7.19.2012

වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොර

මාගේ පෙර ලිපියකදී හසිත කළ ඉල්ලීමකට වැඩිදුර පිළිතුරු සැපයීම සඳහා මේ ලිපිය ලියැවේ. වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොරක් පිළිබඳ ඔබ දන්නවාද? මා දැනුවත්ව නම් එවැනි දොරවල් හතරක් තිබේ. "එක එක තැන්වල වෙනස්කම්" ලිපියේ බැසිලිකා පිළිබඳ විස්තරයේදී මා සඳහන් කළ පරිදි රෝමානු කතෝලිකයන් විසින් ප්‍රධාන බැසිලිකා ලෙස පිළිගන්නා බැසිලිකා සතරකි. ඒ බැසිලිකා සතර නම් සා. ජෝන් ලැටර්න් (St. John Lateran) බැසිලිකාව, සා. පීතර තුමාගේ (St. Peter's in the Vatican) බැසිලිකාව, ශු. පාවුළුතුමාගේ චතුරස්‍රයෙන් පිටත (St. Paul Outside the Walls) බැසිලිකාව හා සා. මේරි (St. Mary Major) බැසිලිකාවයි. මේ බැසිලිකා සතර තුළම ශු. දොර නමින් විශේෂ දොරක් වෙයි. ඉතින් මේ ලිපිය ඔස්සේ අපි ඒ ගැන වැඩි විස්තර සොයා යමු. 

සා. ජෝන් ලැටර්න් (St. John Lateran) බැසිලිකාව
සා. පීතර තුමාගේ (St. Peter's in the Vatican) බැසිලිකාව
මාතෘකාවේ සඳහන් පරිදිම ශු. දොර විවෘත වන්නේ වසර ගණනාවකට එක් වරකි. එම වසර ලෝක කතෝලික ප්‍රජාව විසින් ජුබිලි වසර ලෙස හඳුන්වනු ලබයි. ඉතින් ශු. දොර පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට පෙර ජුබිලි වසර පිළිබඳ යම් වැටහීමක් ලබාගැනීම යෙහෙකැයි සිතමි. 

මෙම ජුබිලි වසර සංකල්පය ඉතා පැරණි සංකල්පයකි. කෙතරම් පැරණිදයත් කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය වන ශු. බයිබලයේ සඳහන් පරිදි එය ලෝක ආරම්භය ආසන්නය දක්වා දිවේ. ඊශ්‍රායෙල් ජනතාව මිසරයේ වහල්කමින් ගැලවූ පුද්ගලයා, මෝසෙස් පිළිබඳ ඔබ දන්නවාද? අන්‍යාගමික මිතුරෙකු වුවත් රූපවාහිනියේ පවා විකාශය වූ මෝසෙස් ( Moses ) චිත්‍රපටය හෝ දසපණත චිත්‍රපටිය (Ten Commandments) නරඹා තිබෙන්නට පුළුවන. එම චිත්‍රපටයේ කතාව බ්ලොගයේ පළකිරීමට මා සිතා සිටිමි. නමුත් මගේ කතාව චිත්‍රපටයේ කතාවටත් වඩා දිගය. මෝසෙස් ඊශ්‍රායෙලුන් මිසරයෙන් ගලවා ඒම ආරම්භ කිරීමෙන් කතාව පටන්ගත්තත් මා මිසරයට යාමට හේතුද සහිතව කියන නිසා කියවීමේ අපහසුතා ඇතිවේයැයි බියෙන් එය දිනෙන් දින පසු පසට තල්ලු වී යයි.
ශු. පාවුළුතුමාගේ  (St. Paul Outside the Walls) බැසිලිකාව

කතාව වෙනතක යන්නේය.  මෙසේ මෝසෙස් සමඟ පැමිණි ජනයාට ඉතා තද නීති මාලාවක් විය. 'ඇසට ඇසය දතට දතය' (An eye for an eye and a tooth for a tooth) කියමන ඔබ අසා තිබේ නම් එය ඇත්තේත් එම නීති මාලාව තුළයි. මෙම නීතිමාලාව තුළ වසර පනහකට වරක් එළඹෙන විශේෂ වසරක් පිළිබඳ නීතියක් තිබේ. එම වසර නැවත යථා තත්වයට පත්වීමේ වසරක් ලෙස ඊශ්‍රායෙලුන් පාවිච්චි කළබව පෙනේ. සියලු සිරකරුවන් හා වහලුන් නිදහස් කිරීමත් තමන් විසින් ගෙවිය යුතු ණය සියල්ල ගෙවා නිදහස් වීම හෝ ණය ගෙවීමට නොහැකි අයවලුන්ගේ ණය කපාහැරීම සිදුව තිබේ. මීට අමතරව අමනාප වූවන් හා සමාදාන වීම පවුලෙන් පිටව ගිය අය නැවත එකතුකරගැනීම ආදී දේද සිදුව තිබේ. කෙටියෙන්ම කියතොත් සියලුම දේවල රොස් පරොස් හැර යලි යථා තත්වයට පත්වීමකි.

සා. මේරි (St. Mary Major) බැසිලිකාවයි
දැන් මෙම ජුදා සම්ප්‍රදාය රෝමානු කතෝලික සම්ප්‍රදායක් වූයේ කෙසේදැයි බලමු.  මෙම සංකල්පය කතෝලික සභාවට රැගෙන ආවේ 8වැනි බොනිෆස් පාප්තුමා විසිනි. කිතුනුවන් ඉතා ගරුකොට සළකන ක්‍රියාවක් වන පව්වලට පසුතැවිලිවී නව ජීවිතයක් ඇරඹීම දිරිමත් කිරීම සඳහා මා කලින් සඳහන් කළ ජුදා සංකල්පය යොදා ගැනීමට එතුමා තීරණය කර ඇත. ක්‍රි.ව. 1300 විශේෂ වසරක් ලෙස නම් කර ඒ වසර තුළදී කරුණු දෙකක් සපුරන අය සඳහා සියලු පව්වලට කමාවත් දේව ආශිර්වාදයත් ලැබෙන බවට ආඥාවක් නිකුත් කර ඇත්තේ එතුමා විසිනි. පළවෙනි කාරණාව තම පව් වලට මනස්ථාපනය වීම වූ අතර දෙවැන්න රෝමයේ ශා. පීතර බැසිලිකාව නියම කළ කාලය තුළ දිනකට එකවතාවක්වත් වැඳපුදා ගැනීමයි. රෝම නගර වැසියෙකු සඳහා මේ කාලය දින 30ක් ලෙසත් පිටස්තරයෙකු සඳහා දින 15ක් ලෙසත් නියම කොට තිබේ. තවද, මින් ඉදිරියට කතෝලික සභාව තුළ වසර සියයකට වතාවක් මෙම වසර පැවැත්විය යුතුබවද නියම කළේය. එදා සිටි ලේඛකයන් මෙයට 'ජුබිලි වසර' යන නම් දී තිබුණි. නමුත් හය වන ක්ලෙමන්ට් පාප්තුමා 1350දී ජුබිලි වසර ප්‍රකාශයට පත්කිරීමත් සමග එය අවුරුදු 50කටවතාක් ලෙස ප්‍රකට විය. නමුත් පසුකාලීනව වසර 25කටවතාවක් මෙන්ම 13කට වතාවක්ද ජුබිලි වසර ලෙස නම් කොට තිබේ. අවසාන ජුබිලි වසර ක්‍රි.ව. 2000 වූ අතර 2013 එලෙස නම් කොට නොමැති නිසා බොහෝ දුරට ඊළඟ ජුබිලි වසර 2025 වීමට ඉඩ ඇත. නැතහොත් 2050 විය හැක. එය තීරණය කිරීමේ බලය පාප්තුමා සතුය.

මහා ජුබිලි වසරේ නිල ලාංඡනය
 ආසන්නතම ජුබිලි වසර වූ වසර 2000 පිළිබඳව ද යමක් සඳන් කිරීම වටී යයි සිතුනි. කතෝලික සභාවේ විප්ලවීය පාප්තුමෙකු වන දෙවන ජුවාම් පාවුළු පාප්තුමා 1994දී වසර 2000 ජුබිලි වසරක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා සූදානම් වීමේ වසර තුනක කාලයක්ද පනවනු ලැබීය. මේ ජුබිලි වසර 'මහා ජුබිලිය' ලෙසද නම් කෙරුනි. මාගේ මතකය අනුව එකල ඉරිදා දිව්‍ය පූජාවන් තුළදීද මේ සඳහා විශේෂ සූදානම් කිරීමක් පැවතුනි. කලින් පැවති රෝම නගරයේ වන්දනා ගමන් නියමය වෙනස් කළ එතුමා පදවියේ රදගුරුතුමා විසින් නම් කරන ඕනෑම දේවස්ථානයකට එක්දිනක් හෝ යාමෙන් අදාළ වරප්‍රසාද ලැබෙන බව ප්‍රකාශයට පත් කළේය. මීට අමතරව මත්පැන්, දුම්වැව්ටි භාවිතය අත්හැරීමත් දිළිඳුන්ට ආධාර කිරීමත් විශේෂ වරප්‍රසාද ලැබෙන කාරණා ලෙස නම් කළේය. විශේෂයෙන්ම කතෝලික සභාවෙන් සිදුවූ වැරදි හා සභාවේ නාමයෙන් සිදුවූ වැරදි වෙනුවෙන් සමාව ඉල්ලීමට තරම් දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ එඩිතර විය.

වසා ඇති ශු. දොරක්
කතාවේ ප්‍රධාන මතෘකාව වන ශු. දොර වෙත දැන් යොමුවෙමු.  1350 ජුබිලය සඳහා ශු. දොර සංකල්පය හඳුන්වා දී තිබෙන්නේ හයවැනි ක්ලෙමන්ට් පාප්තුමා විසින්. එතුමා දුටු දර්ශනයකට අනුව මේ හඳුන්වාදීම කළබවයි පැවසෙන්නෙ. ශු. දොර යනු මා කලිනුත් සඳහන් කළ පරිදි ප්‍රධාන බැසිලිකා සතර තුළ ඇති දොරවල් සතරකි. මෙම දොරවල් ජුබිලි වසරේදී හැර අනිකුත් දිනවල විවෘතව නොපවතී.  අනිකුත් වසරවලදී තුනී කොන්ක්‍රීට් තට්ටුවකින් වැසී පවතී. සම්ප්‍රදායක් වශයෙන් ජුබිලි වසරට පෙර වසරේ නත්තල් දින සවස පාප්තුමා විසින් රිදී මිටියකින් තුන්වරක් ගසා "Open unto me the gates of justice" කියමින් දොරටුව කඩා දමයි. ඉන්පසු ඊළඟ වසරේදී නත්තල් දින වනතුරු වන්දනා කරුවන්  බැසිලිකාව තුළට මෙම දොරටුවෙන් ඇතුල්වන්නේ ජුබිලි වසරේ විශේෂ වරප්‍රසාද බලාපොරොත්තුවෙනි. සම්ප්‍රදායට අනුව පාප්තුමා විවෘත කරන්නේ සා. පීතර බැසිලිකාවේ දොර පමණි. අනිකුත් බැසිලිකාවල දොරවල් විවෘත කිරීමට විශේෂ අවසරලත් කාදිනල්තුමන්ලා යොදාගනී. මෙලෙස ජුබිලි වසර ආරම්භය සංකේතාත්මකව සටහන් කරනු ලබන්නේ ශු. දොර විවෘත කිරීමෙනි. ශු. දොර වැසීමත් සමඟ එය අවසාන වේ. ඉතිහාස වාර්තාවල දැක්වෙන පරිදි ශු. දොරටුවේ කැබලි කිතුනුවන් නිවෙස්වල පූජනීය වස්තුවක් ලෙස තබාගත් බව කියැවේ.

නමුත් වසර 2000දි මෙම සම්ප්‍රදාය මඳක් වෙනස් විය.  කලකට පෙර හයවැනි පාවුළු පාප්තුමා මත ශු. දොරේ කොන්ක්‍රීට් තට්ටු කඩාවැටීමත් අලිඅග්කාගෙ ප්‍රහාරයෙන් ලද තුවාලවලින් ලද ඔත්පල වීමත් නිසා දෙවන පුවාම් පාවුළු පාප් වහන්සේ සම්ප්‍රදාය මඳක් වෙනස් කළේය. කඩා දැමිය හැකි කොන්ක්‍රීට් තට්ටුව වෙනුවට ඇරිය වැසිය හැකි දොරක් නිර්මාණය කළ එතුමා එය විවෘත කිරීමෙන් 2000 මහා ජුබිලි වර්ෂයේ ආරම්භය සනිටුහන් කළේය. එලෙසම නිර්මාණය කළ අනිකුත් බැසිලිකාවල දොරටුද කාදිනවරුන් යොදා නොගෙන එතුමා විසින්ම විවෘත කෙරිණි.
 

64 comments:

  1. ආයිමත් අපි නොදන්න ඉසව්වක් තමයි අපිට පෙන්නලා තියෙන්නෙ හරී... ප.ලි. හෙන් රි ද ඩූඩ් බ්ලොග්වෝකර් මාව නොමඟ යැව්වා වැල බලන්නෙ නැතුව මේ බ්ලොග් කියවන්නයි කියලා..මාත් හිතුවා ඉතින්...

    ReplyDelete
    Replies
    1. රැවටීමකින් ඇවිත් හරි වෙනි අයියට නොදන්න දෙයක් ගැන දැනගන්න ලැබුනනෙ..

      Delete
    2. මාත් දොර ගැන කියවගෙන කියවගෙන පල්ලෙහාට ඇවිත් බැලුවමමෙන්න වෙනියා මටත් කලින් ඇවිල්ල ගිහින්. මම ඌව නොමග යැව්වෙ නෑ හරී,හරිමග යවන්න ට්‍රයි කලේ, මේවගෙ බ්ලොග් කියවලා. කොහෙද.... දීකිරෙනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්. :)
      henryblogwalker the Dude

      Delete
    3. මේ කමෙන්ට් එක මඟ ඇරිලනෙ.. දැනුයි දැක්කෙ..

      නහින දෙහින කාලෙදිවත් නරක ජීවිතේ අත් ඇරලා පිනක් දහමක් කරගන්න යොමුකරන එක හොඳයි :)

      Delete
  2. ශාන්ත පීතර බැසිලිකාව නම් බලලා තියෙනවා. ඒත් හරියටම බලන්න වෙලාව හම්බුනේ නැහැ. 16 වෙනි බෙනඩික්ට් පාප් තුමා වත් දැක ගත්තා. ඒත් මේ අනිත් තුන කොහෙද තියෙන්නෙ.. රෝමයේද ?

    ReplyDelete
    Replies
    1. අනිත් බැසිලිකා 3ත් රෝමෙම තමා තියෙන්නේ සහෝ

      Delete
    2. @ ශශී,

      බැසිකාව හා වත්මන් පාප්තුමා දැකබලා ගැනීමේ වාසනාව මට නම් ලැබී නෑ.. ඔබට එය ලැබීම පිළිබඳ සතුටුයි..

      ප්‍රශ්නෙට උත්තරේ ඩිලාන්ගෙන ලැබී තියෙනවානෙ..

      Delete
    3. රෝම් ගිහින් තියෙන්නෙ එක පාරයි... ඒකත් හරියට යන්න හම්බුනේ නැහැ.. මේ කරුණු දැන ගත්තුන් හින්දා ආයෙත් යද්දි මතක් කරලා මේ ඔක්කොම බලන්න ඕනෙ... ඩිලාන් සහ හරීට ස්තුතීයී :)

      Delete
  3. වෙනි අයියා කියුවා වගේ මේ වැල බලන වේලාවයි

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකෝ මෙහෙ.. :)

      Delete
  4. මම නම් සා.පීතර බැසිලිකාවට අමතරව සා.ජෝන් ලැටර්න් බැසිලිකාවටත් ගිහින් තියනවා. මම මුලින් හිතන් උන්නේ ඔය දොරයි පේදුරුතුමාගේ අතේ තියන යතුරයි අතරත් යම් සම්බන්දයක් ඇති කියලා, ස්තූතී හරී අද ලිපියටත්

    ReplyDelete
    Replies
    1. ඉතිරි දෙකට ගියේ නැද්ද? ඒ කියන්නෙ ඩිලාන් මේ දොර දෑහින්ම දැකලා තියෙනවා.. මේ දොරෙන් ඇතුළුවෙලා නැද්ද?

      ප.ලි. මූනුපොතේ රික්වෙස්ට් එකක් එව්වා කිව්වට ලැබුනේ නෑ..

      Delete
  5. හොඳ වෙලාවට ඔය බැසිලිකා ලංකාවෙ නොතිබ්බෙ නේද ? අවුරුද්දක් ඇරල තිබ්බොත් ඊලඟ ජුබිලි වසරට බැසිලිකාව නෑ.. :-)

    නොදැන හිටි දෙයක් දැනගනීමට සැලැස්වීම ගැන නොවක් තුති.

    ReplyDelete
    Replies
    1. සෙන්නගෙ කටේ මසුරන් දාන්න වටිනවා..

      දවසක් මහ දවල් අපේ පල්ලියේ පොල්තෙල් පහනේ කුකුළව මිනිහෙක් ගලවගෙන.. සරම කැහැපොට කවාගෙන සරම අස්සෙ ගහගෙන ගිහින් තියෙන්නෙ.. මිනිහගෙ වෙලාවට පල්ලියෙ ගේට්ටුව ළඟදිම සරම කඩන් වැටිලනෙ..

      තව මනුස්සයෙක් අහුවෙලා තිබුනා පල්ලියෙ කානික්කෙ කඩන්න ගිහින් අත්දෙක හිරවුනු..

      ඔය විදිහට පල්ලි ඇරලා තිබ්බොත් බැසිලිකාවෙ ගඩොලුත් නැතිවෙයි තමා.. ඒත් සෙන්නා මේ බැසිලිකා පැය 24ම වන්දනාකරුවන්ගෙන් පිරිලයි තියෙන්නෙ.. ජුබිලි වර්ශයෙ එන කෝටිගානම ඔය පුංචි දොරෙන් රිංගන්නනෙ බලන්නෙ..

      Delete
    2. "කානික්කෙ" කිව්වේ පිං කැටේ නේද ??

      Delete
    3. @ හසිත,

      යෑස්.. මම කලින් දවසක් කිව්වෙ..

      Delete
  6. " 'ඇසට ඇසය දතට දතය' (An eye for an eye and a tooth for a tooth) කියමන ඔබ අසා තිබේ නම් එය ඇත්තේත් එම නීති මාලාව තුළයි"

    …මේ ආකාරයේ නීති හමුරාබිගේ නීති සංග්‍රහයේත් ගැබ්වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හමුරාබිගේ නීති සංග්‍රහයේ??

      ප්‍රශ්න පත්තරයක් එනවද? :)

      Delete
    2. හමුරාබි කියන්නේ බැබිලෝනියාවේ රජකම් කරපු රජ කෙනෙක්. කාල සීමව තමා ක්‍රි.පූ 1792-1750. මේ රජතුමා විසින් රට වැසියා පාලනය කරන්න සකස් කරපු නීති මාලාව තමා "හමුරාබි නීතිය Code of Hammurabi" කියලා හඳුන්වන්නේ.

      ඒ නීතිය තුලත් ඇසට ඇස දතට දත සංකල්පය ගැබ්වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට පියාට පහර දෙන තැනැත්තාගේ අත් කපා දැමිය යුතුයි, කෙනෙකුගේ ශරීර අවයවයකට හානි කළ තවත් කෙනෙකුටම එපරිද්දෙන්ම අවයවවලට හානි කළ යුතුයි වගේ නීති තමා ඒකේ තියෙන්නේ.

      Delete
  7. ස්තුතියි ඉල්ලීම ඉටු කළාට. ඉතුරු ප්‍රශ්න ටික ආයි පාරක් කියවලාම අහන්නම් :)

    ReplyDelete
    Replies
    1. කලින් බැසිලිකා ගැන කිව්ව සටහනට කවුරුන් හෝ 200 වසරේ ශුද්ධ දොර විවෘත කරන එකේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඒකත් මේ සටහනට එකතු කරන්න

      Delete
    2. මතක් කළ එක හොඳයි.. ඔන්න ගිහාන් මහතා ලබාදුන් වීඩියෝවෙ ලින්කුව පහළින්..

      http://youtu.be/_Wne7oZCdoA

      Delete
  8. වටින ලිපියක්. පොඩ්ඩක් වත් දැනගෙන නොහිටි දෙයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි!

      Delete
  9. උබ නම් පට්ට කොල්ලෙක් !!!
    මම ඔය ගැන දන්නෙම නෑ. උබ මෙවුවා කොහෙන් හොයාගන්නවද මන්දා. එලටික් විස්තර ටික !!!
    මගේ ලොකු ආසාවක් තියෙනවා රෝමේ ගිහින් එන්න. ඒක කවදා ඉටු වෙයිද මන්දා. හරියගේ නැද්ද එහෙම ආසා ?

    ReplyDelete
    Replies
    1. මමත් ඔය දොර ගැන දැනහිටියේ නෑ... දවසක් හසිත බුකියෙ මැසේජ් එකක් එවලා තිබුනා ඒ ගැන අහලා.. එතනින් තමයි කරුණු හොයන්න පටන් ගත්තෙ.. බලපන් මධුවො අපි කතෝලික වෙලත් අපේ ආගම පිළිබඳ දැනුම කොච්චර පොඩිද? මට ඒක හොඳටම තේරුනේ මේ බ්ලොග ලියන්න පටන් ගත්තට පස්සෙ.. ටක්කෙටම දෙයක් කියන්න පුලුවන්.. මේ බ්ලොග කියවන අන්‍යාගමික යාලුවො සාමාන්‍ය කතෝලිකයෙකුට වඩා සමහර දේ ගැන දන්නවා..

      2025 යමුද? දොරෙන් යන්නත් පුලුවන්නෙ..

      Delete
    2. ඒ වගේම 2020දි 'ඔබාමර්ගෝ' බලන්ඩත් යමු..

      Delete
    3. රෝමේ යන්ඩ ඔච්චර හිතන්ඩ දෙයක් නෑ.වනිගපූර්ණිකාව බැලුවනං රෝමය සහ හෙළුවන් අතර ඇති අත්‍යන්ත බැඳීම දැනගන්ඩ තිබ්බ නෙව..

      Delete
    4. 'ඔබාමර්ගෝ' ????

      Delete
    5. @ දිනුක,

      ඒක කියෙව්වට පස්සෙ හෙලුවෙන් යන්න වෙයිද දන්නෙ නෑ.. :D

      Delete
    6. @ hasitha,

      හපෝයි ඔය වගේ වචන මොකට මගෙ කටින් පනිනවාද මන්දා? :)

      හසිත දන්නවා නේද පාස්කු නාට්‍යය.. අර මීගමුවෙ දූවෙ එහෙම පෙන්වන්නෙ.. ඉතින් ජර්මනියෙ ඔබ අමර්ගෝ කියන ගමෙත් ඔය වගේ ඉතා අතීතයේ ඉඳන් එන පාස්කු නාට්‍ය්යක් තියෙනවා.. මේ නාට්‍යයේ විශේෂත්වය තමයි වසර 10කට වතාවක් පැවැත්වීම.. නළුවන් රඟපාන්නෙ මේකප් නැතිව.. අවුරුදු දහයක කාලය තුළදී තමුන් රඟපාන චරිතයට සමාන ලෙස රූපය වෙනස් කරගන්නවාලු.. අනික ගොඩක් සිල්වත් අය මෙහි රඟපාන බව තමයි ආරංචි..

      මම දූවෙ පස්කු බලල තියෙනවා.. දැන් බලන්න ඕනෙ ඔය වගේ එකක් තමයි..

      Delete
    7. දූව පාස්කුවේ වෙබ් අඩවිය

      http://www.passionplay.lankasites.com/

      Delete
    8. @ ගිහාන්,

      මෙදා දූවේ පාස්කු තිබුනොත් ගිහින් ඇවිත් පෝස්ට් එකක් දාන්ඩ ඕනා..

      ලින්කුවට ස්තුතියි..

      Delete
  10. ගොඩක් වැදගත් ලිපියක් හරී..ඒ ගැන නම් දැනගෙන හිටියෙම නෑ..
    මේ වගේ චාරිත්‍රවලින් ආගමක වටිනාකම ගොඩක් ඉස්මතුවෙනවා කියලයි මට හිතෙන්නෙ..දුලබ දේ වටිනවා කියලනෙ සාමාන්‍ය මතය..

    ස්තුතියි මේ දැනුම බෙදාගන්නවාට..

    අනිත් එක තමා කම්මැලි නැතුව අර ලියන්න හිතාන ඉන්න මෝසස්තුමාගේ ලිපි පෙල ලියන්න..ඔය හොඳටම දන්නවානෙ අපි කියවන්න එනවා කියලා ඒක නිසා ඔය බොරු හේතු අපි පිළිගන්නෑ..

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි රූ අක්කෙ.. ඇත්තටම ශු. දොරටුවකින් ඇතුලුවීමේ අවස්ථාව ලබාගැනීම හරිම දුර්ලභයි තමයි..

      බලමු බලමු.. ඔන්න කියවන්න අය ඉන්නවානම් අනිවාර්යෙන් ලියනවා..

      Delete
  11. විස්තර ටික නම් පංකාදුයි. ලබන අවුරුද්දේ රෝමෙට යන්න හිතාගෙන ඉන්නවා. ගියොත් මේ ටික නම් බලලාමයි එන්නේ. බොහොම ස්තුතියි හරි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ගියොත් ඔක්කොම බලාන එන්න.. මටනම් ඉතින් ඒ තරම් ආර්ථික තත්වයක් ගොඩනගාගන්න කල් යයි.. ක්සැන්ඩර් වෙනුවෙන්ම තව රෝමෙ බලන්න තියෙන දේවල් ටිකක් හොයලා දෙන්නම්කො..

      Delete
  12. ගොඩක් විස්තර දැනගත්තු සටහනක්. Moses හා Ten Commandments ෆිල්ම්ස් බලලා තියනවා.

    Notre Dame Cathedral in Paris නම් ගිහින් තියෙනවා. රෝමෙට නම් ගිහින් නෑ. විස්තර දැක්කාම යන්ට ආසා හිතෙනවා. මටත් හිතෙන විදියට මේවාගේ දේවලින් ආගමකට වටිනාකමක් එකතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ෆිල්ම්වල කතාවත් එක්කම ඊටත් වඩා විස්තරයක් මම ඉස්සරහට කියන්නම්කො..

      පොඩ්ඩි අක්කා කිව්වට පස්සෙ Notre Dame Cathedral in Paris වල පින්තූරු බැලුවා.. ඒක නම් හරිම ලස්සනයි.. ඔන්න රෝමෙට ගියාම මෙව්වත් බලලා එන්න..

      Delete
  13. කිසිඳු ආගමික විශ්වාසයක් නැතත් ආගම් පිළිඹඳව අද්‍යයනය කිරීම මට සතුටක්.ස්තූතියි මේ කරුණු බෙදා ගන්නවට.

    ReplyDelete
    Replies
    1. මෙතන ආගමික විශ්වාසය ගොඩනැගීමට වඩා දැනුම ගොඩනගන තැනක්නෙ.. ඒක නිසා දිනුක ආයෙත් මේ පැත්තෙ ඒවි..

      Delete
  14. වටිනා විස්තරයක්... අප සමග බෙදා ගත්තාට තුති...

    ReplyDelete
    Replies
    1. සිරාට බොහොම ස්තුතියි!

      Delete
  15. මම 'දස පනත - Ten Commandments' චිත්‍රපටිය බැලුවේ 1960 දශකයේදී. කතෝලිකයකු විසින් අනිවාර්යයෙන් බැලිය යුතු චිත්‍රපටියක්. 'බෙන්හර් - Benhur' චිත්‍රපටියත් ඒ වගේමයි. මේ චිත්‍රපටි තවමත් ටොරන්ට් මගින් බාගත කරගන්න පුළුවන්. ඔබ විස්තර කරන බැසිලිකාවන් පිලිබඳ කෙටි වීඩියෝ දර්ශන නැද්ද අපටත් බැලිය හැකි?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මට නම් Ten Commandments චිත්‍රපටය ගැන ලොකු මතකයක් නෑ.. Benhur නම් බලලා තියෙනවා පැය 4ක් විතර දිග චිත්‍රපටියක්..

      විචාරක මහතාගෙ ඉල්ලීම පරිදි ඔන්න සියලුදෙනාටම නොමිලේ රෝම සවාරියක්..

      1. මේ වීඩියෝව ශු. දොර විවෘත කිරීම පිළිබඳව - සොයාදුන්නේ ගිහාන් මහතා

      2. සා. ජෝන් ලැටර්න් (St. John Lateran) බැසිලිකාව

      3. සා. පීතර තුමාගේ (St. Peter's in the Vatican) බැසිලිකාව

      4. ශු. පාවුළුතුමාගේ චතුරස්‍රයෙන් පිටත (St. Paul Outside the Walls) බැසිලිකාව

      5. සා. මේරි (St. Mary Major) බැසිලිකාව

      හා හා.. දැන් ඇති..

      Delete
    2. බොහොම ස්තුතියි. ඒ වීඩියෝ බැලීමෙන් ලොකු දැනුමක් ලැබුනා. මේ ලිපියේ අගය තවත් වැඩි වුනා.

      Delete
    3. මමත් ඔය දෙකම බලලා තියෙනවා. බෙන්හර් නම් ඉවර වෙන්නම බලලා තියෙනවා. ඒකෙ මාර චැරියට් රේස් එකක් හෙම තියෙනවනෙ, චාල්ටන් හෙස්ටන්නෙ ප්‍රධාන නලුවා. ටෙන් කමාන්ඩ්මන්ට්ස් නම්... බොරු කියන්නෙ මොකද ඉවර වෙන්න බලන්න අමාරුයි. දිග වැඩියි.
      henryblogwalker the Dude

      Delete
    4. @ wicharaka,

      බොහොම සන්තෝසයි.

      Delete
    5. @ Dude,

      බෙන්හර් කතාවෙ රෝම අධිරාජ්‍යය ගැනනෙ ගොඩක් විස්තර තියෙන්නෙ.

      "දිග වැඩියි." ඒක තමයි මම කිව්වෙ. ඔය කතාව බ්ලොගේ ලිව්වත් කියවන්න අමාරුවෙයි කියලා.

      Delete
  16. ඉතාමත් අගනා ලිපියක් සහෝ..වටිනා දෙයක් ගත්තා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      "වටිනා දෙයක් ගත්තා" ඒ මොනාද?

      Delete
    2. අම්මෝ පර්ස් එක තියෙනවද බලපං හරියෝ...

      Delete
    3. @ සෑම්,

      පර්ස් එක තියෙනවා බං.. ඒත් මොනාද අඩුයි අඩුයි වගේ දැනෙනවා... මොනාද මන්දා.. :D

      Delete
    4. එහෙනම් හිත තියනවද බලපන්.. :-)

      Delete
    5. @සෙන්නා,

      හපූයි දැන්නෙ දැක්කෙ..

      ඔන්න පන්දුව නිදැල්ලේ ඇරියා..

      Delete
  17. හොඳ විස්තර කිරීමක් සහෝ.

    ReplyDelete
    Replies
    1. ඉත්තුතියි ඇන්.ඇම්.

      Delete
  18. මමත් අහල තියෙන්නේ ශාන්ත පිතර බැසිලිකාව ගැන විතරයි. ඔබේ මේ අඩවිය හරහා මීට පෙර අනෙක් බැසිලිකා තුන ගැන මිට පෙර විස්තරයක් කළ බවත් මතකයේ තියෙනවා.

    ජුබිලියට විවෘත කරන දොර කොන්ක්‍රීට් තට්ටුවකින් වසන එකට වඩා අරින්න වහන්න පුළුවන් දොරක් 2000 ජුබිලිය වෙනුවෙන් හදපු එක වඩා වැදග්ත කියලයි මට හිතෙන්නෙ.

    වෙනදා වගේම අලුත් යමක් අදත් ඉගන ගත්තා.

    ReplyDelete
    Replies
    1. අනාගතයෙදි ලංකාවේ බැසිලිකාව ගැනත් විස්තර කියන්නම්...

      Delete
  19. හොද පොස්ට් එකක් වෙනද වගේම හොඩක් දේවල් ඉගෙන ගත්තා..

    පුලුවන්නම් ශුදවූ .මිකායෙල් දුතයා ගැන පොස්ට් එකක් දාන්නකෝ.. මගේ අදහසක් තියෙනවා එයා තමයි ස්වර්ගයේ හිටිය ජේසුස් කියලා..ඒ කියන්නේ දෙවියල් මුලින්ම මැව්වේ එයාව ඒක නිසා එයට පුතා කියනවා..එයාවම තමයි දෙවියන්ගේ පුතා ජේසුස් කියලා මේ ලෝකයට එවන්නේ..මේකේ පිළිගන්න පුළුවන් සත්‍ය කුත් තියෙනවා නේද? (මම කාලයක් ඉගෙන ගත්ත බයිබල් ආගමක කෙනෙක් තමයි මුලින්ම මට ඔය කථාව කිව්වේ. එයාලා පිළිගන්නේ එහෙම..(යොහොවාගේ සාක්ෂිකාරයෝ)

    ReplyDelete
    Replies
    1. මුලින්ම අගය කිරීමට ස්තුතියි!

      ඔයා දාලා තියෙන කතාව ඇත්ත වගේ පේන්න ගොතපු බොරුවක් බවයි පේන්නෙ.. (මේ කියන්නෙ ඔයා බොරු කියනවා කියලා නෙමෙයි) යොහොවාගේ සාක්ෂිකාරයෝ මොනවා විශ්වාස කරනවාදැයි මම දන්නේ නෑ.. නමුත් බයිබලය වැනි යම් පදනමක් තිබිය යුතුයි නේද?.. අනික ඔවුන් බයිබලයේ සඳහන් දේවලට දෙන්නෙත් අරුම පුදුම අර්ථකථන.. සමහරුන් කියනවා බයිබලය වැරදී කියලත්.. සැබෑ මූලාශ්‍ර විනාශ කරලා කියලත් කියනවා. (මට මතක් වෙන්නෙ රාවණාව)
      හරි මම ඒ කරුණු කාරණා විවේචනය නොකර කතෝලිකයන්ගේ විශ්වාසය කියන්නම්කො..

      කතෝලික ආගම ඒක දේවවාදියි. ඒ වගේම දෙවියන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ(ජේසුස්), ශුද්ධාත්මයාණන් වහන්සේ කියලා තෙනමක් ඉන්නවා. දැන් හිතෙනවා නේද තිදෙනෙක් ඉන්නවා නම් ඒක දේවවාදියි කියන්නෙ ඇයි කියලා. නමුත් විශ්වාසයේ හැටියට මේ තෙනම කියන්නෙ එකම දෙවිකෙනෙක්. මම දන්නවා මේක තේරෙනවා අඩුයි කියලා. බලමු පෝස්ට් එකක්වත් ලියන්න.

      මෙන්න දේවදූතයෝ ගැන ලියපු පෝස්ට් එක කියවලා අදහස් කියන්නකො..

      http://dreamsofharee.blogspot.com/2012/01/blog-post.html

      Delete
  20. //ඒ වගේම දෙවියන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ(ජේසුස්), ශුද්ධාත්මයාණන් වහන්සේ කියලා තෙනමක් ඉන්නවා. දැන් හිතෙනවා නේද තිදෙනෙක් ඉන්නවා නම් ඒක දේවවාදියි කියන්නෙ ඇයි කියලා. //

    වෙලාවක් තිබුනොත් මෙන්න මේක ගැන පොස්ට් එකක් දාන්න.. මටත් ගොඩක් පැටලිලි තියෙන තැනක් මේක..තිදෙනෙක් ඉන්නවා නම් ඒක දේවවාදියි කියන්නෙ ඇයි..
    ස්තුති පිළිතුරු ලබාදුන්නට.. මේවා පැහැදිලිව ඉගෙන ගන්න මම හරි ආසයි. මම කාලයක් බයිබලය ඉගෙන ගත්තා යොහොවාගේ සක්ෂිකාරයෙක් ගෙන්. ඒක නිසාද දන්නේ නැහැ පැටලිලි වැඩි.. මේ බ්ලොග් එකෙන් ගොඩක් තැන් පැහැදිලි කරගත්තා..

    ReplyDelete
    Replies
    1. චමී4යූ~chami4u,

      ඔයාගෙ වගේම ගීතකගේ ඉල්ලීම නිසා පොස්ට් එකක් නොලියා ඉන්නත් බෑ.. ඒත් ඕක තේරුම්ගන්න වගේම තේරුම් කරන්නත් හරිම අමාරුයි.. අනාගතේ දවසක පුළුවන් තරමින් තේරුම් කරන්නම්..

      "ඒක නිසාද දන්නේ නැහැ පැටලිලි වැඩි.. " අහන්න දෙයක් නෑ.. මම පොඩිකාලෙ ආගම් ප්‍රචාරයට ආපු සාක්කිකාරයො දෙන්නෙක් කියපු දේවල් අහලා උතුර දකුණ මාරු වුනා.. හැබැයි දැන් මම එහෙම වාද වලට යන්නේ නෑ.. තේරුමක් නෑනෙ... දැන් ආපුවම මම කියන්නෙ.. මාව හරෝගන්න පාවිච්චි කරන වෙලාව මටත් අපරාදෙ ඔයාලටත් අපරාදෙ.. ඒක නිසා මට ඔයාලට දෙන්න වෙලාව නෑ කියලා කෙලින්ම යවනවා..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...