4.13.2015

ඒ අහිංසක මනුස්සයා මොනවා කරන්න මහත්තයෝ?

"ටී එකක් දෙන්නද සර්" ඒ ඔහු මුණගැසුණු පළමුවෙනි මොහොතයි.

මා සේවය කරන ආයතනයේ දැන් මා සේවය කරන තනතුර වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයට ගොස් සිටියෙමි. ඒ අතරතුර කාලයේදී තේ විරාමයද එළඹ තිබූ හෙයින් තේ සාදන්නා විසින් මටද තේ පිරිනැමීමට සූදානම් විය.

"බොහොම ස්තුතියි. මම තේ බීලා ආවෙ" මම ස්තුතිපූර්වකව එය ප්‍රතික්ෂේප කළෙමි.

"කමක් නෑ සර්. බොන්න"

එහෙත් මගේ දෙවෙනිවර ප්‍රතික්ෂේප කිරීම හමුවේ තේ සාදන්නා පිටව ගියේ ඔහුව ප්‍රතික්ෂේප කළාක් බඳු මුහුණක් මවා ගනිමිනි.

ඒ සම්මුඛ පරීක්ෂණයෙන් එතෙර වූ මා මෙහි වැඩට ආවෙමි.

ගුණපාල, ඒ ඔහුගේ නමයි. නූස් නොමිටි මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබූ ඔහුව කවුරුත් ඇමතුවේ 'ගුණේ' නමිනි. ඒ ආදරේට නොව කටේ ලේසියට වියයුතුය.

මම කොයි තරාතිරමක පුද්ගලයෙකු වුවත් ඔවුන් මිනිසුන් ලෙස සිතන්නෙමි. ආයතනයේ පහළ සේවකයන් වුවත් මට වැඩිමල් නම් කටපුරා අයියේ කිව්වෙමි. එම නිසා ඔහු මට 'ගුණපාල අයියා' නම් විය. එහෙත් එම ආමන්ත්‍රණයම වැඩිකල් කළ නොහැකි වූයේ එය ඔවුන් ගෝනි නැතුව කරේ නැඟීමට කාරණාවක් කරගන්නා බැව් පෙනීගිය නිසාවෙනි. එහෙත් නිකම්ම ගුණේ කීමටද මට සිත් නොදෙයි. ඒ නිසා මම දැන් නමක් ගමක් ආමන්ත්‍රණයකින් තොරව කතා කරමි.

පසුකාලීනව මම නිරීක්ෂණය කළ පරිදි ගුණපාල රැකියාවට අලුත පැමිණෙන අයවළුන් හා කුළුපග වීමට උත්සාහ කරයි. ඊළඟට හෙමින් හෙමින් තම දුක්ගැනවිලි ඉදිරිපත් කරයි.

"මට ළමයි හතරක් ඉන්නවා මහත්තයෝ. හතරදෙනාම ඉස්කෝලෙ යනවා. මම හරිම අමාරුවෙන් උගන්වන්නෙ. අපිට නැති උනාට අපේ ළමයින්ටවත් හොඳට උගන්වන්න ඕනනෙ. ඔය කුමාරි මැඩම්ලා, රුවන්ති මැඩම්ලා මට හරියට උදව් කරනවා. ඒගොල්ලො පඩි ගත්තම මට ගානක් දෙනවා ළමයින්ට උගන්වන්න. "

සෑම නවකයෙකුටම මේ දුක්ගැනවිල්ල අසන්නට සිදුවෙයි. සමහර දිනවලදී අහවල් සර්, අහවල් මැඩම් දුන්නා කියා මුදල් ද ගෙනත් පෙන්වයි. ඒ දැක මා කට කොනකින් සිනාසී ඉවත බලාගන්නේ ඔහුගේ මෙවන් ප්‍රකාශ ද මතකයේ ඇති බැවිනි.

"ගේ හදන්න ගත්තා සර්. ගේ නම් ලොකුවටම හදනවා අඩුම ගානේ හැම ළමයටම කාමරයක් තියෙන්න ඕනනෙ. "

"මුළු ගේම ටයිල් කරනවා. හොඳම ටයිල් එක දැම්මෙ."

"ගැහැව්වා වැරෙන්ඩා එක. කනු දොළහයි."

තවත් දිනෙක පැමිණ ගෙට ගත් ණය පියවීමට ඇතිබව කියමින් පසුතැවිලි වෙයි. මම කිහිපවිටක් මුදල් කළමනාකරණය ගැන උපදෙස් දෙන්නට ගියෙමි. ඒවා අවසන් වූයේ මට ආර්ථික විද්‍යාව ඔහුගෙන් ඉගෙන ගැනීමෙනි. මාමාගේ පාක්ෂිකයෙකු ලෙස මාමාව ඔහු අපූරුවට අනුගමනය කරයි.

ටික දිනකට පසු රටේ එළවළු හිඟයක් ඇතිවී එළවළු මිල ඉහළ ගියේය. බත් විකුණන්නෝ එළවළු රහිතව වෙන වෙන ආදේශක යොදා සකස් කළ බත් කට හරියේ තියන්නට බැරි විය.

"බත් එක නම් කටේ තියන්න බෑ. එක එළෝලුවක්වත් නෑ. සෝයයි පරිප්පුයි අඹයි මල ජරාව"එක් දවසක් මම කීවෙමි.

"එළෝලු ගණන්නෙ මහත්තයා. එළෝලු විතරක්යැ දැන් බඩු ඔක්කොම වගේ ගණන්. අපි මේ දවස් ටිකේම කොස් තම්බගෙන තමයි වේල ශේප් උනේ"

"ගුණපාලලාගෙ ආණ්ඩුව තමයි ඉතින්"

"එහෙම කියන්න එපා මහත්තයා. කඩකාරයො බඩු ගණන් වැඩි කළාට ඒ අහිංසක මනුස්සයා මොනවා කරන්නද?"

ගුණපාල වනාහි මාමාගේ පශ්චාත්භාගය වුවත් ලෙවකන්නට සූදානම් බව මම දැන සිටියෙමි. "ඒකත් ඇත්ත එහෙනම් අටවෙනිදා උදේම හොඳ කොස් හැළියක් තම්බන් කාලා ගිහින් මාමාට කතිරෙ ගහලා එන්න මේ වගේ වැඩි වැඩියෙන් කොස්ම අපිට කන්න ලැබේවා කියලා"

ගුණපාලගේ මුහුණ ඡන්දෙන් පසු මාමාගේ මුහුණ මෙන් විය.

තෝබිත්ගේ කතාව 5 - තෝබියස්ගෙ මංගල්ලෙ

තෝබිත්.. ආයෙත් කාලෙකට පස්සේ. මට නම් හිතෙන්නෙ කට්ටියට මුල ඉඳලම කතාව මතක් කරන්න වෙයි වගේ. කතාව ලියාගෙන ගිය මට කතාව ඉවර නැතිබව අමතක උනානම් කියවපු ඔයාලා ගැන කවර කතාද? හැබැයි එහෙමම කියන එකත් නරකයි. සමහර පාඨකයො මග තොටේ හම්බුනාමත් මේ කතාව ඉවර කරන්නේ නැද්ද කියලා ඇහුවා. ඔන්න ඒ අය ඔක්කොමත් මතක් කරගෙන කතාවෙ පොඩි සාරාංශයක් කියන්නම්. කතාව මුල ඉඳලා කියවන කෙනෙකුට බාධාවක් නොවෙන්න කෙටිම කෙටි සාරාංශයක් තමයි කියන්නෙ.

අපේ කතාවේ කතානායකයා තමයි තෝබිත්. එයා බොහෝම දැහැමි කෙනෙක්. ඒ වගේම අසල්වාසීන් සමඟ බොහොම සුහදව හිටපු දුප්පතුන්ට උදව් කරපු කෙනෙක්. ඒත් දවසක් ඉතාමත් අවාසනාවන්ත විදිහට තෝබිත්ගෙ ඇස් දෙක අන්ධ වෙනවා. ඒත් එක්කම තෝබිත්ගේ සැප සම්පත් ටිකෙන් ටික දියවෙලා යන පටන්ගන්නවා.

අන්තිමේදී තමුන්ගෙ මරණය ළඟ බව තේරුම් යන තෝබිත්, තමුන්ගෙ පුතා වෙච්චි තෝබියස්ව කැඳවලා ඊට අවුරුදු ගණනකට කලින් මිදියාවේ වාසය කරන ගබයෙල් ගාව පරිස්සමට තැබූ රිදී කාසි ගැන කියනවා. ඒ වගේ මඟපෙන්වන්නෙකු සමඟ ගොස් ඒවා නැවත ගෙන එන්නටත් උපදෙස් දෙනවා.

තමුන්ට මඟපෙන්වන්නෙකු සොයායන තෝබියස්ට මුණ ගැහෙන්නෙ දෙවියන් වහන්සේ විසින්ම එවාපු රපියෙල් දේව දූතයාව. ඔහු දේවදූතයෙකු බව නොදැන ඔහුගේ මඟපෙන්වීම ඔස්සේ තෝබියස් ගමන ගිය හැටි තමයි මම කිය කිය හිටියෙ.

මේ ලින්කු වලින් ගිහින් කියවලා එනවානම් කතාව හොඳින් තේරුම් යයි.

3.03.2015

නයාගේ කුණු කෑ දයා

"ගරුතර ස්වාමින්වහන්ස, අන්‍යාගමික පූජකවරුනි, මා හිතවත් මන්ත්‍රීවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ආදර දරු දැරියනි, වසර ගණනාවක් තිස්සේ අපිට ප්‍රශ්නයක් වෙලා තිබ්බ කුණු ප්‍රශ්නය ධන උල්පතක් කරගැනීමට අවස්ථාව දැන් අපිට උදාවෙලා තියෙනවා. මෙතෙක් කලක් අපි කුණු කුණු කියලා එළියට විසිකරපු කුණු, සල්ලි කරගැනීමට අවස්ථාවක් උදාවෙලා තියෙනවා.

අපි, ඒ කිව්වෙ ඔබත් මාත් ඇතුළු අපේ ප්‍රාදේශීය සභාව මේ සංවිධානයත් එක්ක එකතුවෙලා අද ඉඳන් කැළි කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. එහි සමාරම්භක කටයුත්ත හැටියට තමයි මේ වෙන් වෙන්ව කුණු දැමිය හැකි බහාලුම අපි ඔබගේ මංසංධියේ පිහිටුවන්නෙ.

අපි ඔක්කොම කැපවෙලා ගමක් ගමක් ගානේ මේ විදිහේ බහාලුම් සවිකරලා මේ කාර්‍යය පටන්ගන්නවා. ඒත් ඒ කාර්‍යය ඉදිරියට ගෙන යාමේ වගකීම තියෙන්නෙ ඔබගේ අතේ. මීටපස්සෙ කවුරුත් ගෙදර ඔක්කොම කුණු එකට එකතු කරන්න එපා කියලා ආයාචනය කරන්න කැමතියි. ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් වෙනම එකතු කරගෙන ඇවිත් ඔය කහ පාටින් තියෙන කුටියට දාන්න. වීදුරු කෑලි කොළ පාට එකටත් කඩදාසි නිල් එකටත් දාන්න. අනික් ඔක්කොම අළු පාට කුටීරයට දාන්න.

අපේ ප්‍රාදේශීය සභාවෙන් වෙන් වෙන් වශයෙන් මේවා එකතු කරගෙන යන්නයි කටයුතු යොදලා තියෙන්නෙ. ඒවා අපි මුදල් කරලා ප්‍රදේශයේ යටිතල පහසුකම් නැංවීමට අපි කටයුතු කරනවා. එතකොට ප්‍රතිපාදන නෑ කිය කිය ලත වෙවී ඉන්න දෙයක් නෑ. කාණු පද්ධතියක් ඕනා පිරිසකට කාණු පද්ධතියක්, පාරට තාර ටිකක් දාගන්න ඕනා කෙනෙකුට තාර ටිකක් එතකොට ඉක්මණින්ම ලබාදෙන්න අපිට පුලුවන් වේවි. "

නයා( නයන )  සභාපති තුමාගේ එවදන් රැව්පිළිරැව් දුන්නේ අසල මංසන්ධියක කසල බහාලුමක් විවෘත කළ දිනයේදි. පැමිණ සිටි බොහෝ දෙනා සභාපතිතුමාගේ වදන් වලින් උද්දාමයට පත්වූ බව පෙනෙන්නට තිබුණි. දින කිහිපයක් ගතවද්දී එක් එක් වර්ගයන්ට අයත් කසල වෙන වෙනම කුටීර තුළ තැන්පත් වන්නට විය. සතියක් දෙකක් පමණ ජනතාව නියමාකාරයෙන් කටයුතු කළහ.

එහෙත් ඊළඟ සතිය වනවිට මුළු බහාලුමම එකම කුණු ගොඩකි. වර්ගීකරණය කැලේ ගොස් තිබුණි. 'ලංකාවෙ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක හිටින්නෙ සති දෙකයි.' එසේ කියා සිත සනසාගත නොහැකි වූයේ ප්‍රදේශයේ ජනතාව වෙනත් කතාවක් කී බැවිනි. 

"මොන වියාර්පුතිද පුතේ. අපි පණ දාගෙන වෙන් කොරලා කොරලා කුණු දානකන් ඉඳලා අර පහල ගෙදර දයාරත්නයයි ගෑණියි රෑට ඕකට බහිනවා. උදේට යකඩ, පොලිතින්, කාඩ්බෝඩ් පටෝගෙන යනවා විකුණන්ඩ. අනේ අපිට අමාරුවක් තියෙනවයැ නිකන් ඉන්න ඌව පෝසත් කරන්න."

නොබෝ දිනකින්ම ව්‍යාපෘතිය අල වීම ගැන නයා කිපී තිබිණි. කුණු බහාලුම එතන තවත් නොතිබුණු අතර සති කිහිපයකට කුණු ලොරියේ පැමිණීමද නවතා දමන ලදී. සමහරවිට නයා දයාගේ වැඩ නොදැන සිටියා වන්නටද පුළුවන.
Related Posts Plugin for WordPress, Blogger...