2.08.2013

ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස

අපි තාමත් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියවලා ඉවර නැති බව කට්ටියට මතකද මන්දා? මතකනෙ මම මුලින්ම ජේසුස් වහන්සේගේ උත්පත්තිය ගැන කිව්වා. මෙතනින් ගියොත් ඒ ලිපිය කියවන්න පුළුවන් වේවි. ඊළඟට ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරපු හැටි කිව්වා. ඒ කතාවෙදිනෙ අර මසුන් වැඩි කිරීමේ ප්‍රාතිහාර්‍යය ගැනත් පියතුමෙක් පේදුරුතුමාගේ මාළු කන්න ගිහින් වෙල් බට්ටො කාපු හැටි ගැනත් කිව්වෙ. ඒ කතාව බලන්න පුළුවන් මෙතනින්. ඊළඟට අපි කතාකළා ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්‍යය හා උපමා ගැන. ඒ ටික මෙතනින්. වෙලාවක් තියෙනවානම් මුල ඉඳලම හිමීට බලාගෙන ආවත් වරදක් නෑ.

දැන් තියෙන්නෙ ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ ඉතුරු කොටස බලන්න නේද?  මේ කතාවෙදි මුලින්ම මම කියන්නෙ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ලෝකෙට ප්‍රකාශවෙච්ච අවස්ථාවක් ගැන. ඊටපස්සෙ ඒ කාලෙ ජුදා සමාජය ගැන පොඩි විස්තරයකුත් කරලා අපි යනවා ජේසුස් වහන්සේ පීඩිත පන්තිය කෙරෙහි දැක්වූ ආකල්පය බලන්න. අන්තිමේදී ජේසුස් වහන්සේගේ මරණයට පාර කැපුනේ කොහොමද කියන එකත් බලන්ඩ පුළුවන් වේවි. එහෙනම් කියවාගෙන යමු.

ජේසුස් වහන්සේ දේව පුත්‍රයා බව මුලින්ම ප්‍රකාශ උනේ ජෝර්දාන් ගඟේ බව්තීස්ම ලබපු වෙලාව. මතකයි නේද ඒ කතාව.  ඒක තියෙන්නෙ දෙවෙනි කොටසෙ. මේත් ඒ වගේම සිද්ධියක්.

දවසක් ධර්ම දේශනා එහෙම ඉවරවෙලා විවේක සුවයෙන් ඉන්න රාත්‍රියක ජේසුස් වහන්සේ තමුන්ගේ සමීපතම ශ්‍රාවකයො තුන්දෙනාට කතාකරනවා යාච්ඤා කරන්න යන්න. සමීපතම ශ්‍රාවකයො කිව්වෙ පේදුරු, ජුවාම්, ජාකොබ් තුන්දෙනා. මේ හතරදෙනා යාච්ඤා කිරීමට හුදකලා ස්ථානයක් සොයාගෙන අහල පහල පිහිටි කන්දකට නඟිනවා. ශ්‍රාවකයින් තුන්දෙනාව ටිකක් මෙහායින් තියලා ජේසුස් වහන්සේ යාච්ඤා කරමින් ඉන්නකොට එකපාරටම උන් වහන්සේගේ මුහුණ බලන්න බැරිතරමට දිලිසෙන්න ගන්නවා. ඒවගේම මුහුණුවර වෙනස් වෙනවා. ඒවගේම ඇඳගෙන හිටපුවාත් සුදු පාටින් දිලිසෙනවා.

ස්වාමිනී, මෙහි සිටීම අපට වාසනාවකි.
මේ දර්ශනයෙන් අන්ද මන්ද වෙලා ඉන්න ශ්‍රාවකයො ඊළඟට දකින්නෙ ජේසුස් වහන්සේ සමඟ කතාකරමින් ඉන්න දෙන්නෙක්ව.  ශ්‍රාවකයන්ට තමුන් ඉන්නේ කොහේද කරන්නේ මොකක්ද කියන එක වැටහීමක් නෑ. ඒ තරමට පුදුමයෙන් ඉන්නෙ. ඒත් එක්කම පේදුරුතුමා කෑගහනවා. "ස්වාමිනී, මෙහි සිටීම අපට වාසනාවකි. අපි මණ්ඩප තුනක් සාදමු. එකක් ඔබටය. අනෙක මෝසෙස්ටය. අනෙක එලියාටය."

මෙහෙම කියද්දිම පළාතම විශාල වළාකුළකින් වැසී ගියාලු.  ඒ වගේම "මේ මාගේ පුත්‍රයාණෝය. මොහුට සවන් දෙන්න" යි හඬක් පැතිරුණාලු.වළාකුළ නැතිව ගියාට පස්සෙ ඔවුන්ට දකින්නට ලැබිලා තියෙන්නෙ සුපුරුදු විදිහට යාච්ඤාවෙන් පසුවන ජේසුස් වහන්සේව විතරයි.
අද දවසේ තාබෝර් කන්ද
මේ සිද්ධියට සාමාන්‍යයෙන් ව්‍යවහාර වෙන්නෙ 'ජේසුස් වහන්සේගේ අන්‍යරූප විලාසවීම' කියලා. සිද්ධිය සිදුවූයේ කන්දක් මුදුනේ බව සඳහන් වුවත් මොන කන්දේද කියන එක සඳහන් වෙලා නෑ. ඉතිහාසඥයෝ මේ ගැන විවිධ මත පලකරලා තියෙනවා. බොහෝදෙනා කියන විදිහට නම් ස්ථානය විය යුත්තේ තාබෝර් කන්දයි.

මෝසෙස් කියන්නේ කවුද කියලා 'පොරොන්දු වූ දේශය කරා' කතාව කියවපු ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.  ඒත් එලියා ගැන නම් ඕගොල්ලො දන්නෙ නැතිව ඇති. එලියා කියන්නෙත් ජේසුස් වහන්සේගේ උපතට අවුරුදු දහකට විතර කලින් ජුදයින් අතර හිටපු පුදුම දේවල් කිරීමේ හැකියාව තිබුණු දිවැසිවරයෙක්. එලියාගේ කතාවෙ තියෙන විශේෂත්වය තමයි එලියා මිය ගිහිල්ලා නෑ. එලියාගේ වැඩ කොටස ඉවර උනාට පස්සෙ එකපාරටම ස්වර්ගයට ඔසවාගත්තා කියලා තමයි කියන්නෙ. ඒ කතාව පස්සෙ බලමු නේද? :)

පණපිටින් ස්වර්ගයට ගිය එලියා
දැන් ඒ කාලෙ ජුදා සමාජය ගැන ටිකක් කතා කරමු. ටිකක් කිව්වට ඉතින් ටිකක්ම නෙමෙයි. මම කලිනුත් කිව්වා වගේ ජේසුස් වහන්සේගේ කාලයේදී ජුදයාව රෝම යටත් විජිතයක්වයි තිබුනෙ. සිතියම ආයෙ දාන්ඩ ඕන නෑනෙ. පාලකයා වුනේ මහා අගෝස්තුස් සේසරු (ඔගස්ටස් සීසර්) අධිරාජ්‍යයා. ඔහු යටතේ පත්වූ රෝමානු ආණ්ඩුකාරයෙක් ජුදයාවේ හිටියා. නමුත් ගලීලය පැවතුනේ 'හෙරෝද්' නිල නාමය දරණ රජෙක් යටතේ. රෝමානු යටත් විජිතයක්ව රෝමයට බදු ගෙවමින් ජීවත් උනත් තවදුරටත් ජුදයාවෙ ක්‍රියාත්මක උනේ මෝසෙස්ගෙම නීතිය බව පේනවා. නිල අධිකාරී බලය රෝමානු ආණ්ඩුකාරයා අතේ තිබුනත් සමහර සිද්ධි වලින් පැහැදිලි වෙන්නෙ ඔහුට බලපෑම් කිරීමට තරම් හැකියාවක් එකල ජුදා ආගමික නායකයින් සතුව පැවතුන බවයි.

එකල ජුදා සමාජය පහත ජන කොටස් වලින් සමන්විත උනා.

දිළින්ඳා (The poor) - ජුදා සමාජයේ මිනිහෙකුට ආර්ථික වශයෙන් වැටෙන්ඩ පුළුවන් පහත්ම අඩිය උනේ දිළින්ඳෙක් වීම. දිළින්ඳන්ට කිසිම ගෞරවයක් හෝ මිනිසුන් ලෙස සැළකීමක් එදා සමාජයේ තිබුනේ නෑ. ඔවුන් ජීවත් උනේම කාගෙන් හෝ ලැබෙන සුළු ආධාරයකින්. ජේසුස් වහන්සේගේ එක උපමාවකත් තියෙනවා ධනවත් මනුස්සයෙකුගේ මේසයෙන් වැටෙන පාන් කැබලි කන්ඩ බලාගෙන හිටපු දිළින්ඳෙක් ගැන.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ආබාධිතයා (The diseased ) - වචනාර්ථයෙන්ම ගත්තොත් යම් ආබාධයක් සහිත පුද්ගලයාට තමයි ආබාධිතයා කිව්වෙ. ඒ කිව්වෙ මානසික ආබාධ, අංශභාගය, ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත, උපතේදී ඇතිවූ දුර්වලතා, සමේ රෝග ආදී මෙකී නොකී සෑම තාවකාලික නොවන ආබාධ සහිත පුද්ගලයන් සියළු දෙනාම ආබාධිතයන් ලෙස හැඳින්වුනා. වැඩපල කරගෙන මුදල් සොයාගැනීමේ දුෂ්කරතාව නිසා මොවුන් ඉබේම දුප්පතුන් වූන නිසා වගේම ඔවුන් ආබාධිත වී ඇත්තේ ඔවුන් තුළ පවතින යක්ෂ බලවේගයකින් බව විශ්වාස කළ නිසාම ආබාධිතයන් සමාජයෙන් කොන් උනා. ලාදුරු වැනි රෝග ඇත්තන්ව සමාජයෙන් නෙරපා දැමුණා.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
පව්කාරයා (The Sinners) - කොන්වීමට ලක්වූ තෙවන පාර්ශවය තමයි පව්කාරයන්. පව්කාරයන් ලෙස හංවඩු ගැහුනෙ එදා පැවති ජුදා නීතියට පිටින් වැඩකළ අය හා සමාජ සම්මතයන්ට පිටින් වැඩ කළ අය. කිහිපදෙනෙක් දක්වනවානම් ;
  • ගණිකාව
  • අයකැමියා - අයකැමියා කියන්නෙ රෝමානු ආණ්ඩුවට ගෙවිය යුතු බදු ජනතාවගෙන් අයකරගත් පුද්ගලයන්ට. බදු අයකරගැනීමේදී ජනතාව තලා පෙලා බදු අයකරගත් නිසාත් නූගත් ජනතාවගෙන් වැඩිපුර අයකරගත් නිසාත් රෝමානු අධිරාජ්‍යයට හිතෛශීවූ නිසාත් ඔවුන් පව්කාරයන් ලෙස හැඳින්වුනා.
  • තැබෑරුම් අයිතිකාරයා
  • හොරා, මංකොල්ලකාරයා
  • එඬේරා - තමුන් පැවතෙන්නේ එඬේරුන්ගෙන් යයි ජුදෙව්වන්ට අමතක වෙන්න ඇති.
  • සූදුකරුවා
  • නූගතා
  • අපිරිසිදු පුද්ගලයා  (හඩ්ඩා)
  • තම ආදායමෙන් දහයෙන් එකක් පල්ලියට නොගෙවන්නා වගේම
  • සබත් දිනයේදී වැඩ කරන්නාද පව් කාරයින්ගේ ගොඩට වැටුනා.

සමාරීය
සමරිතාන්වරයා (Samaritans) - ජුදයාවට අයත්ව තිබූ සමාරියේ ජීවත්වූ මිනිසුන් තමයි සමරිතාන්වරු ලෙස හැඳින්වුනේ. මොවුන් ජුදයන් විසින් පිළිකුල් කළා වගේම ඔවුන් යන පාරක ගමන් කළේවත් නෑ. ඒවගේම සමාරියනුත් ජුදයින්ට ඉතා ගෞරවයෙන් සැළකූ බව පේනවා.

ඔය උඩ කියපු  කොටස් තමයි එදා ජුදා සමාජයේ කොන්වීමට ලක්වෙලා හිටියෙ.

පරිසිවරයෙක්
පරිසිවරු (Pharisees) -  ජුදා සම්ප්‍රදායන් හා නීතිරීති අකුරටම පිළිපැදපු මිනිස්සු කොට්ඨාශයක් තමයි පරිසිවරු කියන්නෙ. සාමාන්‍ය වැඩිහිටි මිනිසුන්ගේ පටන් විවිධ නිලතල දැරූවන්ද පරිසිවරු අතර හිටියා. ජුදයින් අතර ආගමික අතින් පාරිශුද්ධම තමුන් බවයි පරිසිවරු කියාහිටියෙ. සාමාන්‍ය ජුදා දේවස්ථාන (synagog ) පාලනය කළේ මොවුන් විසින්.

උත්තම පූජක තැන
සද්දුසිවරු (Sadducees) - ජුදා සමාජයේ හිටපු අතිශය පොහොසත් හා බලවත් කාණ්ඩය උනේ සද්දුසිවරු. ඔවුන් ධර්මය ගැන වඩාත් උනන්දු වුවත් නීතිය ගැන නම් එතරම් තැකීමක් කළේ නෑලු. ප්‍රධාන දේව මාළිගාවේ පාලනය තිබිලා තියෙන්නෙ මේ පිරිස අතේ. එම නිසා දේව මාළිගාවේ ප්‍රධාන පූජකයාත් (උත්තම පූජකයා) අනෙකුත් නායක පූජකයිනුත් පත්වෙලා තියෙන්නෙ සද්දුසිවරු අතරින්. මොවුන් රෝමානු ආණ්ඩුවට පක්ෂපාතීවීම වගේම මරණයෙන් මතු ජීවිතයක් නොමැති බව විශ්වාස කිරීම නිසා පරිසිවරුන් හා ගැටුම් පැවතුණා. නමුත් තමුන්ගේ පොදු සතුරා (ජේසුස් වහන්සේ) මැඩලීමට දෙපාර්ශ්වයම එකට එකතු උනා.

විනයධරයෝ (Sanhedrin) - සෑම ජුදා නගරයක් ආශ්‍රිතවම පිහිටා තිබූ ප්‍රාදේශීය අධිකරණයක සාමාජිකයන් යැයි කියන්න පුළුවන්. උදාහරණයකට අපේ සමථ මණ්ඩලය වගේ. හැබැයි සමථ මණ්ඩලයට වඩා ලොකු බලයක් තිබුණා. මොකද මේගොල්ලන්ට නොහැකියාව තිබුනේ මරණ දඬුවම දෙන්න විතරයි. සාමාන්‍යයෙන් නායක පූජකයෙක් මේකෙ මුලසුන දැරූ අතර සෙසු පිරිස පූජකයන්, වැඩිහිටියන් වගේම ලේකම්වරුන් ගෙන් සමන්විත උනා.
 හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ලේකම්වරු (Scribes) - ජුදා සමාජයේ හිටපු උගතුන් වුනේ මේ කොට්ඨාසය තමයි. මේ ගොල්ලෝ නීතිය පිළිබඳ හසල දැනුමැත්තන් වුනා. වර්තමාන භාෂාවෙන් කියනවා නම් 'නීතිඥවරුන්' බව කියන්ඩ පුළුවන්. මීට අමතරව ලේඛන කටයුතු, ගිණුම් කටයුතු සියල්ල වෙලා තියෙන්නෙත් ලේකම්වරුන් අතින්.
 හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ඒ කියපු  තුන්ගොල්ලෝ තමයි දේශපාලන හා ආගමික අතින් බලවත්ම කොට්ඨාසයන් වුනේ.  මීට අමතරව දේශපාලන අතින් වෙනස් අදහස් දැරූ

හෙරෝදියන්වරුත් (Herodians ) - හෙරෝද් රජුට පක්ෂපාතිත්වය දක්වමින් මුළු ජුදයාවම හෙරෝද් රජුට යටත්වනවාට කැමැත්තෙන් හිටපු අය
 හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
සී(z)ලොට්වරුත් (Zealots) - ජුදයාවෙන් රෝමානු පාලනය නැතිකර දැමීමට රහසින් සංවිධානයවූ පිරිසක්. ඔවුන් බලාසිටියේ සටනට නායකත්වය දීමට මෙසියස් වහන්සේ පැමිණෙනතුරු.

හිටියා. ඊටත් අමතරව තාපසයොත් (Essenes) හිටියා. ඔවුන් හිටියෙ ජනතාවගෙන් වෙන්වෙලා පාළුකරයේ.
 හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ඔන්න ඔහොමයි එදා ජුදා සමාජය තිබුනේ. ආ.. තව එකක්... එදා කාන්තාවට හිමිවෙලා තිබ්බ තත්වය ගැන නොකිව්වොත් මේ ලිපිය කියවන කාන්තාවො තරහා වෙයිනෙ. එදා සමාජයේ හිමිවෙන්ඩ තරම් කාන්තාවට තත්වයක් තිබ්බෙ නෑලු. වැඩිහිටි කාන්තාවන්ගෙන් ඉවුම් පිහුම් , ගේ දොර කටයුතු ඉගෙනීම ඇරෙන්ඩ වෙනත් කිසිම අධ්‍යාපනයක් කාන්තාවන්ට ලබාගැනීමට වරම් තිබ්බේ නෑ වගේම ඒ නිසාම සමාජයේ පිළිගත් කිසිම කාර්‍යයකට ඔවුන් සම්බන්ධ කරගෙන නෑ. කොටින්ම ඔවුන්ට ඔවුන් සම්බන්ධවවත් තීරණ ගැනීමේ අයිතියක් තිබ්බේ නෑලු. 

ආයෙත් ජේසුස් වහන්සේගේ කතාවට ආවොත්. ජේසුස් වහන්සේ දේශනා කරන්නේ අනුශාසනා කරන්නේ හා වැඩියෙන්ම ගණුදෙණු කරන්නෙ මම කලින් කිව්ව සමාජයෙන් කොන්වෙච්ච පීඩිත පන්තියත් එක්ක. හැබැයි පරිසිවරුන් සද්දුසිවරුන් අතරත් ජේසුස් වහන්සේගේ හිතවතුන් නොහිටියා නොවේ.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ගහෙන් බහින්න සකේවුස්. මම අද ඔබේ ගෙදර කෑමට එනවා
ජේසුස් වහන්සේ පව්කාරයන්ට අනුකම්පා කළ බව දැක්වෙන ප්‍රකට සිද්ධිය තමයි 'පව්කාරියට ගල් ගැසීමේ සිද්ධිය'. ඒක බොහෝම ප්‍රසිද්ධ නිසා මම කියන්නේ නම් නෑ. ඒවගේම අයකැමියෙක් වෙච්ච සකේවුස්ගේ ගෙදර කෑමට ගිය සිද්ධිය. මේ වගේ විවිධ සිද්ධි නිසා පරිසිවරුත් සද්දුසිවරුත් ලේකම්වරුත් ජේසුස් වහන්සේව විවේචනය කරන්ඩ ගන්නවා. "ඔබ ඔච්චර ආගම ධර්මය ගැන දෙවියන් වහන්සේගේ නීති ගැන දන්න පුද්ගලයා නම් ඒ නීති කඩ කරන පව්කාරයන්ව කරේ දාගෙන ඉන්නේ ඇයි?"

"රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත"

ජේසුස් වහන්සේත් පරිසිවරුන් ආගමේ නාමයෙන් කරන දුෂ්ඨකම් ගැන කතාකිරීමත් එක්ක තත්වය බැරෑරුම් වෙනවා. 

 ඔන්න එක සබත් දවසකදි ජේසුස් වහන්සේ ගෝළයොත් එක්ක වෙල්යායක් මැදින් එනවාලු. ඒ වෙලාවෙ හොඳටම බඩගින්නෙ හිටපු ගෝළයෝ කරන්නේ නියර අයිනෙ තිබ්බ කරල් කඩාගෙන කෑම. මේක දකින පරිසිවරු කෑගහනවා. "ඔබගේ ශ්‍රාවකයෝ සබත් දින නොකටයුත්තක් කරතී"

"බඩගිනිවූ දාවිත්, දෙවියන් වහන්සේට පිදූ රොටී කෑවා නම් මෙහි වරද කුමක්ද? " ජේසුස් වහන්සේ උත්තර දෙනවා. පරිසිවරු එතනින් යන්නෙ නොසතුටින්.

එහෙම ගිහින් ජේසුස් වහන්සේ යන්නේ ජුදා ධර්මශාලාවට. එහි හිටපු අතක් පණ නැති මිනිහාට ජේසුස් වහන්සේ සුවය දානය කරනවා. පරිසිවරු එවිටත් කෑමොර දෙනවා.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ඉහත සිද්ධි දෙකේදිම ඇතිවෙන්නෙ සබත් දිනය පිළිබඳ නීති කඩකිරීමේ ප්‍රශ්නයක්. මොකද ජුදෙව්වන්ගේ නියමයට අනුව සබත් දිනය තුළ කිසිම වැඩක් කරන්ඩ තහනම්. කොටින්ම කිව්වොත් මිනිසුන් හිටවපු ගහකින් ගෙඩියක් කන්න තහනම්. කන්න ඕනෙ ඉබේ වැවිච්චා. අර කුඹුරෙන් කඩාගෙන කෑවෙ හිටෝපුවා නිසායි පරිසිවරු කෑගැහුවේ.
තවත් දවසක් ධර්ම දේශනා අවසානයේ ගෝළයෝ ආහාර ගනිමින් ඉන්න තැනට පරිසිවරු එනවා. "ඔබගේ ශ්‍රාවකයෝ පරම්පරාගත සම්ප්‍රදායන් කඩකරන්නේ මන්ද? ඔව්හු වත්පිළිවෙත් අනුව අත් නොසෝදා ආහාර ගනිති."

ජේසුස් වහන්සේට ටිකක් තරහා යනවා."ඔබලා පරම්පරාගත සම්ප්‍රදායන් රැකීම සඳහා දෙවියන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ නැද්ද? දෙමව්පියන්ට ගෞරව කරන්න සළකන්න කියා දේව ආඥාවක් නැද්ද? නමුත් දෙමව්පියන්ට වෙන්කළ මුදල් දෙවියන්ට පඬුරු ලෙස පුදකළා යැයි කීමෙන් දෙමව්පියන්ට සැළකීමෙන් මිදෙනවා යි ඔබලා කියන්නේ නැද්ද? මේ විදිහට සම්ප්‍රදායන් රකින්නට යන ඔබලා දේව ආඥා කඩ කරන්නේ නැද්ද?"
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
මේ විදිහට කීපවිටක්ම ජේසුස් වහන්සේව විවේචනය කරන්ඩ ගියාම ඒක ආයෙ තමුන්ටම පෙරලෙන බව තේරුම්ගන්න පරිසිවරු ඊළඟට පෙරලන්නෙ වෙනමම බාල්දියක්. 'කිව්වොත් සඟ නහී නොකිව්වොත් වෙහෙර නහී' විදිහේ ප්‍රශ්නයකින් ජේසුස් වහන්සේව දමනය කරන්ඩයි මීළඟ උත්සාහය.

ටික දිනක් සද්දෙ නැතිව ඉඳලා ඔන්න හොඳ මූණක් දාගෙන පරිසිවරු එනවා ජේසුස් වහන්සේ හම්බෙන්න.  "ගුරු දේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිවෙකු නොතකන බවත් අපි දනිමු. එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? අප සීසර් අධිරාජ්‍යයාට අයබදු ගෙවිය යුතුද? නැද්ද?"
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
මෙන්න මේ කාසියක්
ඔවුන්ගේ උපාය දැනගත් ජේසුස් වහන්සේ "බදු ගෙවන කාසියක් මට පෙන්වන්න" යි වදාළ සේක. ඔවුන් හනිකට කාසියක් පෙන්වනවා.

ජේසුස් වහන්සේ කාසිය හොඳින් හරවා බලා  "මේ රූපය කාගේද?" යි අසනවා.

"සීසර් අධිරාජයාගේය"

"එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්න" කියමින් ජේසුස් වහන්සේ කාසිය නැවත පරිසිවරුන්ටම දෙනවා. බලාපොතොත්තු සුන්වූ පරිසිවරුන්ගේ මුහුණු අඳුරු වෙනවා.

පරිසිවරු  මෙතනදී උත්සාහ කරන්නෙ ජේසුස් වහන්සේව කට වචනයෙන් අල්ලාගන්න. ජේසුස් වහන්සේ 'බදු ගෙවිය යුතුයි' කිව්වානම් එතුමා රෝම අධිරාජ්‍යයට පක්ෂපාතීත්වය දරන්නෙක් විදිහට නම් කරලා රෝම පාලනයෙන් පීඩනයට පත්වෙලා ඉන්න සාමාන්‍යය ජනතාව අතර අප්‍රසාදයක් ගොඩනංවන්නයි බැලුවෙ. බැරිවෙලාවත් 'බදු ගෙවිය යුතු නෑ' කිව්වානම් රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගසන්නෙක් විදිහට බලවතුන්ගේ අප්‍රසාදයට ලක් කිරීමටයි සූදානමින් හිටියෙ. නමුත් ජේසුස් වහන්සේගේ පිළිතුර ඒ අන්තදෙක මැදින් ගියා.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ටිකෙන් ටික ජේසුස් වහන්සේගේ අවසානය ළඟාවෙනවා. ගම් නියම් ගම් සිසාරා ඇවිදිමින් දහස් ගණන් ජනතාවට ධර්මය පිළිබඳ නිවැරදි අවබෝධය ලබාදුන්, ජනතාවට සුවය ලබාදුන්, කාලය නිමවීමට ඉතා ආසන්නයි. වසර තුනහමාරක් වෙච්ච ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ උච්චතම අවස්ථාව පැමිණ තිබුනා. ජේසුස් වහන්සේ ගැන නොදන්නා කෙනෙක් මුළු ජුදයාවෙම නොවෙන තරමට උන් වහන්සේ ප්‍රසිද්ධියට පත්ව සිටියා.
හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/
ජේසුස් වහන්සේ තීරණය කරනවා වාර්ෂික පාස්කු උත්සවය සැමරීම සඳහා ජෙරුසලමට යන්න. පාස්කු උත්සවය කියන්නෙ මොකක්ද කියලා මම කලින් කීවානෙ. ඒවගේම ජේසුස් වහන්සේ පොඩි කාලෙත් පාස්කුවට ජෙරුසලමට ගිය හැටිත් මතක ඇතැයි සිතනවා.

වෙනදා පයින් වඩින ජේසුස් වහන්සේ එදා එන්නෙ කොටළුවෙකු පිටේ. ජේසුස් වහන්සේ ජෙරුසලමට එනබව දකින ජනතාව උද්දාමයට පත්වෙනවා. දුවලා ගිහින් තමුන්ගේ උතුරු සළු ගලවලා පාවඩ මෙන් බිම එලනවා. ඒ වගේම වටේ ගස් වලින් අතු ගලවාගෙන ඇවිත් වනනවා.

සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේවා
ජුදා සම්ප්‍රදායට අනුව බලවත් පුද්ගලයෙකු ඉදිරියේ අමු අතු වැනීම ඔහුට කරන ගෞරවයක්ලු.  ඒවගේම එමඟින් යම් වැදගත් දෙයක් සිදුවෙන බවට ඈත සිටින ජනතාවට සංඥාවක් ලැබෙනවාලු.

ඊට අමතරව පාස්කුව වෙනුවෙන් ජෙරුසලමට එක් වී සිටි දහස් ගණනක් ජනතාව ප්‍රීති ඝෝෂා කරනවා.  "සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේවා!"
මේ අතර පරිසිවරු කීපදෙනෙක් හීන්සැරේ ජේසුස් වහන්සේට කිට්ටු වෙනවා. "ගුරුදේවයෙනි, මේ මිනිසුන්ව නිශ්ශබ්ද කරන්න"

"මම එහෙම කළොත් මේ ගස් ගල් මොරගහන්ඩ ගනීවි"

කතෝලික ගොබ් ඉරුදින
පාස්කු මංගල්‍යය නිමිත්තෙන් මුළු ජුදයාවම පාහේ ජෙරුසලමේ සිටි වාතාවරණයක සිදුවූ මේ සිදුවීමෙන් පරිසිවරු සද්දුසිවරු ඇතුළු මුළු පාලක පැලැන්තියම කලබල වෙනවා. ජේසුස් වහන්සේගේ මරණය ඉක්මන් වෙනවා.

වර්තමාන කතෝලිකයෝ ගොක් ඉරුදින (palm sunday) ලෙස සමරන්නේ ජුදා වැසියන් ජේසුස් වහන්සේව රජෙකු මෙන් පිළිගත් ආකාරයයි.
ඊළඟට ජේසුස් වහන්සේට මොකද වුනේ?

මූලාශ්‍ර :
  • http://en.wikipedia.org/wiki/Zealotry
  • http://wiki.answers.com/Q/Political_social_and_religious_groups_in_the_time_of_Jesus
  • http://quizlet.com/4501441/groups-in-jewish-society-at-jesus-time-flash-cards/
  • http://en.wikipedia.org/wiki/Samaritans
  • http://en.wikipedia.org/wiki/Render_unto_Caesar...
  • http://queenofangels.lk

75 comments:

  1. //..එලියාගේ කතාවෙ තියෙන විශේෂත්වය තමයි එලියා මිය ගිහිල්ලා නෑ. එලියාගේ වැඩ කොටස ඉවර උනාට පස්සෙ එකපාරටම ස්වර්ගයට ඔසවාගත්තා කියලා තමයි කියන්නෙ. ඒ කතාව පස්සෙ බලමු නේද?...//

    මට මතක විදිහට හර්මන් මෙල්විල් ලිව්ව මෝබිඩික් කතාවේ එලීජා කියලා අනාගත වාක්‍ය කියන්නෙක් ගැන කතාවක් තියෙනවා. අහාබ් කියලා නපුරු රජ කෙනෙක් ගැනත් තියෙනවා. එලීජා සහ එලීයා එකම එක් කෙනාද ? දෙන්නෙක්ද ?

    //..නෙකුත් නායක පූජකයිනුත් පත්වෙලා තියෙන්නෙ සද්දුසිවරු අතරින්. මොවුන් රෝමානු ආණ්ඩුවට පක්ෂපාතීවීම වගේම මරණයෙන් මතු ජීවිතයක් නොමැති බව විශ්වාස කිරීම නිසා පරිසිවරුන් හා ගැටුම් පැවතුණා....//

    මරණින් මතු ජීවීතයක් නැහැ කියලා නේද කතෝලික දහමේ පිළිගන්නේ ? ජුදා දහමේත් එහෙමද ?

    //.."බඩගිනිවූ දාවිත්, දෙවියන් වහන්සේට පිදූ රොටී කෑවා නම් මෙහි වරද කුමක්ද? " ජේසුස් වහන්සේ උත්තර දෙනවා. පරිසිවරු එතනින් යන්නෙ නොසතුටින්....//

    මේ කතාවත් කෙටියෙන් කීවා නම් නේද හොඳ ??

    //..ඊළඟට ජේසුස් වහන්සේට මොකද වුනේ?...//

    කියනකම් බලාගෙන ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. එලියා නම ඉංග්‍රීසියෙන් කියවන්නේ 'එලයිජා' (Elijah) කියලා. ඉතින් සමහර විට 'එලීජා' ලෙසත් භාවිතා විය හැකියි.

      කතෝලික දහමේ මරණින් මතු මෙලොව ජීවිතයක් නෑ කියලා තමා පිළිගන්නේ. ජුදා ආගමේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ. දන්න විදියට නම් එහෙම මතු ජීවිතයක් ගැන පිළිගන්නවා. නමුත් ඒක මොන විදිහටද කියලා දන්නේ නෑ. හොයලා කියන්නම්.

      Delete
    2. @ hasitha,

      "මට මතක විදිහට හර්මන් මෙල්විල් ලිව්ව මෝබිඩික් කතාවේ එලීජා කියලා අනාගත වාක්‍ය කියන්නෙක් ගැන කතාවක් තියෙනවා. අහාබ් කියලා නපුරු රජ කෙනෙක් ගැනත් තියෙනවා. එලීජා සහ එලීයා එකම එක් කෙනාද ? දෙන්නෙක්ද ?" මේක දැකපු ගමන්ම මට නම් හිතුනෙ එලියාගේ අනුප්‍රාප්තිකයා වෙච්ච එලීශා(Elisha)ත් එක්ක පැටලිලා කියලා.. නමුත් ගිහාන් සහෝදරතුමා කියන හැටියට උච්චාරණයේ ප්‍රශ්නයක් තියෙන්නෙ..

      "මරණින් මතු ජීවීතයක් නැහැ කියලා නේද කතෝලික දහමේ පිළිගන්නේ ? ජුදා දහමේත් එහෙමද ? " ඔතනින් මම අදහස් කළේ පුනර්භවය නෙමෙයි.. මරණින් පස්සෙ ස්වර්ගයේ හෝ අපායෙ යන එක..කතෝලිකයෝ පුනර්භවය පිළිගන්නේ නෑ...

      "මේ කතාවත් කෙටියෙන් කීවා නම් නේද හොඳ ?? " ඉස්සරහට බලමු..

      "කියනකම් බලාගෙන ඉන්නේ" හොඳයි.. :)

      @ ගිහාන්,

      පිළිතුරුවලට ස්තුතියි!


      Delete
    3. @ Gihan (ගිහාන්)

      ස්තුතියි සහෝදරතුමා උත්තරවලට. ජුදා දහමේ මරණින් මතු ජීවිතේ ගැනත් හොයලා බලලා කියන්නකෝ

      Delete
    4. @ හරී

      //..මේක දැකපු ගමන්ම මට නම් හිතුනෙ එලියාගේ අනුප්‍රාප්තිකයා වෙච්ච එලීශා(Elisha)ත් එක්ක පැටලිලා කියලා...//

      හුටස් පටස් එයාට අනුප්‍රාප්තිකයෙකුත් හිටියාද ? එහෙනම් වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒක ගැනත් ලියන්න වේවි ඕන්. අහාබ් රජතුමා හිටියේ ඔයා කියන එලියාගේ කාලෙද එලීශාගේ කාලෙද ??

      //..ඔතනින් මම අදහස් කළේ පුනර්භවය නෙමෙයි...//

      පුනර්භවය කියන වචනේ බුදු දහමේ සංකල්ප එක්ක අනුගත වෙන වචනයක්. හින්දු දහමේ ඉගැන්වෙන නැවත ඉපදීමට යෙදෙන නිවැරදි වචනය තමා පුනරුප්පතිය කියන එක

      Delete
    5. @හසිත,

      "හුටස් පටස් එයාට අනුප්‍රාප්තිකයෙකුත් හිටියාද ?" උඩ පින්තූරෙ බලන්නකො.. ඔය එලියා ස්වර්ගයට යන හැටි පැත්තක ඉඳන් බලන් ඉන්නෙ එලීශා..

      "ඒක ගැනත් ලියන්න වේවි ඕන්. " හැක්..හැක්..

      "අහාබ් රජතුමා හිටියේ ඔයා කියන එලියාගේ කාලෙද එලීශාගේ කාලෙද ??" එලියාගේ කතාවත් එක්ක ආහබ් රජතුමා ඉන්නවා.. ඒත් එලීශාගේ කාලෙත් උන්දෑ උන්නද? මලාද ? කියලා විශ්වාස නෑ..

      පුනර්භවය = මරණින් මතු වෙනත් භවයක් ලැබීම. සතෙක් වෙන්ඩත් පුළුවන්, දෙවියෙක් ප්‍රේතයෙක් වෙන්ඩත් පුළුවන්..
      පුනරුප්පතිය = මිනිසෙක් ලෙසම ඉපදීම..
      එහෙමද?

      Delete
    6. @ හරී

      එලියා පණපිටින් දිව්‍ය ලෝකෙට යන පින්තූරේ දැක්කාම මට හිතුණේ නිකම් සුදු වෑන් එකකින් බලෙන් දාගෙන යනවා වගේ දේව දූතයා අශ්ව කරත්තේ ඇවිත් බලෙන් එලියාව දාගෙන යනවා වගේ :)

      පුනර්භවය කියන්නේ නැවත ඉපදීම තමා. හැබැයි ඒකෙදී ආත්ම සංකල්පයක් නැහැ. කලින් විදිහටම ඉපදීමක් නැහැ

      පුනරුප්පතිය කියන්නේ නැවත ඉපදීම තමා. ඒත් ඒකේ ආත්ම සංකල්පය ගැබ්වෙලා තියෙන නිසා පෙර විදිහටම ඉපදෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ලාමා දහමේ දලයි ලාමා පුනරුප්පතිය ලබන කෙනෙක්.

      Delete
    7. "සුදු වෑන් එකකින් බලෙන් දාගෙන යනවා වගේ" :D

      "ඒත් ඒකේ ආත්ම සංකල්පය ගැබ්වෙලා තියෙන නිසා" තේලුනේ නෑ..

      Delete
    8. සුදු වෑන් එකකින් බලෙන් දාගෙන යනවා වගේ

      ඒ වගේ දෙයක් තමයි.. එලියායි එලීශායි යනකොට එකපාරටම ආපු ගිනිගන්නා රථයක් එලියාව රැගෙන යනවා..

      Delete
    9. @ හරී

      ආත්ම සංකල්පය කියලා අදහස් කරන්නේ දෙවියන්/බ්‍රහ්මයා/ඊෂ්වරයා විසින් මවපු ආත්මයක් එක් එක් පුද්ගලයා තුළ තිබෙනවා. මරණින් පස්සේ මැවුම්කාරයාගේ කැමැත්ත අනුව එක්කෝ බ්‍රහ්ම හෝ දිව්‍ය සම්පත් ලැබෙනවා.

      එහෙමත් නැත්නම් සම්පූර්ණ පවිත්‍රතත්වයට එනකම් [බ්‍රහ්ම හෝ දිව්‍ය සම්පත් ලබන්න සුදුසු වෙනකම්] නැවත ඉපදෙමින් ඒ ආත්මයම ගමන් කරනවා කියන එක. ස්ථීර, සදාකාලිකව පවතින ආත්මයක් ගැන තමා මේකෙදී කියවෙන්නේ.

      කලින් උදාහරණය ගත්තොත් කලින් දලයි ලාමා වෙලා හිටිය කෙනාම තමා ආයේ දලයි ලාමා වෙලා උපදින්නේ. කලින් කෙනාගේ ගති ලක්ෂණ, දැනුම වගේ හුඟක් දේවල් දැන් දලයි ලාමා තුළත් පවතිනවා. හරී ගත්තොත් ඉස්සරහටත් එයා දැන් හරී කියන කෙනා වගේම තමා උපදින්නේ. [හැඩහුරුකමම නෙමේ :D]

      Delete
    10. මැරෙන කෙනාම නැවත ඉපදීම හෙවත් පරණ ගති ලක්ෂණම නැවත් පිහිටීමත් ඒ කාලයේ මතකයන් තිබීමත් වෙන්න ඕනෙ මේ කියන්නෙ.. ඒ කියන්නෙ ඔහුගේ නැවත ඉපදීම කුසල් අකුසල් මත තීරණය වෙන්නේ නෑ කියන එක..

      භුදු දහමේ ර‍්ළඟ භවය තීරණය වෙන්නෙ කුසල් අකුසල් මතනෙ.. ඒවගේම ඔහුට පරණ දේ මතකත් නෑ..

      Delete
    11. @ හරී

      //..මැරෙන කෙනාම නැවත ඉපදීම හෙවත් පරණ ගති ලක්ෂණම නැවත් පිහිටීමත් ඒ කාලයේ මතකයන් තිබීමත් වෙන්න ඕනෙ මේ කියන්නෙ.//

      නැහැ ඒක තීරණය කරන්නේ ආත්ම සංකල්පයේ පදනම විදිහට සලකන්න පුලුවන් සර්වබලධාරී මැවුම්කරුවා

      //..ඒ කියන්නෙ ඔහුගේ නැවත ඉපදීම කුසල් අකුසල් මත තීරණය වෙන්නේ නෑ කියන එක..//

      කුසල් අකුසල් කියනවාටත් වඩා ඔහු කළ කර්මයන් මත තමා සර්වබලධාරී මැවුම්කරුවා ඒක තීරණය කරන්නේ

      //..භුදු දහමේ ර‍්ළඟ භවය තීරණය වෙන්නෙ කුසල් අකුසල් මතනෙ.. ඒවගේම ඔහුට පරණ දේ මතකත් නෑ..//

      බුදු දහමට අනුව මීළඟ භවය තීරණය වෙන්න කුසල් අකුසල්ම මත තීරණය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම චුති සිත [මියයන මොහොතේ පවතින සිත] ඒකට බලපානවා.

      ඒ වගේමයි පරණ දේවල් මතක නැහැ කියන්නත් බැහැ ඔහුගේ විඤ්ඤාණය ඇතුලේ පරණ මතකයන් තැන්පත් වෙලා තියෙනවා. සිත දියුණු කරගත්තු උතුමන්ට පුබ්බේ නිවාසයානුස්සති ඥානය එහෙමත් නැත්නම් පෙර විසූ භවයන් පිළිබඳ සිහිකිරීමේ නුවණ ලැබීමත් එක්ක ඒ ඤාණයේ ස්වරූපය අනුව ආපස්සට සිහි කරන්න හැකිවෙනවා.

      Delete
    12. මට මේ දෙක අතර එච්චරම වෙනසක් පේන්නේ නෑ.. හුරු නැති ගතිය නිසා වෙන්න ඇති..

      කොහොම වෙතත් පුනරුප්පත්තිය කියන්නෙ මැවුම්කරුවාගේ කැමැත්තට සිදුවෙන දෙයක්..
      පුනර්භවය කියන්නෙ කර්මය මත තීරණය වෙන දෙයක්.. ඒක තමයි හරය නේද?

      එතකොට දලයි ලාමා පුනරුප්පතියක් කියලා හසිත කියනවානෙ.. ඒක බුදුදහමේ සංකල්පය නෙමේද?

      Delete
    13. @ හරී

      තවත් සරලව කිව්වොත් පුනරුත්පත්තිය කන්ට්‍රෝල් කරන කෙනෙක් ඉන්නවා. එකම විදිහට තමයි ආත්මය යන්නේ. පුනර්භ්වය කන්ට්‍රෝල් කරන කෙනෙක් නැහැ. එකම විදිහට යන ආත්මයක් කියලා එකකුත් නැහැ.

      පුනර්භයව කර්මය [කුසල් අකුසල්] මතම තීරණය වෙන්නේ නැහැ විශේෂයෙන්ම චුති සිත මතත් තීරණය වෙනවා

      //..එතකොට දලයි ලාමා පුනරුප්පතියක් කියලා හසිත කියනවානෙ.. ඒක බුදුදහමේ සංකල්පය නෙමේද?..//

      දලයි ලාමා කියන්නේ බෞද්ධ නායකයෙක් විදිහට පිළිගත්තත් එතුමා ථේරවාදී බෞද්ධ දර්ශනය දේශනා කරන කෙනෙක් නෙමෙයි. ථේරවාදයටත් මහායානයටත් වඩා වෙනස් ලාමා දහම නමින් හැඳින්වෙන ටිබෙටයටම පමණක් ආවේණික වෙන දහමක් තමා එතුමා දේශනා කරන්නේ. ඒක සකස් වෙන්නේ ථෙරවාදී, මහායාන වගේම හින්දු සංකල්පත් පාදක වෙලා තියෙන බව පේනවා.

      ලාමා දහම අනුව පුනරුප්පත්තිය දලයි ලාමාට විතරක් නෙමේ උසස් ලාමාවරුන් හැමෝටම අදාළයි. එයාලා නැවත නැවතත් ඉපදිලා කලින් තත්වයටම ලඟා වෙනවා. ලොබ්සෑං රැම්පාගේ දිබ්බ චක්ඛු පොතේ මේ ගැන හොඳ විස්තරයක් තියෙනවා

      Delete
    14. තේරුනේ දැන් තමයි... චුති සිතේ කතාව දැනගෙන හිටියත් මතක් වුනේ නෑනෙ..

      "ථේරවාදයටත් මහායානයටත් වඩා වෙනස් ලාමා දහම " මම මෙච්චර කල් හිතන් හිටියෙ මහායාන භික්ෂුවක් කියලා..

      "ලාමා දහම අනුව පුනරුප්පත්තිය දලයි ලාමාට විතරක් නෙමේ උසස් ලාමාවරුන් හැමෝටම අදාළයි. එයාලා නැවත නැවතත් ඉපදිලා කලින් තත්වයටම ලඟා වෙනවා. "දලයි ලාමා කියන්නෙ තනතුරක් කියලයි මම නම් දන්නෙ.. හරියට කතෝලිකයන්ගේ පාප් තනතුර වගේ.. පාප්තුමා වගේ ස්වාධීන පාලන බලතල ඇති රටක් දලයි ලාමාවරු ඉල්ලනවා කියලත් ආරංචි..

      පිළිතුරුවලට ගොඩාක් ස්තුතියි!

      Delete
    15. @ හරී

      //..දලයි ලාමා කියන්නෙ තනතුරක් කියලයි මම නම් දන්නෙ..//

      දලයි ලාමා කියන්නේ තනතුරක්. එතුමා තමා ටිබෙටයේ රාජ්‍ය නායකයා වගේම ලාමා දහමේ නායකයා. ලෞකික හා ආධ්‍යාත්මික නායකයා කියලා කියමුකෝ. එහෙම බලද්දී පාප් තනතුර වගේ තමා.

      ඒත් 1 වෙනි දලයි ලාමාගේ සිට වර්තමානයේ ඉන්න 14 වෙනි දලයි ලාමා දක්වා ඉන්නේ එක පුද්ගලයාගේ පුනරුප්පතිය කියලා තමා ඔවුන් විශ්වාස කරන්නේ. ඒ වගේමයි දලයි ලාමා කියන්නේ ජිවමාන බුදුවරයෙක් කියලයි ඔවුන් සලකන්නේ.

      දලයි ලාමා සහ පාප් තනතුරු අතර තියෙන විශාලම පරස්පරය තමා ඒක.

      //...පාප්තුමා වගේ ස්වාධීන පාලන බලතල ඇති රටක් දලයි ලාමාවරු ඉල්ලනවා කියලත් ආරංචි...//

      අමුතුවෙන් ඉල්ලන දෙයක් නැහැ. ටිබෙටය කියන්නේ දලයි ලාමාගේ රාජ්‍යය[පාප්තුමාගේ වතිකානුව වගේ] දලයි ලාමා රාජ්‍යය නායකයා වගේම ආගමික නායකයා වුණා. එතුමා පත් කරපු ඇමති මණ්ඩලයක් සහ අගමැතිවරුන් හරහා තමා රට පාලනය වුනේ.

      ඒත් චීනය වරින්වර ටිබෙටයේ ස්වාධීනතාවයට බලපෑම් එල්ල කරනවා. අවසානයේදී මාවෝ සේතුංගේ අණින් 1951 දී විතර චීන හමුදා ටිබෙටය ආක්‍රමණය කරනවා. ඒ වෙලාවේ දලයි ලාමා ඇතුළු නිලධාරීන් පිරිසක් ආරක්ෂාව පතාගෙන ඉන්දියාවට පැනලා යනවා.

      ඒ ආපු ගමන දලයි ලාමා තවමත් ඉන්දියාවේ ඉදන් ටිබෙටයේ නිදහස වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේමයි ලෝක සාමය උදෙසා කටයුතු කරනවා. රටින් රටට ගිහින් දේශන එහෙම පවත්වනවා.

      ඒත් චීනේ නම් ටිබෙටය දෙන පාටක් නැහැ. එයාලා ඒක හොඳට අල්ලාගෙන ඉන්නේ :D

      Delete
    16. @ හරී

      මේක කියන්න අමතක වුණා

      //..දලයි ලාමාවරු..// මෙහෙම කියන්න පුලුවන් පළවෙනියාගේ ඉදන් 14 වෙනියා දක්වා හිටිය සහ ඉන්න දලයි ලාමාවරු කියලා. ඒ ඇරෙන්න වර්තමානයේ දලයි ලාමාවරු නැහැ ඉන්නේ දලයි ලාමා විතරයි.

      එයාට පහළින් පංචන් ලාමා කියලා තනතුරකුත් ඒ හැරෙන්න ලාමාවරුන් නමින් හැඳින්වෙන පිරිසත් ඉන්නවා.

      ලාමාවරු කියන්නේ කාඩිනල්වරු වගේ කට්ටියක් කියලා කියන්න පුලුවන්. ලාමාවරු පන්සල් පාලනය, ආයතන පාලනය, දලයි ලාමාගේ කටයුතුවලට සහය වීම වගේ දේවල් කරනවා.

      ඒත් කාඩිනල්වරුන්ගෙන් පාප්තුමා පත් වෙනවා වගේ ලාමාවරුන්ට කවදාවත් දලයි ලාමා වෙන්න නම් බැහැ.

      Delete
    17. හොඳ විස්තරයක් හසිත නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. හැබැයි එක දෙයක් අපහැදිලියි..

      දලයි ලාමා වෙන්නෙ එක්කෙනෙක්ම නම්.. දලයි ලාමා කෙනෙක්ගේ මරණය සිදුවෙන හැටියේම තව තැනක ඉපදෙන්නත් ඕනනෙ.. ඊළඟට ඒ ඉපදුන කෙනාව එවලෙම දලයි ලාමා කරන්නත් ඕනනෙ..

      ලියමුකො මේ කට්ටිය ගැන පෝස්ට් එකක්..

      ස්තුතියි!

      Delete
    18. @ හරී

      //..දලයි ලාමා වෙන්නෙ එක්කෙනෙක්ම නම්.. දලයි ලාමා කෙනෙක්ගේ මරණය සිදුවෙන හැටියේම තව තැනක ඉපදෙන්නත් ඕනනෙ...//

      එහෙමම නැහැ. උදාහරණයක් කිව්වොත් 13 වෙනි දලයි ලාමා මියගියේ 1933 දී. 14 වෙනි දලයි ලාමා ඉපදුණේ 1935 දී. 12 දලයි ලාමා මියගියේ 1875. 13 වෙනි දලයි ලාමා උපදින්නේ 1879.

      හිටපු දලයි ලාමා මිය යන්න කලින් කරන ප්‍රකාශ වගේම ටිබෙටයේ තියෙන ශුද්ධ විලකින් පෙනෙන සංකේත, අනාවැකිකරුවන්ගේ අනාවැකි පදනම් කරගෙන දලයි ලාමාගේ පුනරුප්පත්තිය හොයන්න පිරිස් පිටත් කරනවා. වසර දෙක තුනක්ම මෙයාලා ඒ දරුවාව හොයනවා.

      ඊට පස්සේ දලයි ලාමාගේ පුනරුප්පතිය කියලා හඳුනා ගන්නා ළමයාව පරීක්ෂණ කීපයකට භාජනය කරලා කලින් දලයි ලාමාගේ පුනරුප්පතියමද කියලා තහවුරු කරගන්නවා. ඒකෙදී කලින් දලයි ලාමා පාවිච්චි කරපු භාණ්ඩ හඳුනා ගැනීම වගේ පරීක්ෂණ කීපයක් තියෙන්නේ.

      ඊට පස්සේ අලුත් දලයි ලාමාව ටිබෙටයේ අගනුවර වෙන ලාසාවේ තියෙන පෝතලා මාළිගාවට අරගෙන ගිහින් ඉගෙන්වීම් කරනවා. ඊට පස්සේ අවුරුදු 18 දී වගේ තමා රාජ්‍ය බලය එතුමාට හිමිවෙන්නේ අභිෂේක උත්සවේකින් පස්සේ.

      දලයි ලාමාගේ මියයාමේ ඉදන් අලුත් දලයි ලාමා රාජ්‍යත්වයට පත්වෙනකම් රෙටිං රින්පොචේ කියන නිලධාරියා තමා පාලනය ගෙනියන්නේ [රාජ්‍යාධිකාරී වගේ ධූරයක්]

      ටික කාලෙකට කලින් දලයි ලාමා ගැන ලියන්න හිතාගෙන කරුණු ගොඩක් හොයාගත්තා. ඒක නිසා තමා මේ ගැන මෙච්චර හරි දනෙන. විභාගෙන් පස්සේ ඒ ගැන ලියන්නම්කෝ අයියා :)

      Delete
    19. ඒ කියන්නෙ දලයි ලාමාගෙ මරණින් පස්සෙ අවුරුදු 20ක්ම තනතුර අරාජිකයි.

      පෝස්ට් එක එනතුරු බලා හිඳිමි..

      Delete
    20. @ හරී

      //...ඒ කියන්නෙ දලයි ලාමාගෙ මරණින් පස්සෙ අවුරුදු 20ක්ම තනතුර අරාජිකයි...//

      එහෙම වෙන්නේ නැහැ. දලයි ලාමා තනතුර අරාජිකව පවතින්නේ දලයි ලාමාගේ පුනරුප්පත්තිය හමුවෙනකම් විතරයි. ඒ කියන්නේ උපරිම අවුරුදු 4 ක් 5 ක් වගේ. දූතයන් හොයාගන්නා ඒ කුඩා දරුවාව ටික දිනකින්ම දලයි ලාමා විදිහට නම් කරලා එයාට වන්දනාමාන පවා කෙරෙනවා.

      ඒත් එයාට රාජ්‍ය පාලනය සම්බන්ධව වගේම ආගමික කටයුතු සම්බන්ධවත් නිසියාකාර බලයක් ලැබෙන්නේ අවුරුදු 18 දී පමණ වෙන අභිෂේකයෙන් පස්සේ. එතකම් දලයි ලාමා වෙනුවෙන් රෙටිං රින්පොචේ පාලනය ගෙනියනවා.

      දලයි ලාමා කුඩා අයෙක් කියලා පූජනීය තත්වයෙන් හා වන්දනා මාන කිරීමෙන් අඩුවක් කරන්නේ නැහැ. මොකද 1 දලයි ලාමාගේ ඉදන් පැවත ගෙන එන දලයි ලාමා මේ කුඩා ළමයා වෙන නිසා

      මේ තියෙනේ 14 වෙනි දලයි ලාමාගේ ජීවිත කතාව ඇසුරෙන් හදපු කුන්ඩුන් කියන චිත්‍රපටියේ trailer එක. ඒකත් පොඩ්ඩක් බලන්නකෝ

      http://www.youtube.com/watch?v=cFm8oP9c9Hs

      පෝස්ට් එක එනතුරු වැඩිකලක් මග බලා සිටීමට සිදු නොවේවි යැයි උදක්ම විශ්වාස කරමි :D

      Delete
  2. මේ කතාවේ අන්තිම කොටසෙන් තේරෙන්නේ ජේසුතුමා මියයන බව දැනගෙන ආපහු ඒමක් වගේ ....

    //තව එකක්... එදා කාන්තාවට හිමිවෙලා තිබ්බ තත්වය ගැන නොකිව්වොත් මේ ලිපිය කියවන කාන්තාවො තරහා වෙයිනෙ.//

    ඔව් ඔව් ඒ කාලේ කාන්තාවන් ගැන නොකීවොත් අපි තරහා වෙනවා තමා.

    //එදා සමාජයේ හිමිවෙන්ඩ තරම් කාන්තාවට තත්වයක් තිබ්බෙ නෑලු. වැඩිහිටි කාන්තාවන්ගෙන් ඉවුම් පිහුම් , ගේ දොර කටයුතු ඉගෙනීම ඇරෙන්ඩ වෙනත් කිසිම අධ්‍යාපනයක් කාන්තාවන්ට ලබාගැනීමට වරම් තිබ්බේ නෑ වගේම ඒ නිසාම සමාජයේ පිළිගත් කිසිම කාර්‍යයකට ඔවුන් සම්බන්ධ කරගෙන නෑ. කොටින්ම ඔවුන්ට ඔවුන් සම්බන්ධවවත් තීරණ ගැනීමේ අයිතියක් තිබ්බේ නෑලු.//

    දැන් කියලා වැඩි වෙනසක් නෑ ඉතින්. ඔය ඔක්කොමටම අමතරව රැකියාවටත් යනවා.:)


    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. ඊට අමතරව ගෙදර මැනේජින් ඩිරෙක්ටර් හැටියටත් ඉන්නවා.

      Delete
    2. "මේ කතාවේ අන්තිම කොටසෙන් තේරෙන්නේ ජේසුතුමා මියයන බව දැනගෙන ආපහු ඒමක් වගේ" එහෙම තමයි කියවෙන්නෙ..

      "ඔව් ඔව් ඒ කාලේ කාන්තාවන් ගැන නොකීවොත් අපි තරහා වෙනවා තමා." ඒකනෙ.. මම දැනන් හිටියා.. :)

      "දැන් කියලා වැඩි වෙනසක් නෑ ඉතින්. " ඇයි අප්පා.. දැන් කාන්තාවො කොච්චර තීරණ ගන්නවද? මම අහලා තියෙන විදිහට දැන් ගොඩක් පිරිමි ගෘහමූලික වෙන්නෙ ඡන්ද ලැයිස්තුවට විතරයි.. :)

      @ සරත් ලංකාප්‍රිය,

      ඔන්න සරත් අයියා අත්දැකීමෙන්ම කියලා..

      Delete
    3. @ හරී

      //..දැන් ගොඩක් පිරිමි ගෘහමූලික වෙන්නෙ ඡන්ද ලැයිස්තුවට විතරයි.. :..//

      මෙහෙමයි පිරිමියා ගන්නේ වැදගත් දේවල් ගැන තීරණ. ඔය ඛණිජ තෙල් අර්බුදය, සිරියා අර්බුදය, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, යුරෝපා ආර්ථික ප්‍රතිපත්ති වගේ බැරෑරුම් දේවල් ගැන.

      බිරිඳ තමා ඔය සුළු සුළු දේවල් ගැන තීරණය කරන්නේ. රෑට කන්නේ මොනවාද, ගෙදර දොරේ වියදම් වෙන්නේ කොහොමද, ගෙදර ලස්සන කරන එක වගේ සුළු සුළු වැඩ :D

      Delete
    4. @ Hasitha,

      ++++++++++++++++++++++++++++++++

      Delete
  3. ජුදා සමාජය ගැන ලොකු අවභෝදයක් ලැබුනා මේ ලිපියෙන්. ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. වර්තමාන ජුදා සමාජයත් ඔහොමමද මන්දා?

      ස්තූතියි!

      Delete
  4. පවත්නා අසත්‍යයට එරෙහිවූ හැම ශ්‍රේෂ්ට පුද්ගලයෙකුටම වගෙ උන් වහන්සේටත් දිනපතා සතුරන් වැඩි උනා.

    ReplyDelete
    Replies
    1. පවත්නා වැරදි ක්‍රම බිඳගෙන යන්න හදන හැම පුද්ගලයෙකුටම වෙන වැඩක්නෙ ඕක..

      Delete
  5. එලියා පිළිබද කතාව බයිබලයේ විශේෂම දෙයක්.පනපිටින්ම ස්වර්ගයට එසවුන එකම අනාගත වක්තෲ වරයා එලියායි.මම නම් හිතන්නේ යුදෙව්වන්ට යේසුස් වහන්සේ තේරුම් ගන්න බැරි වුනා කියලයි.යුදෙව්වන්ට පමනක් නොවෙයි ගැලවුම්කරු ගැන කියපු අනාවැකි අපහැදිලියි.මම විතරයි දේව පනිවුඩය දරන්නෙ අනෙක් අය බොරුකාරයො කියල කියපු නිසා හැම පරම්පරාවක්ම ගල් අතට ගත්තා.අලුත් කෙනෙකුට ලොකු අභියෝගයක් නම හදාගන්න එක.මෝසෙස් ගෙන් පටන් අරන් මොහමඩ් දක්වාම කතාව ගෙන යාමෙදි හැම කෙනෙක්ම මේ අභියෝගයට මුහුණ දුන්නා.මොහමඩ් ගෙන් පසු තමන් අනි යැයි කී මුසයිලමාට එරෙහිව මිනිස්සු ගල් අතට ගත්තා.මේ දේවධර්මය කලින් කලට එන අනාගත වක්තෲන්ට පහසුවක් වුනා නම් හොද නැද්ද?

    මේකට විසදුම ලෙස කෙලින්ම දෙවියන් හරහා නොවෙයි කිතු හිමියන් හරහා අලේප ලත් මුනිවරු බිහිවුනා .ඒක හොදයි යෝනා යෙරමියා වැනි අනාගතවක්තෲන් පහල වෙලා මිනිසුන්ට යහපත කරන ලෙස උනන්දු කරනවා නම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා බයිබලය ගැන මනා වැටහීමක් තියෙන කෙනෙක් බවයි පේන්නෙ.. ඔබ අන්‍යාගමික කෙනෙක් නම් මම ඒ ගැන පුදුම වෙනවා..

      ඔබ කියන විස්තරය හරි කවුරුහරි පහළවෙලා තමුන් අහවලායි කී පමණින් සමාජය පිළිගන්න සූදානමක් නෑ. අද කාලෙත් කවුරුහරි මම අහවලා කියලා කිව්වොත් අපි පිළිගන්නෙත් නෑනෙ.. හැබැයි ජේසුස් වහන්සේගේ කතාවේදී සාමාන්‍ය ජුදෙව්වෝ ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නෙ තමුන්ගෙ පැලැන්තියේම වඩුවෙක්ගෙ පුතෙක් නිසා.. ඊළඟට සාමාන්‍ය ජනතාව ජේසුස් වහන්සේ වටා එකතු උනාට පස්සෙ ආගමික නායකයින්ගේ උදහසට ලක්වෙන්නෙ ජුදා ආගමේ යම් යම් දේවල් විවේචනය කිරීම නිසා..
      ජුදයින් බලාපොරොත්තු උනේ ලෝකයේම පාලනය තමුන් අතට ගන්නා මෙසියස් කෙනෙක්වනෙ.. ඉතින් ජේසුස් වහන්සේ රජ පවුලක බිහිවෙලා, ජුදා ආගමට පක්ෂපාතී වෙලා හිටියා නම් මරණයට පත් නොවෙන්නත් තිබුනා..

      "මේ දේවධර්මය කලින් කලට එන අනාගත වක්තෲන්ට පහසුවක් වුනා නම් හොද නැද්ද?" :)

      "මේකට විසදුම ලෙස කෙලින්ම දෙවියන් හරහා නොවෙයි කිතු හිමියන් හරහා අලේප ලත් මුනිවරු බිහිවුනා ." කියපු දේ තේරුනේ නෑනෙ..

      "ඒක හොදයි යෝනා යෙරමියා වැනි අනාගතවක්තෲන් පහල වෙලා මිනිසුන්ට යහපත කරන ලෙස උනන්දු කරනවා නම් කොච්චර හොඳද?" ඒත් අපේ මිනිස්සු පිළිගනීද?

      Delete
  6. නොදැන සිටි දේවල් බොහොමයි හරී...දැනුවත් කළාට ස්තූතියි...

    ජේසුගෙ මොළේ තමයි මොළේ.. ඒක මාරම උත්තරයක්..

    // කොටින්ම කිව්වොත් මිනිසුන් හිටවපු ගහකින් ගෙඩියක් කන්න තහනම්. //

    මේ ගැන බින්දි දවසක් ලියුවා ඒ ගොල්ලන්ගෙ ඊශ්‍රායෙල් යාලුවො කොහොමද මේ චාරිතරය රකින්නෙ කියලා.. එතනදි කියවුනානෙ සබත් වසරක් ගැන.. ඒ කියන්නෙ අවුරුද්දක්ම මෙහෙම ගත කරනවා කියලා.. ඒක හෙන අමාරු වැඩක්නෙ.. විශේෂයෙන් මේ 21 ශතවර්ශේ...

    සරල භාශාවකින් ලස්සනට ලියවුනු ලිපියක්.. නියමයි හරී..

    ReplyDelete
    Replies
    1. "මේ ගැන බින්දි දවසක් ලියුවා ඒ ගොල්ලන්ගෙ ඊශ්‍රායෙල් යාලුවො කොහොමද මේ චාරිතරය රකින්නෙ කියලා.. එතනදි කියවුනානෙ සබත් වසරක් ගැන.. ඒ කියන්නෙ අවුරුද්දක්ම මෙහෙම ගත කරනවා කියලා.. ඒක හෙන අමාරු වැඩක්නෙ.. විශේෂයෙන් මේ 21 ශතවර්ශේ..." ඔව්..ඔව්.. කෝ ජුදයින්ගෙන අහලා කියන්නම් කිව්වට තාම නෑනෙ..

      බොහොම ස්තුතියි!

      Delete
  7. ඒ සමාජයේ තිබ්බ බෙදීම් බ්නම් හරි පුදුමයි නේද?

    ඈ බං හරී? Good Samaritan කියලා අද නම් හඳුන්වන්නෙ, ඔය ලාබයක් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී අනිකාට උදව කරන කෙනාට.

    ReplyDelete
    Replies
    1. ඒ ජේසු කියපු උපමාවක් තියෙනව යහපත් සමරිතානුවරයෙක් ගැන

      http://www.youtube.com/watch?v=53Pqw20xK10

      Delete
    2. @ dude,

      "ඒ සමාජයේ තිබ්බ බෙදීම් බ්නම් හරි පුදුමයි නේද?" මම හිතන්නෙ වර්තමාන සමාජවලත් ඔය බෙදීම් තියෙනවා කියලයි..

      "ඈ බං හරී? Good Samaritan කියලා අද නම් හඳුන්වන්නෙ, ඔය ලාබයක් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී අනිකාට උදව කරන කෙනාට." යෑස් ඩූඩ් අයියා.. වචනයේ සම්භවය කියන්නම්කො..

      'තමුන් තමුන්ට ප්‍රේම කරනවා වගේ තමුන්ට අසල්වැසියාටත් ප්‍රේම කරන්න' කියලා ජේසුස් වහන්සේ කියපුවාම අසන්නෙක් අහනවා 'ස්වාමිනි, කවුද මගේ අසල්වැසියා?' කියලා.. අසල්වැසියා කියන්නෙ අල්ලපු ගෙදර මනුස්සයා නොවන බවත් ඕනෑම කෙනෙක් අසල්වැසියෙකු බවත් ජේසුස් වහන්සේ පෙන්වන්නෙ උපමාවකින්.. ඒ තමයි යහපත් සමරිතානුවරයාගේ උපමාව.. මේ කතාවෙන් කියවෙන අර්ථය තමයි ආගම් භේද, ජාති භේද, කුල භේද නොතැකිය යුතු බව.. හැමෝම මිනිසුන් බව..

      මෙන්න කතාව... ඊට ඉස්සර මේ කාරණාවත් මතක තියාගන්ඩ.. සමාරීයයොයි ජුදෙව්වොයි අතර පරතරය හරියට ඉන්දියාවෙ බ්‍රාහ්මණයොයි ශුද්‍රයොයි අතර පරතරය වගේ.

      එක් ජුදෙව්වෙක් ජෙරුසලමේ ඉඳලා ජෙරිකෝවට යන්ඩ පිටත් වෙනවා.. පාළු ප්‍රදේශයක් පහුකරගෙන යද්දි ඔහු සොර මුලකට අහුවෙනවා. සොරු ඔහුට හොඳටම පහරදීලා ඇඳුම් ඇතුළු සියල්ලම පැහැරගෙන යනවා. ඔහු මරණාසන්නව වැටිලා ඉද්දි එතනින් එනවා ජුදා පූජකයෙක්. මිනිහාව දැකලා පාරෙ අනිත් පැත්තෙන් යනවා. ඊළඟට එනවා ලෙවීයෙක්. (ආගමික වත් පිළිවෙත් කිරීමට පරම්පරාවෙන් බැඳී සිටි පුද්ගලයෙක්) ඔහුත් වෙන පාරකින් යනවා.

      අන්තිමේදී එන්නෙ ජුදයින්ගේ ගැරහුම් ලබන සාමාරිය ජාතීයට අයත් පුද්ගලයෙක්.. ඒත් ඔහු වැටී හිටපු පුද්ගලයාව නැගිට්ටුවලා බේත් දාලා ඔහුගේ කොටළුවා පිටේ හිඳුවාගෙන තානායමකට ගෙන එනවා.. තානායමේදී ඔහු උපස්ථාන කරනවා.. ඊටපස්සෙ ඔහු තමුන්ගේ ගමන පිටත්වෙන්නෙ රිදී කාසි දෙකක් තානායම්කරුට දීලා රෝගියාට උපස්ථාන කිරීම පවරමින් හා මුදල් මදිවුනොත් ආපසු එද්දී ගෙවන පොරොන්දුව මත..

      ඒකයි අපි ලාබයක් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී අනිකාට උදව කරන කෙනාට Good Samaritan කියන්නෙ..

      වැඩි විස්තර..
      http://en.wikipedia.org/wiki/Parable_of_the_Good_Samaritan

      Delete
    3. @ සඳමාල්,

      ස්තුතියි යාළුවා..

      Delete
  8. ඔය ගොබ් ඉරුදින ගොක් කොල වලින් හදන කුරුස හැම ගෙදරකම අවුරුද්දකට වැඩි කාලයක් තියා ගන්නත් කතෝලික බැතිමතුන් අමතක කරන්නෙත් නෑ. ඒ වගේම අළු බදාදාට ඒ කුරුස පුච්චලා ගන්න අළුවලින් නේද නලලේ අලු වලින් සලකුණක් තියන්නෙ හරී ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි. ඒ කුරුස ගොබ් ඉරිදා සිට ඊළඟ අළු බදාදා දක්වා නිවෙස් වල තබා ගන්නවා. අළු බදාදා ට අළු ගන්න ගිය වසරේ හැදූ ගොබ් කුරුස ත් භාවිතා කරනවා.

      Delete
    2. @ ළිහිණි,

      ගිහාන් සහෝදරතුමා පිළිතුරු දීලානෙ.. ඔය ගොක් කුරුස කිව්වාම මට සිද්ධී කීපයක්ම මතක් වුනා.. :)

      @ Gihan ,

      ස්තුතියි.

      Delete
    3. @ ♥ ළිහිණි ♥, Gihan (ගිහාන්), හරී

      මේ චාරිත්‍රය ගොක් කොළවලින් කරන්නේ ලංකාවේ විතරයි නේද ? අනික් රටවල මේ චාරිත්‍රය කරන්නේ කොහොමද ??

      Delete
    4. @ Hasitha,

      "මේ චාරිත්‍රය ගොක් කොළවලින් කරන්නේ ලංකාවේ විතරයි නේද ? " නෑ.... බොහෝ ආසියාතික රටවල යොදාගන්නෙ ගොක් කොළ.. අනික් රටවල් ඔලිව් අතු, ෆාම්ස් අතු වගේම ඒ ඒ රටවල සාම්ප්‍රදායිකව පිළිගැනීමක් ඇති ගස්වල අතු යොදාගන්නවා..
      අනික් කාරණය ලංකාවේ රෙප්‍රමාදු සභාවන් ගොක් කොළම භාවිතා කරත් ඔවුන් කියන්නෙ 'තල් අතු ඉරිදා' කියලා..

      "අනික් රටවල මේ චාරිත්‍රය කරන්නේ කොහොමද ??" ඒවා නම් විවිධාකාරයි.. කොහොමවුනත් සෑම රටකම පාහේ මේ සිද්ධිය එදාට නිරූපණය වීමක් නම් වෙනවා.. පියතුමා ගොක් අත්තකුත් රැගෙන පෙරහැරේ එනකොට ජනතාවත් ගොක් අතු රැගෙන එනවා..

      Delete
    5. @ හරී

      අළුවලින් නළලේ කුරුසයක් ඇඳගෙන ඉන්නේ ඔය අළු බදාදාට නේද එතකොට.

      Delete
    6. @ හසිත,

      ඔව්.. ගොක් ඉරිදාට කතෝලිකයන්ට ආශිර්වාද කරපු ගොක් කොළ ලැබෙනවානෙ.. ඒවායින් ගොක් කුරුස හදලා ගෙවල් වල තියෙනවා ඊළඟ අවුරුද්දෙ අළු බදාදා වෙනකන්.. එදාට ගෙදර තියෙන කුරුස පාලියට ගිහින් දෙනවා.. ඒවා පුච්චලා ගන්න අළු තමයි නළලෙ ගාන්නෙ..

      Delete
  9. විවාහය ගැන ක්‍රිස්තුස් වහන්සේගේ සමකාලීන සමාජය ඉතා වැදගත් කටයුත්තක් ලෙස සැලකුවා නේද?. ක්‍රිස්තුස් වහන්සේ විවාහ නොවුනු නිසා ( මේරී මග්දලේනා කථාව ප්‍රබන්දයක් ලෙස ගත හොත්) ඈතැම් මෑත කාලීන පූජකවරයෝ එතුමා සමලොංගිකයෙක් ලෙස හදුන්වනවා..

    ක්‍රිස්තුත් වහන්සේ සමලිංගිකයෙක්ද? : Was Jesus gay?

    ReplyDelete
    Replies
    1. "විවාහය ගැන ක්‍රිස්තුස් වහන්සේගේ සමකාලීන සමාජය ඉතා වැදගත් කටයුත්තක් ලෙස සැලකුවා නේද?" ඔව්.. විවාහය උතුම්කොට සැළකුවා වගේම විවාහ නොවන්නන් කොන්කළා.. ඒ වගේම දරුවන් නැති කාන්තාවන්ව ඉතාම පහත් කොට සැළකුවා..

      ජේසුස් වහන්සේ ඉන්දියාවෙ, ඇමරිකාවෙ, චීනයේ හිටිය කතා, ජේසුස් වහන්සේ විවාහ වෙච්ච කතා අහලා තිබ්බාට මේ කතාව ඇහුවේ අදමයි..

      Delete
  10. නොදැන හිටි කතා ටිකක්....
    ස්තූතියි හරී අයියේ!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි උනා..
      ෆොටෝ එක දැක්කම මතක් උනේ යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ කියන පොත...

      Delete
    2. දැන් දන්නවනේ :)

      ඒ පොතේ පිටකවරේ නම් කෙළින්ම සිවුරක්නෙ අන්දලා තියෙන්නෙ..

      Delete
  11. කෝ අවසාන කොටස කියල තිබුනට මේකත් මැදින් කඩලා නේ ඉතින්. :)

    //ජුදයාවට අයත්ව තිබූ සමාරියේ //

    සමාරිය කිව්වේ?

    මොකද හරියෝ අර ඡේද අතරමැද්දට සුදු පාට අකුරෙන් මෙහෙම දාල තියෙන්නේ? :ඔ

    "හරීගේ හීනලන්තය : http://dreamsofharee.blogspot.com/"

    ReplyDelete
    Replies
    1. කෝ එහෙම නෑනෙ කොහෙවත් ?

      Delete
    2. ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා බලන්නකෝ..තියනවා. :)

      Delete
    3. අඩේ ඔව්මයි.. උඹනම් මාර මීටරක්නෙ සයුරි.. කොහොමද ඕක දැක්කෙ.. ??

      මම හිතන්නෙ ඔය හොරෙන් උස්සන එක වලක්වන්න දීපු සුපිරි ගේමක්.. ඔයා ඒක කුරුවල් කරලා දැන්.. :-)

      Delete
    4. හික් හික්..හරී ගේ මොකක් හරි යටි කුට්ටු වැඩක් වෙන්ටෝන..මාව කයිද දන්නෑ

      හනේ මීටරයක් හින්දනම් නෙමෙයි සෙන්නයියේ..ඔහොම හයිලයිට් කරලා කියෙව්වම මම සිංහල කියවනවා කියලා ඔෆිස් එකේ අයට එච්චර මීටර් වෙන්නේ නෑ :ඩි

      Delete
    5. යටි කූට්ටු වැඩවලට එරෙහිව කරපු වැඩක්... :)

      ඈ බොලන් ඔෆිස් යන්නෙ බොලොග් කියවන්ඩද ? එහෙම හයිලයිට් කරලා කියවන්ඩ ඕනා කියලා හොයා ගන්ඩත් හොඳ මීටරයක් වෙන්ඩ එපැයි..

      Delete
    6. //එකල ජුදා සමාජය පහත ජන කොටස් වලින් සමන්විත උනා.//

      ඒ ටික තිබුනේ මෙන්න මේ කොටසේ. මට පේන්නේ ඒ ජන කොටසින් එකක් වෙන්ට ඇති. හී හී....

      Delete
    7. //ඈ බොලන් ඔෆිස් යන්නෙ බොලොග් කියවන්ඩද //

      නෑ..මේ..මේ..

      //මට පේන්නේ ඒ ජන කොටසින් එකක් වෙන්ට ඇති//

      හැබෑටම..එහෙමද දන්නෑ :)

      Delete
    8. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස

      එහෙමනෙ මාතෘකාවෙ තියෙන්නෙ.. ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙ අවසානය කියලා නෑනෙ.. අඩුම ගානෙ තව පෝස්ට් තුනක්වත් යයි..

      "සමාරිය කිව්වේ?" සිතියම බලන්ඩෝ.. ඒකත් ජුදයාව වගේ වෙනම ප්‍රදේශයක්..

      "මොකද හරියෝ අර ඡේද අතරමැද්දට සුදු පාට අකුරෙන් මෙහෙම දාල තියෙන්නේ?" ???? මොකක්..

      Delete
    9. //ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙ අවසානය කියලා නෑනෙ//

      එතකොට මෙතන අවසාන කොටස කියලා තියෙන්නේ මොන අදහසින්ද?

      //???? මොකක්//

      :0

      Delete
    10. ප්‍රසිද්ධ ජීවිතය ගැන කියවෙන අන්තිම කොටහ.. ඊළඟට දුක් විඳීමත් මරණයත් උත්ථානයත්නෙ කියන්න තියෙන්නෙ..

      Delete
  12. සීරිස් එකම එක දිගට කියවන්න බැරිවුනා ඒ නිසා හරී මේක ලියලා ඉවරකරපුවාම ආපහු එන්නම්..

    ReplyDelete
    Replies
    1. තව පෝස්ට් තුන හතරක් යයි අක්කේ..

      Delete
  13. මම හොයමින් හිටිය ජාතියේ බ්ලොග් එකක්.
    අද ආගම ගැන කතා කරන අය ඉතාමත් ආවේග ශීලිව තමයි භාෂාව පරිහරණය කරන්නෙ. මේකෙ එහෙම නැහැ.
    පව් කාරයෝ අතර සල්ලි පොලියට දෙන අයත් ගණිකාව හා සමානම පාපියෙක් විධිහට නේද සලකන්නෙ ? ඈයි එයා නැත්තෙ ලිස්ට් එකේ.
    මම ආසයි අර සල්ලි පොලියට දිපු (කොට) පවුකාරයා දෙවියන් වහන්සේ දකින්න හිතිල ගහක් උඩ නැගපු කතාවට.
    කුරාණයෙත් මේ අදහස මෙහෙමම තියනවා මම හිතන්නේ. දෙවියන් වහන්සේ දකින්නට ඕනෙ කියල චේතනාවක් පහල වීමත්, එය ක්‍රියාත්මක කිරීමත් සියලු පවු වලට සමාව ලැබීමක් කියන සංකල්පය හරිම ගැඹුරුයි නේද ?

    ReplyDelete
    Replies
    1. එයා තමා ගේ වැරැද්ද තේරුම් අරගෙන හදා ගත්ත නිසා ඒ ලිස්ට් එකේ නෑ. ඒ කියන්නේ සකේවුස් තමන්ගෙන් අසාධාරණයට ලක්වූ අයට සාධාරණය ඉටු කළා.

      Delete
    2. @ ඇනෝ අංකල්,

      "මම හොයමින් හිටිය ජාතියේ බ්ලොග් එකක්. " සොයන්නාට සම්බ වේ කියනවනෙ..:)
      සාදරයෙන් පිළිගන්නම්..

      "පව් කාරයෝ අතර සල්ලි පොලියට දෙන අයත් ගණිකාව හා සමානම පාපියෙක් විධිහට නේද සලකන්නෙ ? ඈයි එයා නැත්තෙ ලිස්ට් එකේ." ඔව්.. පොලියට දෙන්නාත් පව්කාරයෙක් තමයි.. සල්ලි පොලියට දුන් අයගෙන් බොහෝදෙනා අයකැමියොම තමයි..

      "මම ආසයි අර සල්ලි පොලියට දිපු (කොට) පවුකාරයා දෙවියන් වහන්සේ දකින්න හිතිල ගහක් උඩ නැගපු කතාවට." ඔව්.. සකේවුස්ගේ කතාව

      "පවු වලට සමාව ලැබීමක් කියන සංකල්පය හරිම ගැඹුරුයි නේද ?" ඇත්තෙන්ම ඔව්.. පව් වලට සමාව ලැබෙනවා කියන කතෝලික සංකල්පය බොහෝ දෙනාගෙ ගැරහීමට ලක්වූවත් මම නම් එය හොඳ දෙයක් ලෙසයි දකින්නෙ.. අපි සකේවුස්ගෙම කතාවම ගත්තොත් ජේසුස් වහන්සේත් අනිත් අය වගේම සකේවුස්ව කොන්කරා නම් සකේවුස් තව කී දාහක් මිනිසුන්ට අසාධාරණ කම් කරාවිද? ජේසුස් වහන්සේ ඔහුට සමාව දුන්නායින් ඔහු හැදුනා පමණක් නොව ඔහු මඟින් පීඩාවට පත්වූවන්ද නිදහස් උනා..

      Delete
  14. මේ සමාජය කොටස් කළ නිසා එක් එක කණ්ඩායම් අතර උසස් පහත් බවත් මතු වුනාද . එවුන් අතර ගැටම් ඇිවෙන්න.් පාවාද
    ිම් සිදුවෙන්නත් සමහර විට මේව‍ා හේතුවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. "මේ සමාජය කොටස් කළ නිසා එක් එක කණ්ඩායම් අතර උසස් පහත් බවත් මතු වුනාද" ඔව් දයා අයියේ මම මුලින් කියපු කණ්ඩායම් අතිශය දරුණු විදිහට කොන් කිරීම් ගැරහෙම් වලට ලක්වුනා.. පසුව කී අය තමයි පාලන බලය රඳවාගෙන හිටියෙ..

      Delete
  15. හරී ඔය ප්‍රාතිහාර්යය ආශ්චර්යයන් ගැන කියනකොට (අපේ ආගමේ උනත්) මට නම් හිතෙන්නෙ ඒ සිදුවීම් සත්‍ය ලෙසම සිදු වුනු ඒවට වඩා මිනිස්සු වැඩි භක්තිය නිසා හිතේ මවාගත්ත දේවල් වෙන්න පුළුවන්ය කියල.

    කමෙන්ට්වලින් හුඟ දෙනෙක් පෝස්ට් එක ගැන කතාකරල තියෙන නිසා මම ඒ ගැන කතා නොකර ඉන්නම්කෝ. ඇත්තටම හරී මේ ක්‍රිස්තියානි ආගමත් එක්ක බැඳුනු චිත්‍රවල අමුතුම ආකර්ශනයක් තියෙනව, මම කියන්නෙ ඔය ලෝක ප්‍රසිද්ධ ලෝක පූජිත කලාකාරයොන්ගෙ සිතුවම් ගැනම නෙවි. මේ බ්ලොග් එකේ තියෙන සමහර චිත්‍ර වුනත්. ඉස්සර අපේ ගෙදර තිබුනා ඉංග්‍රීසි පොතක්. ඒකෙ හැම පිටුවකම වගේ ලස්සන පාට පාට චිත්‍ර තිබුන. වලාකුළු එක්ක ඉන්න දේව දූතයො, ජේසුස් වහන්සේගෙ ජීවිතයෙ විවිධ අවස්ථා, සරුසාර නිල්වන් කෙත්වතු, සතුට ඉතිරෙන පවුලක සාමාජිකයො. ඒ චිත්‍ර හරිම ලස්සනයි. පොඩි කාලෙ මම ඒ චිත්‍රවලට පිස්සු වැටිල හිටියෙ. කොච්චර උත්සාහ කළත් මට ඒ විදියට අඳින්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. @ DDT,

      මුලින්ම සමාව අයදිනවා.. මට මේ කමෙන්ටුව මඟ ඇරිලා..

      "හරී ඔය ප්‍රාතිහාර්යය ආශ්චර්යයන් ගැන කියනකොට (අපේ ආගමේ උනත්) මට නම් හිතෙන්නෙ ඒ සිදුවීම් සත්‍ය ලෙසම සිදු වුනු ඒවට වඩා මිනිස්සු වැඩි භක්තිය නිසා හිතේ මවාගත්ත දේවල් වෙන්න පුළුවන්ය කියල. " ඔව්.. ඒක මම පිළිගන්නවා... ආගමික සාහිත්‍යය ඇතුළෙ අතිශෝක්තිය කියන්නෙ සාමාන්‍යය දෙයක්..
      අනිත් එක තමයි අදාළ පුද්ගලයා වීරත්වයට පත්කරලා මිනිසුන් කෙරෙහි ඔහු ගැන ලොකු භක්තියක් ඇතිකරවන්ඩ කතුවරු කටයුතු කරලා තියෙනවා..
      හැබැයි බුදුන් වහන්සේ අර සෘද්ධි බලයෙන් ගඟෙන් එතෙර වූ තාපසයාව හෙළා දැක්කා වගේ ජේසුස් වහන්සේත් ප්‍රතිපත්ති පිළි නොපැද ප්‍රාතිහාර්‍යයන් පස්සේ යන්නන්ව හෙළා දැකලා තියෙනවා..

      "ඇත්තටම හරී මේ ක්‍රිස්තියානි ආගමත් එක්ක බැඳුනු චිත්‍රවල අමුතුම ආකර්ශනයක් තියෙනව" ඒකත් චිත්‍ර කලාවේ සම්ප්‍රදායක් වෙන්න ඕනෙ.. මම නම් චිත්‍ර කලාව ගැන මොකුත්ම දන්නේ නෑ..

      "කොච්චර උත්සාහ කළත් මට ඒ විදියට අඳින්න බැරි වුනා. " ආයෙ උතසාහ කරන්ඩ.. :)

      Delete
  16. මට ෂා නියමයි කියලා යන්න පුලුවන්...ඒත් අතරින් පතර ඒවා කීපයක් මග ඇරිලා තියෙන නිසා ඒවාත් කියවලා හිතට එකගව අවංක අදහසක් දක්වන්නම්...

    ReplyDelete
    Replies
    1. @ සිරා,

      පරක්කු උනාට කණගාටුයි සිරා.. ඇත්තටම ෂා නියමයි නොකියා අවංක අදහස් පල කිරීම ගැන සතුටු වෙනවා..

      සිරාගේ කාමරේ නම කමෙන්ට් කරද්දි සිරා විදිහට වෙනස් වුනොත් මොකද? බ්ලොග් එකනෙ සිරාගේ කාමරේ..

      Delete
  17. වැඩකට නැති post අතරේ ඉතාම හොද post එකක්........

    ReplyDelete
    Replies
    1. වැඩකට නෑ කියන එක නම් සාපේක්ෂයි සොනාලි.. එක එක අයගේ රුචි අරුචිකම් වෙනස්නෙ..

      ස්තුතියි කියවලා ගියාට.. ඉතිරි කොටසුත් ළඟදීම දානයි ඉන්නෙ.. ඒවත් කියවන්න එන්න..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...