12.23.2011

මෙදා නත්තලට කැරොල් එකක් යමුද?

දැනුයි ගවලනේට තණකොල කපන්න ගිහින් ආවේ. නත්තල් ගහටත් කස අත්තක් ගෙනාවා. ටිකක් කම්මැලි හිතුනත් පස්සෙ හිතුනා ඔන්න ඔහේ තව කතාවක් කියන්ට. නත්තල් සීයා කම්මැලි නැතුව ලෝකෙටම තෑගි බෙදනවා නම් අපි කම්මැලි වෙලා කොහොමද?


නත්තල් කැරොල්
කැරොල්, කැරොල් කියන්නෙ මොනවද? කතෝලික නොවුනත් ඕක එච්චර අමුතු වචනයක් වෙන්න බෑ. ඇත්තටම කැරොල් කිව්වොත් තේරුම් ගොඩක් තියෙනවා. නත්තල් කාලෙ ගැන කියවෙන ගීතිකා වලට කියන්නෙත් කැරොල් කියලා. හැමෝම අහලා ඇතිනෙ ගවහලේ, කලකට පෙර ඒ බෙත්ලෙහෙම්, බෙත්ලෙහෙම් පුරේ වගේ සිංහල කැරොල්. ඒ වගේම නත්තල් ගීතිකා කියන ප්‍රසංග වලට කියන්නෙත් කැරොල් කියලාම තමයි. ඒ ප්‍රසංග ගැනත් ඕගොල්ලෝ අහලා ඇති අවුරුද්දකට සැරයක් කැම්පස් වල එහෙම තියනවනෙ. ඔය පිංතූරෙ බලන්නකො. හරියට වෙසක් කාලෙට භක්ති ගීත කියනවා වගෙයි. වෙසක් කාලෙට බොදු බැති ගී නත්තලට කිතු බැති ගී. හැබැයි අද කියන්න යන්නේ ඔය දෙකම නෙමයි. නත්තල් කාලෙට පුංචි සොමියක් ගන්න කොලු කුරුට්ටො කරන (කෙලි පොඩ්ඩියොත් නැතුවම නෙමෙයි ) වැඩක් ගැන. ඒකට කියන්නෙත් කැරොල් තමයි.

කැරොල් එකක් යන්න කට්ටිය සෙට් වෙන්නෙ ඉස්කෝලෙ නිවාඩු දුන්නට පස්සෙ. මේකෙදි ගමේ ඉන්න වැඩිහිටියෝ දෙතුන් දෙනෙක් එහෙමත් නැත්නම් ටිකක් කරදඬු උස් මහත් වෙච්ච අයියලා දෙතුන් දෙනෙක් තමයි මූලිකත්වය ගන්නෙ. මොකද පොඩ්ඩන්ට හොඳ මගපෙන්වීමක් තියෙන්න ඕනනෙ. "අපි මෙදා නත්තලට කැරොල් එකක් යමුද?" කියලා කට්ටිය සෙට් වෙලා පටන් ගන්න වැඩේ "අපි මෙදා කැරොල් එකක් යන්නයි යන්නේ " කියලා තව තව උන්ට කිව්වට පස්සේ උනුත් "අපිත් එන්නද?" කියලා අහලා වැඩේට සෙට් වෙනවා.

දැන් කට්ටිය සෙට්. කැරොල් එකක කණ්ඩායම් කීපයක් ඉන්නවා වාදකයෝ, ගායකයෝ, නලුවෝ තව සපෝටිව් ස්ටාෆ් එක. එක එකාගේ හැකියාව හා බැරි වුනත් ආසාව අනුව වැඩ බාරගන්නවා. එහෙම නැත්නම් බාරදෙනවා. වාදකයෝ කොහෙන්හරි හොයාගත්තු ඩෝලයකට, එස්-රේ බෝඩ් ඔට්ටොපෑඩ් එකකට තලනකොට ගායකයෝ ගීතිකා කියනවා. නලුවෝ ඒවාට අනුව රඟනවා. ඔහොම ඉතින් නත්තල් දා (25 වෙනිදා) වෙනකන් ඉතින් ප්‍රැක්ටිස් තමයි. 25 වෙනිදා රෑට තමයි කලේලි මංගල්ලෙ. ඔය අතරෙ නලුවන්ට ඕන කරන ඇඳුම් ආයිත්තම් ටිකත් රෙඩි කොර ගන්නවා.

කැරොල් එක පටන් ගන්න කලින් චරිත ටික කිව්වොත් හොඳා වගේ. අමුතුවෙන් කියන්න දේකුත් නෑ ගවලනේ චරිත ටිකම තමයි. එක්කො සුට්ටක් කියන්නම්.

1.නත්තල් පප්පා - කැරොල් එකේ ප්‍රධාන චරිතෙ. නත්තල් පප්පා තමයි ආතල් සපයන එහෙම නැත්නම් විකට චරිතෙ. රතු පාට ඇඳුමක් ඇඳලා වෙස් මූනක් දාගෙන බහුබූතයා වගේ බඩකුත් දාගෙන තමයි එන්නේ. එක අතක බැලුන් පුරෝපු හැරමිටියක් අනිත් අතේ ටොපී පුරෝපු මල්ලකුත් තියෙනවා.

2.ජුසේ තුමා - රැවුලක් අලෝගන දුඹුරු පාට ලෝගුවක් ඇඳන් ඉන්නෙ. එක අතක බස්තම.

3.මරිය තුමී - නිල් පාට සාරියක් ලෝගුවක් විදිහට ඇඳපු නංගියෙක්ව තමයි ගන්නෙ. කෙල්ලෙක් නැත්නම් ඉතින් කොල්ලෙක්ව අන්දලා ගන්නවා.

4.ජේසු බබා - බෝනික්කෙක්

5.රජවරු - අම්මලාගෙ දිලිසෙන සාරි ලෝගු වගේ හදාගන්නවා. ඊට පස්සේ සරුව පිත්තල කොල වලින් ඔටුන්නකුත් හදලා තෑග්ගකුත් ගන්නවා අතට.

6. එඬේරු - ගෝනි ඇඳලා හරිම දුප්පත් විදිහට ඉන්නවා.

7.දේවදූතයෝ - කාඩ්බෝඩ් තටු දෙකක් හයි කරගෙන සුදු සාරියක් ලෝගුවක් කරගෙන ඉන්නෙ.

අද දෙසැම්බර් 25වෙනිදා වෙලාව රෑ හතයි ඔන්න කැරොල් පටන් ගන්නයි යන්නෙ. රංග වස්ත්‍රාභරණයෙන් සැරසුන නලුවොයි අනිත් කණ්ඩායමයි තමුන් පුරුදු වුන දර්සනේ දාන්න ගෙවල් ගානෙ එනවා. පොඩි එව්වන්ට නම් ඉතින් රජ මඟුල්. නත්තල් සීයාගෙන් ටොපී එහෙම ඉල්ලගන්න පුලුවන්නෙ. ගෙදරකට ආවට පස්සෙ අවසර අරන් ගීතිකාවක් දෙකක් කියලා පොඩි වෝමප් එකක් දෙනවා මුලින්ම. ඊට පස්සෙ "කලකට පෙර ඒ" ගීතිකාව ගහනවා. ඔය ගීතිකාව නොගහන කැරොල් එකක් මගෙ ජීවිතේට දැකලා නෑ. ගොඩක් කට්ටිය අහලා ඇතිනෙ ඔන්න මම ඒකත් දැම්මා.
කලකට පෙර ඒ.....
හරි පද හොයාගැනීමට නැත. ඒක හින්දා මම තියෙන එකක් දැම්මා. ඕකෙ තුන් වෙනි කොටසෙ යට පද දෙකයි උඩ පද දෙකයි මාරු වෙන්න ඕනා.

ඔය ගීතිකාව පටන් ගනිද්දී මරියතුමියි, ජුසේ තුමයි, ජේසු බබයි, දේවදූතයොයි වේදිකාවෙ ඉන්නෙ. "දුප්පත් එඬේරු" කෑල්ල කියද්දිම කොහෙහරි මුල්ලක ඉන්න ගෝනි කඩමලු පොරොව ගත්තු කොල්ලො ටික ඇවිත් ජේසු බබා ගාව දණගහනවා. ඊට පස්සෙ රජ්ජුරුවන්ගෙ වාරෙ "රජතුන් කට්ටුව" කෑල්ල කියද්දි උන්දලත් ඇවිත් හිස් පෙට්ටි ටික තියලා උඩ දාගෙන වඳිනවා. ඔය ගීතිකාවට පස්සෙ පොඩ්ඩක් නැගලා යන එව්වා තමයි ගහන්නේ.

හොඳම කෑල්ල තියෙන්නෙ අන්තිම ගීතිකාව ගහද්දි ඒක තමයි "පුළුන් වගේ සුදු රැවුල දිගයි". එතකොට බැලුන් පොල්ලයි ටොපී මල්ලයි අරන පප්පා පනිනවා මැද්දට. බඩ කරකෝ කරකෝ ඩාන්ස් තමයි. පොඩි එවුන්ට ටොපී දෙනවා ඔලුව අතගානවා. පොඩි එවුන් ඉල්ලුවොත් බැලුමක් එහෙමත් දෙනවා. ඒ සින්දුව ඉවරවෙනකොට ඉතින් වැඩේ අහවරයි. ගෙදරින් දෙන සංග්‍රහයකුත් භුක්ති විඳලා කවරෙකට දාපු කොලයක් දෙකකුත් අරන් තමයි යන්නෙ. පොඩි එව්වො ඉතින් ඔව්වා කරන්නෙ සල්ලි බලන් නෙමෙයි ඉතින් ඔය චූටි ගාණකුත් උන්ට මහමෙරක් වගේ. ඊට පස්සෙ ඉතින් තව ගෙදරකට යනවා. ඔහොම නත්තල් සුමානෙම ඇවිදින එක තමයි කරන්නෙ. හරිම ජොලි කාලයක්.

කැරොල් ව්‍යාපාරෙකට කරන අයත් ඉන්නවා. ඒ ගොල්ලෝ ඉතින් හොඳට ඇඳුම් මහලා හොඳ හොඳ සංගීත භාණ්ඩ අරන් තමයි එන්නෙ. පොඩි උන්ට වඩා ඉන්නෙ ලොකු උන්. ඒ නත්තල් සීයලා එන්නෙ පෝසත් ගෙවල්වලට විතරයි.

කොච්චර විස්තර කිව්වත් මට නම් තාම කැරොලක් යන්න වෙලා නෑ. ඒකත් අර පොත් හීනෙ වගේම පොඩි කාලෙ බොඳවෙලා ගියා. මාසයක් පුරා ලෑස්ති වෙච්ච කැරොල් එක අන්තිම මොහොතෙ චකබ්ලාස්ට් වුණා. සමහර වැඩිහිටියෝ තමුන්ගෙ පොඩිහිටියන්ව එවන්න බෑ කිව්ව නිසා. බලමුකො ලබන අවුරුද්දෙවත්.

11 comments:

  1. මම ආස කරනම කැරොල් ගීය තමයි ඔය කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ කියලා කියන්නේ. අහන්න අහන්න ආසයි. අපේ පල්ලියෙත් කැරොල් උත්සවයක් තිබ්බා. මට බලන්න යන්න උනේ නෑ වැඩ නේ.

    ReplyDelete
  2. පොඩි කාලෙ මම ගිහින් තියනව ඔය කැරොල් වලට.ගොඩක් ඒව ඉතින් ඔය අපේ ගෙවල් වල අයට පෙන්න කරන ඒව. එකම එක පාරක් මගේ ඥාති සහෝදරයො ටිකත් එක්ක අසල්වැසි ගෙවල් වලටත් ගියා.ඒ කාලෙ මගෙ වයස අවුරුදු 5ක් විතර,ගෙඩරත් නොකිය තමා අර අයියල ටික මාවත් එක්කගන ගියෙ.විශේෂ චරිතයක් රඟපෑවෙනම් නෑ.මොකඩ ගෙදරට හොරෙන් ගිය නිසා ගියෙ මගෙ පිජාම එක පිටින්.කට්ටිය බිස්කට් ,චොකලට් එහෙම දුන්නවගේ මතකයි.

    ReplyDelete
  3. @මධුරංග :මම හිතන්නෙ ඒක තමයි ජනප්‍රියම සිංහල කැරොල් ගීය.

    කැරොල් ප්‍රසංග බලන්න යන්න මමත් කැමති නෑ බං.. ඒ වල ගීතිකා කියනවට වඩා කට බෝක්කුවක් විතර ඇරලා හූ කියන එකනෙ කරන්නෙ......

    ReplyDelete
  4. @රෝස කුමාරි :ආ.. ඔය ඉන්නෙ කැරොල් ගියපු කට්ටිය...අවුරුදු කීයකට විතර කලින්ද?.. ඔය පැත්තෙත් කැරොල් එකක් යන්න තියෙන්නෙ මේ පාර නත්තලට...

    සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කට බෝක්කුවක් ඇරලා. අන්න දවසේ කතාව !!!

    ReplyDelete
  7. මටත් මතකයි ඔයවගේ ආපු කැරොල් එකකින් මට පොඩි කාලෙදි ප්ලාස්ටික් ගිරවෙක් හම්බුනා.. මමත් කැරොල් ගිහිල්ලනම් නෑ.. ආපු කැරොල් දිහෑ කට ඇරගෙන බලාගන ඉඳලානම් තියනවා...

    ReplyDelete
  8. අප්පේ ඒ ඉතින් මීට අවුරුදු 20 කට විතර කලින්. මෙහෙ ඉතින් අපිට වඩා කැරොල් කාරයො ඉන්නවනෙ අපිට නෝ චාන්ස්. ඔබ තුමාටත් සුභම සුභ නත්තලක් වේවා !!!

    ReplyDelete
  9. @මධුරංග :ඔපෙරාවල හූ කියන්නෙ අන්න ඒ වගේ...වටේ පිටේ වීදුරු වලට දෙයියන්ගෙම පිහිටයි...

    ReplyDelete
  10. @Senna:නත්තල් සීයා ගිලවෙක් ද දුන්නෙ...හොඳයි හොඳයි...
    සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  11. @රෝස කුමාරි :ඒ වුනාට ශ්‍රී ලන්කන් කැරොල් නෑනෙ... :)

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...