7.10.2016

හැත්තෑගණන්වල මිහිරි මතක ( පින්තූර කතාව )


අම්මා සන්තකව එකදාස් නවසිය හැටගණන්වල සිට මේ දක්වා සුරැකිව තිබූ පින්තූර එකිනෙක විනාශ වී යාමට පටන්ගෙන ඇතිබව දුටුවිට මා තුළ ජනිතවූයේ ශෝකයකි. අප කුඩා කාලයේ පටන් ඒ පින්තූර පෙන්වමින් කළ විස්තර ඊළඟ පරපුරට අහිමිවනු ඇතැයි සිතූ නිසා විනාශවීගෙන යන පින්තූර මම නැවත ඡායාරූපගත කළෙමි. අද ඔබට ගෙනෙන්නේ එයින් කිහිපයකි.

මෙම ලිපියට එකතුකළ පින්තූර සියල්ලම මඩු වන්දනා ගමන් දෙකකදී ලබාගත් ඒවාය. අද මෙන් ඡායාරූපගතකරණය සුලභ නොවූ එකල, මේ පින්තූර ලබාගෙන ඒවා සුරැකිව තබාගනිමින් කළ මෙහෙවරට ඔවුන්ට කෘතඥ වියයුතුය.

මේ පින්තූරත් ඒ සමඟම දෙමාපියන් පැවසූ විස්තරත් එකල අතිශය වැදගත් වූයේ යුද්ධය හේතුකොටගෙන තිස් වසරක් පුරාවට මඩු වන්දනාව ඇනහිට තිබූ බැවිනි. හැබැහින් යාමට නොහැකිවූ කල මේ පින්තූර වල මතකය ඔස්සේ ඔවුන් මඩු වන්දනාවේ යද්දී අපි කිසිදා නොදුටු මඩු පල්ලිය පින්තූරයකින් දුටුවෙමු. ඒ හා සම්බන්ධ විනෝදජනක, ත්‍රාසජනක කතා ඇසීමු.
මුලින්ම පළකරැති කළු සුදු පින්තූර, ඡායාරූප ක්ෂණිකව මුද්‍රණය වන කැමරාවකින් ගත් ඒවාය. ඒ පන්නයේ යැයි සිතියහැකි කැමරාවක පින්තූරයක් දැමූයේ මා මෙන් එම වර්ගයේ කැමරා හැබහින් දැක නොමැති අයගේ ප්‍රයෝජනය පිණිසයි. මේ පින්තූර අඟල් දෙකහමාර පමණ දිගැති සමචතුරස්‍රාකාර ඝන කඩදාසියක මුද්‍රණය කර තිබේ.


1. පාලමක දර්ශනයක්. මෙතැන කොතනදැයි හරියටම කීමේ මතකයක් මව්පියන්ට නැත. එක්කෝ ඔවුන් කියූ විස්තරය මට මතක නැත. දන්න ඇත්තෝ කියත්වා!


2. වන්දනා ගමන් විනෝද ගමන් යන අපි ඇළක දොළක බැස ජලස්නානය කිරීමට බොහෝ මනාපය. මේ මාගේ පියාත්, මාමලාත්, බාප්පලාත් දිය සොයා ගිය ගමනකි. මේ පින්තූරය පෙන්වන සෑමවිටකම පාහේ පසෙකින් පෙනෙන ගල් පාලමේ (බොහෝදුරට සොරොව්වේ) කැබලිවත් තිබේදැයි නොදන්නා බව අම්මා කියන්නීය. යුද්ධයෙන් මේ සියල්ල සුණුවිසුණු වන්නට ඇතැයි ඇය සිතන්නීය. එහෙත්.. 


3. මේ පින්තූරය ලැබුනේ අභීතගේ අඩවියෙනි. පාලම තවම යහතින්. [උපුටා ගැනීම]


4. මාගේ මව්පියන් මවගේ ඥාති සහෝදරියක සමඟ. පින්තූරයේ දකුණු පසින් පෙනෙනුයේ වන්දනාකරුවන් නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද කූඩාරමකි. ගෝනි, ඉටිරෙදි, රෙදි, සාරි ආදී නානා ප්‍රකාර අමුද්‍රව්‍යය යොදාගෙන ඉදිකරන මෙම පන්නයේ කූඩාරම් අදටත් සුලභය.


5. සුඛෝපභෝගී ප්‍රවාහන සේවා නොතිබූ ඒ කාලයේ වන්දනා කරුවන්ගේ හිතවතා වූයේ ලෑලි බොඩි ලොරියයි. ලොරියේ ඉහළ හෝ ලොරිය තුළ බඩු පුරවා, වන්දනාකරුවන් ලොරිය තුළ වාඩිලන්නේ පැදුරු එලාගෙනය. ඇතැමෙක් බංකු යොදාගනිති. එහෙත් එය කිසිවිටකත් සුවපහසු ආසනයක් නොවන්නේ මාර්ග පද්ධතියද අදමෙන් සුමට නොවූ නිසාය. 

කොලු කොරුට්ටෝ පොරකන්නේ ලොරියේ දොර අල්ලා ගැනීමටය. වෙනදා වසාගෙන යන දොර වන්දනා ගමනකදී පාත්කර එල්ලනු ලැබේ. එමෙන්ම හොඳ ශක්තිමත් කඹ කිහිපයක් යොදා සවිගන්වන්නේ හදිසි අනතුරු වළක්වාගැනීමටය. ලොරිය මැදින් කඹයක්ද අසලින් බංකුවක්ද වේ. වැඩිමහල් උදවිය මෙන්ම කාන්තාවන් ලොරියට නඟින්නේ ඒ දෙක ආධාරයෙනි. 

කෙතරම් විනෝදජනක වුවත් මෙය ඉතාම සෙමින් ගමන් කරන, 'ඇන්ජිම බොයිල් කරනවා රෝද රත්වෙනවා' කියමින් විටින් විට නවත්වන, ලොරියක දූවිලි කාගෙන පැය ගණනාවක් යායුතු ගමනකි.


6. පසුකාලයක රටට සාමය පතා දකුණට රැගෙන ආ ඓතිහාසික මරුද මඩු දේවමාතා ප්‍රතිමාව.


7. පැහැදිලි පින්තූරයක්. [උපුටා ගැනීම]


8. මඩු දේවස්ථානයේත් වන්දනාකරුවන්ගේත් පානීය ජල අවශ්‍යතාව සපුරාගන්නේ අසල පිහිටි වැව් දෙකක ජලයෙනි. එම නිසා එම වැව් වලට බැසීම එකල සපුරා තහනම් වූ බව මගේ මව පවසයි. මේ පින්තූරයේ දැක්වෙන්නේ ඒ වැව් ආශ්‍රිත වාන් දොරටුවකි.


9. A3 මාර්ගයේ මඩු බලායන සමහර වන්දනාකරුවන් පාලාවි හන්දියෙන් වමට හැරෙන්නේ එක ගමනින්ම තලවිල සාන්ත ආනා සිද්ධස්ථානයත් වැඳපුදා ගැනීමටය. මේ පින්තූරය තලවිල වෙරළේදී ගනු ලැබූවකි. පින්තූරයේ මැද සිටින්නේ අපේ තාත්තාගේ ලොකු අම්මාය ( ආච්චි ). දෙදහස් තුන හෝ හතර වර්ෂය වෙනතුරුම ජීවත්වූ ඇය සැබවින්ම දිරිය මවකි. තම දෑතින් පරපුරකටම යුතුකම් ඉටුකළාය. ඇය මියයනතුරුත් උපැස් යුවළක් භාවිතයෙන් තොරව හොඳින් පොතපත කියවූවාය.  


10. මඩු සිද්ධස්ථානය එදා.


11. මෙය ලොරි රථයක්ද බස් රථයක්ද කුමන වර්ගයට අයත්දැයි කීමට මම නොදනිමි. මාගේ මාමා සතුව තිබූ මෙය යොදාගෙන ඇත්තේ මගී ප්‍රවාහන කටයුතු වලටයි. දෙපස ආසන සවිකර තිබී ඇත. 

මේ ලොරියේ(?) ගිය ගමනත් එය අනතුරට ලක් වී මහ කැලෑව මැද රාත්‍රිය ගත කරන්නට සිදුවූ ආකාරයත් කොටින් (කකුල් හතරේ) දුටු හැටිත් ගැන ත්‍රාසජනක කතා මාගේ මව්පියන් සතුව ඇත. 

පින්තූරයේ සිටින මාමා පසුව ලොරිය විකුණා දමා විදේශගත වන්නේ අසූගණන්වල මුලහරියේය. කණගාටුවට කරුණ නම් සෞදි අරාබියට ගිය ඔහු ගැන මේ වනතුරුත් කිසිම ආරංචියක් නැතිවීමයි.


12. පොඩ්ඩන් ලෙස පෙනුනාට මාගේ මාමලාය.



13. හැමතැන හැමදෙනා සිනහා ගැන්වීමේ හැකියාවකින් යුතු බාප්පා දැන් අප හැරගොසිනි. මේ ඔහු තමන්ගේ වාඩියේ එදා ඉඳි ආප්ප පිළියෙල කළ හැටියි.


14. එදා දුම්රිය මාර්ගය තලෙයි මන්නාරම දක්වා වැටී තිබුණි. ඉන්දියාව වෙත ගෙන යායුතු මඟීන් භාණ්ඩ රැගෙන තලෙයි මන්නාරම් ජැටිය වෙත ගිය දුම්රිය නැවත ආවේ ඉන්දියාවේ සිට නැව් මඟින් පැමිණි ජනතාවත් භාණ්ඩත් පුරවාගෙනය. 

මේ පින්තූරය ලබාගෙන ඇත්තේ මඩු වන්දනා ගමන අතරතුර තලෙයි මන්නාරමට ගිය අවස්ථාවකි. අම්මා කියූ ආකාරයට මෙය කුණාටුවකට හසුවී මාර්ගය වැරදී වැල්ලේ එරී තිබූ නැවකි.


15. තවත් නාන තොටුපළක් සොයාගිය ගමනක්. සංගිලි පාලම උඩ සිටින්නේ තාත්තා හා ලොකු මාමාය.


16. පාලම තවමත් ඉතිරිව ඇත.[උපුටා ගැනීම]


17. ඉහත දැක්වූ සංගිලි පාලම මත සිට ලබාගත් ඡායාරූපයකි.


18. මඩු මංගල්‍යය අවසානයේ ප්‍රතිමාව වීදි සංචාරය කිරීම.


19. මඩු වන්දනාවේ පැමිණි අගමැතිතුමා. ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීතුමා ඔහුට පිටුපසින් සිටියි.

38 comments:

  1. මරු පින්තුර ටික මචෝ ලොරියේ මුණ නං මොරිස් ඔක්ස්ෆඩ් mo සීරීස් එකේ.දැක්කමත් ආසයි.යුගයට ගැලපෙන්න modify කරන්නැති.
    වාහන වලින් මඩු පල්ලි යන්න ඉස්සෙල්ල,කරත්ත වලින් යන කාලේ මීගමුවේ ඉඳං මඩු පල්ලිය දක්වා ගමනට සති දෙකකට වඩා ගියයි කියා අහ තියේ.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ මූන එහෙම පිටින්ම.
      http://www.simoncars.co.uk/morris/slides/Morris%20Oxford%20MO%201949%20front.jpg

      ස්තුතියි ස්තුතියි. එතකොට සිරිබිරිස් කියන්නෙ කාර් මූණක් තියලා මෙහෙ හදපු ලොරියක් කියලද මේක? එතකොට හතරවෙනි පින්තූරෙ තියෙන කාර් එක මොකක්ද?

      කලින් කරත්ත වලින් මඩු පල්ලි ගිය අයට මේ වගේ වාහනවලින් යන එකත් සුඛෝපභෝගී ගමනක් වෙලා තියෙන්න ඇති. දන්නවද? මෙහෙම ලොරියෙ ගිහිල්ලත් මඩු පල්ලියට ගිහින් තියෙන්නෙ පහුවෙනිදාලු. පාන්දර පිටත්වෙලා රෑ වෙනකොට මඟ කොහේහරි පල්ලියක නවතිනවාලු. පහුවෙනිදලු මඩු පල්ලියට යන්න ලැබෙන්නෙ.

      එහෙව් ගිය ගමන අද පැය පහෙන් යනකොට අම්මලාට මාර පුදුමයි.

      Delete
    2. එහෙම වෙන්න ඕනා මචෝ දැනෙන තරමින් ,හතරවැනි එකත් මොරිස් ඔක්ස්ෆඩ් තමා අරිට වඩා අලුත්, සීරිස් 5.යකඩ කඳන් අප්පා.

      ඒකාලේ කතා අහනකොට අපිට පුදුමයි කොහොමද බොලේ මාස ගණන් වන්දනාවේ යන්නේ කියල.
      යුග වල වෙනස.

      Delete
    3. ස්තුතියි ස්තුතියි. මට හිතෙන්නේ අපේ රට වල මිනිස්සුන්ට තමයි ගිම්හාන, සිසිර නිවාඩු නැතුව හැමදාම වැඩ කරන්නේ.

      Delete
  2. ඇයි අප්පොච්චියේ ඔය, 'පරණ පොටෝ අලුත් කරදෙනු ලැබේ' කියලා බෝඩ් ගහලා තියන පොටෝ සාප්පුවකට, ඔය පොටෝ ටික ඇන්න ගියානං අහවරයිනෙ.

    අර ගල් පාලම ගැන මම අභීතගේ අඩවියේම යමක් කියා ඇති.

    අරක නවීකරණය කළ ලොරි පොජ්ජක් තමා. ඔය විදිහේ එව්වා අපි පොඩි එවුන් කාලේ නිතරදකින්න ලැබුණා. වෙනම බස් තිබුණා, 'ඕපන් බොඩි බස්' කියලා හඳුන්වන.

    http://island.lk/userfiles/image/2013/11/03/BS-P-VI-03-11-(P)-tas-1.jpg

    ReplyDelete
    Replies
    1. පරණ ටිකටත් කෙලවිලා යයිද කියලයි බය. :) අභීතගේ අඩවියේ කියා තිබූ දේවල් බැලුවා. ආයේ මඩු ගියාම යන්න ඕනෑ මේ තැන් බලන්න.

      විචාරක මහත්මයාව මතක් උනා ඊයෙ මීගමු ගිය වෙලේ. පත සයිස් මඩුවෝ ලොරියක්ම බෑවා මාළු මාර්කට් එකේ.

      Delete
    2. හැක් හැක්, මඩු වලිග ටිකක් කපලා ලොරියකින්ම යවන්නයි තිබුනේ එතුමාට ඔන්න රජෝ ගහනවානම් මෙව්වා පාවිච්චි කොරන්න කියලා.

      අර ඕපන් බොඩි බස් එකක පින්තූරයක් මෙන්න මෙතන තියනවා.

      http://island.lk/userfiles/image/2013/11/03/BS-P-VI-03-11-(P)-tas-1.jpg

      Delete
    3. මඩු වලිග ටික මම හොඳට බැලුවා. අර කියපු කටුව දැක්කෙ නෑනෙ.
      ඉස්සර බස් වෙනුවට ලොරි දුවද්දි ත්‍රීවීල් වෙනුවට කාර් තිබිලා තියෙන්නෙ කුලී රථ විදිහට.

      Delete
  3. අපූරු පිංතූර ටික, එවලේම ෆොටෝ ප්‍රින්ට් උන ෆොටෝ මෙච්චර කල් තිබ්බ එක ලොකු දෙයක්.
    මගී ප්‍රවාහන ලොරි රථ 1980 මැද කාලය වෙනතෙක් වරකපොල --- කරවනැල්ල මාර්ගයේ තිබුන.
    ඒ කාලෙ වන්දනා චාරිකා සහ විනෝද චාරිකා අදට වඩා සුන්දරයි කියල තමයි හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අද කාලෙ මිනිස්සුන්ට විනෝද චාරිකා යන්නත් කොහෙද වෙලාවක්. එහෙම චාරිකාවක් ගියත් යන්න වෙන්නෙ දවසට දෙකට. ඒ ගියත් වැඩට යන්න ඕනෙ කියලා මතක්වෙද්දි මොන විනෝදයක්ද?

      ඒ කාලෙ අපේ වැඩිහිටියො මඩු ගියාම සතිය දෙක ඉඳලා ඇවිත් තියෙන්නෙ. දැන් වැඩිම උනොත් දවස් තුනයි.

      Delete
  4. අගනා පින්තූර ටිකක් හරී. පොලෝරොයිඩ් කැමරාවලින් ගන්න පින්තූර ගොඩක් කල් තබාගන්න බැරි බවයි මම අහල තියෙන්නෙ. එහෙම තියෙද්දිත් මේ ටික මේ ආකාරයෙන් පරිස්සම් කරගත්ත එක වටිනව.

    අර විදියට ලොරි තට්ටුවෙ ට්‍රිප් යන එකනං තවමත් කෙරෙනව. දැන්නං පාරවල් හොඳ හින්ද එච්චර අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙන්නෙ ඒ පින්තූර වල කල්පැවැත්මක් නෑ කියලා. කොහොමහරි මෙච්චර්කල්ම මේ පින්තූර යහතින් තිබුනා. දැන් දැන් තමයි පොඩ්ඩක් විනාශවෙන ලකුණු පෙන්වන්නෙ.

      ලොරි තට්ටුවේ යාමෙ අවුලෙ ගැස්සෙද්දි පස්ස අහුවෙන එක. :)

      Delete
  5. මිහිරි මතකම තමයි මෙව්වා කාලයක් ගිහින් ආයෙමත් මතක් කරනකොට.මමත් යන්න අසා ගමනක් ඔය "මඩු පල්ලි"

    ReplyDelete
    Replies
    1. ඔව්. අපිත් කාලයක් ගිහින් අපේ පින්තූර බලයි මේ වගේ.

      Delete
  6. මේ වගේ පැරණි ඡායාරූප දකිනකොට මට හැම විටම හිතෙන්නෙ අපිට ස්පර්ශ කරන්න බැරිවුනු අත්දකින්න නොලැබුනු ලෝකයකට පාරක් විවරවීමක් වගේ හැඟීමක්. අපේ ගෙදරත් තියෙනව පැරණි ඡායාරූප ටිකක්. ඒත් ඒවා අපේ නිවස - වටපිටාවෙ අරගතිපු පවුලෙ අයගෙ ඒවා. අපි හතර දෙනාගෙ ඉතා කුඩා අවදියෙ ඡායාරූපත් ඒ අතර තියෙනව. (අද අපි ඒව බලනකොට අලුත් පරම්පරාවෙ අයගෙ මූණු එක්ක ඒ මූණු සන්සන්දනය කරල බලනවා. :)) ඉතිං, හරීගෙ ඒවා පවුලෙ ඡායාරූප විතරක් නෙවි, රටේ ප්‍රසිද්ධ ස්ථානයක් හා බැඳුනු අතීතයක කතාවත් කියනව. ඉදිරි පරම්පරාවකට දකින්න හරි මෙහෙම සුරැකිව තිබෙන එකත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. පරණ පින්තූර දකිද්දි මම නිරීක්ෂණය කරන දෙයක් තමයි කාලයත් සමඟම රූපස්වභාවය වෙනස්වීම. අනික ඒ කාලයේ ඇඳන් ඉන්න ඇඳුම් දකිනකොට විකාර වගේ. මේ වගේ විකාර ඇඳුම් විකාර කොණ්ඩ මෝස්තර මිනිස්සු මොකට කළාද හිතෙනවා.

      Delete
  7. නියම පින්තූර ටික.... ඒ කලේ තිබුනේ ලස්සන කටුක සමාජයක්... හිත ගියා

    ReplyDelete
  8. වටිනා පින්තූර

    ReplyDelete
  9. අපූරු ලිපිය. පින්තූර ටික වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!. ඔබටත් ජයවේවා!

      Delete
  10. මේවා ඇත්තටම වටිනවා බන්.මේවෑ වටිනාකම තියෙන්නේ තව කාලයකුත් ගියහම. උබ දන්නවනේ කොළඹ තියෙන සමහර පැතිවල ඒ කාලෙ නිකමට වගේ ගහපු පින්තූර අද සෑහෙන ගානකට අලෙවි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මධුරංගයා මොකද එකපාරටම සංකල්පයා වෙලා.?

      ඔව් ඔව් පරණ වෙන්න වෙන්න තමයි වටිනාකම වැඩිවෙන්නෙ.

      Delete
  11. oya palama tiyenne MADU kittuwa. mal watu oya haras karala YODA wewada watura ganne othanin tama

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ කොයි පාලමද යාළුවා? උඩම තියෙන එකද ? නැත්නම් ගල් පාලමද?

      Delete
  12. අඩේ මචං තව තියනවද පරන ෆොටෝ

    ReplyDelete
    Replies
    1. තව එව්වා තියෙනවා. හැට ගණන්වල අපේ සීයා කෙනෙක් පිටරට ගිහින් ගහපුවා සෙට් එකකුත් තියෙනවා. ඒ ටිකත් දාන්න ඕනෑ.

      Delete
  13. ඇන්ටික් පෙරේතයෙක් විදියට මේ ඡායාරූප සියල්ලම ගොඩාක් රස වින්දා. විශේෂයෙන්ම පරණ වාහන වල පින්තූර...බොට ස්තූතියි හරී..

    ReplyDelete
    Replies
    1. රසවින්දා නම් ඒ ගැන සතුටුයි.

      ඒක නෙමෙයි සිරාගෙ කඩේ තියෙන්නෙ මීගමුවෙ කොයි හරියෙද?

      Delete
    2. මමයි මලයයි එකතු වෙලා කලේ...මලයට දිගටම කරගෙන යන්න දීලා මම අයින් වෙලා දැන් ඇඩ්වටයිසිං ෆර්ම් එකක වැඩ බං...මලයා ඉන්නෙ පළගතුරේ...

      Delete
    3. මමයි මලයයි එකතු වෙලා කලේ...මලයට දිගටම කරගෙන යන්න දීලා මම අයින් වෙලා දැන් ඇඩ්වටයිසිං ෆර්ම් එකක වැඩ බං...මලයා ඉන්නෙ පළගතුරේ...

      Delete
    4. මීගමු යන ගමන් ඒ පැත්තෙ එන්න ඇහුවේ. එහෙනම් කමක් නෑ.

      Delete
  14. මට මොකක්දෝ විස්තර කළ නොහැකි අපහසුතාවයක් ( ඒක කළකිරීමක් ද ! ) දැනුනා මේ ෆොටෝ බලලා...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ ඒ කාලයේම ඉන්න තිබුනා නම් හොඳයි වගේ එකක්ද?

      Delete
  15. පරිස්සන් කරල තිය ගනන් වටින හරි අපූරු පින්තුර ටිකක්..ස්තුතියි අපිටත් බලා ගන්න සැලැස්සුවාට..

    ReplyDelete
  16. නියම එකතුවක්... අපේ අම්මලා පොඩි කාලෙනන් මඩු, තලවිල එහෙම ගිහිල්ලා තියෙන්නේ කරත්තෙ... අද කරත්තයක් දකින්නෙත් කලාතුරකින්...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...