12.23.2013

මේ පාර අපිටත් නත්තල්

හුඟ කාලෙකින් නේද? මේ ලිපිය ලියන්න කලින් මම නිකමට මගේ පරණ ලිපි ටික දිහා බැලුවා. වෙලා තියෙන දෙයක්. බ්ලොගිය පටන් ගත්තු මුල් අවුරුද්දෙ මාස කීපෙට පෝස්ට් දොළහක්ම ලියලා. ඊළඟ අවුරුද්දෙ ඒක 38ක් වෙලානෙ. ඊටත් පස්සෙ අවුරුද්දෙ 66ක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගනිද්දිම හිතුවා මේ ගාන ඩබල් වෙලා පෝස්ට් 120ක් විතර ලියවෙයි කියලා. කියන්ඩ ලැජ්ජයි 25යිනෙ ලියවිලා තියෙන්නෙ. ඇයි තුන්වෙනි සංවත්සරේ? ඒකත් මඟ ඇරිලනෙ.

මොනවා කරන්ඩද ඉතින් මේ අවුරුද්ද බොහෝම රාජකාරි බහුල අවුරුද්දක් උනා.  උදේට වැඩට ගිහින් හවස ගෙදර ආවට පස්සේ ඉතින් කාගෙහරි බ්ලොග් දෙකතුනක් කියවලා නිදාගන්නවා මිසක් ලිපියක් ලියන්න පැය පහ හයක් ගතකරන්න හිතුනෙම නෑ. පස්සෙන් පහු මම සිංහල ලියන්න පාවිච්චි කරපු qsfox ඇඩෝන් එකත් ලෙඩ දෙන්න ගත්තා. ඉස්සර F12 ගහපුවම සිංග්ලිශ් වලට මාරු උනත් දැන් එහෙම වෙන්නෙ නෑනෙ. ඒක හින්දා වෙන වැඩක් කර කර පෝස්ට් ලියන්නත් කම්මැලි. මොකෝ මම සැරින් සැරේ මීයා අල්ලන්න කැමති නෑනෙ කීබෝඩ් මාරුකරන්න. UCSC කන්වර්ටරය විසඳුමක් උනත් කොපි පේස්ට් කිරිල්ල එපා වෙනවා. ඒ වගේම මම පුරුදුවෙලා තියෙන විදිහට වඩා වෙනස් විදිහකටයි ඒකෙ ටයිප් වෙන්නෙ. ඔයින් මෙයින් බ්ලොග් ලිවිල්ල එපාම උනා. හැබැයි ලියනවා කියලා පටන් අරන් තාම ඉවර කරපු නැති ලිපි කීපයක්ම තියෙනවා. ලබන අවුරුද්දෙවත් ඒ ටික ඉවරයක් කරලා දාන්න ඕනා.

ඉතින් මේ පාර නත්තලට කරපු මුල්ම වැඩේ තමයි  සැරසිලි හදන්න කොළ හොයන්න ගිය එක. කොළ හොයන් හදනවට වඩා ලේසියෙන්ම කඩෙන් ගන්න තිබුනා. ඒත් ඉතින් එහෙම කරන්න හිත දුන්නෙ නෑනෙ. ඉතින් තකහනිය කොළඹ ගිහින් 'සරුව පිත්තල' කොළ අරගෙන ආවා සැරසිලි හදන්න හිතාගෙන. මෙන්න මේ සැරසිලි තමයි මම දැනට හදලා තියෙන්නෙ.

පළවෙනි එක
 හදන හැටි මෙන්න මෙතන. හැබැයි හැදුවෙ පාට පාට A4 වලින්.

දෙවෙනි එක
කරපු හැටි තමයි මේ.



තුන්වෙනි එක
 ඒක තමයි මේක.

 ඊළඟට

හතර


ඔය ඇති නේද? 10ක් විතර ජාති අත්හදා බැලුවා. ඔන්න ඔය කියවෙන වීඩියෝ බලාගෙන ඔයාලටත් පුළුවනි හදන්ට. ඇත්තම කිව්වොත් සරුව පිත්තල කොළ හොයනවට වඩා පාට පාට කඩදාසි වලින් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳට තියෙයි. ඒවා හොයාගන්නත් ලේසීනෙ.

ඉතින් සැරසිලි ගේන්න ගිය ගමන්ම ගෙදර කට්ටියට ඇඳුම් ආයිත්තමුත්  අරගෙන ආවා. තව මම පඤ්ඤා වෙච්ච පොඩි එවුන්ටත් බඩුමුට්ටු ටිකක් ගත්තා.

අපේ ගෙදර පැත්තෙන් ගත්තොත් මම අලුතෙන් ගෙදරම හදපු අල්මාරිය, ඒ කිව්වෙ හෝම්මේඩ් නැත්නම් හරීමේඩ් අල්මාරිය, මේ නත්තලට විවෘත කරන්න තමයි බලාගෙන හිටියෙ. ඒත් මේසන් බාස්ලා කරලා තිබ්බ යටිකූට්ටු වැඩක් හින්දා ඒක 'ජෝන් බාස්ට ගියා'. හැබැයි කොහොමහරි ගොඩදාන්න පුළුවන්කමක් තිබ්බෙ නැත්තෙමත් නෑ. ඒත් ඒකත්, ඒවගේම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කරන්න හිතන් හිටපු අනිත් Todoත් මට එපාම උනේ එක්කෙනෙක් හදිසියේම මාව දාලා යන්න ගියපු හින්දද මන්දා. පොලීසියටත් කිව්වා. බලමුකො. 2013 අවුරුද්දෙ අන්තිම කාලෙ ඒතරම් හොඳ කාලයක් නොවෙන බවයි පේන්නෙ. දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකෙ කියලා යන්න තමයි තියෙන්නෙ.

ඉතින් අපිට මේ පාර නත්තල් සීට්ටුවක් ලැබුනා. ඒක හින්දා නත්තල් කන්න ඕන කරන බඩු මුට්ටු ඔක්කොම වගේ මේ පාර ගෙදරටම ලැබුනා. ඒත් ඉතින් අම්මා තව ලිස්ට් එකක් හදන් ඉන්නවා. හවස් වෙලා යන්න ඕනෙ ඒ ටික ගෙනත් දාන්න. ඒ බඩු ටිකත් එක්කම ගවලෙන සෙට් එකකුත් ගේන්න ඕනෑ කියලා කිව්වා. තියෙන ගවලෙන සෙට් එකට මම තරම්ම වයසයි. දැන් ඉතින් මාරු කරන්න කාලෙ හරි. හෙට කාලා බීලා ඉවරවෙලා තමයි ගවලෙනේ හදන්න පටන්ගන්න ඕනෙ.

තව නත්තල් ගහත් හදන්න තියෙනවා.  මේ පාර කොළඹ ගියවෙලේ 'Crestcat' එකේදි දැක්කා වේලිච්ච අතුවලට සුදු තීන්ත ගාලා හදපු නත්තල් ගස්. හරිම ලස්සනයි. අපේ තාත්තලා ඒ කාලෙ හැදුවෙත් එහෙමලුනෙ. මෙදා එහෙම ගහක් හදන්න මටත් හිතුනා. එත් අතු හොයලා පාටගාලා ගන්න කොහෙද වෙලාවක්. මෙදත් ඉතින් සයිප්‍රස් ගහක් කඩෙන් ගන්න තමයි වෙන්නෙ.

ඊටපස්සෙ තියෙන්නෙ පල්ලි යන්න.  ඒකට නම් මට අලුත්ම අලුත් සූට් එකක් ලැබුනා. ඒකත් ඇඳන් යන්න ඕනෙ හෙට රෑට. ඔය සීතලේ මහ රෑ පල්ලි යන්න ගියාම තමයි එපා වෙන්නෙ. කමක් නෑ ඉතින් යනවා. තව මොනාද කියන්න තියෙන්නෙ??  ආහ් කැරොල් කීපයක්ම දැක්කා මෙදා නත්තලට. ඔන්න ඔහොමයි මෙදා නත්තල.

තාම අර සැරසිලි වැඩේ ඉවර නෑ.  එහෙනම් මම ඒකට යනවා. කොළ ගේන්න යන්න ආපු සැරසිලි හදන්න කාලෙ දුන්න අයටත් ස්තුතියි කිව්වා ඔන්න. ඕගොල්ලො ඔක්කොටම සාමය සතුට පිරි වාසනාවන්ත සුභ නත්තලක් වේවා!

61 comments:

  1. Replies
    1. ශා.... ලස්සන සැරසිලි ටිකක්.. මේ වගේ සැරසිලි තමා ඔය පාරවල් වල සෑහෙන්න තියෙන්නේ. ඒක නෙමේ මම ගිය සෙනසුරාද (21) කෝච්චියේ පුත්තලමේ ගියා. අම්මෝ ඒ පැත්තටනේ නත්තල් තියෙන්නේ. මීගමුවෙං එහාට්ට හැම ගෙදරකම වාගේ නත්තල් ගස් හදලා... ගවලෙන් හදලා...
      එක තැනක උදේ යනකොට තාත්තෙකුයි පුතෙකුයි ගවලෙනක් ගහනවා පාරේ. හැන්දෑවේ එනකොට ඒක හදාලා බලුප් හිටං පත්තු කරලා... ලස්සනේ බෑ ! :)

      සුබ නත්තලක් හරී ( සහ වෙන්ඩ හරී )..... !!!

      Delete
    2. ස්තුතියි මධුරංග..
      පුත්තලමේ ගියයි කිව්වෙ තලවිල පල්ලිය පැත්තෙවත් ගියාද? නැත්නම් බූරුවෙක්වවත් හම්බෙන්න ගියාද? :D පුත්තලම් ගියා කිව්වම මට මතක් උනේ අපේ අම්මට කෝච්චියෙම පුත්තලම් යන්න ඕනෙ කියලා කාපු කට්ටක්. කෝච්චිය බඩ ගෑවා බඩගෑවිල්ලක් කියලා වැඩක් නෑ. ඒ මදිවට සමහර තැන්වලදී පස්සටත් යනවා. අන්තිමේ පැය දෙකහමාරකින් විතර යන්න තිබ්බ ගමනට පැය පහමාරක් ගියා.
      ගොඩාක් තැන්වල දැනටම නත්තල් ගස් ගවලෙන් හදලා. හන්දි හන්දි ගානෙ ත්‍රීවීල් පාර්ක් වල අයත් හදනවනෙ. අපි නම් හදන්නෙ 24 හවස.

      ඔයාටත් පවුලෙ එක්කොටමත් සුභම සුභ නත්තලක් වේවා!!!

      වෙන්ඩ හරී කතාව තේරුනේ නෑනෙ..

      Delete
    3. පල්ලි ගියේ නෑ..පුත්තලමට කෝච්චියේ ගිහිං ආයෙම ගෙදර ආවා... ජොලියට කෝච්චියේ ගියේ.. ජොලි ගමනක් ! ඉන්නකං ම හම්බ උනේ පුත්තලං බූරුවෝ තමා !!!!

      හරීටයි හරීගේ වෙන්ඩ ඉන්න කෙනාටයි සුබ නත්තලක් වේවා !!!

      Delete
    4. ජොලියට????

      හි..හි.. අපේ අම්මත් ජොලියෙ ගියෑකි. වටේට සොබා සවුන්දර්‍යය පේනවා කියලා තමයි යමු කිව්වෙ.. මොන ජොලියක්ද ඒකෙ. සොබා සවුන්දර්‍යයට තිබ්බෙ ඌරු කොටු එළු කොටුයි. :)

      ආ.. ඒමද ඇයි මධුරංගගේ වෙන්ඩ ඉන්න කෙනා?..

      සුභ නත්තලක් ඔක්කොටම..

      Delete
  2. අපිත් ඉස්සර නත්තල් ගස් හදුවෙ එහෙම තමා. වේලිච්ච අතු වලට පාට පාට ක්‍රේප් කොල ඔතලා බැලුන් එල්ලුවා.. ඒකෙත් ගතියක් නැත්තෙමත් නෑ.. මෙදාපාරනම් ගිහින් කස අත්තක් ගෙනාවා ඕන්. ඊයෙ ඒක හයි කරා.. අද සරසන්න ඕනා.. පල්ලිනම් යන්නෙ නෑ මන්.. ගියපු කාලයක් මතක නෑ..

    නත්තලට කලින් හරීව ආයෙ දකින්න් ලැබුන එක ගැන සතුටුයි.. හරී අර කැරොල් ගැන ලියපු ලිපියක්ද කොහෙද මම බ්ලොග් වල කරක් ගහන්ඩ පටන්ගත්තු කාලෙම වගේ කියෙව්වා.. ඒක තාමත් මට මතකයි..

    එහෙනම් හරීටත්, ගෙදර හැමෝටත් ප්‍රීතිමත් නත්තලක් හා සුබම සුබ 2014 ! වේවා. ලබනාවූ අලුත් අවුරුද්දෙදි එක දෙක වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නාත් මේකෑ ගෙවල් පැත්තේ ද ?

      Delete
    2. නේන්නම්..... :D

      Delete
    3. උඹ මොකෑ එහෙම ඇහුවෙ ? හරියව දැකපු එකක් කියපු හින්ද්ද ?? මම කිව්වෙ බ්ලොග් පෝස්ට් එකකින් බන්.. ගෙවල් පැත්තෙ හිටියට මම තාම මූව දැකලා නෑ.. ලඟදිම බැහැදකින්න ඕනා.. :D

      Delete
    4. සෙන්නත් ක්‍රිස්මස් එක්කෙනෙක්ද .... අදනේ මන් දන්නේ ...

      හරි ඇතුළු සියලුම දෙනාට සුබ නත්තලක් වේවා.....

      Delete
    5. @සෙන්නා,
      "අපිත් ඉස්සර නත්තල් ගස් හදුවෙ එහෙම තමා. වේලිච්ච අතු වලට පාට පාට ක්‍රේප් කොල ඔතලා බැලුන් එල්ලුවා."
      ඔව්. තාත්තලා සව් කොළ තමා අලවලා තියෙන්නෙ. ඉස්කෝලෙ නිවාඩු දුන්න දවසෙ ඉඳන්ම කළේ ඔය වැඩේලු. ගහක හදලා ඉවර වෙද්දි ඊට වඩා හොඳ අත්තක් දැක්කොත් කලින් එක විසි කරලා ආයෙ හදනවලු. ඒ කාලෙ ලංකාවේ කැශුවරිනා, සයිප්‍රස් තියෙන්න නැතුව ඇතී. ඒක නිසානෙ බටගස් වලටත් යන්න ඇත්තෙ. ඉන්දියාවේ කෙහෙල්ගස් වලිනුත් නත්තල්ගස් හදනවාලු.
      මම නම් සැරසිලි බදන් හිටියා මිසක් අත්තක් ගැන හිතුවෙවත් නෑ. අද යන්න ඕනෙ එකක් හොයාන්න.

      බාගෙට ලියපු ලිපි කීපයක්ම තියෙනවා සෙන්නා. එව්වා ගොඩක් වෙලා යන එව්වා. ඒක නිසා සරලව එකක් ලිව්වා ටක්ගාලා. නත්තලේ බ්ලොග් එක වේලෙන්න දෙන්න බෑනෙ. :)

      සෙන්නටත් පවුලේ හැමෝටමත් එසේම වේවා. පොඩි මල්ලීවත් මතක් කරන්න.

      Delete
    6. @මධුරංග,
      බ්ලොග් ලෝකෙන් අඳුරග්ත්තට අපි දෙන්නා ඉන්නෙ හූවක දුරින් :)

      @සෙන්නා,
      ළඟදීම හමුවෙමුකො. සෙන්නා දැන් නිතරම ගෙදරනෙ.

      @සහන්,
      ස්තුතියි සහන්..

      නංගි ඔයා ක්‍රිස්මස්ද? :D

      Delete
    7. හරීට නත්තලට නිවාඩු හම්බෙලා වගේ.....

      Delete
    8. හරී :
      ඉතිං හරී, හයියෙං හුවක් තිබ්බා නං උබලා දෙන්නා අඳුන ගන්න පුලුවං නේ :)

      Delete
    9. @ සෙන්නා,
      අපිට නත්තලට නිවාඩු සුද්දගෙ ක්‍රමයට. නත්තලට කලින් නිවාඩු. 26 ඉඳන් වැඩ.

      @මධුරංග,
      හුක්කි හුක්කි හූ..
      සෙන්නෝ ඇහුනදෝ..

      Delete
    10. ඇහුනා ඇහුනා.. එහෙනම් හැමදාම කුරුන්ද පිටිපස්සෙ ඉඳන් ඔහොම කෑ ගහන්නෙ උඹයි ඈ... අදනෙ දන්නෙ.... :D

      Delete
    11. ඒකනේ සෙන්නා.... ඔච්චර හූ තියන එකාව අදුනන්නේ නෑනේ...

      Delete
    12. @ සෙන්නා,
      නෙදකින් ඉතරක් කියපු කතාව.. :D

      @ මධුරංග,
      නෑ නෑ බන්. මම අද විතරයි.. වෙනදට හූව ඇහෙන්නේ සෙන්නලාගෙ ගෙවල් පැත්තෙන්.. :D

      Delete
    13. අඩේ මෙතන නේ ජොලිය තියෙන්නේ... හිනාවෙලාම මහන්සියි !

      Delete
  3. ඔන්න සුබ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි.
      මේ පැත්තෙ ආපු පළවෙනි වතාව නේද?

      Delete
    2. ම්ම්ම්... වෙන්න ඇති. එන්නම්කො දිගට ම. කුරුටු ගෑ ගී පොතට ආරාධනා කරනවා.

      Delete
  4. සුභ නත්තලක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා..

      Delete
  5. අර සැරසිලි නම් ලස්සනයි ඒ වගේම සරලයි. සුභ පතනවා සුභම සුභ නත්තලක් වෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. නැත්තල් පැතුමටත් අගය කිරීමටත් දෙකටම ස්තුතියි ගොඩාක්..

      Delete
  6. ලස්සන සැරසිලි ටිකක්.
    හදල තියෙන ඒව කඩේ කොච්චර ගන්න තිබ්බත් තමන් හදනව වගේ සතුටක් ඇතිවෙන්නෙ නෑ.

    හරීටත් සුබ නත්තලක් සහ සුබ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් ප්‍රසන්න අයියේ ඒ හැඟීම හැමදාම තියාගන්න ඕනෙ නිසා තමයි තාමත් රෙඩිමේඩ් ගවලෙන් , රෙඩිමේඩ් නත්තල් ගස් පාවිච්චි නොකරන්නෙ. කඩෙන් එකක් අරන් පිට ඔපේට ගෙදර තියනවට වඩා පවුලේ කට්ටිය එකතුවෙලා හදන එකේ අමුතු ගතියක් තියෙනවා.
      හැබැයි සැරසිලි හැදිල්ලෙදි මූණ දීපු ප්‍රශ්නෙ තමයි ඉස්සර වගේ ඇඟිලි චූටි නෑනෙ. ඉතින් නමන්න කරන්න බොහෝම අමාරුයි..

      ප්‍රසන්න අයියාටත් සුභ නව වසරක්..

      Delete
  7. සැරසිලි ටික ලස්සණයි හරී. පස්සේ නත්තල් ගහේ, ඔය ගව ලෙනේ ෆොටෝ එහෙම දාන්ට.

    //මොනවා කරන්ඩද ඉතින් මේ අවුරුද්ද බොහෝම රාජකාරි බහුල අවුරුද්දක් උනා. //
    හ්ම්ම්...හ්ම්ම්...ඔව්ලුනේ. අපිටත් ආරංචියි. :D

    //තියෙන ගවලෙන සෙට් එකට මම තරම්ම වයසයි. දැන් ඉතින් මාරු කරන්න කාලෙ හරි. //
    අම්මා හරී ගැනත් මෙහෙම කියයිද දන්නේ නෑ. :)

    අර හරීමේඩ් ඒවා හදලා පිටරට පැටෙව්වා නම් නරකද?

    හරීට සුබ නත්තලක් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි. දාන්නම්කො.

      "හ්ම්ම්...හ්ම්ම්...ඔව්ලුනේ. අපිටත් ආරංචියි. :D "හෑ.. මොනාද ආරංචි උනේ...

      "අම්මා හරී ගැනත් මෙහෙම කියයිද දන්නේ නෑ. :)" අම්මා එහෙම කියන්නෙ නෑ. ගවලෙන සෙට් එක අයින් කරලා අලුතෙන් ගන්න ඒවා තිබ්බට මං වගේ කොල්ලෙක් කොහෙන් හොයන්නද? ;)

      "අර හරීමේඩ් ඒවා හදලා පිටරට පැටෙව්වා නම් නරකද?" හරීමේඩ් අල්මාරිය ගැන පෝස්ට් එකක් ලියන්නම්. ඊටපස්සෙ පිටරට යවන ක්‍රමයක් පොඩ්ඩිම යෝජනා කරන්නකො.

      ස්තුතියි..

      Delete
  8. සුබ නත්තලක් වේවා හරිටත්...!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මනෝජ්..

      Delete
  9. අප්පොච්චියේ..................... මදෑ යන්තම් ආයෙත් එළියට බැහැලා තියෙන්නේ. මටනම් නත්තල් තෑග්ගක් හම්බවුනා වගේ තමා ආයෙත් හීනලන්තය බ්ලොග් එක පණගැන්වී තිබීමම.

    සැරසිලි ටික නම් හරිම ලස්සනයි, සරලයි, නමුත් අලංකාරය අතින් ඉහලයි. මගෙන් විවිධ ලිපි කටයුතු කරගන්න එන මෙහෙ පල්ලියේ පියතුමා කිව්වා, නත්තලට සුදු, කොළ, රතු , යන වර්ණ තුන අනිවාර්යයයෙන් තියෙන්න ඕනේ කියලා.

    දන්නවද එතුමා ඊයේ පෙරේදා වතිකානුවට වැඩම කර ආපසු ආවේ මට ලස්සන තෑගි දෙකක් අරගෙන. එකක්, අඩි 4 ක් විතර දිග, අඩි 1 1/2 ක් විතර පළල බෙත්ලෙහම් නගරය දැක්වෙන වර්ණ චිත්‍රයක්. අනික, එක පැත්තක වතිකානුවත් අනෙක් පැත්තේ කොලෝසියමත් සහිත, කාසියක් වැනි, අඟල් 1 1/2, 1 ප්‍රමාණයේ ලෝකඩ ලාංඡනයක්.

    දැන් ඉතින් තනියම නත්තල් කෑවා මදිද? 2014 නත්තලවත් තවත් එක්කෙනෙක් එක්ක හවුලේ කෑවොත් නේද නත්තලේ අගය වැඩි වෙන්නේ.

    ඔබටත් පවුලේ සැමටත් 2014 වර්ෂයම සුබ නත්තල් කාලයක් වේවා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා දැන් නමකින්ම කමෙන්ට් කරනවා නේද? ලින්ක් එකකුත් එක්කම.

      නත්තලටවත් මොනාහරි ලියන්න කියපු හින්දම කෙටියෙන් මේ වගේ පෝස්ට් එකක් ලියලා දැම්මා. දැන් ඉතින් ටික ටික ලිවිල්ල වැඩි කරන්න ඕනෑ.

      අගය කිරීමට ස්තුතියි.
      නත්තලේ ප්‍රධාන වර්ණයන් වෙන්නෙ රතු, කොළ, රත්තරන්, සුදු හා රිදී කියන පාටවල්.

      රතු යොදාගන්නේ මිනිස්සු වෙනුවෙන් හෙලපු ජේසුස් වහන්සේගේ රුධිරය සිහිපත් වෙන්නලු. ඒවගේම රතු හරිම ප්‍රීතිය ගෙන දෙන පාටක්නෙ.

      කොළ යොදාගන්නේ ජේසුස් වහන්සේගේ සදාතනික ජීවිතය සංකේතවත් කරන්නලු. ඒවගේම නත්තල් කාලෙ හිමෙන් පීඩා විඳිමින් ඉන්න ජනතාවට කොළ පාට කියන්නෙ බලාපොරොත්තුවේ පාටක්.

      මේ වගේ රත්තරන් පාට ජේසුස් වහන්සේගේ දේවත්වය සංකේතවත් කරන්නත්, රිදී පාට ජේසුස් වහන්සේගේ ගැළවීම සංකේතවත් කරන්නත්, සුදු පාට උන් වහන්සේගේ පැමිණීම සිහිපත් කරන්නත් යොදා ගන්නවාලු.

      "දන්නවද එතුමා ඊයේ පෙරේදා වතිකානුවට වැඩම කර ආපසු ආවේ මට ලස්සන තෑගි දෙකක් අරගෙන." තෑගි ලැබීම ගැන සංතොසයි. හැබැයි කියවනකොට අඟලුයි අඩියි මාරු උනා. හීනි තීරුවක් තරම් චිත්‍රයක් හිතේ මැවුනෙ පිඟානක් තරම් ලෝකඩ ලාංඡනයක් එක්ක. :D

      "දැන් ඉතින් තනියම නත්තල් කෑවා මදිද? 2014 නත්තලවත් තවත් එක්කෙනෙක් එක්ක හවුලේ කෑවොත් නේද නත්තලේ අගය වැඩි වෙන්නේ. " ඔය ඉතින් නත්තල් නෙමෙයි මාව කන වැඩක් කියන්නෙ. :D

      ස්තුතියි විචාරක මහත්මයා. 2014 විචාරක මහත්මයාටත් සුභම සුභ වසරක් වේවා..

      Delete
  10. Naththal sarasili tika nam harima lassanai Haree. Ara uthsaha karapu 10nma eka eka hari Naththal Gahe ellala photo ekak aragena danna. Ara anka 1ta uthsaha karapu tharuwa nam kalin dakke nane.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩාක්. මගේ බ්ලොග් එකට ආපු පළවෙනි පාරද? කමෙන්ට් දාපු පළවෙනි පාරද? :)

      හා. අද හවසට නත්තල් ගහ හදලා පොටෝ එකක් දාන්නම්කො. කලින් දැක්කේ නෑ කිව්වෙ?? ඉතුරු සැරසිලි කලින් දැකලා තිබුන ඒවද?

      සුභ නත්තලක් හා 2014 සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  11. කාලෙකට පස්සෙ දැකීම සතුටක්...මෙදා පාර නත්තල ප්‍රීතිමත් එකක් වෙන්ට කියා පතනවා..

    ReplyDelete
    Replies
    1. සිරා එහෙමත් රට හැර ගිහිල්ලලු නේද? සුභ පැතුමට ස්තුතියි..

      Delete
    2. ඔව් බං....දැන් මැලේසියාවෙ වෙසෙන්නෙ...ඒකයි ගෙට්ටුවට හිටියෙ නැත්තෙ....

      Delete
    3. කොහේ හිටියත් හොඳින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

      Delete
  12. සුභ නත්තලක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සාරංග.

      Delete
  13. ඉතාමත් අහිංසක නත්තල් සූදානමක්....පෝස්ට් එකත් ඒ වගේ...ඔබත් ඔබ පවුලේ සියළු දෙනාටමත්, අසල්වැසියන්ටත් මිහිරි නත්තලක් ප්‍රාර්ථනා කලබව කියන්න!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තුතියි අරූ..

      Delete
  14. යාන්තං ඇති මට බ්ලොග් එක අටවලා දන්න මගේ පළවෙනි බ්ලොග් යාළුවා ආයෙත් ඇවිත්

    ReplyDelete
    Replies
    1. අටං අයියට තාම මතකයිනෙ ඒවා.. :)

      2014 සුභම සුභ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
    2. එතකොට හරී මුල් ගුරුවරයෙක්. මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එක හදන්න උදවු කළේ හරී. කමන්ට් දාන්න ලින්ක් එකක් හදලා දුන්නේ හරී. ඊලඟට මගේ බ්ලොගර් අඩවිය වැඩිදියුණු කරගන්න උදව් කලේ අටම්. මේක මහා පුදුමාකාර ගුරුගෝල සම්බන්ධයක්නේ.

      Delete
    3. මුල් ගුරුවරයෙක් කියන වචනෙ අහලා තිබ්බාට හරි තේරුමක් දැනන් හිටියේ නෑනෙ. ඇත්තටම ඒකෙ තේරුම මොකක්ද විචාරක මහත්මයා..

      පුළු පුළුවන් විදිහට කරපු සුළු සුළු උදව්නෙ ඒවා.. විචාරක මහත්මයත් මට උදව් කරලා තියෙනවනෙ.. ස්තුතියි ඔක්කොටම..

      Delete
  15. සැරසිලි ටික නම් ලස්සනයි, සුභ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. අගය කිරීමටත් සුභ පැතීමටත් ස්තුතියි!

      Delete
  16. සුභ නත්තලක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනූක..

      Delete
  17. සුබ නත්තලක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යකෝ... නම කිව්වෙ හොඳේ.. :)

      Delete
  18. සුබ නත්තලක් වේවා පවුලේ හැමට !

    මෙන්න නත්තල් තෑග්ගක්...
    සිංහල ලේසියෙන් ටයිප් කරන්න [REALTIME SINGLISH]

    ReplyDelete
  19. බොහෝම ස්තුතියි යාලුවා. මේ කොටන්නෙ යාලුවා දුන්න එකෙන්. අකුරු ටිකක් වෙනස් නිසා පුරුදු වෙන්න වෙනවා.

    ඔයාටත් සුභ නත්තලක්.

    ReplyDelete
  20. පරක්කු වුනත් හරීට සුභ නත්තලක් හා සුභ අළුත් අවුරුද්දක්..
    මාසෙකට හරි එක පෝස්ටුවක් වැටෙනවා නම්..!!

    ReplyDelete
    Replies
    1. රූ අක්කටත් 2014 වාසනාවන්ත අවුරුද්දක් වේවා!

      ලබන අවුරුද්දෙ උත්සාහ කරන්නම්කො එහෙම කරන්න.

      Delete
  21. මෙහෙම එකකින් හරි නත්තලට ආ එකත් ලොකු දෙයක්. ජීවි්තේ සමහර දේවල් වලට කාලය වෙන් කර ගැනිම කාටත් පොදු ගැටලුවක්.
    එහෙමනම් හරී ඔබටත් සුබම සුබ නත්තලක් සහ 2014 වසර සියලු පැතුම් ඉටුවන අවුරුද්දක්ම වේවා..

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ගොඩාක් බ්ලොග් ලියන අයට කාලය පිළිබඳ ගැටළු තිබුන බවයි පෙනුනෙ.

      දයා අයියාටත් 2014 වාසනාවන්ත අවුරුද්දක් වේවා!

      Delete
  22. ශා..හරීගේ සැරසිලි ටික පංකාදුයි

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...