1.05.2013

ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස

 ජේසුස් වහන්සේගේ ජීවිත කතාව බොහෝම සරලව කෙටියෙන් කියාගෙන යන අතරෙ, මේ වෙනකොට කොටස් දෙකක්ම කියලා ඉවරයි. මම මුලින්ම මේ කතාව කොටස් හතරකට බෙදුවා.

1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.)
2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය
3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්

ලිපි හතරකින්ම දාන්න පොරොන්දු උනාට දෙවෙනියට ලියවුනු ලිපිය බොහොම දිග වෙච්ච නිසා කොටස් දෙකකට කඩන්න උනා. ඒත් ඒ දාපු මුල් ලිපිය නම් ටිකක් සංකීර්ණ පාටයි. මටම ඒක තේරුණා. ලිපිය දිගු වෙන නිසා විස්තර කිරීම් අඩුවීමත් එක්ක තේරුම් ගැනීමේ හැකියාවත් අඩුවෙලා තිබුනා. ඒ ගැන සමාව ඉල්ලන අතර ඉතුරු ටික සංස්කරණය කරලා පළකරන්නයි යන්නේ. එම නිසා මේ ලිපියේදී හැකිතරම් සරලව විස්තර කිරීමට යාමෙන් වචන ගණන වැඩි විය හැකි බව කරුණාවෙන් සළකන්න.

එකම ලිපියක් තුළ ශෛලීන් දෙකක් භාවිතා කළේත් කියවීමේ ඒකාකාරීත්වයෙන් මුදවන්න.  ඒක සාර්ථකද මන්දා. කලින් ලිපියේදී බොහෝදෙනා ඉල්ලූ පරිදි තේරුනේ නැති දේවල් පැහැදිලි කිරීමට වෙනම ලිපි ලියවේවි. ඒවගේම මේ ලිපිය නම් ඉතාම සරල බසින් ලියන්නයි බලාපොරොත්තුව.

 මේ ප්‍රසිද්ධ ජීවිතය ගැන ලියවුනු පළමු ලිපිය

එහෙනම් අද කතාව..

ඒ කාලෙ ගලීල මුහුද අවට මිනිස්සුන්ගේ ප්‍රධාන රස්සාව වෙලා තිබුනෙ මාළු ඇල්ලීම එහෙම නැත්නම් ධීවර කර්මාන්තය. පේදුරු හා ඇන්ඩෘ කියන සහෝදරයෝ දෙන්නාත් ගලීල මුහුදේ මසුන් අල්ලපු ධීවරයෝ. ඉතින් එක දවසක් හිමිදිරියේ ධීවරයො ගොඩට ඇවිත් දැල් අකුලමින් තමයි හිටියෙ. මෙහෙම ගලීල මුහුදු වෙරළෙ දැල් අකුලමින් හිටිය ධීවරයො අතර බොහෝම කලකිරීමෙන් හිටපු දෙන්නෙකුත් හිටියා. ඒ තමයි මම කලින් කියපු පේදුරු හා ඇන්ඩෘ. මොකද ඊට ඉස්සෙල්ලා දවසෙ හවස ඉඳන් උදේ වෙනකන් දැල් එළුවත් එකම එක මාළුවෙක්වත් පේදුරුගෙයි ඇන්ඩෘගෙයි දැල්වල හිටියෙ නෑ.

මේ අවස්ථාවේදී තමයි ගමින් ගමට දේශනා කරමින් යන ජේසුස් වහන්සේ මුහුදු වෙරළට එන්නෙ. උන් වහන්සේ පේදුරුට කතා කරනවා.   "නැගිට දියඹට ගොස දැල් හෙළන්න"

නැගිට දියඹට ගොස දැල් හෙළන්න
"ස්වාමිනී මම ඊයෙ රෑ පුරාම දැල් හෙළුවා. ඒත් එක මාළුවෙක්වත් නෑ." ඒත් පේදුරු පලකළේ අකමැත්තක්. නමුත් ඒ ප්‍රදේශයේ ඒ වනවිටත් යම් පිළිගැනීමක් තිබුණු මනුස්සයෙකුගේ කීම අහක දාන්න බැරි නිසා නැවත දියඹට යනවා. ජේසුස් වහන්සේගේ නියමයෙන් දැල් හෙලන පේදුරුගෙ ඇස් දෙක එළියට පනින්නෙ දැලට අහුවෙන මාළු කන්දරාව දැකලා. දැල ඉරී යන තරම් මාළු. තමුන්ගෙ ඔරුවට මෙතරම් පටවාගන්න බැරිබව තේරුනු ඔහු සහෝදර ධීවරයන්ටත් අඬගහනවා.

ඔරුව කෙමෙන් ගොඩට එද්දීම එයින් පනින පේදුරු දුවවිත් ජේසුස් වහන්සේගේ දෙපාමුල වැඳ වැටෙනවා.  "මාගෙන් ඉවත්වෙන්න ස්වාමිනී. මම මහා පව්කාරයෙක්"

"බිය නොවන්න. මින්පසු ඔවුන් මිනිසුන් දිනනු ඇත" ජේසුස් වහන්සේ එතනින් ඉවතට යන්න යනවා. පේදුරුත් ඇන්ඩෘත් එතන හිටපු කිහිපදෙනෙකුත් අහුවෙච්ච මාළුත් ඔරුත් සියල්ලත් හැරදාලා ජේසුස් වහන්සේ පසුපස යනවා.
----------------------------------

ගලීල මුහුද
බෞද්ධ අය දඹදිව වන්දනාවෙ යනවා වගේ කතෝලික අයත් ශුද්ධවූ දේශය (Holy Land) බලන්න යනවනෙ. ශුද්ධවූ දේශය කියන්නෙ ජේසුස් වහන්සේ ජීවත්වූ ප්‍රදේශය. ඉතින් මේ ගමනෙදි නරඹන එක ස්ථානයක් තමයි ජේසුස් වහන්සේත් පේදුරුත් හමුවූ, ප්‍රාතිහාර්‍යකින් පේදුරුගේ දැලේ මාළු වැඩිවුන ගලීල මුහුදු තීරය. 

පේදුරුතුමාගේ මාළුවා හෙවත් රෝස් කරපු අපේ වෙල් බට්ටා
මේ චාරිකාව ගිය පියතුමෙක් කියපු විදිහට පේදුරු තුමාට අහුවුනු මාළුන්ව පේදුරුතුමාගේ මාළු (St. Peter's Fish) කියලලු ඒ පැත්තෙ හඳුන්වන්නෙ. ගලීල මුහුදු වෙරළ අවට නවාතැන්පොළවල්වල හා හෝටල්වල පේදුරුතුමාගේ මාළු දීසියක් හරිම ගණන්ලු. ශුද්ධවූ දේශයටත් ආපු එකේ පියතුමාට හිතුනළු පේදුරුතුමාගෙ මාළුත් කාලාම යන්න. ඉතින් දීසියක් ඇනවුම් කළාලු. මෙන්න ටිකකින් එනවලු දුම් දම දම පේදුරුතුමාගේ මාළු. බලද්දි රෝස් කරපු බට්ටෙක්ලු. අපේ ඇලේ දොළේ ඉන්න බට්ටෙකුට ගෙවපු ගාන ගැන හිතල අයියෝ සල්ලි කියවුනාලු.
----------------------------------

මුලින්ම පේදුරුතුමා ඇතුළු කිහිපදෙනා ජේසුස් වහන්සේ පසුපස්සේ යන්න පටන්ගත්තට පස්සේ දවසින් දවස ජේසුස් වහන්සේ පසුපස්සේ යන ගණන නම් ඉහළ ගියා. මේ අතර හිටපු ගොඩක්දෙනා එකල තිබුනු පීඩිත පන්තිය නියෝජනය කරන අය. ඒ අතර සමාජයෙන් කොන්වෙච්ච අයකැමියො එහෙමත් හිටියා. කාලයක් යද්දි ජේසුස් වහන්සේ තීරණය කරනවා මේ පිරිස අතරින් කිහිපදෙනෙක්ව තෝරාගන්න. මෙහෙම තෝරාගත්තු දොළොස්දෙනා තමයි ජේසුස් වහන්සේගේ සහයට ළඟින්ම හිටියෙ. ඔවුන්ට අපි ගෝළයො එහෙම නැත්නම් ශ්‍රාවකයෝ කියලා කියනවා.
තෝරාගත්තු දොළොස්දෙනා
1.පේදුරු
2.ඇන්ඩෘ
3.ජාකොබ්
4.ජොහාන්
5.පිලිප්
6.බර්තොලමෙව්
7.මතෙව්
8.තෝමස්
9.අල්පෙවුස්ගේ පුත් ජාකොබ්
10.සීමොන්
11.ජාකොබ්ගේ පුත් ජූද්
12.ජුදාස් ඉස්කාරියොත්
----------------------------------

 මේ ටිකට නම් වැඩිපුර යමක් කියන්න නෑ. මේ දොළොස්දෙනාගේ නායකයා විදිහට සැළකෙන්නෙ පේදුරු. පස්සෙ කාලෙක කිතුනුවන්ගේ නායකයා වුනෙත් මෙතුමානෙ. භාණ්ඩාගාරිකකම ලැබිලා තිබුනෙ ජුදාස් ඉස්කාරියොත්ට. දොළොස්දෙනා අතරිනුත් පේදුරු, ජාකොබ් හා ජොහාන් ජේසුස් වහන්සේගේ සමීපතමයින් උනා. ඉතා ලාබාලයෙකු වූ ජොහාන් ජේසුස් වහන්සේගේ රූපයට යම් තරමක සමානකමක් දැක්වුවාලු.
 ----------------------------------

ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ විශේෂ ස්ථානයක් ගන්නෙ උන් වහන්සේ සිදුකළ ප්‍රාතිහාර්‍යය. ඒවගේම යම් යම් ගැඹුරු ධාර්මික කරුණු පැහැදිලි කරන්ඩ යොදාගත්තු උපමා. ඒ නිසා ප්‍රාතිහාර්‍යය හා උපමා ගැන බොහෝම කෙටියෙන් කතාකරමු. එහෙම නොකළොත් ඒක ලොකු අඩුපාඩුවක් වේවි.

ප්‍රාතිහාර්‍යය ගැන කියනවා නම් මම කලින් කියපු මාළු වැඩි කිරීමත් එක් ප්‍රාතිහාර්‍යක්. ඒත් ජේසුස් වහන්සේ මුලින්ම සිදුකළ ප්‍රාතිහාර්‍යය එය නෙමෙයි. ජේසුස් වහන්සේ මුල්ම ප්‍රාතිහාර්‍යය කරනකොට උන් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය පටන් අරගෙන තිබුනෙත් නෑ. ඒ කාලෙ උන් වහන්සේ ජීවත් උනේ අම්මත් එක්ක.
ඒ කාලෙ ජුදා මනමාලියක්

දවසක් ජේසුස් වහන්සේටත් උන් වහන්සේගේ මෑණියන්ටත් ආරාධනා ලැබෙනවා විවාහ මංගල්‍යයකට. ජුදයින්ගේ විවාහ මංගල්‍යයක් කියන්නෙ අපේ වගේම ඉතින් බොහෝම සන්තෝසයෙන් පිරිච්ච උත්සවයක්. උත්සවය ජයටම යන අතරෙ ඥාතියෙක්ගේ විවාහ මංගල්‍යයක් නිසා ජේසුස් වහන්සේගේ අම්මාත් වැඩට උදව්වෙනවා.

ටිකක් වෙලා යනකොට  මඟුල් ගෙදර සංග්‍රහ කරන්න ගෙනාපු මිදියුස ඉවර වේගනයි එන්නෙ. වැඩ කරකර හිටපු මරියා (ජේසුස් වහන්සේගේ අම්මා) තමුන්ගේ පුත්‍රයා හොයාගෙන එනවා. "මිදියුස අවසානයි"

මේ භාජනවලට වතුර පුරවන්න
"අප වදවෙන්නේ කුමටද?" ජේසුස් වහන්සේ එය ගනනකට ගත්තේ නෑ. ඒත් මරියා නිවසේ සේවකයන්ට කතා කරනවා. "මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවත් කරන්න"

ජුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ වත්පිළිවෙත් සඳහා වතුර තබා තිබූ ලීටර් සීයක් පමණ අල්ලන ගල් භාජන හයක් එතැන තියෙනවා දකපු ජේසුස් වහන්සේ මෙහෙම කියනවා. "හොඳයි. මේ භාජනවලට වතුර පුරවන්න."  සේවකයෝත් භාජන සියල්ල වතුරෙන් පිරෙව්වා. "දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්න"

ලියවිලා තියෙන හැටියට සේවකයො ගෙනාපු වයින් බීපු මඟුල් ගෙදර සංවිධායක තැන මනමාලයාට බැන්නලු.  "ඔබ මෙච්චර වෙලා හොඳ මිදියුස තියාගෙන මොනවා කළාද? මුලින් දියයුත්තේ හොඳ මිදියුසය. පසුව බාල ඒවායින් සංග්‍රහ කළ හැක. ඒත් ඔබ මේ වනතුරුත් හොඳ මිදියුස තබාගෙන සිටියේය."
 ---------------------------------- 

මේ මඟුල් ගේ පැවැත්වෙන්නෙ කානා නුවර.  ඒ කියන්නෙ ජේසුස් වහන්සේගේ ගෙදර ඉඳන් දවස් තුනක් පයින් යන දුරක. බොහෝවිට මරියතුමීගෙ ඥාතියෙකුගේ නිවසෙ. ජුදා ජාතිකයෝ වයින් තමුන්ගේ ප්‍රධාන පානය විදිහටයි සැළකුවෙ. ඉතින් මඟුල් ගෙදරකදී වයින් මදිවෙනවා කියන්නෙ පරපුරම අවමානයට පත්වෙන ජීවිත කාලය පුරාම ලජ්ජාවට පත්වීමට සිදුවියහැකි කාරණාවක්ලු.

ඒ කාලෙ තිබ්බ ගල් භාජනයක්
මේ වෙන්න යන අවමානය දැකපු මරියතුමී ඇවිත් ජේසුස් වහන්සේට  මේ බව කිව්වනෙ. මරියතුමී කියන්න ඇත්තෙ ළඟපාත ගෙදරකින් හෝ වෙන කඩේකින් වයින් අරගෙන එන්න කියලා වෙන්නත් පුළුවන්. මේ වෙලාවෙ තමයි ජේසුස් වහන්සේ පවිත්‍රවීමේ වත්පිළිවෙත් සඳහා වතුර තබා තිබූ ගල් භාජන දකින්නෙ.

පවිත්‍රවීමේ වත්පිළිවෙත් කියන්නෙ මොනවද? ජුදයෝ යම් ගෙදරකට ඇතුළුවෙන්නෙම කකුල් අතපය හෝදාගෙනලු. මේ විදිහට ගෙදරට එන අමුත්තන්ගෙ කකුල් හෝදන්න වෙනම සේවකයෙක් සමහර වත් පොහොසත් ගෙවල්වල ඉඳලත් තියෙනවා. ඒ වගේම ඔවුන් කෑමට ඉඳගත්තෙත් කකුල් අත් සේදීමෙන් පස්සෙ. එහෙම කකුල් අත් හෝදන්න වතුර තියලා හිස් වෙච්ච භාජන තමයි ආයෙ වතුරෙන් පුරවන්න කියන්නෙ.

කානා නුවර වතුර වයින් කිරීමෙන් පටන් ගත්තට පස්සෙ  ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්‍යය ගොඩක් කරලා තියෙනවා. යම් යම් පුද්ගලයන් මරණින් නැගිටවීම, යම් යම් අයගේ ලෙඩ රෝග සුව කිරීම, යකුන් දුරුකිරීම හා තවත් නොයෙකුත් ස්වාභාව ධර්මය අභිභවා කළ ප්‍රාතිහාර්‍යය තියනවා. ඒවා ගැන පස්සෙ කියන්න බලන්නම්කො.
 ---------------------------------- 

ජේසුස් වහන්සේ දේශනා කළ උපමාවක් තමයි මේ. "වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණ. ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි. අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ. අන් සමහරක් ගල් බිමේ වටී පැළවූ කෙණෙහිම දිය සීරාව නැති බැවින් වියළී ගියේය. අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ ද ඒ සමඟම වැඩී ඒවා යටපත් කර දැමීය. අන් සමහරක් සරු බිමේ වැටී, පැළවූ විට එකකින් සිය ගුණයක් අස්වැන්න ඇතිවිය. සවන් ඇත්තෝ සවන් දෙත්වා!"
---------------------------------- 

ජේසුස් වහන්සේගේ දේශනා අහන්න ආපු බොහෝ ජනතාව එතරම් උගතුන්වත් පොහොසතුන්වත් උනේ නෑ. ඉතින් මේ ජනතාවට ගැඹුරු ධාර්මික කරුණු පැහැදිලි කරන්ඩත් වඩාත් සිත් ඇදගන්නා විදිහට ඉදිරිපත් කරන්ඩත් තමයි ජේසුස් වහන්සේ උපමා යොදාගත්තෙ. මේ උපමා සඳහා ජේසුස් වහන්සේ යොදාගෙන තිබෙන්නෙ එදා අවට තිබූ ජුදා සමාජයේ අහන්න දකින්න තිබුණු ඒවගේම ජනතාවට සමීප දේවල්. ඉතින් සමහර උපමා හරියටම තේරුම් ගන්නනම් එදා තිබිච්ච ජුදා සමාජයට පොඩ්ඩක් එබිලා බලන්නත් සිද්ධවෙනවා.

මම උඩ සඳහන් කරලා තියෙන උපමාවට  කියන්නෙ වපුරන්නාගේ උපමාව. නියම අර්ථයෙන් කිව්වොත් ඔතනින් ජේසුස් වහන්සේ කියන්න උත්සාහ කළේ දේව වචනය ඇසීමත් පිළිපැදීමත් ගැන. ඒත් ඉතින් හැමෝටම තේරුම් යන්න මම ටිකක් වෙනස් කරලා කියන්නම්කො.

ඔන්න ළමයි කිහිපදෙනෙක් පාඩමක් අහගන ඉන්නවා කියලා හිතන්නකො.  ළමයි කීපදෙනෙක්ට ඕක ඔළුවට යන්නෙම නෑ. ඉන්නෙ වෙන ලෝකවල්වල. මේ ළමයින්ට උගන්වන දේවල් හරියට පාරෙ වැටුණු බීජ වගේ. එසැනින් විනාශ වෙනවා. තව පිරිසක් ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒත් මතක තියාගන්න උවමනාවක් නෑ. මේ අයට උගන්වන දේවල් ගල්බිමේ වැටිච්ච බීජ වගේ. දිය සීරාවක් නැති හින්දා ප්‍රයෝජනයක් නෑ. වැඩිකල් පවතින්නෙත් නෑ. තව කට්ටියක් ආසාවෙන් අහගෙන ඉන්නවා. මතක තියාගන්නත් උවමනාව තියෙනවා. ඒත් වටෙන් පිටෙන් එන පාපමිත්‍රයො, මූණුපොත, පරිඝණක ක්‍රීඩා වගේ එක එක දේවල් හින්දා නොදැනීම පාඩම් වැඩ අතපසු කරගන්නවා. මේ අය කටු පඳුරු අතර වැටිච්ච බීජ වගේ. ඊළඟ පිරිස පාඩම අහගෙන, තේරුම් අරන්, වැඩිපුර කරුණු හොයලා විභාගෙට ලියලා වැඩි ලකුණුත් ගන්නවා. මේ අය සරු බිමේ වැටිච්ච බීජ වගේ.

මීට අමතරව ජේසුස් වහන්සේ දේශනාකළ උපමා රාශියක් තිබෙනවා. ඒවා පසුවට කියන්න හිතාගෙන ජේසුස් වහන්සේ දේශනා කළ ඉතා ප්‍රසිද්ධ වාක්‍ය කීපයකින් මේ ලිපිය අවසාන කරන්නම්.

"ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පිඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න" (මතෙව් 5:44)

"අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න." (මතෙව් 7:12)

"ඉල්ලන්න. ඔබට දෙනු ලැබේ. සොයන්න. ඔබට සම්බ වේ. තට්ටු කරන්න. ඔබට දොර හරිනු ලැබේ." (ලූක් 11:9)

"ඔබේම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද?" (මතෙව් 7:3)

"'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

"කඩුගන්නා සියල්ලෝම කඩුවෙන්ම නසිති" (මතෙව් 26:52)

"රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත" (මාක් 2:18)

"යමෙක් මුළු ලෝකයම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? " (මාක් 8:36)

"නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න." (මාක් 12:31)

ඊළඟ කොටසින් හමුවෙමු. (මේක කිව්වෙ මම)

මූලාශ්‍ර:
  • ශු. බයිබලය 
  • http://en.wikipedia.org/wiki/Tilapia
  • http://en.wikipedia.org/wiki/Apostle_%28Christian%29
  • http://www.jesus-story.net/cana_wedding.htm

62 comments:

  1. මූලාශ්‍ර ටික ලින්ක් කරා නම් ලේසියි.කියෙව්වේ නම් නෑ.නිදිමතයි.අනිවා අනිද්දා කියවනවා.

    ReplyDelete
    Replies
    1. මගේ මුල් ලිපි ලියද්දි නම් සෑම අලුත් වචනයකටම පාහේ ඊට අදාළ ඉංග්‍රීසි වචනය යොදලා ඒ ගැන වැඩි විස්තර හොයාගන්න පුළුවන් වෙන්න විකිපීඩියාවෙ ලිපියට ලින්ක් එකත් දීලායි තිබුනෙ.. නමුත් කවුරුවත් එයින් ප්‍රයෝජනයක් ගන්න බව හෝ කාටවත් එයින් ප්‍රයෝජනයක් ලැබෙන බව දැක්කෙ නෑ.. ඒක නිසා ඒ වැඩේ නැවැත්තුවා.. මූලාශ්‍ර වලටත් ඒ සෙතේම තමයි.. කවුරුත් බලන්නෙ නෑ.. මෙව්වා ඒ තරම් මහන්සියෙන් කරුණු හොයන්න ඕනා දේවලුත් නෙමෙයි.. Jesus කියලා සර්ච් කරාම කරුණු ගෝනි ගනන්.. පෝස්ට් එකට ගැළපෙන එව්වා හොයාගන්න තමා අමාරු..

      Delete
    2. කියන්න අමතක උනා.. හිමීට කියවලා බලන්නකො..

      Delete
  2. හරී මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ බයිබලයෙන් උපුටා ගැනීම්වලදි අංක කිරීම සිද්ද වෙන විදිහ ගැන.මට ඒ ගැන පැහැදිලි අදහසක් නෑ.ඒ අංකය ඔස්සේ ගිහිං අදාල පිටුව හෝ පරිච්ඡේදය හොයාගන්න විදිහ ගැන එහෙම.

    ReplyDelete
    Replies
    1. මේ මතෙව් ලූක් කියන්නෙ මොනවද කියල අහන්න ඕන කියල මමත් හිතාගෙන හිටියෙ, මීට කලිනුත් මම ඔය වචන අහල තියෙනව, තේරුමක් නම් දන්නෙ නෑ.

      Delete
    2. @ දිනුක, DDT,

      මේ ගැන මෙතන කෙටියෙන් දානවට වඩා හොඳ පැහැදිලි කිරීමක් කරන්නම් ලිපියකින්.. පින්තූර එක්කම කියන්න පුළුවන්නෙ..

      ඔන්න ඒක ලියන්න ගත්තා..

      Delete
  3. මේ ඔක්කොම දේවල් සියැසින් දැකබලාගන්න යන්න හිතෙන්නේ නැද්ද. මේ වගේ විස්තර මගේ හිතේනම් එවැනි බලවත් පෙළඹවීමක් ඇතිකරනවා. බොහොම ස්තුතියි මේ රසවත් ලිපියට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. යන්න නම් හිතෙනවා ඒත් කෝ මාත්තියා ශල්ලි..

      විචාරක මහත්මයා නිවාඩු පාඩුවේ ඉන්න එකේ ගිහිල්ලා බලන්නයි තියෙන්නෙ.. ලිපිය කියවලා යන්න එනවටත් බොහොම ස්තුතියි..

      Delete
  4. Replies
    1. ඇවිල්ලා යනවටත් ස්තුතියි!

      Delete
  5. ජේසුස් වහන්සේ දේශනා කළ ඉතා ප්‍රසිද්ධ වාක්‍ය අපි ඉස්සර කට පාඩම් කලා.

    // තට්ටු කරන්න. ඔබට දොර හරිනු ලැබේ//

    බෞද්ධ අය උනත් මේ ඉගැන්වීම භාවිතා කරනවා මම අහලා තියෙනවා..

    ස්තුතියි හරී

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි අපිත් භාවිතා කරනවා "තට්ටු කරන්නාට දොර ඇරේ" කියන කතාව

      දැන්නම් කියන්නේ "දොර අරින්නාට තට්ටු වේ" කියලා. :))

      Delete
    2. @ ළිහිණි,

      කට පාඩම් කළාද? මම නම් බලාගෙන ලිව්වේ..

      ගොඩාක් තැන්වල ආගම් භේදයකින් තොරව පොදුවේ ජේසුස් වහන්සේගේ කියමන් යොදාගන්නවා මම දැක තිබෙනවා..

      ඇවිල්ලා යනවටත් ස්තුතියි..

      @ සයුරි,

      ඉතින් හරිනෙ සයුරි අක්කෙ.. අපිට මොනාහරි ඕන වුනාම අපි ඒක ඉල්ලගන්න කෙනෙකුගෙ දොරට තට්ටුකරනවා.. මිනිහා දොර ඇරියාම ඉල්ලන දේ දෙන්න වෙනවා.. ඒ කියන්නෙ තට්ටු වෙනවා.. :D

      Delete
  6. අර බට්ටෝ කියලා කියන්නේ කොරළි මාළු වලටද? උන්නම් ඉන්නේ මිරිදියේ නේද? ජුදා මනමාලිනම් ලස්සනයි :)

    ආ..අර අන්තිම භෝජනය චිත්‍රයේ ඉන්නේ එතකොට මේ ගෝලයෝ දොළොස් දෙනා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශීය ව්‍යවහාරයේ වෙනස වගේම සයුරි අක්කලාගේ ගෙවල් දිහාවෙ සමහරවිට බට්ටෝ මාළු නැතිව ඇති.. ඒ පැත්තෙ ඉන්න මගේ යාළුවෙකුත් දන්න බට්ටෙක් නෑ.. අපේ පැත්තේ නම් කොරළි කියන්නෙ වෙනත් දේශීය මිරිදිය මාළු විශේෂයකට..

      බට්ටා ගැන කියනවා නම් බට්ටා කියන්නෙ තිලාපි කියන මාළුන්ගෙ උප විශේෂයක්. (http://en.wikipedia.org/wiki/Tilapia) බට්ටා කියන නම වැටෙන්නත් ඇත්තේ උන්ගේ තියෙන හුරුබුහුටි ගතිය නිසා වෙන්න ඇති. මේ බට්ටාගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ජලයේ තියෙන බිත්තර වැනි දෑ ආහාරයට ගැනීම. හැබැයි උගේ බිත්තර ඌ තියාන ඉන්නෙ කට ඇතුලෙ. ඌට යම්කිසි කරදරයක් උනාම ඒ කිව්වෙ බිලීපිත්තකට අහුවුනාම කාරිය ඌ බිත්තර හලනවා බලාගන්න පුළුවන්. ඒක නිසා උගේ වර්ගයා විලෝපීයන්ගෙන් ආරක්ෂා වීමේ ප්‍රවණතාව වැඩී.

      ඉතින් මේ බිත්තර කන ගතිය නිසාම කෙන්යාවේ මැලේරියා මර්ධනයට බට්ටන් යොදාගෙන තියෙනවා. ඒ හේතුව හින්දද මන්දා අපේ රටටත් බට්ටා හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි මේකේන් අපි වගේම කෙන්යාවත් ඇනගත්තා. තමුන්ගේ බිත්තර කටේ තියන් බට්ටා අනික් හැම මාළු බිත්තරේකටම වැඩේ දුන්නා. දේශීය මාළු, ආවේණික මාළු වඳවෙලා ගියා. අපේ අවට නම් දැන් වෙනත් මාළු වර්ග හරිම අඩුයි. අහුවෙන්නෙම බට්ටො.

      බට්ටො ඉන්නෙ මිරිදියේ තමයි. මුහුද කිව්වට ගලීල මුහුද කියන්නෙ මිරිදිය ජලාශයක්. ගෙන්නෙසෙරෙත් විල, ටිබේරියස් විල කියන්නෙත් ගලීල මුහුදටමයි.

      "ජුදා මනමාලිනම් ලස්සනයි :)" ම්ම්ම්.. ලස්සනයි නේන්නම්..

      "අර අන්තිම භෝජනය චිත්‍රයේ ඉන්නේ එතකොට මේ ගෝලයෝ දොළොස් දෙනා වෙන්න ඇති" මේ අය තමයි.. ඉස්සරහට කියවමු ඒ ගැන..

      Delete
  7. මම කියන්ට හිතපු දේවල් ටික සයුරිත් කියලා...

    අද කතාව සරල හන්දද මන් දන්නේ නෑ හරිම ලස්සනයි. එක හුස්මට කියවගෙන ගියා.:)

    මම බැලුවේ ගොඩක් ආගම්වල දේවල් එක සමාන නේද? අර 'අවි ගත්තෝ අවියෙන් නසිති' වගේ කියමනක් තියෙන්නේ 'කඩු ගත්තෝ කඩුවෙන් නසිති' කියලා.

    ජුදා මනමාලි මාර ලස්සනයි.:D

    මමත් ආසයි ඔය කියන පැත්තේ ඇවිදලා බලන්ට.

    ReplyDelete
    Replies
    1. "මම කියන්ට හිතපු දේවල් ටික සයුරිත් කියලා..." එහෙනම් ඒ උත්තරෙත් බලන්ඩ..

      අද නම් කතාව පොඩ්ඩක් සරල කළා.. ඔව්.. පොඩ්ඩි අක්කේ ගොඩක් ආගම්වල හරය එකයි.. බොරුවට ආගම්වාද පටලවන් මරාගන්න එකනම් තේරුමක්ම නැති වැඩක්..

      'අවි ගත්තෝ අවියෙන් නසිති' කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙනවාද?

      'ජුදා මනමාලි මාර ලස්සනයි.:' පොඩ්ඩි අක්කා වගේද? :)

      'මමත් ආසයි ඔය කියන පැත්තේ ඇවිදලා බලන්ට' සාස්තර පොඩ්ඩිටයි හබියටයි සවාරියක් යන්ඩ පුළුවන්..

      Delete
  8. මට ඉස්කෝලෙ ආගම පාඩම මතක් උනා...මේ වගේ ජේසු කියපු ගොඩාක් අර්ථවත් වාක්‍යය බයිබලේ පුරා තියනව. ඒ එක්කම සත්මගේ තිබූ උපහාස කාටූන් එකක් මතක් උනා. තරුණයෙක් පියතුමාගෙන් අහනව ජේසු තුමා කිව්වෙ "නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න." කියලයි ඉතින් අසල් වැසියාගේ දියණියට ප්‍රේම කිරීම වර්දක්ද කියල.

    ReplyDelete
    Replies
    1. හික්...හික්... නියම කතාව..

      සත්මඟ නම් ඒ දවස්වල මමත් ආසාවෙන් කියෙව්වා.. සත්මඟ සීමාවෙලා තිබුනේ එක්තරා පැත්තකට විතරයි නේද? ඔන්න ගෙවල් පැත්ත ගැන ඉඟියක් ලීක් උනා..

      Delete
    2. @ රෝස කුමාරි

      //....තරුණයෙක් පියතුමාගෙන් අහනව ජේසු තුමා කිව්වෙ "නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න." කියලයි ඉතින් අසල් වැසියාගේ දියණියට ප්‍රේම කිරීම වර්දක්ද කියල.....//

      කාමේසු මිච්ඡාචාරා සිල් පදය ගැන කොල්ලෙකුත් හාමුදුරුවන්ගෙන් උපහාසයට වගේ අහනවාලු. හාමුදුරුවනේ අනිත් කෙනෙක්ගේ භාර්යාවක් එක්ක නිදාගන්න එක පවු කියන්නේ ඇත්තද කියලා. හාමුදුරුවෝ කිව්වලු කවුද කියන්නේ පව් කියලා. තමුන්ලාට එහෙම වෙද්දී නින්ද යන්නේ නැහැනේ. ඊට පස්සෙයි පව් සිද්ධ වෙන්නේ කියලා :D

      Delete
    3. ඔව් එක පලාතකට තමා සත්මග ලැබුනෙ. හරීත් ඒ පැත්තෙ මගෙ හිතේ..අම්මගෙ අම්මට ලොකු අම්ම කියන්නෙත් මේ පැතිවලනෙ. :)

      @හසිත- ඇත්තනෙ ඉතින් නිදාගත්තට වරදක් නෑ නොවැ හී හී

      Delete
  9. අපි නොදන්න දෙයක් කියවල දැනගන්න මම නම් හරි ආසයි. හරී මේ වගේ සරලව රසවත්ව ලියනකොට කියවන්න හිතෙන්නෙ නැත්තෙ කාටද? ඉතිරි ලිපි ටිකත් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ගොඩාක් ස්තුතියි.. ඊළඟ ලිපිය DDT වෙනුවෙන්..

      Delete
    2. ඒ කියන්නෙ නිකන් අසන්නන්ගෙ ගීත ඉල්ලීම් වගේ. :)

      දිනුකත් ඒ ගැන අහල තිබුණනේ, ඔබේ පෝස්ටුව එන තෙක් බලාසිටිමි. ස්තූතියි හරී.

      Delete
    3. මේකෙ තියෙන ලිපිවලින් බාගෙට බාගයක් අසන්නන්ගේ ගීත ඉල්ලීම් තමයි.. :)
      බ්ලොග් කියවන වගේම නොකියවන..

      Delete
  10. උබ කොහොම මේවා කෙටි කර ගන්නවද මන්දා,,මොකද පෝස්ට් 10ක් විතර ලියන්න දේවල් තියනකොට

    ReplyDelete
    Replies
    1. කරුණු කෙටිකිරීම තමයි කරන්ඩ වෙන ලොකුම යුද්ධෙ.. වැඩියෙන් ලියලත් බෑ අඩුවෙන් ලියලත් බෑ..

      Delete
  11. කතාව සරලව ඉදිරිපත් කරලා තියන නිසා කියවන්නාට ලෙහෙසියි..ඉතිරි ටිකත් ලියමුකො හනිකට.. ලිපි දික් වුනානම් හොඳයි මට නම්..

    ReplyDelete
    Replies
    1. දැන් නිවාඩු පාඩුවේ ඉන්න නිසා වෙන්න ඇති දිග ලිපිම ඉල්ලන්නෙ..

      Delete
    2. එහෙම නැත.. මම කොහොමත් දිග ලිපි කියවන්නත්, ලියන්නත් මනාපයි..

      Delete
  12. ප්‍රධාන ශ්‍රාවකයන් 12 දෙනාට ජේසුස් වහන්සේගේ ඥාතියෙක් එහෙමත් හිටියා නේද ? මට නම මතක් වෙන්නේ නැහැ. ඒ වගේමයි ජුදාස් මියගියාට පස්සේ අලුත් කෙනෙක් ඒ කණ්ඩායමට එකතු කරගන්නවා නේද ?

    …අද නම් ප්‍රශ්න අඩුයි ඕන්. කතා රස විඳිමින් ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. ජොහාන් කියන්නේ ජේසුස් වහන්සේගේ ඥාති සහෝදරයෙක්.. ඒවගේම ජුදාස්ගෙන් පස්සෙ ඒ වෙනුවට මතායස් කියලා කෙනෙක්ව කණ්ඩායමට ඇතුළු කර ගන්නවා...

      :)

      Delete
  13. සියල්ලනී,

    අප හිතවත් විචාරක මහතා ඩෙංගු රෝගයෙන් ඔත්පලව රෝහල් ගත කොට ඇති බවත්, එබැවින් ඔහුගේ නවතම ලිපියෙහි ප්‍රතිචාර වලට පිළිතුරු දීම අතපසු වන බවත් ඔහු විසින් සියළු බ්ලොග් සහෘදයින් වෙත දන්වා සිටී.

    අපි ඔහුට ඉක්මන් සුවය පතමු !

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයාටත් ඔහුගේ බිරිඳටත් ඉක්මන් සුවය පතමු..

      Delete
  14. අනේ හරි ලස්සන පොස්ට් එකක් මන් හරි අසයි මේ වගේ දේවල් කියවන්න..
    දැන් වෙලාව නැහැ, වෙන වෙලාවක් ඇවිත් කියවන්නම්...හරිම ලස්සනයි..
    ඉස්සර මන් ගොඩක් වෙලාවට පොඩි කාලේ අපේ අඳුරන ක්‍රිස්තියානි පවුලක්
    ඉන්න ගෙදරට යනවා ..එහෙ තියෙනවා ඔය වගේ ලස්සන පින්තූර දාපු පොත්
    ගොඩක් ඒවා බලනවා ආසාවෙන්...හරි අසයි..ඒ හැම දේම මතක් උනා ..
    ඉන්නකෝ වෙලාවක් ඇවිත් කියවන්න

    ReplyDelete
    Replies
    1. අගයට කිරීමට ස්තුතියි සහන්.. නිවාඩු පාඩු වෙලාවක ඇවිත් හිමින් සැරේ කියවන්නකො..

      Delete
  15. මේ බ්ලොග් එක කියවද්දි මට දැනුනේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් ජේසුස් වහන්සේත් දේශනා කරලා තිබෙන බව.සත්‍යය උන්වහන්සේලා දැකලා

    ReplyDelete
    Replies
    1. සෑම ආගමකම පාහේ හරය එකයි කියලයි මට හිතෙන්නෙ..

      මිනිස් සමාජය ඉදිරියට පවත්වාගෙන යාම...

      Delete
  16. පෝස්ට් තුනයි, කොමෙන්ට් රිප්ලයි ටිකයි කියවලා, ක්‍රිස්තුස්වහන්සේගේ චරිතයේ නොදන්න දේ බොහොමයක් දැනගත්තා, හරී. ඒ තොරතුරු ලබා දුන්නාට ස්තුතියි. නව වසරේ ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. කියවන්න ආපු ගාමිණී මහත්මයාටත් ස්තුතියි!

      සුභ නව වසරක් වේවා!

      Delete
  17. නූගත්, බියගුලු ධීවරයො ටිකක්, අන්තිමේ නැවතුනේ මොන වගේ තැනක ද (ක්‍රියා පොත) .. කියන හරියට වෙනකන් එක දිගට මේ කතාව කියන්න හරීට ධෛර්්ය ප්‍රාර්තනා කරනව.

    තව අර කිතුනුවන් සමූලඝාතනය මෙහෙයවූ සෙන්පතිය .. ඔහුගේ වෙනස් වීම .. ඔහු ආගම උගන්නන්න එද්දි මිනිස්සු දුවපු හැටි ගැන ලියන එකත් හොඳ පෝස්ට් එකක් වේවි. ( නිකන් Idea එකක් දුන්නෙ)

    ReplyDelete
    Replies
    1. ඕං සඳමාල් අයියා කතාව තවත් දිග්ගස්සන්න යන්නේ.. :)

      මම බලන්නම්කො ඒ ටිකත් ලියන්ඩ..

      Delete
    2. අයියා .. :O බොට ලූස් ද ? මම තාම පොඩි එකා

      Delete
    3. මාත් පොඩි එකානෙ..

      Delete
  18. සෑහෙන කාලෙකට පස්සේ මේ ලිපි පෙල ලියන්න පටන් අරන් තියෙන්නේ. නොදන්න දේවල් බොහෝමයි.
    ඉක්මනටම ඉතුරු ටිකත් ලියමු.

    ReplyDelete
    Replies
    1. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු..

      Delete
  19. අපූරුයි වැඩේ මල්ලි... සරලයි... ‍දිග කතාවක් කෙටි කරන එක නම් සෑහෙන වික්රුමයක් තමයි.

    ReplyDelete
    Replies
    1. කෙටි කරන්න බොහොම අමාරුවෙන් අක්කේ.. සමහර කරුණු හැලෙද්දිත් හිතට හරි නෑ වගේ..

      Delete
  20. මේ දවස්වල මගේ Time Table එක ටිකක් අවුල්. ඒ නිසා එහේ මෙහේ දුවන ගමන් තමයි බ්ලොග් කියවන්නේ. මේකත් පමා වුණා..

    ඉතාමත් සරල පැහැදිලි කතාවක්. ඇත්තටම ඉතිහාසයේ අපේ ගෞරවයට පාත්‍ර වූ චරිතවල ඉතිහාසය දැනගන්න අපි හරි කැමතියි. ඒ නිසාම මේ චරිත එක එක විදියට අපට පේනවා. එකක් මේ හැම චරිතයක්ම ජේසුස් වහන්සේ හෝ බුදුන්වහන්සේ වේවා ජනතාව අතර භක්තිය වැඩිකරන්න ඒ යුගවල හිටි අය ගෞරවනිය විදියට ලිව්වේ. ඒ නිසා තමයි චරිත මතක හිටින්නේ.

    අනිය ‍ඒ යුගවල හිටි ඇතැම් අයට යම් යම් ප්‍රාතිහාර්ය පාන්න හැකිවුණා ඒ ඔවුන්ගේ මනස දියුණු කරගැනීමේ ශක්තියයි.
    "මඟුල් ගෙදරකදී වයින් මදිවෙනවා කියන්නෙ පරපුරම අවමානයට පත්වෙන ජීවිත කාලය පුරාම ලජ්ජාවට පත්වීමට සිදුවියහැකි කාරණාවක්".

    මේක නම් ඇත්ත ඒකනේ මේ පුරුද්ද තවමත් තියෙන්නේ..කට්ටිය සෙට්වෙලා බඩු මදිවුනාම රෑ පානේ වැඩි මිලට බඩු හොයන්න යන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්ද පටන් ගත්තත් හරි මටත් වැඩ වැඩ ඉවරයක් නෑ..

      ඔවු.. ආගමික කතුවරුන්ගේ කතාවලට රචකයන්ගේ අතිනුත් ටික ටික එකතුවෙලා ඇති..

      "සෙට්වෙලා බඩු මදිවුනාම රෑ පානේ වැඩි මිලට බඩු හොයන්න යන්නේ.." හික්..හික්..

      බලන්නකො දයා අය්යෙ ජේසුස් වහන්සේත් ඉසිස්සෙලාම සලකලා තියෙන්නෙ කන බොන මිනිහටනෙ..

      Delete
  21. කියවන්න ටිකක් පමා වුනා.... ඒත් පමා වෙලා හරි ආවා ඉතුරු කොටස බලන්න. අද හරිම සරලව ලස්සනට ලියල තියෙනවා. එක හුස්මට කියෙව්වා. මේ විදියටම හැමදාම ලියන්න....

    ReplyDelete
    Replies
    1. පමාවුනාට කාරි නෑ.. ඔන්න ඒ හින්දා දිගටම සරලව ලියනවා..

      Delete
  22. දෙවනි කොටසේ කියැවෙන කරුණු නම් අපූරුයි..ජේසුස් වහන්සේ තමන්ගේ ධර්ම ප්‍රචාරය අසන්නන්ට අනුව වෙනස් කරගන්න හැටි දැකලා තියන හැටි අගය කල යුතුයි...

    ස්තුතියි හරී ලිපි පෙලට..

    ReplyDelete
    Replies
    1. ඔව්.. අසන්නන්ට තේරෙන්නෙ නැත්නම් ඒ දෙශනාවෙන් පලක් නෑනෙ..

      Delete
  23. jesuge aprasidda jevetay gana vistara atulath lipiyak danna puluwannam watinawa



    ReplyDelete
    Replies
    1. අප්‍රසිද්ධ ජීවිතය ගැන නම් තියෙන්නේ මතවාද පමණයි.. එම නිසා ඒක ලියන එක ගැන දෙවරක් හිතන්න ඕනා.. මොකද මම ඒක ලියලා නිවැරදි දේ මේකයි කියලා කාට හෝ වැරදි වැටහීමක් ඇතිවුනොත් හොඳ නෑනෙ..

      ඒක නිසා හිතලා බලලා තීරණැයක් ගන්නම්..

      Delete
  24. අගය කල යුතුම උත්සහයක්...මේවගේ ලියන්න හොද හික්මීමක් තියෙන්න ඔනා......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොනාලි..

      Delete
  25. මේ ලිපියත් කියෙව්වා . . නියමයි හරී . . බොහෝම ස්තූතියි . .

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස ඉක්මණින් දාන්නම්..

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. මේ ජේසු තුමාගෙ වතුර වයින් කරන සිද්දිය සම්බන්ද අතුරු කතාවක් දැන ගන්න ලැබුන ලඟදි.
    ඔය සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ ගැලීලයෙ (Cana) කානා කියන නගරයේදි.
    ඔය පෝය පන්ති, එහෙම නැත්නම් කතෝලික විවාහයකට පෙර පවත්වන උපදේශන වැඩසටහනට කියන "Pre-Cana" කියන නමේ "කානා" කොටස අරන් තියෙන්නෙ ඔය සිද්දිය උන කානා නගරයේ නමලු.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...