1.02.2016

කළු තිත (The black dot)


ඉහළ තියෙන පින්තූරය දැක්කාම ඔබට හිතෙන්නෙ මොනවාද? මොහොතක් නිස්කලංකව හිතුවොත් මොනවගේ දේවල් සිතේවිද? ඒ සියල්ල හිතේ තියාගෙන අපි යමු පහළට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

දිනක් සුපුරුදු පරිදි දේශන ශාලාවට පැමිණි මහාචාර්‍යයවරයා තමුන්ගේ සිසුන් ආමන්ත්‍රණය කළා. 

"අද මම ඔයගොල්ලන්ට ක්ෂණික ඇගයීමක් දෙන්න යන්නෙ. ඒකට ලෑස්ති වෙන්න මම විනාඩි 5ක් දෙන්නම්"

කවදත් ඇගයීම් වලට බය සිසුන් වහ වහා එයට සූදානම් උනා. ඊළඟට මහාචාර්‍යවරයා කළේ ආවරණය කරන ලද ප්‍රශ්න පත්‍ර සිසුන් අතර බෙදාදීමයි.

අවසානයේ ප්‍රශ්න පත්‍රය පෙරළා බලා පිළිතුරු ලිවීම ආරම්භ කිරීමට විධානය ලැබුණා. ඒත් සිසුන් සැවොම පුදුමයට පත්කරමින් එහි තිබුනෙ එක කළු තිතක් පමණක් ඇති හිස් කඩදාසියක්. 

සිසුන් ප්‍රශ්නාර්ථයක් ප්‍රදර්ශනය කරමින් මහාචාර්‍යවරයාගේ මුහුණ බැලුවා. "ඔබට දකින්න තිබෙන දේ විස්තර කරන්න" සිසුන්ට ලැබී තිබුනේ අමාරුම කාර්‍යයක්. කට පාඩම් කරගත් විෂය කරුණු ලියනවාටත් ගැඹුරින් තේරුම්ගත් විෂය කරුණු ලියනවාටත් වඩා අමාරු වැඩක්. 

නියමිත කාලය අවසානයේ මාහාචාර්‍යතුමා පිළිතුරු පත්‍ර එකතුකරගත්තා. සුපුරුදු පරිදි ඒවාට ලකුණු දීම වෙනුවට ඔහු එකින් එක පිළිතුරු පත්‍රය සිසුන් මැද කියවන්නට උනා. 

සිසුන් සියලු දෙනාම කළු තිත බොහොම අපූරුවට විස්තර කර තිබුනා. කළු තිතේ පිහිටීම, හැඩය යනාදිය බොහෝ සිසුන් විශ්ලේෂණය කර තිබුනා. 

පිළිතුරු පත්‍ර කියවීම අවසානයේ සිසුන් සාවධානව මහාචාර්‍යවරයා දෙස බලාසිටින මොහොතක ඔහු තම කටහඬ අවදි කළා.

"මම මේ ඇගයීමට ලකුණු ලබාදෙන්න බලාපොරොත්තු වන්නේ නෑ. ලකුණු වලට වඩා හිතන්න යමක් දෙන එකයි මගේ බලාපොරොත්තුව උනේ. කෝ මේ ළමයි කවුරුත් ලියලා නෑනෙ මේ කඩදාසියේ සුදුවට පේන කොටස ගැන. හැමෝම දැකලා තියෙන්නෙ මේ කළු තිත. හරියට අපි අපේ ජීවිතය ගැන හිතනවා වගේමයි. අපි හිතන්නේම කළු පැල්ලම් ගැන. අපිට තියෙන ලෙඩරෝග, මුදල් හිඟකම, පවුලෙ ගැටළු, යාළු මිත්‍රාදින් සමඟ වන ආරවුල්. ඇත්තටම හිතලා බැලුවොත් මේ කළු පැල්ලම් බොහෝම පොඩියි නේද? අපිට හිමිවෙලා තියෙන දේවල් එක්ක බැලුවාම. තම තමුන්ගෙ ඇස් පොඩ්ඩක් ඔය කළු තිතෙන් එහාට අරගෙන සුදු පාට දිහා බලන්න. තම තමුන්ට ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් බාරගන්න. ජීවිතෙම සතුටින් ඉන්න."

මම ඒ ගෙනාවෙ කාලෙකට කලින් මම අහපු ඉංග්‍රීසි කතාවක සිංහල පරිවර්තනයක්. පෝස්ට් එක අවසාන කරන්න යද්දි තව කතාවක් මතක් උනා. 

දවසක් මගේ සගයෙකුයි එයාගෙ අයියයි වාදයක් කළාලු 'ජීවිතයට අවශ්‍යම දේ මොකක්ද? කියලා'

සගයා කියලා තිබුනේ 'නීරෝගිකම' කියලා. කෙතරම් ධනය, දැනුම, සැප සම්පත් කොච්චර තිබුනත් ඒවා විඳින්න තරම් නීරෝගි නොවුනොත් වැඩක් නෑලු.

ඒත් සගයගෙ අයියගෙ මතය 'හිතේ සතුට' කියන එකයි. අයියා යාළුවව පරද්දලා තිබුනේ රෝගීවෙලා හරි හිතේ සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන් නම් වෙන දෙයක් ඕනෙ නෑ කියලයි.

ඉතින් ඔයාලා හැමොටම කළු තිතෙන් ඇස් පොඩ්ඩක් එහාට අරන් සුදු පැත්ත බලලා සතුටු වෙන්න පුළුවන් සුබ නව වසරක් වේවා!

17 comments:

  1. හරීටත්, පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියාටත් පවුලේ සැමටත් ලැබුවාවූ නව වසර ජයෙන් ජයම වේවා!

      Delete
  2. ආරෝග්‍යා පරමා ලාභා
    සංතුට්ඨි පරමං ධනං
    විස්සාසා පරමා ඤාති
    නිබ්බානං පරමං සුඛං

    නිරෝගී බව උතුම්ම සැපතයි
    සතුට ඉහළම ධනයයි
    ඉහලම ඥාතිත්වය විශ්වාසවන්තකමයි
    නිබ්බානය = නිර්වානය = නිර් + වාන = කිසිදු බැඳීමක්, යළි ඉපදීමක් නැති තත්වය, ඉහළම පරම සැපතයි.

    ජේසු පිහිටෙන් ඔබ දියුණුවෙන් දියුණුවට පත්වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම හරවත් පාඨයක්.

      විචාරක මහත්මයාටත් පවුලේ සැමටත් ලැබුවාවූ නව වසර වාසනාවන්ත වේවා!

      Delete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් ලැබුවාවූ නව වසර වාසනාවන්ත වේවා!

      Delete
  4. ඕවා ඉතින් හැමදාම කියනවා, හැමදාම අහනවා. ඒත් ඉතින් හැමදාම අපි කළු තිත දිහා බලාගෙන ඉන්නවා..

    හරීටත්, පවුලේ සැමටත් හිතේ සතුට පිරුණ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත සෙන්නා. මේවත් අර හැමදාම කියන සැබෑ නත්තල වගේ.

      සෙන්නාටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා!

      මේ අවුරුද්දෙවත් හැබහින් දකින්න ලැබෙයිද මන්දා?

      Delete
  5. උඹට කියන්න හරී, මමත් ඉතිං මුලින්ම බලන් උන්නෙ තිත දිහාම තමා. අපේ ඇහේ ලෙන්ස් එක පුරුදු වෙච්ච විදිය වෙන්නෝන, සිතුවිලි එන්නෙ නම් ඉතින් පස්සෙන් පහුනේ.

    හරීටත් පවුලේ සියළුදෙනාටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් ඔහොම තමයි. :)

      ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!

      Delete
  6. අපිත් ඉතින් ගොඩක් වෙලාවට කලුතිත් දකින කණ්ඩායමට තමයි අයිති...

    එත් ඉතින් හරී කියන්නා වගේම අපිටත් වෙනස් වෙන්න පුළුවන් වෙන නවවසරක් වේවා...

    ------
    හරි යෝ...උඹටත් සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයෙන් ජයවෙන සුභ නව වසරක් වේවා!

      Delete
  7. Awesome lesson for the new year. Thank you v.much.

    ReplyDelete
    Replies
    1. You are welcome! Wish you awesome new year!

      Delete
  8. කතාවනම් සහතික ඇත්ත. අපිට හුඟක් වෙලාවට මතක් වෙන්නේ හිතට වද දෙන්නේ මොකක් හරි අඬුවක් ගැන. ඒත් ඊට වඩා දේවල් තියෙන බව අපි කාටත් අමතකයි.

    සුබ නව වසරක් අයියේ.

    ReplyDelete
    Replies
    1. සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  9. අමතක වෙන දේ මතක් කරා කළු තිත.. ජය වේවා හරී..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...