12.30.2011

ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?

මුලින්ම අපි බලමු ශුද්ධවන්තයෙක් කියන්නෙ කවුද කියලා. කතෝලික සභාවෙ පිළිගැනීමට අනුව කාලයක් මේ ලෝකෙ ජීවත්වෙලා දැන් ස්වර්ගයේ ඉන්න කෙනෙක් තමයි ශුද්ධවන්තයෙක් කියන්නෙ. මේ ලෝකෙ හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනා ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගත හැකි සාක්ෂි තියනවා නම් කතෝලික සභාව නිවේදනය කරනවා ශුද්ධවන්තයෙක් හැටියට. මේ නිල වශයෙන් නිවේදනය කිරීම තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නෙ.


තෙරේසා මව්තුමිය
මතක තබාගත යුතු විශේෂ දෙයක් තියෙනවා. කෙනෙක් ශුද්ධවන්ත භාවයට පත් කිරීමට කතෝලික සභාවට හැකියාවක් නෑ. කතෝලික සභාවට පුලුවන් ශුද්ධවන්තයෙක් බව හඳුනාගෙන නිවේදනය කිරීම පමණයි. කෙනෙක් ශුද්ධවන්ත වන්නේ ඔහුගේ ක්‍රියා වලින් පමණයි. ඒ කියන්නෙ ශුද්ධවන්තයෙක් විදිහට තෝරාගන්න නම් ඒ කෙනා හොඳ චරිතයක් තිබුණු, සමාජයට විශාල මෙහෙවරක් කරපු, සමාජයෙන් විශාල පිළිගැනීමක් ලැබුණු, ආගම ධර්මයට ලැදි කෙනෙක් වෙන්න ඕනා. ළඟම උදාහරණයක් ගත්තොත් තෙරේසා මව්තුමිය වගේ.

කෙනෙක් ශුද්ධවරයට ඔසවනවා කියන්නෙ සුලුපටු කාර්‍යක් නෙමෙයි. බොහොම වෙහෙසකර වගේම බොහෝකල් ගතවන දෙයක්. මේ කාලය අවුරුදු දහය පහලොවේ ඉඳන් අවුරුදු සිය ගණනක් දක්වා ඇදෙන්න පුලුවන්. මේ කාලය අතරතුර අදාළ පුද්ගලයා ශුද්ධවන්තභාවයේ නොයෙකුත් කඩයිම් පසුකරනු ලබනවා. මම ඒ එක එකක් ගැන කෙටියෙන් කියන්නම්කො.

ශුද්ධවන්තභාවයට එසවීමේ මුල්ම අඩිතාලම වැටෙන්නේ අදාල පුද්ගලයාගේ ගමෙන්. පිරිසක් එකතුවෙලා තම ගමෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ශුද්ධවරයට ඔසවන ලෙස ඉල්ලීමක් කරන්න පුලුවන්. මේ ඉල්ලීම කරන්න ඕනා මීසමේ පියතුමා හරහා පළාතේ රදගුරු තුමාගෙන්. රදගුරුතුමා අදාළ කාරණා විමසා බලලා සුදුසු නම් වතිකානුවේ තිබෙන ශුද්ධවන්තභාවයට පත්කිරීම පිළිබඳ කමිටුවෙන් (Congregation for the Causes of Saints) ඉල්ලීමක් කරනවා අදාළ පුද්ගලයා ශුද්ධවන්තභාවයට පත් කිරීමට සලකා බලන ලෙස. මේ වගේ ඉල්ලීමක් කරන්න නම් අඩුම ගානේ පුද්ගලයා මියගිහින් වසර 5ක් වත් ගතවෙලා තියෙන්න ඕනා. අති විශේෂ අවස්තා වලදී විතරයි මේ නීතිය ලිහිල් කරන්නේ.

1. දේව සේවක (Servant of God) - පළාතේ රදගුරු තුමන් කරණු ලැබූ ඉල්ලීම සලකා බැලීමට කමිටුව කැමතිවීමෙන් පුද්ගලයාට දේව සේවක තත්වය පිරිනැමෙනවා.

ඉන්පසු සිදුවන්නේ පුද්ගල චරිතය පිළිබඳ ගැඹුරින් සොයා බැලීමයි. ඔහු හෝ ඇය ජීවත්වූ වටපිටාව, ඇසුරු කල පුද්ගලයන්, ලියූ ලිපි හෝ පොත්පත් ආදී ඔහුට සම්බන්ධ සෑම දෙයක් පිළිබඳවම ඉතා ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබීමයි. මෙහිදී ඔහුගේ චරිත ස්භාවයන් ශුද්ධවන්ත මට්ටමට සුදුසුදැයි සොයාබලන අතරම ඔහු කළ සමාජමෙහෙවරෙහි සැබෑ අරමුණ කුමක්ද යන්නත් සොයා බැලෙනවා.

2. වන්දනීය(Venerable) - ශුද්ධවන්තභාවයට පත්කිරීම පිළිබඳ කමිටුව පුද්ගල චරිතයත් සමාජ මෙහෙවරත් ගැන සෑහීමකට පත්වේ නම් වන්දනීය තත්වය පිරිනමනු ලබනවා.

වන්දනීය තත්වයට පත්කළ පසුව සලකා බැලෙන්නේ ඔහු ස්වර්ගයේ සිටීම පිළිබඳ සාක්ෂි සෙවීමයි. සාක්ෂි වශයෙන් යොදාගන්නේ වන්දනීය තැනැත්තාගේ අනුහසින් සිදුවන ප්‍රාතිහාර්යක්. විවිධකාර ප්‍රාතිහාර්ය සිදුවිය හැකි වුවත් බොහෝ ප්‍රසිද්ධව පවතින්නේ අරුම පුදුම ලෙස සුවය ලැබීමේ ප්‍රාතිහාර්යයි. උදාහරණයක් විදිහට දෙවන ජුවාම් පාවුලු පාප්තුමා භාග්‍යවරයට එසවීමේදී සළකා බැලූ ප්‍රාතිහාර්යය දක්වන්න පුලුවන්. මාරි සිමොන්පියර් කියන ප්‍රංශ කන්‍යා සහෝදරියක් පාකින්සන් රෝගෙන් පීඩා විඳිමින් ඉන්නකොට දෙවන ජුවාම් පාවුලු පාප්තුමාගේ මැදහත්කම ඉල්ලලා යාච්ඤා කරලා තියෙනවා. ඊටපස්සේ දවසක් රෑ එතුමාගේ නම ලියලා නිදා ගත්තු ඇය පහුවෙනිදා අවදිවෙලා තියෙන්නෙ සම්පූර්ණයෙන් නිරෝගී කාන්තාවක් හැටියට. මේක දෙවන ජුවාම් පාවුලු පාප්තුමාගේ මැදහත්කම අනුව සිදුවුනු ප්‍රාතිහාර්යක් හැටියට තමා සළකන්නෙ.

ඒත් නිකං කියූ පමණින් ප්‍රාතිහාර්යක් ලෙස සලකන්නේ නෑ. යම්කිසි දෙයක් පිළිබඳ ඇසින්දුටු සාක්ෂි තිබූ පමණින්වත් ප්‍රාතිහාර්යක් ලෙස සලකන්නේ නෑ. විශේෂඥ භෞතික විද්‍යාඥයින්, මනෝ විද්‍යාඥයින්, වෛද්‍යවරුන් ආදී ප්‍රවීණයන් රැසකගේ අධ්‍යනයෙන් පසුව විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නොහැකි වුවහොත් ප්‍රාතිහාර්යක් ලෙස සළකනු ලබනවා.

මියගියායින් පසු සිදුවන ප්‍රාතිහාර්ය වලට අමතරව ඔහු ජීවත්ව සිටිකාලයේදී සිදුවූ ප්‍රාතිහාර්ය, මියගොස් බොහෝකාලයකට පසුවත් සිරුරු කොටස් නොදිරීම, මිය ගොස් බොහෝකාලයකට පසුත් සිරුරින් ලේ වහනය වීම, මළසිරුරින් සුගන්දයක් විහිදීම වැනිදේද ශුද්ධවන්ත තත්වයට පත්කිරිමේදී සාක්ෂි වශයෙන් යොදාගන්න පුලුවන්.

3.භාග්‍යවන්ත (Blessed) - අවම වශයෙන් එක් ප්‍රාතිහාර්යක් සිදුවුනාට පසු වන්දනීය තැනැත්තාව භාග්‍යවරයට එසවීම (Beatification ) සිදු කරණු ලබනවා.

අවසාන වශයෙන් ශුද්ධවරයට එසවීමට පෙර තවත් ප්‍රාතිහාර්යක් බලාපොරොත්තු වෙනවා.

4.ශුද්ධවරය(Saint) - තවත් සළකා බැලීම් වලින් පසු හා පාප්තුමාගේ අනුමැතියෙන් පසු ශුද්ධවරයට එසවීම (canonization) සිදුකරණු ලබනවා. අවුරුදු ගණනාවක ක්‍රියාවලිය නිමාවට පත්වන්නේ පාප්තුමා විසින් ශුද්ධවරයට එසවීමේ නිල නිවේදනය සිදුකළ පසුවයි.

සෑම ශුද්ධවන්තයෙකුටම මංගල්‍ය දිනයක් ලැබෙන අතර එදින එතුමන්ව සිහිකිරීම සිදුවෙනවා. ඒ වගේම විශේෂයෙන් මැදහත්කම ඉල්ලිය යුතු ක්ෂේත්‍රයකුත් වෙන්වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් නැතුවූ දේ සොයා දීම සඳහා පිහිට ඉල්ලන්නේ ශු.අන්තෝනි මුනිතුමාගෙන්. ක්ෂේත්‍රයක් වෙන්වීම සිදුවන්නේ බොහෝදුරට ජීවන චරිතය පාදක කරගෙන.

ඔය විදිහට කතෝලික සභාව විසින් පත්කළ ශුද්ධවන්තයින් 3,000කට ආසන්න ගණනක් සිටිනවා. ශුද්ධවන්තයින් කියන්නෙත් අප වැනිම මිනිස් ආත්ම තිබූ පිරිසක් ඒ අය දෙවියන් වශයෙන් සළකන්නේ නෑ. අප ශුද්ධවන්තයන්ගෙන් ඉල්ලන්නේ අප උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වන ලෙස පමණයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශුද්ධවන්තයන් නැද්ද?

ජුසේවාස් පියතුමා
ශ්‍රී ලාංකික ශුද්ධවන්තයන් ගැන කියනවිට දෙදෙනෙක් මතක් කරන්න පුලුවන්. 1687දී ගෝවේ ඉඳලා ආපු ජුසේවාස් පියතුමා(Joseph Vaz) හා තෝමස් කාදිනල් කුරේ(Thomas Cooray) හිටපු අගරදගුරුතුමා.

ජුසේවාස් පියතුමා දැන් භාග්‍යවරයෙක්. එතුමා ශ්‍රී ලංකාවේ අපෝස්තුලුවරයා විදිහට තමයි සළකන්නේ. තෝමස් කුරේ හිමිපාණන් දේව සේවක තත්වයේ පසුවෙනවා.







මූලාශ්‍ර:

ප.ලි. : පහත කරුණු කරුණාවෙන් සළකන්න.
1.ලිපිය සරලව කෙටියෙන් ලිවීමට උත්සාහ කළබැවින් සමහර ගැඹුරින් විස්තර කළයුතු කරුණු මඟහැරී තිබිය හැක.
2. සමහර ඉංග්‍රීසි වචන සඳහා සිංහල වචන මා විසින් යොදා ඇත. ඊට අදාළ ඉංග්‍රීසි වචනයද වරහන් තුළ යෙදීමි.

10 comments:

  1. මේක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි එහෙනම්.
    මේ දවස්වල අර නෝමත් කාදිනල් තුමාව භාග්‍යවරයට ඔසවන්න හදනවා කියලා ආරංචියි.

    ReplyDelete
  2. @Ano :ප්‍රතිචාරය පැහැදිලි නෑනෙ...

    @මධුරංග : ඔව් අවුරුදු සිය ගාණක වැඩක්...
    එහෙම සූදානමක් තියෙනවා තමයි..හොඳම වැඩේ මොකක්ද දන්නවාද? ඔය කාදිනල් තුමා භූමදාන කරලා තියෙන්නෙ තේවත්ත බැසිලිකාවෙනෙ..එතන පොතක් තියලා තියනවා තමුන්ගෙ යම් ප්‍රශ්නයකදී කාදිනල් තුමාගේ මැදහත්කම ඉල්ලලා පිහිටක් හම්බවුනානම් ලියන්න කියලා..එහෙම කරලා තියෙන්නෙ ප්‍රාතිහාර්යක් බලාපොරොත්තුවෙන්... මම දවසක් ඔය පොත කියෙව්වා...අපේ උන්දලා මොනවද දන්නවද ලියලා තිබ්බේ අනේ මට අරක දෙන්න මේක දෙන්න කියලා....

    ReplyDelete
  3. apostu .....clarifiy

    ReplyDelete
  4. @Ano :ඔබතුමා කියන්නේ අපෝස්තුළුවරයා කියන එක පැහැදිලි කරන්න කියලද? මට තේරුනේ ඒ විදිහට...වැරදීමක් නම් කියන්න..

    ReplyDelete
  5. බොහොමත්ම පිං නොදැන හිටි දෙයක් පිළිඹඳව දැනුවත්වීමක් කලාට.. මේ ගැන නොදන්න ඕන කෙනෙකුට සරළ අවබෝධයක් ගන්න පුළුවන් වෙන විදියට ලියලා තියෙනවා..

    ගොඩක් ස්තූතියි ආයෙමත්...!!

    ReplyDelete
  6. ගොඩක් අයට සරලව තේරුම් යන්න ඕනා නිසා තමයි මම සෑහෙන්න ගැඹුරු කාරණා අතහැරලා ලිව්වෙ...බරට ලිව්වත් තේරෙන්නේ නැත්නම් වැඩක් නෑනෙ..

    ReplyDelete
  7. භාග්‍යවරය සහ ශුද්ධවරය ගැන අහලා තිබුණත් මේ අනිත් තත්ව ගැන මුල් වතාවටයි ඇහුවේ. කිතුණු දහමේත් මේ වගේ සම්ප්‍රදායන් වගේම ආගමික චාරිත්‍ර ගැන ලිපි ලියවෙන එක අගය කරන්න ඕනේ. කාලයක් මධුරංග අයියාත් ඒ කාර්යය කළා. ඒ වගේම ධර්මෝපදේශකයා බ්ලොග් එක ලියන කෙනාත් ඒ කාර්යය කරපු අය.

    ඔබෙනුත් ඒ කාර්යයන් ඉදිරියට සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පාප් ධූරය ඇතිවූ ආකාරය ගැන ලිපි පෙළක් ලියන්න පුලුවන් නම් හුඟක් හොඳයි

    ReplyDelete
  8. @Hasitha: මුලින්ම බොහොම ස්තුතියි ඔබගේ දිරිමත් කිරීමට...

    මධුරංගත් ක්ලෙමන්ට් මහත්මාත් මේ සම්බන්ධව බොහෝ දේවල් ලියා තිබෙනවා..ඒ දෙදෙනාවත් මේ මොහොතේ මතක් කරන්න ඕනා...ඒ වගේම මේ ඔස්සේ ලියන තවත් බ්ලොග්කරුවන් ඉන්නවා...

    මම බොහෝදුරට මේ වගේ ලිපි ලියන්නෙ මගේ යාලුවන්ගේ ඉල්ලීම් අනුව..ඒ අය නොදන්න දෙයක් ගැන අහපුවාම ගොඩක් දෙනෙකුට දැනගන්නත් එක්ක ලිපියක් ලියනවා..මම ඉදිරියටත් ඒ දේ කිරීමට බලාපොරොත්තු වෙනවා...

    ඔබේ ඉල්ලීමත් ඉටු කරන්නම්...බොහොම ස්තුතියි!

    ReplyDelete
  9. Thank you very much for your great job.
    Keep going ❤️❤️❤️🌹

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...