12.30.2013

මම නම් කියන්න බැරිතරම් හොඳින්

ජෙරී කියන්නෙ ඕගොල්ලන්ට දැක්කම ඉරිසියා කරන්න හිතෙන තරමේ මනුස්සයෙක්. එයා හැමතිස්සෙම ඉන්නෙ හරිම සතුටුදායක මුහුණකින්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා කියන්න. කවුරුහරි "ආ.. කොහොමද යාළුවා? " එහෙමත් නැත්නම් "කොහොමද මහත්මයා සැප සනීප?" කියලා අහපුවම කවදත් දුන්නෙ එකම එක උත්තරයයි.

"මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"

තවදුරටත් කියනවා නම් ජෙරී කියන්නෙ සාමාන්‍යය අවන්හල් කළමනාකරුවෙක්. මේ වෙනකොට තැන් කීපයකම වැඩ කරලා තියෙනවා. පුදුම වැඩේ කියන්නෙ ඒ ඒ අවන්හල්වල ජෙරී යටතේ වැඩ කරපු සේවකයො බහුතරයක් ජෙරීගේ පස්සෙම වැටීගෙන එන එකනෙ. ඒකට ලොකුම හේතුව ජෙරීගේ යහපත් ආකල්ප. ඊටත් වඩා ඔහුගේ තිබ්බ සේවකයන් දිරිගැන්වීමේ ශක්තිය. කිසිම සේවකයෙක් දුකෙන් කරදරයෙන් ඉන්නවාට ඔහු කැමති උනේ නෑ. දුකෙන් ඉන්න කෙනෙක් දැක්කොත් කතා කරලා ඔහුගේ දුක ඇතුළෙ සතුටක් පෙන්වලා ඔහු අස්වසන්න ජෙරීට මනා හැකියාවක් තිබුනා.

ජෙරීගේ නිතර දකින සතුටුදායක මුහුණ කාලයක් තිස්සෙ මට ලොකු ප්‍රශ්නයක්, කුහුලක් උනා. මම කාලෙකට කලින් දවසක් ගියා ජෙරීව හමුවෙන්න. ආගිය තොරතුරු කතාවෙන අතරේ මම මෙහෙම ඇහුවා. "මට තේරෙන්නෙ නෑ ජෙරී ඔයා හැමතිස්සෙම මෙහෙම සතුටින් ඉන්නෙ කොහොමද කියලා. මනුස්සයෙකුට බෑ එහෙම හැම දෙයක් ගැනම හැමතිස්සෙම ධනාත්මකව හිතන්න. ඔයා ඒක කරන්නෙ කොහොමද?"

ජෙරී පොඩි හිනාවක් නඟාගෙන මගෙ පිටට තට්ටුවක් දාලා මෙහෙම කිව්වා. "හැමදාම උදේ නැගිට්ට ගමන්ම මම මෙහෙම හිතනවා. 'ජෙරියෝ, අද උඹට තෝරාගැනීම් දෙකක් කරන්න තියෙනවා. එක්කෝ සතුටින් ඉඳීම තෝරාගන්න පුළුවන්. නැත්නම් දුකෙන් ඉඳීම තෝරාගන්න පුළුවන්.' ඉතින් මම සන්තෝසෙන් ඉඳීම තෝරාගන්නවා. නරක දෙයක් වෙච්ච හැමතිස්සෙම මට පුළුවන් එක්කෝ ඒක මත්තෙම නැහි නැහි ඉන්න. එහෙම නැතිනම් ඒකෙන් පාඩමක් ඉගෙනගන්න. මම පාඩමක් ඉගෙනගන්නවා. කවුරුහරි මට චෝදනා කරන්න ආපුවාම මට පුළුවන් එක්කෝ වරදක් විදිහට භාරගන්න. නැතිනම් ඒකෙන් වෙච්ච හොඳ දේවල් දකින්න. මම හොඳ දේවල් දකිනවා"

"ඔව්. මට තේරුනා. ඒත් ඕවා කියන තරම් ලේසිද?" මම මුහුණට අවිශ්වාසයක් නඟාගෙන ප්‍රශ්න කළා.

"ඇත්තෙන්ම ඔව්. ජීවිතය කියන්නෙ තෝරාගැනීම් ගොඩක එකතුවක් හරී. අනං මනං හලලා ගත්තාම අපි ගතකරන හැම මොහොතක්ම මොකක් හරි තෝරාගැනීමක්. ඔයා තමයි තෝරාගන්නෙ එක එක අවස්ථාවට අනුව කටයුතු කරන හැටි. ඔයා තමයි තෝරාගන්නෙ ඔයාගෙ දුකට, සතුටට අනිත් මිනිස්සුන්ට කොච්චර බලපෑම් කරන්න පුළුවන්ද කියන එක. කොටින්ම කිව්වොත්  ඔයාගේ ජීවිතය ජීවත් කරන විදිහ තෝරාගන්න ඕනෑ ඔයාමයි. "

මේ කතාවෙන් පස්සෙ මම ජෙරීව අනුගමනය  කරන්න හුඟාක් උත්සාහ කළා. ටික කලකින්ම ඒ පළාත අතාරින්න වෙච්චි නිසා ජෙරීගේ ආශ්‍රයත් අඩුවෙලා අඩුවෙලා ගිහින් නැතිවෙලාම ගියා. ඒත් මම ජෙරී කිව්ව විදිහට සතුටුදායකදේම තෝරාගත්තා. බැරිවෙච්ච වෙලාවලුත් තිබ්බා. ඒ හැමවෙලේම ජෙරී හිතින් මම ළඟ හිටියා.

අවුරුදු ගානකට පස්සෙ මට ජෙරී ගැන ආයෙත් ආරංචියක් ලැබුනා. ඒ වෙනකොට එයා ලොකු වැරැද්දක් කරලා කරදරේක වැටිලයි හිටියෙ. ජෙරී වැඩකරපු අවන්හලට බඩු ගේන්ඩ පාවිච්චි කරපු පිටිපස්සෙ දොර වහන්න දවසක් රෑක ජෙරීට අමතකවෙලා තිබුනා. ඒකෙන් ප්‍රයෝජන ගත්තු මංකොල්ලකාරයෝ තුන්දෙනෙක්  අවි ආයුධත් අරගෙන අවන්හලට ඇතුළු වෙලා සේප්පුව අරින්න ජෙරීට බල කරලා තියෙනවා. ජෙරී කලබලේට සේප්පුව අරින්න යද්දී අත ලෙස්සල ගිහින්. ආයුධයක් ගන්න යනවා කියලා හිතපු මංකොල්ලකාරයෝ ජෙරීට දිගට හරහට වෙඩි තියලා.

ජෙරීගේ වාසනාව කියන්නෙ එවලෙම අවන්හලේ සේවකයන්ට පුළුවන්වෙලා තියෙනවා ඔහුව රෝහල්ගත කරන්න. පැය 18ක සැත්කමක් කරලා සති ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ හිටපු ජෙරී ගෙදර ආවෙ එදා ඇඟට ඇතුළුවෙච්ච සමහර උණ්ඩ කෑලිත් එක්කලු. මම සිද්ධිය දැනගෙන බලන්න යද්දි මාස හයකුත් පහුවෙලා තිබුනා.

"කොහොමද ජෙරී?" මම ශෝකීය ස්වරයකින් ඔහු විමසුවා.

"මම නම් කියන්න බැරිතරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද? බුලට් වැදිච්ච තැන් පෙන්වන්නද?"

මම බලාපොරොත්තු වෙච්ච පිළිතුරක් නෙමෙයි ලැබුනෙ. මට ඕනකමක් තිබ්බෙ නෑ ජෙරීගේ ඇඟේ තුවාල බලන්න. "එවලෙ මොනවද ජෙරී ඔයාට හිතුනෙ?" මම හිතේ තුවාල හෙව්වද කොහෙද?

"මට මුලින්ම හිතුනේ පිටිපස්සෙ දොර වහන්න තිබුනා නේද කියලා. ඒත් එක්කම මම දිගා උනා. මට මතක හැටියට තෝරාගැනීම් දෙකයි තිබ්බෙ. ජීවත්වෙනවද? මැරෙනවද? මම ජීවත්වීම තෝරාගත්තා"

"ඔයා බය උනේ නැද්ද? අඩුගානෙ සිහිය නැතිවුනේවත් නැද්ද?" මම ඇහැව්වා.

"නියම ඇටෙන්ඩන්ට්ලා වගයක් එවලෙ මා ළඟ හිටියා. ඒගොල්ලො මාව ගෙනියද්දී දිගින් දිගටම කිව්වෙ මට මොකුත් වෙන්නෙ නෑ කියලා. ඒත් වාට්ටුවට ගනිද්දි නර්ස්ලයි දොස්තරලයි මා දිහා බැලුවේ මැරිච්ච මිනිහෙක් ගානට. 'මේ මිනිහා මැරිලා ඉවරයි' මට පෙනුනා ඔවුන් එහෙම හිතන බව. මට හිතුනා මම මොනාහරි කරන්න ඕනෙ කියලා"

"ඉතින් මොනවද කලේ?"

"එතන හිටපු තප්පදෝරු කටහැකර නර්ස් කෙනෙක් කෑගහලා මගෙන් ඇහුවා මම මොනවට හරි ඇලර්ජික්ද කියලා. මම 'ඔව්' කිව්වා. දොස්තරලයි නර්ස්ලයි වැඩ නවත්වලා මා දිහා බැලුවෙ ඒ මොනවද දැනගන්න. පුළුවන් තරම් තදින් හුස්මක් අරන් මම 'බුලට්ස්' කිව්වා. කට්ටිය ඔක්කොම හිනා උනා. හිනාව අතරින් මම කිව්වා 'මම ජීවත්වීම තෝරාගෙන තියෙන්නෙ. ඒක නිසා මැරෙන්න යන මිනිහෙක් කියලා නොහිතා ජීවත්වෙන්න හදන මිනිහෙක් කියලා හිතාගෙන ඔපරේට් කරන්න' "

ජෙරීට ප්‍රතිකාර කරපු දොස්තරලාගේ දක්ෂතාවයට ස්තුතිවන්ත වෙන්න ඔහු හොඳින් ජීවත් වෙනවා. ඒ වගේම ඔහුගේ ආකල්ප නිසාත්. මම ඔහුගෙන් ඉගෙනගත්තු ලොකුම දේ තමයි එක් එක් දවස තුළ හොඳින් ජීවත්වීමට තෝරාගැනීම. අවසාන වශයෙන් කියනවා නම් සැමදෙයකටම මූලික වෙන්නෙ තමුන්ගේම ආකල්ප. තමුන්ම තමයි තමුන්ගේ ජීවිතය තෝරාගන්න ඕනෙ.

ඉතින් ඕගොල්ලො හැමෝටම '2014 වර්ෂය සතුට තෝරාගැනීමට ලැබෙන වර්ෂයක් වේවා' කියලා මම ප්‍රාර්ථනා කරනවා. සෑම දෙයක් තුළම සතුට පෙනේවා. සුභ නව වසරක්!


සටහන : Francie Baltazar-Schwartz ගේ කතාවක්, අනුවර්තනය කළේ හරී.


ප.ලි. :  ගල් ටික හරියට දාගත්තද?

51 comments:

  1. Hama dema honda widiyata dakina shakthimath hithak me awuruddedi oyatath matath pawle hamotamath yaluwo hamotamath labewa!!!
    E hithen Jerrie wage anik ayatath e sathuta bedanna hakiyawa labewa!!!!
    Awurudu paniwidayata sthuthi Haree!!!
    Subama suba aluth awuruddak!! :)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමම පතනවා. (මේකෙ ප්‍රාර්ථනා හරියට ලියන්න බෑ :( )

      මට හිතුනේ ලෝකෙ හැමෝම එහෙම හිතුවොත් මේ ලෝකෙ ස්වර්ගයක් වෙයිනෙ කියලා.

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  2. පොලියානා කතා මාලාව මතක් වෙනවා මේක කියවද්දී

    ReplyDelete
    Replies
    1. මුල් කතාව කියවද්දී මටත් එහෙම හිතුනා. හැබැයි මම පොලියානා කතාව කියවලා නෑ. පොලියානා ගැන ගෝල්ඩ්ෆිශ් ලියපු පෝස්ට් එකක් කියෙව්වා.

      Delete
  3. කියවපු හොඳම අලුත් අව්රුදු සටහන. බොහොම ස්තූතියි හරී. සතුට ‍තෝරාගන්න උත්සහා කරන්න මමත් අදිශ්ඨාන කරගත්තා. ඕක දවස් කීයක් මතක තියෙයිද කියන එකයි පුරස්නෙ..

    හරීටත්, පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔන්න හොඳම අගය කිරීමක් කුරුන්දෙ සෙන්නගෙන්. මමත් ඉතින් අධිෂ්ඨාන කරගන්න ප්ලෑන් කරන්න හරිම දක්සයි. ඒ කොරන්න ගියාම තමයි වැඩේ. හැබැයි ගිය අවුරුද්දෙ නම් මම පොඩි ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කළා. ඒකෙ උදව්වෙන් නම් ටිකක් වැඩ කළා කියන්නත් පුලුවන්. ඒ උනත් කවුරුහරි කරපාන් කරපාන් කියන්න ඕනෙ.. :)

      සෙන්නටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක්.. චුටි මල්ලි මෙදා දෙකේ නේද?

      Delete
  4. හරිම ලස්සණ සටහන හරී...එහෙම හිතන්ට උත්සාහ ගන්නම්කෝ...

    හරීටත්, අරීටත් ( :D ) පවුලේ සැමටත් සුබම සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. හරී ??? අරී ? හරී අරී :D

      සන්තානම් මෑණියනි මේ කවුද අරී කියන්නේ ?

      Delete
    2. හරි විදියට නම් නම් දෙක හරා+හරී වෙන්ට ඕනි නේ. ඉතින් මම නමක් නැති හන්දා එයාට අරී කියලා දැම්මා...:D :D

      Delete
    3. පොඩ්ඩි හදන්නෙ ඔය හරා-කිරි කරවන්න, මේ පරණ අව්රුද්දේ

      Delete
    4. ඕ...අයි....සී... !
      දැන් නේ ගේම් එක තේරුනේ !

      Delete
    5. අපේ හරී අපිට අරී

      Delete
    6. @පොඩ්ඩි

      උත්සාහ අරගෙන එහෙම හිතන්ට ඕනෙ..

      පොඩ්ඩිටත් අත්තම්මා අප්පච්චි අම්මා ඇතුලු හැමෝටමත් සුභ නව වසරක් වේවා!

      @මධුරංග,

      අයි සී ද ගඩොල් :)

      @ සෙන්නා,

      :)

      @ඇනෝ,

      කොයි වෙලේද?

      Delete
  5. බොහොම ලස්සන කතාවක්. ඒ වගේම හොඳ පරිවර්තනයක්.

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  6. අති සාර්ථක අනුවර්තනයක්. ජෙරී වගේ වෙන්ට ආසයි තමා.. ජය වේවා හරි..

    ReplyDelete
    Replies
    1. දේශකයාටත් 2014 ජයෙන් ජයම වෙන අවුරුද්දක් වේවා!

      Delete
  7. සුබවාදී ආකල්පයක් තියෙනවනං ජීවිතේ බොහෝ දේවල් සාර්ථක කරගන්න පුලුවං.

    හරීටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. හැම එකටම මුල් වෙන්නෙ චේතනා. චේතනා හොඳ නම් ඔක්කොම හොඳයි කියනවනෙ. ඒත් ඔහොම කිව්වම සමහරු කියන්නෙ දැන් චේතනාගෙත් ඒ හැටි හොඳක් නෑ බං කියලා.

      ප්‍රසන්න (හරියට ලියන්න බෑ) අයියටත් පවුලේ ඔක්කොටමත් සුභ අලුත් අවුරුද්දක්!

      Delete
  8. ජෙරී වාගේ හිතන්න පුරුදු වෙන්න ඕන මේ අළුත් අවුරුද්දේ ඉදන්.
    ඔය වාගේ කතාවක් තමා පොලියානා පොත් වල තියෙන්නේ. ඔන්න හරී ආයේ ගෑල්ලමයට තෑගි අරන් දෙනකොට පොලියානා පොත් ටික තෑගි දෙන්න. තෑගි දීලා පස්සේ එයාගෙන් ඉල්ලාගෙන බලන්ඩ :)

    ඒක නෙමේ හරි.
    හරි වචනේ අනුවර්තනය නෙමේ පරිවර්තනය නේද ? අනුවර්තනය කියන්නේ මේ බටහිර කතාව අපේ තාලායට අපට ගලපෙන විදිහට වෙනස් කරගන්න එකට නේද ? ඔය සත්තුත් පරිසරයට අනුවර්තනය වෙන්නේ.... ඒ වාගේ. පරිවර්තනය කියන්නේ වෙනත් භාෂාවකින් තියෙන දෙයක් තව භාෂාවකට හරවනවා වගේ ක්‍රියාවලියකට.

    මම හරි නේද හරී?

    ReplyDelete
    Replies
    1. ඔව් බොලා හරි. මේකෙ ජෙරී වෙනුවට සිරිපාල කියලා ලියලා, තව අඩු වැඩි කොටස් එකතු කරානම් ආන්න අනුවර්තනයක් වෙනවා..

      Delete
    2. එතකොට අනුවාදය කියන්නේ ?

      Delete
    3. //ජෙරී වාගේ හිතන්න පුරුදු වෙන්න ඕන මේ අළුත් අවුරුද්දේ ඉදන්.//
      ඔන්න අලුත් අවුරුද්දෙ කරනවානම් වැඩේ.

      //ඔය වාගේ කතාවක් තමා පොලියානා පොත් වල තියෙන්නේ.//
      මමත් අහලා තියෙනවා. ඔන්න ඉතින් කමෙන්ට් එක දැම්මා නම් පොත් අරන් දෙන්නත් සල්ලි දීපන්. දැන් බලාගෙන ඇති පොත් අරන් දෙනකන්.. :) පොත් ගන්න නම් බැරියැ බං. ඒත් කෝ කියවන්න වෙලාව.


      @මධුරංග ඇන්ඩ් සෙන්නා
      පරිවර්තනය කියන්නෙ එක් භාෂාවකින් කියවෙන දෙයක් තව භාෂාවකට හැරවීම කතාව එහෙමම තියාගෙන නම් ගමුත් එක්කම.
      අනුවර්තනය කියන්නෙ කතාව අරන් අඩු වැඩි කොටස් දාලා නම් වෙනස් කරලා වෙනත් සංස්කෘතියකට ගැලපෙන ආකාරයට සකස් කිරීම.
      විතින් මම දන්න විදිහට ඔව දෙන්නම් හරි.

      මට මෙතනට අනුවර්තනයද පරිවර්තනයද යොදන්නෙ කියන ප්‍රශ්නය තිබ්බා.

      "මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?" කොටස මුල් කතාවෙ තියෙන්නෙ “If I were any better, I would be twins!” කියලා. ඉතින් මම ලිව්වෙ ඒකෙම පරිවර්තනයක් කියන්න බෑනෙ. අනික මේකෙ මම කියන පුද්ගලයට හරී කියන නම මම දීලා තිබුනා ඒකයි අනුවර්තනය කියලා දැම්මෙ.

      ඉතින් ගැලපෙන වචනය මොකක්ද? තාමත් ප්‍රශ්නය එහෙමමයි.

      @ ඇනෝ,
      දන්න කෙනෙක්ගෙන් අහලා බලමු.

      Delete
  9. බොහොම හොඳ පරිවර්ථනයක් හරී....
    යහපත් ආකල්පවලින් පිරුණ සතුට තෝරාගන්නට හැකි සුභ නව වසරක් වේවා ඔබට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි.
      සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  10. ජෙරීට වගේ කියන්න බැරි තරම් හොඳින් ඉන්න පුළුවන් සාමය,ප්‍රේමය පිරි සුබ නව වසරක් වේවා හරි ඇතුළු පවුලේ සැමටම...!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! සුභම සුභ නව වසරක්

      Delete
  11. ඔන්න මමත් අද ඉදන් සතුටම විතරක් තොර ගන්න හිතා ගත්තා ...

    සුභ නව වසරක් වේවා හරි ...

    ReplyDelete
    Replies
    1. සතුටම විතරක් තෝරගන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  12. සුබ නව වසරක් වේවා හරී.

    මම
    ඔයාගෙම අරී.

    ReplyDelete
    Replies
    1. හරී මට අරී
      මම
      හරීගේ අරී

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක්!

      Delete
  13. සුභ වාදීව ජීවිතේ දිහා බැලුවොත් වැටි වැටි හරි නැගී සිටින්න පුලුවන්...වටිනා කථාවක්...මමත් දන්න ජෙරී කෙනෙක් ඉන්නවා ඔය මීගමු පළාතෙ...මම මුලදි හිතුවෙ එයාද කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිරාගෙ ජෙරීත් හෝටල් බුවෙක් වෙන්නැති.

      සිරාටත් සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  14. සුභ නව වසරක් වේවා හරී...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා තිසරටත්..

      Delete
  15. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...

    ReplyDelete
    Replies
    1. හොඳ සුභ පැතීමක්.. ඒවගේ අවුරුද්දක් ලැබුනොත් මරුනෙ. දිනේෂ් අයියටත් එසේම වේවා!

      Delete
  16. සුභ නව වසරක් වේවා හරියෝ

    ReplyDelete
    Replies
    1. ඩිලාන්ටත් පවුලේ ඔක්කොටමත් එසේම වේවා!

      Delete
  17. //සටහන : Francie Baltazar-Schwartz ගේ කතාවක්, අනුවර්තනය කළේ හරී.

    මේක අනුවර්තනය නෙමේ. පරිවර්තනය

    ReplyDelete
    Replies
    1. ඒක නම් මටත් ප්‍රශ්නයක්. උත්තරේ මම මෙතන කියලා ඇති.

      Delete
  18. හරීටත් සුභම සුභ අළුත් අවුරුද්දක්..

    ReplyDelete
    Replies
    1. රූ අක්කටත් එසේම වේවා!

      Delete
  19. dawasatama obina satahanak.. suba nawa wasarak hariii

    ReplyDelete
    Replies
    1. සයුරි අක්කටත් පවුලෙ ඔක්කොටමත් එසේම වේවා!

      Delete
  20. Yes, we choose to be happy or unhappy. It's our choice.
    Happy new year!

    ReplyDelete
    Replies
    1. Ohh Henry ayiyaa after long time..

      Wish you very Happy New Year 2014!

      Delete
  21. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා උත්තර පරක්කු වීම ගැන. මේ අවුරුද්දෙ මුල ඉදන් බ්ලොග් ලියනවා කියලා ඉද්දිම මැසිම ලෙඩ උනා. ඉතින් මගේ ලැපේ බොහොම අමාරුවෙන් කොටලා රිප්ලයි කරන්නේ. වැරදීම් ඉවසා වදාරන්ට.

    ReplyDelete
  22. හැම වෙලාවේම ධණාත්මකව හිතන්න පුළුවන් නම්, ඒක අපේ ජීවිතයට ගොඩාක් වෙලාවට හොඳ විදිහට බලපානවා. මමත් හැම වෙලාවේම උත්සාහ කරනවා මේ විදිහට ඉන්න,

    අවුරුද්ද හොඳින් ගලාගෙන යනවා කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. …ඒ විදිහටම දිගටම ගලාගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...