12.22.2011

නත්තල් ගහක් හදමු

පෙරේදා නත්තල් සීයා ගැන කිව්වනෙ. ඒ වගේම පොරොන්දු වුනානෙ නත්තල් කතා ටිකකුත් කියන්න.අද යන්නෙ ඒ පොරොන්දුව ඉටු කරන්න.

නත්තල් චාරිත්‍ර කියන්නෙ එක එක රටවල කතෝලික ඒවගේම අනිත් ක්‍රිස්තියානි සභාත් නත්තල සමරන්න භාවිතා කරන නොයෙකුත් විදිහේ ක්‍රියා. මේවා එක එක රටවල වෙනස් වෙනස් විදිහටයි පැවැත්වෙන්නේ. බොහෝ වෙලාවට කිතුණු සම්ප්‍රදායෙන් ආපු ලක්ෂණ වලට අමතරව එක් එක් රටවල සංස්කෘතික අංගත් මේ චාරිත්‍ර වලට බද්ධ වෙලා තියෙනවා. එහෙම එක එක රටවල සිදු කෙරෙන චාරිත්‍ර කියන්න ගියොත් ලියන මටත් කියවන ඔයාලටත් එපාවෙයි. ඒක නිසා වෙන රටවල ඒවා පැත්තක තියලා මේ රටේ ඒ කිව්වෙ සිරි ලංකාවේ නත්තල සමරන හැටි විශේෂයෙන් වර්තමානයේ සාමාන්‍ය ජනතාව නත්තල සමරන හැටි කියන්නම්. ඔතනට වර්තමාන කියන විශේෂණය යොදන්න හේතු වුනේ හැමදෙයක්ම වගේ නත්තල සැමරීමත් කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා.


නත්තල සැමරීම ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයකට දක්වන්න පුලුවන්.
1. නත්තල් ගස සෑදීම
2. ගවලෙන සෑදීම
3. රාත්‍රී දිව්‍ය පූජාවට සහභාගී වීම
4. අසල්වාසීන් සමඟ අහාරපාන බෙදාගැනීම
5. මව් දෙමව්පියන් සහෝදර සහෝදරියන් බලන්න යෑම

ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ ඔය ටික තමයි.මම ඔය එක එකක් ගැන වෙන වෙනම කියන්නම්. ඒවා ගැන ඕගොල්ලන්ගේ දැනගැනීමට තොරතුරු වගේම මගේ පුද්ගලික අත්දැකීමුත්.

අද මාතෘකාව නත්තල් ගහ සෑදීම. ඕක ගැන ඉතින් මොනවා කියන්නද ගහක් ගත්තා බඩු එල්ලුවා. එහෙම හිතුනත් කියන්න ගොඩක් දේ තියේ.

ගොඩක් තැන්වල කියවෙන විදිහට නත්තල් ගහ හදන චාරිත්‍රය පටන් අරන් තියෙන්නෙ ජර්මනියේ. ජර්මනියේ පල්ලිවල නත්තල් කාලෙට නාට්‍යය පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නාට්‍යය වල ප්‍රධාන ජවනිකාවක් වෙලා තියෙන්නෙ ආදම් සහ ඒව කතාව. මම හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ඔය කතාව. ඔය කතාවෙදි ඕනවෙනවනෙ තහනම් ගහක් ගෙඩි කන්න. තහනම් ගහ විදිහට යොදාගෙන තියෙන්නෙ ගහක අත්තක් කපලා අරගෙන ඒකෙ ඇපල් එල්ලලා. පස්සෙ කාලයක් ගතවෙනකොට ජර්මනියෙ ගෙවල් වලත් තහනම් ගහ නත්තල් කාලෙට හදන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සෙ ටික කාලෙකින් ඇපල් වෙනුවට එක එක සැරසිලි එල්ලලා තියෙනවා. පස්සෙ කාලෙකදි සැරසිලි වෙනුවට තෑගි බෝග එල්ලලා එක එක ළමයින්ට බෙදා දීලත් තියෙනවා. ඔය සිරිත ඉතින් රටින් රටට බෝ වෙලා අන්තිමේ අපේ රටටත් ආවා. ඒක බෝවුනු හැමෝම ඉතින් නත්තලට නත්තල් ගස් හදනවා.

නත්තල් ගහක් හදන්නෙ කොහොමද? මම දන්න කාලෙ නම් ක්‍රම හතරයි. හැබැයි අපේ තාත්තලාගේ කාලෙ සීයලාගේ කාලේ නත්තලේදී නම් ඔයිට වඩා වෙනස් ක්‍රමත් පාවිච්චි වෙලා තියෙනවා.


1. ක්‍රමය - ගල්බට නත්තල් ගස්
ගල්බට
මම හිතන්නෙ පොඩිකාලෙ ගල්බට තුවක්කු හදලා කොහුකිරිල්ලා දාලා වෙඩි තියපු කවුරුත් ගල්බට අඳුනනවා ඇති. නොදන්නවා නම් කොල පාට හීනි උණ වර්ගයක් තමා ගල්බට කියන්නෙ. ඉන්ටනැට්ටුවෙන් උස්සපු පොටෝ කෑල්ලක් ඇති ඒක බලන්නකො. ඔය ගල්බට ගස් කිහිපයක් අරගෙන මල්පෝච්චියක හිටවලා සරසලා තමයි ගල්බට නත්තල් ගස් හදන්නෙ. මම පොඩි කාලෙ ඒ කිව්වෙ අවුරුදු තුන හතර කාලෙ නත්තල් ගස් හැදුවේ ඔය විදිහට තමයි. ඒ කාලෙ නම් ගල්බට නත්තල් ගස් හරියට තිබුණා දැන්නම් හොයාගන්නත් නෑ එකක්වත්. අපිට හරිම ලේසී ඔය ජාතියෙ නත්තල් ගස් හදන්න. මොකද ගෙදර තියෙන ගස්නෙ. සමහර කාලවල ගල්බට පඳුරක්ම ලස්සනට කපලා ඒකෙම සැරසිලි එල්ලුවාත් මතකයි.

හැබැයි මම නම් කැමති නෑ ඔය නත්තල් ගස් වලට මොකද ලස්සන හරිම අඩුයි. ඒ වගේම තමයි ගොඩක් කල් තියාගන්නත් බෑ කොල ඉකමනින් මැලවෙන හින්දා. අනික බැලුම් පුපුරන්න ගන්නවා කොල ඇනුනම. ඒක හින්දා ඔය ක්‍රමය ටික ටික අභාවෙට යන්න අරන්.


2. ක්‍රමය - කස නත්තල් ගස්
කස ගස් කියන්නෙ හීනි කෙඳි කෙඳි වගේ කොල තියෙන සයිප්‍රස් ගස් ජාතියක්. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ගොඩක් අය දන්නවා ඇති. මට පින්තූරයක් හොයාගන්නනම් බැරිවුනා. මේ ගහක අත්තක් කපාගෙන ඇවිත් සැරසිලි එල්ලන එක තමයි කරන්නෙ. අපේ ගෙදර නම් අදටත් නත්තල් ගස් හදන්නෙ මේ ක්‍රමයට තමයි. කාගෙ හරි කස ගහක් තියෙන ගෙදරකින් අත්තක් ඉල්ලගෙන ඇවිත් සරසනවා. ඒත් දැන් මිනිස්සු සල්ලි වලට කොච්චර කෑදර වෙලාද කියනවා නම් වෙනද නිකං දුන්නු කස අතු කෑල්ලට රුපියල් තුන්හාරසීය ඉල්ලන්නෙ. ඒත් ඉතින් මම නම් දන්නවා කස යායක්ම තියෙන පොට් එකක්. දෙන්න පුලුවන් ගමකට වුනත් කස ගස්.මේ ගහ ගල්බට ගහට වඩා ලස්සනයි ඒත් ඉතින් සයිප්‍රස් ගස් තරම් කල් තියාගන්න බෑ.


3. ක්‍රමය - සයිප්‍රස් නත්තල් ගස්
සයිප්‍රස්
සයිප්‍රස් කියන්නෙ ඉතින් කඳුකරයේ සීතලට වැවෙන ගස්නෙ. ඒවා පහතරට නම් වවන්න අමාරුයි. පහතරට අපිට නම් ඉතින් කැලේට ගිහින් මෙව්වා කපන් එන්න බෑ. ඒක හින්දා තොග ගණන් ගෙනල්ලා ගිණි ගානෙ විකුනන ලොරියකින් තමයි ගන්න වෙන්නෙ. දැන් දැන් ගොඩක් අය මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඒ වගේම මේ ගහ ලස්සනයි ගොඩක් කල් වේලෙන්නේ නැතුව තියාගන්නත් පුලුවන්.

4. ක්‍රමය - කෘතිම නත්තල් ගස්
ඔක්කොම කෘතිම වේගන යන ලෝකෙ නත්තල් ගසුත් කෘතිම වෙලා. ප්ලාස්ටික් වලින් හදපු නත්තල් ගහක් පුලුවන් කඩෙන් ගන්න. මේ නත්තල් ගස් නිසා එක අතකට වෙන්නෙ පරිසරය සුරැකීමක් අනිත් අතින් පරිසර හානියක්. පරිසර සුරැකීමක් කිව්වෙ රෙඩිමේඩ් ගස් හින්දා නත්තල් කාලෙට ගස් කැපීම අඩු වෙනවා. ඒත් ප්ලාස්ටික් එකතුවීමෙන් වෙන හානිය.

ලොකුම ප්‍රයෝජනය තමයි ගස් හොයන්න ගේන්න වදවෙන්න ඕනෙ නෑ. ගෙයි මුල්ලකින් ගහ හොයගත්තා හයි කෙරුවා. තව එක එක පාට වලින් එක එක හැඩයෙන් ගන්න පුලුවන්. විදුලි බුබුලු සවි කරපු ඒවා තියෙන නිසා ඒ මහන්සියත් නෑ. ඔය මොනවා තිබුනත් අමාරුවෙන් ගහක් හොයලා කපලා ගෙනල්ලා පවුලේ කට්ටිය එකතුවෙලා සරසන ආතල් එක කොහෙන්ද? ඒක නිසා මම නම් කවදාවත් රෙඩිමේඩ් ගස්වලට යන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නෙ. මේ ලිපිය බැලුවමත් ඒක තේරේවි.
කෘතිම ගහ

ඔය කොයි විදිහට හදන්න ගත්තත් නත්තල් ගහ සාමාන්‍යයෙන් හදන්නෙ 24 වෙනිදා හවස.
නත්තල් දා රෑට පාට පාට ඔටෝමැටික් බල්බ් පත්තුවෙන නත්තල් ගහ බලන්න ලස්සනේ බෑ. සරුව පිත්තල පාටට බැබලෙන සැරසිලි, එතකොට රවුමට කැරකි කැරකි දිලිසෙන දියරැලි, හිම වගේ වැටිලා තියන පුලුන්, ඇයි බැලුම් බෝල බලන්න එපැයි ලස්සන.

ඔන්න ඕකයි නත්තල් ගහේ කතන්දරේ. ඉතුරු චාරිත්‍ර ගැනත් ඉස්සරහදී කියන්නම්.

ප. ලි. : මීට අවුරුදු පනහකට විතර කලින් නත්තල සැමරූ හැටි බලාපොරොත්තු වන්න.

13 comments:

  1. ලංකාවෙ අපේ මහගෙදර ලඟක් වෙනකන්ම ඔය තුන්වන ක්‍රමේට තමා නත්තල්ගස් හැදුවෙ දැන්නම් එහෙත් කෘතිම මෙහෙත් කෘතිම.

    ReplyDelete
  2. ඉස්සර නම් තිබුනේ ඇත්ත ගස්. දැන් ඒකත් ගලවලා හයි කරන්න පුළුවන්.....

    ReplyDelete
  3. @රෝස කුමාරි: කරන්නම දෙයක් නැත්නම් කෘතිම හැදුවට කමක් නෑ...

    :)

    ඔය රටේ අනිත් ක්‍රම වලට හදන ගස් නැද්ද?

    ReplyDelete
  4. @මාතලන්: මට තියෙන බය ඒ ගස් විතරක් නෙමෙයි කැලේ තියෙන ගසුත් ඔය වගේ ගලවලා හයි කරන්න වෙන කාලයක් එයි කියලා මාතලන් අයියේ.. මොනව කරන්නද ඒ දවස්වල අපේ සීයලා ඊට පස්සේ අපේ තාත්තලා නත්තල් කරපු හැටි අහද්දි ඇඬෙනවා...

    ReplyDelete
  5. මම නම් ආස කස (කැශුවරිනා) ගස් වලින් හදන නත්තල් ගස් වලට. ඒ ගස් ලඟට යනකොට අමුතුම සුවඳක් තියෙනවා. ඒ සුවඳට මරු !!!

    ReplyDelete
  6. සයිප්‍රස් නත්තල් ගස් තමා ලස්සන නේද.

    ReplyDelete
  7. මොකෝ නැත්තෙ. වැඩි ගරියක් තියෙන්නෙ ඇත්ත ගස්. කැමති ගහක් කපාගන්න අපිටම පුලුවන් ඔය ගස් වවන වතුවලින්. ඒක ඉතින් අපිට කරන්න ටිකක අමාරුයි. ඒ ගස් හරි සුවඳයි.

    ReplyDelete
  8. @මධුරංග :ආහ්...එව්වට කැශුවරිනාද කියන්නෙ? මම මේ කඩ්ඩ නම හොයාගන්න බැරුව හිටියෙ...එව්වල නම් හොඳ සුවඳක් තියෙනවා තමයි...සයිප්‍රස් ගස් නම් මලමිනී ගඳයිනෙ.....

    ReplyDelete
  9. @පිණිබිඳු...:අක්කා මේකෙ එකක් දාපු පළවෙනි පාර මම හිතන්නෙ...බොහොම සන්තෝසයි...

    ඔව් ඔව්...සයිප්‍රස් ගස් තමයි ලස්සන...ඒත් ඉතින් මෙහෙන් ගන්න අතු නම් ගොඩක් පොඩිවෙලා මැලවිලානෙ තියෙන්නෙ...කඳුකරයේ ඉන්න අයට පුලුවන්ද දන්නෑ නේද ගිහින් අලුත් අතු කපන් එන්න...

    ReplyDelete
  10. @රෝස කුමාරි :කපන්න විතරක් නම් මදෑ මොහොක හරි පටවන් ගේන්නත් වෙනවානෙ නේද?...දැන් නත්තල් ගහ හදන්න පටන් ගන්න තියෙන්නෙ...

    ReplyDelete
  11. හරියටම මේ කවුද කියල හොයාගෙනමයි මේ පාර ආවෙ.

    ReplyDelete
  12. ආයෙත් අහලා. මලමිනි ගදයි නේන්නම්. ඔලුව කැරකිල්ල හැදෙනවා. කස ගස් වල අර කස ගෙඩි තියෙන එවුවා හොයා ගන්න තියෙනවා නම් පට්ට !!!!

    ReplyDelete
  13. @ පිණිබිඳු... :ස්තුතියි..නැවත එන්න..

    @ මධුරංග :ගෙඩි තියෙද්දි තමා ලස්සන...පොඩිකාලෙ නත්තලෙන් පස්සෙ මම කරන්නෙ ඔය ගෙඩි අරන් හිටෝන එක...ඔන්න ලබන පාර නම් අතු ඉල්ලන්න යන්න ඕනෙ නෑ කියලා හිතාන තමයි හිටවන්නෙ...කෝ එකක්වත් පැලවෙන්නෙ නෑනෙ...පස්සෙ කාලෙක තමා දන්නෙ කස ඇට තියෙන්නෙ ගෙඩිය ඇතුලෙ නෙමෙයි පොත්තෙ කියලා...එව්වා හිටෙව්වත් හරිගියේ නෑ..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...