3.17.2016

කුළුඳුල් කොණ්ඩ කැපීම

පහුගිය ඉරිදා උදේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දි අපි හැමෝම ලෑස්ති උනේ විශේෂ ගමනක් යන්න. අපේ චුටි පුතාගෙ කොණ්ඩෙ කපාගෙන එන්න යන්න. කොණ්ඩ කපාගෙන එන්න යන එක විශේෂ ගමනක් වෙන්නෙ කොහොමද කියන එක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. මේක එයාගෙ පළමුවෙනි කොණ්ඩ කැපීම. ඒ උනත් ඒකෙත්  විශේෂයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මේ කෙටි ලිපිය ලියන්නෙ ඒ ගන පොඩි විස්තරයක් කරන්න.

සම්ප්‍රදායක් විදිහට කතෝලිකයෝ තමුන්ගෙ දරුවන්ගෙ කොණ්ඩෙ කපන්නෙ පල්ලියකදි. මේක පොඩි කාලෙ බව්තීස්ම කරනවා වගේ කතෝලිකයන් අනිවාර්යෙන් කළයුතු දෙයක් හෝ නිල වශයෙන් පිළිගන්නා දෙයක් හෝ නෙමෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායක් විදිහට කරගෙන යන දෙයක් වගේ. මේ විදිහට පල්ලියකදී මුලින්ම කොණ්ඩෙ නොකපන අයත් ඇති.

ගොඩක් දෙනෙක් මේ සඳහා තෝරාගන්නෙ ගර්භවාස දේවමාතාවන්ට (Mother of Expectation) කැපකළ දේවස්ථානයක්. මීගමුව කොච්චිකඩේ පැත්තෙත් ළදරුවන්ගේ කොණ්ඩ කැපීමට ප්‍රසිද්ධ දේවස්ථානයක් තිබුනත් අපේ පරම්පරාවෙම කොණ්ඩෙ ඉස් ඉස්සෙල්ලාම කපලා තියෙන්නෙ මට්ටක්කුලියේ ගර්භවාස පල්ලියේ තමයි. 
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය අවුරුදු එකසිය පනහකට වඩා ඉතිහාසයක් තියෙන පල්ලියක්. කුඩා ළමුන්ගෙ කොණ්ඩා කැපීමට පැමිණෙනවාට අමතරව දරු ප්‍රසුතීන් සඳහා පිහිට උපකාර පතාත් ජනතාව මේ පල්ලියට එනවලු.
ළමුන් තබන තොටිල්ල

අපි යනකොටත් ළමුන් කිහිපදෙනෙකුගේ කොණ්ඩ කපනු දකින්නට තිබුණා. අපේ පුතාගේ කොණ්ඩ කැපීමෙන් පස්සෙ වී කුරුල්ලො රංචුවක් නිදහස් කරන්නත් අමතක කෙළේ නෑ. එහෙම කරන්නේ ඇයි කියන්න හේතුවක් දන්නේ නැතත් කාලයක ඉඳන්ම මිනිස්සු කුරුල්ලො නිදහස් කරනවාලු. වී කුරුල්ලො ටිකට ඉගිල්ලිලා නොපෙනී යන්න තත්පර දෙකක්වත් යන්න නැතුව ඇති. 

ගර්භවාස දේවමාතා පිළිරුවක්      

35 comments:

  1. මම ඔය ඇහුවමනේ හරී ක‍තෝලිකයෝ පල්ලි වල කොන්ඩ කපන කතාවක්... මම මාතෘකාව දැක්කමත් හිතුනා හරිලා ක‍තෝලික වෙලත් මොකද මේවා කරන්නෙ කියලා... මම හිතන්නේ ඕක සංකෘතියයි, ආගමයි මිශ්‍ර වෙච්ච් අවස්තාවක්....

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඒක අදමයි ඇහුවේ කියන එක මටත් පුදුමයි. අපේ පැත්තෙ ගොඩ දෙනෙක් මීගමුවෙ පල්ලියට යනව ලේසියි ළඟයි කියලා. මට්ටක්කුලියෙ පල්ලිය බොහොම ප්‍රසිද්ධයි කොණ්ඩ කැපීමට. එතන වෙනම එක්කෙනෙක් ඉන්නවත් එක්ක ඒකටම. සංස්කෘතිය කිව්වෙ? බෞද්ධාගමික ළමයින්ගේ කොණ්ඩ කපන ඒ වගේ චාරිත්‍රයක් තියෙනවද? මම නම් අහලා නෑ.

      Delete
    2. https://en.wikipedia.org/wiki/First_haircut

      Delete
    3. ලින්කුව බැලුවා. ස්තුතියි

      Delete
  2. Good to know. My little most one is just one month old and bugger has got long hair already. I'm planning to cut it in my own this weekend. :)

    ReplyDelete
    Replies
    1. Same old as my boy. He also got long hair so we have to cut his hair quicker.

      Delete
  3. සමහර පොඩ්ඩො ඉන්නව කොණ්ඩෙ වවාන ගෑණු ළමයි වගේ.. මං හිතං හිටියෙ උං අර ආසාවට කොණ්ඩෙ වැවෙන්ට ඇරල කියල බැලි්නං පොඩි එකාට අපලලු ඒව ඉවර වෙනකං කපන්නෙ නෑලු. වතාවක් එක පොඩි එකෙක් හිටිය උගෙ කොණ්ඩෙ තිබ්බ සට්ටම දිහට්ට වෙනකං.. පුහ්..

    මේක කියෙව්වට පස්සෙ මගෙ යාලුවෙට්ට කෝල් එකක් දාල ඇහුව.. ඌ දන්නෙත් නෑ පස්සෙ ගෙදරිං අහල බලල කීවෙ නං එහෙම මොනාත් උට කලේ නෑලු.. බුවාගෙ ඩැඩා ගෙ නං පොඩි කාලෙ එහෙම කපල තමා වැඩ පටං ඇරං තිබ්බ කියල කීවෙ

    දැනගන්න කියල කොච්චර දේ තියේද නේහ්

    ReplyDelete
    Replies
    1. අපල වලට කොණ්ඩෙ කපන්නෙ නෑ කියලා ඇහුවමයි. ඇත්තටම පොඩි එවුන් පව්. උන්ට මහ වදයක් කොණ්ඩෙ වවාගෙන ඉන්න එක. දාඩිය දානවා ඇදෙනවා.

      සාමාන්‍යයෙන් පොඩි එවුන්ගෙ කොණ්ඩෙ කපන්නෙ පහුවෙලා. ඒත් මෙයාගෙ කලින්ම කැපුවෙ මේ ටිකේ රස්නෙ හින්දා දාඩිය දාන නිසාත් කොණ්ඩෙ ඇදගෙන බෙරිහන් දෙන නිසාත්.

      Delete
  4. ලංකාවේ කොහොමත් කොන්ඩේ කපන්ට නැකැත් තියෙනවා කියලයි මම හිතුවේ. ඔහොම ගෙනිහින් කපනවා කියලා දැනගෙන හිටියේ නෑ. කපපු කොන්ඩේ ටිකට මොකද කලේ?

    හරී අප්පච්චි කෙනෙක් වෙලාද? හපොයි දන්නෙත් නෑ. මේ ඊයේ පෙරේදා බැන්දා වගේ මතක...:P

    හරී, හරී හරී සහ චූටි හරීටත් උණුසුම්ම උණුසුම් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. මම එහෙම නැකත් බලන බව දන්නෙ පහළ ප්‍රසන්න අයියා කියපු හින්දා. කලින් දැනගෙන හිටියෙ නෑ.

      ඒ කොණ්ඩෙ එතන තිබ්බ සුරුවමක් යටින් තිබ්බා. පස්සෙ විසිකරනවා ඇති. හැබැයි එතන එක්කෙනා කිව්වෙ ගෑණුළමයෙක්ගෙ කොණ්ඩෙ කැපුවාම ටිකක් ගෙදර ගෙනියන්න දෙනවාලු.

      අපොයි දැන් අවුරුද්දකුත් වෙලානෙ.

      සුභපැතුම් වලට ස්තුතියි. මම කියන්නම්කො පොඩ්ඩි නැන්දා සුභ පැතුවා කියලා.

      Delete
    2. //කපපු කොන්ඩේ ටිකට මොකද කලේ?//

      අපේ අය නම් ඒ ටිකක් පරෙස්සම් ඇතුව අරන් තියනව. අපි පොඩි කාලෙ මුලින්ම කපපු කොණ්ඩ කෑලිත් කවරවල දාලා අම්මගෙ අල්මාරියෙ තියෙනව මම දැක්ක ඒ දවස්වල. තාමත් ඇති සමහර විට.

      Delete
    3. අපේ නම් එහෙම නෑ මම හිතන්නෙ.

      අපේ පැත්තෙ තව වැඩක් තියෙනවා ළමයගෙ වැටිච්ච පෙකණිය කැළණි ගඟට දාන එක. ඒකත් කළා කොණ්ඩෙ කපාගෙන එන ගමන්. හැබැයි පොඩි එකාගෙ පෙකණිය නෙමෙයි මගෙයි මල්ලිගෙයි ඒවා. අවුරුදු ගානක්ම තියන් ඉඳලා විසිකරේ.

      Delete
  5. ඒයි තාත්තේ, ඉස්සරවෙලාම ලිපියක් ලියන්න තිබුනේ 'මම පියෙකු වුනෙමි' කියලා නේද? ඒක නොලියා මේ කොන්ඩලිපි ලියන්න ඉගෙනගත්තේ අර කොන්ඩයාගෙන් ද?

    හරි හරි, හරී, හරිනී, පොඩි හරී, යන තුන්පත් රෑනටම, දේවාශිර්වාද වේවා!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මේකෙන් මතක් උනා කොණ්ඩයෙක් ගැන ලියන්න. ළඟදිම ලියන්න ඕනෙ. කාලෙකින් හොඳ ලිපියක් ලිව්වෙත් නෑ.

      විචාරක සීයාව බලන්න එන්නම් ලොකු උනාම.

      Delete
  6. ඇහ්... නොකියම තාත්තෙකුත් වෙලානෙ. සුබ පැතුම් මුලින්ම.
    බුද්ධාගමේ අයත් වැඩි හරියක් ඔය වැඩේට නැකත් බලනව. ඒත් මමනං ඒ එහෙම බැලුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! දැනුයි දන්නෙ කොණ්ඩෙ කපන්න නැකත් බලනවා කියලා.

      Delete
    2. ප්‍රා, උඹ කොයි බුද්ධාගමේද ?

      Delete
    3. සෙන්නා, ඒකනං මාත් දඤ්ඤෑ. මම හිතන්නෙ කවුරුවත් ඒක දන්නෑ කියල. හැක්..

      Delete
  7. අපේ අක්කගෙ අයියගෙ දරුවන්ට නම් විශේෂයෙන් නැකැත් බැලුවෙ නෑ. ඔය මංගල්ල උත්සව එහෙම බහුලව තියෙන සුබ දවස් කියන එකක ලිතෙන් බලල රාහු කාලෙ මගෑරල දරුවගෙ කොණ්ඩෙ කැපුවා. තරමක් දුරට සාම්ප්‍රදායික විශ්වාස අපේ අම්මල ළඟත් තියෙනව. අපේ අක්කගෙ දෙවෙනි පුතාගෙ කොණ්ඩෙ මුලදි කපන්න බැරිවෙල ඉන්පස්සෙ එයාට කතාකරන්න පුළුවන් වෙනකන්ම කොණ්ඩෙ කැපුවෙ නෑ. පොඩි කාලෙ ඒ යෝධයගෙ ෆොටෝස් තියෙනව මහා විශාල කොණ්ඩෙකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මගෙත් පළවෙනි පාර කැපුවට පස්සෙ කොණ්ඩෙ වවලා සෑහෙන කල් යනකන්. පොඩි කාලෙ පින්තූර වල ලොකුම ලොකු ක්‍රේල් කොණ්ඩයක් තියෙනවා.

      Delete
  8. සමහර වෙලාවට පොඩි එකා කතා කරන්න පටන්ගන්නකම් කියල කොණ්ඩෙ නොකපන අය දැකල තියෙනවා.ඒත් ඒකටත් වතාවත් තියෙනවා කියලා දන්නෙ අදයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ කියන්නෙ කතා කරන්න පටන් ගන්න කලින් කපන්න කියලා. ඔබටත් ජය!

      Delete
  9. අපේ ඉස්සරහා ගෙදර ඉන්නවා අවුරුදු දෙකක පොඩි කෙල්ලෙක්.මේ ලඟදි පොඩි එකීගේ කොණ්ඩේ කොටටම කපලා කාරබුත් ගලවලා දාලා දැන් ඒ පොඩි කෙල්ල කොල්ලෙක් වෙලා...:)

    ReplyDelete
    Replies
    1. කොණ්ඩය කැපුවායින් ළමයට කරදරයක් නැතුව ඇති.

      Delete
  10. මම නම් දරුවො දෙන්නා උපන්න ගමන්ම කොන්ඩෙ කැපුවා.දෙන්නම සීසර්ලා නිසා තියටර් එකේදිම කොන්ඩෙ කැපුවෙ.ඉපදුන වෙලාවට වඩා ත්ව සුබ වෙලාවක් තියනවයැ.

    ReplyDelete
    Replies
    1. ඇයි සමහරු වෙලාව බලලම සීසර් කරනවලුනෙ. අම්මලා නම් කිව්වා සමහර වෙලේට තියටර් එකේම කොණ්ඩෙ කපනවා කියලා. අපේ පොඩ්ඩට නම් එහෙම දෙයක් කළේ නෑ.

      Delete
  11. මට මතක මූ මේ ඊයෙ පෙරේදා බැන්ද වගේ... හපොයි මගෙ මොළේ... හි හි...

    අපේ නෑනගෙ පොඩි එකීගෙත් පොඩි කොණ්ඩ කැරැල්ලක් ඉතුරු කර කර හිටිය මොන්ටිසෝරි යන කම්ම.. මං ඉතිං ඕව මොකද කියල අහන්න ගියෙ නෑ... හැබැයි ඉතිං අර දිග කොණ්ඩ කැරැල්ල මළ වදයක් ‌පොඩි එකාට.. ඒකෙ අවුල් ලිහන්න බැරි තරං ගැට ගැහිල... මට නං ඔය වගේ මල විකාර දැකලම එපා වෙලා තියෙන්නෙ දැං... බඳින්න ගියාම තිබ්බ මල විකාර ඔක්කොම කරන්න උනා.. මගේ ඔලුව අවුල් වෙනකම්ම... දැං ළමයි හැදුවොත් ඊළඟ විකාර ටිකත් කරන්න වෙනව... නොහද ඉන්න එක මගේ ඔලුවට හොඳයි කියල මේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නව... හි හි....

    ReplyDelete
    Replies
    1. අලුත් අම්මටයි තාත්තටයි පොඩි එකාටයි සුබ පැතුම්...

      Delete
    2. ලෝකය කැරකෙනවා අපි හිතනවට වඩා හයියෙන්.. කාලය ගතවෙනවා ඉතින්.

      සමහර පොඩි උන්ගෙ කොණ්ඩ මෝස්තර නම් කියලා වැඩක් නෑ. උන්ට වදයක් වගේම මෙලෝ රහකුත් නෑ. දවසක් සැලොන් එකකට අම්මයි තාත්තයි ළමයි දෙන්නයි පවුලම ඇවිත්. අම්මා තමයි ස්ටයිල් එක තෝරන්නෙ. ඉතින් පොඩි උන් දෙන්නට කොණ්ඩෙ මැදින් ඉරිත් ගහලා මොකක්ද විකාරයක් කළා. වැඩේ කියන්නෙ අන්තිමේ බලෙන්ම තාත්තගෙත් ඒ විදිහට කැප්පුවනෙ. :)

      ඔය විකාර වැඩවලට ඉතින් කවදහරි මූණ දෙන්න වෙයි.

      සුභපැතුම් වලට ස්තුතියි.

      Delete
  12. දරුවන් ලැබෙන්නේ ඒ සඳහා කටයුතු කල දිනයේ සිට නොව බැඳපු දිනයේ සිට නොවන බව ජීව විද්‍යාව ඉගෙන ගන්න කොට කියල දීල නැහැ වගේ නේද හරී. හැක්. බට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. දහපාරක් කියවලාත් කියලා තියෙන දේ තේරුනේ නෑනෙ ඉයන්

      Delete
  13. හෑ...මේ ඩිංගට හරී තාත්තා කෙනෙකුත් වෙලාද? කොන්ඩේ කපන එක කියන්න කලින් පොඩ්ඩා ඉපදිච්ච එක ගැන ලියන්න තිබුනා නේද මන් අහන්නේ. කොහොම හරි කමක් නෑ පුංචි පවුලට අපේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. කාලය ගත උනා ඉතින්. හම්බුනා. කොණ්ඩෙ කැපුවා. ගිය සතියෙ බෞතීස්ම කළා.

      ස්තුතියි සුභපැතුම් වලට

      Delete
  14. අදයි මේ පැත්තේ ආවෙ ...

    සුභ පැතුම් !

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...