10.13.2010

මීළඟ මැතිවරණය පෙබරවාරි 29 වෙනිදා........

පෙරවදන :- හීනලන්තය යනු මනා ආර්ථික, සමාජයීය, සංස්කෘතික සංවර්ධනයකින් යුතු රටකි.කොටින්ම       කියතොත් එවැනි රටක  ජීවත්වීමට වරම් ලැබීම පූර්ව භවයකදී සිදු කළාවූ පුන්‍ය කර්මයක විපාකයක් ලෙස   සැලකිය හැකිය.මන්දයත්, එය මිහිපිට ස්වර්ගය වැනි ස්ථානයකි.

මාගේ වෑයම වනාහි ශ්‍රී ලංකාව නම් මාගේ මාතෘ භූමියද එවැනි තත්වයකට පත් කිරීමයි.එබැවින් හීනලන්තයේ මා ලද අත්දැකීම් ඔබහට ගෙනහැර දක්වමි.එමඟින් මා බලාපොරොත්තු වන්නේ හුදෙක් මෙය කියවන ඔබගේත් අනෙක් පාර්ශවයන්ගේත් අවධානය යොමුකොට,සමස්ත ශ්‍රී ලංකා ජාතියේම ආකල්ප නිවැරදි මාවතකට යොමු කිරීමයි. මට නිවැරදි දේ ඔබහට වැරදි යැයි හැඟීමට පිළිවෙන.එමෙන්ම මාගේ අදහස් තුළ නොයෙකුත් අඩුපාඩු තිබීමට ද හැක.එබැවින් මාගේ අදහස් ඔබගේ විචාරයට විවර කොට ලියමි. ඔබගේ යෝජනා, චෝදනා, ගල්මුල්, මල්, නින්දා, ප්‍රශංසා ඉත සිතින් භාර ගනිමි.



ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ කුමක්ද? යන පැනයට ඔබ ඉතා පහසුවෙන් පිළිතුරුදෙනු නොඅනුමානය.පිළිතුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව හෝ කෙටියෙන් අපේ පාර්ලිමේන්තුව හෝ විය හැක.මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගැන කතා කිරීමට නොපෙළඹෙමි.මන්දයත්, ඒ පිළිබඳ බොහෝ කරුණු දැනටමත් ඔබ දන්නා බව මා සිතන බැවිනි.ඒ වෙනුවට හීනලන්තයේ පාර්ලිමේන්තුව පිළිබඳ පවසමි.

සිව් අවුරුදු ධූර කාලයක් සහිත හීනලන්ත පාර්ලිමේන්තුව හීනලන්ත පාලන මධ්‍යස්ථානයයි.හීනලන්තයේ යහ පාලනය උදෙසා නීති-රීති සම්පාදනය කරන්නේ ද, අය-වැය සමබරව පවත්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද, හීනලන්ත පාර්ලිමේන්තුව මඟිනි. හීනලන්තයේ ජනපති ධූරය නාමමාත්‍රික ධූරයකි.රටේ පළමුවන පුරවැසියා ජනපති වන නමුදු පාලන බලතල ඔහු සතුව නොපවතී.(දැනට ඉන්දියාවේ හා 1977ට පෙර ලංකාවේ ජනපති ධූරය මෙනි.) එබැවින් රටේ පාලන බලතල පවතින්නේ අගමැති ප්‍රමුඛ රජය වෙතය.

පෙබරවාරි 29, හීනලන්තයට මැතිවරණ දිනයකි.සුපුරුදු පරිදි වසර හතරකට වරක් එළඹෙන එදින හීනලන්ත ජනතාව සිය මනාප පල කරමින් තමනට රිසි මන්ත්‍රීන් පාර්ලිමේන්තුගත කරති.සැළකිය යුතු කරුණක් නම් උක්ත දිනය පාර්ලිමේන්තු මැතිවරණ දිනයක් පමණක් නොව රටේ සමස්ත මැතිවරණ පවත්වන දිනය වීමයි. හීනලන්තයට අදාළ සියලුම මැතිවරණ, පළාත් සභා ප්‍රාදේශීය සභා ද ඇතුලුව, එදින පැවැත්වේ. මෙමඟින් හීනලන්තය වාසි කීපයක් ලබා ගෙන ඇත. වැයවන මුදල් අවම වේ. මැතිවරණ මෙහෙයුම් එක්තරා කාලසීමාවකට පමණක් සීමා වේ.එවිට රජය හා විපක්ෂය නිතර නිතර  මැතිවරණ කටයුතුවල යෙදීමෙන් රටේ සංවර්ධනයට වැය කලයුතු කාලය නාස්තිවීම වළකී. රාජ්‍ය සම්පත් නාස්තිය වැළකේ. මැතිවරණ රාජකාරි සඳහා අවම මුදලක් වැයවේ.එක් මැතිවරණයකින් ජයගන්නෝ ඊළඟ ඉහළ මැතිවරණයකින් ජයගැනීමෙන් පුරප්පාඩු පිරවීමට සිදුවන අවස්ථා මඟ හැරී යයි.

මැතිවරණ දිනය ව්‍යවස්ථාපිත බැවින් එය වෙනස් කළ හැක්කේ මැතිවරණ කොමසාරිස්වරයාට පමණි. ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීම මඟින් ස්වභාවික විපතක් වැනි විශේෂ අවස්ථාවකදී මැතිවරණ දිනය වෙනස් කළ හැක. නමුත් ඊළඟ මැතිවරණය කල් ගත් දිනයේ සිට මාස 3ක් ඇතුළත අනිවාර්‍යෙන්ම පැවත්විය යුතුය. මෙසේ ව්‍යවස්ථාපිත  දිනයක් තිබීමෙන් තමනට වාසි සහගත අවස්ථාවලදී මෙන්ම කඩින් කඩ මැතිවරණ පැවැත්වීමෙන් එක් පිලකට වැඩි වාසි ලබාගැනීමේ අවස්ථාව ද මඟ හැරී යයි.

අය-වැය පරාජයක් වැනි අවස්ථාවකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා යුතු බව ඔබ දැනුවත් ඇතැයි සිතමි. හීනලන්තයේ පාර්ලිමේන්තුව  ද එසේමය. එබඳු අවස්ථාවල පෙබරවාරි 29 වෙනිදාකම මැතිවරණ පවත්වන්නේ කෙසේදැයි ඔබට පැනයක් මතුවීමට පිළිවෙන. ඊළඟ පෙබරවාරි 29 වෙනතෙක් රට අරාජිකද? හදිසි තත්වයකදී ඊළඟ පෙබරවාරි 29 තෙක් භාරකාර රජයක් මඟින් රට පාලනය කිරීමට හෝ මැතිවරණයක් මඟින් ඊළඟ පෙබරවාරි 29 තෙක් පාලන බලය සහිත පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ හැකියාව හීනලන්ත ව්‍යවස්ථාව මඟින් ලබා දී තිබේ. නමුත් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ එබඳු අවස්ථා විරල බව හා ව්‍යවස්ථාව මඟින්ම ඒවා වළැක්වීමට පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවෙත් මෙබඳු ක්‍රමයක් ඇත්නම්...

හීනලන්ත තොරතුරු අදට ඇතැයි සිතමි. ඊළඟ ලිපියෙන් හමුවනතෙක් ආයුබෝවන්!



පසුවදන :- මාගේ ලිපි පිළිබඳ ඔබගේ අදහස් මම ඉතා අගය කරමි. අන් අයටත් කියවීමට සලස්වන්නේ නම් මැනවි.
                                                    
                                                              -හරී-

2 comments:

  1. ලංකාවත් හීනලන්තයක් වේවා කියලා පතමු. එතකොට අපේ ගොඩක් හීන හැබෑ වෙයි. ලංකාවේ නම් ඡන්ද ගොඩක් තියෙනවා. මාර සල්ලි නාස්තියක් !!!

    ReplyDelete
  2. @මධුරංග :මම බ්ලොගය පටන් ගත්තෙ මේ වගේ දේවල් ගැන කතා කරන්න තමයි...

    ඒත් ඉතින් අන්තිමේදී මට හිතුනා මේක නිකං පාලු ගෙයි වළං බිඳීමක් කියලා... ඒකයි මේ වගේ මට පාර තොටෙදී හිතෙන ඒවා.. මෙව්වා මෙහෙම වුනා නම් හොඳයි කියලා හිතෙන එව්වා ලියන එක නතර කලේ...

    අනික කට්ටිය කියවන්නෙත් නෑ වගේනෙ... මේ යන සිස්ටම් එක වෙනස් කරන්න බෑ වගේ... ඕකයි ගොඩක් එවුන් ඩිග්‍රි එහෙම ගොඩ දාගත්තට පස්සෙ රට පනින්න බලන්නෙ...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...