4.01.2012

බීස්කූන්නාන්සේගෙන් කනේ පාරක් කෑම

මීට අවුරුදු 12කට කලින් හරියටම අද වගේ දවසක ඒ කිව්වෙ 2000 අප්‍රියෙල් 1 වෙනිදා වෙච්ච දේ මට අද වගේ මතකයි. එදා සෙනසුරාදා දවසක්. මම උදෙන්ම නැගිටලා පල්ලි යන්න ලැහැස්ති වුනා. හරිම ආසාවෙන් ලෑස්ති වුනේ. වෙනදා ඉස්කෝලෙ ඇඳුමෙන් පල්ලි යනවානම් කොට කලිසම් කෑලිනෙ ඇඳගෙන ගියෙ. ඒත් එදා ඇඳන් යන්න තිබුනෙ අලුතෙන්ම මහලා ගෙනාපු කිරි කිරි සුදු දිග කලිසමයි අත් දිග කමිසයයි. මම ඉතින් ඔව්වත් ඇඳගෙන කණ්ණාඩි දෙකක් වගේ පොලිශ් කරපු සපත්තු දෙකත් දාගෙන කොණ්ඩෙත් පුලුවන් විදිහට තෙල් නොදා පීරාගත්තා. පල්ලියට ගියාට පස්සෙ නම ගහපු කොළ කෑල්ලකුයි ඇල්පෙනෙත්තකුයි ලැබුනා සාක්කුවෙ ගහගන්න.

මම යනකොට පල්ලිය ඉස්සරහා ලොකු තොරණක් ගහලා තිබුනා. "අගරදගුරුතුමා සාදරයෙන් පිළිගනිමු" ඒ තිබ්බ වචන අද වගේ මතකයි. මං වගේ සුදු ඇඳලා හිටපු අය ඔක්කොම එකතුවෙලා බීස්කුන්නාන්සේව පිළිඅරගෙන පෙරහරෙන් පල්ලියට එක්කන් ගියා. ඊටපස්සෙ තමයි දිව්‍ය පූජාව පටන් ගත්තෙ. පූජාව මැද්දෙදි බීස්කුන්නාන්සෙ අල්තාරෙ ඉස්සරහට ආවා. මමත් කලින් පුරුදු කරලා තිබ්බ විදිහට එතුමා ගාවට ගියා. එතුමා මගේ නලළෙ තෙල් වගයක් ගාලා ඔලුවට අත තියලා යාච්ඤා කළා. එක අවස්ථාවක මගෙ නමත් කිව්වා මතකයි. ඔහොම යාච්ඤාව යන අතරෙ එකපාර බීස්කුන්නාන්සේගේ අත ආවෙ නැද්ද මගේ කම්මුලට. වෙන විදිහකට කිව්වොත් මට හම්බුනා හොඳ කනේ පාරක්. මොනා කරන්නද ඉතින්. කොහොමත් කලින් බලාපොරොත්තු වුනානෙ. මමත් ඇවිල්ලා කලින් හිටපු තැනම වාඩිවුනා.

මේ කිව්වෙ මීට අවුරුදු 12කට කලින් මම අභිවෘද්ධි ආලේපය ලබපු හැටි. අභිවෘද්ධි ආලේපය?? ඒ මොකක්ද? ලිපියෙන්ම බලමු ඉතින්.

රතු පටිය දාලා ඉන්නෙ රදගුරුතුමා
උඩ කියවුනු සමහර වචන සමහර අයට තේරෙන්නෙ නැතුව ඇති. අභිවෘද්ධි ආලේපය (Confirmation) ගැන කියන්න කලින් ඒවා ගැන පොඩ්ඩක් කියන්නම්. බීස්කුන්නාන්සේ කියන්නෙ රදගුරුතුමාට(Bishop) කට වහරෙන් කියවෙන නම. රදගුරුතුමා කියන්නෙ පදවියක (කතෝලික සභාව බෙදෙන කොටසක්) ප්‍රධානියා. කෙනෙකුට රදගුරුතුමෙකුවත් පියතුමෙකුවත්(Priest) වෙන්කරලා හඳුනාගන්න ලේසිම විදිහ තමයි එතුමන්ලා පළඳන පටිය. රදගුරුතුමා රතු පැහැති පටියක් පළඳන අතර පියතුමන්ලා සාමාන්‍යයෙන් පළඳින්නෙ කාලවර්ණ පටියක්. ඊළඟ වචනය 'අල්තාරය'. අල්තාරය කියන්නෙ දිව්‍ය පූජාව පවත්වන පියතුමන්ලා රැඳී සිටින දේවස්ථානයක ඇති උස් භූමිය. පින්තූරය බලන්නකො.

අල්තාරය
දැන් බලමු අභිවෘද්ධි ආලේපය ගැන.  අභිවෘද්ධි ආලේපය කියන්නෙ කතෝලිකයෙකුට ලබාගන්න පුලුවන් සක්‍රමේන්තුවක් හෙවත් ප්‍රසාද නිධානයක්. ගොඩක් දෙනෙකුට තේරෙන විදිහට කියනවා නම් තමුන්ගේ ජීවිතයට දේව පිහිට ලබාගන්න පුලුවන් විශේෂ අවස්ථාවක්. අභිවෘද්ධි ආලේපය ලබන්න තියෙන මූලික සුදුසුකම තමයි අවුරුදු 14ට වැඩි කතෝලිකයෙකු වීම. අභිවෘද්ධි ආලේපය ලබාගත් කෙනෙකු කතෝලික සභාවේ වැඩිහිටියෙකු ලෙස පිළිගන්නවා. මතකද මඤ්ඤයි පඤ්ඤයි ලිපියෙදි මම කිව්වා කාටහරි මඤ්ඤාකෙනෙක් පඤ්ඤාකෙනෙක් වෙන්න නම් කතෝලික සභාවෙන් වැඩිහිටියෙක් විදිහට නිල වශයෙන් පිළිගත්තු කෙනෙක් වෙන්න ඕනා කියලා. මම එදා නොකියා කිව්වෙ ඒ අය අභිවෘද්ධි ආලේපය ලබලා තියෙන්න ඕනා කියලා තමයි.

අභිවෘද්ධි ආලේපය දානය කිරීමේ බලය තියෙන්නෙ දේවස්ථානය අයිති පදවියේ රදගුරුතුමාට. රදගුරුතුමාට නිතරම පැමිණීමේ අමාරුකම් නිසා අභිවෘද්ධි ආලේපය දානය කරනු ලබන්නෙ අවුරුදු 4කට වතාවයි. සාමාන්‍යයෙන් අභිවෘද්ධි ආලේපය සඳහා ගිහියන් සූදානම් කිරීම පටන් ගන්නෙ දානය කරන දිනේට අවුරුද්දකට විතර කලින්. කලින් කිව්ව ලබන පන්ති වගේම අභිවෘද්ධි ආලේප පන්තිත් යන්න වෙනවා. ඒත් ලබන පන්තිවලදී උගන්නපු දේවලට වඩා, කොහොමද වැඩිහිටි කතෝලිකයෙක් ලෙස වැඩ කරන්නෙ කියන එක තමා උගන්වන්නෙ. නිසි සූදානමකින් පස්සෙ නියම කරගත්තුදාට රදගුරුතුමා දේවස්ථානයට පැමිණෙනවා.

අභිවෘද්ධි ආලේපය දානය කිරීම
මුලින්ම අභිවෘද්ධි ආලේපය ලබන්නාගේ නළල ශු. තෛලයෙන් ආලේප කරනු ලබනවා.  ඉන්පසු අදාළ පුද්ගලයාගේ නම එල්ලාගෙන ඉන්න කොළෙන් බලාගෙන "[නම] ශුද්ධාත්මයාණන්ගේ දීමනාවේ මුද්‍රාව ලබාගන්න " යැයි පැවසීමෙන් තමයි අභිවෘද්ධි ආලේපය ලැබෙන්නෙ. ඉන්පසු මම  කිව්වා වගේ රදගුරුතුමාගෙන් කම්මුල් පහරකුත් ලැබෙනවා. මම උඩ කිව්වා වගේ දුම් දාන්න හම්බෙන පාරක් නෙමෙයි. අභිවෘද්ධි ආලේප පන්ති යන කාලෙට හොඳ කනේ පාරක් ලැබෙයි කියලා වැඩිහිටියෝ විහිළු කරාට නිකන් සංකේතාත්මකව අත තියන එක විතරයි කරන්නෙ.

කතෝලිකයන්ගේ විශ්වාසය හැටියට අභිවෘද්ධි ආලේපය ලබාගැනීම නිසා අපගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍යය පිහිටාශිර්වාදය ලැබෙනවා. විශේෂයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේගේ පිහිට. ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන දැනගන්න නම් ගීතකගේ ඉල්ලීම පිට ලියවෙන ලිපිය පිටවෙනකන් ඉවසන්න සිද්ධවෙනවා. ඒ ගැන කෙටියෙන් විස්තර කරන්න අමාරුයි.

ප.ලි. : පොඩි විරාමයක් ගන්න හිටියත්  අද හදිසියේ මතක් වෙච්ච නිසා මේ  ලිපිය ලියන්න හිතුණා. මේ ගැන ලියන්න කියලා කියපු සඳමාල්වත් මතක් කරන්න කැමතියි.

ප.ප.ලි. : මම මේ වෙනකොට සක්‍රමේන්තු 4ක් ගැන කියලා ඉවරයි. ප්‍රසාද ස්නාපනය, දිව්‍ය සත්ප්‍රසාදය, අභිවෘද්ධි ආලේපය, අන්තිම ආලේපය ගැන කිව්වානෙ. තව ඉතුරු පාපොච්චාරණයයි, ආශිර්වාදකාර බන්ධනයයි, පූජාත්වරයයි විතරයි.

51 comments:

  1. පට්ට පචයකට යට වුනා කෙහෙල් කොටුවකදී.. ඊට පස්සෙ මේක කියෙව්වෙ.. මම හිතුවෙ මේකත් බොරුවක්ද කියලා .. :-) කොටින්ම උඹ ඔය දාලා තියන දිනෙත් හරි එකක්ද කියලා හොයලා බැලුවා.. :-)

    අපොයි බන් මම ඕක ලබලා නෑනේ.. ඒ වුනාට මම කී දෙනෙක්ට පඤ්ඤා වෙලාද කියල මට මතකත් නෑ.. බලන් යනකොට මම තාම පොඩි එව්වෙක් නේද..

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ... බොරුවක් නෙමෙයි... අද අප්‍රියෙල් 1 වුනාට මම අභිවෘද්ධි ආලේපය ලැබුවෙත් එදානෙ..

      අපේ පල්ලියේ නම් පඤ්ඤාට යනකොට පවුල් පොත චෙක් කරලා බලනවා අභිවෘද්ධි ආලේපය ලබලාද කියලා.. නැත්නම් පඤ්ඤා වෙන්න බෑ... මතක නැතිවුනාට ලබලා තියෙනවද දන්නෙත් නෑ..

      අභිවෘද්ධි ආලේපය ලබලා නෑ කියන්නෙ පොඩ්ඩෙක් තමයි තාම.. :)

      Delete
    2. නෑ බන් මම ඕක ලබලා නැහැ..

      Delete
    3. මම හිතන්නෙ අවුරුදු 4කට සැරයක් තියෙන හින්දා මඟහැරෙන්න ඇති.. එක පාරක් මඟ හැරුනොත් ආයෙ අවුරුදු 4කින්නෙ අවස්ථාවක් එන්නෙ..

      හැබැයි සෙන්නා මෙහෙම කරන්න පුලුවන් තමුන්ගෙ මීසමේ පියතුමාගෙන් ලියුමක් අරන් ගියොත් පිට මීසමකින් ලබන්න වුනත් පුලුවන්... හදිසි අවස්ථාවක පියතුමෙකුට වුනත් අභිවෘද්ධි ආලේපය ලබාදෙන්න පුලුවන්ලු...

      Delete
  2. මේවා ලියන එක​ හොඳයි බං. අපි දන්නෙ නැති දේවල් මේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ..

      ඔයා හැමදාම මේ පැත්තෙ ඇවිත් යනවානෙ...

      Delete
  3. කම්මල් පාරක් කෑව කිව්වාම මමත් බයවුනා..ඇයි ඒ වගේ සිරිතක් තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හි..හි..

      ඒ කම්මුල් පාරෙන් සංකේතවත් කරන්නෙ වැඩිහිටියෙකු වශයෙන් තමුන්ගෙ ජීවිතයෙදි මුහුණපාන්න වෙන අභියෝගවලට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ආශිර්වාදය ලැබීමයි.

      Delete
  4. මටත් එකපාරටම පොඩි තිගැස්මක් ආවා කණට ගැහුවා කියනකොට."ශුද්ධාත්මයාණන්ගේ දීමනාවේ මුද්‍රාව ලබාගන්න" ඒක හොඳ ආශිර්වාදයක් වගේ. අනික බීස්කුන්නාන්සෙගෙ අත නොසිත විදියට වේගවත් වෙන්න ඇති. සමහර විට උන්වහන්සේටත් ඒ බව පසුව තේරෙන්න ඇති මොක්කද වුණේ කියල.

    ReplyDelete
    Replies
    1. "අනික බීස්කුන්නාන්සෙගෙ අත නොසිත විදියට වේගවත් වෙන්න ඇති." මටත් නිකම් අත තිබ්බා විතරයි.. පොඩි තිගැස්මක් කුතුහලයක් එක්කරන්නයි මුලින් එහෙම ලිව්වෙ...

      අභිවෘද්ධි ආලේපයෙන් ලැබෙනවා යැයි විශ්වාස කරන ආශිර්වාදය පිළිබඳව තරමක වැටහීමක් ගන්න නම් ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන කියවෙන ලිපිය කියවන්නම් වෙනවා.

      Delete
  5. ඔය කම්මුල්පාර දෙන එකේ අදහසක් තියෙනවද? මුල් කාලෙදි කණ පැලෙන්නම දුන්නද දන්නෑ නේ??? :D

    ReplyDelete
    Replies
    1. "ඔය කම්මුල්පාර දෙන එකේ අදහසක් තියෙනවද? " මම රූට කිව්වා වගේ වැඩිහිටියෙකු ලෙස අභියෝග වලට මුහුණදීමට ශක්තිය ලැබීම තමයි ස\කේතවත් වෙන්නෙ..

      "මුල් කාලෙදි කණ පැලෙන්නම දුන්නද දන්නෑ නේ?" මටත් නිකමට එහෙම හිතුණා.. කොහොමත් පහු පහු වෙනකොට වෙනස්වීම් වෙනවනෙ.. දැන් දැන් සමහර තැන්වල කම්මුල අත්ගාන්නෙත් නෑලු..

      Delete
  6. බීස්කුන්නාන්සේ කියන්නේ බිෂොප් ද ? ඔය වගේ වැඩක් මටත් වෙලා තියනවා. මම මුලින්ම ශ්රීපාදස්තානය වඳින්න ගියේ 1969 දී. ඒ නඩේ ගුරා වුනේ මගේ ලොකුඅක්කා බැඳලා ඉන්න මස්සිනාගේ තාත්තා. එයා සියලුම චාරිත්‍ර අකුරට අනුගමනය කරමින් තමයි නඩේ ශ්රීපාදයට රැගෙන ගියේ. මහා පාන්දර අපිව සීත ගඟුලෙන් නෑව්වා. මටනම් එපාවුනා. ඒ මදිවට ශ්‍රීපාද පද්මයේ දී මගේ බෙල්ලට අත තියලා ඔලුව ඇන්නේ නැතැයි 'ඩෝන්' ගාලා ගලේ. හොඳ වෙලාවට ඒ කාලේ පනින්න මල් තිබුනේ නැහැ. හිතෙන් බැන බැන ආපහු කරුණා කරා.

    ReplyDelete
    Replies
    1. "බීස්කුන්නාන්සේ කියන්නේ බිෂොප් ද ? " ඔව් බිශොප් උන්නාන්සේ, බිශොප්තුමා, රදගුරුතුමා, අගරදගුරුතුමා මේ නම් ඔක්කොම කියන්නෙ බීස්කුන්නාන්සේට...

      රදගුරුතුමා හා අගරදගුරුතුමා පොඩ්ඩක් පැටලෙනවා නේද? මම කලින් ලිපියකත් කිව්වානෙ රදගුරු පදවි කියලා පාලන ප්‍රදේශ තියෙනවා කියලා.. මේ අතරින් යම් රටක අගනුවර අයිතිවන පදවියට කියන්නෙ අගරදගුරු පදවිය කියලා.. ඒ පදවිය පාලනය කරන රදගුරුතුමාට කියන්නෙ අගරදගුරුතුමා කියලා.. අගරදගුරුතුමා රදගුරුවරුන්ගෙ නායකයා නෙමෙයි.. අගරදගුරු කියන්නෙ ගෞරව නාමයක් විතරයි..

      මට එකපාරක්වත් සිරිපාදෙ යන්න ලැබිලා නෑ.. කෝඩුකාරයින්ව සීත ගඟුලෙන් නාවලා මිසක් එගොඩ කරන්නෑ කියලා මම අහලා තියෙනවා.. කළු ගලේනෙ ඔලුව ගහගෙන තියෙන්නෙ.. සීනුවකුත් තියෙනවා නේද ගිය වාර ගණන සිහිපත් වෙන්න ගහන..

      Delete
    2. අඩේ එහෙමද ? මම හිතන් හිටියේ අගරදගුරු කියන්නේ රදගුරුලගේ නායකයා කියලා.. එතකොට රදගුරුයි, අගරදගුරුයි දෙන්නම එකම තත්ත්වෙද ඉන්නෙ ? රදගුරු කෙනෙකුට කාඩිනල් කෙනෙක් වෙන්ඩ පුළුවන්ද.

      Delete
    3. තව එකක් එහෙනම් ඇයි හැමදාම පූජාවේදී අගරදගුරුව විශේශයෙන් සිහිපත් කරන්නෙ.. ?

      Delete
    4. "රදගුරුයි, අගරදගුරුයි දෙන්නම එකම තත්ත්වෙද ඉන්නෙ ?" ඔව් නිලයෙන් සමානයි.. නමුත් අගරදගුරු නිලයට සාමාන්‍යයෙන් පත්වෙන්නෙ රදගුරුවරුන් අතර සිටින වඩාත්ම හැකියාවලින් පරිපූර්ණ රදගුරුතුමාව..

      "රදගුරු කෙනෙකුට කාඩිනල් කෙනෙක් වෙන්ඩ පුළුවන්ද." අපොයි පුලුවනි.. කාදිනල් කෙනෙක් වෙන්න නම් රදගුරුතුමෙක් වෙන්න ඕනෙත් නෑ.. පියතුමෙකුටත් පුලුවනි.. පියතුමෙක් වෙන්න ඕනෙත් නෑ.. තේවාචාරීතුමෙකුටත් පුලුවනි...
      මතක නැද්ද මම පාප්තුමා ලිපි මාලාවේ 2වෙනි ලිපියේදී සඳහන් කළා ප්‍රධාන තේවාචාරී-කාදිනල් තුමා, ප්‍රධාන පූජක-කාදිනල්තුමා, ප්‍රධාන රදගුරු කාදිනල්තුමා විදිහට...

      "ඇයි හැමදාම පූජාවේදී අගරදගුරුව විශේශයෙන් සිහිපත් කරන්නෙ.. ?" සෙන්නා ඉන්නෙ අගරදගුරු පදවියෙනෙ ඒකයි අගරදගුරුතුමාවම සිහිපත් කරන්නෙ.. වෙනත් පදවියක පූජාවට ගියානම් තේරෙයි ඒ පූජාවලදී සිහි කරන්නෙ ඒ පදවියේ රදගුරුතුමාව බව...

      Delete
    5. අප්පද බොල ඒකයි එහෙනම් ඈ.. අපි ඉන්න හරියත් අයිති අගරදගුරු පදවියටද ? දන්නෙත් අදයි.

      ස්තූතියි හරී..

      Delete
    6. මේ මැප් එක බලන්ඩකො.. නම් නෑ.. ඒත් මායිම් තියෙනවා..

      http://www.ucanews.com/diocesan-directory/images/img_1159.gif

      Delete
  7. මමත් සුදට සුදේ ගිය හැටි මතක් උනා අද... ස්තූතී හරී මතකය අලුත් කලාට

    ReplyDelete
    Replies
    1. සංතෝසයි... දැන් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා නේද?

      Delete
  8. අප්‍රේල් 1 වෙනිදා කියල පටන් ගන්නකොට මම හිතුවේ හරී මොනා හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් කනේ පාරක් කාලා කියලා :)

    ReplyDelete
    Replies
    1. හි..හි.. අප්‍රියෙල් 1වෙනිදා හින්දා බොරුවක්වත් කියන්න ගිහින් කනේපාරක් කාලා කියලා හිතුනද?

      මට මතක් වුනා මම පුංචි කාලෙ දස පනත ඉගෙන ගනිද්දි ටීචර්ගෙන් අහපු දෙයක්... "එතකොට තීච බොලුවගෙ දවසට බොලු කිව්වමත් පව් සිද්ධවෙනවද?"

      ඇයි 7 වසරෙදි ඉස්කෝලෙ අයියලාට බොරු කියන්න ගිහින් අපේ පන්තියම ගුටි කෑවනෙ..

      Delete
  9. අභිවෘද්ධි ආලේපය ලැබීම ගැන අහල තිබුනට මෙච්චර විස්තරයක් දැනං හිටියෙ නෑ

    ReplyDelete
    Replies
    1. අලුත් දෙයක් දැනගත්තා නම් ඒක තමයි මගේ සතුට ඕනයියෙ...

      Delete
  10. මාත් අභිවෘද්ධි ආලේපය ලබද්දි හිතුවෙ රිදෙන්න ගහනවද දන්නෙ නෑ කියලා.. අක්කායි අයියායිත් මාව බය කලානෙ.. රදගුරු තුමා ලගට එද්දි මට බයටම ඇස් දෙකත් වැහුනා.. අනේ ඒ උනාට යන්තම් අත තිබ්බා විතරනේ. :)
    පරන ලිපි ටිකත් පුලුවන් වෙලාවට කියවන්න එන්නම්කො.. වටින blog එකක්..

    ReplyDelete
    Replies
    1. :) ඔහොම තමා.. අභිවෘද්ධි ආලේප පන්ති යන්න පටන් ගත්තුවෙලේ ඉඳන් දන්න දන්න හැමෝම කියන්නෙ "එදාට හම්බෙයි හොඳ කනේ පාරක්" කියලා තමයි.. අන්තිමට බලද්දි නිකන් අත තිබ්බා විතරයිනෙ.. කම්මුල් පාරක් කෙසේවෙතත් ඒක නිකන් හුරතල් කිරීමක් වගේ :)

      ස්තුතියි! ඉතුරු ලිපිත් කියවන්නකො...

      Delete
  11. මමනම් හින්දු..

    ReplyDelete
    Replies
    1. ඒ බව පේනවා.. :-)

      Delete
    2. @ කාජල්,

      මට නම් ලොකු සතුටක් දැනෙන්නෙ. හින්දි කෙනෙක් සිංහල ලියන්න කියවන්න ඉගෙන ගෙන සිංහලෙන් බ්ලොගයකුත් කරනවා කියන එක අදහන්නත් බෑ...

      බොහොම සන්තෝසයි..

      Delete
    3. @හරී
      පුදුම වෙන්න එපා හින්දි නෙවේ හින්දු කියලා ලියලා තියෙන්නේ.ඒ කියන්නේ ටැමිල් සොහොයුරියක්.මගේ හොදම යාලුවත් ටැමිල් එයාටත් හොදට සිංහල පුළුවන් මොකද එයා අපිත් එක්ක සිංහල ස්කෝලෙකනේ ඉගෙනගත්තේ,මේ සොහොයුරියත් එහෙම වෙන්න ඇති

      Delete
    4. @මඩිස්සලේ නිශාන්,

      මම හිතුවෙ කාජල් කියලා නම දාගෙන ඉන්න නිසා විහිලුවට හින්දු කියලා කිව්වා කියලා..

      @කාජල්,

      ඔයා දමිලද?

      Delete
  12. හරී අයියාට වයස 26යි නේද? :D
    පිළිවෙලට ගියා නම් තමයි සුදා හොද ඒත් දැන් මක්ක කරන්නද නේද?
    මුලින් ප්‍රසාද ස්නාපනය දෙවනුව පාපොච්චාරණය වගේ.

    ReplyDelete
    Replies
    1. @නිශාන්,

      "හරී අයියාට වයස 26යි නේද?" කොලුවා මේක කියවලා තියෙන තරම ඒකෙන්ම පේනවා.. මම කිව්වෙ නෑනෙ මේක ලබන්නෙ හරියටම 14දි කියලා.. 14ට වැඩි වෙන්න ඕනෙ එක ඇත්ත.. ඒත් අවුරුදු4කට සැරයක් තමයි දෙන්නෙ.. එතකොට වයස විචලනය වෙන්න පුලුවන් නේද?
      හැබැයි මම ඕක ලැබුවෙ 13දි... මේ පෝස්ට් එක හරියට කියෙව්වනම් මගේ වයස විතරක් නෙමෙයි ගේ හොයාගන්න තරම් කරුණු තියෙනවා..

      ආහ්.. ප්‍රසාද නිධාන පිළිවෙළටද? ඒත් පිළිවෙළට යනවට වඩා තේරුම් ගැනීම හොඳයි කියලයි මම හිතුවෙ.. ඊළඟට තියෙන තුනම සෑහෙන ගැඹුරු විස්තර තියෙන ඒවා.. ඉතින් සරල එව්වා මුලින් කියන එක හොඳයිනෙ..

      Delete
  13. මටත් කියලා තිබුනේ හයියෙන් ගහනවා කියලනේ. ඒත් පේලියේ අන්තිමට වෙන්න හිටිය නිසා කලින් හිටිය අය කම්මුල් පාරවල් කෑවේ නැති බව දැක්කා. වෙනදා වගේම ලස්සන ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මම තමයි කට්ටියගෙන් ඉස්සෙල්ලාම හිටියෙ.. ඒත් අවුලක් නැතුව වැඩර් වගේ ඉස්සරහට ගියා.. මොකද අපේ පල්ලියෙ පියතුමා කලින්ම මට කියලයි තිබුනෙ හිමින් තට්ටුවක් දානවා විතරයි කියලා...

      ස්තුතියි!

      Delete
  14. ගැහැණු ළමයින්ගේත් උත්සවය මේ විදිහටමද සිද්ධ වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔය ගෑණුළමයිම කියලා තියෙන්නෙ

      Delete
    2. විශේෂ වෙනසක නැහැ ඒ කියන්නේ. පිරිමි ළමයි ගැහැණු ළමයි පොදුවේ එකට මේ උත්සවයට සම්බන්ධ වෙන්නේ ?

      Delete
    3. ඔව්.. වැඩිම වුනොත් පෝලිම් දෙකක යයි... කතෝලික සභාවෙ ප්‍රසාද නිධාන 7න් පූජාත්වරය හැර අනික්වා ගැහැණු පිරිමි දෙගොල්ලටම සමානයි...

      පූජාත්වරය ලබන්න පුලුවන් පිරිමි අයට විතරයි..

      Delete
    4. ඒ කියන්නේ කන්‍යා සහෝදරියක් වීම විතරද කාන්තාවන්ට කරන්න පුලුවන් ? ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද ?

      Delete
    5. තාපසවරියක් හෝ කන්‍යා සහෝදරියක් වීම පමණයි කාන්තාවන්ට පුලුවන්..

      Delete
    6. ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද ?

      Delete
  15. මමත් හිතුවා දුම් විසිවෙන්න පාරක් වදින්න ඇති කියලා මොකක හරි මැරෑටි වැඩක් කරලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එහෙමත් කරනවද ළමා දිනේදි ආදර්ශවත් කථා අහපු අපි

      Delete
  16. බොහොම හොඳ ලිපියක්. ඔබට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි!

      Delete
  17. මම නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා.මාර වටිනව ඇ.අනිත් ආගර්‍ම ගැන දැන ගැනිම හැම ආගමිකයෙකූටම වටිනවා.දහර්‍ම පාසල් වලින් අනිත් ආගර්‍ම ගැනත් දැනුමක් දෙනවනර්‍ම මරැ.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි සහෝ..

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මාව බෞතීස්ම කරලා විතරයි තියෙන්නේ. පොඩි කාලේ ඉඳන් රට හිටපු නිසා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබලත් නැහැ අභිවෘද්ධි ආලේපය ලබත් නැහැ. මට දැන් අවුරුදු 22යි මට මේ දෙක දැන් ලබන්න බැරිද?

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...