2.28.2012

මම දුටු කොටි ................5

මම කියාගෙන යන්නෙ කොටින්ව මම දැකපු කතන්දර ටික. බලපු නැති අය පේළියට බලාගෙන ආවානම්.


එදා පණ්ඩිවිරිච්චාන් පාර වහලා තිබ්බා මතක ඇතිනෙ. ඒ වුනත් එදායින් පස්සෙ ඒ පාර ආයෙම විවෘත වුණා. ඒක නිසා අපේ සුපුරුදු නාන පොට් එක මඟ ඇරුනෙ එදා දවල් විතරයි.  දවසක් නාලා එන අතරෙ ගිනි කාස්ටකේ හින්දමද කොහෙද අපේ නංගියෙකුට ආසාවක් ඇතිවෙලා තිබුණා කූල් බීම එකක් බොන්න. කෝලා වගේ කඩෙන් ගන්න එකකුත් නෙමෙයි සරුවත් කාරයෙක්ගේ සරුවතුත් නෙමෙයි ගෙදර හදපු කූල් කෝඩියල් එකක්ලු ඕනා. කෝඩියල් නම් දෙන්න බැරියැ. ඒත් කූල් එව්වා කොහෙන් හොයන්නද? 

"කොහෙන්හරි අයිස් කැට හොයන් හදමු."

කියන උන්ට නම් කියන්න බැරියැ. අපි යන්නෙපායැ අයිස් කැට හොයන්න.ඔහොම ඉස්සරහට එද්දි හම්බුනා පඩීරිච්චාන්වල පොළක්. "මේ පොළේ ඇති."

"පොළවල්වල අයිස් කැට විකුණනවාද?"

"සරුවත්කාරයෝ ළඟ ඇති ගිහින් බලන්නකො කම්මැලි නැතුව"

මමත් තව එකෙකුත් ඉතින් බැහැලා ගියා අයිස්කැට හොයන්න. පොළක් කිව්වට ඉතින් මෙහෙ තියෙන්නාවගේ මහා පරිමාණ එකක් නෙවෙයි. වැඩිම වුනොත් වෙළෙන්දෝ 20ක් 25ක් ඉන්න ඇති. අපි බැහැලා කඩ අතරින් ඉදිරියට ගියා. පොළේ මිනිස්සු අපි දිහා බලන්නෙ කන්ඩ වගේ. හරියට පිටසක්වල ජීවීන් දෙන්නෙක් බැහැලා වගේ. අපිට හරිම අවුල්. එක මනුස්සයෙකුටවත් සිංහල අකුරක්වත් බෑ. ඒ මිනිස්සුන්ගේ මූණුවලින් නම් සුහද බවක් පෙනුනෙ නෑ. මේ යක්කු කොහේ රිංගනවද වගේ හැඟීමක් තමා තිබුනෙ. ඔය එක එක කඩ පාස් කරගෙන සරුවත් කඩයක් හොයාන අපි ගියා ඉස්සරහට.

ටිකක් ඉස්සරහට යනකොට හම්බුනා පින්තූර කඩයක්. ඒ ගොල්ලෝ දන්නවා ඇතිනෙ පොළවල්වල තියෙන පිංතූර කඩ. අර ලොකු ලොකු පිංතූර තියෙන කඩ. බබ්බු හම්බෙන්න ඉන්න අම්මලාට බබාලාගෙ පිංතූර, ලමිස්සියන්ට ෂාරුක් ඛාන්, රසල් ආනෝල් වගේ නලුවන්ගේ පිංතූර, ගෙවල් වල එල්ලන්න දෙයියන්ගෙ පිංතූර වගේ එක එක එව්වා තියෙන්නෙ. එන්න ඒ කඩයක්.

"අර මොකද බං විකුණන දේව රූප ගොඩේ මොකෙක්ගෙද රූපයකුත් තියලා" මං එක්ක ගිය එකා ඇඟිල්ල දික් කර කර රූපයක් පෙන්නනවා.

"කටවහන් හිටපන් බං.. සිංහල තේරෙන එකෙක් හරි හිටියොත් කෑලි තමයි"  මට යකා නැගලා හිටියෙ. මේ මිනිස්සුන්ට සිංහල නොතේරෙන්න පුලුවන් ඒත් ඇස් පොට්ටවෙලා නෑනෙ. පොලීසියෙන් හමුදාවෙන් ගෙනත් බේරුමක් කරගන්න පුලුවන් තැනක් ඉන්නවානම් ඒත් කමක් නෑ.

ඒ අස්සෙන් අපිට ඇහෙනවා බස් එහෙකට සෙනඟ ලෝඩ් කරනවා. 

"යාපොට්..යාපොට්..යාපොට්.."

හෑ..මෙහෙ එයාපෝට් බසුත් තියෙනවද?  බලමු ගිහිල්ලා. අපි සද්දෙ ඇහෙන පැත්තට ඇවිදගෙන ආවා. මොන බස් එකක්වත් නෑ. සීඩී වගයක් විකුණන කොල්ලො දෙන්නෙක් තමා යාපෝට් කියලා කෑ ගහන්නෙ. මේ මොකක්ද කියලා නොතේරුන හින්දා අපි දෙන්නා ගියා ළඟට. ගියා විතරයි මුං දෙන්නා දුන්නනෙ අතට සීඩී එකක්. "යාපොට්" උන් කියන්නෙම එච්චරයි. අපි තෙරුනේ නැති බව මූණෙන් ඇඟෙව්වාම ආයෙත් "යාපොට්" කියනවා. ටිකකින් මීටර් වුනා. මුං මේ යාපොට් කිය කිය විකුනන්නෙ එයාපෝර්ට් එකට කොටි ගහපු වීඩියෝ එකක්. කවරෙ තිබ්බ පිංතූරෙ දැක්කෙ පස්සෙ. එතකොටම බිමට නැමුන එකෙක් කෝටුවක් අරන් තුනකුයි පහකුයි බිංදුවකුයි ඇන්ඳා. හිහ්..350/-කට ගනිවුකො අපිට ගහපු එව්වා. අපි හිමීට හිනාව දාලා මාරුවුනා. හොඳ වෙලේට උන් කොටුවෙ වෙළෙන්ඳො නොවුනෙ. අපි යටට ඇඳලා නෑ කියලා හිතාන පාරෙ යන අපිට එව්වා ඇඟේ ගහන උන්දැලා වගේ උනානම් 350ක් පූජා කරලා තමයි එන්න වෙන්නෙ සී ඩී එක අතට ගත්තු පාපෙට.
"යාපොට්..යාපොට්..යාපොට්.."

ඒත් එක්කම දැක්කා ටිකක් එහාට වෙන්න පාට පාට වීදුරු බෝතල් තියාන ඉන්න සරුවත් කාරයෙක්ව. කොහෙද අයිස් කැට දෙක තුනක් ගන්න මිනිහාව කැමති කරගන්න බැරිවුනානෙ. මිනිහා කිව්ව එව්වා අපිට තේරුන හැටියට නම් බොහොම දුර ඉඳලාලු ගේන්නෙ. අපිට අයිස් දුන්නම උන්දැ සරුවත් විකුණන්නෙ අහවල් එක දාලාද වගේ දෙයක් කියන්න ඇත්තෙ.

"මොන අයිස් කැටද බං යමන් යන්ඩ" ආපහු එන්න හැරුනත් පොළේ අයිනකට වෙන්න තිබුනු ස්ථිර කඩයක් ඒ කිව්වෙ පොළදාට විතරක් නෙමේ හැමදාටම තියෙන කඩයක් දැකපු අපි ඒකට රිංගුවේ වැරදිලාවත් අයිස් කැටයක් තිබුනොත් කියලා.. ඒකේ හිටියෙ තඩි මහත සුදු ගෑණු කෙනෙක් හරියට ඉන්දියාවෙ ජයලලිතා වගේ. වයසත් ඒ ගාන විතර වෙන්ටැති. කොහොමහරි ඒ පෙනුමමයි තිබ්බෙ නළලෙ මොට්ටුවත් එක්කම. කොහෙද උන්දෑ අපිව පයිසෙකටවත් ගනන් ගත්තේ නෑනෙ. අපි බලං හිටියත් අපිට පස්සේ එන උන්ට බඩු දෙනවා අපිව දැක්කෙ නැති ගාණට. අපි කතා කරත් ඇහෙන්නේ නැති ගානට ඉන්නවා. අනිත් මිනිස්සුන්ට බඩු දෙනකන් නිකන් තියෙන ඇහැබෝල දෙක කැරකෙව්වා කඩේ වටේ.

කඩේ බිත්තියක තිබ්බා එල්.ටී.ටී.ඊ. යුනිෆොර්ම් ඇඳගත්තු කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි රාමු කරපු පොටෝ දෙකක් මල් මාල එහෙම දාලා තිබ්බෙ. මල් මාල දානවා කියන්නෙ ඉතින් මැරිලනෙ. ගෙදර දරුවෝ දෙන්නා වෙන්නැති මේ පේන්න එල්ලලා තියෙන්නෙ. මට දැන් හිතෙනවා ඒ කොටින්ගේ මහවිරු පවුලක් වෙන්න ඇති කියලා. අපිව ගණන් නොගත්තේත් අනිත් මිනිස්සු යටහත් පහත්ව බඩු අරන් ගියෙත් ඒක හින්දා වෙන්නැති.

නහය කඩා ගෙන ආපු හඳුන්කූරු පුසුඹ හින්දාද මන්දා  පහන් පත්තු කරලා හඳුන්කූරු දුම් වැදි වැදි තිබ්බ දේව රූප දිහාවටත් ඇහැගියා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! විෂ්ණු දෙයියෝ, ගණ දෙයියෝ, කතරගම දෙයියෝ මැද්දෙ ටයි කෝට් ඇඳපු දෙයියෙකුත් ඉන්නවා. අපිට නිකන් කලන්තෙ වගේ. මොන අයිස්කැට ඉල්ලනවද? ඒක දැකලා තොල කට වේලුනා. ඇඩ්‍රස් නැතිවුනා. එහෙම්ම හැරිච්ච අපි කෙලින්ම හිටියෙ වෑන් එකේ.

 "කෝ අයිස් කැට"

"අයිස් කැට..අනෙ මගෙ කට"

ඔන්න ඔහොමයි අයිස් කැට හොයන්න ගිහින් දෙයියෝ මුලිච්චි වුනේ.

--------------------------------------------------------------------------------------------------------------


ප.ලි: කොටින්ගේ කාලෙ දෙසරයක් මඩු පල්ලි ගිහිල්ලා කොටින්ව ඇහෙන් දැකලා ලබපු අත්දැකීම් ගැන නම් කියන්න තියෙන්නෙ ඔච්චරයි මට මතක හැටියට.. ආපහු එනකොට ඒ හැටි දෙයක් වුනේ නෑ. යනවා කිව්වාම මෝටරයා නම් පුදුම දුකෙන් හිටියෙ. චෙක් පොයින්ට්වල චෙකින් මොකුත්ම එද්දි තිබ්බෙ නෑ. කට්ටිය ගැනලා කලින් දීපු තාවකාලික හැඳුනුම්පත් ටික ආපහු ගත්තු එක විතරයි කළේ. 

 මම දුටු කොටි කතා ටික මෙතනින් නැවැත්තුවත් මම අහපු කොටි ඒ කිව්වේ ඒ කාලෙ ගිය අනිත් අය කියපු කතාත් දාන්නයි ඉන්නෙ. ඒ අත්දැකීම් මීට වඩා හුඟාක් වෙනස්. ඒගොල්ලෝ කිව්වෙම නරක පැත්ත. ඒක නිසාම තමයි කොටි දැක්කම යකා කියපු තරම් කළු නෑ කියලා හිතුනෙ.

ඊට අමතරව මුදා ගනීමෙන් පස්සෙ ගියපු අය කියපු දේවලුත් දානවා.

ඊළඟට ලියවෙන්නෙ කතෝලිකයන්ගේ වන්දනා ගමන් ගැන. ඒක නම් කතෝලික චාරිත්‍ර ගොඩට දාලායි ලියන්න ඉන්නෙ.

අවසාන වශයෙන් අපේ ආච්චිලා සීයලා වගේම අම්මලා තාත්තලා මඩු පල්ලියේදි අවුරුදු ගණනාවකට කලින් ලබපු අත්දැකීමුත් අමුණනවා. නැත්නම් එව්වා අපිත් එක්කම වැළලිලා යයි. විශේෂ පිංතූරු එකතුවකුත් තියෙනවා ඒ කාලය ගැන අදහසක් ගන්න පුලුවන්.

දිගටම රැඳී ඉන්න.

ස්තුතියි!

29 comments:

  1. අර කියපු පින්තුර ටිකත් දැම්ම නං...

    ReplyDelete
    Replies
    1. දන්නම් ඔබා මාමෙ...හැබැයි හැට ගණන් හැත්තෑ ගණන්වල එව්වා...

      Delete
  2. එළ මචන්... නියමයි දිගටම ලියපන්.. දිගටම රැඳී සිටිමි..

    මම තම ඔය පැති ඇහැටවත් දැකලා නැති නිසා.. මේ ලිපි පෙලෙන් ගොඩක් දේවල් දැනගත්තා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      මෙහෙ නිවාඩු ආපු දවසක ඔය පැත්තම කවර් කරන්නයි තියෙන්නෙ...

      ඒක නෙමේ ඉබ්බට ලුණු දැම්ම කේස් එක අමතක වුනා නේද කට්ටියට... :)

      Delete
    2. ඒකනෙ... ඒකට උත්තරේ කිව්වනම් හොඳයි..

      Delete
  3. දරුවො දෙන්න යුද්ධෙන් මැරුනා නම් ඒ ගැනි සිංහලා ජාතියත් එක්කම තරහ ඇති , යුද්ධෙට ගිහින් මැරුණ කොල්ලන්ගෙ පවුල්වල අයත් , කොටි බෝම්බ වලින් මැරුණ අයගෙ පවුල් වල අයත් දෙමල ජාතිය ගැනත් එහෙමම තමා . ඒ නිසා තමයි රටක සිවිල් යුද්ධයක් අවසානයේදී පැරුණු හදවත් එකතු කරන එක ලේසි නැ කියන්නේ . ඒ මදිවට ගොංවංශලා ඇතුලු සිංහල ජාතීවාදිනුත් සම්බන්ධන්ලා ඇතුලු දෙමල ජාති වාදිනුත් කරන්නෙ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් අර හැදුනු තුවාල දිගටම පාරන එක

    ReplyDelete
    Replies
    1. බුවා අයියා කියන දේ හරියට හරි...යුද්දෙන් තමන්ගෙ දරුවො මැරුනු මිනිස්සූ දෙපැත්තේම ඉන්නවා..ඒ තුවාල තමයි දෙපැත්තම පාරන්නෙ..

      අපි ගෞරවයෙන් නොසැලකුවට සිංහලයන්ව ඇහැකට දැකලා නැතුව සිංහලයන් කියන්නෙ තමුන්ගෙ රට අල්ලාගෙන තමුන්ගෙ ජාතියට ම්ලේච්ඡ්කම් කරන ජාතියක් කියලා හිතාගෙන රට බේරාගැනීමේ අදහසින් යුද්ධයට ගිය දෙමළ කොල්ලත් දෙමළ ත්‍රස්තවාදීන්ගේන් රට බේරාගන්න යුද්ධෙට ගිය සිංහල කොල්ලත් සමානයි නේද? දෙන්නගෙම තිබ්බෙ දේශප්‍රේමී හැඟීම..

      අනික කොටින් විසින් බලෙන්ම යුද්ධෙ මැද්දට ගෙනත් දාලා මරපු දෙමළ කොල්ලො කෙල්ලොත් හිටියා කියලා අමතක කරන්න හොඳ නෑ..

      එහෙමයි කියලා සිංහල හමුදාවට වෙඩි නොතියා ඉන්නයි තිබුනෙ කියලා අදහසක් නෙමෙයි මම කියන්නෙ..පාලකයන්ගේ උවමනා එපාකම් මත තැලෙන්නෙ වෙනත් කොටසක් බව පෙන්වා දීම..උද්ඝෝෂණයකදී වුනත් වෙන්නෙ ඒකනෙ..

      Delete
  4. පින්තුර ටිකත් දාන්නකෝ

    ReplyDelete
    Replies
    1. දාන්නම්..ජූන්ජක් ඉවසන්න වෙනවා,,

      Delete
  5. අර ටයි කෝට් දාපු දෙවියා කව්ද බං?.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිතලා බලන්නෙපායැ...

      වෙන කවුද පිරබාහරන්..මම හෙව්වා ඒ පොටෝ එකක් හම්බුනේ නෑනෙ..අර සාම ගිවිසුම් කාලෙ ඇඳලා හිටපු ක්‍රීම් පාට කිට් එක මතක ඇතිනෙ..

      Delete
  6. හරීටත් මාර නංගිලානේ ඉන්නේ. මඩු කැලේ හැදෙන ඇපල් ඉල්ලුවේ නැද්ද? හරී දැන් ඔයාට තේරෙනවනේ, වෙළෙන්දෝ හැටියටත් වෙනත් සේවා සපයන අය හැටියටත් හිටියේ කොටි සහ කොටි ග්‍රාමාරක්ෂක සේවය. ඔය හැම තැනම අවිආයුධ සහ නොපෙනෙන ලෙස ආධාරක කොටි භට පිරිස් සූදානමින් සිටියා. උන් හිතුවා අපි අපේ විශේෂ බලකාය වගේ එකක් යොදවලා සාමාන්‍ය වන්දනාකරුවන් ලෙස ඇතුලට ඇවිත් උන්ගේ ආයුධ අරන් උන්ටම ගහයි කියලා. යාපෝට් කියනකොට මට මතක් වුනේ වවුනියාවේ කඩවල සිංහලෙන් ලියලා තියන නාම පුවරු. ඒවාට හිනාවෙන එක, එක අතකට පවු. මොකද සිංහල කඩයක ලියලා තිබුන 'ලාම්පුරෙ පෙයාර්කෙරේ' කියලා. මම හිතුවේ හින්දි චිත්‍රපටියක් කියලා නැහැ ලාම්පු රෙපෙයාර් කෙරේ. (පරණ විහිළුවක්)

    ReplyDelete
    Replies
    1. අපේ නැන්දලා එයා ඉල්ලන ඉල්ලන එක දෙන්න පුරුදු කරලා ඒකයි ඔය..අයිස් කැටත් ගිනිගානක් දීලා ගත්තද කොහෙද පල්ලිය ගාව සරුවත් කාරයෙක්ගෙන්..

      කොටි එහෙම හිටපු බව තේරෙනවා..සමහර පාරවල යන්න දුන්නෙ නෑ..වාහන හරවලා එවලා තිබ්බා..අනික හොඳ උස ඇඟ පත තියෙන උන්ව කැරකි කැරකිම බලනවා..අපේ මාමා ගාව වැඩකරන එක්කෙනෙක් හිටියා උස ඇඟපත තියෙන කොන්ඩෙත් කොටට කපලා තිබ්බෙ..කොටි කැරකි කැරකිම බැලුවා..අපිනෙ දන්නෙ හයිහත්තිය තිබ්බට උගෙ මෝඩකම්..යුද්දෙට ඇරියානම් තුවක්කුව අනිත් පැත්ත හරවලා වෙඩි තියයි..:)

      මමත් දැක්කා ඔය වගේ එව්වා..වව්නියාව හන්දියෙ කඩවල වගේම සමහර රජයේ කාර්‍යාල වල තිබ්බෙත් අමුතු සිංහල...

      Delete
  7. හරී... ඔබ "මම දුටු කොටි" යන්වෙන් අත් දැකීම් ඇසුරින් ලියූ සංචාරක සටහන් පෙළ හරිම රසවත්. ලැබූ අත්දැකිම් රසවත්ව ඉදිරිපත් කරන්න යොදාගත් භාෂා විලාසයත්. ඒ වගේම රසවත්. මේ අත්දැකීම් ටික හොඳම තීරු ලිපි පෙළක්. ඉදහිට හෝ මේ ව‍ගේ තිරු ලිපි ස්වභාවයේ අත්දැකිම් ලියන්න. කියවන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. දයා අයියෙ වගේ එකක් කිව්වට කමක් නැද්ද? ඔබතුමා කියන්නත් එපා කියනවනෙ... :)

      මම දැකපු එව්වා ඔහේ කියාන ගියා මිසක් රහක් ගුණක් බැලුවෙ නෑ..මේ ලිපි තුනම ලිව්වෙ එක දවසෙ..මට නම් මේ ටික මෙලෝ රහක් නෑ වගේ..මොකට ලිව්වද කියලත් හිතුණා..ලියන්නම් කියපු ඉතිරි ලිපි හොඳට නිවාඩුව ලියන්න උත්සාහ කරන්නම්..

      දිගටම රැඳී ඉන්නකො..

      Delete
    2. ඔබතුමා, මහතත්මයා වගේ වචන ඇර අනෙක් ඕනෑම විදියකට මං කැමතියි. කමක් නෑ, දයා අයියෙ, එහෙමත් නැත්නම්, මල්ලියෙ, උඹ, බං නැත්නම් මංච කිවිවත් අවුලක් නෑ එවචන වල අපේකම තියනවා මං ඒකට කැමතියි.

      Delete
  8. ඉක්මනටම ඒ පින්තූර ටිකත් දාන්න.
    මම නම් උපන්තේකට මඩු පල්ලි ගිහින් නෑ. ඒ නිසා දකින්නත් ආසයි !

    ReplyDelete
    Replies
    1. දාන්නම්..

      එව්වල මඩු පල්ලිය පෙන්න තියන එව්වා එකද කොහෙද තිබ්බෙ.... :)

      ඇයි මධ්‍රංගලාගේ අම්මලා වන්දනා ගමන් එහෙම යන්නෙ නැද්ද?

      Delete
    2. හික්ස් :)
      අපේ අම්මා තලවිල පල්ලි නම් යනවා. මඩු පල්ලි යන්ඩ සෙට් වෙල නෑ.

      Delete
  9. අනේ අනේ..එයාපෝර්ට් එකට ගහපු එකේ සීඩි ත් හදලානේ මුන්...

    ඔයාලා දවස කීයක් එහෙ හිටියද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මේ පැත්තෙ කටකතාවකුත් තිබ්බා එයාපෝට් එකට ගහන් එක එක කොටියෙක් වීඩියෝ කරන් ගිහින් කියලා..
      සී. ඩී. එක අවුට් වෙන්නෙ ෆිල්ම් එක පෙන්නුවට පස්සෙනෙ...
      ඉඟියක් ලැබුනද දිගටම රැඳී ඉන්න..

      වන්දනා ගමන නම් දවස් 6ක් විතර විනෝද චාරිකාවට 2යි ඔක්කොම 8ක් විතර..

      Delete
  10. අර කඩේ හිටිය ගෑනි වගේ දෙයක් මටත් උනා මඩු හෝ කොටි පාලන ප්‍රදේශයේ නෙවි කොළඹ මලිගාවතේ. එක දෙමල කෑම කඩයක්. අර කිවාවගේ සිංහලනේ කතා කරලා ඉල්ලුවොත් අහුන්නේ වගේ ඉන්නේ. පස්සේ ආපු දෙමල මුස්ලිම් ඔක්කොගෙම දේවල් දීල විනාඩි 30 විතර රස්තියාදු කරලා ඇහුව මොනවද ඕනේ කියල. ඒකාලේ පෙත්තටම එක විතරයේ කඩේ. මුලින් හිතුවේ මුන් මේක මට විතරක් කරපු දෙයක් කියල පස්සේ අපේ සිංහල යාලුවෝ ගොඩ දෙනෙකුට ඕකම කරලා තිබුන. සුළු මහා කියල බේදයක් නැතුව ජාතිවාදියෝ ඕනෑම ජාතියක ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව්වා ගනන් ගන්න එපා සහෝ.. ඔය දෙමළ මිනිස්සු නෙමෙයි දෙමළ ජාතිවාදියෝ..

      මමයි තව දෙන්නෙකුයි ගියා දවසක් දෙමළ කඩේකට කැම්පස් එක ගාව..කැන්ටිමේ කෑම කන්න බැරිහින්දා වගේම..වෙනදට හැමදාම සිංහල කඩවලින් කන නිසාම වෙනසකටත් එක්ක..කෑම ගන්න ගිහින් එපා වෙනවා වෙන උන්ට දුන්නට අපිට දුන්නෙ නෑ..බොහොම අමාරුවෙන් ඉල්ලගත්තා...කෑම කටේ තියන්න බෑ කැන්ටිමේ එව්වා පරාදයි..ඒ මදිවට ගාන සිංහල කඩේක හොඳම කෑම එකකටත් වඩා වැඩී..එහෙම කරන්න ඇත්තෙ ආයෙ කඩේට නෝන්න වෙන්න ඇති..

      සමහර දෙමළ අයනම් කෑම කඩවලට සිංහලයො එනවට කැමති නැත්තෙ කෝප්පෙට කට තියලා බොන නිසාලු..දෙමළ මනුස්සයෝ උණු තේ එකත් කෝප්පෙට කට නොතියා උගුරට හලා ගන්නවනෙ..

      Delete
  11. අපිත් ගියා ලඟදි යාපනේ.. කොටි නම් දැක්කෙ නෑ............

    ReplyDelete
    Replies
    1. දැන් කොහෙද බොල කොටි?

      Delete
    2. @ශානි,
      යාපනේ කොටින්ගෙන් මුදාගෙන ගොඩාක් කල්නෙ..
      මට මතක් වුනේ කිලිනොච්චි අල්ලපුවෙලේ එකෙක් අහනවා යාපනේ අල්ලන්න ළඟයිද කියලා :)

      මට නම් තාම යාල්පානම් යන්න බැරිවුනා..

      පාලම්පිඩ්ඩි වල තල් රා නොතිබ්බනම් හා පස්සෙ කාලෙක පැපොල් ලැබුනේ නැත්නම් මම මෙලහට යාපනේ ගිහින්..

      Delete
    3. @නිශාන්,
      ඇයි බොල දැන් පාර්ලිමේන්තුවේම ඉන්නෙ..

      Delete
  12. අයියා පින්තූර ටික දාන්නකෝ බලන්න....

    ReplyDelete
    Replies
    1. ළඟදීම දාන්නම් මලේ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...