෙන කියවන්ඩ කියලනෙ කියන්නෙ. ඔන්න අද එහෙම නැතුව ඔයගොල්ලන්ට මුළු පොතම කියවන්ඩ ලැබෙනවා.

මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්.  ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි.
Related Posts Plugin for WordPress, Blogger...