4.26.2016

මං ආදරෙයි ලැපී.

ලැපී, ලැපා, ලැප්පුව වගේ වචනයකින් අප හුරතලේට ආමන්ත්‍රණය කරන්නෙ අපත් එක්ක යන යන තැන්වල එන, අපේ වැඩ පහසු කරන, අපට විනෝදය සපයන, හෙළුවෙන් 'උකුළ් පරිගණකය' විදිහට හඳුන්වන, අපේම හුරතල් ලැප්ටොප් එකට.


ඕනෑම ලැපී කෙනෙක් ගනිද්දි කිරි ටොයියා වගේ බැබළි බැබළි තිබුනට, ගිනි කසයා වගේ වැඩ කළාට කාලයක් යද්දි ටිකෙන් ටික අබල දුබල වෙලා සදහටම අපිව හැරදාලා යනවා. ලෝකෙ හැමදේම අනිත්‍යය නම් ලැපීටත් ඉතින් එහෙම වෙන්න එපැයි. ඒත් ඕනෑවට එපාවට පාවිච්චි නොකර ආදරයෙන් ලැපීව බලාගත්තොත් එයා හිටපු විදිහටම වැඩි කාලයක් අපි ළඟම ඉඳී. ඉතින් මම අද කියන්න යන්නෙ ලැපීට ආදරය කරන්න පුළුවන් ක්‍රම විස්සක්. මේ ක්‍රම විස්සෙන් අඩුම ගානෙ කීපයක් හෝ අනුගමනය කළොත් ලැපීට දීර්ඝායු ලැබේවි.

කරුණු විස්සට කලින් ලැපී කෙනෙක් අයිති කරගන්න යන කෙනෙකුට වැදගත් වෙන කරුණක් කියන්නම්. ලැපී කෙනෙක් ගන්න යද්දි ගොඩාක් දෙනෙක් හිතනවා පුළුවන් උපරිම අංගෝපාංග තියෙන එකක් ගන්න. හැබැයි ඒක නම් මුදල් අතින් වාසිදායක කාරණාවක් නෙමෙයි. පුලුවන් තරම් උපරිම වැඩ කෑලි තියෙන එකක් ගන්න යන්නෙපා. තමුන් ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩේට අදාළ එකක් ගන්න. අපි ඉතින් ආසයි තමයි මගේ ලැපීගේ මේ මේ ෆීචර්ස් තියෙනවා කියලා කියන්න. ඒත් ඒවායින් ඇත්තටම වැඩක් ගන්නෙ නැතිනම් අපරාදෙ ඔයා වියදම් කරන සල්ලි. මම හිතන්නෙ ජංගම වලටත් මේක අදාළයි. මෙතන ඒවගේ තව කාරණාවක් තියෙනවා ලැපී කෙනෙක් ගනිද්දි සැළකිලිමත් වෙන්න ඕනා.

1. අමුතු සද්ද

ලැපී පණගන්වද්දි එක එක අමුතු සද්ද එනවා නම් ඔයාට පුළුවන් වෙච්චි ඉක්මනටම ඒක පළපුරුදු කාර්මිකයෙකුට (ලැප්ටොප් හදන්න දන්න කෙනෙකුට) පෙන්වන්න. වගකීමක් තියෙනවා නම් ගත්තු තැනින්ම ඒ ගැන විමසන්න පුළුවන් වේවි.

පළපුරු කාර්මිකයෙක් කිව්වම මතක් උනේ මගේ පරණ කම්පියුටරේ තියෙන කාලෙත්, පරණ ලැපී තිබ්බ කාලෙත්, දැනුත් හොඳයි කියලා බය නැතුව කියන්න පුළුවන් කෙනෙක් නම් හම්බෙලා නෑ. එක්කෝ හරි කියලා දුන්නම ගෙදර ගිහින් වැඩ කරන්නේ නෑ. නැත්නම් පොඩි දෙයක් උනත් හදන්න අවුරුදු ගානක් යනවා. නැත්නම් අද හදන්නම් හෙට හදන්නම් කියලා කල් අරන් අන්තිමට වැඩේ කෙරෙන්නෙත් නෑ. ඒක නිසා කාවහරි රෙකමදාරු කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් මෙතන සඳහන් කළාට වරදක් නෑ. 

ඕනෑම උපකරණයක් ලෙඩ දීගෙන එද්දි පිළියම් නොකර දිගටම දුවනවා කියන්නෙ තවත් ලෙඩ ගොඩකට අත වැනීමක්. ඒක හින්දා  සද්ද බද්ද ඇහෙන්න ගත්තු ගමන් කාරණාව හොයලා බලන්න.

2. බැටරිය

අන්තර්ජාලය පිරික්සද්දී ලැපීගේ බැටරි භාවිතය ගැන එකිනෙකට ප්‍රතිවිරුද්ධ කතා දෙකක් තිබුනා.

එකක තිබුනේ බැටරිය සීයට සීයක් චාර්ජ් උනාම විදුලි සැපයුම නවත්වන එකයි, ආයෙ බින්දුවට ගියාම සම්බන්ධ කරන එකයි පලකට නැති දෙයක් විදිහට. එතන කියලා තිබ්බෙ අලුතෙන් එන ලැප්ටොප් වල ඕනෑවට වඩා චාර්ජ් වෙන එක නවත්වන්න ක්‍රමෝපායන් අඩංගු හින්දා සැපයුම විසන්ධි කරන එක තේරුමක් නෑ කියලායි. ඔවුන්ට අනුව බැටරියකට ඇත්තේ නියත චාර්ජ්-ඩිස්චාර්ජ් වෙන වාර ගණනක්. ඉතින් මේ විදිහට කලොත් ඉක්මණින්ම ඒ වාර ගණන අවසන් වෙනවලු. 

නමුත් මගේ යාලුවො කීපදෙනෙකුගේම ලැපීලා විදුලි සැපයුමේ තියාගෙනම පාවිච්චි කරලා ටික කාලෙකින් ඒක නැතුවම බැරිවෙච්චි හින්දා මම විශ්වාස කරන්නෙ අනික් මතය. ඒ කිව්වෙ සම්පූර්ණයෙන් චාර්ජ් උනාම ගළවන එකයි, චාර්ජ් අඩු උනාම ආයෙ සම්බන්ධ කරන එකයි. මේ මතය වෙනුවෙන් පෙනී හිටින අය කියලා තිබුනෙ මෙතනදි සම්පූර්ණයෙන් චාර්ජ් වෙනකන් තියෙන එකත් සම්පූර්ණයෙන් ඩිස්චාර්ජ් වෙනකන් තියෙන එකත් දෙකම වැරදි කියලා. ඔවුන්ට අනුව සීයට අසූවක් පිරුනම විසන්ධි කරන්න ඕනා. සීයට හතලිහකට අඩු උනාම ආයෙම සම්බන්ධ කරන්න ඕනා විදුලි සැපයුම.

ඉතින් මගේ ලැපීගෙ අනතුරු ඇඟවීමේ මැසේජ් එක සීයට හතලිහේදි එන්න හදලා තියෙන්නෙ. එතකොට විදුලි සැපයුම විසන්ධි කරනවා. ඒත් සම්පූර්ණයෙන් චාර්ජ් උනාම මැසේජ් එකක් එන්නෙ නැති හින්දා මම මෙහෙම වැඩක් කළා. 

ඉතින් මම තවදුරටත් හොයාගෙන යනවා හරි ක්‍රමය මොකක්ද කියලා.

3. අමතර කී බෝර්ඩ් එකක් මවුස් එකක්
කී බෝර්ඩ් ආවරණයක්
ලැපීගේ ගොඩක්ම හානියට පත්වෙන තැනක් තමයි කී බෝර්ඩ් එක. මේ දවස්වල තියෙන දූවිල්ලත් එක්ක මගෙ ලැපීත් කොච්චර පිහ දැම්මත් දවසින් දෙකෙන් ආයෙ දූවිලි පිරිලා. ඉතින් මේ දූවිල්ලෙන් වෙන හානිය අවම කරගන්නත් ඇඟිලි වල තැවරිලා ඇති කුණු, දූවිලි, දහදියෙන් වෙන හානිය අවම කරගන්නත් කී බෝර්ඩ් ආවරණයක් යොදාගන්න එක තමයි හොඳම දේ.

ඊට අමතරව වෙනත් කී බෝර්ඩ් එකක් මවුස් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් ආරක්ෂිතයි. රුපියල් දාහක් වගේ මුදලකට හොඳ තත්වයේ කී බෝර්ඩ් එකක් මවුස් එකක් ගන්න පුළුවන්. මමත් අමතර කී බෝර්ඩ් එකක් මවුස් එකක් පාවිච්චි කළත් සමහර වෙලාවට එව්වා සවිකරගන්න කම්මැලි හිතෙනවා. ඒත් ලැපීට ආදරෙයි නම් ඒවගේ කම්මැලිකම් කරන්න බෑ.

4. කෑම බීම

ලැප්ටොප් එක එක්ක වැඩකරද්දි කෑම බීම ලං නොකර ගන්නවා නම් තමා වඩාත් හොඳ. අපි කොච්චර පරිස්සමෙන් කෑවත් බිව්වත් අපිට නොපෙනෙන කූඹීන්ට පේන තරම් කුඩා කැබලි ලැප්ටොප් එක මත රැඳෙන්න පුළුවන්. අනික අතේ ගෑවෙන එව්වා ඉබේම කී බෝර්ඩ් එකෙයි මවුස් එකෙයි තැන්පත් වෙනවා. ඒ වගේම හදිසියේ බීමක් එහෙම පෙරලුනොත් ආයෙ ගන්න දෙයක් නෑ.

5. ඇත්තටම එහා මෙහා ගෙනිච්චැකිද?

මේක ඇහුවමනම් පුදුම හිතෙයි. ලැපී ඔන් කරගෙන එහා මෙහා ගෙනියන එක චලනය කරන එක හොඳ නෑලු. මේක මම නිතරම කරන දෙයක්. අනික ලැප් එකක් කියන්නෙ එහා මෙහා ගෙනියන දෙයක් හින්දා එච්චර හිතුවෙත් නෑ. ඒත් ඔන් කරගෙන එහා මෙහා යන්න එපාලු.

6. Defragmentation

අපේ ලැපීගේ ෆයිල් සිස්ටම් එක වැඩකරන විදිහ අනුව කාලයක් යද්දි හාර්ඩ් ඩිස්ක් එකේ කාර්‍යක්ෂමතාව අඩුවෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් කාලෙකට සැරයක් Defragmentation කරන්න පුළුවන් නම් මේ අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි මෙහෙම කරන්න කලින් බලන්න ඕනෙ ඔයාගෙ ලැපට තියෙන්නෙ SSD හාර්ඩ් ඩිස්ක් එකක්ද කියලා. එහෙම නම් ඒකෙන් වෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එකේ ආයු කාලය අඩුවෙන එක.

වෙනත් වචනවලින් කිව්වොත් SSD එකක් නම් කරන්න හොඳ නෑ.

7. පවර් ඔප්ශන් හරියට පාවිච්චි කරන්න 

පවර් ඔප්ශන් හරියට පාවිච්චි කරන්න දැනගෙන හිටීමත් ගොඩක් වැදගත්. ඒක ලැපීගෙ බැටරියේ ආයු කාලය විතරක් නෙමෙයි හාර්ඩ් ඩිස්ක් එකේ, ඩිස්ප්ලේ එකේ වගේම CPU එකෙත් ආයු කාලය වැඩි කරනවා. 

දැන් හැමෝම දන්න කාරණයක්නෙ ස්ක්‍රීන් සේවර් එක බලශක්තිය අපතේ යවන බව. සමහර කාර්‍යාල වල පාවිච්චි කිරීම තහනම් කරලාත් තියෙන්නෙ. 

වර්තමානයේ ඩිස්ප්ලේ එක ආයේ පණගැන්වෙන්න වැඩි විදුලියක් නොගන්නා නිසා කිසිඳු ක්‍රියාකාරකමක් නැති විනාඩි පහකට පස්සේ ඉබේම ක්‍රියාවිරහිත වෙන්න සකසන එක හොඳයි. විනාඩි පහළවකින් පසු ස්ලීප් වෙන්නත් තිහකින් පසු හයිබර්නේට් වෙන්නත් සැකසීම ලැපීගේ ආයු කාලය වැඩිකරනවා.

8. නැමුවා දැම්මා

වැඩ රාජකාරි අධික, කම්මැලි අපි ගොඩක් වෙලාවට කරන්නෙ වැඩ ඉවරකරපු ගමන් එක්කො ලැපී  ශට් ඩවුන් වෙන්න දාලා, ශට් ඩවුන් වෙන්න කලින්ම නමලා බෑග් එකට දාන එක. නැත්නම් නිකම්ම නමලා බෑග් එකට දාන එක. ඒකත් හරියට වැඩ කරන ලැප්ටොප් එකක් අරගෙන එහා මෙහා යනවා වගේ වැඩක් තමයි. 

මීට පස්සෙ ලැපී සම්පූර්ණයෙන් ශට් ඩවුන් වෙලා ටිකක් රස්නෙ පිටවුනාට පස්සෙ බෑග් එකට දාන්න.

9. ලෙඩ හෙවීම

මේක ලියන මමත් බොහෝ වෙලාවට කියවන ඔයාත් පුරුදු වෙලා ඉන්නෙ ලැපීට ලෙඩක් හැදුනාම බේත් හොයන්න යන්නනෙ. ඒත් ඇත්තටම ආදරේ නම් ලෙඩවෙනකම් ඉන්න එපාලු. ලෙඩක් තිබ්බත් නොතිබ්බත් කාලෙකට සැරයක් (මාස 6කට පාරක්) පළපුරුදු කෙනෙක් ලවා ලැපී පරීක්ෂා කරවා ගන්නලු.

10. සමතල මතුපිටක්

අමතර සිසිලන පංකා
වැඩකරගෙන යනකොට ලැපී රත්වෙන එක හැමෝම දන්න දෙයක්නෙ. සමහර එව්වල රොටී පුච්චගෙන කන්නත් පුලුවන්. සමහර එව්වා උෂ්ණත්වය යම් මට්ටකදි ඉබේම ඕෆ් එනවා. සමහර එව්ව නිහඬවම අවසන් ගමන් යනවා. 

ඉතින් ලැපී පාවිච්චි කරද්දි සිසිලන පංකා අවහිර වෙන විදිහට පාවිච්චි කරන්න එපා. එතකොට සිසිල් වෙන ටිකත් සිසිල් වෙන්නෙ නෑ. සමහරු අමතර සිසිලන පංකාත් සවිකරනවා. 

අමතර පංකා පාවිච්චි කළත් නැතත් විශේෂයෙන් සමතල මතුපිටක් නැති තැන්වල තියාගෙන පාවිච්චි කරන්න එපා. අනික තමයි ඇඳන් උඩ, රෙදි වගේ සුමුදු මතුපිටක් උඩ තියාගන්න හොඳම නෑ. පුළුවන් තරම් හොඳින් වාතාශ්‍රය ලබෙන තැනක ඉඳන් පාවිච්චි කරන්න. 

11. ඇකිලීම දිග ඇරීම

ඊළඟ වැදගත්ම දේ තමයි ලැපී නියමාකාරයට අකුලනවද දිග අරිනවද කියන එක. ඒක බලන්න පුළුවන් පහළ වීඩියෝ එකෙන්.


ඒ කොහොම වෙතත් විශේෂයෙන්ම කියවෙන කාරණාව තමයි ලැපීගෙ ස්ක්‍රීන් එක අල්ලන්න එපා කියන එක. ඒ වගේම අනවශ්‍ය නැමීම් දිග ඇරීම් හින්දා ලැපීගේ සරනේරු වලට හානි සිද්ධවෙලා කෑලි දෙක අතට එන්න පුළුවන්. එහෙම වුනා මගෙ යාළුවෙකුගෙ ලැප් එකකටත්.

12. පවර් කෝඩ් ඇඹරිල්ල


ඔයා ලැපීගේ පවර් කෝඩ් එක එහෙට මෙහෙට නමන අඹරන එක එක දේවල් වල ඔතන කෙනෙක් නම් ළඟදීම ඔයාට ඒකට විපාක විදින්න වෙයි. ලැප් එහා මෙහා ගිනියන්න පහසුවෙන්න බර අඩුකරගන්න ඕනෑ හින්දා වයරුත් පුලුවන් තරම් තුනී කරලා හදලා තියෙන්නෙ. ඉතින් හිතෙන හිතෙන විදිහට අඹරන්න දිග අරින්න ගියාම හිතනවාට වඩා කලින් වයර් ටික සෙට්ටපෝච්චි වෙයි.


පාවිච්චියෙන් පස්සෙ වෙල්ක්‍රො කෑල්ල පාවිච්චි කරලා, ගනිද්දි තිබ්බ විදිහටම වයර් ටික අකුලලා තියන්න ඕනා. සමහරු power adapter  එක වටේට කේබල් ඔතලා කරගන්නෙත් මේ ටිකම තමයි.

13. ආරක්ෂිත බෑග් එකක දාගන්න

ලැපී කොහෙහරි ගෙනියනවා නම් ආරක්ෂිත බෑග් එකක් හොඳින් අසුරලා ගෙනියන එක තමයි වඩාත් හොඳ. ආරක්ෂිත බෑග් එකක් කිව්වෙ ලැප්ටොප් එකක් දාගෙන යන්න පුළුවන් ඕනෑම බෑග් එකක් මේකට හරි යන්නෙ නෑ. ලැප්ටොප් බෑග් එකක් කියලා කඩේ විකුණන්න තිබ්බත් අපි බලන්න ඕනෙ ඇත්තම ආරක්ෂාවක් බෑග් එකෙන් ලැබෙනවද කියලා.

මේ වගේ එකක් හොඳයි
සමහර බෑග් කුශන් කරලා තිබ්බට ගොඩක් වෙලාවට උඩිනුයි යටිනුයි ආරක්ෂාවක් දෙන්නෙ නෑ. හිතන්නකො එහෙම බෑග් එකක් එල්ලගෙන ඉද්දි කඩන් වැටුනොත් මොනවගේ තත්වයක් උදාවෙයිද කියලා.

ඒක නිසා බෑග් එකකට දාන්න පෙර ප්‍රමාණවත් තරම් කුශන් කරපු වෙනම කවරයක දානවනම් ගොඩක් හොඳයි. එතකොට බෑග් එක ඇතුලෙ තියෙන වෙනත් දේවලින් හානියක් වෙන්නෙත් නෑ. මොකද ලැපීගෙ බෑග් එක කිව්වට සමහරු රටේ නැති දේවල් ඔක්කොම මේකට ඔබනවා. 

ලැපී ගෙනියද්දි මට අමතකම වෙන දෙයක් තමයි වාහනේ සීට් එක උඩ තියන් යන එක. හදිසි බ්‍රේක් පාරකින් බිම වැටුනම තමයි මතක් වෙන්නෙ.

14. සීරු මාරු කිරීම

අලුතෙන් ලැපක් ගන්න ගොඩාක් දෙනෙක් කරන්නෙ settings තියෙන වලින්ම ඒක පාවිච්චි කිරීම.  Factory settings වලින්ම ලැපී පාවිච්චි කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. Brightness එහෙම ඕනෑවට වඩා වැඩි කරලා ඇත්තෙ. ඉතින් තමුන්ට ඕනෑ ගානට ඒක අඩු කරගන්න ඕනෑ. ඒක ලැප්ටොප් එකටත් ඇහැටත් දෙකටම හොඳයි. වැඩි Brightness එකක් කියන්නෙ වැඩි වාරගණනක් බැටරිය ආරෝපණය කරන්න වෙනවා කියන එක.

15. අවශ්‍ය දේවල් විතරක්

තමුන්ට අවශ්‍යම දේවල් ඇරෙන්න අනික් දේවල් වලින් බොරුවට ලැපී පුරෝගන ඉන්න එපා. අපි එහෙම පුරෝගන ඉන්නවා කියන්නෙ ලැපීගෙ සම්පත් නාස්ති කරනවා කියන එක. මම දැකලා තියෙනවා මමත් ඇතුළු සමහරු බලපු චිත්‍රපටි එහෙම මකන්න ලෝභකමේ ගොඩ ගහගෙන ඉන්නවා. ඒක නම් තේරුමක් ඇති වැඩක් නෙමෙයි.

අනික් එක තමයි තමුන්ගේ වටිනා ලිය කියවිලි සමරු සටහන් ආදිය වෙනත් තැනක ආරක්ෂා කරලා තියෙන එක. මේකට අමතර හාර්ඩ් ඩිස්ක් එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම එව්වල රහස්‍යභාවය ඒ තරම්ම වැදගත් නැත්නම් නොමිලේ අපේ ලියකියවිලි සුරක්ෂිතව තබාගන්නා ඩ්‍රොප්බොක්x, ගූගල් ඩ්‍රයිව් වැනි සේවාවක් පාවිච්චි කරන්න. එතකොට ලැපීට මොනාහරි උනොත් අපිට වෙන හානිය අවමයි.

16. කුණුගොඩවල් ඉවත් කිරීම

මේ කියන්නෙ ඇහැට පෙනෙන කුණු නෙමෙයි. ලැපී පාවිච්චි කරගෙන යද්දි එක එක සොෆ්ට්වෙයාර් වලින් හැලෙන වැටෙන ඉතුරුවෙන කුණු කෑලි. මේවා ඉවත් කරන්න හොඳ ටූල් එකක් තමයි CCleaner කියන්නෙ. මම නම් නිතරම පාවිච්චි කරනවා.


17. හෙලවෙන විදුලි දිගු

අපේ ගෙවල් වල ගොඩක් වෙලාවට තියෙන්නෙ රවුම් හැඩැති විදුලි පේනු. ලැප්වල බහුතරයක් තියෙන්නෙ හතරැස් හැඩැති ඒවා. ඉතින් අපි කරන්නෙ එක්කො කැටයක් ගහලා එහෙම නැත්නම් එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගහලා පාවිච්චි කරන එක. මේක නම් ලැපීටත් අපිටත් හොඳ ක්‍රමයක් නෙමෙයි. ඉතින් බිත්තියට හතරැස් හැඩයේ විදුලි පේනුවක් සවිකරගන්නවා නම් වඩාත් හොඳයි.

18. පිටත පිරිසිදු කිරීම

ලැපීගේ කී බෝර්ඩ් එක, මවුස් එක, සිසිලන පංකා වගේම ඩිස්ප්ලේ එක පිරිසිදු කිරීම තමයි පිටත පිරිසිදු කිරීමට අයිති වෙන්නෙ. පිරිසිදු කරන්න කලින් කරන්න ඕනෑ දෙයක් තමයි ලැපී ඕෆ් කරලා සියලුම විද්‍යත් සම්බන්ධතා නවත්වන එක. පිරිසිදු කරනවා කියලා රෙදි කෑල්ලකින් අතුල්ලන්න ගියොත් තිබ්බටත් වඩා හානියක් තමයි වෙන්නෙ. ඒක නිසා කඩෙන් ගන්න පුළුවන් පිරිසිදුකාරක පාවිච්චි කරන්න. විශේෂයෙන් ඩිස්ප්ලේ එකට. මේ වීඩියෝව බලන්නකො.


19. ඇතුළත පිරිසිදු කිරීම

මේක නම් පළපුරුදු කෙනෙක්ට කියලම කරවගන්න එක තමා වඩා හොඳ. 

20. ලැපීට ලණුවක් දාමු

මේ මොනා කරත් වැඩක් නෑ කොහෙහරි අමතකවෙලා දාලා ගිහින් ලැපී වෙනකෙන්ක් එක්ක යන්න ගියොත්. ඒක හින්දා ප්‍රසිද්ධ ස්ථානවල ලැපී තියලා යන්න වෙනවනම් ලොක් එකක් දාන්න අමතක කරන්න එපා. 


බලන් යද්දි බබෙක් බලනවටත් වඩා අමාරුයි ලැපීව බලාගන්න එක.

මූලාශ්‍ර :

26 comments:

  1. Cc ක්ලීනරේ නං ඒ තරං හොඳ අයිටම් එකක් නෙවී. මොකද පොඩි කට්ටක් කෑවම ඔය ට්‍රෑෂ් කියන මගුල් අතිංම අයිං කරන්න පුලුවං හංද. සහ cc කියන්නෙ කොහොමත් හොඳ ඔප්ෂන් එකක් නොවන හංද.

    මංද හරි අයිය මං අවුරුදු හතරක් කම්පැක් තඩියක් යූස් කලා ඔය කියන ඒවැං දෙක තුනක් කරන්න ඇති ඕන නං. ඒත් එක අන්තිමට එපා වෙලා විකුණල දානකං හෙණයක් වත් නැතිව තිබ්බ. තාමත් ලැප ගැන දෙවනියට ගත්ත එකා හොද කියනව මිසක් කචල් කියල ඇහිල නෑ..
    හිහි.
    දැං තියෙන්නෙ ඩෙස්ක්ටොප් තඩියක්. කිව්වට විස්වාස කරන්නෙ නැතිවෙයි ඒක ඇතුලෙ තියෙන මකුළු දැල් කඩනවට ඒ උන්දැ කැමතිම නෑ කියන්නකො හිහි.

    ReplyDelete
    Replies
    1. මම නම් CCleaner එක ගැන තෘප්තිමත්. සාමාන්‍යෙන් සතියකට මාසෙකට පාරක් පාවිච්චි කරනවා. ඒත් ඒක ගැන වැඩිදුර විස්තර හොයා බලලා නෑ. මහේෂ්ට පුළුවන් නම් ඇයි CCleaner එක හොඳ නෑ කියලා පොඩ්ඩක් විස්තර කරන්න ඒක අපි හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. පහළින් දක්වලා තියෙන විදිහට ගොඩක් අය මේක පාවිච්චි කරනවා.

      හොඳම එකක් හම්බෙනවා කියන්නෙ ඉතින් කොච්චර හොයලා බැලුවත් වාසනාවට වගේ වෙන වැඩක්. සමහර එව්වා තියෙනවා දූවිලි කාගෙන වැඩකළත් සර්විස් කරපු ගමන් ලෙඩ දෙන්න පටන්ගන්න.

      Delete
  2. පාඩම නම් බොහොම වටිනවා. නමුත් ඔව්වා එකක් ගන්න සල්ලි නෑ. ඒ නිසා පරණ ඩැස්ටොක් එකෙම්ම වැඩ දෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් නැත්නම් අරගෙන වැඩක් නෑ තමා. මමත් ඩෙස්ක්ටොප් එකක් ගන්න හිතන් ඉඳලා තමයි ලැපක් ගත්තෙ.

      ඒත් සමහර කාරණා අදාළයි නේද?

      Delete
  3. මගෙ කම්පැක් එකක් තියෙන්නෙ. උඩ කියපු වැඩ කිහිපයක් කරනවා. දැන් ලැපට වසර හතරයි. බැටරි බැකප් හිටින්නෙ නැති එක තමා ලොඩකට ආවේ. ඒකත් ඊබේ එකෙන් ගෙන්න ගන්න යන්නෙ. මට මේක තාම ඇති. ඩුවල් කෝර් වුනාට වෙනත් එකකට නොයන්නෙ මේක ඇති නිසා. කෙල වුනාම අලුත් එකක් අරන් හරියව ෆලෝ කරන්නම්.

    ජය !

    ReplyDelete
    Replies
    1. අවුරුදු හතරක් කියන්නෙ ලැප හොඳටම පාවිච්චි කරලානෙ. බැටරි කෙලවෙන්න ඇත්තෙම හැමතිස්සෙම ගහලා තිබ්බ හින්දා වෙන්න ඇති.

      ඔබටත් ජය!

      Delete
  4. මමනම් cc cleaner පාවිච්චි කරනවා. ඒක සාර්ථක software එකක්.ලැප් එකක් නම් නෑ.ගත්ත දවසක වැදගත් වේවි.ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මමත් පාවිච්චි කරනවා. ගත්ත දවසක එහෙනම් බලමු.

      Delete
  5. ලැපක් ගත්ත දවසක බලමු. මොකද දැනට ඩෙක්ස්ටොප් තුනක්ම පාවිච්චි කරනව මිසක් ඔය මගුල් පාවිච්චියක් නෑ.
    අපිට නැතත් ලැපීල තියෙන අයට ලිපිය වැදගත් වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඩෙස්ක්ටොප් තුනකින්ම ලියන හින්ද වෙන්න ඇති ප්‍රසන්නයියාගෙ බ්ලොග් එක ඔච්චර නැගලා යන්නෙ :P

      Delete
  6. පාඩමනං බොහොම වටිනවා.. මේ වෙනකල් කරපු වැරදි ආයේ නං කරන්නෑ කියලා හිතාගත්තා...

    ReplyDelete
  7. මේ කියන බොහොමයක් දේවල අනුගමනය කරනවා. ඒත් මේ ළඟදී ඕවර් හීට් වෙන කෙස් එකක් වෙලා ගොඩ දා ගන්නම බැරි තැන අපේ අටමට දීලා අතුල සුද්ද කර ගත්තා. ඒත් කූලින් මදියි. පස්සේ කූලින් පෑඩ් එකක් ගත්තා. ෆෑන් එකත් දැම්මා. ෆෑන් එකෙන් නම් ප්‍රශ්නේ විසඳුනේ නෑ. අටමගේ උපදෙස් ටික පිළිපදිනවා. සී ක්ලීනර් මාත් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. හොඳ අයිටම් එකක්. අර බැටරි කෙස් එකෙන් මමත් පීඩා වින්දා. චාජ් වුණාම ගලවන එක තමයි හරි. දැන් ඒක ඉබේම වෙනවා. කෙල්ලට ටැබ් එක චාජ් කරන්න ඕනේ වුණාම :). මේක ඉතාම වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ලැපට ආයුෂ තියෙනවා.

      ස්තුතියි අගය කිරීමට.

      Delete
  8. කියෙව්ව. ලැපක් ගත්ත කාලෙක පිලිපදින්නං :-)

    ReplyDelete
  9. ගොඩක් ම වටින ලිපියක්.. චාර්ජර් එක කනෙක්ට් කරලම තියල කලින් ලැප් එකේ ඔය කියපු විදියට චාජර් එක ගලවපු ගමන් ඕෆ් වෙන්න ගත්තා. ඒ නිසා දැන් නම් ඒ වැරද්ද කරන්නෙ නෑ. දැන් ලැප් එකට අවුරුදු තුනක් විතර.. ඒත් කිසිම ප්‍රශ්නයක් නෑ. කියපු දේවල් වලින් අර ලැප් එක ඔන් කරගෙන එහා මෙහා ගෙනියන එක නම් මාත් කරනවා. ඒකෙ වරදක් දැනන හිටියෙ නෑ ඇත්තටම.
    ආයෙ නම් කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ලියපු දෙයින් ප්‍රයෝජනයක් ගන්නවානම් ගොඩක් හොඳයි.

      Delete
  10. හුහ්.. ලැපීට මෙච්චර ආවතේව කරන්න ගියොත්...කන්න දෙන එකකුත් නෑ....

    ReplyDelete
    Replies
    1. හි..හි.. එච්චරම වසයිද?

      Delete
    2. නැතුව ! නැතුව !...... :D

      කැඩුනු ලැපියෙක්ව හදා ගන්න පුළුවන් තැනක් දන්නවද ? දන්න විදිහට අම්මා පුවරුවට කෙළවෙලා...

      Delete
  11. හරිම වටින ලිපියක්.. මං මගේ ලැපියට කොයි තරම් වෙනස්කම් කරනවද කියල තේරුණේ මේක කියෙව්වම තමා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අද ඉඳන්වත් හොඳින් සළකමු.

      Delete
  12. හොඳ උපදෙස් ටිකක්. පිලිපදින්නෙ නැති එක තමයි ලෙඩේ; එක පාරක් අරක්කු හැලුනා. තව පාරක් කී බෝඩ් එක උඩ පැන්සල තියෙද්දිම ලැප් එක වැහුවා.

    මගේ යාලුවෙක් හිටියා පොර ලැප්ටොප් එකට කියන්නේ ඔඩොක්කු ටොපියා කියලා.

    ReplyDelete
  13. අපි නම් කියන්නේ ටොප් ලැට් එක කියලයි.

    ReplyDelete
  14. This really interesting post. Thanks for sharing!

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...