12.22.2011

ගවලනේ කතන්දරේ

ගවලෙන
නත්තල් සීයා ගැන කතාවයි නත්තල් ගහ ගැන විස්තර ටිකකුයි මම කිව්වනෙ. අද කියන්න යන්නෙ ගවලෙන සෑදීමේ චාරිත්‍රය ගැන. නත්තල් ගහ ගැන ගොඩක් අය දැනගෙන හිටියට මම හිතන විදිහට ගවලෙන ගැන දන්නවා අඩුයි. ඒක නිසා කලින් ඒ ගැන විස්තරයක් කියලා ඉන්නම්.

ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර්. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයිති වෙලා තිබුනෙ රෝම අධිරාජ්‍යයට. ඔගස්ටස් සීසර් තීරණය කරනවා රෝම අධිරාජ්‍යයේ සංගණනයක් පවත්වන්න. මේ සංගණනය සඳහා හැමෝම තම තමුන්ගේ උපන් ගම් වලට යන ඕනෙ කියලා නීතියක් පැනවෙනවා.


මේ කාලෙ වෙනකොට මරියතුමීට ජේසුව ලැබෙන්න හොඳටම කිට්ටුයි. ඒත් ඉතින් නීතියට පිටුපාන්න බැරි නිසා මරියතුමීත් ජුසේතුමාත්(ජේසුස් වහන්සේගේ සුරැකි පියා) ජුසේතුමාගේ උපන් ගම වෙච්ච බෙත්ලෙහෙම් නගරයට එනවා. බෙත්ලෙහෙමට ආවත් නවතින්න තැනක් හම්බවෙන්නේ නෑ. සෙනඟ හුඟක් බෙත්ලෙහෙමේ සංගණනයට ඇවිත් හිටපු නිසා එක තානායමකවත් නිවසකවත් ඉඩක් ලැබෙන්නේ නෑ. ඒත් අන්තිමේදී එක තානායමකට අයිති ගව මඩුවක නවාතැන් ගැනීමට ලැබෙනවා. එදා මධ්‍යම රාත්‍රියේදී ජේසුස් වහන්සේ ඉපදෙනවා.

එතකොටම අහසේ වල්ගා තරුවක් පායනවා ලෝකෙට ජේසුගේ උපත දන්වන්න.. දේව දූතයෝ ගිහින් මේ පණිවිඩය රෑ ගිනිමැලයක් ළඟ හිටපු එඬේරුන්ට කියනවා. මේ ආරංචියට එඩේරුත් වල්ගා තරුව දැකපු පෙරදිග හිටපු රජවරුත් (සමහර තැන්වල කියවෙන හැටියට ජොතීර්වේදීන්) ජේසුස් වහන්සේව බැහැදැකීමට පැමිනෙනවා. ඕක තමයි ඉතාම කෙටියෙන් කිව්වොත් නත්තලේ කතන්දරේ. ඔය සිද්ධිය සිහිපත් කිරීමට තමයි කිතුනු බැතිමතුන් ගවලෙනක් නැත්නම් ගව මඩුවක් හදන්නෙ.
අසීසියෙ ශු. ප්‍රැන්සිස් තුමා

කවුද මුලින්ම ගවලෙනක් හැදුවෙ? අසීසියෙ ශු. ප්‍රැන්සිස් තුමා තමයි මුලින්ම මේ සංකල්පය කරලියට ගෙනැල්ලා තියෙන්නෙ. එතුමාත් මම කලින් කියපු වැලන්ටයින් තුමා, ශු. නිකුලස් තුමා වගේම ශුද්ධවන්තයෙක්. අසීසියේ ප්‍රැන්සිස් තුමාට හිතුනලු ඒ පළාතේ ජීවත් වෙච්ච ජනතාවට අලුත් අත්දැකීමක් ලබාදෙන්න. එතුමා කරලා තියෙන්නෙ ගවමඩුවක් හදලා. ඒකෙ චරිත නිරූපණය කරන්න නළුවන් යොදාගත්තු එක. ගවමඩුවෙ හරකුන්ට යොදාගනත් තියෙන්නෙ ඇත්ත හරක්. ඊට පස්සෙ ඒ අසල නත්තල් දා රාත්‍රී පූජාව පවත්වලා තියෙනවා. ජනප්‍රවාදවල දැක්වෙන හැටියට නම් එතැන ප්‍රාතිහාර්යක් සිද්ධවෙලා ඒ කියන්නෙ ජේසු බිළිඳුන් ඒ ගවලෙනට ආවාලු. ඔය සිද්ධියත් එක්ක මුලු ගම්මානෙටම මහා ප්‍රීති ජනක නත්තලක් උදාවෙලා තියෙනවා. එම නිසා එතැන් පටන් හැම නත්තලකම ගවලෙනක් තම නිවෙස් වල හදන්න ජනතාව පුරුදු වුණා. මිනිසුන් හා සතුන් වෙනුවට මැටිවලින් හදපු සුරුවම් ( පිළිම ) තමයි යොදාගත්තෙ. ඔය විදිහට ආපු ගවලෙන හැදීමේ චාරිත්‍රය ලෝකෙ පුරා ව්‍යාප්ත වුණා.

මතක ඇතිනෙ මම නත්තල් ගහ හදන්න පුලුවන් එක එක ක්‍රම කිව්වා ඒ වගේ තමයි ගවලෙන හදන්නත් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා.

1. ස්වනිර්මාණ
මේකෙ තමයි ගතිය තියෙන්නෙ. ගවලෙන මෙහෙම වෙන්න ඕනෙ කියලා නීතියක් නෑ. කැමති හැඩේකට කැමති ප්‍රමානෙකට තමුන් කැමති අංග උපාංග දාලා හදන්නයි තියෙන්නෙ. බොහෝ අය හදන්නෙ නම් ගෙයක් වගේ හැඩයක් ඊට පස්සේ වහලෙට පිදුරු දානවා. අපි නම් ගියපාර වෙනසකටත් එක්ක හැදුවෙ ගල්ගුහාවක්. තව එකතු කරන අංගයක් තමයි පොකුණ. මැටි හරකුන්ට වතුර බොන්න බෑ තමයි ඒත් ඉතින් ලස්සනයිනෙ. කැමති නම් ලන්තෑරුමකුත් එල්ලන්න පුලුවන්. ඊට පස්සේ කරන්නෙ සුරුවම් තියන එක.

අවට පරිසරය හදන්නත් ඕනනෙ. ඒකට කරන්නෙ සතියකට කලින් විතර වී ගෙනත් පැලවෙන්න දාන එක. එතකොට නත්තල් දා හවස් වෙද්දි වී ටික ලස්සනට පැල වෙලා. එතකොට ගස් වගෙ පේන්න තියන්න පුලුවන්. තව තණකොළ පිඩැලි අල්ලන්න පුලුවන්. එහෙම නත්නම් පාට කරගත්තු පොල්කුඩු එහෙම නැත්නම්ලී කුඩු දාලා බිම හැඩ කරගන්නවා. ලොකූ ගස් පෙන්නන්න ඉතින් මාන පඳුරක් හරි වැටකෙයියා පඳුරක් හරි හිටෝනවා. මේ ක්‍රමේ කොච්චර ශෝයි උනත් වෙලා යන එක තමයි ලෙඩේ. අනිත් එක තමයි අමුද්‍රව්‍ය නැති කම. මේ හරියේ පිදුරු ගහක් බේතකටවත් නෑ. මේ පාර තණකොල වගේ වහලෙට දාන්න වෙන්නේ.

2. රෙඩිමේඩ්
මේක නම් හරිම ලේසී. කඩේට ගියා හදලා තියෙන ගවලෙනක් ගෙනාවා. මේසයක් උඩ තිබ්බා. සුරුවම් ටික තිබ්බා. කජු කනවා වගේ. ඒ වුනාට කෝ ගැම්ම. මේ ක්‍රමේ ජීවිතේට කරලත් නෑ කරන්නෙත් නෑ.

දැන් කොහොමහරි 24 වෙනිදා හවස ගවලෙනක් හැදුවා හරි ගෙනාවා හරි කියමුකො. සුරුවම් තියෙන එක තමා ඊලඟ කාරිය. මොන ගවලෙනක් උනත් ඒක ගවලෙනක් වෙන්න නම් අඩුම ගානෙ සුරුවම් හතරක් තියෙන්න ඕනෙ.

1. ජේසු බිළිඳාගෙ ප්‍රතිමාව
2. මරියතුමීගේ ප්‍රතිමාව
3. ජුසේතුමාගේ ප්‍රතිමාව
4. දේවදූත ප්‍රතිමාව

පල්ලිවල ගවලෙන්වල බොහෝ දුරට ඔය ටික තමයි තියෙන්නෙ. හේතුව තමයි ලොකු සුරුවම් යොදාගන්න නිසා ඉඩකඩ මදිවීම. මීට අමතරව සාමාන්‍යයෙන් ගෙවල් වල නම් තව තව සුරුවම් තියෙනවා.

5. එඬේර ප්‍රතිමා - කැමති ගණනක් තියන්න පුලුවන්
6. රජවරුන්ගේ ප්‍රතිමා - 3ක්
7. බැටළු හෝ ගව පිළිම - කැමති ගණනක් තියන්න පුලුවන්
8. කොටළු පිළිම - 1ක්
9. ඔටු පිළිම - 3ක්

ඊට පස්සෙ ගවලනේ සම්පූර්ණයි. සම්ප්‍රදායක් හැටියට ජේසු බිළිඳාගේ ප්‍රතිමාව ගවලනෙන් තියන්නෙ
මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ.

ගිහිල්ලා එන්නම්. පාරෙදි ගවලෙනක් දැක්කම ඔයාලට මේ කතාව මතක්වෙයි.

12 comments:

  1. ගවලෙන් සෙට් එකට ඔච්චරම පිළිමයි සුරවමුයි දෙන්නේ නෑනේ බොල. දැන් ගවලෙන් සැට් මාරම ගනන්.අර කිව්වත් වගේ කඩෙන් ගෙනත් හදන එකේ කිසිම ගතියක් නෑ. පිදුරු හොයාගෙන අට්ටාලේ ගහලා හදන එක තරම් ආස හිතෙන දෙයක් වෙන නෑ.

    ReplyDelete
  2. ඉස්සරම පාවිච්චිකලේ මැටි සුරුවම් පස්සෙනම් පිටරටවලින් ගේන ප්ලාස්ටික් වගේ ජාතියකින් හදපු සුරුවම් තමා අපි ගවලෙනේ තිබ්බෙ. ලංකාවෙදිනම් ගවලෙන හදන්නෙ අපිමයි දැන් ඉතින් රෙඩිමේඩ්. අපේ ගෙවල් පැත්තෙ පල්ලියකින් කරන වැඩිහිටි නිවාසයක් තියනව. ඒකෙ හදන ගවලෙන හරි ප්‍රසිද්ධයි. ඒක හරිම ලොකුයි, මුළු බෙත්ලෙහෙමම හදනව.පාන් බේකරිය,පල්ලිය ,ගෙවල් ඔය ඔක්කොම හදනව. හරි ලස්සනයි.

    ReplyDelete
  3. @මධුරංග :ඇයි බන් නැත්තෙ.. කොටළුවයි ඔටුවො සෙට් එකයි දෙන්නෙ නැතිවෙන්න පුලුවන් ඒත් අනිත් ටික දෙනවනෙ...පස්ටම ගණන් කියලානම් ආරංචියි වෙලෙන්දො හදන්නෙ ඉතින් මිනිස්සුන්ව මරන් කන්නනෙ..

    අපේ ගෙදර තියන සෙට් එක මටත් වඩා නාකී...ඒත් ටිප්ටොප් එකට තියෙනවා...අලුත් එව්වයේ ඒ තරම් ගතියක් නෑ...

    ඒ සෙට් එකේ ඔටුවෝ නෑ.. අලුතින් අරන් පස්සෙ දැම්මෙ...අවුරුදු දෙකයි මොල්ලිය බිම...

    ReplyDelete
  4. @රෝස කුමාරි :ප්ලාස්ටික් වගේ කියන්නෙ ෆයිබර්ග්ලාස් වෙන්න ඇති...දැන් ඔය ෆයිබර්ග්ලාස් සුරුවම් හරි ජනප්‍රියයි ලංකාවේ...

    අපේ ගෙවල් පැත්තෙ කිව්වෙ එහෙද මෙහෙද? අපිට බලන්නත් එක්ක ඒ ගවලනේ පොටෝ කෑල්ලක් දැම්මනම්...බලන්නත් ආසයි......

    ReplyDelete
  5. ගෙවල් පැත්ත කිව්වෙනම් ලංකාව ගැන. මෙහෙ පින්තූර ටිකක් අරගන පෝස්ට් එකක් දාන්න තමා හිත්න් ඉන්නෙ.

    ReplyDelete
  6. පාස්කු නාට්‍ය පටන් ගන්නේත් ඔය වගේමද ??

    ReplyDelete
  7. @ Hasitha :පාස්කු නාට්‍යය පටන් ගනිත්දීත් ආදම් ඒව කතාව මතක් කෙරෙනවා..

    මම ගිය අවුරුද්දෙ ගියා දූවේ පාස්කු නාට්‍ය බලන්න ...හොඳ අත්දැකීමක්..බ්ලොගයට ලිව්වෙ නැත්තෙ ඡායාරූප ගන්න බැරිවෙච්ච නිසා...

    ReplyDelete
  8. Ape gedarath gawalena hadanawa.. api gamwalane piduru, bata athu,lasiyenma hoya ganna puluwan... api naththal gaha hadanneth Bata athuwalin...

    Re pujawata gihin awith thamai Jesu baba gawalene thiyanne....
    Api punchi kale indala thibuna podi suruwam tikama thamai thama thiyenne...

    Naththala lassna wenne me dewal nisa neda? nathnam kewa biwaa iwarai...

    ReplyDelete
    Replies
    1. "Naththala lassna wenne me dewal nisa neda? " ඇත්ත නේන්නම්.. මහන්සිවෙලා ඔය දේවල් නිර්මාණශීලීව කරනවා කියන එක ලොකු සතුටක්..

      අපි නම් බට අතුවලින් නත්තල් ගස් හැදීම නැවැත්තුවෙ බැලුම් පිපිරෙන නිසා..

      Delete
  9. අපේ පුන්චි එවුනුත් එක්ක මෙදාපාර නත්තල් ගවලෙනෙ බලන්න ගියහම මට මේ කතාව මතක් වෙයි. ස්තුතියි හරී මේ දේවල් පෝස්ට් කරනවට.
    බෞද්ධ පරිසරයක හැදුන වැඩුන මට මේ දේවල් ගොඩක්ම අළුත් !

    ReplyDelete
    Replies
    1. එතකොට 'මින්' කතෝලිකයෙක් නෙමෙයිද? මගේ පෝස්ට් වලට දාපු කෙමෙන්ට්වලින් මම හිතුවෙ ඔයා කතෝලිකයෙක් කියලා.. ස්තුතිය භාරගන්නම්.. ඔයාලා කියවන නිසානෙ මම ලියන්නෙ.. ඉතින් ස්තුතිය ඔයාලටත් අයිතියි..

      Delete
    2. නෑ හරී.
      මම කතෝලික නෙමෙයි. නමුත් පල්ලිය කිට්ටුව තමයි අපි ඉන්නේ.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...