1.24.2012

මම දුටු කොටි..................2

මඩු පල්ලිය
මම කියාගෙන යන්නෙ මම ඇත්ත කොටි මුණගැහිච්ච හැටි කියලා කලින් ලිපිය කියවපු අය දන්නවා ඇති. කලින් ලිපිය බලන්න බැරිවුණා නම් මම දුටු කොටි..1 කියවලා එන්න. ඊට කලින් පෙන්නපු මගේ කොටි නැටුනුත් බලලා ආවානම් කතාව තවත් රසවත් වෙයි. එහෙනම් එදා නවත්තපු තැනින් කතාව පටන් ගමු.

එදා කතාව නවත්තනකොට අපි හිටියේ කොටින්ගේ මුරපොළ ගාවනෙ. මතක ඇතිනෙ සුදු කමිස කලු කලිසම් ඇඳපු කට්ටිය අපිව චෙක් කොරලා රේගු ලේබල් අලවලා යන්න අවසර දීපු හැටි.

දූවිලි පිරුණු පාරෙ හිමින් හිමින් ආපු අපේ වාහන මඩු කඳවුරට ඇතුළු වෙද්දී උදේ 10ට විතර ඇති. මඩු කඳවුර කියන්නෙ මඩු පල්ලිය වටා ඇති වන්දනාකරුවන් ලැගුම් ගන්නා කඳවුරු භූමිය. මංගල්‍යය කාලයට විතරක් එළිපෙහෙලි වන කඳවුරු භූමිය අනික් දිනවල ඝන කැලෑවක්. මංගල්‍යය කාලයට ඒ අවට සතුන් භූමියෙන් ඉවත් වන බව විශ්වාස කෙරෙනවා. ඊටපස්සෙ මංගල්‍යය ඉවර වෙනවාත් එක්කම ඒ සතුන් නැවත තමුන්ගේ වාසස්ථාන කරා එනවාලු. ඒ විශ්වාසයන් ගැන පසුව කියන්නම්. කඳවුරු භූමිය ඇතුලේ පාරවල් වල ගමනාගමනය භාරව තිබුනේ එල්.ටී.ටී.ඊ. පොලීසියට. ගමනාගමනය මනා ලෙස සංවිධානය කර තිබුනත් සන්නිවේදන ගැටළු නිසා ලොකු පරිප්පුවක් කන්න සිද්ධවුණා. යන යන හැමපාරෙම වන්වේ වන්වේ කිය කිය ඉස්සරහට යන්න දුන්නේ නෑ කොටි පොලිස්කාරයොයි බාලදක්ශයොයි. සමහර පාරවල් නම් පයින් යන මිනිස්සුන්ට විතරයි වෙන් කරලා තිබුනේ. කොහොමහරි ලොකු කට්ටක් කාලා වාඩියක් ගහන්න තැනක් හොයාගත්තා. ඊට පස්සේ වාඩිය ගහලා උයලා කාලා ඉවර වෙනකොට එදා දවස හරි.

කඳවුරේ සාමාන්‍යය දින චරියාව ගැනත් නොකිව්වොත් අඩුවක්. මුල්ම එක තමයි උදේ පාන්දර නැගිටීම හෙවත් එපාම කරපු වැඩේ. උදේ පල්ලි යන්න ඕනෙ නිසා මූණ හෝදගෙන ලෑස්ති වෙන්නත් ඕනනෙ. ඊළඟට මූණ හේදීම ඇතුළු අනෙකුත් වැඩ. මෙව්වා පල්ලියෙන් සපයලා තිබුනත් අම්බානක පෝලිම. අපි නම් පෝලිම්වල ඉන්න ගියේ නෑ ළඟපාත තිබ්බ පණ්ඩීරිච්චාන් ගමට ගිහින් සල්ලි දීලා වතුර ගත්තා. ඊළඟට පල්ලි යෑම, දවල්ට උයන එක, ආයෙ නාන්න යන එක, කන එක, හවස පල්ලි යන එක තමයි දවසේ රාජකාරි. ඊට අමතරව කඩමණ්ඩියට යන්න වගේ එව්වා වැටෙන්නත් පුලුවන්. ඉස්සර අපේ තාත්තලා නම් කැලේ ඇතුලෙ නාන්න ගිහින්, පළතුරු කඩන්න ගිහින් ඒ වගේම තැන් තැන්වල ඇවිදින්නත් ගිහින්. ඒත් අපි නිකන් කූඩුවකට කොටු වෙච්ච සත්තු වගේ තමයි හිටියේ. ඒ වගේ කාලයක් නම් ආයෙ එන එකක් නෑ. කොටි පාලනය නැති වුණාට පස්සේ හමුදාවෙන් කඳවුර අවට යන්න දෙන ඉඩ තවත් අඩු කරලා කියලයි ආරංචි. යුද්ධයේ ශාපය තමයි. ඕවා ඔක්කොම ඉවර වුනත් බිම් බෝම්බ දහස් ගණන් වලලලා තිබ්බ කැලේක කොහොමද බය නැතුව ඇවිදින්නෙ.

කොටි පොලිස්
කඳවුර ඇතුලේ පාලනය සම්පූර්ණයෙන් තිබුනේ කොටි පොලීසිය අතේ. ඔය පිංතූරෙ තියෙන විදිහට නිල ඇඳුම් ඇඳපු ගෑණු පිරිමි දෙගොල්ලොම හිටියා හැම හන්දියක් ගානෙම වගේ පාරෙ යන මිනිස්සු පාලනය කරන්නත් වාහන පාලනය කරන්නත්. කවුරුත් අතේ අවි ආයුධ තිබුනේ නෑ පොලිස් ලොක්කන් අතේ හැරුනාම. පොලිස් ලොක්කන්ට බයික් එකකුත් පොඩි පිස්තෝලෙකුත් තිබුණා. ඔය පිංතූරෙත් ඉනේ ගහන් ඉන්නෙ ඒකක් තමයි. සාමාන්‍යයෙන් වන්දනාකරුවන් ඉන්න කඳවුරක නීතියක් තියෙනවානෙ. ක්‍රීඩා කිරීම, සංගීත භාණ්ඩ වාදනය, මත්පැන් භාවිතය වගේ දේවල් තහනම්නෙ. හැමතැනකම ඔය නීති තිබුනත් අකුරට ක්‍රියාත්මක වෙනවා දැක්කේ එහෙ විතරයි. දැන් කියන්න එපා කොටි පාලනයට ආවඩනවා කියලා. කවුරු කෙරුවත් හොඳදේට හොඳයි කියන්න ඕනනෙ. පාරෙ පයින් යනකොට නම් කොටි පොලීසියේ ක්‍රියාකාරකම් ගොඩක් දැක්කා. එකක් කියන්නම්කො.

මම දැක්කා එක කොල්ලෝ කට්ටියක් පාරෙ වමෙන් යනවා මම හිතන්නෙ දෙමළ කට්ටියක්. පොලිස් කෙල්ලෙක් ඇවිත් කිව්වා දකුණෙන් යන්න කියලා. උන් ඉතින් ගනන් ගත්තේ නෑ. හිනාවෙලා නිකන් හිටියා. කෙල්ල බැන්නා. ඒත් උන් යනවා ගානක් නැතුව. ඒකි ආවා යක්ශාවේස වෙලා ඇදලා දැම්මා කොල්ලො ටික එහා පැත්තට. උන්ට කතා නෑ. අනික කුණු කෑල්ලක් පාරෙ දැම්මොත් අහුලලා දෙනවා අතට. ඔය වගේ තද නීති තමයි තිබුනේ. උන්ගෙ ආඩම්බර බලන්න අපි මොකට යන්නද කියලා හිතෙනවා නේද? ඒත් ඉතින් නීතිය නීතිය හැටියට තිබීම නම් හොඳයි මට හිතෙන හැටියට. අනික කඳවුර ඇතුලේ සිගරට් එකක් පත්තු කරන්නවත් දුන්නේ නෑ. බූරුවා ගගහා හිටපු දෙමළ සෙට් එකක කුට්ටම උස්සනවාත් මම දැක්කා. ඔය ඉතින් පොලීසියෙ සීන් වලින් ටිකක්.

පොලීසියට අමතරව කඳවුර පුරා එහෙ මෙහෙ ගිය ළමා සොල්දාදුවො හිටියා. මම හිතන්නේ උන් නම් කඳවුර පාලනයට ආපු උන් නෙමෙයි. එක්කෝ මංගල්‍යයට ගෙදර එන්න ලැබුනු එවුන් වෙන්න ඇති. වටේ පිටේ ගෙවල් වල එව්වෝ නිවාඩුවට ඇවිත් පේන්න කිට ඇඳන් යනවද කියන්නත් බෑ. උන්නම් අපි කොටි කියන ටෙම්ප්ලේට් එකේ හිටියෙ. කොන්ඩෙ අවුල් කරගත්තු කට්ටකලු එවුන්. කෙල්ලො එහෙම කොටු කොටු කමිස අර සිංහලෙන් චෙක් සර්ට් කියන්නෙ අන්න එව්වා ඇඳලා උඩින් බෙල්ට් එක දාලා කොණ්ඩ කරල් ගොතලා හිටියේ. ඔය පිංතූරෙ බලන්නකො. ආයුධ නැතිවුනත් දැක්කම බය හිතෙනවා.
ළමා සොල්දාදුවො

ඔය අතරෙ දවසක් දෙකක් කඩමණ්ඩියට යන්නත් මට සිද්ධ වුණා. වැඩේ කියන්නේ මෙහෙ උන් හිතන විදිහටම එහෙ උනුත් හිතන එකනෙ. ගොළු බාසාව දාලා තමයි ගොඩ ගියෙ. කඩ්ඩ වත් "நான் தமிழ் புரியவில்லை" කියන්නවත් මතක් වුනේ නෑනෙ. බඩු නම් කොළඹ ගණන්ම තමයි. සමහර එව්වා ඊටත් වැඩී. කොටින්ට කප්පම් ගෙවන්න ඕනෙ කියලා තමයි ටිකක් හරි සිංහල ගැටගහගන්න පුලුවන් වෙළෙන්දො කිව්වෙ. කොහේ වෙළෙන්ඳොත් වෙළෙන්ඳො කියලා අමතක කරන්නත් හොඳ නෑ. අනිත් එව්වො ඉතින් ගාණ කිව්වෙත් ඇඟිල්ලෙන් බිම ලියලා. මෙහෙ දකින්න නැති යාපනේ අඹ එහෙම තිබ්බා. අර වෙල්ල කොලොම්බන් කියන එව්වා. ඒ වල ගෙඩිය රහයි. හැබැයි හැම ගෙඩියක් මැද්දේම පණුවෙක් ඉන්නවා. හැබැයි මස් ජාති නම් බොහොම අඩුවට තිබුණා. සමහර එව්වා මෙහෙ 600යි එහෙ 200යි. හැබැයි මෙහෙ වගේ හොඳට සුද්ද කරලා නෑ.

කලින් කිව්වා වගේ පල්ලියේ පෝලිම්වල නාන්න අපි කැමති වුනේ නෑ. ඒක නිසා උදේ හවා පණ්ඩීරිච්චාන් ගමට යන්න සිද්ද වුණා. ඒ පාර වැටී තිබ්බෙ කොටින්ගේ මිනී පිට්ටනියක් හරහා. දවසක් අපි වාහනවල එතනින් යන්න ආවා. ඒ එක්කම කොටියෙක් මිනී පිට්ටනිය ළඟදී අපේ වාහනයට කිට්ටු වුණා. ඊට පස්සේ?? 

ප.ලි. : පිංතූර ජංජාලෙන් ගත්තුවා.
ප.ප.ලි. : මේක කතාවට අදාළ නෑ. සාමාන්‍යයෙන් මඟුලකට ලෑස්ති වෙනවානම් කොච්චර කාලෙකට කලින් වැඩේ පටන් ගන්න ඕනෙද? දන්න අය මේ ගමන්ම උපදෙසකුත් දුන්නානම්.

25 comments:

  1. ප.ප.ලි එකට උත්තරේ නම් අඩුම ගානෙ මාස හයකට කලින් වත් පටන් ගන්න ඕනෙ. ඊට කලින් නම් තවත් හොඳයි. මුලින්ම හෝල් බුක් කරගෙන අන්දවන පොටෝ ගහන අයව බුක් කරගන්න තමන් කැමති. නැත්තන් අඬන්න තමා වෙන්නෙ එයාලගෙ දින නැති උනාම.

    ReplyDelete
    Replies
    1. හරි අක්කගෙ පිළිතුරත් මම සටහන් කරගන්නම්කො..

      ප.ප.ලි එක නිසා පෝස්ට් එක වැහිලා යනවද මන්දා..

      Delete
  2. මම මේ අදහස් දැක්වීම කරන්නේ එදා මඩු ප්‍රදේශයේ සේවය කල යුද හමුදා නිලධාරියකු ලෙසයි. මුලින්ම ඔබේ ලිපියේ එක අදහසකට පිළිතුරු දෙන එක සුදුසු බවයි මට හිතෙන්නේ . ඔබ කියා තිබෙනවා කවුරු කරත් නීතිය රැකීම හොඳයි කියා. ඒ කියන්නේ ලංකාවේ බහුතරයක් අය නීතිය රකින්නේ මරණ බය ඇති කලොත් විතරයි නේද? මඩු පල්ලියේ වගේම තලවිල පල්ලියේ ආරක්ෂාව භාරව මම ක්‍රියා කර තිබෙනවා. සමහරු, කතෝලික ආගමට ගරහනවා කියා කියන්නට ඉඩ ඇතිනිසා එහිදී මා දුටු දේවල්, මට බේරුම් කරන්නට සිදු වූ ප්‍රශ්න, ගැන මම කියන්නේ නැහැ මෙතනදී. තලවිලදී එක විදිහකටත් මඩු පල්ලියේදී තවත් විදිහකටත් හැසිරුනේ මරණ බය නැත්නම් වෙන මොකක් නිසාද? මඩු පල්ලියේදී ඔබට යම් අසාධාරණ සැලකීමක් වුනානම් කියන්නේ කාටද? වරක්, බීමත්ව තලවිල දේවස්ථාන භූමියේ, වචනයෙන් කියන්නට බැරි තරම් කැත විදිහට හැසිරුණ ලොක්කෙකුට, මගේ සැරයන් වරයෙක් කනේ පාරක් ගසා, පොලීසියට බාරදී තිබුනා. නමුත් අර ලොක්කගේ දේශපාලන හයියෙන්, එම සැරයන්ව පසුදා උදේ තලවිල පල්ලියෙන් ඉවත් කරගන්නට මට සිදුවුනා. මඩු පල්ලිය එදා කොටින් අතට පත් වීමට පෙර අපේ හමුදාව යටතේ ඉතා හොඳින් උත්සව කටයුතු සිදුවුනා, මම වගකීමෙන්, ඉතා වගකීමෙන් කියනවා මඩු පල්ලියේ පූජකයන් අතර අදත් කොටි ඉන්නවා. ඔවුන්ගේ සමහර සැලසුම් අදත් තියනවා අවස්තාව එනතුරු. මීට වඩා කියන්නට බැරි සමහර දේවල් ඉතා රහසිගත තොරතුරු නිසයි. අවස්ථාවක් ලැබුනොත් මඩු පල්ලියේ ඔබ දැක නැති ඡායාරූප එවන්නම්. මඩු පල්ලියට උතුරෙන් ඇති ප්‍රදේශයේ ඇවිදින්නට යන්න අමතක කරන්න එපා නැවත ගිය විට. ඒ පැත්ත හරිම ලස්සනයි. දැන්නම් වගා බිම් වලින් පිරිලා ඇති. මඩු පල්ලියේ තිත්ත නැති කොහොඹ ගහෙන් කොලයක් කාලා එතන තියන වැවේ නාලා එන්නත් අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. මුලින්ම මගේ ගෞරවය අප රට කොටින්ගෙන් බේරාගැනීමට දායක වූ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෙක් වීම සම්බන්ධයෙන්..ඔබ වැනි කෙනෙක් මම වැන්නෙකුගේ ලිපියක් කියවා එයට ප්‍රතිචාර දැක්වීම මම ඉතා අගය කොට සළකනවා..

      මම පිළිගන්නවා එතන නීතිය රැකිලා තිබුනෙ ප්‍රධාන වශයෙන් මරණ භය නිසා..අනික් හේතුව තමයි ඔබ ඔය කියන්නා වාගේ අයුතු බලපෑම් කිරීමට අවස්තා නොලැබීම..නමුත් මෙතනදී කියන්න උත්සාහා කළේ අදාළ ප්‍රදේශය තුළ තද නීති පද්ධතියක් තිබූ බව පෙන්වා දීමයි..

      මම නීතිය හොඳට රැකිලා තිබුණා යන්නෙන් කොටි සංවිධානය නීතිය රකිනවා හමුදාව නීතිය රකින්නේ නෑ කියන එක අදහස් කලේ නෑ...හිතට එකඟව කියනවානම් එහෙම උලුප්පා දැක්වීමකට හේතුවුනේ අවුරුදු ගණනාවක් තලවිලදී දැක තිබූ වන්දනාකරුවන්ගේ අවිචාරවත් ගති මඩුපල්ලියේ දකින්නට නොලැබීම..ඔබගේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වෙනවා එබඳු දේ පිටුපසත් ලොකු ලොක්කන්ගේ බලපෑම් තිබූ බව..ප්‍රශ්න තිබෙන බව මම පිළිගන්නවා පූජකයින්ගේ පවා..ඒවා සඳහන් කිරීම ආගමට කරන නිග්‍රහයක් ලෙස මම සළකන්නේ නෑ..

      ශ්‍රී ලංකා පොලීසියේ හා හමුදාවේ නීතිය රකින අය ඉන්න බව මම දන්නවා..ඒ අයට හරියට නීතිය රැකීමට ඉහළින් එන බලවේග ඉඩ නොදෙන බව කොහොමත් ප්‍රකට කාරණයක්නෙ..

      "මඩු පල්ලියේදී ඔබට යම් අසාධාරණ සැලකීමක් වුනානම් කියන්නේ කාටද?" කියන්න කවුරුවත් නෑ. ඇත්තම කියනවානම් ඒ කාලේ මඩුපල්ලි යෑම ජීවිතය පරදුවට තැබීමක්..මඩුපල්ලියේදී සිදුවූ අසාධාරණකම් ගැනත් මම ඉදිරියේදී කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..

      ඡායාරූප එවීමට කැමතිනම් මගේ ඊමේල් ලිපිනයට එවන්න.

      අවසාන වශයෙන් මගේ ලිපියෙන් ඔබට යම් හිත් රිදීමක් වුනානම් සමාවෙන්න.

      ස්තුතියි!

      Delete
    2. කිසිම හිත් රිදවීමක් සිදුවුනේ නැහැ. මම ඒ අදහස් දැක්වූයේ ඔබට පමණක් නොවේ. ඔබේ බ්ලොග් එක බලන අනෙක් යටත් දැනගන්නයි. ශ්‍රීපාදේ, අනුරාධපුරේ වන්දනාවේ යන සමහ 'බවුද්ධයොත්' බීලා යනවා මට අහුවෙලා තියනවා. ඒ අයව හොඳට නාවලා යවන්න ඒ කාලේ මම අමතක කලේ නැහැ. ඔබට ඉතා කාරුණිකව ආරාධනය කරනවා මගේ බ්ලොග් එකට පැමිණ බලා හොඳ නරක කියනලෙස.
      http://jangun.wordpress.com/

      Delete
    3. ඕනෑම ආගමක තත්වය ඕකයි..හැබැයි ආගම අදහන්නන් හෝ ඒ ආගමේ පැවිද්දන්ගේ ක්‍රියා අනුව ආගම වැරදියි කියන්න තරම් අපි ඉක්මන් වෙන්න හොඳ නෑ..මම හිතන්නෙ ඔබේ අදහසත් ඒකයි..

      මම එන්නම්කො ඒ පැත්තෙ..

      Delete
  3. කොටියෙක් බලන්ඩත් ආසයි.
    අපරාදේ කොළඹ කෞතුකාගාරයේවත් කොටියෙක්ගේ ඩමියක්වත් හදලා තිබ්බා නම්...


    දැන් කාගේ මඟුල ද කරන්න යන්නේ ? හරි ගේ ?
    අඩේ මටත් කියහන්. මාත් එන්නම් :)

    ReplyDelete
    Replies
    1. කොටි බලන්ඩ කෞතුකාගාරෙට යන්න හදන්නෙ මොකෝ බං.. ඩමී ඕනෙ නෑ උඹට ඔයතරම්ම පණපිටින් එකෙක් දකින්න ඕනෙ නම් ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යාංශයට පලයන් නැත්නම් නැඟෙනහිර පළාත් සභාවට පලයන්..

      Delete
  4. අවුරුදු කීපයක් පරණ විස්තර ඊයේ ගියා වගේ මතකෙන් කියනවා. හරී නිදහසෙන් පස්සේ මඩු පල්ලි ගියේ නැද්ද? ගියානම් අපිට ඒ විස්තරත් කියන්න.

    මඟුලකට ලෑස්ති වෙනවා කිව්වා?
    පිනිබිඳු කිව්වා වගේ මාස හයක් තමයි සාමාන්‍යයෙන්. ඇඳුම් මහන, කේක් හදන සමහර අය නම් දින නැති බවක් කියලා අපිට ඕනේ දවසට දෙන්නනම් වැඩිපුර සල්ලි අය කරනවා. හැමදේකටම ඉක්මනින් orders බාර දෙන එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. නිදහසෙන් පස්සෙ නම් ගියේ නෑ.. ඒ වුනාට ගිය අයගෙන් අහගත්ත විස්තර තියෙනවා ඒවා 'ලු' දාලා ලියන්නයි ඉන්නෙ..

      අද ඊයෙ විස්තර නෙමෙයි මීට අවුරුදු 30කට කලින් විතර අපේ අම්මලා ගිහින් වෙච්ච කතාත් කියන්නයි ඉන්නෙ..නැත්නම් අර කතන්දර මාමා කියන්නා වාගෙ ඔය කතන්දර මාත් එක්කම වැලලිලා යාවි..

      Delete
  5. කොටි පොලිසි ගැනත් කිව්වට ස්තුතියි හරී..

    මගුල ගැන නම් කියන්න තියෙන්නේ ඉතින් "ඉට් ඩිපෙන්ඩ්ස්" කියලා තමයි:)) මට නම් මාස 3 ක් වත් තිබුනේ නෑ ඔන්න...ඒත් අවුලක් උනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියට ස්තුතියි..සුද්දාගේ වෙල්කම් වලට සිංහල වචනයක් නෑ නේද?

      Delete
    2. "එය සුළු දෙයක්.." , "උදව්වක් කරන්න ලැබීම ගැන සතුටුයි",
      "මටත් සංතෝසයි.." වගේ යෙදුම් තමයි වෙල්කම් කියන එක වෙනුවට භාවිත කල හැකි ලස්සනම වචන... :)

      Delete
    3. @ නදුන් උයන : අයියාට බොහොම ස්තුතියි!

      Delete
  6. කොටින්ගේ ඒ ආටෝපේ තිබ්බේ සිංහල මිනුන්ගේ තිබෙන ආකල්ප නැති කරන්න.නැතුව ඔවුන්ගේ වැදගත් කම නිසා නෙවෙයි. ඒ පළාත්වල හිටපු දෙමල වැසියන්ට කරන හිරිහැර ඇයි සිංහලුන්ට කලේ නැත්තේ.ඔබ වගේ කී දෙනෙක් අයෙත් ඇවිත් කොටි ගැන කියන්නේ සුදු යකෙක් විදියට.

    එත් ඔයාගේ මේ ලිපිය මමත් රසවිඳ ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. "මම හිතන්නේ එතනට එන සිංහලයන්ගේ කොටි ගැන තිබ්බ ආකල්පය වෙනස් කරන්නද මන්දා."

      මම ඉස්සෙල්ලා ලිපියේ ඔය වාක්‍යය ලියලා තිබුනා කියලා අමතක කරන්න එපා සහෝ..(ඔයා කියෙව්වද දන්නේ නෑ)

      මම මේ ලිපි පෙළින් කොටින්ට සුදු හුණු ගෑමක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ..මම එහෙදි දැකපු දේවල් ඒ ලෙසින්ම වාර්තා කිරීම තමයි කරන්නෙ..ඒ පළාත්වල හිටපු දෙමල වැසියන්ගේ ආකල්පත් ඉස්සරහට කියන්නම්..

      ලිපි පෙළ සමඟ ඉදිරියටත් රැදී ඉන්න.

      ස්තුතියි! ඔබටත් ජය..

      Delete
  7. හොඳ ලිපියක් මම මේ වගෙ අත්දැකීම් ලබා නෑ....මගුල් ගැනත් දන්නේ නෑ මට තව සෑහෙන්න කල් තියෙනවනේ අප්පා බඳින්න ම්ම්ම්ම් ඒත් මට හිතෙනවා බඳින්න ඕනේ කියලා හිතෙනවනම් පවුලක් නඩත්තු කරන්නත් පුළුවන් ආදායමක් තියෙනවනම් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් කියලා හිතෙනවනම් මගුලකට වියදම් කරන්න මුදල් හදල් යහමින් තියෙනවනම් හෙට වුනත් බඳින්න පුළුවන්....නිකන් මේකප් උලලා ලෝකෙට ණය වෙලා බැන්දෝතින් ප්‍රස්න කෝටියයි

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි!

      Delete
  8. දිවි දෙවෙනි කොට සලකළ මේ වගේ වන්දනාවක් ගියයි කියන්නත් සතුටුයි... ඒ වගේම ඒ අත්දැකීම් බෙදාගන්න එකත් ගොඩක් වටිනව...

    මෙතන මල්ලි කියල තිබුන එතන නීති හරියටම වෙනව කියල... නමුත් කොටි ත්‍රස්තයන් ඒ ප්‍රදේශවල බලය පතුරුවන් හිටපු කාලේ අපෙන් ගිය අයත් ලස්සනට ඒ නීති රැක්ක... වෙන මුකුත් නෙවේ.. කොටින්ට තියන බය හන්ද... නමුත් ඔය විදිහට මිනිස්සුන්ව පාලනය කරන්න බෑ. දැන් ඔය විදිහට එදා දාල තිබ්බ නීති ටිකම ආපහු දැම්මොත් කියයි මිනිස්සුන්ට නිදහස නෑ... නිවී හැනහිල්ලේ ආගම අදහන්නත් බෑ කියල.... උඩින් ප්‍රතිචාර දක්වල තියන හමුදා නිලධාරී තුමාගේ අදහස් වලටත් එකඟයි..

    කිතුනු ආගම සම්බන්ධව නම් කිසිදු ගැටලුවක් නැතත්, මඩු පල්ලිය වගේ සුවිශේෂී වැදගත්කමක් තියන තැනක් මූලික කරගෙන, කොටින්ට පෝෂණය වෙන්න සියලු අවස්තා ලැබුණා කියන එකත් ප්‍රසිද්ධ කරුනක්.. ඔබේ ලිපි තුලින් එවැනි දේවල් ගැන ඔබ සොයා ගත් කරුණුත් ඉදිරියට බලා පොරොත්තු වෙනවා...

    නැවතත් කියන්න තියෙන්නේ , "සුදුවට ඇඳල, කොණ්ඩේ පීරල හිටපු හැන්සම් මනුස්සයට යටින් ඉන්නේ මිනිස්සුන්ගේ ලේ පිපාසිත ත්‍රස්තවාදියෙක්.... "

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      බය හින්දා තමයි. ඒ ගැන උඩ කියලා තියෙන නිසා ආයේ කියන්න ඕන නෑ කියලා හිතනවා. ඒත් ආගම ඇදහීමේ බලාපොරොත්තුවෙන් යන අය නම් ඔය නීති වලට විරුද්ධ වෙන්නේ නෑ කීයටවත්. ඒ නීති ආගම ඇදහීමට පහසුවක් මිසක් බාධාවක් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නෙ ආගමික ස්තාන වලට විනෝද චාරිකා යන අයගෙන්. ඒ අයගෙන් ආගම අදහන අයට සිදුවෙන බාධාවලින් වැළකීමටයි නීති තියෙන්න ඕනා. මම දන්න සමහරු ඉන්නවා සතියක් දෙකක් වන්දනාවෙ ගියත් ආගමික ස්තානය දැකලාවත් නැතුව ගෙදර එන අය.

      පෞද්ගලිකව අපි අවුරුදු ගණනාවකින් ලැබුනු අවස්තාව ප්‍රයෝජනයට ගත්තේ හුදෙක් ආගමික වැඩකටයුතු කරගැනීමට. ඒක නිසා ඔය නීති පහසුවක් ලෙස පෙනෙන්න ඇති. පෞද්ගලිකව මම නම් කැමතියි සෑම සිද්ධස්ථානයකම ඔය නීති ක්‍රියාත්මක වෙනවානම්. නමුත් ප්‍රායෝගික අපහසුතා හමුදා නිළදාරී තුමා දක්වා තියෙනවා.

      පෝෂණය වගේම විනාශයට මුල්වෙන කාරණාත් සිද්ධ වුණා. ඉදිරියට තවත් කරුණු කියන්නම්.

      මම දැකපු දේ ඒ විදිහෙන්ම කිව්වේ. කොටින්ට සුදු හෝ කලු ගාන්න මගේ අදහසක් නෑ.

      ලිපි පෙළැ ඉදිරියටත් කියවන්න අයියේ..

      Delete
  9. ඔන්න දැන් තමයි මේක කියවන්ඩ ඉඩක් හම්බුනේ..

    ඔය කොටි පොලිස් වල නීති ගැන සහ ඒවා අකුරට ක්‍රියාත්මක වීම ගැන මමත් කලින් අහලා තිබුනා.. අපේ පොලිසියත් එක එක පාදඩයන්ට කඩේ යන්නැතුව පොතේ තියන හැටියට නීතිය ඉටු කලානම් ලංකාව අද සුර ලොවක්..

    දැන්නම් අයේ හදන්ඩම බැරි තරමට ගොඩක් දේවල් කුරුවල් වෙලා..

    ReplyDelete
    Replies
    1. මේක අප්ඩේට් වුනේ නෑ නොවැ..

      ස්වාධීන පොලිස් කොමිසම පිහිටෙව්වා නම් හරි..කොහෙද ඉතින් දේසපාලුවොම එපායැ ඕක කරන්න..උන් කැමති වෙන්නෙ නෑනෙ තමුන්ට ගැලවිලා යන්න තියෙන මාර්ග වහන්න..අපෙ කරුමෙ තමයි ඉතින්..

      ඔය දෙස්පාලු වැඩ වගේම රටෙ සිද්ධවෙන නොයෙකුත් වැරදි දේවල් ගැන කතාකරන්න තමයි මේ බ්ලොග මම පටන් ගත්තෙ..හීනලන්තය කියලා නම දැම්මෙත් හීනලන්තය කියන රටේ මෙව්වා මේ විදිහයි..ඉතින් අපේ රටෙත් මෙහෙම කරමු කියන යෝජනාව ගේන්න තමයි මම හිතුවෙ..

      ඒත් මට පස්සෙ තේරුනා එව්වා මේ බ්ලොග් අවකාසෙ ගොඩක් දුරට කතා වෙන එව්වමයි..අමුතුවෙන් ලිවීමක් අවශ්‍යය නෑ කියලා..අනික වෙනසක් ඇති කරන්න නම් රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න ඕනා..හැබැයි බොහොම සුලුතරයයි මේ බ්ලොග් කියවන්නෙ.. ගොඩක් බ්ලොග් කියවන කට්ටිය සාමාන්‍යයෙන් උගත් වගේම යහපත් ආකල්පවල ඉන්නෙ..ඉතින් බොරුවට පාළු ගෙයි වළං බිඳින්න ඕනෙ නැති නිසා මමත් කටවහගත්තා..

      රටේ බහුතරය නයිවාහිනී බල බල කට ඇරන් ඉන්නකන් මේ රට නම් ගොඩ ගන්නවා බොරු..

      Delete
  10. වෙනමම රාජ්‍යයක් විදිහටම කොටි කටයුතු කළා නොවැ. මුද්දර, මුදල් නෝට්ටු පවා නිකුත් කළාලුනේ.....

    ReplyDelete
    Replies
    1. තනිකර වෙනම රාජ්‍යයක් තමයි සහෝ..වාහන අරක්කු වගේ එව්වටත් එහෙන් වෙනම ලයිසොං දීලයි තිබුනෙ..
      මෙහෙ 45 ශ්‍රී XXXX වගේ එහෙ த XXXX තමයි තිබුනෙ..

      Delete
  11. හොඳ ලිපියක් හරී - ‍කතෝලික පල්ලිය කොටින්ට අනුබල දීම කෙසේ වෙතත් අනවශ්‍ය පරිදි ඔවුන් ඉවසූ බව ප්‍රසිද්ධ සත්‍යයක් - එමෙන්ම බොහෝ ද්‍රවිඩ කතෝලික පූජකවරු එල් ටී ටී ඊ සංවිධානයට සහයෝගය දෙමින් මේ ඩෙත් කල්ට් එක‍ට තමන්ගේ ජනතාව බිලිදුන්නා - මේ හමුදා නිලධාරි තුමා කියන දේ ඇත්ත

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...