1.09.2013

ශු. බයිබලය

ශු. බයිබලය කියන්නේ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් ඉන්නවානම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. විහිළුවට වගේ එහෙම කිව්වෙ බයිබලය කියන්නෙ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් නැති හන්දා. ඉතින් කාටවත් මේ ලිපිය කියවීමට අවශ්‍ය මූලික සුදුසුකම නැතැයි කියා මා හිතන්නේ නෑ. එහෙනම් වැලවටාරම් කියවන්නේ නැතුව ලිපිය කියවමු.

ජුදෙව්වරුන් හා කිතුනුවන් පොදුවේ තමන්ගේ ආගමික ග්‍රන්ථය විදිහට සළකන්නෙ බයිබලයයි. ග්‍රීක භාෂාවෙන් ta biblia කියන වචනයෙන් තමයි බයිබලය (The Bible) යන වචනය හැදෙන්නෙ. ඒ වචනයේ තේරුම තමයි 'පොත්' කියන එක. ඒ මොකද පොතකට 'පොත්' කියලා කියන්නෙ? ඇත්තම හේතුව තමයි බයිබලය කියන්නේ එක පොතක් නොවීම. බයිබලය කියන්නෙ කාලාන්තරයක් තිස්සේ කතුවරු බොහෝ ගණනක් අතින් ලියවුනු පොත් කිහිපයක එකතුවකට.

මම ඉස්සෙල්ලා ඡේදය පටන්ගනිද්දිම කිව්වනෙ බයිබලය කියන්නෙ කිතුනුවන්ගේත් ජුදෙව්වන්ගේත් ආගමික ග්‍රන්ථය කියලා. ඒත් කිතුනුවනුත් ජුදෙව්වනුත් පාවිච්චි කරන බයිබල එක සමාන නෑ. ඒ වගේම තමයි කිතුනුවන්ගේත් එක් එක් සභාවල පාවිච්චි වෙන්නේත් විවිධ බයිබලයන්. කතෝලික ක්‍රිස්තියානි වෙනස ගැන කියනකන් ඉතින් මේ එක එක සභා කියන්නේ මොකක්ද කියලා සමහර අයට නම් තේරෙන එකක් නෑ. ඒක නිසා ඒ කතාව පැත්තකින් තියමුකො. මම සියලුම බයිබල්වලට පොදු ලක්ෂණ ටික මෙතන ඉඳලා කියන්නම්.

ඉතිහාසඥයන්ගේ සොයාගැනීම් අනුව නම් අඩුම වශයෙන් මීට අවුරුදු 3500කටත් කලින් තමයි බයිබලය ලිවීම ඇරඹිලා තියෙන්නෙ.  ප්‍රායෝගිකව කිව්වොත් බයිබලයම නෙමෙයි බයිබලයට ඇතුළත්වෙලා තියෙන සමහර පොත්. තේරෙන විදිහට කිව්වොත් බයිබලයේ පැරණිම පොත වන 'උත්පත්ති' (Genesis) පොත මීට අවුරුදු 3500කටවත් පෙර ලියවෙන්න ඇති. මේ විදිහට කාලයක් තිස්සේ ලියවුනු පොත්වල එකතුවක් තමයි බයිබලය. තේරෙන විදිහට ආයෙත් කියනවා නම් කාලයක් තිස්සේ ලියවුණු පොත් කිහිපයක් පසුව එකතුකිරීමෙන් තමයි බයිබලය නිර්මාණය වෙන්නෙ. බයිබලය ආගමික ග්‍රන්ථය ලෙස පිළිගන්න හැමෝම පාහේ විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් මිනිසුන් අතින් බයිබලය ලියවුනු වග තමයි.

ජේසුස් වහන්සේත් බයිබලය පාවිච්චි කළා
බයිබලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේකත් හැමෝම දන්නා කරුණක්. ඒ පරණ ගිවිසුම හා නව ගිවිසුම වශයෙන්. සරලව කිව්වොත් පරණ ගිවිසුමේ ලියවිලා තියෙන්නෙ ලෝකය මැවීමත් ජේසුස් වහන්සේගේ පැමිණීමත් අතර කාලය පිළිබඳ විස්තර. නව ගිවිසුමේ තිබෙන්නේ ජේසුස් වහන්සේගේ චරිත කතාව හා උන් වහන්සේගේ මරණින් පසුකාලීනව ගෝළයන්ගේ අතින් කෙරුණු ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව. ජුදෙව්වෝ බයිබලය ලෙස සළකන්නේ පරණ ගිවිසුම පමණයි. ජුදා ආගමිකයෙකු වූ ජේසුස් වහන්සේත් බයිබලය පාවිච්චි කළ බව මම කිව්වා මතක ඇතිනෙ.

හෙබ්‍රෙව් භාෂාවෙන් හා සමහර කොටස් ඇරමයික් භාෂාවෙන් ලියවී ඇති ජුදා බයිබලය එහෙම නැත්නම් හෙබ්‍රෙව් බයිබලය(Hebrew Bible or Tanakh)  ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේකම තමයි කිතුනුවන්ගේ පරණ ගිවිසුම වෙන්නෙත්.

1. ඉගැන්වීම් ( Torah ) -
ආදම් මැවීම
බයිබලයේ තියෙන ඉතිහාස කතා, ව්‍යස්ථා හා නීතිරීති අඩංගු ප්‍රධාන පොත් පහ තමයි ඉගැන්වීම් යටතට වැටෙන්නෙ. මේ පොත් වලට 'මෝසෙස්ගේ පොත්' කියලත් කියනවා.
          i. උත්පත්ති  (Genesis)
          ii. නික්මයාම (Exodus)
          iii. ලෙවී ව්‍යවස්ථාව (Leviticus)
          iv. ගණන් කථාව (Numbers)
          v. ද්විතීය නීති සංග්‍රහය (Deuteronomy)

 බයිබලයේ මුල්ම පොත වන උත්පත්ති පොත ආරම්භ වෙන්නේම ලෝකය මැවීමේ කතාවෙන්. ඊටපස්සේ අග හරියේදී ආබ්‍රහම් ගැනත් ජාකොබ් හා ජෝසප් ගැනත් ඔවුන් මිසරයට ගිය හැටි ගැනත් කියවෙනවා. මතක ඇතිනෙ 'පොරොන්දු දේශය කරා'. නික්මයාම පොතේ තමයි මෝසෙස් ඇතුළු ඉශ්‍රායෙල් ජනතාවගේ ආපසු පැමිණීම සඳහන් වෙන්නෙ. ලෙවී ව්‍යස්ථාවේ හා ද්විතීය නීති සංග්‍රහයේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ නීතිය. ගණන් කතාවේ නම් සංගණන පිළිබඳ තොරතුරු තමයි තියෙන්නේ.

"පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට 'මිනිසා තනිව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි' යි වදාළ සේක." උත්පත්ති 2:18

2. දිවැස්වැකි (Nevi'im )-
දිවැස්වැකි අඩංගු පොත්  ප්‍රධාන වශයෙන් පෙර දිවැස්වැකි හා පසු දිවැස්වැකි වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඕගොල්ලන්ට මතකද මම පොරොන්දුවූ දේශයේ කතාවෙ අන්තිමට කිව්වා පොරොන්දු දේශයට ආවාට පස්සෙත් ජුදා ජාතීන්ට විවිධ රටවල් එක්ක ගැටුම් ඇතිකරගන්න වගේම විවිධ රටවල්වලට යටත් වෙන්න සිදුවෙච්ච බව. මේ විදිහට ඇතිවෙන ගැටුම් ගැන වගේම අනාගත ජුදා ජාතිය ගැන කියවෙච්ච අනාවැකි තමයි පෙර අනාවැකි කියන්නෙ. ඊළඟට ගැළවුම්කාරයාණන්ගේ පැමිණීම ගැන කියවෙන අනාවැකි තමයි පසු අනාවැකි වෙන්නෙ. දිවැස්වැකි සඳහන් පොත්වලට උදාහරණ විදිහට සාමුවෙල්, ජෙරමියා, යෙසායා ආදී පොත් හඳුන්වන්න පුළුවන්.

"එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහිය. එහෙත් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියාවීමට කෙනෙක් තී කෙරෙන් නැගී එන්නේය " මීකා 5:2

3. ප්‍රබන්ධ (Ketuvim)-
ආගමික තේමාවන් වගේම අනිකුත් තේමාවන් ඔස්සේ ලියවුනු නවකතා, කෙටිකතා, ගීත, කවි, නාට්‍යය ආදිය ලියවුනු පොත් වගේම යම් ආප්තෝපදේශ අඩංගු පොත් මේ යටතට දමන්න පුළුවන්.  ගීතාවලිය පොත ගත්තොත් ඒක තනිකරම ගීත පොතක්.

"මාගේ ප්‍රිය සොඳුරිය, 
            ඔබ රුව ඇත්තීය; 
එසේය, 
           ඔබ රුව ඇත්තීය.
 ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස්
           පරෙවියන්ගේ ඇස් වැනිය. 
ඔබේ වරලස 
           ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනිය." ප්‍රේම ගී 4:1

 මේ විදිහට විවිධ තේමාවන් ඔස්සේ විවිධ ශෛලීන්ගෙන් ලියවුනු පොත් සමූහයක් ක්‍රි.පූ. 5වෙනි ශතවර්ෂයේදී පමණ එකට එකතුකිරීමෙන්  තමයි පරණ ගිවිසුම හෙවත් හෙබ්‍රෙව් බයිබලය නිර්මාණය වෙලා තියෙන්නෙ. නමුත් නියම විදිහට සළකා බලද්දී කිතුනුවන්ගේ පරණ ගිවිසුම ජුදා බයිබලයට සර්වසම නෑ පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. කතෝලික බයිබලයේ පරණ ගිවිසුමේ පොත් 46ක් අඩංගු බවත් මතක තියා ගන්ඩකො..

 ඊළඟට නව ගිවිසුම ගැන කියනවා නම් මම කලින් කිව්වා වගේ නව ගිවිසුම ලියවී ඇත්තේ ජේසුස් වහන්සේගේ ජීවිතය වටායි. මූලික වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්.

1. ශුභාරංචිය (The Gospels) -
ජේසුස් වහන්සේගේ ඉපදීම ප්‍රසිද්ධ ජීවිතය හා මරණයත් උත්ථානවීමත් විස්තර වෙන්නෙ මේ ශුභාරංචි කොටසේ.  මතෙව්(Matthew), මාක්(Mark), ලූක්(Luke) හා ජොහාන්(John) යන පුද්ගලයන් හතර දෙනා විසින් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ලියා ඇති පොත් හතර තමයි මේ කොටසෙ මූලික වෙන්නෙ. මීට අමතරව ජේසුස් වහන්සේගේ මරණින් පසු ගෝළයින් ක්‍රියා කළ ආකාරය 'ක්‍රියා'(Acts of the Apostles) පොතෙන් කියවන්න පුළුවන්.

 2. පාවුළුතුමාගේ හසුන් (Pauline Epistles)
ජේසුස් වහන්සේගේ මරණින් පස්සෙ  ගෝළයන් විසින් තැන තැන ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. මේ විදිහට එක් එක් නගරාශ්‍රිතව කුඩා කිතුනු ඒකක බිහිවෙනවා. ඉතින් මේ කිතුනු ඒකක වෙත පාවුළුතුමා යවපු ලියුම් තමයි මේ කොටසට අයිති වෙන්නෙ.

3.  වෙනත් හසුන්

4.  එළිදරව්ව (Revelation) -
මෘගයා

 බයිබලයේ අන්තිම පොත වෙන්නේ එළිදරව්වයි.  සමහරු නම් කියන්නෙ එළිදරව්වේ තියෙන්නෙ දිවැස්වැකි හා විශේෂයෙන් ලෝකාන්තිමය හා ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ විස්තර බව. ඒත් අනෙක් මතය තමයි කිතුනුවන්ට රෝම අධිරාජ්‍යයෙන් එල්ලවූ මරණීය තර්ජන නිසා ධර්මය රහස් භාෂාවකින් ප්‍රචාරණය කිරීමට එළිදරව්ව පොත ලියා ඇති බව. එළිදරව්වේ කියන හැටියට ලෝකාන්තිමේදී එන මෘගයාගේ රූපයකුත් මම දාලා ඇති.


"මෘගයාගේ අංකය ගණන් බලා දැනගනීවා. ඒ ගණන හයසිය හැටහයයි" එළිදරව්ව 13:18

ඔන්න ඔය විදිහට නව ගිවිසුම හැටියට තවත් පොත් 27ක් එකතු වෙලා තියෙනවා.  නව ගිවිසුම ලියවිලා තියෙන්නෙ ග්‍රීක භාෂාවෙන්ලු. මේ පොත් එකට එකතු කරලා තියෙන්නෙ ක්‍රි. ව. 150දි පමණ. පරණ ගිවිසුමටත් නව ගිවිසුමටත් අමතරව ද්විතීය සම්මත ග්‍රන්ථ (Deuterocanonical books) නමින් තවත් පොත් කිහිපයකුත් කතෝලික බයිබලයට පසුව එකතුවී තිබෙනවා.

මේ විදිහට පරණ ගිවිසුමත් නව ගිවිසුමත් පමණක් සළකා බැලීමේදී පොත් 73කින් යුතු බයිබලය මේ වනවිට භාෂා 1200කටත් වැඩි ගණනකට පරිවර්තනය වී ඇති අතර ලොවපුරා වාර්ෂිකව මිලියන 25කට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි වෙනවාලු. බයිබලය ගැන ඉතින් සරලව ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. තව දෙයක්, බයිබලය ලියවී ඇති කාලයත් බයිබලයට පාදක වෙච්ච සංස්කෘතියත් අපිට ආගන්තුකයිනෙ. ඉතින් සමහර තැන්වලදී නියම අර්ථය දැනගැනීමට නම් ඒ කාලයේ සංස්කෘතිය ගැනත් චුට්ටක් විතර දැනගන්න වෙනවා. මතකනෙ ජුදයන්ගෙ කැලැන්ඩරේ. හැබැයි දැන් බයිබලයට ගැටපද විවරණයක්, සිතියම් වගේම කිරුම් මිනුම් හා මුදල් ඒකක ගැනත් විස්තර ඇතුළත් කර තිබෙන නිසා තේරුම්ගන්න පහසුයි.

කතෝලික බයිබලයක්
මේ ලිපිය ලියන්න මූලික වුනේම යම් පාඨයක් බයිබලයෙන් හොයාගන්න හැටි කියන්නනෙ. දැන් යන්න හදන්නෙ එතනට. තවත් සරලව කිව්වොත් මම ලිපියේ උඩ තැනින් තැන දැමූ උත්පත්ති 2:18, මීකා 5:2, එළිදරව්ව 13:18 වගේ පාඨයක් බයිබලයෙන් හොයාගන්නේ කොහොමද කියන එක කියන්නයි යන්නෙ. මම ඉතින් රෝමානු කතෝලිකයා හින්දා කතෝලික බයිබලෙන් තමයි කියන්න යන්නෙ.

රෝමානු කතෝලික බයිබලයක දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණය තමයි ද්විතීය සම්මත ග්‍රන්ථ වශයෙන් අමතර පොත් කිහිපයක් ඇතුළත් කර තිබීම. අනික කතෝලික බයිබලයේ භාෂාව සරලයි වගේම නිතරම යල්පැනගිය වචන ඉවත්වෙලා නව වචන ආදේශ වෙනවා. ඒ කිව්වෙ සංස්කරණය වෙනවා. ඒක නිසා තේරුම්ගැනීම පහසුයි. පින්තූරෙ බැලුවොත් පෙනේවි පිට කවරයේම ද්විතීය සම්මත ග්‍රන්ථ ඇති බව සඳහන් කරතිබෙන හැටි. ඊළඟට ඇතුල් පැත්තෙ කතෝලික කියන වචනය තියේවි. මේ කාරණාව මඟින් මේ බයිබලය රෝමානු කතෝලිකයන් සඳහා නිර්දේශිත එකක් බව හඳුනාගන්න පුළුවන්.

 රෝමානු කතෝලික වේවා නොවේවා. සිංහල වේවා නොවේවා. ලොව ඕනෑම බයිබලයක ඕනෑම පාඨයක් සොයාගැනීමට මේ ක්‍රමය තමයි පාවිච්චි වෙන්නෙ. පරිවර්තනය වුනා කියලා පාඨයේ අංකය වෙනස් වන අවස්ථාත් හරිම දුලබයි.
පේනවාද 'කතෝලික' වචනය
හරි දැන් අපි ගාව බයිබලයක් තියෙනවා කියමුකො. අපිට හොයන්න ඕනෙ බයිබල් පාඨයකුත් තියෙනවා. උදාහරණයකට හිතමුකො උත්පත්ති 1:6 කියලා. මේ විදිහට පාඨය නම් කරලා තියෙන්නෙ 'පොත පරිච්ඡේද අංකය:පාඨයේ අංකය' කියන ක්‍රමයට.

උදා: උත්පත්ති 1:6    - මෙතනදි පොත වෙන්නේ 'උත්පත්ති' කියන එක. පරිච්ඡේදය අංක 1. පාඨය 6වැනි පාඨය. ආයෙත් කියනවා නම් 'උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ හයවෙනි පාඨය'

ඉතින් අපිට මුලින්ම කරන්න ඕනෙ උත්පත්ති පොත තියෙන තැන හොයාගන්න එක. මුලින්ම යන්ඩ පටුනට. පටුනේ පරණ ගිවිසුම කොටසේත් නව ගිවිසුම කොටසේත් බලන්ඩ ඒ පොතට අදාළ පිටු අංකය.
පරණ ගිවිසුම
නව ගිවිසුම
 එතනින් පිටු අංකය හොයාගත්තැකි. අපිට ඕනා උත්පත්ති පොත පරණ ගීවිසුමේ පිටු අංක එකේම තියෙනවා පේනවා ඇතිනෙ.

පිටු අංකය හා පරිච්ඡේද අංකය
උඩ පින්තූරේ උඩම රවුම් කරලා තියෙන්නෙ පිටුඅංකය. පහළ තියෙන්නෙ පරිච්ඡේද අංකය. මේ විදිහට ලොකු ඉලක්කමෙන් පරිච්ඡේද අංක බලාගන්න පුළුවන්. මීට අමතර කතාවක් කිව්වොත් පොතේ මුලම උඩ තියෙන ඡේදෙන් පොත පිළිබඳ සුළු හැඳින්වීමක් තියෙන්නෙ. ඒක ඊයේ පෙරේදා ඇතුළත් කරපු දෙයක්.

පොත හොයාගත්තාට පස්සෙ පරිච්ඡේද හොයායෑමේ පහසුව තකා  පිටුවේ ඉහළින් පරිච්ඡේද අංකයත් දාලා තියෙනවා.
පිටුවේ ඉහළින් පරිච්ඡේද අංකයත් දාලා තියෙනවා
හරි. දැන් අපි උත්පත්ති පොතත් පළමු පරිච්ඡේදයත් හොයාගත්තා. දැන් තියෙන්නෙ හයවැනි පාඨය හොයාගන්න. මේක හරිම ලේසියි. මොකද සෑම වගන්තියක් ඉස්සරහින්ම ඒ වගන්තියට හිමි අංකයක් තියෙනවා. පහළ පින්තූරෙ බලන්නකො 6 තියෙන තැන.

6 පේනවා නේද?
 ඉතින් උත්පත්ති 1:6 ට අදාළ වෙන පාඨය වෙන්නේ "ඉන්පසු දෙවියන් වහන්සේ, 'ජලය ස්ථාන දෙකක වෙන් වෙන්ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේවා!'යි වදාළ සේක. එසේම විය. " කියන කොටසයි.

 තවත් සංකීර්ණ උදාහරණයක් විදිහට 2 කොරින්ති 1: 5-10 කියන පාඨය ගත්තොත් මෙතනදී කියන්නේ කොරෙන්තිවරුන්ට ලියූ දෙවනි හසුනේ (2 කොරින්ති පොතේ) පළමුවන පරිච්ඡේදයේ පස්වැනි පාඨයේ සිට දහවැනි පාඨය දක්වා කියන එකයි. එතකොට අපි මුලින්ම 2 කොරින්ති පොත හොයාගෙන ඒකේ පළමුවැනි පරිච්ඡේදයේ පස්වැනි වගන්තියත් දහවන වගන්තියත් අතර කොටස ගන්න ඕනෙ.

ඔන්න දැන් හැමෝටම පුළුවන් බයිබලය පෙරලන්න.

මූලාශ්‍ර:
  •  http://en.wikipedia.org/wiki/Bible

පින්තූර:  
  • http://www.amazon.com/Sinhalese-Deuterocanonicals-Translation-Hardcover-Reference/dp/B005TVBIHO

සටහන 1: මේ ලිපිය ලිවීමට ඉල්ලා සිටි හසිත, දිනුක, DDT වත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.

සටහන 2: විචාරක මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

71 comments:

  1. අහ්හ්....නියමයි. ඔය තියෙන්නේ පැහැදිලිව කියා දීල බයිබලය කියවන හැටි.....

    ReplyDelete
    Replies
    1. පැහැදිලියි කියලා අහන්නත් සන්තෝසයි..

      Delete
  2. ඇත්තටම අගේ ඇති වැඩක් කියල තමයි කියන්න වෙන්නෙ.. නොදන්න කෙනෙකුට බයිබලය ගැන දැනගන්නත්, බයිබලය කියවන්නත් මග පෙන්වන අපූරු ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෙ..

      Delete
  3. ඔය බයිබලය ප්‍රින්ට් කරන්නේ වෙනස්ම කොළ ජාතියක..ඒක ඉගෙන ගන්න ගිහින් මාත් ඔය පාඨ හොයාගන්න එක ගැන දැනගත්තා....

    මං මේ කතන්දරේට අදාළ නැති දෙයක් අහන්න යන්නේ... මම කොහෙදි හරි දැක්කා බයිබලය යම් යම් කාල වලදි සංශෝධනය වෙද්දි කොටස් අයින් කරලා තියෙනවා කියලත්... විශේෂයෙන් ජුදා බයිබලයේ තියෙන දේවල් කතෝලික බයිබලයේ ඒ පරිච්ඡේදයේ නැහැ කියලා.. මේ කතාව ඇත්තක්ද හරී...

    ReplyDelete
    Replies
    1. ෴ ඔය බයිබලය ප්‍රින්ට් කරන්නේ වෙනස්ම කොළ ජාතියක.. ෴

      මම අහල තියෙන හැටියට ඒකට හේතුව බයිබලය භාවිත කරන අය ඒ පොත නිතර නිතර පිටු පෙරලීම. නිතර නිතර පිටු පෙරලද්දි පිටු අගින් නැවිල පොත සවුත්තු වෙන නිසා ඒ වගේ නිතර භාවිත කරන පොත් විශේෂ කඩදාසිවල මුද්‍රණය කරනවලු. මමත් අහල තියෙනව විතරයි, වැඩි විස්තරයක් දන්නෑ. මුද්‍රණ ක්‍ෂේත්‍රයේ වැඩ කරන අපේ යාළුවෙක්ට පුළුවන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

      Delete
    2. @ හිරු,

      කොළ ගැන නම් විස්තර දන්නේ නෑ.. ඒත් ඒවා හරිම සිනිඳුයි.. දෙපැත්ත පේන තරම්.. මේ නිසා බයිබලයේ බර වගේම ප්‍රමාණයත් අඩුවෙලා තියෙන බව නම් පේනවා.. මුද්‍රණ වියදමත් අඩුයිද?

      "යම් කාල වලදි සංශෝධනය වෙද්දි කොටස් අයින් කරලා තියෙනවා " ඔව්.. ඒක හරි.. කතෝලික බයිබලයේ තියෙන පොත් ගාන ජුදා බයිබලයේ තියෙන පොත් ගානට වෙනස් වෙන්න පුළුවන්..සමහර කොටස් අයින්වෙලා වගේම සමහර කොටස් අලුතින් එකතුවෙලා.. ඒවගේම තමයි කතෝලික නොවන වෙනත් කිතුනු සභාවල බයිබලයන්ගේ පොත් ගනනත් වෙනස්.. සමහර කොටස් අලුතින් එකතුවෙලා තියෙනවා කියන්නත් පුළුවන් හොඳම උදාහරණය ද්විතීය සම්මත ග්‍රන්ථ කියන කොටස එකතුවෙලා තියෙන්නෙ බොහෝම මෑතකදී...

      @ DDT,
      මමත් ඔය විස්තර දන්නේ නෑ DDT. මුද්‍රණ ක්ෂේත්‍රයේ කෙනෙකුගෙන් පිළිතුරක් එනතුරු සිටිමු.. පොඩිකාලෙ මට තිබ්බ තවත් ගැටළුවක් තමයි බයිබලයේ පැත්තක් රතු උනේ කොහොමද කියන එක.. පස්සෙ පොත්වල ඒ පැත්තෙ පෑනෙන් ලියනකොට තමයි කාරණාව තේරුණේ..

      Delete
    3. DDT කියලා තියෙන කතාව හරි... හැබැයි නාස්ති වෙන එකටත් වඩා මෙතනදි බලන්නේ සැහැල්ලු බව.. ඔය කොලේට කියන්නේ බයිබල් ප්‍රින්ටින් පේපර් කියලම තමයි.. ඒත් ගොඩක් ලොකු පොත් වලට පාවිච්චි කරනවා.. හේතුව තමයි ඒ කොලේ ගොඩක් තුනියි.. ඒ වගේම සැහැල්ලුයි... ඕකට කියන්නේ Lightweight Offest Paper කියලා.. ළූණු සිවියක් වගේ ඒ පැත්ත මේ පැත්ත පේනවා.. හි හි... බයිබලය අපේ රටේ නම් ප්‍රින්ට් කරන්නේ ඕෆ්සේට් ප්‍රින්ටින් ක්‍රමයට... ඒක ටිකක් අමාරු වැඩක්.. මොකද කොලේ තුනී නිසා ලෙඩ ගොඩයි... හිර වෙනවා.. ඩබල් ඩබල් ප්‍රින්ට් වෙනවා.. ලංකාවේ ප්‍රින්ටිං ප්‍රෙස් කීපයක් තියෙනවා මං දන්න විදියට බයිබල්ම විතරක් ප්‍රින්ට් කරන...

      Delete
    4. @ හිරු,

      මුද්‍රණ ශිල්පයේ අගතැන්පත් හිරු අක්කාගේ අදහස් වලට බොහොම ස්තුතියි .. මේ විස්තර දැනගෙන හිටියෙම නෑ..

      Delete
  4. මගේ යාළුවෙක්ගෙ බයිබලයක් කියවන්න කියල ඉල්ලගත්තත් පිටු තිහ හතලිහක් කියවගෙන යද්දි පොඩ්ඩ පොඩ්ඩ කම්මැලි වුණා. හැබැයි කියවපු ටික රසවත්. පුංචි කාලෙ මගේ ඥාතියෙක් ගාව තිබුණ අර බයිබල් සංගමෙන් ගහන චිත්‍ර කතා විධියට තියෙන බයිබලේ කතා පොත් මම ආසාවෙන් කියෙව්වෙ. ගිය පාර පොත් ප්‍රදර්ශනේදි මම ඒ පොත් හත අටක්ම ගත්තා. ඒත් දැන් නම් ඒව කලින් තරම් හොඳ මුද්‍රණ තත්ත්වයේ නෑ.

    ReplyDelete
    Replies
    1. කියවෙනකොට ඔක්කොම කියවන්නේ නැතුව අර පරම්පරා විස්තර තියෙන කොටසුත් කවි තියෙන කොටසුත් මඟ ඇරලා කියවනවා නම් එච්චර කම්මැලිකමක් නෑ.. පරම්පරා විස්තරයකට අහුවුනොත් නම් ඉවරයි..

      ඒවගේම නවකථා, කෙටිකතා වගේ එව්වා නම් හැබෑකතාවලට වඩා රසවත්.. ඒවායින් පටන් ගත්තොත් කම්මැලි නැතිවෙයි..

      මා ගාවත් ඒ චිත්‍රකතා තිබ්බා.. පහුපහු වෙනකොට හැමදේම කොහු කොහු වෙනවා වගේ ඒවායෙත් ගුණාත්මක භාවය එන්ඩ එන්ඩ අඩුවෙනවා..

      Delete
  5. විස්තරෙයට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි!

      Delete
  6. සිංහල බයිබලයක් කොච්චර විතර මිල වෙනවද?

    ReplyDelete
    Replies
    1. මම නම් හරියටම ඒගැන කියන්න දන්නේ නෑ.. ඔයා කියපු නිසා ජාලෙ හොයලා බැලුවත් උත්තරයක් ලැබුනේ නෑ.. බයිබල් සංගමයේ වෙබ් අඩවිය නම් හම්බුනා. (http://bsceylon.org/) ඒකෙ නම් ගාන දැක්කෙ 300ක් වගේ... ඒත් විශ්වාස කරන්ඩ බෑ.. මීට අවුරුදු 10කට විතර කලින් මම බයිබලයක් ගත්තෙත් 300කට..

      Delete
  7. අප්පා..මුර්ගයෙක් ගැනත් කියල තියෙන්නේ. උගේ අංකය 66 කියන්නේ මොකක්ද හැබෑට? එතකොට ඒ හෙළිදරව්ව පොතේ තියන දේවල් ගැන හරියටම කියන්න පැහැදිලි අදහසක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. 66 නෙමෙයි 666.. බටහිර රටවල්වල 666 ෆැන්ටසියක් විදිහට සළකන පිරිස් ඉන්නවාලු..

      "පැහැදිලි අදහසක් නැත්ද?" නෑ.. නේන්නම්.. මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.. වෙලාවක කියවලා බලන්න ඕනෙ..

      Delete
    2. hari hari ethakota 666 kiyala uta ankayak dila thiyenne ai kiyala kiyannako

      Delete
    3. සමහරු කියන්නෙ නම් ඔය යම් පුද්ගලයෙක්ව සංකේතවත් කිරීමක් කියලා.. සමහරු කියනවා ඒ කතෝලිකයන්ට බොහෝ තාඩන පීඩන ක්‍රපු නීරෝ කියලත්.. මොකද නීරෝ කියන වචනයෙන් මොකක්ද ගනනය කිරීමකින් 666 ගන්න පුළුවන්ලු..

      මේක කියවන්නකො..
      http://en.wikipedia.org/wiki/Number_of_the_Beast

      Delete
  8. ශු. බයිබලය කියලා දාලා තියන හින්දා, නොදන්න කෙනෙක් බලන්න බැරිද මොකක්ද මේ "ශු"කියලා ? මුලු වචනෙම දැම්මොත් කොහොමද ?

    අර පරිච්ඡේද අංක පිළිවෙලකට නෙමේද තියෙන්නෙ ? 6ට පස්සෙ 9 තමා දකින්න පුලුවන්..

    හරී කොහෙන්ද මේ කරුණු ගැන දැනුවත් වෙන්නෙ? සාමාන්‍යයෙන් මේවා දහම් පාසල්, පාසල් වලවත් උගන්වනවා කියලා මටනම් මතක නෑ..

    ReplyDelete
    Replies
    1. නෑ සෙන්නා. ඒක පළමු පරිච්ඡේදය. 6 වැනි පාඨය නේද?

      ඊට පස්සෙ පොඩි අකුරෙන් 7 හා 8 පාඨ අංක ස‍ඳහන් වෙනව නේද? ඊට පස්සෙ අළුතෙන් පටන්ගන්න ඡේදයෙ පාඨ අංකය 9 වශයෙන් නැවත ලොකු අකුරෙන් තියෙනව.

      Delete
    2. DDT,

      ඒම මම දැන්නෙ දැක්කෙ මචන්. ස්තූතියි. ඒත් එතකොට ප්‍රශ්ණයක් එනවා. උදාහරනයක් විදිහට අංක 8 ගත්තොත් ( 8 විතරක් උපුට දැක්කුවහොත් ) ඒක අර්ථ රහිත ප්‍රකාශයක් වෙනවා නේද ?

      Delete
    3. @ සෙන්නා,
      "මුලු වචනෙම දැම්මොත් කොහොමද ?" හොඳ අදහසක්.. ශු. කියන්නෙ ශුද්ධවූ (holy) කියන එක..

      ආගමික ග්‍රන්ථය වුනාට වෙනත් කිතුනු සභා එක්ක බලද්දී කතෝලිකයෝ නම් බයිබලය ගැන දක්වන උනන්දුව ඉතාමත් අල්පයි.. බයිබලය නිතරම පාහේ කියවන කතෝලිකයෝ මම නම් දැකලාම නෑ.. ඒත් අනිත් සභාවල කට්ටිය පාවිච්චි කරනවා දැකලා තියෙනවා.. සමහරු පල්ලි යන්නෙත් බයිබලය අරන්.. රෙප්‍රමාදු පල්ලි වල කියවීම කියන්ඩ කලින් මෙතන් ඉඳන් මෙතනට කියලා කියනවා.. එතකොට මිනිස්සු ඔක්කොම වගේ තමුන් අතේ තියෙන බයිබලය අරන් එතන පෙරලගෙන කියෝගන්නවා.. ඒකට කතෝලිකයො..

      පරිච්ඡේද අංක ලොකු ෆොන්ට් සයිස් එකකින් බෝල්ඩ් කරලයි තියෙන්නෙ.. පාඨ අංක නම් ප්‍රමාණ දෙකකින් තියෙනවා..

      "ඒක අර්ථ රහිත ප්‍රකාශයක් වෙනවා නේද ?" පාඨ වෙන් කරන්නෙ අර්ථ බලලා නෙමෙයි.. වගන්තියක් වෙන්වෙන විදිහට..

      "කොහෙන්ද මේ කරුණු ගැන දැනුවත් වෙන්නෙ?" අවුරුදු 3500කට කලින් ලියන්ඩ ගත්තු බවත්, හෙබ්‍රෙව් බයිබලය කොටස් වලට බෙදෙන හැටිත්, පරිවර්තන ගණන් හා අලෙවි වන පිටපත් ගනනත් විකියෙන් ගත්තා.. බයිබල් පාඨ ටික බයිබලය බලන් ලිව්වා.. ඉතුරු ඔක්කොම දහම් පාසලේ පාසලේ උගන්නපු සාමාන්‍ය දැනීමනෙ අප්පා..

      Delete
    4. @ DDT,
      ගණන් ගන්න එපා වයසක මිනිස්සුනෙ.. :)

      Delete
  9. බයිබලය ගැන මෙච්චර දිග ලිපියක් කියෙව්වමද කොහෙද. අපේ අම්මා නම් දවසකට එක බයිබල් පාඨයක් කියෝනවා.

    ReplyDelete
    Replies
    1. බයිබලය ගැන පොතක් ලියන්ඩ තරම් කරුණු තියෙනවා.. කොහොමද පොතක් ගැන පොතක් ලියන එක..

      Delete
    2. එහෙනම් ඉතින් නිවාඩු පාඩුවේ ලියන්ඩ. අපි අනිවා කියවන්නම්.

      Delete
  10. රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නෙ නිකායන් දෙකක් පමණද ? ලංකාවෙ වැඩි වශයෙන් ඉන්නෙ කුමන අයද ? මේ ගැටළුව මට සෑහෙන කාලෙක ඉදන් තියෙන දෙයක්... හරී මේ ගැන කලින් කියලත් ඇති....

    බයිබලය කියන්නෙ ලෝකයේ පැරණිම පොත නේද....

    ReplyDelete
    Replies
    1. "රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නෙ නිකායන් දෙකක් පමණද ?"මේ ප්‍රශ්නය මගෙන් ගොඩදෙනෙක් ඇහුවා.. ලඟදීම ලියන්න වෙයි වගේ.. එතකන් මේ උත්තරය..

      "රෝමානු කතෝලික කියන්නෙ ජේසුස් වහන්සේගේ ධර්මය පිළිගන්නා අයගේ විශාලම කොටස.. ක්‍රිස්තියානි සභා කියන්නේ රෝමානු කතෝලික සභාවෙන් විටින් විට වෙන්වී ගිය කුඩා කොටස් වලට.. මම මේ ගැන පෝස්ට් එකක් ලියන්න ඉන්නේ.. එතකොට ගොඩාක් පැහැදිලි වෙයි.. ඒ ලියනකන් කෙටි පැහැදිලි කිරීමක් දාන්නම්.. මේක මම බ්ලොගේ දාපු කමෙන්ට් එකක්..

      අදට අවුරුදු 2000ට විතර ජුදා ජාතිකයෙක්ව ජේසුතුමා මේ ලෝකයට බිහිවෙනවා.. එතුමා අයිතිවෙලා ඉන්නෙ ජුදා ආගමට..

      ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පිළිගත්තු අය කතෝලිකයෝ වශයෙන් වෙනම සභාවක් ඇතිකරගන්නවා..එහෙම කළේ නැති අය ජුදා ආගම දිගටම අදහනවා.. මෙහෙම ඇතිවෙච්ච කතෝලිකයන්ට කියන්නෙ 'මුල් කිතුනු සභා' කියලා..

      ජේසුතුමාගේ ප්‍රධාන ගෝළයා රෝමය ආශ්‍රිතව හිටපු නිසා රෝමය මූලස්ථානය කරගත් රෝමානු කතෝලික සභාව බිහිවෙනවා.. අදටත් පාප්තුමාගේ නායකත්වයෙන් ලෝකයේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා ඉන්නෙ රෝමානු කතෝලිකයෝ.. මේ නායකත්වය ප්‍රක්ෂේප කරපු කට්ටියක් වෙනත් සභාවක් පිහිටුවා ගන්නවා.. ඒක තමයි කතෝලික සභාවේ මුල්ම බිඳීම..

      පහු කාලවල්වල විවිධ මත ගැටුම්, විශ්වාසයන් පිළිබඳ ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, දේශපාලන හා ව්‍යාපාරික ඕනා එපාකම් මත පවා කතෝලික සභාවෙන් විවිධ කොටස් වෙන් වෙනවා...
      තේරෙන විදිහට කියනවානම් ජ.වි.පෙ. කඩාගෙන ජා.නි.පෙ. හැදුවා වගේ..

      ඒ වෙන්වුනු සියලු කොටස් පොදුවේ ක්‍රිස්තියානි සභා ලෙස හැඳින්වෙනවා.. පාප්තුමා ප්‍රමුඛ රෝමය මූලික කරගත් සභාව රෝමානු කතෝලික සභාව ලෙස හැඳින්වෙනවා."

      "ලංකාවෙ වැඩි වශයෙන් ඉන්නෙ කුමන අයද ?" රෝමානු කතෝලික..

      මේ ගැන ළඟදීම ලියන්නම්.. ලිපි මාලාවක් වෙන්ඩ ඉඩ තියෙනවා.. ඒකයි පොඩ්ඩක් පස්ස ගගහා ඉන්නෙ..

      "බයිබලය කියන්නෙ ලෝකයේ පැරණිම පොත නේද...." ඒක හරියටම කියන්න බෑ නේද?

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හිරුට දාපු රිප්ලයි එක මෙතනට වැටිල තිබුණු නිසා මකන්න උනා.

      ස්තූතියි හරී. ඔන්න දැන් නම් තේරුනා බයිබලය උපුටල දක්වන හැටි.

      තව පොඩි ප්‍රශ්නයක්, ඔය කියන හැටියට ආගමික ග්‍රන්ථයකට අමතරව ඉතිහාසය ඉගෙන ගන්න අයත් ඒ කාලවකවානු ගැන අධ්‍යයනය කරන්නත් බයිබලය යොදාගන්නවද?

      Delete
    2. තේරුනා නම් සන්තෝසයි.. ඔව් බයිබලය කියන්නෙ ආගමික කරුණුම අඩංගු ග්‍රන්ථයක් නෙමෙයි.. ඉතිහාසයමය සාහිත්‍යයමය නීතිමය වශයෙනුත් වැදගත්.. ගොඩාක් සංස්කෘතිකාංග ගැනත් බය්බලයෙන් ඉගෙනගන්න පුළුවන්..

      Delete
  12. එල මට දැනගන්න උවමනා දේ ඔයා ඉදිරියේදි කියයි.දැනට මේ ප්‍රශ්නේ සිරා අහලත් තිනෙවා උඩ.අපේ ගෙදරත් බයිබලයක් තිබ්බා.හෙව්වා දැන්.ඒත් කොහෙද දන්නේ නෑ.හොයාගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. අහන්න ගිය ප්‍රශ්නය කතෝලික ක්‍රිස්තියානි වෙනස වෙන්න ඇති ධම්මික,.. හොඳයි ළඟදිම ලියන්නම්කො..

      Delete
    2. ඔව් ඔව් ඒක තමා.මං ගාව තියෙන බයිබලය මොන එකක්ද කියලා දැන ගන්නනේ කොහොමද? කතෝලික කියලා වචනයක් දැක්කේ නැහැනේ මං

      Delete
    3. ද්විතීය සම්මත ග්‍රන්ථ සහිතයි කියලා තියනවා නම් ඒක අනිවාර්‍යෙන්ම මෑතකාලීන කතෝලික බයිබලයක්.. ඒ කොහොම වෙතත් ඒ ද්විතීය සම්මත ග්‍රන්ථ කියන පොත් ටික අඩු වුනත් අනිත් කරුණුවල වෙනසක් නෑ.. බස් වහර ටිකක් විතර සාමාන්‍ය සිංහල පොතකින් එහාට යයි.. ඒ වගේම ටිකක් පරණ වචන තියෙයි.. කතාවේ නම් වෙනසක් නෑ..

      Delete
  13. ප්‍රශ්න අහන්ට නම් මේක ආයෙම පාරක් කියවන්ට ඕනි. ජේසුස් වහන්සේත් බයිබලය කියෙව්වා කියලා දැනගත්තේ අදද කොහෙද? ඒ කාලේ බයිබලය පොතක් විදියට තිබුනද? මම හිතුවෙම ජේසුතුමා කෙලින්ම දෙවියන් වහන්සෙගේ පණිවිඩ ක්‍රියාත්මක කලා කියලා.

    අපේ ගෙදර බයිබලයක් තියනවා. (කියවලා නම් ඉවර නෑ ) මම හිතුවේ ජේසු තුමා නැති උනාට පස්සේ එයාගේ ගෝලයෝ ලීව එකක් කියලා බයිබලය.

    ආයේ පාරක් කියවලා එන්නම්.:)

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ ජේසුස් තුමා ඉපදුනේ ජුදයෙක්ව.. ඉතින් ජේසුතුමාටත් සිදුවෙනවා ජුදා ආගමිකයෙකු විදිහට ඉන්න.. ජේසුතුමාගේ ප්‍රසිද්ධ ජීවිතයේ පළවෙනි කොටසෙදි මම කිව්වා ජේසුතුමා බයිබලය කියවන්ඩ ගිහින් මිනිස්සු කන්දකින් පහළට තල්ලු කරන්ඩ ගෙනිච්ච හැටි.. ඒකත් කියවලා බලන්නකො පොඩ්ඩි අක්කේ..

      "මම හිතුවෙම ජේසුතුමා කෙලින්ම දෙවියන් වහන්සෙගේ පණිවිඩ ක්‍රියාත්මක කලා කියලා." ජේසුතුමා කියන්නෙ දෙවියන් වහන්සේම තමයි (ඔන්න පැටලුනා නේද? :)) ජේසුස් වහන්සේ කළේ ආගමික නීතිරීතිවලට වඩා මිනිස්කම උතුම් බව පෙන්වන්න..

      මාත් ඉතින් සම්පූර්ණයෙන් කියවලා නෑ.. පොඩ්ඩි අක්කා 'ප්‍රේම ගී' පොත පොඩ්ඩක් කියවලා බලන්ඩකො.. :) පැණි බේරෙනවා..

      එහෙනම් ආයෙ කියවලා එන්ඩකො..

      Delete
  14. හරීNovember 25, 2012 4:26 AM

    මොනාද බන් අයියෙ.. උඹ නිකන් පොල්ලෙන් ගහනවා වගේනෙ උත්තර දෙන්නෙ.. උඹට මොනාහරි වෙලාද? :)

    මාතලන්November 25, 2012 7:25 AM

    අනේ එහෙම ගතියක් දැක්කනම් සමා වෙන්න ඕන. ඒත් ඔයාලා වගේ රට ළෝකේ දන්න අයත් මෙහෙම කතා කරාම පට්ට දුකයි...

    සිත රිදුනා නම් නැවත වරක් සමාව ඉල්ලමි..

    AnonymousNovember 25, 2012 11:27 PM

    රට ලෝකේ දන්න කියන්නේ පල්ලියේ හතර මායිමයි. බයිබලේ ගිරවා දාපු එකටයිද අයියේ.

    ReplyDelete
    Replies
    1. හි..හි.. මේ මොකෝ වෙන තැනක එකක් මෙතන දාලා..

      ඇත්තම කිව්වොත් මම ඔය දෙකත් දන්නෙ නෑ.. පල්ලියෙ හතර මායිම දන්නෙත් නෑ..

      බුදු අම්මෝ බයිබලේ ගිරවා දාන්න.. ගිරවා දානවා තියා මම සම්පූර්ණයෙන් කියවලාත් නෑ.. අපේ හාමුදුරුවොත් බයිබලේ සම්පූර්ණයෙන් කියවලා තියෙනවා කියද්දි මම නම් හැංගෙනවා.. :)

      Delete
  15. බයිබලය ටිකක් කියවල තියේ පුංචිලයි ගෙදරදි.. භාෂාව නම් ටිකක් නුහුරුයි..

    ReplyDelete
    Replies
    1. මට නම් එච්චර අමුත්තක් දැනෙන්නේ නෑ යසිත්.. සමහරවිට පොඩි කාලෙ ඉඳන්ම ඇහිච්ච හින්දා වෙන්න ඇති..

      Delete
  16. ඕනෑම භාෂාවක් කතාකරන මිනිසකු කියවියුතුම පොත් හැටියට මම දක්න්නේ, ශු:බයිබලය, ධම්මපදය, පන්සිය පනස් ජාතකය, ථෙර ගාථා සහ ථේරි ගාථා, තිරුක්කුරල්, භගවත් ගීතාව යන කෘති. මේවා ආගමික පොත් පමණකි නොවේ මිනිසකු පරිපූර්ණත්වයට පත්කල හැකි මහා සාහිත්‍ය කෘතීන්.

    විශේෂයෙන්ම මම නිර්මාන කරණයේ යෙදෙන නිසා බයිබලය ඉඩ ලැබෙන පරිදි කියවා තේරුම් ගන්න උත්සාහ කරනවා.එය නිර්මාණකරණයට දැවැන්ත අත්වැලක් සපයන කෘතියක්.

    ReplyDelete
    Replies
    1. දයා අයියා සඳන් කරන පොත් නම් සාහිත්‍ය වටිනාකමින් ඉතාම ඉහළයි.. ඒවා ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් කියවියයුතු පොත්.. ගතයුතු ආදර්ශ බොහෝමයි.. ඇයි සාහිත්‍ය රසය..

      නිර්මාණකරුවන්ටත් හොඳ අත්වැලක්..

      Delete
  17. ඉස්තූතියි හරී.දැං නං බය නැතුව බයිබලේ පෙරලන්ඩ පුලුවං

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නෑ... :)

      Delete
  18. //..ලෙවී ව්‍යස්ථාවේ හා ද්විතීය නීති සංග්‍රහයේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ නීතිය....//

    මේ කොටසේ තියෙන්නේ දෙවියන් වහන්සේ ලබාදීපු නීතිද එහෙමත් නැත්නම් මිනිසා විසින්ම ඒ ඒ කාලවලදී නිර්මාණය කරපු නීතිද ?

    //..ජේසුස් වහන්සේත් බයිබලය පාවිච්චි කළ බව මම කිව්වා මතක ඇතිනෙ....//

    බයිබලය පාවිච්චි කළා කියනවාටත් වඩා ටෝරා ලියවිලි භාවිතා කළා කියලා නේද සාමාන්‍යයෙන් භාවිතාවෙන්නේ ?

    //..ආගමික තේමාවන් වගේම අනිකුත් තේමාවන් ඔස්සේ ලියවුනු නවකතා, කෙටිකතා, ගීත, කවි, නාට්‍යය ආදිය ලියවුනු පොත් වගේම යම් ආප්තෝපදේශ අඩංගු පොත්...//

    ආගමික තේමාවෙන් බැහැර ඒවා ඇතුලත් කරන්න ඇත්තේ මක් නිසාද ?

    //..උදා: උත්පත්ති 1:6 - මෙතනදි පොත වෙන්නේ 'උත්පත්ති' කියන එක. පරිච්ඡේදය අංක 1. පාඨය 6වැනි පාඨය. ආයෙත් කියනවා නම් 'උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ හයවෙනි පාඨය'...//

    ලූක් මතෙව් වගේ ශුභාරංචිවල තියෙන කොටසක් තවත් ශුභාරංචියක තියෙනවා නම් ඒකත් කෙටි ක්‍රමයට අදාළ ඡේදය ආරම්භ වෙන ස්ථානයේ තියෙනවා නේද ??

    බොහොම හොඳ කාලීන අවශ්‍යතාවක් මේ වගේ ලිපි ලියන එක. සමය සමයාන්තර දැනුමට මේ වගේ ලිපි හරි වැදගත්. [මේක නම් හැමදාම කියන එකනේ :D ]

    ReplyDelete
    Replies
    1. //මේ කොටසේ තියෙන්නේ දෙවියන් වහන්සේ ලබාදීපු නීතිද එහෙමත් නැත්නම් මිනිසා විසින්ම ඒ ඒ කාලවලදී නිර්මාණය කරපු නීතිද ?//
      පොරොන්දු වූ දේශයේ කතාවෙදි මම කිව්වා වගේ සීනායි කන්ද ළඟ අවුරුදු කිහිපයක් ඉන්නවනෙ.. ඒ කාලයෙදි කන්දට යන මෝසෙස්ට මේ නීති වරින්වර ලැබුණා කියලා තමයි තියෙන්නෙ.. ඒකනෙ මේ නීතිවලට 'මෝසෙස්ගේ නීතිය' කියලා කියන්නෙ.. ජුදාවරු තවමත් භාවිතා කරන්නෙ මෝසෙස්ගේ නීති තමයි..

      //බයිබලය පාවිච්චි කළා කියනවාටත් වඩා ටෝරා ලියවිලි භාවිතා කළා කියලා නේද සාමාන්‍යයෙන් භාවිතාවෙන්නේ ? //
      ඔයා හරි.. බයිබලය කියන වචනය එතනට යොදන එක වැරදියි තමයි.. මොකද ඒකට බයිබලය කියලා කියවෙන්නේ නෑ.. ඒත් මම ඉතින් සරලව තේරුම්ගන්න පුළුවන් වෙන්න ඒ වචනයම යෙදුවා.. 'ටෝරා ලියවිලි' කියන එකත් නිවැරදි නෑ.. මොකද ඒ පොත් පහට අමතර පොතුත් විශේෂයෙන්ම දිවැස් වැකි තියෙන පොතුත් පාවිච්චි කළා.. මම හිතන්නෙ වඩාත්ම හරිවචනය 'ශුද්ධවූ ලියවිලි' කියන එක.. ජුදාවරු බයිබලයක් කියලා එකතු කර නොතිබ්බට ශු.ලියවිලි ලෙස නම් කරපු ග්‍රන්ථ තිබුනා.. උදාහරණයකට කියනවා නම් ජේසුසු වහන්සේව කන්දෙන් පහළට තල්ලු කිරීමට සූදානම් වීමට තරම් ජනතාව කෝප උනේ උන් වහන්සේ දිවැසිවර යෙසායාගේ පොත කියවීමෙන් පස්සෙ..

      //ආගමික තේමාවෙන් බැහැර ඒවා ඇතුලත් කරන්න ඇත්තේ මක් නිසාද ? //
      ඒක නම් හරියටම කියන්න මම දන්නෙ නෑ.. :) සමහරවිට ආගමික කතා නොවුනත් ඒවායින් ජීවිතයට යම් යම් ආදර්ශ ගැනීමට හැකි නිසා කියලා මම හිතනවා..

      //ලූක් මතෙව් වගේ ශුභාරංචිවල තියෙන කොටසක් තවත් ශුභාරංචියක තියෙනවා නම් ඒකත් කෙටි ක්‍රමයට අදාළ ඡේදය ආරම්භ වෙන ස්ථානයේ තියෙනවා නේද ?? //
      ඔව්.. ශුභාරංචිවල විතරක් නෙමේ මුලු බයිබලේම ඒ වගේ එක තැනක තිබූ දෙයක් ඒ මාතෘකාව සහිතවම හෝ ඊට ආසන්න මාතෘකාවකින් වෙනත් තැනකත් තියෙනවානම් ඒ මාතෘකාවට යටින් ඒ තියෙන තැන් යොදලා ඇති.. ඒ වගේම යම් යම් පාඨ උපුටාගෙන තියෙනවානම් ඒ පාඨවලට අදාළ තැන් ඒ පිටුවේ පහළින්ම ලියලා ඇති.. උදාහරණ විදිහට කිව්වොත් ජේසුස් වහන්සේව යක්ෂයා පරීක්ෂා කරන වෙලාවේ යොදාගත් පාඨ පරණ ගිවිසුමේ සඳහන් තැන් ඒ පිටුවෙම යටින් ඇති..

      මේවා කියවන්න එනවාටත් ස්තුතියි.. (මේකත් හැමදාම කියනවනෙ.. :))



      Delete
  19. Mata sinhala typing baha aith podi dosak nidos karan ona, Baibalaya kayani Purana Giwisuma (Jesu gai upathata pera) saha Aluth giwisuma (Jesugai upatha sha mull kithunu sangayai wikashaya) anthargatha karala akathu una poth set aka ka akthuwak... Bailbal kyanai "Potha" kyana maening aka..
    Thwa dayak.. Jesu Baibalaya kywala nha.. Jesu kyawuai Hebruw warun gai purana giwisuma..

    Baibalya kyala pothaak mudarna ya wenai matha kalayadi.. atha kan ahama concept akak naha..

    ReplyDelete
    Replies
    1. //Baibalaya kayani Purana Giwisuma (Jesu gai upathata pera) saha Aluth giwisuma (Jesugai upatha sha mull kithunu sangayai wikashaya) anthargatha karala akathu una poth set aka ka akthuwak...//
      "සරලව කිව්වොත් පරණ ගිවිසුමේ ලියවිලා තියෙන්නෙ ලෝකය මැවීමත් ජේසුස් වහන්සේගේ පැමිණීමත් අතර කාලය පිළිබඳ විස්තර. නව ගිවිසුමේ තිබෙන්නේ ජේසුස් වහන්සේගේ චරිත කතාව හා උන් වහන්සේගේ මරණින් පසුකාලීනව ගෝළයන්ගේ අතින් කෙරුණු ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව."
      ඔන්න මම කියලා තියෙනවෝ...

      //Bailbal kyanai "Potha" kyana maening aka..//
      මම අහලා තිබුන විදිහට හා විකිපීඩියාවේ තිබුන විදිහට තේරුම තියෙන්නෙ 'පොත්' කියලයි.. The Bible (from Koine Greek τὰ βιβλία ta biblia "the books")
      විකිපීඩියාව පිළිගන්න බෑ කියන මතය හින්දා මම බැලුවා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ..
      Definition of Bible
      noun

      (the Bible) the Christian scriptures, consisting of the Old and New Testaments: [as modifier]: Bible stories Bible study
      (the Bible) the Jewish scriptures, consisting of the Torah or Law, the Prophets, and the Hagiographa or Writings.
      (also bible) a copy of the Christian or Jewish scriptures.
      a particular edition or translation of the Bible: the New English Bible
      (bible) informal a book regarded as authoritative in a particular sphere: a brand-new edition of this filmgoers' bible

      Origin:

      Middle English: via Old French from ecclesiastical Latin biblia, from Greek (ta) biblia '(the) books', from biblion 'book', originally a diminutive of biblos 'papyrus, scroll', of Semitic origin

      ඒකේ නම් පොත පොත් කියන තේරුම් දෙකම තියෙනවා..

      //esu Baibalaya kywala nha//ජේසුස් වහන්සේගේ කාලයේදී ශු.ලියවිලි කියන එකතුවක් තිබුනා.. ජේසුස් වහන්සේ ශු. ලියවිලි කියවූ බව ලූක් 3:16-30 තියෙනවා.. 'බයිබලය' කියවූවා කියන යෙදුම නම් වැරදි බව පිළිගන්නවා..

      //Baibalya kyala pothaak mudarna ya wenai matha kalayadi.// ඒක හරි මුද්‍රණ ශිල්පය හොයාගත්තේ මෑතකාලයේදිනෙ..

      ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි.. පහළ ලින්ක් එකෙන් බැලුවා නම් සින්ග්ලිශ් වලින්ම ටයිප් කළෑකි..

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

      Delete
  20. මුස්ලිම් අයගේ කුරානයෙත් බයිබලේ පැරණි ගිවිසුමෙත් සමානකම් එනවා නේද හරී,ඔන්න ලිපිය අදයි කියෙවුවේ,,,

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලාන්... බයිබලයේ ආදිපිතුරුවරු ලෙස හඳුන්වන මෝසෙස්, ආබ්‍රහම් වැනි අය කුරාණයේ නබිවරුන් ලෙස හැඳින්වෙනවා.. ජේසුස් වහන්සේත් ඔවුන්ට ඊසා නබි.. මට තාම ඉගෙනගන්න බැරිවුනා මුස්ලිම් ආගම බිහිවෙච්ච හැටි..

      Delete
  21. මේ ගැන කියපු එක වටිනවා හරී..මමත් බයිබලය කියවන්න කියලා සෑහෙන දවසක් ට්‍රයි කලත් අගක් මුලක් හොයාගන්න බැරිවුන නිසා අතෑරියා..දැන් ඉතින් ටිකක් මොලේ ඇතිව කියවන්න පුළුවන්..ඉතින් ගොඩක් ස්තුතියි..

    හතර දෙනෙක්ම ඇයි ජේසුස් වහන්සෙගෙ උප්පත්ති කතාව ලියලා තියෙන්නෙ..මතෙව් ගෙ ලිවීම් ගොඩක් වෙලාවට මම බ්ලොග් වල පොත්වල දැකලා තියනවා..මේ හතරදෙනා කවුද? විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

    මේ ගැන අන්තර්ජාලයේ හෙව්වත් කියපු දේවල් ගොඩක් තේරුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. "දැන් ඉතින් ටිකක් මොලේ ඇතිව කියවන්න පුළුවන්.." හැබැයි පරම්පරා විස්තර (අරයගෙ පුතා අරයා එයාගෙ පුතා අරයා) මඟඇරලා කියෙව්වොත් එපා වෙන ගතිය අඩුයි.. තව අකමැතිනම් කවි හා ගීත අතාරින්න..

      "හතර දෙනෙක්ම ඇයි ජේසුස් වහන්සෙගෙ උප්පත්ති කතාව ලියලා තියෙන්නෙ." මෙහෙමනෙ.. හතරදෙනෙක් ජේසුස් වහන්සේගේ ජීවිත කතාවෙන් පොත් හතරක් ලියනවා.. පස්සෙ තමයි ඔය හතර බයිබලයට ඇතුළු වෙන්නෙ.. ඒගොල්ලො ලිව්වෙ ඒ බව දැනගෙන නෙමෙයිනෙ.. තව දෙයක් ඔය හතරක් එකතුවුනාට තව බයිබලයට එකතු නොවෙච්ච ජේසුස් වහන්සේගේ චරිහාපදානත් තියෙන්න ඇති..

      හතර දෙනා ගැන කියනවා නම්.. (ගිහාන් සහෝදරතුමා කමෙන්ටුවක කිව්ව කරුණුත් මම එකතු කරගන්නවා)

      මතෙව්- මේ පොත ලිව්වෙ මතෙව් කියන ජේසුස් වහන්සේගේ ගෝළයා කියන මතයේ බොහෝ අය හිටියත් විද්වතුන් නම් කියන්නෙ පසුකාලීනව ජීවත් වෙච්ච ජුදා ඉතිහාසය හා ජුදා ආගම මැනවින් හදාරපු මනුස්සයෙක් ලියපු එකක් කියලා.. කොහොම වුනත් මතෙව් පොත පුදෙව්වන්ට ජේසුස් වහන්සේව හඳුන්වා දීමේ අරමුණින් ලියූ බව පේනවා.. මොකද පරණ ජුදා ශු. ලියවිලි වල ජේසුස් වහන්සේ ගැන කිව්ව අනාවැකි එහෙම සඵල වෙච්ච හැටි උලුප්පලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා..

      මාක්-ජෝන් මාර්ක් කියන පාවුළුතුමා යාළුවෙක් ලියපු පොතක් විදිහට තමයි සැළකෙන්නෙ.. පාවුළුතුමා කියන්නෙ ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කරන්ඩ දායකවෙච්ච කෙනෙක්.. මාක්ගෙ පොතේ කරුණු තියෙන්නෙ බොහොම කෙටියෙන්.. නමුත් ජුදා සම්ප්‍රදායන් ගැන ලොකු විස්තර තියෙන නිසා ඒ වෙනකොට කිතුනු දහම වැළඳගත් ග්‍රීකයන් වෙනුවෙන් ලියවුනා කියලා උපකල්පනය කරන්න පුළුවන්ලු..

      ලූක්-ජේසුස් වහන්සේගේ ජීවිත කතාව වැඩිපුර විස්තර සහිතවත් සරලවත් තියෙන්නෙ ලූක්ගෙ පොතේ. ඒක නිසාම විදේශිකයන් ඉලක්කකොට ලියවෙන්න ඇතැයි සැළකෙනවා..
      ලූක් කියන්නෙත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක් බව සැළකෙන අතර 'ක්‍රියා' පොත ලියා ඇත්තේද ඔහුයි.

      ඉහතින් කියපු පොත් තුනේම කරුණු අතර බොහෝ සමානකම් තියෙන නිසා එකක් අනෙක උපයෝගී කරගෙන ලියවුණා කියලත් කියනවා.. ඒත් කෝකද ඉස්සෙල්ලා ලියවුනේ කියන්ඩ කෙස් පැලෙන තර්ක තියෙන හින්දා නොකියා ඉන්නම්.. :)

      ජොහාන්-ජීවිත කතාවට අමතාව ධාර්මික කරුණු ගැඹුරින් ලියවිලා තියෙන්නෙ මේ පොතේ.. ඒක නිසාම උගතුන් ඉලක්ක කරගෙන ලිව්වා වෙන්න පුළුවන්.. බොහෝ අය මේක ලිව්වෙ ජේසුස් වහන්සේගේ ගෝළෑකු වන ජොහාන් කිව්වත් ඊටත් එරෙහි මත තිබෙනවා..

      Delete
  22. හොද විස්තරයක්..
    මමත් පොඩිකාලේ කතන්දර ටික ආසාවෙන් කියෙව්වා, "නෝවා ගේ නැව" වැනි දේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාත් ළඟදීම ලියන්නම්..

      Delete
  23. හරිම වටිනවා මේ ලිපි පෙල....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොනාලි..

      Delete
  24. මම නම් කැමති පරන සිංහල බයිබල්වල භාෂාවට ඒකට බයිබල් උපභාෂාව කියන්නත් පුලුවන් ඒ උඹ බං බොලං භාෂාව අලුත් බයිබල්වලත් තියෙනවනම් මම කැමතියි

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් අලුත් පරපුරේ උදවිය නිසා ඒ භාෂාව හුරු නෑ.. අර 'ං' වෙනුවට ඩ යන්න වගේ තියෙනකොට, බැඳි අකුරු තියෙනකොට වගේම භාෂා විලාශයෙත් අමුත්තක් දැනෙන්නෙ.. හැබැයි පරණ බයිබලයක් හුරු කෙනෙකුට අලුත් භාෂාව සීනි බෝල භාෂාවක් විදිහට පේන්නත් පුළුවන්..

      Delete
  25. මට දැනගන්න ඕනේ මේකයි සහෝදරයා............... ශුද්ධ බයිබලය දේව ආනුභාවයෙන් ලියවුනා කියල කියන්නෙ ඇයි ???

    ReplyDelete
    Replies
    1. පිළිතුරු ප්‍රමාද උනාට සමාවෙන්න..

      බයිබලයෙදි ලෝක ආරම්භයේ ඉඳලම සිද්ධවෙච්ච දේවල් කතාවෙනවානෙ.. ඒත් මිනිසා භාෂාව, අක්ෂර, වගේම ලිවීමේ මාධ්‍යය සොයාගන්නේත් සෑහෙන්න පහුවෙලා.. ඉතින් ඒ වෙනකොට මිනිසාගේ ඉතිහාසය ගැන කතා කාලයත් එක්ක ගිලිහිලා ගිහින් ඒ ගැන දන්න අය ඉන්න නැතුව ඇති.. ඒත් බයිබලයේ ඒ කතා ලියවිලා තියෙන්නෙ ලියපු කතුවරුන්ට දෙවියන් වහන්සේ ඒ දේවල් පෙන්නුව නිසා කියලා විශ්වාස කෙරෙනවා.. ඒකයි දේව අනුභාවයෙන් ලියවුනා කියලා කියන්නෙ..

      Delete
  26. ඉතාම වැදගත් කරුණු රාශියක් මේ ලිපිය සහ ප්‍රතිචාර කියවීමෙන් ලබාගත්තා. බොහොම ස්තුතියි. මා ළඟ ඇති සිංහල බයිබලයේ ඇති පරිවර්තන වැකී වල ඇති නීරස කම නිසා , කියවීම එපාවෙනවා. ඒ උනත් අමාරුවෙන් හෝ සිංහලෙන්ම කියවීමෙන්, ඉංග්‍රීසි බයිබලය කියවීමට වඩා ඇඟට වදින හින්දාම කියවනවා. ඒ උනත් ඉංගිරිසියෙන් , සිංහලට පරිවර්තනයේදී නියම අදහස එලියට එන විදිහට පරිවර්තනය වෙලා නැති බවයි මගේ අදහස.
    පුළුවන්කමක් තියෙනවානම්, එළිදරව්ව පොත සරල සිංහලෙන් පරිවර්තනය කරන්න.

    ReplyDelete
    Replies
    1. බයිබල් පරිවර්තනයේදී මුහුණදෙන ලොකුම ගැටළුව මට හිතෙන හැටියට නම් අර්ථයත් රැකගෙන වාක්‍යය ගණනත් එසේම ආරක්ෂා කර ගැනීමයි. පැහැදිලිව කිව්වොත් එක් භාෂාවකින් උත්පත්ති 2:18 ලියවුනු වාක්‍යයම තවත් භාෂාවකින් උත්පත්ති 2:18 ම ලියවෙන්න ඕනනෙ. ඒ අතර සම්පූර්ණ අදහසම කියවෙන්නත් ඕනෙ. නමුත් වෙනත් ආගමික ග්‍රන්ථ එක්ක බලපුවාම (උදා: පන්සිය පනස් ජාතක පොත) බයිබලයේ නව සංස්කරණ පැමිණෙන නිසා භාවිතයෙන් බැහැරවෙන වචන බයිබලයෙන්ද ඉවත් වෙනවා. එය තරමක අස්වැසිල්ලක්.

      "ඒ උනත් ඉංගිරිසියෙන් , සිංහලට පරිවර්තනයේදී නියම අදහස එලියට එන විදිහට පරිවර්තනය වෙලා නැති බවයි මගේ අදහස. " එකඟයි. මම හිතන්නෙ සිංහල වචන කිහිපයකින් කිවයුතු දෙයක් කිවහැකි තනි ඉංග්‍රීසි අචන ඇති නිසා වගේම සමහර වචන වල තේරුම හරියටම පැහැදිලි වෙන සිංහල වචන නැති නිසා මෙලෙස වන්නට ඇති බවයි.

      එළිදරව්ව ලියා ඇත්තේ රහස් භාෂාවකින් යන කියමන සැබෑ නම් කෙතරම් සරලව ඉදිරිපත් කරත් තේරුම්ගත හැකිවෙතැයි සිතන්නට අමාරුයි.

      ස්තුතියි!

      Delete
    2. sinhala type karanna tikak amarui bro.

      bible eke tiyena ewa danata sceince wala hoyagena tiyena ewath ekka baluwama godak viruddai neda ex- lokaye arambaya,viswaye arambaya wage boho dewal.

      Delete
    3. parakrama dammika,
      UCSC එකේ යුනිකෝඩ් කන්වර්ටර් එක සරලයි. උත්සාහ කරලා බලන්න. විශ්වයේ ආරම්භය නම් කතාවක් හැටියටයි බොහෝ දෙනා කියන්නෙ. විද්‍යාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන්න බෑ. සමහර කාරණා විද්‍යාවෙන් ඔප්පු කරලත් තියෙනවා. අනිත් කාරණාව තමයි ලියවිල්ල අයිත් කාලයට අනුව භාවිතා වෙච්ච වචන හා ඒවායේ තේරුම්වෙනස් වෙන්නත් පුළුවන්.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. hello

    The Ceylon Bible Society
    293 Galle Road,
    Colombo 03.

    With to Welcome!!!

    ReplyDelete
    Replies
    1. තොරතුරට ස්තුතියි..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  29. බයිබලයේ පොත් ග්‍රීක් හා හෙ⁣බේ‍රව් භාෂාවෙන් හඳුන්වන විදිහ දන්න අයෙක් සිටී නම් උපකාර කරන්න.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...