1.06.2016

පහුගිය අවුරුද්දේ - මෙහෙමයි වැඩ කළේ

මතකද මම ගිය අවුරුද්දෙ ඔයගොල්ලන්ට පොතක් ගැන විස්තරයක් අරගෙන ආවා. පොතේ නම තමයි Getting Things Done. ඒ කිව්වෙ කොහොමද අපි අපිට තියෙන වැඩ අපි ලව්වාම කරවාගන්නෙ කියන එක. මට මතකයි ප්‍රතිචාර දක්වපු සමහර අය ඉල්ලීමක් කරලා තිබුනා වැඩ කරවා ගන්න කලින් පොත කියවා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන ලෙස. පොතේ කතාව පැත්තකින් තියලා, පොත කියෝපු නොකියෝපු හැමෝටම මම පහුගිය අවුරුද්දෙ වැඩ කරගෙන ගියේ කොහොමද කියලා කෙටි සඳහන් කිරීමක් තමයි මේ කරන්න යන්නෙ. 

මමත් ඕගොල්ලෝ වගේම මේ පොළවේ පය ගහලා ඉන්න තවත් එක් ජීවියෙක්, මටයි කියලා වෙනසක් නෑ. වැඩක් පටන් ගන්න යද්දි ඒක දැන් කරන්න බෑ පස්සෙ කරමු කියලා හිත කියන වාර ගණන එමටයි. සමහර විට ඔයගොල්ලන්ගේ හිත් එහෙම කියනවට වඩා මගෙ හිත එහෙම කියනවා ඇති. කොහොම උනත් මේ කියන වැඩ පස්සට දැමීමේ සහජ ගතිගුණය නිසාම මම ගොඩාක් වෙලාට වැඩ කලින්ම සැලසුම් කරනවා. ඒක හින්දාම දැන් අවුරුදු කීපයක ඉඳලා මම අවුරුද්දෙ මුලදිම වැඩ ලැයිස්තුවක් හදාගන්නවා. ගොඩක් වෙලාවට ලැයිස්තුව හදලා සමීපතමම අය එක්ක ඒ ගැන සාකච්ඡා කරනවා. 

කලින් කලට ඒකට වැඩ එකතු උනත් සමහර වැඩ සෑහෙන කාලෙක ඉඳලා අතපසුවෙවී ආවත් ඒ ලැයිස්තුව නිසා යම් අරමුණක් අවුරුද්දට එකතුවෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. අවුරුද්ද අන්තිමේදි  කරලා ඉවර කරපු වැඩ ගැන සතුටකුත් කරන්න බැරිවෙච්චි දේවල් ගැන පුංචි දුකකුත් හිතට ඇතිවෙනවා. මේ තාක් නම් මට සම්පූර්ණයෙන් සතුටුවෙන්න පුළුවන් අවුරුදු නම් ඇවිල්ලා නෑ. ඒත් මම හිතනවා ගොඩාක් උත්සාහ කළොත් හා හොඳින් සැලසුම් කළොත් ඒවාගේම ඒවා අනිවාර්‍යයෙන් ඉවර කළයුතු දේවල් කියලා හිතුවොත් අවුරුද්ද අවසානයේ හිතට දුකක් ඇති වෙන එකක් නෑ කියලා. 

අවුරුද්දෙ වැඩ වගේම දවසේ වැඩ සැලසුම් කිරීමේදීත් මට එල්ලවෙන ලොකුම චෝදනාව තමයි මම මහෞෂධ පණ්ඩිතයෝ වගේ එක දවසකින් නව කෝටියක් වස්තු හොයන්න යනවා කියන එක. ඒ කිව්වෙ පමණට වැඩි එහෙම නැත්නම් ප්‍රායෝගිකව කරන්න බැරිතරම් වැඩ මගේ දෛනික ලැයිස්තුවට එකතු කරගැනීම. ඒක තාමත් මට හදාගන්න බැරිවුන මගේ අතින් වෙන ලොකුම වැරැද්දක්. මේ නිසාම ගොඩාක් මහන්සි උනත් දවස අන්තිමේදී තවත් වැඩ ගොඩක් ඉතිරි බව තමයි ඔළුවට දැනෙන්නෙ. හරියට සුදු පසුබිම නොදැක කළු තිත හොයනවා වගේ.  ඒ වැරැද්ද මේ අවුරුද්දෙ නොකරන්න හිතට ගන්න ඕනෙ.

මම සාමාන්‍යයෙන් දෛනිකව මගේ ලැයිස්තුව බලනවා. මට ඕනතැනක ඉඳන් පහසුවෙන් බැලීමේ හා කැපීකෙටීමේ පහසුවට Google Doc එකක් විදිහට තමයි ලැයිස්තුව තියෙන්නෙ. මෙදා ඊටවඩා සාර්ථක ක්‍රමයකට යන්න ඕනා කියලයි හිත කියන්නෙ. මොකද කාලෙන් කාලෙට එකම ලැයිස්තුවට වැඩ එකතු වීමත් එක්ක අවුරුද්ද අවසානයේ නොකළ වැඩ රාශියක් තියෙන්නෙ පුළුවන්, ඒවා කරන්න තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබිච්ච නිසා.  ඒක නිසා සිතට දැනෙන දුක අසාධාරණ විදිහට වැඩිවෙන්න පුළුවන්.

ඊළඟට මම ගොඩක් දිනවලට දෛනිකව කළයුතු වැඩ ලැයිස්තුවක් හදාගන්නවා. මේක මම විශ්ව විද්‍යාලයේ යන කාලෙ ඉඳන් උත්සාහ කරලා යන්තම් ගිය අවුරුද්දෙ විතර සෑහෙන සාර්ථකව කළා කියලා කියන්න පුළුවන්. වැඩ සම්පූර්ණ කිරීම නෙමෙයි මම අදහස් කළේ, දිනපතා, දෛනිකව වැඩ ලැයිස්තු ගත කිරීම. 

බොහොම ආසාවෙන් බොහෝ වෙලාවට කරගන්න බැරිතරම් වැඩදාලා ලැයිස්තු හැදුවට කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නෙ. හිත එකලාසයක් කරගන්න විදිහක් නෑ සමහර වෙලාවට. කරන්න වැඩ දාහකින් ලැයිස්තුව පිරිලා තියෙද්දිත් එකක්වත් කරන්නට හිතක් නැතුව ඔහේ 'බඩ උලාගෙන' හිටපු දවස් වගේම සතියක වැඩ එක දවසින් කරපුවාත් පහුගිය අවුරුද්දෙ තිබුනා. 


මම යූටියුබ් වීඩියෝවක් බැලුවා මොනාද  මේ හිත ඇතුලෙන් එන කම්මැලිකම නවත්වන්න කරන්න තියෙන්නෙ කියලා. ඒකෙ හැටියට නම් 'මම මේක අද කරන්නම ඕනෑ මම මේක අද නොකළොත් මට ඒකෙ විපාක හම්බෙයි' කියලා හිතන්නලු තියෙන්නෙ. එක සැරයක් නෙමෙයි වැඩේ කරන්න හිතෙනකම්ම. මුලදි නම් අමාරුවෙයි කියලා තිබ්බා. පස්සෙ හරියයිලු. ඒත් වැඩේ වෙන්නෙ ටික දවසක් යනකොට ඒකත් අමතක වෙන එකනෙ. :)

මම කිව්වනෙ මම දෛනික ලැයිස්තුවක් හදාගන්නවා කියලා. මේකට මම පාවිච්චි කළේ Anydo කියන Android app එක. ඒකෙන් පුළුවන් තමුන්ගෙ වැඩ වර්ගීකරණය කරලා සිහි කැඳවීම් එක්කම තියාගන්න. හැබැයි මම ඊටත් වඩා කොළකෑලි මෙතඩ් එක පාවිච්චි කළා. පැන්සලකුයි පොඩියට ඉරාගත්තු කොළ කෑල්ලකුයි අරගෙන ලියාගන්නවා දවසේ කරන්න ඕනා දේවල්. ඒක ලේසියි මොබිය ඔබ ඔබ ඉන්නවටත් වඩා. අනික අතටත් දැනෙනවා. වෙනස හරියට කිව්වොත් ඊ-බුක් එකකුයි ඇත්ත පොතකුයි කියවනවා වගේ. 

Anydo

ඔන්න ඔහොමයි ඉතින් ගිය අවුරුද්දෙ තිබ්බ වැඩ කන්දරාව ටික ටික කරේ. මම ගිය අවුරුද්දෙ ලැයිස්තුව කොතරම් දුරට සාර්ථකද බලලා මේ අවුරුද්දට ලැයිස්තුවක් හදන්න යන ගමන්. ගිහින් එන්නම්. 

20 comments:

  1. හමුදා පුහුණුවට පින්සිද්ද වෙන්න වැඩ සංවිධානය කිරීම තවම කරගන්න පුළුවන් වැඩිය අවුල් සහගත තත්වයන් ඇතිකරගන්නේ නැතුව.

    බොහෝවිට නිදාගන්න ගියාම ඊළඟ දවසේ වැඩ ගැන හිතෙන සැලැස්මක් හදාගන්නවා. විශ්‍රාම ගියා කියලා තවම නිදහසක් නැහැ. විවිධ සමිති සමාගම් රාශියක මම වැඩකරනවා. සතයකවත් වැටුපක් ලබන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. විශ්‍රාම ගන්නවා කියලා නිකම්ම කකා බිබී හිටියොත් නම් වැඩිකල් ජීවත් වෙන්න වෙන්නේ නෑ. මට මතකයි අපි කලින් හිටපු බෝඩිමක අන්කල් කෙනෙක්. මිනිහගෙ ගෙවල් හය හතක්ම තිබුනා කුලියට දීලා. මාසෙකට හොඳ ගානක් අතට එන නිසා මිනිහා ජීවිතේ වැඩිකාලයක් කරලා තිබුනේ කකා බිබී රූපවාහිනිය බල බල ඉන්න එක. ඒ කාලෙත් ලෙඩ කෝටියක් තිබුනා. වැඩිකල් ජීවත් උනෙත් නෑ.

      අනික් අතට නිකම්ම හිටියොත් ජීවිතේ එපා වෙනවා. ඊට වඩා හොඳයි වැඩ කරන එක.

      Delete
  2. වැඩ නියම වෙලාවට කිරීම කියන දේ මාර අමාරුයි...... අැයි මන්දා... දැන්වත් හැදෙන්න බලන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. මමත් තාම හැදිලා නෑ. මාරම අමාරුයි වැඩ කිරීම.

      Delete
  3. මමත් සැලසුමකට අනුව දවසේ වැඩ කටයුතු කරන්න නිතරම උත්සහා කරනවා.නමුත් සැලසුමට අනුවම කරන්න බැරිවෙන අවස්ථා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ වඳුරෙක් වැස්ස පායනකං ඉඳලා තට්ටු දෙකට ගේ හදලා වටේට අඩි අටේ තාප්පෙත් ගැහුවා :D ඕ යේස්. හැක හැක

      Delete
    2. ඕනෑම සැලැස්මක් ක්‍රියාත්මක කරලා ඉවර වෙන කොට ලැබෙන එකම ප්‍රතිඵලය තමයි.සැලසුම් කල ඉලක්ක එපරිද්දෙන්ම ඉටු නොවීම. එහෙම වෙන්නේ කලින් හරියට නොදුටු තත්වයන් ක්‍රියාත්මක මට්ටමේදී මතුවීම නිසයි. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ සැලසුම් කිරිම නොකළ යුතු දෙයක් කියල. සැලැස්මේ ඉලක්ක හා ඇත්ත තත්වය අතේ වෙනස හොයල ඒ වෙනස හැකි තරමක් අවම කරන වැඩ කරන්න නම් සැලැස්මක් තියෙන්න ඕනෑ. එපමණක් නොව ඒක ඉටු කරන්න භාවිතා කරන ක්‍රියා මාර්ග සහ කාල රාමුවක් වගේම ක්‍රියාත්මක මට්ටමේදීම නියාමනය කරන තැන් හදල තියෙන්නත් ඕනෑ. ඒවා තිබුනේ නැත්නම් සැලැස්ම පොතේම තිබේවි.

      සමරසේකර

      Delete
    3. උඹ වඳුරා කීවේ හරිටද බං.(උඹට මේලක් දාලා ඇති)

      Delete
    4. @PM, විදානෙට ඉන්වයිට් කලේ නැද්ද ඒ වඳුරා?

      Delete
    5. මේල දුටිමි :D
      හැක් .. ප්‍රා … වඳුරා උනත් ඌ මොලේ ඇති සතා..වඳුරොත් දන්නව විදානෙගෙ බපර් සෙල්ලං ගැන :D

      Delete
    6. @ මනෝ මන්දිර,
      උත්සාහය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා පතනවා.

      @පත්තර මල්ලි,
      ගේ නම් කමක් නෑ. අඩි අටේ තාප්පෙ තමයි පුදුම.

      @Wmk Samarasekara,
      කතාව සම්පූර්ණ ඇත්ත. වෙන්නෙම හිතන්නැති දේවල්නෙ.

      ඔබ දීල තියෙන උපදෙස් බොහොම වටිනවා.

      Delete
  4. හැක්.. මේ අවුරුද්දෙවත් ලිස්ට් එක සම්පූර්ණ කරගන්න ලැබේවා කියල පතනව.
    බලමු මාත් ඔය විදියට හැදෙන්න ට්‍රයි එකක් දීල.

    ReplyDelete
    Replies
    1. පිස්සු නං කෙලින්ඩෙපා ප්‍රසන්න අයියා :D ඇස් වහ කටවහ වදී … චැහ්

      Delete
    2. කොයි විදියටද උඹ දැන් ඔය හැදෙන්න අදහස් කරගෙන ඉන්නේ...

      Delete
    3. සතියට බෝතල් කීයක් ගන්නවද කියල ඉස්සෙල්ලම ප්ලෑන් කරන ඉන්නෝන. හැක්...

      Delete
    4. @Praසන්ன,
      ඇයි මේ අවුරුද්දෙ වගේම ලබන අවුරුද්දෙත් වැඩි වැඩියෙන් පෝස්ට් දාන්න.

      Delete
  5. 2015 was a successful year for me. What I did was reduced the number of commitments but increased their values so that I had to attend them, no matter I like it or not ☺. Hope to continue 2016 the same plan.

    ReplyDelete
  6. මම නම් නෝට් දාගෙන පිළිවෙලක් හදන් නෑ. බොරු කියන්නේ මොකටද. කරන්න තියෙන දෙයක් අමතක වෙන්නේ නම් බොහෝම කළාතුරකින් තමයි.

    ReplyDelete
    Replies
    1. මට නම් ගොඩක් වෙලාවට අමතක වෙනවා. සමහර එව්වා මතක තිබුනත් කරන්න කම්මැලියි.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...