11.04.2011

ඉන්න වුන්ගෙන් මදිවට මැරිච්ච උන්ගෙනුත් හොරකං......

මම කලින් කතාවක  කිව්ව සීයා කියපු කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේකත් මළවුන්ට සම්බන්ධ තවත් නිකංම නිකං කතාවක් .

මට මතක හැටියට නම් මේක අවුරුදු බර ගාණකට කලින් වෙච්ච කතාවක්. වෙච්චද කියලා නම් හරියට කියන්න බෑ. මොකද කවුරුහරි ගොතපු එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කරනවා කියලා නම් සමාජයේ මතයක් තිබ්බා මම පොඩි කාලෙ නම්. මෙහෙම කරන්න ගිය වෙලාවල සමහර මැරිච්ච අයත් නැගිටලා තියෙනවා කියලා තමයි ඒ දවස්වල කියවුනු ගොඩක් කතන්දර වල තිබුනෙ.

ඒ කාලෙ හොරු කට්ටි ඉඳලා තියෙනවලු. හොරු ඉතින් කොයි කාලෙත් ඉඳලා තියෙනවනෙ. නෑ.. නෑ.. මේ කියන්න යන්නේ වෙනම හොරු කට්ටියක් ගැන. ඒ හොරු ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් මොකුත් අරගෙන නෑ මැරිච්ච මිනිස්සුන්ගෙන් තමයි හොරකම් කරලා තියෙන්නේ. නෙදකින් මැරිච්ච වුන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති එවුන්. අපි එහෙම හිතුවත් ටිකක් සාධාරණව බලද්දී මැරිච්ච මිනිස්සුන්ට වැඩක් නැති දේවල් අරගෙන ජීවත් වුනාම මොකද කියලා හිතෙන එකත් අසාධාරණ නෑ.

11.03.2011

කොටියාගේ හොල්මන........

මළවුන් ගැන කියද්දි  මම කිව්වනෙ තව තව ඔයිට සම්බන්ධ කතා තියෙනවා කියලා. අද හිතුනා එකක් දාන්න. මළවුන් එක්කම කියවන දෙයක්නෙ හොල්මන් කියන්නෙ. මේක ඉතින් හොල්මන් කතාවක්. කතාව කියන්න කලින්ම කියන්න ඕනෙ මේකෙ දැනුමට එකතු කරගන්න දෙයක් නෑ. මේකත් මේ වගේ නිකම්ම නිකං කතාවක් විතරයි. ඔන්න කැමතිනම් විතරක් කියවන්න.

11.02.2011

මළවුන්ගේ නොවැම්බරය...



මම ලියන ඒවා කියවන, ඒවාට ප්‍රතිචාර දක්වන නොදක්වන හැමෝටම හිස නමා ආචාර කරලා දාන්නයි යන්නේ අලුත් පෝස්ට් එකක්. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. ලියන්න පටන් ගත්තට නිකං හුරු නැති ගතියක් එනවා. කාලෙකින් ලියන නිසාද මන්දා. කාලෙකින් ලිපියක් නොලිව්වත් ඉතින් හැමදාම කරක් ගැහුවෙ බ්ලොග් අවකාසෙම තමයි.

නොවැම්බර් මාසෙ කතෝලික කට්ටිය හඳුන්වන්නෙ මළවුන්ගෙ මාසෙ කියලා. "මොකද ඔය මාසෙට මළවුන්ගෙ මාසෙ කියන්නෙ එතකොට අනිත් මාසවල මිනිස්සු මැරෙන්නේ නැද්ද? " කාටහරි එහෙම හිතෙන්න පුලුවන්. මට මතකයි අපේ ගමේ ක්‍රිස්තියානි( රෙප්‍රමාදු ) පල්ලියේ පියතුමාට ඔහොම හිතුනා විතරක් නෙමෙයි කිව්වත් එක්ක. ඒ සෑහෙන කාලෙකට කලින්. මගෙ මතකයේ හැටියට නම එතුමා කිව්වෙ මළවුන්ගේ මාසේ නොකියා මළවුන් සිහිපත් කිරීම මාසෙ කියන්න ඕනෙ කියලා.

කතෝලික සම්ප්‍රදාය හැටියට මළවුන්ගෙ මාසෙ යොදාගෙන තියෙන්නෙ මළාවූ අය සිහිපත් කරන මාසෙ හැටියට. තමුන් අතර මෙලොව ජීවිතය ගත කරලා පිටවෙලා ගිය අයව සිහිපත් කරලා යාච්ඥා කිරීම දාන ධර්ම දීම මේ කාලෙ සුලභයි.

මළවුන් සිහිපත් කිරීම පටන් ගන්නෙ ඔක්තෝම්බර් මාසෙ අන්තිම සතියෙ විතර. ඉතින් ඔය සතියෙදි කතෝලික මිනී පිට්ටනියකට යන පාරක හිටියොත් බලාගන්න පුලුවන් උදලු එහෙම අතේ තියන් යන කට්ටිය. ඒ ගොල්ලෝ යන්නේ මිනීවල් කපන්න නෙමෙයි. තමුන්ගෙ මියගිය නෑයින්ගෙ මිනීවල් සුද්ද කරන්න. ඒවා උදලු ගාලා සමතලා වෙච්ච තැන් ආයෙ හරිගස්සනවා. මල්පැල හිටවනවා. අලුතින් වැලි ගෙනත් දානවා. එක එක වැඩ. නොවැම්බර් දෙවෙනිදා වෙද්දී මිනීවලවල් නම් හැම එකක්ම වාගෙ සුද්ද වෙනවා. බලන්න ලස්සනේ බෑ. මෙච්චර කල් කැලේ වැවිලා තිබ්බේ මෙතනද කියලා හිතෙනවා.

මළාවූ අය සිහිකිරීමේ ප්‍රධාන පූජාව තියෙන්නේ නොවැම්බර් දෙවෙනිදා මිනී පිට්ටනියෙ. ඊට අමතරව මාසෙ ඇතුලත පවත්වන හැම පූජාවකදීම විශේෂයෙන් මළවුන් සිහිකිරීම සිදුවෙනවා. නොවැම්බර් දෙවෙනිදා කියන්නේ මළවුන්ගේ මංගල්‍ය දිනය (All Souls' Day) විදිහට තමයි සලකන්නේ. ඉතින් තම තමුන්ගෙ ඥාතීන් භූමදාන කරලා තියන මිනී පිට්ටනියට තමයි බොහෝ දෙනා යන්නේ. මට නම් එදාට මිනී පිට්ටනි දෙකකට යන්න වෙලා. ඊටපස්සෙ මිනීවල ගාව මල් තියලා ඉටිපන්දම් පත්තු කරලා මියගිය ඥාතීන්ගේ ආත්ම ශුද්ධිගිනිස්ථානයෙන්* මිදිලා ස්වර්ගයට යන්න කියලා යාච්ඥා කරනවා.

* කතෝලික කට්ටිය විශ්වාස කරන හැටියට කෙනෙක් මියගියාට පස්සෙ තැන් තුනකට යන්න පුලුවන්.

අපාය රන් කරන සාතන් අයියා යුද්ධෙන් පැරදිච්චදා
1. නිරය හෙවත් අපාය(What the Hell?) - යම රජ්ජුරුවන්ව මුලිච්චි වෙන්න පුලුවන් තැන. සමාව භාජනය කරන්න. කතෝලික අය යන අපායෙ ගියොත් යම රජ්ජුරුවො මුලිච්චි වෙන්න බෑ. මොකද ඒ අපාය රන් කරන්නෙ සාතන් අයියනෙ. ලොකු ලොකු වැරදි කරලා අපායට ගියොත් ඉතින් සොරි තමයි. ඊට පස්සෙ සදා අපායෙ.
2. ස්වර්ගය (Heaven) - දෙවියන් වහන්සේ, සුරදූතයෝ, ශුද්ධවන්තයෝ ඉන්න තැන. හොඳ වැඩ කරොත් මෙතනට යන්න වීසා ලැබෙනවා.
3. ශුද්ධිගිනිස්ථානය(Purgatory) - කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තියෙනවනෙ. ඉතින් ඔය හුණු ටික අයින් කරගෙන ස්වර්ගෙට යන්න චාන්ස් එකක් තමයි ශුද්ධිගිනිස්ථානයට යනවා කියන්නෙ. උදාහරණයකින් කිව්වොත් පුනරුථාපන කඳවුරක් වගේ. තමුන් කරපු සුළු පව් වලට වන්දි ගෙවනකන් මෙතන ඉන්න වෙනවා. මෙතෙන්දි පින් කරන්න අවස්ථාව නෑ. ඒත් කාගෙ හරි යාච්ඥාවක දාන ධර්මයක පින ලබාගන්න පුලුවන්.

නොවැම්බර් දෙක පහුවෙනවාත් එක්කම මළවුන්ගෙ දානෙ සීසන් එක පටන් ගන්නවා. තමුන්ට හොඳයි කියලා හිතෙන දිනේක කවුරුහරි නැතිබැරි කන්න නැති කෙනෙකුට තමාගේ මළගිය ඥාතීන් සිහිකරලා කෑමවේලක් දෙන එක තමයි කෙරෙන්නේ. දුප්පත් මනුස්සයා තවත් දුප්පතෙකුට තමුන්ට පුලුවන් විදිහට උයලා දෙන බත් පාර්සලයේ සිට පෝසත් මුදලාලි කෙනෙක් මුලු ගමටම දෙන දානයක් දක්වා ඕක විචලනය වෙන්න පුලුවන්.

ඔය විදිහට මළවුන්ගේ මාසෙ පිහිටෙන් ශුද්ධිගිනිස්ථානයේ ඉන්න කීපදෙනෙකුට ස්වර්ගෙට යන්න චාන්ස් එක හම්බෙනවා වගේම අපි වෙනුවෙන් දහඩිය හෙලපු අපේ ඥාතීන්ට කෘතගුණ සලකන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා.

-හරී-


ප. ලි. : නොවැම්බර් දෙවෙනිදා මළවුන්ගේ දිනය සැමරීමට කලින් නොවැම්බර් පළමුවෙනිදා සියලු සාන්තුවරයින්ගේ මංගල්‍යය( All Saint's Day) පවත්වනවා. මම කලිනුත් සාන්තුවරයෙක් ගැන කිව්වා මතක ඇති. සාන්තුවරයෙක් කියන්නෙ මෙලොව හොඳින් ජීවත් වෙලා දැන් ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගතහැකි සාක්ෂි තියෙන කෙනෙක්. එහෙම අය කතෝලික සභාවෙන් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඊට අමතරව චූටිම කාලෙ මැරුණු ළමයිත් කාටවත් වරදක් කරලා නැති නිසා සාන්තුවරු විදිහට තමා සලකන්නේ. ඉතින් චූටිකාලෙ තමුන්ගෙ ලමයෙක් නැතිවෙච්ච දෙමව්පියො කරන්නෙ ඒ චූටි සාන්තුවරයා සිහිකරලා නොවැම්බර් පළමුවෙනිදට දානයක් දෙන එක. බොහෝවිට කිරිබත්.

ප. ප. ලි. :කලින් පෝස්ට් එක කියවන්න ගිහින් දැක්කේ. දුන්න පොරොන්දුවක් ඉස්ට කොරලා නෑනෙ. ඉස්සරහට කොරංඤං. බාලගිරි දෝසි අද නෙමෙයි හෙට.

ප. ප. ප. ලි. : මේ ගැන කලින් ලියවුන ලිපි තුනක් තියෙනවා. කැමතිනම් කියවලා බලන්න.

1. නොවැම්බර් 2 දා මළවුන් සිහිපත් කරන දා
2. මළවුන්ගේ මාසය
3.මළවුන් සිහි ගන්වන නොවැම්බරය

ප. ප. ප. ප. ලි. : මේ මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා මැරිච්ච අය ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා.

ප. ප. ප. ප. ප. ලි. : මේ පොපි මල් පිපෙන මාසෙ. මම කලින් ඒ ගැන ලියලා තියෙන නිසා ආයෙ ලියන්නේ නෑ. හැබැයි මේක මෙලෝ රහක් නැති ලිපියක්. ලියන්න පටන් ගත්තු මුල් කාලෙනෙ. එතකොට සින්ඩි ගැන දන්නෙත් නෑ. ඊ ව්‍යාපෘතියකින් තමයි මාර්කටිං කරන්න ගියේ.

ප. ප. ප. ප. ප. ප. ලි. : මගේ බ්ලොගයටත් අවුරුද්දක් පැන්නා ගිය සැප්තැම්බර් මාසෙ. ඒක තමයි ඔය නමෝ විත්තියෙන් කට්ටියට ඔලුව නමලා එහෙම පටන් ගත්තෙ. :D
Related Posts Plugin for WordPress, Blogger...