12.20.2011

ඔයත් Secret Santa කෙනෙක්ද?


 ගිය මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා ඉතින් දිගටම දාන්න කියලා මළවුන්ගෙ කතා ටිකක් ලෑස්ති කොරගත්තට මොකද පහක් ඇරෙන්න ඉතුරු එව්වෑ මාතෘකාව විතරයි. දැන් ඉතින් මළවුන්ගෙ මාසෙ පහුවෙච්ච නිසා 2012ටත් මළවුන්ගෙ මාසයක් තියෙයිනෙ කියලා හිත හදා ගත්තා. අද ඉදන් නත්තල් කතා ටිකක් දාන්නයි ලෑස්තිය.

පහුගිය ටිකේම යාලුවො කීපදෙනෙක්ම මහන්සි වුනා Secret Santaලා වෙන්න. මටත් හිතුනා මේ ගැන ලිපියක් ලිව්වොත් හොඳයි කියලා. Secret Santa ගැන නෙමෙයි Santa ගැන. Secret Santa ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ දවස්වල කන්තෝරුවල ජයටම යන සෙල්ලමක්නෙ.


 නත්තල් සීයා, කඩ්ඩෙන් කෙටුවොත් Santa Claus කියන වචනය බිහිවෙලා තියෙන්නෙ Saint Nicholas කියන වචනයෙන්. එතකොට Saint Nicholas කියන්නෙ? Saint Nicholas කියන්නෙ සාන්ත නිකුලස් එහෙමත් නැත්නම් ශුද්ධවූ නිකුලස් කියන එක. එතකොට සාන්ත නිකුලස් තුමා කියන්නෙ නත්තල් සීයද? උත්තරය තව ටිකෙන්.
සාන්ත නිකුලස් තුමා



ශුද්ධවූ එහෙමත් නැත්නම් සාන්ත කියන්නෙ මොකක්ද කියන එක මුලින් කියන්නම්. ඔයගොල්ලන්ට මම කලිනුත් ශුද්ධවන්තයෙක් ගැන කිව්වා මතක ඇති. කෙටියෙන් කියනවානම් ශුද්ධවන්තයෙක් කියලා කියන්නෙ මේ ලෝකෙ යහපත් ජීවිතයක් ගතකරලා ඊට පස්සේ ස්වර්ගයට ගියා කියලා කතෝලික සභාවෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට පුලුවන් අපි වෙනුවෙන් යාච්ඤා කරන්න.

දැන් හැරෙමු සාන්ත නිකුලස් තුමා පැත්තට. සා. නිකුලස් තුමා ජීවත් වෙලා තියෙන්නෙ තුර්කියේ රදගුරුතුමෙක් විදිහට.බොහෝම ත්‍යාගශීලී තැනැත්තෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ පලාතේ හිටපු ගොඩක් දුප්පත් අයට ඒ අයටත් හොරෙන් ගොඩක් උදව් කරලා තියෙනවා. ගොඩක්ම ප්‍රසිද්ධියට පත්වෙච්ච් සිද්ධිය තමයි තමුන්ගෙ දුවලා තුන්දෙනා විවාහ කරදෙන්න බැරිව හිටපු පියෙකුට උදව් කිරීමේ සිද්ධිය. ඒ වගේම දිග රැවුලක් තිබුනා කියලත් සඳහන් වෙනවා. පස්සෙ කාලෙක නිර්මාණය වුනු නත්තල් සීයා කියන ප්‍රබන්ධයට මූලික වෙලා තියෙන්නෙ සාන්ත නිකුලස් තුමාගෙ චරිතය තමයි. එතකොට නත්තල් සීයා කියන්නෙ 100%ක් සා. නිකුලස් තුමාම නෙමෙයි.

පියෙකුට උදව් කිරීමේ සිද්ධිය
කතාවල කියවෙන විදිහට නත්තල් සීයා නත්තල් දා රෑට ගෙවල් ගානෙ එනවා තෑගි බෙදන්න. ලෝකයා කියන විදිහට නම් නත්තල් සීයා ඉන්නේ උත්තර ධ්‍රවයේ. එහෙ ඉඳගෙන අවුරුද්ද පුරා කරන්නෙ තෑගි ලෑස්ති කරන එක ළමයින්ට දෙන්ට. පොඩි වැඩක්ද ලෝකෙටම තෑගි දෙනවා කියන්නෙ. ඒ වගේම බලන් ඉන්නෙ හොඳ ළමයි කවුද නරක ළමයි කවුද කියලා. ඊට පස්සෙ නත්තල් කිට්ටු වෙද්දී ලිස්ට් එක එහෙම හදලා පිනි මුවෝ බැඳපු හිම කරත්තෙ නැගලා හොඳ ළමයි ඉන්න ගෙවල් වලට එනවා.

"ඉතින් අම්මේ, අපේ පාලෙ බොලලුනෙ කොහොමත නත්තල් තීයා එන්නෙ " මගේ යාලුවෙක් පොඩිකාලෙ කියපු කතාවක්

අපිට පොඩිකාලෙ තෑගි තියලා ගියේ කොට්ටෙ යට වුනාට සුදු පැටවුන්ට නම් තෑගි තියන්නෙ මේස් කකුලකලු. ආරංචියේ හැටියට නත්තල් සීයා දාන තෑගි වැටෙන්නෙ කියලා ගිනි උඳුන ළඟ මේස් කකුලක් එල්ලන එක ඒ රටවල සිරිතක්ලු. Mr. Bean බලපු අයට නම් මතක ඇති උන්දා මේස් කකුල් තුනක් එල්ලනවා මිනිහටයි, ටෙඩියටයි, මීයටයි.

අපි ඉතින් දෙන දෙයක් බාර අරන් හිටියට ඉතින් සුද්දො එහෙමද උන් නත්තල් සීයට ලියුම් දානවලු. නත්තල් සීයෙ මට මෙදා නත්තලට අහවල් එක ඕනා. අරක ඕනා. මේක ඕනා කියලා. ඔහොම නිකන් දෙන එකක් අරන් පැත්තකට වෙලා ඉන්නේ නැති පොඩි උන්දලා හින්දම සමහර රටවල නිලදාරි ගොල්ලත් පත් කරලලු තියෙන්නෙ එන ලියුම් කියවලා උත්තර යවන්න. කැනඩාවෙ නත්තල් සීයට ඇඩ්‍රස් එකකුත් තියෙනවා.

Santa Claus,
North Pole,
Canada.
H0H 0H0

කැමති කෙනෙක්ට පුලුවන් ඔය ඇඩ්‍රස් එකට ලියුමක් යවලා ඇඩ්‍රස් නැතිවෙන තෑගි ටිකක් ඉල්ලන්න.

ප. ලි. :මේ ටිකත් කියන්න ඕනි. නත්තලට පිරිසක් කාලා බීලා ජොලි කරන අතරේ තව පිරිසක් ඉන්නවා කන්න අඳින්න දෙයක් නැති ඉන්න හිටින්න තැනක් නැති. ජොලි කරන එක වරදක් නෙමෙයි ඒත් පොඩ්ඩකට හිතන්න පුලුවන් නම් ජීවිතේ විඳවන අය ගැන. වැඩිදුර යන්න ඕනෙ නෑ. සමහරවිට ඔයගොල්ලන්ගේම අසල්වාසීන්, සහෝදරයෝ, නෑදෑයෝ ඇති. ඒ අයට පුංචි හරි උදව්වක් කරන්න ඔයාලට පුලුවන් නම්, මේ නත්තලේ Santa කෙනෙක් වෙන්න ඔයාලටත් පුලුවන්. මට මතක් වුනා මර්සලින් ජයකොඩි පියතුමාගේ කවියක්.

මගේ නත්තල දුගියා බත් කන          දාය
මගේ නත්තල වැරහැලි නැති වන     දාය
මගේ නත්තල ඔබේ අත සැනැසෙන දාය
මගේ නත්තල පව පල්ලිය යන         දාය

15 comments:

  1. අඩේ නත්තල් සීයා දැන් සෙල්ලම් භාණ්ඩයක් වෙලඳ භාණ්ඩයක් වෙලා. උබට කියන්න වත්තල කිට්ටුව ලී බඩු කඩේක පුටුවක් නත්තල් සීයා කරලා. මට යස්ස කේන්තියි.

    නත්තල් කතා ටිකකුත් කියමු.

    ReplyDelete
  2. ඇයි තව බිස්කට් සහ කිරි වීදුරුවක් නත්තල්දා රෑට මේසෙ තියනව නත්තල් සීයට බඩගිනි නිවාගන්න. ලඟදි මෙහෙ ඇඩ් එකක් ගියා වයසක නත්තල් සීය අමාරුවෙන් එනව දැකල කිරි වෙනුවට පේන් කිලර් එකක් තියල තියන.:) දැන් ඔය හැමදේම වෙළෙන්දො තමාට ඕඅන හැටියට වෙනස් කරල.

    ReplyDelete
  3. @මධුරංග :ඒක නම් ඇත්ත වෙලෙඳන්ට ඉතින් අම්මා තාත්තා හරි කමක් නෑ මාර්කට් කරන්න පුලුවන් නම්....

    වත්තල කඩේ නම් මාත් දැක්කා.... ඔය හොඳයි අවුරුදු ගාණකට කලින් පත්තරේ ඇඩ් එකකුත් ගියානෙ...නත්තල් සීයා පොල්ගහක් දිගේ යනවා...පොල් හොයන්න.....

    නත්තල් කතා ටිකක් කියන්න තමා ඉන්නෙ...

    ReplyDelete
  4. @රෝස කුමාරි : මමත් අහලා තියෙනවා එහෙම චාරිත්‍රයකුත් තියෙනවා කියලා...

    ලෝකෙ කතෝලික හැමෝම එකම ආගමක් ඇදහුවාට රට රටවල චාරිත්‍ර වෙනස්..ඒවා අතර හරිම අපූරු චාරිත්‍ර තියෙනවා...උදාහරණයකට කිව්වොත් ලංකාවේ කතෝලිකයෝ බඳින නූල් වෙන කිසිම රටක නෑනෙ..

    මේ කාලෙ ඇඩ් වලට නත්තල් සීයා නැතුවම බෑ...

    රෝස කුමාරි කොයි රටේද කිව්වනම්...

    ReplyDelete
  5. එල එල. අල නොකර ඉක්මනටම ලියන්න පුලුවන් නම් හොදයි. නත්තලුත් අත ලඟටම එනවා. :)

    ReplyDelete
  6. මමත් ඉතින් ලංකාවෙම තමා හී හී හී. දැනට ජීවත්වෙන්නෙනම් හඳ අල්ලපු රටේ.:)

    ReplyDelete
  7. @මධුරංග :අම්මෝහ්...දෙකක්ම ලිව්වා...

    @රෝස කුමාරි : හඳට පය තිබ්බ රට නම් දන්නවා හඳ අල්ලපු රට දන්නේ නෑනෙ... :P

    ReplyDelete
  8. ඒ රට තමයි.පය තිබ්බට මොකො මෙයාල ඉන්නෙ හඳ අල්ලගත්ත ගානටනෙ.

    ReplyDelete
  9. සැබෑ නත්තල් සීයා ඉන්නේ අපේ හදවතේ. අපි හැමෝටම නත්තල් සීයෙක් වෙන්න පුලුවන්

    ReplyDelete
  10. @Hasitha :නත්තල් සීයා කියන්නේ පරිත්‍යාගයේ සංකේතය...අපි පරිත්‍යාශීලී වෙනවානම් අපිත් නත්තල් සීයෙක්....

    ReplyDelete
  11. පරණ පෝස්ට් එකක්නේ. කමක් නැහැ.
    අපි පොඩි කාලේ නත්තල්දා රෑ පල්ලි යනකොට ගෙයි ජනේලයක් ඇරලා තියල යනවා නත්තල් සීයට එන්න. ගිහින් එද්දී නත්තල් සීයා නත්තල් ගහ යට තෑගි තියල ජනේලෙත් වහගනම ගිහින්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ පෝස්ට් කවදාවත් පරණ වෙන්නේ නෑ මම හිතන හැටියට නම්..ඕනා වෙලාවක කමෙන්ට් කරන්න විවෘතයි..කවුරුහරි යම් කාලෙක සිංහලෙන් සොයන්න ගත්තාම..ඒ අයට අවශ්‍ය තොරතුරු දෙන්නත් එක්ක තමයි මම මෙව්වා ලියන්නෙ :)

      පොඩි කාලෙ තරම් සුන්දර නත්තලක් ආයෙ එන එකක් නෑ..

      Delete
  12. අද තමා මන් ඔයාට 01 වෙනි comment එක දාන්නෙ ඔයගෙ බ්ලොග් එකෙ වැදගත් ලිපි ගොඩක් තියෙනවා මන් එවා කියවමින් ඉන්නෙ ස්තුතිය මෙ වගෙ ලිපි බ්ලොග් අවකාශයට එකතු කරාට

    ReplyDelete
  13. ජර්මනියේ සැම පාසැලක් පල්ලියක්ම වගේ සමරණවා St. Martin's day
    ලස්සන ලන්තෑරුමක් හදලා St. Martin සින්දු කිය කිය පෙරහැරෙ යන්න බෞද්ධ අපි උනත් මුස්ලිම් අය වුනත්ම හරීම ආසයි

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...