4.26.2016

මං ආදරෙයි ලැපී.

ලැපී, ලැපා, ලැප්පුව වගේ වචනයකින් අප හුරතලේට ආමන්ත්‍රණය කරන්නෙ අපත් එක්ක යන යන තැන්වල එන, අපේ වැඩ පහසු කරන, අපට විනෝදය සපයන, හෙළුවෙන් 'උකුළ් පරිගණකය' විදිහට හඳුන්වන, අපේම හුරතල් ලැප්ටොප් එකට.


ඕනෑම ලැපී කෙනෙක් ගනිද්දි කිරි ටොයියා වගේ බැබළි බැබළි තිබුනට, ගිනි කසයා වගේ වැඩ කළාට කාලයක් යද්දි ටිකෙන් ටික අබල දුබල වෙලා සදහටම අපිව හැරදාලා යනවා. ලෝකෙ හැමදේම අනිත්‍යය නම් ලැපීටත් ඉතින් එහෙම වෙන්න එපැයි. ඒත් ඕනෑවට එපාවට පාවිච්චි නොකර ආදරයෙන් ලැපීව බලාගත්තොත් එයා හිටපු විදිහටම වැඩි කාලයක් අපි ළඟම ඉඳී. ඉතින් මම අද කියන්න යන්නෙ ලැපීට ආදරය කරන්න පුළුවන් ක්‍රම විස්සක්. මේ ක්‍රම විස්සෙන් අඩුම ගානෙ කීපයක් හෝ අනුගමනය කළොත් ලැපීට දීර්ඝායු ලැබේවි.

4.19.2016

ඉන්නන් යන්නන් කරමු

මීට ටික කාලෙකට කලින් අපේ අම්මගෙ අතේ ඉන්නෙක් ඇතිවෙලා තිබුනා. අම්මා නම් කිව්වෙ ඉන්නෝ තිබ්බ කාගෙන් හරි බෝවෙලා කියලා. බෝවීම බෝ නොවීම කෙසේවෙතත් තියෙන ඉන්නෙක් යවාගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක්නෙ නේද? මම අහලා තියෙනවා සමහරු ඉන්නන් යවාගන්න රුපියල් දහස් ගණන් වැය කරන බව. 

අපේ අම්මා මේ ඉන්නට ප්‍රතිකාර ගන්න දන්න හඳුනන වෙද මහත්මයෙක් ළඟට ගියාම එයා ඉන්නෝ වෙදකමේ පළපුරුදු වෙනත් වෙද මහත්මයෙක් ළඟට යන්න උපදෙස් දීලා තිබුණා. ඒත් අම්මලා පාර වැරදිලා ගිහින් තියෙන්නෙ වෙනත් වෙද ගෙදරක. ඒ කොහොමවෙතත් හම්බුන වෙද මහත්මයා දුන්න ප්‍රතිකාරෙන් පැය විසිහතරක් යද්දි ඉන්නා හිටපු තැනක්වත් හොයාගන්න බැරිවෙන්නම අතුරුදහන් උනා. 

ඒ වෙදමහත්මයා දුන්න ප්‍රතිකාරය තමයි අනිත්ත කොළ ටිකක් අරගෙන දෙහි ඇඹුලෙන් උඅරච්චි කරලා ඉන්නා ඉන්න තැන දවසක්ම බැඳලා තියාගන්න එක. අම්මා නම් කිව්වෙ එහෙම කළාම ටිකක් ඔළුව කැක්කුම වගේ ගතියකුත් ආවා කියලා ඒකෙ සැරට. කොහොම උනත් ප්‍රතිකාරය හරියටම හරි. 

පහළ පින්තූරෙ තියෙන්නෙ අනිත්ත ගහක්. මේ ගහ හඳුනාගන්න තියෙන ලේසිම විදිහය තමයි සුදු පාට තාරාවෙක් (හංසයෙක්, පාත්තයෙක්) වගේ මලක් පිපෙන එක. 

කැමති කෙනෙක් ඉන්නවා නම් අත්හදා බලන්න. 
අනිත්ත මල් 

අනිත්ත ගහ

3.17.2016

කුළුඳුල් කොණ්ඩ කැපීම

පහුගිය ඉරිදා උදේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දි අපි හැමෝම ලෑස්ති උනේ විශේෂ ගමනක් යන්න. අපේ චුටි පුතාගෙ කොණ්ඩෙ කපාගෙන එන්න යන්න. කොණ්ඩ කපාගෙන එන්න යන එක විශේෂ ගමනක් වෙන්නෙ කොහොමද කියන එක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. මේක එයාගෙ පළමුවෙනි කොණ්ඩ කැපීම. ඒ උනත් ඒකෙත්  විශේෂයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මේ කෙටි ලිපිය ලියන්නෙ ඒ ගන පොඩි විස්තරයක් කරන්න.

සම්ප්‍රදායක් විදිහට කතෝලිකයෝ තමුන්ගෙ දරුවන්ගෙ කොණ්ඩෙ කපන්නෙ පල්ලියකදි. මේක පොඩි කාලෙ බව්තීස්ම කරනවා වගේ කතෝලිකයන් අනිවාර්යෙන් කළයුතු දෙයක් හෝ නිල වශයෙන් පිළිගන්නා දෙයක් හෝ නෙමෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායක් විදිහට කරගෙන යන දෙයක් වගේ. මේ විදිහට පල්ලියකදී මුලින්ම කොණ්ඩෙ නොකපන අයත් ඇති.

ගොඩක් දෙනෙක් මේ සඳහා තෝරාගන්නෙ ගර්භවාස දේවමාතාවන්ට (Mother of Expectation) කැපකළ දේවස්ථානයක්. මීගමුව කොච්චිකඩේ පැත්තෙත් ළදරුවන්ගේ කොණ්ඩ කැපීමට ප්‍රසිද්ධ දේවස්ථානයක් තිබුනත් අපේ පරම්පරාවෙම කොණ්ඩෙ ඉස් ඉස්සෙල්ලාම කපලා තියෙන්නෙ මට්ටක්කුලියේ ගර්භවාස පල්ලියේ තමයි. 
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය අවුරුදු එකසිය පනහකට වඩා ඉතිහාසයක් තියෙන පල්ලියක්. කුඩා ළමුන්ගෙ කොණ්ඩා කැපීමට පැමිණෙනවාට අමතරව දරු ප්‍රසුතීන් සඳහා පිහිට උපකාර පතාත් ජනතාව මේ පල්ලියට එනවලු.
ළමුන් තබන තොටිල්ල

අපි යනකොටත් ළමුන් කිහිපදෙනෙකුගේ කොණ්ඩ කපනු දකින්නට තිබුණා. අපේ පුතාගේ කොණ්ඩ කැපීමෙන් පස්සෙ වී කුරුල්ලො රංචුවක් නිදහස් කරන්නත් අමතක කෙළේ නෑ. එහෙම කරන්නේ ඇයි කියන්න හේතුවක් දන්නේ නැතත් කාලයක ඉඳන්ම මිනිස්සු කුරුල්ලො නිදහස් කරනවාලු. වී කුරුල්ලො ටිකට ඉගිල්ලිලා නොපෙනී යන්න තත්පර දෙකක්වත් යන්න නැතුව ඇති. 

ගර්භවාස දේවමාතා පිළිරුවක්      
Related Posts Plugin for WordPress, Blogger...