3.30.2014

කූඹී කූඹී යාළු... කෑම සොයනවාලු... පේළියකට යාළු... පාද තියනවාලු...

"අම්මා..මා.. මෙන්න කාඹී. මේ මේ මේ එන්නකූ ගොඩාක් ඉන්නවා"

මම පොඩි කාලෙ කූඹි පේළියක් දැක්කමහරි එහෙම නැත්නම් ගුලක් හදන කූඹි රංචුවක් දැක්කම හරි එන්න එහෙම සන්තෝසෙන් කෑගහනවාලු. මටත් යානතමට යාන්තමට වගේ මතකයි ඒ කාලෙ කූඹින්ගෙ ලෝකයට එබිලා බලන්න මම කොච්චර ආසා කරාද කියන එක. කූඹි පේළියට යන හැටි, පුංචියට පටන් අරන් ගුලක් හදාගෙන යන හැටි, තමුන්ටත් වඩා ලොකු කෑම කුට්ටි උස්සගෙන යන හැටි, තනියම ගෙනියන්න බැරි කෑමක් කට්ටියම එකතුවෙලා උස්සගෙන යන හැටි බලන්න මාරම ලස්සනයි. ඒ වගේම මාරම කුතුහලයක් දැනෙන්නෙ උන් කරන දේවල් දැක්කම. මෙච්චර පුංචි සත්තුද මෙච්චර ලොකු ජනපද හදන්නේ කියලා හිතනවා.

"ඇයි අම්මෙ කූඹි පේළියට යන්නෙ"

"එතකොට අර ලොකුවට ඉන්නෙ කූඹි පොලීසියද?"

"පෝලිම පැන්නොත් ඒගොල්ලො බනිනවද?"

"ඇයි අම්මෙ උන් යනකොට කතා කර කර යන්නෙ "

"උන් මොනාද කියන්නෙ?" මේ වගේ නොකඩවා ප්‍රශ්න අහපු හැටි අදත් ලාවට ලාවට මතකේ තියනවා වගේ.

කූඹි වගයක් ගුලක් හදන්න පටන් ගන්නවා දැක්ක ගමන් පුංචි මම කරන්නෙ එතනට වෙලා ඇන තියාගෙන උන් වැඩේ ඉවර කරනකන් හරි මට එපා වෙනකම් හරි බලාගෙන ඉන්න එක. දෙවෙනි එක තමයි වැඩිපුරම වෙන්නෙ ඉතින්. මොකකට හරි හිත ගියාට පස්සෙ ආයෙ කූඹි මතක් වෙද්දි උන් ගුල හදලත් ඉවරයි. අම්ම උනත් හරිම කැමතියි එහෙම බලන් ඉන්නවට. එතකොට කුනු කුනු නොගා ඒක දිහාම බලන් ඉන්නවනෙ. අම්මට අම්මගෙ වැඩ කරගත්තැකි. හැබැයි ඉතින් වැරදිලාවත් වෙන කූඹි ගුලක් උඩ කකුල තියන් ඉඳලා තිබුනොත් එදාට ඉවර තමයි. අඬන බබ්බු නළවන්නත් වෙනවා.

මම කරපු තවත් වැඩක් තමයි කූඹි යනපාරෙ හරහට එක එක දේවල් තිබ්බ එක. එහෙම තිබ්බාම හැරිලා යන කූඹි අනික් උන්ට පණිවිඩේ දීගෙනම යනවා. ඒක අහපු සමහරු මගින්ම හැරෙනවා. සමහරු ඒකත් අහගෙන බාධකය ළඟටම ඇවිත් ආපහු යනවා. පස්සෙ එකෙක් දෙන්නෙක් පොඩි ට්‍රයි එකක් දීලා බලනවා වෙන පාරක් හොයාගන්න. ඊටපස්සෙ අනිත් උනුත් උන් පස්සෙ යනවා. මෙන්න ටිකකින් ඔක්කොම අර තිබ්බ බාධකය මඟ ඇරගෙන යනවා. කූඹිත් හරියට මිනිස්සු වගේ කියලා හිතෙනවා ඒ වෙලාවට.

පේළියට යන නයි කූඹින්ගෙ දැකපු විශේෂයක් තමයි උන්ගෙ ටිකක් ලොකු ජාතියක් ඉන්නවා පේළිය හසුරවන්න. හැබැයි මම කළු කූඹින්ගේ නම් ඒ විදිහෙ 'පොලිස් කූඹි' දැකලා නෑ. උන් උන්ගෙම පාඩුවෙ යනවා. උන් හපන්නෙත් නෑනෙ. හැබැයි විද්‍යාව කරද්දි නම් සර්ලා කිව්වෙ උනුත් හපනවාලු. ඒත් උන් මොකක්ද අම්ලයක් පිට කරන්නෙ නැති නිසාලු අපිට නොදැනෙන්නෙ. හැබැයි උන්ගෙන් තියෙන ලොකුම කරදරේ තමයි රස්නෙ කාලෙට පොත් පෙට්ටි අස්සට රිංගන එක. ඒවා අස්සට රිංගලා බිත්තර දාලා පොත් විනාස කරනවා. එහෙම ඉඳලා අහූනාම දුවන්නෙ බිත්තරත් උස්සගෙන.

විද්‍යාව ගැන කිව්වම මතක් උනේ. විද්‍යාවෙදි කාච ගැන උගන්වන කාලෙ අපි හැමෝම උත්තල කාච හැදුවනෙ පිච්චිච්ච ලයිට් එකකට වතුර පුරවලා. ඒ කාලෙ ඉතින් ඉස්කෝලෙ එක කූඹියෙක් ඉතුරු උනේ නෑ. කාච අත්හදා බලන්න තරඟෙට කූඹි පිච්චුවෙ. ඕගොල්ලොත් හදන්න ඇති නේද ඒ වගේ උත්තල කාච?

කාච වලින් පිච්චුවාට, පොත් අස්සෙ ඉඳලා ගසලා විසිකළාට, සීනි බෝතලේ අව්වෙ තිබ්බට කූඹිත් එක්ක මෑතක් වෙනකන් අඹමල් රේණුවක තරම්වත් වෛරයක් තිබ්බෙ නෑ. උන් පුංචි කාලෙ ඉඳන් මගේ යාළුවො වෙලානෙ හිටියේ. ඒත් දැන්

පේනවා නේද යාළුවො කරලා තියෙන විනාසෙ. ඔය විදිහට ටී ශර්ට් හා බැනියම් විනාස කරන්නෙ රතු පාට චූටි නයි කූඹි ජාතියක්. සමහර පැතිවල උන්ට තෙල් කූඹි කියලත් කියනවා මම හිතන්නෙ. කොහෙන් ඇවිල්ලද මන්දා කොච්චර අස්පස් කරලා තිබ්බත්, කොච්චර අතුගෑවත් උන් ගේ ඇතුළෙ ඉන්නවා. පුදුමෙ කියන්නෙ උන් ටී ශර්ට් හා බැනියම්ම විතරක් කන එකනෙ. වෙන රෙදි එකකටවත් කිසිම හානියක් නෑ. සමහරවිට ටී ශර්ට් අනික්වාට වැඩිය රහ ඇති. සමහරවිට අනික් රෙදි ඇලර්ජික් ඇති. :)

කවුරුහරි හිතනවානම් ඇඳලා හෝදන්නෙ නැතුව තිබ්බම කූඹි කනවා කියලා එයාට දෙපාරක් හිතන්න වෙන්නෙ ඇඳපුවා හෝදපුවා විතරක් නෙමෙයි මේ දැන් කඩෙන් ගෙනාපුවත් උන් කාලා තිබ්බා. අර මොකක්ද හුනු කූරකින් ඉරි ඇන්ඳත් මෙන්න මේගොල්ලො දවසින් දෙකෙන් ඉර කපනවා. අල්ලන්න කවුරුවත් නෑ. කපුරු බෝල දැම්මත් උනේ ඒකමයි. මගේ ටී ශර්ට් වලින් කූඹි දත් පාරක් නැත්තෙ කහම කහ ටී ශර්ට් එකකයි නිල්ම නිල් ටී ශර්ට් එකකයි විතරයි. සමහරවිට පාට නිසා වෙන්න ඇති. අහල තියෙන විදිහට නිල් පාටට කෘමි සත්තු එන්නෙ නෑලු. හැබැයි කහ පාටට තමා වැඩිපුරම එන්නෙ කියලත් අහලා තියෙනවා.

අන්තිමේදි කියන්න තියෙන්නෙ මම කූඹිත් එක්ක තරහයි. ආයෙ යාළුවෙන්න නම් ටී ශර්ට් ටිකක් අරන් දීපල්ලා.

තව පොඩ්ඩෙන් මාතෘකාව දාන්න හේතු උන කාරණාව කියන්න අමතක වෙනවා. ඉස්සර අපේ මල්ලි පොඩි කාලෙ "චූටි පුතේ පාඩම් කරන්න" කියලා අම්මා කියපු ගමන් මල්ලි දුවලා යනවා. සිංහල පොත අතට ගන්නවා. ඔන්න ඔය කවි පන්තිය තමයි හැමදාම කියාගෙන කියාගෙන කියාගෙන යන්නෙ.

එකායි.. දෙකායි.. තුනායි..

43 comments:

  1. නයි කූඹි ගැන නම් මතක් කරන්න එපා අප්පා... පුංචි කාලෙ මදියි නොකියන්න කව්වගත්තා... අම්මා කියනවා මං හරියටම උන්ගෙ ගුල් උඩට ගිහිල්ලා ඉඳගෙන කෑගහනවලු කනවා කනවා කිය කිය... කළු කූඹි දිහා නම් බලන් ඉඳලා තියෙනවා බිත්තර කර ගහන් යනවා... අර විදියට ඇඳුම් කූඹි කන්න ගියාම නම් අනාතයි නේද... ඒකට පිළියමක් නැද්ද... කබඩ් එකේ වැඩේ හරි ගියාද...?
    අර පල්ලෙහා ඉන්න කූඹියා එයාගෙ ගැන්සියට එක්සසයිස් කරවන්නෙ හරීට ටී ෂර්ට් ගේන්න කට්ටිය එක්ක පෝලිමට කඩේ යන්න ලෑස්ති වෙන්න වෙන්නැති... හික්ස්...
    ඒ පින්තූරෙ හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හික්.. අපේ මල්ලි කූඹි ගුල උඩ ඉදගෙන කෑ ගහන්නෙ “ කූඹි තෙල් එක ගේන්නෝ ..” කියල... ඌ කූඹි තෙල් කියන්නෙ අර සර්ව විශාදිය කියන තෙල් බෝතලේට...

      Delete
    2. @ Miyuru,
      පුංචි කාලෙ විතරක් නෙමෙයි දැන් උනත් නයි කූඹි කෑවොත් මාර විසක් තියෙන්නෙ. ඇයි හත්පොළ කන කූඹි කියන ටිකක් දිග කූඹියා කෑවොත් පළු දාලයි නවතින්නෙ..
      …මමත් බිත්තර කර ගහන් යනවා දැකලා තියෙන්නෙ කළු කූඹි විතරමයි. නයි කූඹි බිහ්තර අරන් යනවා දැකලම නෑ..
      …කූඹි කන එකට නම් පිළියමක් ලැබුනේ නෑ.. අම්මා නම් කිව්වා මැලතියන් දාන්න කියලා.. ඒත් ටිකක් ඉවසලා හිටියා විස වෙයිද දන්නෙ නැති නිසා.. හැබැයි උන් අලුතෙන් හදපු අල්මාරියට නම් එන්නෙ නෑ වගේ..
      …:) ස්තුතියි මියුරු අක්කා..

      …@ හිරු,
      …ඒ මොකෝ කූඹි තෙල් කියන්නෙ..? කූඹි කවාම ගාන හින්දද?

      Delete
    3. මේකෙ දාපු කමෙන්ට්ස් ගැන බැලුවම තේරෙනවා ප්‍රශ්ණෙ මොනතරම් උග්‍රද කියලා... දැන් එළඹිලා තියෙන්නෙ කූඹි කටයුතු පිළිබඳ ඇමති කෙනෙක් පත් කරන්න ඕන කාලෙ වගේ... :D

      Delete
  2. ඈහ් තරහා වෙලාද ?? අපේ අප්පේ පවු වැඩේ...

    කූඹින්ට අර චෝක් එකනම් හරියටම හරියනවා හරී, ඔහෙ මොකද දන්නෑ අවුල. මහ කපටි කූඹි වගයක් වගේ ඔහේ ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. කූඹී චෝක් එක පෙඟුනම වැඩක් නෑ සෙන්නා.. එතකොට මං හිතන්නෙ සැර යනවා... මෙහෙ දොරවල් වලට එහෙම වැඩේ හරි යනව.. ඒත් බිම තෙත ගතිය තියෙන නිසාද කොහෙද දවසෙන් දෙකෙන් ඉර කපනවා...

      Delete
    2. @ සෙන්නා,
      …ඔව්.. තරහම තරහයි.. :)
      …කූඹි සෙට් එකක් වට කරලා චෝක් එකෙන් ඇන්ඳම නම් ඒ රවුම ඇතුලෙ ඔක්කොම මැරෙනවා. ඒත් එහෙම ඇඳපු ඉරිවල සැර කාලෙකින් ගියාම උන් ඉර කපනවා.

      …@හිරු,
      …ඒ වගේම ටිකක් කලක් යද්දි ඒ ඉරි මැකෙනවා.. සමහරවිට වාතයෙ තීන ජල වාශ්ප වලින් තෙත් වෙනවද මන්දා? හැබැයි ගාපු ගමන්ම නම් හූනෙක්වත් ඉර කපන්නෙ නෑ..

      Delete
  3. බොලාගෙ අර දොර නැති කබඩ් එකටද මේ සැට් එක රිංගුවෙ...ඔය කූඹි මහ වස ජාතියක් බං...ඕකුන් ටී ෂර්ට් විතරක් නෙමෙයි ඩෙනිම් එහෙමත් හිල් කරනවා සමගිය බලය වේ කියාගෙන.

    ReplyDelete
    Replies
    1. කබඩ් එකට රිංගන්නෙ නෑ සෙන්නා.. ඒක නම් ලොකු අස්වැසිල්ලක්.. සමහර විට පාට හින්දා වෙන්න ඇති.. ඒත් තාවකාලිකව හෝදලා වෙලලා අයන් කරන කන් රෙදි තියන වැටේ නම් කූඹි ඉන්නවා.. නවත්වන්න නම් බෑ.. ආහ්.. එහෙමත් එකක්ද? මම බැලුවා මගේ ඩෙනිමක මොකද නූල් ඇදිලා තියෙන්නෙ කියලා.. ඒකත් කූඹින්ගෙ වැඩක් වෙන්නැති.. හැබැයි ඒකෙ හිල් නම් නෑ..

      Delete
  4. කූඹි කියන වචනය සපුරා තහනම්. උන් අපේ ගෙදරට සෑහෙන්න හානියක් කරනවා.

    ReplyDelete
    Replies
    1. අල්ලලා බෝතලයකට දාන්නයි තියෙන්නෙ..

      Delete
  5. අපි දැන් දන්නවා ඔයා ඉංජිනේරුවෙක් උණේ ඇයි කියලා...:)

    අර රෝස් පාට ටී-ෂර්ට් එක ඔයාගෙද? :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කූඹි අල්ලපු හින්දද?

      …ඔව්ව්.. ඒකේ මැද්දෙ අලියෙක් ඉන්නවා.. :)

      Delete
  6. මටත් ඔය වගේ පුරස්න ටිකක් තියෙනවා බං...

    ReplyDelete
    Replies
    1. කතාවෙ හැටියට නම් මීට වඩා පුරස්න වගේ..

      Delete
  7. හොඳම ප්‍රතිකර්මය ටී ෂර්ට් ඇඳීම නැවැත්වීමයි. :D

    ReplyDelete
    Replies
    1. කූඹීන්ට ටී ශර්ට් ඇන්ඳවීම කියලයි මම හිතුවෙ..

      Delete
  8. දෙයියනේ කියල මෙහෙ ඔය එකෙක්වත් අල්මාරියට නං රිංගලා නෑ තාම... කූඹි චෝක් මාර්ග බාධක නිතිපතා අලුත් කරනව.. හි හි...

    ඈන්ට් බුලී මං ආසම කාටූන් ෆිල්ම් එකක්...

    ReplyDelete
    Replies
    1. කොච්චර වැටවල් ගැහුවත් මුන් වැට පනිනවනෙ..

      …මම නම් ආසම Antz.........

      Delete
  9. කූඹියෝ ගමන් කරනකොට ෆෝලික් අම්ලය හල හලා යනවා. ඒකෙන් තමා ඌ ගමන් කරන්න ඕන පාර අඳුන ගන්නේ.. මුලින්ම යන එවුන් එහෙම අම්ලය හල හලා යනවා.
    සුදු හුණු ගාපු බිත්තියක කූඹි පේලියක් යනකොට එහෙම ඒ ෆෝලික් අම්ලය වැටිනු තැන් පැහැදිලිව බලාගන්ඩ පුලුවන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් මුලින් යන්නෙ අම්ල බාල්දි කරගහගත්තු උන් වෙන්න ඇති.. :) ඔය සත්තුන්ගෙ පෙරමෝන කියන්නෙත් එහෙම කේස් එකක් නේද?
      …මම නම් දැකලා නෑ.. දවසක බලන්න ඕනෙ.. හැබැයි හුණු වල සැරට කූඹි එන්නෙ නෑ නේද? මමත් කූඹි කරදරයෙන් බේරෙන්න බැරිම තැන කමරයට හුණු ගෑවා.. හුණුවල සැර යනකම් කූඹියෙක් පළාතක ආවෙ නෑ..

      Delete
  10. මචං බීඩින් එක අස්සෙං ෆීජ් එක ඇතුලටත් යනවා , ඇකිලිලා මැරිල වගේ ඉන්නවා , එලියට දාලා ටික වෙලාවකින් ඇවිදගෙන යනවා , අපේ ගෙදර නුති තැනක් නැ බං , නිදාගන්ඩ වත් නැ , ඇදටත් එනවා , කොච්චර අස්පස් කලත් වැඩක් නැ , මට නං එපාවෙලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර නම් ෆ්‍රිජ් අස්සෙ යන ලෙඩේ නෑ.. මොකද ෆ්‍රිජ් එකක් නෑනෙ.. :)

      …තෙල් ගාලා නිදාගත්තොත් ආයෙ අහන්ඩ දෙයක් නෑ.. පහුවෙනිදට කොට්ටෙන් එකයි කූඹි..

      Delete
  11. මළම ඇණයක්නේ. එක්කෝ උන් නැතිනං අපි. අපි දෙගොල්ලන්ටම ජීවත් වෙන්න අමාරුයි එකට. ඇයි යකෝ ඇඳුම් කෑවාම ඉතින් හරියට හිඟන්නගේ පාත්තරේට හෙනහුවා වැ‍ටුන වගේනේ.

    ReplyDelete
    Replies
    1. මොනවා ක්‍රන්නද ඩූඩ් අයියා.. එක ඇඳුම් සෙට් එකක් අයින් කරලා අලුතෙන් ගත්තා.. මෙන්න ඒවටත් පරන සෙතේම උදාවෙලා..

      Delete
  12. ඇඳුම් කන කුබිත් ඉන්නවාද..?කොහොමත් ඩුඩ් අයියා කියලා තියෙනවා වගේ දෙගොල්ලන්ටම එකට ඉන්න බැරි නිසා අපි එයලව මර්ධනය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇඳුම් විතරක් නෙමෙයි වෙන රටවල ඉන්නවාලු ලී, ප්ලාස්ටික් විතරක් නෙමෙයි කොන්ක්‍රීට් කරන්ට් කම්බි පවා කන වුන්..

      Delete
  13. මටත් තිබෙන ගැටළුවක් තමයි නයි කූඹින්ගෙ විශාල කූඹින් ඇත්තටම කවුද කියන එක. හසුරුවන අය ය කියන්න හොදටම දන්නවද. මම හිතුවෙ උන්ගෙ ශාරීරික විකුතියක් කියල

    ReplyDelete
    Replies
    1. යකා කිව්ව හින්දා මම ටිකක් කියවලා බැලුවා.. කූඹි ජනපදත් මී මැසි ජනපද වගේමලු.. මෙහෙකාර කූඹි, සටන් කරන කූඹි, වර්ගයා බෝ කරන කූඹි විදිහට විවිධ ජාති ඉන්නවලු..
      …ඒ විතරක් නෙමෙයි සමහර කූඹි වර්ග ඉන්නවලු උන්ට ඕන දේවල් වගා කරගන්න.. ඒ වගේම තවත් කූඹි වර්ගයක් වහලුන් විදිහට පාවිච්චි කරන...

      Delete
  14. දැන් අර ඇඳුම් අල්මාරිය හැදුවාට විසඳුමක් නැද්ද ???

    ReplyDelete
    Replies
    1. ඒ අල්මාරියට නම් කූඹි කරදරේ නෑ.. අල්මාරිය ඉස්සරහින් රෙද්ද දැම්මා විතරයි ඇතුලෙ හිටපු මකුළුවොත් එළියට ආවා..

      Delete
  15. හොඳ වෙලාවට ෂර්ට් කන්නේ නැත්තේ නේද?

    ReplyDelete
    Replies
    1. නැත්තන් රෙදි නැතුවයි යන්න වෙන්නෙ..

      Delete
  16. අයියෝ උන්ගෙන් තියෙන වදේ එපාම වෙනවා. මට හිතෙන්නේ ඇදුම්වලට න්නේ ඒ කූඹින්ගෙන් එක වර්ගයක් විතරයි ආයෙ දෙකක් නෑ කාවො කෑවා වගේම තමයි

    ReplyDelete
    Replies
    1. බලන් යද්හ්ඩි මේක ජාතික ප්‍රශ්නයක් වෙලානෙ දයා අයියෙ..

      Delete
  17. බැරි වෙලා හරි කරන්ට් එක ගියොත් උං ෆුිජ් එකටත් රිංගනව... සෙද්ද... මං ගාව තියේ අර මෝටීන් බෝතල් දුසිමක් විතර උංටම ගහල

    ReplyDelete
    Replies
    1. මෝටීන් වලට හරියනවද ?

      Delete
  18. Haree, mage yaluwekta nitharama una abaddiyak thamai kumbi inna andum andagena ennata weema. Kochcharada prashne kiyanawanam eyage cap eke kumbi janapada hadalath thibuna.

    ReplyDelete
    Replies
    1. කූඹි ඇඳුම් අස්සෙ රිංගන එක නම් කීපපාරක්ම මටත් වෙලා තියෙනවා.. ඒ වෙලාවට ඉතින් එහෙට මෙහෙට දුවන්න තමයි තියෙන්නෙ.. කැප් එක කිව්වම මතක් වුනේ මේ පෝස්ට් එක ලියලා මම ගමනක් යද්දි දාග්න ගිය කැප් එකෙත් කූඹි හිටියනෙ .. මම හිතන්නෙ මට රිටර්න් එක දෙන්නද කොහෙද?

      Delete
    2. Ehenam kalin cap asse hari nogiya kuubi post 1 dammata passe gihin thiyenne giya gamane hoda kama hinda wennathi ;) :P Neda Haree?

      Delete
  19. කූඹින් ගෙන් මටත් කරදරයි මගෙනුත් කූඹින් ට කරදරයි ... ;) ඉස්සර චූටිකාලේ බිම හුණු කූරෙන් ගණන් හදද්දි වටේ පිටේ කූඹියෙක් ගියොත් ඌව වටවෙන්න රවුමක් අඳිනවා ඊට පස්සේ බලන් ඉන්නවා ඌ මොකද කරන්නේ කියල ඌට මුලින්ම හිතාගන්න බෑ ටික වෙලාවක් රවුම වටේ ගිහින් පස්සේ ඌටම තේරිලා ඌ එලියට යනවා මාත් නවත්තන්නේ නෑ ...ඌ එලියට යද්දී අයෙමත් රවුමක් අඳිනවා..:D .දැන් නම් කූඹි පෙන්නන්න බෑ දැන් කාලේ කුඹි කන්නේ සීනි නෙමේ plastic ..උන්ගෙන් මගේ keyboard එක බේර ගත්තේ බොහොම අමාරුවෙන් ... :/

    ReplyDelete
  20. Aiyoo man me baluwe kumbi karadareta wisadumak tyeyda kiyala machanla.me comment eka dana welaweth mage husban thel kumbith ekka maha yuddayak.mage babata thawma masayay.eyage napiyakwath tyaganna wdyak nha malawade.dan nam podi wisadumak labila.lunu maha godak unu wathurata diya karan hamathanatama spray karanawa.e paranam success kiya kiya...

    ReplyDelete
  21. Aiyoo man me baluwe kumbi karadareta wisadumak tyeyda kiyala machanla.me comment eka dana welaweth mage husban thel kumbith ekka maha yuddayak.mage babata thawma masayay.eyage napiyakwath tyaganna wdyak nha malawade.dan nam podi wisadumak labila.lunu maha godak unu wathurata diya karan hamathanatama spray karanawa.e paranam success kiya kiya...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...