1.21.2012

මම දුටු කොටි..

කලින් ලිපියේදී ඕගොල්ලො මගේ කොටි නැටුම් බලන්න ඇතිනෙ. ඒ ලිපියෙදි කිව්වා වගේ අද කියන්න යන්නේ මම ඇත්තටම කොටි දැකපු හැටි. මේක මගේ පෞද්ගලික අත්දැකීම් ගැන ලියවුනු ලිපියක්. ඒක නිසා ප්‍රයෝජනවත් යමක් නැතිවෙන්න පුලුවන්. එහෙනම් යමුකො ලිපියට. ඊට ඉස්සෙල්ලා කලින් ලිපියේ මගේ ප්‍රශ්නයට උත්තර දුන්නු හැමෝටම බොහොම ස්තුතියි. ඒකෙ ප්‍රතිඵල ආපුවාම කියන්නම්කෝ.


මම කොටි, ඒ කිව්වෙ කකුල් දෙකේ කොටි, දැක්කේ කොහේදීද? හැමතැනකම වගේ දකින්නැති අඳුරගත්තේ නැති වුණාට. අඳුරගත්තෙ නැත්නම් ඉතින් කොටි කියන්න බෑනෙ. මේ කියන්නෙ කොටි ඇත්තටම කොටි ලෙස දැකපු අවස්ථාව. මේක කොටි ගැන කියන්න කියලා පටන් ගත්තට තනිකරම ඒ ඔස්සේ කියන්න බැරිවෙයි වගේ. ඒක නිසා සටන් විරාමය තිබුන කාලෙ මඩු පල්ලි ගිය මගේ ඇත්දැකීම් කියන්නම්. ඒ අස්සේ ඉඳලා ඔයගොල්ලන්ට කොටි හම්බවේවි.

2002 අවුරුද්දෙනෙ සටන් විරාම ගිවිසුම අත්සන් කළේ. ඊට පස්සේ කොටිත් හමුදාවත් තම තමුන් අල්ලාගෙන හිටපු සීමාවල රැදී සිටිමින් සටන් විරාමයකට මුලපිරුවා. ඔය අතර සාමාන්‍ය ජනතාවට අවස්ථාව ලැබුණා ඔය සීමා දෙක අතරින් තම තමුන්ගෙ ගමන් බිමන් යන්න. අමුතුවෙන් කියන්න ඕනෙ දේවලුත් නෙමෙයි මෙව්වා. ඔන්න ඔය කාලෙ තමයි මමත්, මම කිව්වෙ අපේ ගෙදර කට්ටිය හා නෑයින් කිහිපදෙනෙකුත්, පළවෙනිපාරට මඩුපල්ලි ගියෙ. ඒ කාලෙ මඩුපල්ලිය අයිති වෙලා තිබුනෙ කොටි පාලන ප්‍රදේශයට නිසා හමුදා පාලන ප්‍රදේශයෙන් මිදිලා කොටින්ගේ පාලන ප්‍රදේශයට යන්න අපිට සිද්ධ වුණා. මම මඩුපල්ලි ගිය වතාවන් දෙකේ නම් කොටි සංවිධානය මඩු වන්දනාකරුවන් සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. ඒක නිසා අපිට වෙච්ච කරදර අඩුයි. ඒත් ඊට පෙර වතාවන් වල හා පසු වතාවන් වල ගිය අයට නම් කරදර සිද්ධ වෙච්ච බව කියැවුණා. ඒවා ඉතින් මගේ අත්දැකීම් නොවන නිසා එව්වා 'ලු' දාලා කියන්න තියලා මගේ ඇහින් දුටු ටික මුලින් දෙසා බාඥ්ඥං.

මාර්ග විස්තරේ
මඩු පල්ලිය තියෙන තැනනම් ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනෙ වෙන එකක් නෑ මම හිතන්නේ. මඩු පල්ලිය තියෙන්නේ මඩු පාර අභයභූමිය ඇතුලෙ. ඔය පිංතූරය බලන්නකො පැහැදිලි නැත්නම්. නිල්පාට රවුමකින් දක්වලා තියෙන්නෙ හමුදාවෙ අන්තිම මුරපොළ තිබුනු තැන. නිල්පාට කුරුස ලකුණ තියෙන්නෙ පල්ලිය පෙන්නන්න. නිල්පාට ඊතලේ තියෙන පැත්තට ගියොත් මන්නාරම. තැඹිලි පාට ඉරක් තියෙන්නේ මොකක්ද එතකොට? ඒක තමයි කොටි මුරපොළ. ඒක හරහා තමයි අපිට යන්න සිද්ධ වුනේ කොටින්ගේ අඩවියට.

මඩුපල්ලියෙ මංගල්‍යයන් 12 තියෙනවා වාර්ෂිකව. ඒ අතරින් වඩා ප්‍රසිද්ධ අගෝස්තු මාසෙ 15 වෙනිදා පැවැත්වෙන මංගල්‍යය තමයි. අපි සාමාන්‍යයෙන් යන්නේ ඒකට පිටත් වෙන්නේ 10වෙනිදා විතර. ඉතිරි දවස් ටික කඳවුරු ජීවිතේ තමයි. යුද්ධයට ඉස්සෙල්ලා තමයි නියමෙට තිබිලා තියෙන්නෙ. ඒත් දැන් මොනවා කරන්නද? තියෙන හැටියට විඳිනවා මිසක්.

අපේ අම්මලා ඒ කාලේ (1984ට ඉස්සෙල්ලා) අවුරුද්දකට සැරයක් මඩුපල්ලි යෑම චාරිත්‍රයක් කරගෙන තිබුනත් ත්‍රස්තවාදී කලබල නිසා ඒ ගමන මඟහැරිලයි තිබුනේ. සටන් විරාමෙන් පස්සෙත් තත්වය හරියට දන්නේ නැති නිසා දෙපාරක් විතර ගමන කල්දාන්න අපිට සිද්ධ වුණා. පස්සෙ මට මතක හැටියට 2004 විතර තමයි මඩු යන්න ලෑස්ති වුනේ. 10වෙනිදා ගිහිල්ලා 16වෙනිදා ආපහු එන්න සැලසුම් කරගත්තා. ගියේ අපේ ගෙදර කට්ටියයි අපේ මාමලාගේ ගෙදර කට්ටියයි තව හිතවත් පවුල් දෙක තුනක්. මාමාගේ වෑන් එකත් ලොරියත් තමයි ප්‍රවාහන මාධ්‍යය වුනේ. 10වෙනිදා පාන්දර 3ට විතර අපි මෙහෙන් පිටත් වුණා.

මඟ විස්තර ස්කිප් කරාට පස්සේ උදේ 6.45 විතර වෙනකොට අපී හිටියේ මඩු පාර හන්දියෙ එහෙම නැත්නම් මඩු පල්ලියට හැරෙන තැන. එතැන තමයි අන්තිම හමුදා මුරපොළ තිබුනෙ. ආරක්ශක මුරපොළේ දවසේ කටයුතු පටන් ගන්නේ උදේ 7ට. වෙන විදිහකට කිව්වොත් පෙ.ව. 7 පහුවෙනකන් එතනින් එහාට යන්න අවසර තිබුනේ නෑ. ඒක නිසා එතන ටිකක් වෙලා ඉන්න සිද්ධ වුණා. සමහරු දෝස් මුරේ දැම්මත් මීට කලින් වතාවත් ගිය අයගේ කතා අහද්දී ඒ මිනිස්සුන්ට පිස්සුද කියලාත් හිතුනා. ඒවා පස්සේ කියන්නම්. පැය කාලකින් පස්සේ හමුදාවෙ මාමලා ඇවිල්ලා වාහනවල අංක වගේම ඉන්න අයගේ නම් ලැයිස්තුවත් අරගෙන ගියා. ඊට පස්සෙ එක එක වාහනය අරගෙන පරීක්ෂාවට ලක් කළා. ඒ වගේම අයිඩී ත් චෙක් කරා. එතන තිබුණු වටපිටාව නම් බලාගන්න අවස්තාවක් ලැබුනේ නෑ එළි පහලියට යන්න අවසර නොතිබුනු නිසා. සියුම් පරීක්ෂාව අවසානයේ අනුමැතිය ලැබුනාට පස්සේ මාතොටින් එන උතුරු හුලඟේ පහස විඳ විඳ මඩු හංදිය බලා අපි ඉදිරියට ඇදුනා. පාරෙ නම් අම්බානකට දූවිලි. ජනෙල් වහගෙන ගිය නිසා කරදරයක් නොවුනත් පාර පුරා තිබුණු දූවිලි නිසා වටපිටාව බලාගන්නත් අමාරුයි. වටේ ගස් කොළන් දුඹුරු පාටට හැරිලා තිබුණා.

කොච්චර දූවිලි තිබුනත් පාර දෙපැත්තෙම තිබුණු කහපාට පටි නම් අපූරුවට පෙනුණා. පොඩිකාලෙ මඩු පල්ලි එන්න වාසනාව නොතිබ්බත් අපේ තාත්තලා මඩුපල්ලි ආපු හැටි, කැලෑ ඇතුලෙ ඇවිදපු හැටි, පළතුරු කඩපු හැටි, දර කඩන්න ගිය හැටි කනින් අහලා හිතින් මවාගෙන හිටපු අපිට නම් ඒ කහ පටි පෙනුනේ සාපයක් විදිහට.

"පාර දෙපස බිම් බෝම්බ තිබිය හැක"

මට මතක විදිහට ඔහොම වැකියක් තිබුනේ. මිනී ඔලුව නම් තාම මතකයි. ඉතින් මොන කැලේ ඇවිදිලිද?

කතාව ඕෆ් රෝඩ් ගියත් වාහනේ නම් හරි පාරෙ හිමීට ඉදිරියට ඇදිලා වාහන පෝළිමක කෙළවරේ නැවතුනා. ටිකකින් ඉස්සරහට ආවේ සුදු කමිස හා කලු කලිසම් ඇඳපු මහත්තුරු වගයක්. එකපාරටම පෙනුමෙන් කවුද කියලා හිතාගන්න බැරිවුනත් ටිකකින් කවුද කියලා හඳුනාගත්තා. අපේ ඇත්තෝ නම් කලු ඔක්කොටම කොටි ලේබල් ඇලෙව්වට එතන කට්ට කලු එක්කෙනෙක් වත් මම දැක්කේ නෑ. කට්ටියම හිටියේ තල-එළලු කට්ටිය. මට හිතෙන හැටියට හොයාගන්න පුලුවන් හැන්ඩ්සම්ම ඩයල් ටික එතනට දාලාද කොහෙද. ඔක්කොම ඇඳලා හිටියේ හොඳට මැදපු සුදු කමිස හා කලු කලිසම්. සපත්තු දාලාද සෙරෙප්පු දාලාද හිටියේ කියලා හරි මතකයක් නෑ. කොණ්ඩේ පීරලා රැවුල කපලා බොහොම පිළිවෙලට හිටියා. එතන හිටපු ගොඩක් අයට සිංහල පුලුවන්. බොහොම අචාරශීලීව කතා කරා. මම මේ ටික ගොඩක් විස්තර කරලා කිව්වේ ගොඩක් කට්ටිය කොටි කියලා හිතං ඉන්නෙ කට්ට කලු රැවුල කොන්ඩෙ කපන්නේ නැති නාන්නේ නැති උන් කියලනෙ. එහෙම උනුත් ඇති ඒත් මෙතනට ඒ වගේ නැතිවුන් ටිකක් තමයි දාලා හිටියෙ. මම හිතන්නේ එතනට එන සිංහලයන්ගේ කොටි ගැන තිබ්බ ආකල්පය වෙනස් කරන්නද මන්දා.

ඒ කට්ටියට අමතරව බාලදක්ෂයොත් හිටියා. ඒ අතර නම් කලු එව්වො හිටියා. බාලදක්ෂ ඇඳුමෙන් හිටියෙත් කොටිද කියලා කියන්න නම් මම දන්නේ නෑ හැම දෙමළ මනුස්සයෙක්ම කොටියෙක් නොවන නිසා. එතනදී තමයි දෙවැනි පරීක්ශාව සිදු කළේ. ඒ පරීක්ශාවේදී සමහරු ගෙනියපු නැටුම් තෙල්  එහෙම එතනින් එහාට ගෙනියන්න ලැබිලා නෑ. ශ්‍රී ලංකා රජය අනුමත කරපුවා එතනින් එහාට වලංගු නෑ කියලා තමයි එව්වා අරන් තියෙන්නෙ. අනික වන්දනා ගමනකට ඔව්වා මොකටද කියලා ඇහුවම දෙන්න උත්තර නෑනෙ. ඒ අතින් මාත් අනුමත කරනවා එව්වා ඉස්සරහට ගෙනියන්න නොදීපු එක. ඒ වුනාට ඉස්සරහට වෙන බඩු තියෙනවා. එව්වා පස්සේ.

පරීක්ශාවෙන් පස්සෙ වාහනයේ ඉස්සරහ වීදුරුවේ ස්ටිකරයක් ඇලෙව්වා "ඊළාම් රේගුවෙන් අනුමත කරන ලදී" කියලා. එක එක එක්කෙනාට තාවකාලික හැඳුනුම්පතකුත් නිකුත් වුණා. බලපල්ලකො හරියට උන්ගෙ රට වගේ. ඔය ඔක්කොම දේවල් කරාට පස්සේ අපිට අවසර ලැබුනා මඩු කඳවුරට ඇතුලු වෙන්න. වාහනය සෙමින් සෙමින් ඉදිරියට ඇදුනා.

ගිහින් දැකපු කොටි ඊළඟ ලිපියෙන් කියන්නම්කො.

ප.ලි. : මම අකුරු පොඩ්ඩක් ලොකු කලා අවුලක් නම් කියන්න. තව වෙන මොනාහරි ප්‍රශ්නයක් තියෙනවනම් එව්වත් කියන්න.

22 comments:

  1. විස්තරේට ස්තූතියි හරී... වර්තමාන තත්ත්වය කොහොමද දන්නෑ.. මඩු පල්ලියේ.. මාත් මෙදාසැරේ නිවාඩුවට ගිය වෙලේ යන්ඩ හිතන් හිටියත් වෙන වෙන රාජකාරි නිසා වැඩේ හරිගියේ නැහැ..

    ReplyDelete
    Replies
    1. මම අහපු විස්තර වලට අනුව නම් දැන් පාර එහෙම හොඳට හදලාලු තියෙන්නේ..ඒ වගේම ගොඩනැගිලිත් අලුත්වැඩියා කරලාලු..
      වැඩි යමක් නම් කියන්න දන්නේ නෑ සහෝ..

      සහෝ ඉන්නෙ ඒරොප්පේවත්ද?

      Delete
    2. ඒරොප්පේ නම් නෙමේ, මැද පෙරදිග මරු කතරේ...

      Delete
  2. කියන්නකෝ බලන්න කතන්දරේ....හි හි හි

    ReplyDelete
    Replies
    1. මේකෙ මකුළු දැල් බඳෙන්න ඉස්සෙල්ලා කතන්දරය කියන්නම්කො..

      Delete
  3. මම නම් මඩු පල්ලි ගිහින් නෑ. ඒ පැති වලත් යන්න ආසයි. ඒත් කොයි ??
    කතන්දරේ ඉක්මනටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. කොයි කොයි නොගා දවසක යමු..
      මමත් යුද්ධෙන් පස්සේ ගියේ නෑ..ඒ කාලෙට මොකක් හරි කැම්පස් එකේ වැඩක් වැටුණා..

      Delete
  4. ඊලාම් රේගුව????? හප්පා..........

    ReplyDelete
    Replies
    1. ඊලාම් රේගුව ගැන අහලා පුදුම වෙන්න එපා ඉස්සරහට කොටි පොලීසි උසාවි ගැනත් කියන්නම්...

      Delete
  5. මමත් 2004 ගියා,ගිහින් විහින් බලු වෙලා ආවා,ගිය මෝඩ කම කියලයි මට නම් හිතුනේ

    ReplyDelete
    Replies
    1. මොකද යාලුවා කොටි කරේ නගින්න ආවද? :)
      අපිට නම් කරදරයක් වුනේ නෑ..ඒත් සමහරු නම් කිව්වෙ වෙන වෙන කතා එව්වා ගැනත් පස්සේ කියන්නම්කෝ..

      Delete
  6. මට තියෙන එකම පස්නේ කොටි උඹව, මේ අපේ පොරක්නේ කියලා තියා ගත්තේ නැද්ද...???

    ReplyDelete
    Replies
    1. ඒක ඊළඟ ලිපියෙන් කියන්නම්....

      Delete
  7. ස්තුතියි විස්තර වලට.
    කොටිත් මුල් දවස්වල සිංහල අය දැක්කම පුදුම වෙන්න ඇති. එයාලටත් කියල දීල තියෙන්න ඇත්තේ සිංහලයෝ කියන්නේ මිනීමරුවෝ රකුසෝ කියලනේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..සිංහලයෝ කියන්නෙ ම්ලේච්ඡ ජාතියක් කියලානෙ උගන්නලා තිබ්බෙ..

      මම හිතන්නෙ ඔබතුමා/තුමී මේ පැත්තෙ ආපු පළවෙනි පාර වෙන්ඩැති..සාදරයෙන් මේ පැත්තට පිළිගන්නවා..ආයෙත් දවසක එන්නකෝ..

      Delete
  8. මම නම් ඒ පැත්තේ ගිහිල්ලම නෑ අඩු ගානේ යාපනේ නාගදීප ඒ පැතිවලවටවත්.දැන් නම් ඒ පැති හොඳට ඇති මයෙ හිතේ...මොනාද අර ඉස්සරහා තිබුන වෙන බඩු??

    ReplyDelete
    Replies
    1. එව්වා ඉස්සරහට කියන්නම් මලේ..මොකෝ ඔය හැටි හදිස්සි..

      ඒ පැත්තෙ දවසක ගිහින් එන්නයි තියෙන්නෙ..ඒ පැත්තෙ නොගියපු ගොඩක් ඉන්න නිසා දවසක සෙට් වෙලා යමුද?

      Delete
  9. මමත් ගිහිල්ල නම් නෑ.. හැබැයි සටන් විරාම කාලෙදි නම් උන්ට ගාස්තු ගෙවල යන්නේ නෑ කියන මතයේ තමයි හිටියේ... හරී ගේ විස්තරේ කියවලම දැන් යන්න පුලුවන්...

    එක දෙයක් මල්ලී... ඔයා මේ ලියල තියෙන විදිහට හැම දෙමළ මනුස්සයම කොටියෙක් නොවන බව පිලිගන්නවා... නමුත් හැම කොටියෙක්ම ත්‍රස්තවාදියෙක් බවත් අමතක කරන්න එපා.. ලිපියේ කිසිම තැනක කොටි කියන්නේ ත්‍රස්තවාදීන් පිරිසක් කියල ලියල තියනව දැකපු නැති නිසයි එහෙම කියුවේ...

    ReplyDelete
    Replies
    1. "හරී ගේ විස්තරේ කියවලම දැන් යන්න පුලුවන්..." මේ විස්තරේ දැන් යල්පැනලානෙ අයියේ.. දැන් එහෙ කොටියෝ නෑ..


      මම දන්න විදිහට නම් ගාස්තු අය කළේ නෑ. මම වැරදිනම් කියන්න. ඒත් කඩවල විකුණපු බඩුවල බදු වලින් හොඳ අදායමක් හොයාගන්න ඇති. ඉස්සරහට හම්බෙනවා කියපු ඒවෑයිනුත් හොඳ ලාභයක් තියෙන්නැති.

      කොටි කියන්නෙ ත්‍රස්තවාදීන් ඒකෙ දෙකක් නෑ. ඕක හැමෝම දන්න දෙයක්නෙ ඒකයි එහෙම විශේෂණයක් නොදැම්මෙ.

      Delete
  10. ඇත්තටම හොදයි බ්ලොග් එක අපි මඩු පල්ලි යනවා හැම අවුරුද්දෙම හමුදා පාලනය නිසා එපා වෙනවා දැන් ඕකේ වැරදි පැත්ත තියෙන්නේ සම්හරක් අය පාටි දානවා,සිංදු,සෙල්ලන් ,බුරු ගහනවා,වැරදි විදිහට හැසිරෙනවා..ගෑණු නාන ටැංකි වල පිරිමිත් නානවා ඒවා වීඩියෝ කරනවා හමුදාවේ කිසිම නීතියක් නෑ වැඩි පුර ඉන්නෙ පොලිසීය..එයාලට ගානක් නෑ

    ReplyDelete
  11. මඩු පල්ලිය පිටු පස සොහොනක් ඇත. එහි දරුවන් කිහිප දෙනෙකුගේ එක දිගට සෑදුනු මිනී වලවල් ඇත.එම දරුවන් කවුරූ විසින්ද ග්‍රහතනය කරවූ ලැබූවේ. ඒ ගැනත් සොයා බලන්න. කවුද ත්‍රස්තවාදි කියලා සමහරවිට තේරෙයි

    ReplyDelete
  12. මම හිතන්නේ හරී ඔය ගිය කාලේ මඩු පල්ලිය පිටු පස තිබෙන සොහොනේ පස්වත් පාගලා නැතුව ඇති.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...