8.29.2014

තෝබිත්ගේ කතාව 4 - තෝබියස්ට මොකද උනේ?

ගියපාර කතාව නතරවුනේ හොඳ තැනකින්. මතකයි නේද? කාලයක් ගතවෙච්චි හින්දා කට්ටියට කතාව මතකද මන්දා? :) මතක නැති අය පහුගිය කොටස් තුන කියවලාම එන්න. අන්තිම කොටසෙදි, තෝබියස් මංගල රාත්‍රිය ගත කරන්න පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කතාව 'මතු සම්බන්ධයි' උනානෙ. අද අපි කියවමු එතනින් එහාට සිද්ධ වෙච්ච දේ. මේ කොටසෙදි ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මංගල රාත්‍රියේදී තෝබියස්ට මොකද උනේ? තෝබියසුත් සාරාගේ පරණ මනමාලයන් සමඟ එකතු උනාද? නැතිනම් යහතින් නැගිට්ටාද? කියන කාරණා. එහෙනම් කතාව කියවන්න යමු. මෙතෙක් කලක් කතාවට සම්බන්ධ වෙන්න බැරිවෙච්ච අයට සහ කතාව අමතක වෙච්චි අයට තමයි මේ ලින්කු තුන.

තෝබිත්ගේ කතාව 1 - තෝබිත් දෙවියන්ට මොරගසයි.
තෝබිත්ගේ කතාව 2 - තෝබියස්ට හමුවූ මිත්‍රයා
තෝබිත්ගේ කතාව 3 - මඟුලක් කතා කරනවා

කෙමෙන් කෙමෙන් භෝජන සංග්‍රහය නිමා වීමේ මොහොත උදාවුණා. ඇති පදම් සම්පායම් වූ පවුලේ ඇත්තො එකිනෙකාට සමුදෙමින් පිටව ගියා. ඒ අතර තම මනාලිය සොයා මංගල කුටිය වෙත යාමට නියමිතව හිටපු තෝබියස් ද හිටියා. භෝජන සංග්‍රහය බැලූ බැල්මට ඉතා සතුටුදායක එකක් බව පෙන්නුම් කළත් ඒ අතර දෙගිඩියාවෙන් සිටි අය කීපදෙනෙක්ද උනා. ඒ අතරින් කෙනෙක් තමයි තෝබියස්. සාරා හා කලින් විවාහ වූ මනාලයන් හත් දෙනාට සුදුවූ ඇබැද්දීන් ඔහුගේ හිතේ හොල්මන් කළේ නෑ කියලා කියන්න පුළුවන් කාටද? රපියෙල් විවාහ යෝජනාව කළ හැටියේම ඊට විරුද්ධ වූයේද ඒ නිසාමයි. ඒත් නීතියෙන් තමන්ට හිමිවූ බිරිඳ කෙරෙහි දැන් ඔහු ආදරයෙන් බැඳිලා. ආදරය කරලා බඳින්නත් බැඳලා ආදරය කරන්නත් පුළුවන්නෙ ඉතින්. එහෙත් අද රාත්‍රිය පසු කරගැනීමට ඔහුට හැකිවේවිද? ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ රපියෙල්ගේ වචන පමණයි. ඒ වචන ඔහුගේ මනසේ රැව්පිළිරැව් දුන්නා.

"තෝබියස්ට මතක නැද්ද තාත්තා කිව්වා තමුන්ගේ නෑයන් අතරින්ම කෙනෙක් තෝරගන්න කියලා. සාරා තරම් හරියන කෙනෙක් තවත් නෑ. යකාව එළවන හැටිත් මම දන්නවා තෝබියස්. විශ්වාස කරන්න මේක ඔබව අමාරුවෙ දාන්න කරන වැඩක් නෙමෙයි. අද හවස මම කතාකරලා සාරාව ඔබට බිරිඳ කරලා දෙන්නම්. ඔබ දෙදෙනා ආරක්ෂාව පතා දෙවියන් යදින්න." ඔහු ඒ ගැන විශ්වාස කළා.

භෝජන සංග්‍රහයෙන් නික්ම යෑමට මත්තෙන් ඔහු රපියෙල් වෙත බැල්මක් හෙලනවා. ඒ බැල්මේ ගැබ්වී තිබුනේ 'ඔබ මා බේරාගන්නවා නේද?' වැනි හැඟීමක්. තෝබියස්ගේ හැඟීම් තේරුම්ගන්නා රපියෙල් ඔහුට ළංවෙනවා. "සේරම හොඳින් සිදුවේවි, තෝබියස්. ඔක්කොම හරි නේද?" තෝබියස් හිසෙන් පිළිතුරු දෙනවා. "එහෙනම් මිත්‍රයා ඔබට සුභම සුභ රාත්‍රියක්. මම කිව් ලෙස කරන්න. මතක ඇතුව නිදාගැනීමට පෙර දෙවියන් වහන්සේගේ පිහිටාශිර්වාදය ඉල්ලා යාච්ඤා කරන්න. උන් වහන්සේ ඔබ බේරා ගනීවි. දැන් ඉතින් ඔබගේ මනාලිය වෙත යන්න මිත්‍රයා" රපියෙල් තෝබියස් වැළඳගෙන සුභ පතනවා.

තෝබියස් භෝජන සංග්‍රහයෙන් පිටව ගිය පසු ඉතිරි සියල්ලෝද වෙන්වී යනවා. ඉන්පසු නිවසේ රැව් දෙන්නේ අස්පස් කරන සේවක සේවිකාවන්ගේ හඬ ශබ්දය පමණයි. එයත් වැඩිවේලා පවතින්නේ නෑ. ඔවුනුත් වැඩ අවසන් කර පහන් නිවා නින්දට යාමෙන් පසුව මුළු නිවහනම අන්ධකාරයේ හා නිහැඬියාවේ ගිලී යනවා. ඉන් මත්තට ඇසෙන්නේ රාත්‍රියේ හැසිරෙන සතා සීපාවන්ගේ හඬවල් පමණයි.

මේ අතර යම් පුද්ගලයෙක් අඳුරේම කාටත් හොරා නිවස පිළිබඳ විමසිලිමත් වෙමින් බලා සිටිනවා. ඒ නිවසින් පිටත සිට. ඔහුගේ ඉරියව් පෙන්නුම් කරන්නෙ ඔහු කුමක් හෝ බලපොරොත්තුවෙන් බලා ඉන්නවා වගේ හැඟීමක්. කිහිප වරක් නිවස දෙස බලමින් ඔබ මොබ යන ඔහු එක්වරම අහස වෙත එසවෙනවා. ඊළඟට අහසේ වේගයෙන් ගමන් කර නොපෙනී යන්නෙ ගුවන් යානයක් බඳු වේගයකින්. ඔහු මනුස්ස ප්‍රාණියෙක් වීමට නම් බෑ. ඒ අස්මොදෙවුස්ද? නැත්නම් තෝබියස්ගේ උදව්වට හිටපු රපියෙල්ද? යකා පලා ගියා නම් අද රාත්‍රිය තෝබියස්ගේ ජීවිතයේ සුන්දර රාත්‍රියක් වේවි. ඒත් ඒ පිටවී ගියේ තෝබියස්ගේ එකම ගැළවුම්කාරයා වූ රපියෙල් නම්?

නැවතත් පරිසරය නිසලයි. එවර නිසලතාව බිඳින්නෙ නිවස තුළින් ඇසෙන අඩි ශබ්දයක්. සාමාන්‍යය අඩි ශබ්දයක් නොවේ. කවුරුන් හෝ ශබ්ද නොනැඟෙන සේ පරිස්සමින් අඩි තබන ශබ්දයක්. හිසේ සිට දෙපතුල තෙක් පොරෝනයකින් වසා සිටි ඒ රුව ඇදෙන්නෙ නිවසේ සේවකයන්ගේ කාමර දිහාවට. දොරට තට්ටු කිරීමත් සමඟ 'ක්‍රීස්' හඬින් එය විවර වෙනවා. විවරවූ දොරෙන් හිසක් මතුවෙනවා. එතැන රහස් කතාවක්.

"දෙන්නා ලෑස්තිද වැඩේට?"

"එහෙමයි ස්වාමිනී"

"ආයුධ"

"එව්වත් ලෑස්තියි"

"හ්ම්ම්. එහෙනම් සද්ද නොකර යමු"

පොරවාගත් රුව පෙරටුවෙන් ගමන් කරද්දි ආයුධ රැගත් සේවකයන් දෙදෙනා ඔහු පසු පස ඇදෙනවා. හොර රහසේ සේවකයින්ගේ කාමර, මුළුතැන්ගෙය පසුකළ ඔවුන්ගේ ගමනාන්තය වෙන්නෙ ගවහල අසල තිබූ බිම් තීරුවක්.

"මෙතන හොඳයි"

සේවකයන් දෙදෙනා භූමිය කනින්නට උනා. "ස්වාමිනී දිග කොච්චර වෙන්න ඕනද?"

"මිනිහෙකුගෙ උසත් අමුතුවෙන් කියලා දෙන්න ඕනද? ඒ තරමට ඇතිවෙන්න හාරපල්ලා"

පැය කිහිපයක් තිස්සේ මිනිසුන් දෙදෙනා බිම කණිනවා. බිම කනින්නෙ මේ රෑ? නිධානයක්වත් හාරනවාද? නිධානයක් නම් මිනිසෙකුගේ උසත් එක්ක සම්බන්ධය මොකක්ද? පොරෝනයකින් සැරසී සිටින්නා තවමත් ඔවුන් අසල සිටිමින් ඔවුන් වෙත උපදෙස් නිකුත් කරනවා. "දැන් ඇති"

ඒ නියමයෙන් නොකඩවා පොළව හා මට්ටුවූ ආයුධ වලට විරාමයක් ලැබෙනවා. ඊළඟට තිදෙනාම ගමන් කරන්නේ නිවස තුළට. තවමත් ඔවුන් නිහැඬියාව රැකීමට තමයි වෙරදරන්නෙ. නිවසේ සිටින්නන් ඔවුන්ගේ ශබ්දයෙන් අවදිවෙනවාට කැමැත්තක් නැති හැඩයි. අඩි ශබ්දය තෝබියස් ඇතුළුවූ මංගල කුටිය පසුකර දිවෙන්නේ නෑ. දැන් තිදෙනාගේම අඩි තෝබියස්ගේ කුටිය අසල. ඔවුන් අතරින් පොරෝනයක් සහිත තැනැත්තා දොර වෙත යනවා. තෝබියස්ගේ අවසානය ළඟාවීද? හදිසියේම පුද්ගලයා නතරවන්නෙ ඔහුට යමක් මතක් වී ඇති හැඩයි. "අපි එකපාරටම යන එක හරි මදි. සේවිකාවක ඇතුළු කර තත්වය විපරම් කරමු."
"ස්වාමිනී, ඔහු ජීවතුන් අතර. දැන් සුවෙන් නිදි"

මොහොතකින් සේවිකාවක කුටියට ඇතුළු වෙනවා. මොහොතකින් නැවත දිස්වන්නේ පුදුමයෙන් එම මිනිසා දෙස බලා සිටිනා සේවිකාව. "ස්වාමිනී, ඔහු ජීවතුන් අතර. දැන් සුවෙන් නිදි" ඔහුගේ ඇස් උඩ යනවා.

"මොනවා මගේ දුවගේ මනාලයා මැරිලා නෑ. මේ කිනම් පුදුමයක්ද?"

"ඔව් ස්වාමිනී ඔහු ජීවතුන් අතර. "

"එහෙනම් ඒ ආරංචිය අහන්න තරම් මම වාසනාවන්ත උනා. ඔහු නැගිටින්න කලින් වළ වසා දමන්න. තවදුරටත් ලැජ්ජා වීමට අවශ්‍ය නෑ. " රගුවෙල් තම නිදන කාමරය කරා පියමැන්නෙ හද පිරි සතුටින්.

ඉතින් ඊට පස්සෙ..

25 comments:

  1. හප්පේ...
    එතකොට හොරෙන්ම වළක් හාරන්නයි ඕන වුනේ ඈ...

    ඇත්තටම එදා රෑ මොකද වුනේ...
    ඒක කියවන්න නං හරීය ආපහු ඇහැරෙන කං ඉන්න වෙනව...
    ඇත්තටම මේ මනුස්සය ආයෙ කවද්ද ඇහැරෙන්න...
    කමෙන්ට් කරන්න නිවැරදි දිනය කියන කෙනාට වටිනා තෑගි

    ReplyDelete
    Replies
    1. ඔව්. රගුවෙල් වලක් හාරපු එකයි කළේ.. හා හා.. දින ගනින්න ඕනෑ නෑ ළඟදීම දාන්නම් ඊළඟ කොටහා..

      Delete
  2. මේ කතාවේ මුල ටික බලන්න බැරි උනා වගේ... අනික දන්න කතාවක නොදන්න පැත්තක් තියෙනවා.. :)
    නොදන්න හරියත්තෙක්ක ඉගෙන ගන්න ලැබෙන එකත් නියමයි

    ReplyDelete
    Replies
    1. මධුරං \ග ලොක්කාට මේ ටිකේ වැඩ වැඩි ඇති. බ්ලොග් බල බල ඉඳලා හරියන්නේ නෑනෙ. මංගල්ලෙට ලෑස්ටි වෙන්නත් ඕනනෙ. පස්සෙ කාලෙක හාමිනෙත් එක්ක ඔක්කොම ටික කියෝගෙන යන්න බැරියැ.. :P

      Delete
  3. මමත් අද තමයි කියවන්නේ.
    එල ද බ්‍රා !!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් කතාවෙ සෑහෙන ප්‍රමාණයක් එකපාර කියෙව්වැකි. එල.. එල..

      Delete
  4. හපොයි, නිදිද ? :D

    ReplyDelete
    Replies
    1. සෙන්නාට ඕනෙ උනේ තෝබිත් මැරිලා ඉන්නවා දකින්නද?

      Delete
  5. Replies
    1. ටෙස්ට් කෙරුවේ කලින් පොස්ට් එකට මට කමෙන්ට් කරන්න බ්ලොග්කාරයා ඉඩ දුන්නේ නැති නිසා එක හරිද බලන්න.

      කෝ මේ තෝබියස් උන්නැහේ පුදුම කෙනෙක්නේ මඟුල් දවසේ රෑ ඔහොම නිදා ගන්නවායි...:D

      Delete
    2. මටත් සැරින් සැරේ ඔහොම ප්‍රශ්න එනවා. මේ දාන කමෙන්ට් එක මේ නෑ.

      ඉතින් රෑ වුනාට පස්සෙ නිදාගන්නෙ නැතුව මොනා කරන්නද? ;)

      Delete
  6. මම මුලින් හිතුවෙ මාමණ්ඩියා හොරෙන් ඩබල් ගේම් එකක් දෙන්ට යනවා කියලයි.. මෙච්චර කල් මනමාලයන්ට වැඩේ දීලා බොරුවට යක්ෂයා ගේම දුන්නා කියනවා කියලයි. බලනකොට එයා මේ තෝබියස්ව වළලන්ටයි ලෑස්ති වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාමණ්ඩි හැදුවෙ ලජ්ජාවෙන් බේරෙන්න. මනමාලයාව බන්ඳලා දුන්නෙ එදාම හවස හින්දා හොරෙන් වැළලුවාම මනමාලයෝ කවුන්ට් එක අට වෙන්නෙ නෑ කියලා හිතන්න ඇති.

      Delete
  7. දවසක් පියතුමෙක් Normal mass දේශනාවකදි කිව්ව, තෝබිත් කතාවෙ සැමියන් 7ක්ම මැරෙන කතාවක් තිබුනට Wedding mass එකකදි කියවීමකට කියවන්න පුලුවන් කියල , කතාවෙ පනිවිඩයත් කියලා දුන්නා. කතාව අවසානයේදි හරීගේ වචනයෙන්ම පනිවිඩය නැවත දැන ගැනිමට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් එහෙම දෙයක් අහලා නෑ මිත්‍රයා. සමහරවිට නියම මනමාලයා ලැබෙනකම් විශ්වාසයෙන් ඉඳීම වගේ දෙයක් වෙන්න ඇති. ඔයාට පුළුවන් ඒ පණිවිඩේ අපිත් එක්ක බෙදාගන්න.

      Delete
  8. අන්න හරි. ඉතිං ඊට පස්සේ මොකද වුණේ කියලා නවත්තන්න. එතකොට තමයි මේ ටික මතකයේ තියෙන්නේ ඊළඟ කොටස එනතුරු. මේ ඇසුරෙන් හදපු ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටි නැද්ද?

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්නෙ අන්තිමට. :)

      Delete
  9. හපොයි මොකද අනේ ඉතුරු ටික දැම්මේ නැත්තේ? දැන් ඉතින් තෝබියස් නැගිටිනකල් ඉන්ට එපැයි...:(

    //ඔවුනුත් වැඩ අවසන් කර පහන් නිවා නින්දට යාමෙන් පසුව මුළු නිවහනම අන්ධකාරයේ හා නිහැඬියාවේ ගිලී යනවා. ඉන් මත්තට ඇසෙන්නේ රාත්රියේ හැසිරෙන සතා සීපාවන්ගේ හඬවල් පමණයි.//

    //නැවතත් පරිසරය නිසලයි. එවර නිසලතාව බිඳින්නෙ නිවස තුළින් ඇසෙන අඩි ශබ්දයක්. සාමාන්යය අඩි ශබ්දයක් නොවේ. කවුරුන් හෝ ශබ්ද නොනැඟෙන සේ පරිස්සමින් අඩි තබන ශබ්දයක්.//

    හරී ඔයා නම් කතා කියන්ටම උපන් කෙනෙක්...හරිම ලස්සණයි කුතුහලය ඇවිස්සෙන විදියට ලියලා තියෙන හැටි. :)

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් බොහෝම අමාරුවෙන් ලියා ගත්තෙ. කතාව ටික ටික දාන්නම්කො.

      අගය කිරීමට නම් ගොඩාක් ස්තුතියි.

      Delete
  10. තෝ බිත් තියට තියල ඇණ ගහනවා වෙලාවට මේවා කියන්නැත්නං.. ඔව්..

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්.. කවුරුත් නොදැකපු පැත්තක් දේශකයා දැකලා නොවැ.. හා උතුමාණෙනි ඉක්මනට දාන්නම්.. :)

      Delete
  11. හරීගෙ යාලුවෙක් කියාපු පාර දිගේ ඔන්න බස්සිත් ආවා හීනලන්තයට. :) :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා හීනලන්තයට.. දිගටම එන්න..

      Delete
  12. :) Subama suba aranchiyakne.

    ReplyDelete
    Replies
    1. මොකක්ද සුභ ආරංචිය? තෝබිත් නිදියන් ඉන්න එකද?

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...