12.09.2016

ජූරියේ තීරණය

එක ජූරියක්. පුද්ගලයන් දොළොස් දෙනෙක්. එක තීරණයක්. ළමයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වෙන තීරණයක්. මම මේ විදිහට හැඳින්වූයේ 1957 වර්ෂයේ විකාශනය වෙච්චි 12 Angry Men (1957) කියන චිත්‍රපටිය ගැන. 

කාලයකට කලින් බලන්න කියලා අරන් තියාගත්තේ IMDB ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් තියෙන චිත්‍රපට මම එකින් එක බලාගෙන යමින් තියෙන හින්දා. රූපරාමු දැක්කම නම් මට හිතුනේ එච්චර සාර්ථක චිත්‍රපටියක් කියලා නෙමෙයි. ඒත් අන්තිමේදී කතාව රසවත්. 

පොතේ ලියවී ඇති නීතිය රීතිය කුමක් වුවත් එකිනෙකාගේ තීරණ වලට ඔවුන්ගේ පෞද්ගලික මතය එහෙම නැත්නම් අභ්‍යන්තරයෙන් එන සිතුවිල්ල කොතරම් බලපානවද කියන එක මනාව ප්‍රදර්ශනය වන තැනක් තමයි මේ චිත්‍රපටිය. 

ඕගොල්ලොත් වෙලාවක් තිබුනොත් බලන්න. 

11.20.2016

වාහනයට සේෆ්ටි සමඟ මගේ ෆෙංශුයි රහස්

අද නොවැම්බර් 20 වෙනි ඉරිදා උදේ පාන්දරම පල්ලි ගිහිල්ලා එන ගමන් ගත්තා මව්බිමක්. ගෙදර ඇවිල්ලා උදේට කන ගමන් ඒකේ මාතෘකා ටික කියවගෙන යන්න පටන්ගත්තා. මෙන්න තරුපති කියලා අතිරේකයක මේ දවස්වල බුකි තරුවකගෙ ලිපියක් තියෙනවා ෆෙංශුයි ගැන. ෆෙංශුයි වලට කුරුල්ලො යොදාගන්න හැටි. ඔන්න මම ඒක කියවන්න පටන් ගත්තා. 

ටිකක් කියවගෙන යද්දි ටිකක් වැදගත් තැනක් හම්බුනා. වාහනේ රිය අනතුරු වලින් ආරක්ෂාවෙන්න කුරුළු පිහාටු එල්ලන්නලු. මට මතක උනේ මරුටියේ එයාර් බෑග් නෑ, සේෆ්ටි නෑ කියලා කියන අපේ අයියලාව. දැන් උන්දැලා ඔක්කොටම පේන්නත් එක්ක එල්ලනවා වටේටම කුරුළු පිහාටු. 

පිහාටු ටික එල්ලලා ගෙට ආවට පස්සෙයි මතක් උනේ පත්තරේ නොතිබ්බ ෆෙංශුයි ක්‍රමයක් මමත් දන්නවා නේද කියලා. මේ ක්‍රමය වැදගත් වෙන්නේ ඕගොල්ලොන්ට මොනවාහරි දෙයක් අව්වේ දාලා වේලාගන්න ඕනෑ නම් තමයි. අපි හිතමුකො ගේ ඇතුළෙ පුස්කාලා තියෙන කරෝල ටිකක්, නැත්නම් අග්ගලා හදන්න බත් ටිකක් වගේ වේලාගන්න ඕනෙ කියලා. එතකොට කරන්න තියෙන්නෙ කලින් අහුලගෙන තියාගත්තු කාක්පිහාටුවක් එතන එල්ලන්න. ආපහු සැරින් සැරේ කාක්කො එලව එලවා ඉන්න ඕනෙ නෑ. 

මීටපස්සෙ කාක් පිහාටුවක් වැටිලා තිබුනාම අහක බලන් යන්න එපා. විශ්වාස කරන්න ඔබේ ජීවිතයේ දේවල් ආරක්ෂා කරන්න දෙයියෝ එවපු තෑග්ගක් කියලා. 

8.22.2016

හීනලන්තයෙන් හීන කේක්


මීට අවුරුදු කීපයකට කලියෙන් මම වැඩකරේ ඩෙනියෙක් එක්ක. මතකද මට ජෙරී වෙන්න උදව් වෙච්චි සුද්දො දෙන්නා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ කියන ඩෙනියා. මිනිහා පරිගණක දැනුමට අමතරව රටේ ලෝකෙ වෙන දේවල් ගැන කල්පනාවෙන් හිටපු, එක එක දේවල් ගැන දැනගන්න ආසාවෙන් හිටපු කෙනෙක්. මම වගේම. ;)



දවසක් කෑම බීම ගැන කතාවක් ඇදිලා ආවා. ඒ කතාව දිගටම යද්දි අපි ලංකාවෙ එක එක කෑම බීම ගැන එව්වා මිලදී ගන්න තියෙන තැන් එහෙම ගැන කතාවුණා. කතාව අන්තිමේදි හැරවුනේ ඩෙන්මාර්කයේ කෑම බීම දිහාවට. නානාප්‍රකාර ඩෙන්මාර්ක් කෑම අතර එයා බොහෝම හොඳින් විස්තර කරපු කෑමක් තමයි 'හීන කේක්' එහෙම නැත්නම් Dream Cake කියන්නෙ.


කියපු විස්තරේට අනුව නම් මේක නිකම් මිහිරි හීනයක් වගේ. වැනිලා මිශ්‍ර පොල් වලින් රස කවපු අතුරණයක් එක්ක මෘදු මෙලෙක් කේක් කන්න ඕනෙ කෙනෙක් ආසයි කියලයි එයා කිව්වෙ. මම දිගටම විස්තර අහලා බලපු හින්දා මට කෑම වට්ටෝරුවකුත් හොයලා දුන්නා හදලා බලන්න කියලා. ඉතින් ඒ විදිහට ලැබිච්ච වට්ටෝරුව අවුරුදු කීපයක් හැංගිලා ඉඳලා පස්සෙ දවසක ඇත්තටම හීන කේක් එකක් උනා.

ඉතින් මම මේ හදන්නෙ අනික් ඔක්කොටම හීන කේක් කවන්න මං ගානෙ. දහදෙනෙකුට විතර ඇතිවෙන්න හදන්න ඕනෙ වෙන ද්‍රව්‍ය්ය කියලයි තිබුනෙ. ඒත් එක් එක්කෙනාගෙ බඩේ හැටියට ඒක වෙනස් වෙයි මම් හිතන්නෙ.

මේ තියෙන්නෙ කේක් එකට ඕනෙ කරන දේවල්.

  • බටර් ග්‍රෑම් 75
  • කිරි මිලි ලීටර් 100ක් එහෙම නැත්නම් කෝප්ප බාගයක්
  • තිරිඟු පිටි ග්‍රෑම් 125
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බිත්තර 2
  • සීනි ග්‍රෑම් 125
  • වැනිලා ස්වල්පයක්
  • ලුණු තේ හැඳි 1/4

අතුරණයට ඕනෙ දේවල්

  • බටර් ග්‍රෑම් 150
  • දුඹුරු සීනි ග්‍රෑම් 250
  • කිරි මිලි ලීටර් 50ක් (කෝප්ප 1/4)
  • හීනියට ගාගත් පොල් ග්‍රෑම් 200

මුලින්ම කරන්න තියෙන්නෙ අවන් එක පොඩ්ඩක් රත්කරගන්න එක. සෙල්සියස් අංශක 195ට එහෙම නැත්නම් ෆැරන්හයිට් අංශක 380ට විතර අවන් එක රත්කරගන්න. ඒ අතරෙ අඟල් 9X9 විතර තැටියක් අරගෙන බටර් ටිකක් පිටි ටිකක් දාලා කාරිය කේක් එක දාන්න සූදානම් කරගන්න.

ඊටපස්සෙ පොඩි සාස්පානක් අරගෙන ඒකට බටරුයි කිරියි දාලා මඳගින්නෙ රත්කරගන්න බටර් ටික මෙලෙක් වෙනකම්. දැන් මෙලෙක් වෙච්ච බටර් කිරි මිශ්‍රණය තියන්න පැත්තකින්.

ඊළඟට පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි හොඳට කලවම් කරගෙන ඒක පෙනේරෙකින් හලාගෙන  පැත්තකින් තියන්න.

දැන් තමයි ඔන්න අපි වැඩේට බහින්න යන්නෙ. ලොකු බෝල් එකක් අරගෙන බිත්තර ටිකයි සීනියි එකට දාලා හොඳට බීට් කරගන්න. මුළු මිශ්‍රණයම ලා කහපාටට ඝන වෙනකම්ම බීට් කරගන්න. මේකට විනාඩි පහක් දහයක් යයි බීටරයකින් කරනවා නම්. ඊටපස්සෙ වැනිලා ටිකයි ලුණු ටිකයි දාලා හොඳට කලවම් වෙනකම් ආයෙ බීට් කරන්න. 

දැන් මේ මිශ්‍රණයට හලාගත්තු බේකින් පවුඩර් හා පිටි මිශ්‍රණයෙන් බාගයක් දාන්න. ඔක්කොම එකපාර දාන්න එපා. හැන්දකින් ටික ටික දාන ගමන් හොඳට කලවම් කරගන්න. පිටි මිශ්‍රණයෙන් බාගයක් ඉවර උනාට පස්සෙ පිටි දාන එක නවත්වලා ගන්න බටර් මිශ්‍රණය ඒකෙත් බාගයක් වෙනකම් ටිකෙන් ටික දදා කලවම් කරගන්න. ඊටපස්සෙ මිශ්‍රණ දෙක ඉවර වෙනකම් ටික ටික දදා කලවම් කරගන්න. 

දැන් මිශ්‍රණය පදමට ඇවිල්ලා නම් ඒක බේක් කරගන්න වෙලාව හරි. කලින් ලෑස්තිකරගත්තු තැටියට මිශ්‍රණය දාලා මිනිත්තු 20ක් විතර බේක් කරගන්න. මිශ්‍රණය හොඳට බේක් වෙලාද බලන්න පුළුවන් ටූත්පික් එකකින්. ඇතුළට දාපු ටූත්ප්ක් එකක් කිසිවක් නොගැවී එළියට එනවා කියන්නෙ කේක් එක බාගන්න කාලෙ හරි කියලයි.

අපිට පුලුවන් කේක් එක බේක් වෙනකම් උඩට දාන අතුරණය හදාගන්න. ඒකට අතුරණය සඳහා වෙන්කරපු බටර්, දුඹුරු සීනි, කිරි ටික ඔක්කොම සාස්පානකට දාලා මඳගින්නෙ රත්කරන්න. මේ මිශ්‍රණය සැරෙන් සැරේ හැඳි ගාන්න මතක තියාගන්න. මිශ්‍රණය නටාගෙන එද්දි ඒකට පොල් ටික දාලා විනාඩියක් තියලා ලිපෙන් බාගන්න.

දැන් ඉතින් කේක් එක එළියට එනකන්නෙ අපි බලන් ඉන්නෙ. කේක් එක එළියට ගත්තු ගමන්ම අවන් එක සෙල්සියස් අංශක 210ට එහෙම නැත්නම් ෆැරන්හයිට් 410 රත්කරගන්න පටන්ගන්න. අවන් එක රත්වෙනකම් අපිට පුළුවන් අතුරණය ටිකෙන් ටික කේක් එක උඩ අතුරන්න. කේක් එක උඩට ඔක්කොම දාලා වණ කරගන්නෙ නැතුව ටිකෙන් ටික දාන්න. 

අවන් එක නියමිත උෂ්ණත්වයට ආවට පස්සෙ කේක් එක මිනිත්තු 5ක් විතර බේක් කරගන්න. 

ඔන්න තියෙනවා හීන කේක්.


Related Posts Plugin for WordPress, Blogger...