11.07.2011

අන්තිම ආලේපය

මළවුන්ගෙ මාසෙ ඉතින් මළවුන්ට සම්බන්ධ ලිපි දානවා කිව්වනෙ. අදත් ඒවගේ ලිපියක් තමයි දාන්න
යන්නේ. මේක නම් කතන්දරයක් නෙමෙයි බුද්ධියට යමක්. කියවලා බලමු. කතන්දර කියවන්න වැඩිපුර කැමති කට්ටියට කලින් දාපු මළවුන්ගෙ කතා තුන මෙතනිනුයි මෙතනිනුයි මෙතනිනුයි බලන්න පුලුවන්.

අද කියන්න යන්නෙ කෙනෙක් මරණාසන්න වුනාම කතෝලික ආගමේ කෙරෙන චාරිත්‍රයක් ගැන. මම දන්නා තරමින් නම් අපේ රටේ තියෙන වෙනත් ආගම් වල මෙවැනි චාරිත්‍රයක් නෑ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්.

අන්තිම ආලේපයෙන් කෙරෙන්නෙ මරණාසන්න කෙනෙක්ව එයාගෙ මරණයට සූදානම් කිරීම. මට හිතෙන හැටියට ආගමික චාරිත්‍රයකටත් වඩා මානසික ප්‍රතිකාරයක් තමයි එතනදි සිද්ධ වෙන්නෙ. කතෝලික කෙනෙක් මරණාසන්න වෙලාවක නැදෑයන්ගෙ හෝ අසල්වාසී කෙනෙකුගෙ යුතුකමක් තමයි හැකි ඉක්මණින් පියතුමෙකු කැඳවන එක. මේ මරණාසන්න අවස්තාව ලෙඩ දුකක් නිසා ඇතිවන මරණාසන්න අවස්තාවක් හරි වයස්ගත වීමෙන් ඇතිවෙන මරණාසන්න අවස්තාවක් වෙන්න පුලුවන්. ඉතින් ඔය කොයික වෙතත් එහෙම මරණාසන්න රෝගියෙකු බලන්න එන්න ඕනෙ වෙලාවක පියතුමෙක් බෑ කියන්නෙ නෑ. මහ රෑ වුනත් පාන්දරක වුනත් එනවා. පියතුමා ආවට පස්සේ බලනවා අදාළ පුද්ගලයාගෙ රෝගී තත්වය. රෝගියාට සිහිය තිබෙනවානම් පාපෝච්චාරණය කිරීමත් දිව්‍ය සත්ප්‍රසාදය දානය කිරීමත් ශුද්ධවූ තෙලින් ආලේප කිරීමත් සිදු කරනවා. රෝගියාට සිහිය නැත්නම් ඔහුව ශුද්ධවූ තෙලින් ආලේප කරලා ඔහු කර ඇති පව් වලට සමාව ඉල්ලලා යාච්ඤා කරනවා.

අන්තිම ආලේපය ලබා දීමෙන් රෝගියාට තමන්ගේ මරණයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. තමුන් මෙලොව ජීවිතයේදී කරපු පව් ගැන පසුතැවිලා සමාව අරන් තමුන් ස්වර්ගයට යනවා කියලා සතුටින් යෑමේ මානසික තෘප්තියත් ලැබෙනවා කියලා කියන්න පුලුවන්. කතෝලික විශ්වාසයට අනුව නම් සිහිය නැති රෝගියෙකුට අන්තිම ආලේපය ලබාදුන්නත් පාපෝච්චාරණයක් නැතිවම ඔහු කර ඇති සුළු වැරදි වලට සමාව ලැබෙනවා. ඒක නිසා හදිසි අනතුරකින් මියගිය පුද්ගලයෙකුට පැය තුනක් ඇතුලත ලබා දෙන අන්තිම ආලේපය වලංගු හැටියට පිළිගන්නවා.

ඒත් පස්සෙ කාලෙක මතයක් ආවා. අන්තිම ආලේපය නිසා රොගීන්ගේ මානසිකත්වය බිඳවැටෙනවා කියලා හරියට ඉස්පිරිතාලෙ වටේ තියෙන මල්ශාලා දැක්කම වගේ. දැන් දැන් මල්ශාලා අයින් කරගෙන යනවා වගේ කතෝලික සභාවත් මීට කාලෙකට කලින් තීරණය කළා අන්තිම ආලේපය දීම නතර කරන්න. ඒ වෙනුවට දැන් රෝගීන්ගේ ආලේපය(Anointing of the Sick) තමයි දානය කරන්නෙ. රෝගීන්ගේ ආලේපය ලබාගන්න මරණාසන්න වෙන්නම ඕනෙ නෑ. තමුන්ට අසාධ්‍ය රෝගයක් තියෙනවානම් ලබාගන්න පුලුවන්. කරන දේවල් නම් අන්තිම ආලේපය වගේමයි. ඒත් රොගීන්ගේ ආලේපය ලැබීමෙන් තමුන්ගේ රෝගය සුව වීමට ශක්තිය වගේ මෙලොවින් යන්න වුනොත් ඒ සඳහා සූදානමද ලැබෙනවා.

ප.ලි.: හැමෝටම තේරුම් ගන්න පහසුවෙන්න චාරිත්‍රයක් කියලා භාවිතා කරාට කතෝලික සභාවේ භාවිතා වෙන්නේ සක්‍රමේන්තුව කියන වචනෙ. සක්‍රමේන්තුවක් කියන්නෙ ජීවිතයේ විවිධ අවස්තා වලදි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම් කියලා කිව්වොත් තේරෙයි මම හිතන්නෙ. අපිට ලබාගන්න පුලුවන් ඒවගේ සක්‍රමේන්තු හතක් තියෙනවා. කෙටියෙන් කියන්නම්.

1.ප්‍රසාද ස්නාපනය - කතෝලික සභාවට කෙනෙක් ඇතුලත් කරගැනීම.
2.පාපෝච්චාරණය - තමුන්ගෙ පව් වලට සමාව ලබාගැනීම.
3.දිව්‍ය සත්ප්‍රසාදය - ජේසුස් වහන්සේව ලබා ගැනීම.
4.අභිවෘද්ධි ආලේපය - වැඩිහිටියෙක් බවට පත් වීම. කනේ පාරකුත් කන්න වෙන වැඩක්.
5.ආශිර්වාදකාර බන්ධනය - විවාහය.
6.පූජාත්වරය - පියතුමෙක් වීම.
7.රෝගීන්ගේ ආලේපය - කියපු එක.

ප.ප.ලි.: කාටහරි මේ ලිපියෙ තියෙන දෙයක් නිවැරදි කරන්න. එයට යමක් එකතු කරන්න. ප්‍රශ්නයක් තියෙනවානම් අහන්න අයිතිය තියෙනවා.

11.05.2011

පණපිටින් වැළලුනොත්....

බුරීඩ් (Buried) බයිස්කෝප් එක බලලා තියෙනවද? එකේ තියෙන කතාවක් හැබැයින් සිද්ධවුණ හැටි කියන්නයි යන්නේ. මළවුන්  ගැන කියනවා කිව්ව කතාවක් තමයි මේකත් ඉස්සෙල්ලා ඒවා වගේම. ඉස්සෙල්ලා කතා  දෙකම  සීයාගේ  කතා වුණාට මේකනම් වෙන කාගෙන්හරි අහපු එකක්. එකක් කිව්වට ඉතින් මෙතන දෙකක්ම තියෙනවා.

පළවෙනි කතාව අදාළ වෙන්නෙ අපේ තාත්තට උගන්නපු ගුරුතුමෙකුට. ඔය ගුරුතුමාව දවසක් සර්පයෙක් කාලා තියෙනවා ගමනක් ගිහින් රෑ පානෙ ගෙදර එද්දී. ඒ කාලෙ ඉතින් අද වගේ විදුලි බලය තිබ්බ කාලෙකුත් නෙමෙයිනෙ. හුළු එළියෙන් ගමන් බිමන් ගිය කාලෙනෙ. ගුරුතුමාට හොයාගන්න බැරිවෙලා තියෙනවා මොකාද කාලා තියෙන්නෙ කියලා. කොහොමහරි ඉතින් ගෙදර ඇවිල්ලා. පස්සෙ පස්සෙ හොඳටම අමාරු වුනාලු. ඔහොම ටික කාලයක් යනකොට සිහිය නැති තත්වයට පත්වුනාලු. කෝමා තත්වය වෙන්න ඇති.

ඔහොම මාසයක් විතර ඉඳලා තිබිලා තියෙනවා. ඊටපස්සෙ තමා තීරණය කරලා තියෙන්නෙ මියගිහින් කියලා. තීරණය ගත්තේ දොස්තරලාද කවුද කියලා මට පැහැදිලි නෑ. ඉතින් මිනිය එම්බාම් කරන්න පටන් අරන් තියෙනවා. ඉස්සරකාලෙ මිනී එම්බාම් කරලා තියෙන්නේ ගෙවල්වලමනෙ. අනික දැන් වගේ ෆෝමලීන් ගැහීම වෙනුවට කරලා තියෙන්නේ ඇඟේ කොටස් ඉවත් කිරීම.

ඉතින් ඔහොම කොටස් ඉවත් කරන්න කපනකොට හුඟක් ලේ ගියාලු. ඒ වගේම කෙඳිරියකුත් පිටවුනා කියනවා. ඒ කියන්නෙ මනුස්සයා පණ පිටින් ඉඳලා තියෙන්නෙ. ඔය විදිහට අකාලයේ මනුස්ස ජීවිතයක් නැතිවෙලා තියෙනවා.

මට තියෙන ප්‍රශ්නෙ සර්පයෝ කෑවාම ඔහොම කෝමා වගේ තත්වයකට පත්වෙන්න පුලුවන්ද? අනික කෝමා තත්වයකදී හුස්ම ඉහල පහල යන්නේ නැද්ද? දන්න කට්ටිය කියන්නකො.

බුරීඩ් චිත්‍රපටයේ සිද්ධිය තියෙන්නේ දැන්. මම පණ්ඩිතයා වගේ කිව්වට මම බලලත් නෑ. ඒත් කතාව නම් මැරිලා කියලා හිතලා වලලපු මනුස්සයෙක් ජීවිතේ බේරගන්න උත්සාහ කරන හැටිලු. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ පොඩි ලමයෙකුට. මේ ළමයා ජීවත් වෙලා තියෙන්නෙ මම ඉපදෙන්නත් කලින්.

දවසක් සෙල්ලම් කර කර ඉද්දී පොල්කටු දෙකක් ඕනවෙලා තියෙනවා මේ ළමයට කෝම්පිට්ටු හදන්න. ඉතින් කෝම්පිට්ටු කෙසේවෙතත් දරගොඩේ හිටපු සර්පයෙක් මේ ළමයව කාලා. පස්සෙ ඉතින් දන්න කියන තැන්වල ගිහින් වෙදකම් කරත් හරි ගිහින් නැහැ. පස්සේ අන්තිමට තීරණය වෙලා තියෙනවා ළමයා මියගිහින් කියලා. ඊට පස්සේ භූමදාන කටයුතු කරලා දානෙත් දීලා.

දෙතුන් දවසක් ගියාට පස්සේ සාස්තර කාරියෙක් ඇවිත් තියෙනවා ගෙදරට. සාස්තරකාරිගේ සාස්තරේට අනුව අම්මට කියලා ඔයාගෙ ලමයෙක් නම් අකාලයේ මිය ගිහින් වෙන්න බෑ කියලා. මේකෙන් බයවෙච්ච අම්මා ගිහිල්ලා අංජනමක් බලන්න. ඒකෙදි කිව්වවිදිහට නම් ලමයා මැරිලා නෑ. පණ පිටින් වලලපු ලමයා පෙට්ටිය ඇතුලෙදි අනිත් පැත්ත හැරිලා ඉන්නවා කියලා කිව්වලු.

ඊටපස්සේ කට්ටිය කලබල වෙලා මිනිය ගොඩ අරං තියෙනවා. එතකොට ළමයා හිටියේ මැරිලා වුනත් හිටියේ අනිත් පැත්ත හැරිලාලු.

ප.ලි: මේක ඒ දවස්වල අහනකොට අමූලික ඇත්ත වගේ හිතුනත් මේක ලියද්දී පොඩි පොඩි කොස්සවල් හිතුණා. ඒවත් ඉතින් මමම ලියන එක හරි නෑනෙ. දැන් මට හිතෙනවා මේවා නිකං කට කතාද කියලත්. හැබැයි ඉතින් අපේ ගමේ කාගෙන්හරි ඇහැවුවොත් කියයි ඕක වුනේ අහවලාටනෙ කියලා. ඒක නිසා තමයි කෙලින්ම අහක දාන්නත් බැරි.

ප.ප.ලි: සර්පයෝ කාපුවම ඔහොම වෙනවද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියලා යන්න. ඒ වගේම දූත ලක්ෂණ අනුව සතා මොකාද කියලා හොයන සාස්තරේ ගැන ලිපියක් ලියන්න කැමති කෙනෙක් ලියනවානම් තමා හොඳ.

11.04.2011

ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං......

මම කලින් කතාවක  කිව්ව සීයා කියපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේකත් මළවුන්ට සම්බන්ධ තවත් නිකංම නිකං කතාවක් .

මට මතක හැටියට නම් මේක අවුරුදු බර ගාණකට කලින් වෙච්ච කතාවක්. වෙච්චද කියලා නම් හරියට කියන්න බෑ. මොකද කවුරුහරි ගොතපු එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කරනවා කියලා නම් සමාජයේ මතයක් තිබ්බා මම පොඩි කාලෙ නම්. මෙහෙම කරන්න ගිය වෙලාවල සමහර මැරිච්ච අයත් නැගිටලා තියෙනවා කියලා තමයි ඒ දවස්වල කියවුනු ගොඩක් කතන්දර වල තිබුනෙ.

ඒ කාලෙ හොරු කට්ටි ඉඳලා තියෙනවලු. හොරු ඉතින් කොයි කාලෙත් ඉඳලා තියෙනවනෙ. නෑ.. නෑ.. මේ කියන්න යන්නේ වෙනම හොරු කට්ටියක් ගැන. ඒ හොරු ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් මොකුත් අරගෙන නෑ මැරිච්ච මිනිස්සුන්ගෙන් තමයි හොරකම් කරලා තියෙන්නේ. නෙදකින් මැරිච්ච වුන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති එවුන්. අපි එහෙම හිතුවත් ටිකක් සාධාරණව බලද්දී මැරිච්ච මිනිස්සුන්ට වැඩක් නැති දේවල් අරගෙන ජීවත් වුනාම මොකද කියලා හිතෙන එකත් අසාධාරණ නෑ.

Related Posts Plugin for WordPress, Blogger...