4.16.2012

මම අහපු කොටි

ඉතිහාසයේ එක්තරා දවසක සවසක මම පොතක් බලමින් සිටියෙමි. පොත බලමින් කීවාට මගේ ඇස් පියවී තිබුනේය. පොත දිගහැරී තිබුනද පොතෙන් ඔලුවට ගිය දෙයක් නොමැත. 

"හරී.... හරී.. " මහ හඬින් කළ බෙරිහන් දීමට මම පොළවෙන් අඩි කීපයක් ඉහළ ගොස් බිමට ආවෙමි. මා සොයා බෙරිහන් දෙන්නේ අපේ මාමා යැයි කටහඬින් හඳුනාගත්තෙමි. නිව්ටන් නියම වසා තැබූ මම "අම්මේ මාමලා ඇවිල්ලා " යි කෑගසමින් ඉස්තෝප්පුවට දිව්වේ අඩනිරුවතිනි. ඉස්තෝප්පුවේ මාමාද නැන්දාද මාමාගේ මල්ලීද (පොඩි මාමා නොව මාමාගේ පුතා) සිටියෝය. 

"කෝ හරී අම්මලා නැද්ද?" පළවෙනි ප්‍රශ්නය මාමාගෙනි. මට එයට උත්තර දීමට ඉඩ දුන්නේ අපේ අම්මා නොවේ. මම කළ දැනුම් දීමට අනුව වහා පැමිණි ඇය නිසා මාමාට ඉබේම පිළිතුරු ලැබුණි.

"එන්න.. එන්න.. වාඩිවෙන්න" පවසමින්ම පුටුවල අප තබා තිබූ යම් යම් දෑ ඉවත් කළේ අම්මාය. ඉඩ ලැබුණු පුටුවල මාමාද නැන්දාද වාඩි වූහ. පොඩි එකාට නම් වාඩි වීමේ අසාවක් තිබුනේ නැත. පොඩිඑකාගේ ඇස් දෙක අපේ කැබිනට්ටුවට යනවා මම දුටිමි. අපිව ගොනාට අන්දවා මගේ හෝ මල්ලීගේ සෙල්ලම් බඩුවකට විදගන්නේ කොහොමදැයි පොඩි එකා සිතනවා වියයුතුය. ඒත් ඊට මගෙන් සහයක් නොලැබෙන බව දුටු නිසා ඌ උගෙ අම්මාගේ ඇගේ ඇතිල්ලෙන්නට විය.

සුපුරුදු පරිදි "කෝ අයියා නැද්ද?"යි තාත්තා ගැනද "කෝ මල්ලී නැද්ද?"යි මල්ලී ගැනද විමසීම ඉන්පසු සිදුවිය.  මල්ලී ගැනද තාත්තා ගැනද අම්මා ගැනද ගෙදරට එන නෑයින් විටින් විට විමසන නමුදු මා ගැන විමසූ දිනයක් නම් මට ජීවිතේට මතක නැත. අනේ අම්මපා මුන්ට මගේ අගයක් නැති හැටි. 

"මාමාලා මඩු පල්ලි ගියාලු නේද?" මම කිව්වේ දිග කතාවක මාතෘකාවයි. මාමාද නැන්දාද එකතුවී කතාවේ ඉතිරිය කියනු ඇත. මට පෝර පස් දමමින් එය අසා සිටිය හැකියැයි එවලේ මම සිතුවෙමි. 

"ගියා ගියා" මාමා උත්තර දෙන්නේ ගියාටවඩා නොගියානම් හොඳයි හැඟෙනසේය. 

"හොඳ පරිප්පුවක් කෑවෙ" ඒ නැන්දාය.

"පරිප්පුවක්දත් අහනවා. පරිප්පුවෙ හොඳම එක." මම නම් මේ වෙලාවට කියන්නේ පරිප්පු වර්ගය එහෙම නැත්නම් පරිප්පු ඝනය කියාය. මාමාගේ ගණිත දැනුම නොදන්නා නිසා කටපියා සිටියෙමි.

"එ මොකෝ එහෙම කියන්නෙ" අපේ අම්මාද පුටුවක හරි බරි ගැහුනේ ලොකු කතාවකට මුල පුරමිනි. මගේ බලාපොරොත්තුව සඵලවෙන ලකුණු පෙනුනි. අද හොඳ කතාවක් අසන්න ලැබේවි.

"ගමන පටන් ගත්තු තැන ඉඳලම පුදුම කට්ටක් කෑවෙ. අනේ ඔයිට වඩා හොඳයි අපිට පුරුදු ගමේ පල්ලිය වැඳගෙන හිටියනම්"

"මුලින්ම ෆෝම් එකක් පුරවන්න උනා විස්තර ඔක්කොම දාලා. අයිඩෙන්ටි නොම්බරයි. නම් ගමුයි ඔක්කොම. තව සුවාමිගෙ ලියුමකුත් ඕනා කිව්වා"

"අපිටත් ආරන්චි වුනා. ප්‍රදීපෙත් තිබ්බා නේද යන අයගෙ විස්තර කලින් එවන්න කියලා

"සුවාමිගෙ ලියුමයි අපේ විස්තරයි ඔක්කොම එහෙ හමුදා කෑම්ප් එකකට දීලා තිබුනා"

අපේ කතාව පොඩි එකාට රුස්සන්නේ නැති සෙයකි.  ඌ වටේ කැරකෙමින් නහයෙන් අඬන්නට පටන් ගත්තේය. නැන්දාටද අතින් ඇන්නේය.

"පුතේ මේ මල්ලීට සෙල්ලම් බඩු මොනාහරි දෙන්න" අපේ අම්මා පොඩි එකා රවටා තබා ගැනීමට උපායක් යෙදවීය. මමද අම්මාට ඔරවමින් කැබිනෙට්ටුව හැරියෙමි. පොඩීකාගෙ නහයෙන් ඇඬීම අතුරුදහන්වී මූනේ මලක් පිපී ඇත. ඌ අදනම් වැඩේ ගොඩ යයි සිතා සිටින්නට ඇත.

"යන යන වාහන ඔක්කොම අන්තිම කෑම්ප් එකේදී පෝළිමකට ගාල් කරනවා

"පෝලිමේ ඉන්න වුනා පැය දොළහක් විතර"

"පැය දොළහක්" සෙල්ලම් බඩු බාමින් සිටි මම කෑ ගැසීමි. "පැය දොළහක් මොනා කෙරුවද?"

"ඇයි වාහන චෙක් කරන්න. වාහන එකින් එක අරන් සම්පූර්ණයෙන් චෙක් කරනවා. අපි යවපු විස්තරත් චෙක් කරනවා. ඒ දෙකම හරිනම් තමයි ඉස්සරහට යන්න ලැබෙන්නෙ. "

"පැය දොළහක් ගියා නම් හොඳට චෙක් කරන්න ඇති"

"ඔව් උපරිමේටම තිබ්බා. පෝලිමේ ඉද්දි කෑම ටිකක් ගන්න කඩයක්වත් බොන්න වතුර ටිකක්ත් නෑ. අපි නම් අන්තෝනි අයියගෙ බලු ගඳ ඇර ඇර හිටියෙ 'මොන ගමනක් එක්ක ආවද' කියලා"

"චෙක් කරලා ඉවර උනාට පස්සෙ රතු කුරුසෙ එනකන් ඉන්න ඕනෙ"

"ඒ මොකටද?"

"කොටි කෑම්ප් එකයි හමුදා කෑම්ප් එකයි අතර පාලනේ ඒ කට්ටියගෙ. අපේ වාහනය එක්කගෙන ගිහින් කොටින්ට දෙන්නෙ රතු කුරුසෙ කට්ටිය. ඊටපස්සෙ තමයි කොටින්ගෙ චෙක් කිරිලි. උනුත් ආයෙ නෑ ඔක්කොම හොයනවා."

"කොටිත් දැක්කද?" කොටි හැබැහින් දැකීම එකල මටනම් මැජික් එකකි.

"ඔව් මේ වගේ චූටි පැටවුත් හිටියා. උන් නම් පව්. බලෙන් බඳෝගෙන වෙන්න ඇති" මාමා අතින් පොඩි කොටින්ගේ තරමද පෙන්වීය. ඒ අතර මාමාගේ පුතා "බෘම්ම්.. බෘම්ම්.. පීප්..පීප්ප්" ගායි.

"මම වතුර ටිකක් රත්කරන්නම්" අපේ අම්මා කුස්සියට දිව්වාය. "බොන්න මොකුත් එපා අක්කේ " යැයි මාමා කියද්දීය. අපේ ගෙදර එන නෑයෝ බොහොමයක් දෙනා "මොකුත් ගේන්න එපා" යැයි කීවද ගෙනා පසු කති. ඒ අතර සමහරු "කන්න කන්න" යි තමුන්ගේ දරුවනට බිස්කට් කවරයම කවන්නේ ගෙදර උන් වන අපි එක විස්කෝත්තුවක්වත් නැතුව බලා ඉද්දීය. බැරිවෙලාවත් එපා කියන නිසා නොදුන්නොත් අපි ගෙදරට එන මිනිහෙකුට සළකන්නවත් දන්නේ නැතිබව තන තැන කියති. ඒ නිසා උන් එපා කියන්නේ විහිලුවටය.

"ගිය වෙලේ ඉඳන් උන්ගෙ රටේ උන්ට ඕනා විදිහට ඉන්න ඕනෙ. කන්න ගියත් නාන්න ගියත් උන්ගෙ නීති. අපි දිහා ඇස් ලොකු කර කර බලන්නෙ. "

"ඉරිසියාකාරයො උන්ට දකුණෙ උන් කාලා ඇඳලා ඉන්නවා පේන්න බෑ. අපේ කොල්ලෙකුගෙ කනටත් ගහලා තිබුනා"

"උන් දුක් විඳින නිසා තරහා ඇති"

"පුතා මේ බිස්කට් පැකට් එක කඩලා දෙන්න" ඒ අණ අම්මාගෙනි.  බිස්කට් ටික බන්දේසියක තබා අමුත්තන් වෙත ගෙන ආමි. ඒ අතර 'සිලිං ...සිලිං ...සිලිං ..' කුස්සියෙන් ඇහෙන හඬ තව සුළු මොහොතකින් තේ ලැබෙන බව කියාපායි. 

"බඩුවක් මුට්ටුවක් ගන්නත් බෑ පූජාව තියෙන වෙලේට. අපිට ඕනා විදිහට ජොලියක් දාන්න ලැබුනෙම නෑ. කොහෙද මුං ගෙනිච්ච අරක්කු ටිකත් මගින්ම බා ගත්තනෙ. වාඩිවල තිබිලා අහුවෙච්චට දඩත් ගැහුවා

"වැව පැත්තෙ ගියෙ නැද්ද?" අම්මා ඇසුවේ මමාට තේ එක පිළිගන්වන ගමන්මය. 

"නාන්න යනකොට නම් ගියා. අපෝ නාන තැන එපා වෙනවා සෙනග එක්ක. නාලා ඇඳුම් ඇඳගෙන ඇඳන් හිටපු එක හෝදන්න ගියාම වෙන උන් ආයෙම නාවනවා. පස්සෙ අපි කමලා අක්කා කියපු තැනකට ගියා. " මාමා තේ කෝප්පයෙන් උගුරක් කටට යවයි. මෙතෙක් වේලා සෙල්ලම් බඩු අතර සිටි පොඩි එකාට බිස්කට් තේ මතක්වූයේ දැන්ය. ඌ සුකුරුත්තම් බඩු පසෙක දමා තේ කෝප්පයට දිව ආවේය. 

"කෝ..කෝ. ඉන්න මම පොවන්නම්. ඔය තේ එක තාම උණුයි. මේ බිස්කට් එක් කන්නකො" නැන්දා විස්කෝතුවක් පොඩි එකාට දුන්නාය.

"අක්කට මතකද කමලා අක්කලාගෙ බේකරිය"

"මොකෝ මට මතක නැත්තෙ. ඒ දවස්වල අපි පාං ගත්තෙ එහෙන්නෙ"

"ඒ බේකරියෙ වැඩ කරලා තියෙනවා සාම්බාරුද මොකක්ද නමක් තියෙන කොල්ලෙක්. මම හිතන්නෙ හැත්තෑ ගණන්වල. දැන් ඌ කොටි නායකයෙක්ලු"

"ඉතින්"

"කමලා අක්කලාව නාන තැනදී දැකලා ඌ කතාකරලා. නාන්න වතුර අරන් දෙන්නම් කිව්වලු"

"වතුර ලැබුනද?"

"වතුර නම් ලැබුනා ඒත් ඌ එක්ක හිටපු අනිත් කොටි අපි දිහා බැලුවෙ නාගන්න රුපියල් දහයක් නැති හිගන්නො හැටියට"

"එන්න පුතා තේ එක බොන්න"

"ආ. මෙන්න" මටත් තේ එකක් ලැබුනි.

"යාපෝට්" තේ උගුරු දෙකක් අතර පරතරය ප්‍රයෝජනයට ගත් පොඩි එකා කට ඇරියේය. එවලෙ මට එය නොතේරුනත් එය කතාවට පෝර පස් දැමීමකි.

"උන් යාපෝට් එකට ගහලා ඒක වීඩියෝත් කරගෙන ගිහින්නෙ.  දවසක් රෑක වාඩිවලට ඇවිල්ලා උන් අපිව එක්කන් කියා දැනුවත් කිරීමකට කියලා. බලද්දි යාපොට් එකට ගහපු වීඩියෝ එක තිරේකට දාලා පෙන්නනවා. පස්සෙ පොඩි එකා නිදාගත්තු හින්දා මම එළියට ආවා. කොටියෙක් මගෙන අහනවා 'මොකද බලාගෙන ඉන්න අමාරුද?' කියලා. පොඩි එකා නිදියගත්තා කිව්වම කියනවා. 'තව ඉස්සරහට හොඳට නින්ද යයි' කියලා.  අම්මපා මට අනින්න හිතුනා උගෙ හොම්බට. අපේ උන් ඉටිරෙදි බංකර්වලට වෙලා තුවක්කු ඔහෙක් කොරං ඉන්නවා. උන් අපිට පාට් දානවා." මාමා කට සමඟ අත පයත් යන්නේ කතාවට සජීවි බවක් එක්කාසු කරමිනි.

තේ එක බීපු පොඩි එකා මාමලා ගෙනා කවර අදින්නට විය.  "චී පුතා ඔව්වල කරෝල තියෙනවා ගඳ ගහයි

"එහෙ බඩු නම් ලාබයි. එළුවා කිලෝ එක දෙසීයට තිබුනා. හැබැයි සැන්නන් බැන්නන් ඔක්කොමත් එක්ක. කරෝලත් ලාභයි." නැන්දා කවර සියල්ල අපේ අම්මා අතට දුන්නේ පොඩි එකාගෙන් බේරන්නට බැරිම තැනය.

"එන්ඩ ලෑස්තිවෙනකොට තමා හොඳම හරිය. පොඩි කොටි කොල්ලො එනවා වාඩිවලට. ඇවිත් බඩු මුට්ටු ඉල්ලනවා. සබන්, පොල්තෙල්, භූමිතෙල්, ගිනිපෙට්ටි වගේ එව්වා ඉල්ලනවා. සමහර වෙලේට ඒවාට සල්ලි දෙන්නත් කතා කරනවා. සබන් කෑල්ල රුපියල් පනහටත් ඉල්ලුවා. තව අපි ගිය බස් එකත් ඉල්ලුවනෙ ලක්ෂ විස්සකට. බස් එක දුන්නානම් ලක්ෂ 5ක් අත උඩ ලාබයි."

"එතකොට එන්නෙ"

"හමුදාවට හොරෙන් අපිව වව්නියාවට ගිහින් දාන්නම් කිව්වා. කොළඹ යන බස් එකකට ගොඩ කරන්නම් කිව්වා."

"දීලා එන්නනෙ තිබුනෙ"

"පිස්සුද පුතේ. වව්නියාවට යවනවා කියලා කැලේට ගෙනිහින් අපිව මැරුවොත්. කතාවෙන් කතාවෙන් රෑත් වුනා. අපි එහෙනම් ගිහින් එන්නද?" මාමා හිස්වැසුම අතට ගෙන අසුනින් නැගිට්ටේය.

"කෝ පුතා මේ අයියට ටටා කියන්න. කෝ ඇන්ටිට" පොඩි එකා අත හොලවන්නේ රිලා නැටුමට පුරුදු කළ රිලවෙක් මෙනි. පුරුද්දට අත වනනවා මිසක් තේරුමක් නැත.

"අපි යන්නම් අක්කේ" නැන්දා පොඩි එකාද කැටුව එළියට බැස්සාය.

"හොඳයි. ජේසු පිහිටයි!"

 "බායි.. බායී.." තුන්දෙනා රැගත් යතුරු පැදිය ඉදිරියට ඇදෙනවාත් සමඟ අපිත් ගෙට ආවෙමු.

ප.ලි. : මේ මම කොටි දකින්නට ඉස්සර අහපු කතාවක්. අපේ සීයා කොටි පණ පිටින් නොදැක්කට මොකෝ කොටින්ගෙ හොල්මන් දැකලා තියෙනවා. 

ප.ප.ලි: මම දුටු කොටි සීරියස් එක මග හැරුනෙ නෑ නේද?
 

38 comments:

  1. මොකෝ බන් මාමලත් එක්ක අරියාදුවට වගේ ලියලා තියෙන්නෙ ? මේක ඇත්ත කතාවක්ද, ගොතපු එකක්ද ? ලස්සනට ලියලා තියනවා...ඔය කතා ඔක්කොම වගේ උබ අපිට කලින් කියලා තියනවානෙ.

    ReplyDelete
    Replies
    1. හෑ.. එහෙම අරියාදුවක් පේනවද? මම හිතල ලිව්වෙ නෑ. කියපුවා ඒ විදිහටම ලියලා තියෙනවා. මම කලින්ම කිව්වෙ, කලින් ගිය අය කිව්ව කතා වලට සම්පූර්ණයෙන්ම වෙනස් කොටි අපිට හම්බුනේ කියලා. මේ කලින් කියපු කතාවක් ඒ විදිහටම.

      "ඔය කතා ඔක්කොම වගේ උබ අපිට කලින් කියලා තියනවානෙ." මම කලින් කිව්වෙ මීට සම්පූර්ණයෙන්ම වෙනස් කතා. ඇයි කට්ටිය මට කිව්වෙ කොටියා සුදු කරන්න යනවා කියලා.

      මෙතන ඉන්නෙ කළු කොටි..

      Delete
  2. සෙන්නා කිව්වා වගේ මාමලත් එක්ක අරියාදුවටනේ මේක ලියල තියෙන්නේ :)) ඉස්සරහට හොඳට නින්ද යයි කියපු කොටියා දැන් නිදිද දන්නේ නෑ..:)

    ReplyDelete
    Replies
    1. මම හිතලා ලිව්වෙ නෑ. කියපු දේවල් එහෙමම ලිව්වා. කොරන්න දෙයක් නෑ අරියාදුවක් එනවා නම්. :)

      කොටි ඔක්කොම නිදි දැන්.. වැරදුනා වැරදුනා.. සමහර කොටි නිදි.. සමහර කොටින්ට සුර සැප..

      Delete
  3. කොටි නං මතක් කරන්න එපා :-)

    ReplyDelete
    Replies
    1. ඇයි බං කකුල් හතරෙ එව්වො..

      Delete
  4. ලස්සනට ලියලා තියනවා..
    ඒ දවස්වල මඩු පල්ලි යන්න මෙච්චර අමාරු කියලා දැනං හිටියෙ නෑ..

    මම දැකපු කොටි සීරීස් එක කියෙව්වෙ නෑ කියවලා එන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      මුල්කාලෙම නම් හරිම අමාරු වෙලා තියෙනවා. ගිනි අව්වෙ වරු ගණන් පෝලිම් වල ඉන්න වෙලා තියෙනවා.

      අපි ගිය කාලෙ නම් රූං ගාලා ගියා.

      Delete
  5. නියම කතාව , කතාව ඇතුලෙ කතා තුනයි. මඩු පල්ලියට ගිය ගමන, මමාලාගෙ ආගිය තොරතුරු, පොඩි එකා සෙල්ලම් බඩු ටිකට විදීම.හරීට මාමලගෙ පැමිණීම නිසා ඇතිවූ හැඟීම්, මේ සිදුවීම් ටික චිත්‍රපටයක් වගේ මැවෙන්න ලියල තියනවා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!

      ඒ කතාව නැත්නම් මෙතන කියන්න දෙයක් නෑ වගේ..

      Delete
  6. මමත් ගියා මඩු පල්ලි කොටි ඉන්න කාලෙම. මිට අවූරුදු 8 කට 9 කට කලින්. මුල කියල තිබුණු විස්තර ඔක්කොම හරි. අපි වැන් එකක අපේ ගෙදර කට්ටියයි , තාත්තිගේ යාළුවො හතර දෙනෙකුයි ගියේ. එක යාලුවෙක් දෙමල කෙනෙක්. විස්තර ඔක්කොම චෙක් කරනකම් පැය ගානක් ඉන්න වෙනවා තමයි. හමුදාවෙන් ක්ලියර් උනාම රතුකුරුසේට අපිව බාර දෙනවා. ඊට පස්සේ එතනිනුත් චෙක් කරලා තමයි කොටින්ට බාරදෙන්නේ අපිව. අරක්කු ඔක්කොම ගන්නවා. කොටියෝ න්ට හොරෙන් බෝතල් දෙකක්ද කොහේදෝ අපේ අය ගෙනල්ලා තිබුනා.

    පල්ලිය ගාව අපි ටෙන්ට් එකක් ගහගෙන හිටියේ. කලින් දා ගිහින් පුජාවට ඉඳලා එන්න තමයි සැලැස්ම තිබුනේ. අපේ වාහන ලඟට වෙලා කොටි ළමයි ඇවිත් පින්තුර ගත්තා. නිදාගන්න යද්දී අපි දාඩිය නිසා පල්ලිය ඉස්සරහාට ගියා පැදුරු අරගෙන පිරිමි කට්ටිය, තාත්ති එක්ක මමයි මල්ලිත් ගියා. පාන්දර නැගිටිනකොට මෙන්න බොලේ කොටි දෙන්නෙක් අපේ දෙපැත්තට වෙලා තුවක්කු දික් කරගෙන ඉන්නවා. අපි හේනට බය උනා. අර දෙමල අන්කල් ගිහින් කතා කළා එයාලා එක්ක. එයාලා මුළු රෑම එතන ඉඳලා තියෙන්නේ. අපිට ආරක්ෂාව දෙන්න. මොකද එයාලාට අපි ගැන වගකීමක් තියෙනවාලු. අපිට වෙන අයගෙන් කරදර වෙයි කියලා :)

    කොටින්ගේ මිනි පිට්ටනියකුත් අපි බලන්න ගියා. කොටියෝ ඉන්නකොටම. අපි ඇහුවා ඇයි යුද්ද කරගන්නේ කියලා. එයාලා කියනවා එයාලගේ ගඟේන් මාළු අල්ලාන්නවත් එයාලට තහනම්ලු. නිදහසක් නැහැලු. . එයාලගේ බ්‍රේන් වොෂ් කරලා.

    එද්දී රතුකුරුසේ අය අපිට පොත් දුන්නා. අපි පොඩි නිසා වෙන්ට ඇති :)

    එනකොට හමුදාවේ අය අපෙන් අහනවා එයාලා මොනවද කියුවේ අරවා මේවා. අපේ තාත්තිලනම් මුකුත් කියුවේ නැහැ කියලා තමයි කියුවේ. :)
    මමත් කොටින්ව දැකගත්තේ එදා තමයි හොඳ හැටි. කොටි කෙල්ලෝ තමයි හද්ද වනයේ ඉන්නේ . බය නැද්ද මන්දා :)

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලෝ ඒ හද්දා වනයටත් එහා ගිහිල්ලා ඒ කොටි කොල්ලන්ගේ 'බය ඇරියා'

      Delete
    2. මේ ඉන්නෙ ඒ කාලෙ ගිය කට්ටිය.. අපි යද්දිනම් කොටින්ගෙ චෙක් කිරීම් හොඳටම අඩුවෙලා තිබුනෙ.. ඒක නිසා පෝලිම්වල පරිප්පු නොකා යන්න ලැබුනා...

      මට නම් හිතාගන්න බෑ කොටි දෙන්නෙක් එතනට වෙලා මොනවා කරාද කියලා.. හතරවටේම කොටි ඉද්දි තවත් අමුතුවෙන් මොන ආරක්සාවක් දෙන්නද? අනික හැම වන්දනා කණ්ඩායමටම දෙන්නා දෙන්නා දැම්මානම් හොඳට තියෙයි.. පිරිමි කට්ටියයි හිටියෙ කිව්වා නේද? ශුවර් එකටම කොටි හිතන්න ඇති හමුදා කණඩායමක් ඇවිත් කියලා.. ඒකයි වට කරන් ඉන්න ඇත්තෙ හදිසියක් වුනොත් වෙඩි තියන්න..
      අනිත් කාරණාව එහෙම තුවක්කු තියන් හිටියෙ කාගෙ අවසර පිටද? මඩු පල්ලිය ආයුධ මුක්ත කලාපයක්නෙ.. මට මතක හැටියට යුධ හමුදාව මඩු පල්ලියෙන් ඉවත් වුනෙත් ආයුධ රහිතව ඉන්න ලෙස පල්ලිය කරපු ඉල්ලීම නිසා.. මම වැරදි නම් විචාරක මහත්මයා නිවැරදි කරාවි..

      මම ගිය වතාවත්වලදී නම් එල්.ටී.ටී.ඊ. සාමාජිකයො හිටියත් ආයුධ රහිතවයි හිටියෙ..

      අපි නම් මිනී පිට්ටනි බලන්න ගියෙ නෑ.. ඒ ඇයි කියලා කලින් ලිපියක මම කීවානෙ.. මොනා ද ඔය මිනී පිට්ටනිවල තිබ්බෙ..?

      අපෙන් නම් ඇහුවෙ නෑ මොනාද කිව්වෙ කියලා.. ඒත් එල්.ටී.ටී.ඊ. රේගු ලේබලය ගලවන ලෙස දිගින් දිගටම කිව්වා..

      මම දැක්කා ඒ පැත්තෙ යාපන චාරිකාවක් යනවා. කියවන්න එන්නම්කො..

      Delete
    3. අවි තියාගෙන තමයි හිටියේ. අම්ම පුංචි උනත් මට හොඳට මතකේ තිබුනා. අර කියුවත් වගේ අපිට අරහෙම කියුවට එයාල හිත්න්දත් ඇති හමුදාවෙන්ද කියලා. හැමෝම කුඩාරම් වල ඉද්දි අපේ කට්ටිය විතරයි එළියේ පල්ලිය ඉස්සරහ නිදාගෙන හිටියේ, ඒ නිසාද දන්නෙත් නැහැ.
      අරක්කු බෝතල් කලින් වාහන වල අරන් තියෙන්නේ ආපහු එද්දී දෙන්නම් කියලාලු. එත් දුන්න කෙන්ගෙඩියක් නැහැ. සුරුවම තියෙන හරියෙත් කොටි හිටියා හැබැයි ආයුද නැතුව.

      Delete
    4. මිනි පිට්ටනියේ තිබිලා තියෙන්නේ ආයුද නේද ,, හමුදාවෙන් දැන් එතන හිස් පිට්ටනියක් කරලා. ඒ කාලේ නම් සොහොන් කොත් ලස්සනට හදලා තිබුනා.

      Delete
    5. ඊළඟ අව්රුද්දෙදිත් ගියා. එතකොට මඩු පල්ලියට යන හොඳ පාර උන් පාරට ගස් දාලා වහලා තිබුනා. අපේ කට්ටිය බැහැලා ගිහින් අහපුවාම කියලා තිබුනේ ඉල්ලීම් දුන්නේ නැහැ කියලා. අපිට දුෂ්කර පාරක් පෙන්නුවා යන්න කියලා බොරළු පාරක්. යාපනේ ඉඳං A3 පාරේන් එද්දී මෙදාපාර අපි මඩු පල්ලි ගියේ ඒ දුෂ්කර පාරෙන් තමයි

      Delete
  7. මේ කතාවනම් නියමයි, අර ඉස්සර රේඩියෝ එකෙත් ටී වී එකෙත් ගිය 'විනෝද සමය' කියන වැඩ සටහනේ පිටපතක් හැටියට පාවිච්චි කරන්න. පිටපත් රචනය සහ තිර පිටපත් රචනය ටිකක් අධ්‍යයනය කරන්න. එය කවදාවත් අහකයන දැනුමක් නෙවෙයි. මේ පැත්තෙන් එහාට ගිය අපේ මිනිස්සුන්ගෙන් සෑහෙන පිරිසක් කොටින්ගේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් (Psychological Operations) වලට හොඳින් අහුවුනා. ඒ මිනිස්සුන්ට කොටි පෙනුනේ 'බෝ පැල' වගේ. මොනවා කරන්නද ඒක ඒ අයගේ වැරැද්දක් නෙවේ. කොටින්ගේ දක්ෂතාවය. අර විදිහට වාහන කොටින්ට විකුණලා ආව අයත් හිටියා. සමහරු අපිට අහුවුනා. සමහරු අහුවුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. 'විනෝද සමය' දැන් රටේ.. පෙන්නන්නෙ පාර්ලිමන්ට් එකේ..

      "අර විදිහට වාහන කොටින්ට විකුණලා ආව අයත් හිටියා." ඒ කියන්නෙ ඔය වාහන ඉල්ලපු එක ඇත්ත කතාවක්ද? මම හිතුවෙ නයි අරිනවා කියලා..

      Delete
    2. උන් අපේ වාහන ළඟ ඉඳං ෆොටෝ ගනනවා. හරියට දැකලා නැහැ වගේ. අනේ මන්දා හේතුව මොකක්ද කියලා.

      Delete
    3. වාහන ඉල්ලපු කතාව සම්පූර්ණ ඇත්ත. වාහන ජාවාරමට ගිහින් 'අපේ' කීප දෙනෙක් තරු පටි ගලවාගෙන ගෙදර ගියා.

      වර්ණා. ෆොටෝ ගත්තේ මේකටයි. උන් සැක හිතුවා හමුදා බුද්ධි අංශයේ අය එනවා කියලා, වන්දනාකරුවන් ලෙසින්. එකම වාහනය ළඟ ළඟ දිනවල කීප වතාවක් ගියානම් අත්අඩංගුවට ගන්නත් ඉඩ තිබුනා. කොටින්ගේ බුද්ධි අංශයේ විමර්ශන කටයුතු සඳහා තමයි පින්තූර ගත්තේ.

      Delete
    4. මොනා නැත්ත කොටින්ට සුපිරිවාහන ටිකක් නම් තිබුනා... මම කලින් කියපු නිසා ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ...

      ඒ කාලෙ මෙහෙන් හොරෙන් පන්නපුවා කෙලින්ම උතුරට ගියා කියලා තමයි ආරංචි..

      Delete
  8. මේ කරුමෙන් මිදිච්ච එකනම් ලොකු දෙයක් බන්.දැන් කාගේවත් ලියුම් වත් අවසර වත් ඕන නැහැනේ මඩු යන්න.අපේ කොල්ලන්ට ඔව්වාට නම් පින්


    ප.ලි.
    ආහ් මේ එළු මස් තිබ්බලු නෙහ් :P

    ReplyDelete
    Replies
    1. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. ඒ කාලේ කොටින්ට තිබ්බ බය නිසා වන්දනාවෙ ගියෙ ගොඩක් වෙලාවට වන්දනාවටම ගිය කට්ටිය.. දැන් ඉතින් කොල්ලයි බල්ලයි හැම එකාම යනවනෙ.. එතකොට වෙන්නේ තලවිලට වෙලා තියෙනදේම තමයි..

      ප/ලි. ඊයෙ මම තේවත්තේ ගියා..

      Delete
  9. ආපෝ අපේම රටේ තැනකට යන්න ඔහොම බාල්දු වෙන්න ඕනේ නම් ඒකාලේ නොගිය එකමයි හොඳ කියල හිතෙනවා. තාම ගිහිල්ලත් නැහැ. යන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහෙ ඉන්නේ සාමාන්‍ය දෙමල මිනිස්සුයි හමුදාවයිනේ. කොටි වෙලා හිටපු ළමයිනුත් දැන් පුනරුත්ථාපනය වෙලා සමාජයට එකතු වෙනවා. ඒක කොච්චර දෙයක්ද.

    "හමුදාවට හොරෙන් අපිව වව්නියාවට ගිහින් දාන්නම් කිව්වා. කොළඹ යන බස් එකකට ගොඩ කරන්නම් කිව්වා."
    "දීලා එන්නනෙ තිබුනෙ"

    අන්න මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ආපුවාම ගිහින් එන්න.. දැන් පාරවලුත් හදලා නිසා ඉක්මණින් ගිහින් එන්න පුලුවන් වෙයි..

      "අන්න මිනිස්සු." තේරුනේ නෑ..

      Delete
  10. ඔය පැත්තට නම් ගිහිල්ලම නෑ. කතාව හරිම ලස්සනයි. ඉතුරු ඒවා ටිකත් බලන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. Podi Kumarihami අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගියට..

      ස්තුතියි! වෙලාවක් ලැබුනාම උතුරු පැත්තෙ සවාරියක් ගිහින් එන්න..

      Delete
  11. අයියා කියුව වගේ අපි යාපනේ ගියපු කාලෙත් එහෙම සෑහෙන්න පෝලිමේ ඉන්න උනා. මට හරියට තැන නම් මතක නෑ. කොහොම හරි අපි ඒ හරියට යද්දි 6ට කිට්ටුයි. ඊට පස්සෙ තියෙන හමුදා කෑම්ප් එකෙන් එහාට 6න් පස්සෙ කට්ටියව යවන්නෙ නෑ කියල කොටි කෑම්ප් එකේ කට්ටිය කියුවා. අපිත් එක්ක දෙමල අන්කල් කෙනෙකුත් ගියා තත්තිගෙ යාලුවෙක්. එයා තමා ඒ මිනිස්සු එක්ක කතා කරේ. එතකොට එයාලා කියලා තියෙනවා ...හමුදා කෑම්ප් එකෙන් යන්න දුන්නෙ නැත්තම් ආයෙ එයාලගේ කෑම්ප් එකට එන්න. ඒ හරියෙ නවතින්න තැනුත් නෑ.. ( කොහෙ නවතින්න තැන්ද? පාරෙ දෙපැත්තෙම බිම් බෝම්ම වලලලා කියලා බෝඩ් ගහලා අඩියවත් තියන්න එපා කියලා. දැන් නම් අයින් කරල ඇති) පාරෙ වාහන නවත්තන් ඉන්නත් එච්චර හොද නෑ.. කියලා

    …ඒත් ඉතින් අපි ගියා ඔය කියපු කෑම්ප් එකට. එතකොට 6 පහු වෙලා. අපිට යන්න දුන්නෙ නෑ. අපි ඉස්සරහ ගිය කට්ටියත් නවත්තලා. ඒ අය අතරේ පියතුමන්ලා දෙන්නෙකුත් හිටිය. කොහොම හරි ඔක්කොම කතා වෙලා ආයෙම අර කොටි කෑම්ප් එකටම ආවා. වෙන යන්න තැනක් නෑ නෙ. හමුදා කෑම්ප් එක ලග ඉන්න බෑ. ඉතින් එදා රෑ අපි හිටියෙ කොටි කෑම්ප් එකේ. අම්මෝ පුදුම බයේ හිටියෙ. අපිට රෑට කෑම ගෙනත් දුන්නෙත් එයාලගෙම කට්ටිය. හට් වගයක් ගහලා ලොකු උස මේස දාලා තිබුනා. ඒව උඩට නැගලා තමා නිදියගන්න ඕනේ. ඒ වටේම තුවක්කු තියාගෙන එයාලගෙ කට්ටිය හිටන් ඉන්නවා. ඒ අස්සෙ වෙලාවකට හට් එක මැද්දෙන් ටෝච් ගහගෙන ඇවිදගෙන යනවා. වර්නා අක්ක කියුවා වගේ ආරක්ශාවට ද මංදා. එදා එලි වෙනකන් පුදුම බයෙන් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. කොටි කෑම්ප් එකක රැයක් හිටියා නම් ඒක අමතක නොවෙන රැයක් වෙන්න ඇති.. නින්ද ගියේ නෑ නේද? :)

      මොනා කරන්නද ඉතින් වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් තිබිලත් නෑනෙ..

      Delete
    2. නින්ද යනවා තියා ඇස් පිල්ලන් ගැහුවෙත් බයෙන් ඇයි ඉතින් ඒ ටිකටත් මොනා වෙයිද කවුද දන්නෙ. මතක විදියට 2004 අපි යාපනේ ගියේ. කොහොම හරි සාම ගිවිසුම තියෙන කාලෙ A9 එක ඇරිය මුල් කාලෙම.

      Delete
  12. මම නම් තාම ගිහින් නෑ. ඔහොම යන්න තැන් ගොඩක් තියෙනවා ලිස්ට් එකේ. බලමු.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් ආපු වෙලාවක ඉතුරු පැත්තම කවර් කරන්න..

      ඇවිද්ද පය දහස් වටී කියනවනෙ..

      Delete
  13. කතාව ගොඩාක් ලස්සනට ලියල තියෙනවා.සමහර තැන කියවද්දී ලේ රත්වෙන තැනුත් තියෙනවා.ඒත් දැන් ඒ ඔක්කොම උන් අවසන් නින්දේ නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසර්,

      නිකං ලේ රත් කරගන්න කාරි නෑ එව්වා ඔක්කොම ඉවරයිනෙ..

      හැබැයි සමහර එවුන් මොකුත් නොදන්න බබාලා වගේ සුරසැප විඳිද්දි නම් මගෙත් ලේ රත්වෙනවා.

      Delete
  14. එක පාරක් රෑපගතකිරිමකට ගිය ලොරියක පටවපු විදුලිජනක යන්ත්‍රයකූත් ඉල්ලලා තිබුනා.එක එකා ඇව්ත් නල්ලර්‍ම කිය කිය අතගගා ගියාලු

    ReplyDelete
    Replies
    1. හි..හි.. විදුලිජනක යන්ත්‍ර නම් ඒ අයට ගොඩක් වටිනවනෙ..

      Delete
  15. සුරංගනා කතා කියන්න එපා බං කොටි කියන්නේ කකුල හතරේ එවුන්. කකුලේ දෙකේ කොටි කොහෙවත් ඉඳල නැ . සමහරවිත ඩයිනොසොරස් ඉන්න කලේ ඉන්න ඇති එත අම නම අහල නැහැ

    ReplyDelete
  16. කමෙන්ට්ස් දැමීමේ මගේ ක්‍රමය වෙනස් කිරීමට ගන්නා උත්සාහයකි. විචාරක

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...