8.11.2013

ජේසුස් වහන්සේගේ මරණය

මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියමින් හිටියේ කියලා කියවන කට්ටියට මතකද මන්දා? කාලෙකින් ලියන්න බැරිවෙච්ච නිසා ගොඩක් අයට අමතකත් ඇති. අමතක කට්ටියට මතක් කරගන්නත් නොදන්න කට්ටියට දැන ගන්නත් පුළුවන් පහල තියෙන ලිපි ටික කියෙව්වානම්.

1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස
5. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය
6. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය දෙවන කොටස

ඉහල ලිපි ටිකේ කාරණා සාරාංශයක් විදිහට ගත්තොත් මුලින්ම අපි ජේසුස් වහන්සේගේ ඉපදිම ගැන කතා කළානෙ. උන් වහන්සේට ගව මඩුවක ඉපදෙන්නට සිද්ධවෙච්ච හැටි වගේම පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ උන් වහන්සේව හොයාගෙන ආපු හැටි තිබුනෙත් පළමුවෙනි ලිපියෙ. ඊළඟ ලිපි තුනෙන්ම අපි කථාකළේ ජේසුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ගතකළ හැටි. උන් වහන්සේ සිදුකළ දේශනා, ප්‍රාතිහාර්‍යය වගේම දේශනාවලදී යොදාගත්තු උපමා ගැනත් පරිසිවරුන් වැනි ආගමික නායකයන් හා ඇති කරගත් ගැටුම් ගැනත් කියවන්න ලැබුනා.  ඉතින් අන්තිමට මම ලිව්වෙ ජේසුස් වහන්සේව තමුන්ගේම ගෝළයෙක් විසින් පාවා දීමෙන් පස්සෙ මරණ දඬුවම නියමවෙච්ච හැටි.

අද එතැන් සිට...

ජේසුස් වහන්සේගේ කරමත කුරුසිය [මෙතනින්]
අන්තිම ලිපියේදී කිව්වා වගේ ජේසුස් වහන්සේට මරණ දඬුවම නියම වෙනවා. සොල්දාදුවන් විසින් උන් වහන්සේගේ කර මත කුරුසියක් තබනු ලබනවා.   කුරුසිය කිව්වාම හැම කෙනෙකුගේම වගේ හිතේ මැවෙන සංකේතයක් තියෙනවානෙ. ඒත් ජේසුස් වහන්සේ ඇත්තටම කර තියන් ගිය කුරුසිය මොන වගේද කියන එකත් ජේසුස් වහන්සේව ඇණ ගැසූ කුරුසියේ හැඩය මොන වගේද කියන එකත් මතභේදාත්මකයි. බොහෝ පින්තූරවල ජේසුස් වහන්සේ කුරුසියක්ම කරතබාගෙන යනු දැක්වුවත් සමහරු නම් කියන්නෙ කුරුසියේ හරස් ලීය පමණක් ඔසවාගෙන යන්නැති කියලා. ඊටපස්සෙ ඒ හරස් ලීයට තබා ඇණ ගසලා පොළවේ හිටවපු කනුවක සවිකරන්න ඇතිලු. තවත් සමහර ආගමික කණ්ඩායම් කියනවා ජේසුස් වහන්සේ ඇණ ගැසුවේ හරස් ලීයක් සහිත කුරුසයක නෙමෙයි නිකම්ම කනුවක කියලාත්. ඒ ඒ මත කොහොමවෙතත් පොදු පිළිගැනීම වන්නේ අපි කවුරුත් පාහේ දන්නා හැඩයම තමයි.

ජෙරුසලමේ පටු මාවත් [මෙතනින්]
කුරුසියේ මරණය කියන්නෙ ඒ කාලෙ තිබුනු බොහෝම ලජ්ජාසහගත මරණයක්. අපරාධකරුවන් මංකොල්ලකරුවන් ආදී දරුණුම පුද්ගලයින්ව ප්‍රසිද්ධියේ නින්දාවට පත්කොට කුරුසගත කරනු ලැබුවා. කුරුසයට නියම වූ මිනිසෙකුට තමුන් කැමති ඕනෑම ආකාරයකින් වද හිංසා කිරීමට අවසර තිබුනාලු. ඒක නිසා ජෙරුසලමේ ගල් සහිත පටු මාවත් දිගේ කුරුසය රැගෙන ගිය ජේසුස් වහන්සේට සොල්දාදුවන්ගේ වද හිංසා වලින් අඩුවක් නොවන්නට ඇති. ඒ වද වේදනාත් කුරුසියේ බරත් දරාගන්නට නොහැකිව ජේසුස් වහන්සේ කිහිපවරක්ම බිම ඇද වැටෙනවා.

සෙබළුන්ට වැටහෙනවා මේ විදිහට ගියොත් ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට පෙර මිය යන බව.  එහෙම උනොත් දඬුවම හරි විදිහට ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑනෙ. ඉතින් ඔවුන් කුරුසිය උසුලාගෙන යන්න තවත් මිනිසෙකු උදව් කරගන්නවා. සිරේනියේ සීමොන් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියට අත තබන මිනිසා. ඔහු අප්‍රිකානු මනුස්සයෙක්. කුරුසියකට අත තැබීම නින්දාසහගත දෙයක් ලෙස සළකන නිසා කිසිම ජුදෙව්වෙක් ඊට අත තබන්නේ නෑ. අන්තිමේදී සෙබළුන් යොදාගන්නේ පාස්කුවට ජෙරුසලමට පැමිණ සිටි විදේශිකයෙකු වෙච්ච සීමොන්ව.

වෙරෝනිකා ජේසුස් වහන්සේගේ මුහුණ පිසදමයි [මෙතනින්]
කුරුස ගමනේදී සිදුවූ තවත් විශේෂම සිද්ධියක් තමයි වෙරෝනිකා නම් කෙල්ලක විසින් ජේසුස් වහන්සේගේ මුහුණ පිස දැමීම. ලේ, දූවිලි, කෙළ, දහඩිය ආදියෙන් පෙඟී තිබූ මුහුණට මේක ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති. එවලේ ආශ්චර්‍යයකින් ජේසුස් වහන්සේගේ මුහුණම ඒ රෙදි කඩේ සටහන් වෙනවා. මේ රෙදි කඩ තවමත් සුරැකිව තියෙන බවට මති මතාන්තර තිබෙනවා. ඒත් එව්වා කියන්න ගියොත් ලිපිය දික්වේවිනෙ.

ජේසුස් වහන්සේවත් තවත් කුරුසයට නියම වෙච්ච හොරු දෙදෙනෙකුවත් රැගෙන යන්නෙ ජෙරුසලම් නගරයෙන් පිටත උස් ස්ථානයක් වූ 'කල්වාරි' කඳු මුදුනට. මෙතැන 'ගොල්ගොතාව' කියලත් හඳුන්වලා තියෙනවා. කපාල පිටිය (The place of the skull) කියලත් හඳුන්වලා තියෙනවා.  එතනදී වස්ත්‍ර ඉවත් කරනු ලැබූ ජේසුස් වහන්සේව ඇණ තුනකින් කුරුසියට සවි කරනු ලබනවා. ජේසුස් වහන්සේගේ හිසට ඉහළින් "නාසරෙත්හි ජේසුස්, ජුදයින්ගේ රජු" යැයි භාෂා තුනකින් ලියූ පුවරුවක් සවි කරනු ලබනවා. සමහර විට වරදකරුවන්ගේ වරද සියල්ලන්ටම දැනගනු පිණිස මේ වගේ පුවරුවක් සවි කරන්නට ඇති. මේ පුවරුවේ ජුදයින්ගේ රජු යැයි ලිවීම ගැන නායක පූජකයන් පිලාත්ට විරුද්ධත්වය පලකරනවා. ඔවුන් ඉල්ලන්නෙ ජුදයින්ගේ රජු යැයි නොලියා "තමුන් ජුදයින්ගේ රජු බව මේ මිනිහා කිව්වේය" කියා ලියන ලෙස. එහෙත් පිලාත් ඔවුන්ට ඇහුන්කම් දෙන්නේ නෑ. බොහෝ පින්තූරවල ජේසුස් වහන්සේගේ හිසට ඉහළින් INRI ලෙස දැක්වෙන්නෙ Iusus Nazarenus Rex Iudaeorum කියන පාඨයේ මුල් අකුරුයි.
"නාසරෙත්හි ජේසුස්, ජුදයින්ගේ රජු" [මෙතනින්]

සාම්ප්‍රදායිකව අල්ලේ සිදුරු දැක්වූවත් විද්වතුන් නම් කියන්නේ ජේසුස් වහන්සේව කුරුසයට ඇණතබන ලද්දේ  මැණික් කටුව අසලින් බවයි. අල්ලෙන් සවිකළ මිනිසෙකුට පැය තුන හතරක් කුරුසයේ එල්ලී සිටිය නොහැකි බවත් මියයන්නට පෙර ඔහු හම ඉරී බිම වැටෙන බවත් ඔවුන් ප්‍රකාශ කෙරෙනවා. එම නිසා වඩා ශක්තිමත් මැණික් කටුව ඔවුන් තෝරාගන්න ඇතිලු. ඊළඟට කුරුසයේ එල්ලී සිටින මිනිසාගේ පාද ආධාරකයක් මත රඳවාතබන්නේ ඇයි යන්නත් ගැටළුවක්. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් කුරුසියේ එල්ලී සිටින්නාට උදව්වක් විදිහට කරපු දෙයක් ලෙස. ඒත් මේ ආධාරකය ඔහුගේ මරණය පමා කළා. මරණය පමා වීම වේදනාව වැඩි කළා. මේ ආධාරකය නොතිබ්බානම් පුද්ගලයාගේ සිරුරේ බරට සුසුම්නාව කැඩී ගොස් ක්ෂණික මරණයක් අත් වෙනවාලු. නමුත් ආධාරකය මඟින් සිරුරේ බර දරාගැනීමෙන් මරණය පමා වුනා.

මැණික් කටුව අසලින් ඇණ ගැසීම [මෙතනින්]
එදින රාත්‍රියේ  (ජුදයින්ගේ කැලැන්ඩරයට අනුව රාත්‍රිය පැමිණෙන්නේ දහවලට කලින්) ගෝළයින්ගේ පාද සේදූ ඔවුන් සමඟ ආහාර වැළඳූ ජේසුස් වහන්සේ පැය කිහිපයක් ඇතුළත අපරාධකාරයෙක් ලෙස කුරුස ගසක එල්ලී සිටිනවා. උන් වහන්සේගේ පාමුල උන් වහන්සේගේ තනියට හිටියේ මවවූ මරියතුමියත්, මරිය මග්දලේනා ඇතුළු ස්ත්‍රීන් කිහිපදෙනෙකුත් ජුවාම් ගෝළයාත් පමණයි. ජේසුස් වහන්සේ තමුන්ගේ අම්මාව බලාගැනීම ජුවාම්ට පවරනවා.

ජේසුස් වහන්සේ කුරුස ගසේදී [මෙතනින්]
මේ අතර පරිසිවරු ජේසුස් වහන්සේට නින්දා කරනවා. "දේව මාළිගාව කඩා දමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබම ගලවා ගන්න. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්න"

එහෙත් ජේසුස් වහන්සේ "පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව, ඔවුන් කරන දෙය ඔවුන් නොදනිති" යැයි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා.

සෙබළුන් දාදු කෙළියේ [මෙතනින්]
ඒ වෙලාවෙ සෙබළු හිටියේ වෙනත් වැඩක.  ඔවුන් ජේසුස් වහන්සේගේ සළුව බෙදාගැනීමට සැරසෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් දාදු දානවා. මේ විදිහට ලෙයින් දහඩියෙන් පෙඟිච්ච රෙදි කෑල්ලක් බෙදාගන්ඩ දඟලලා තියෙන්නෙ ඒ කාලෙ රෙදි බොහෝම මිල අධික වෙච්ච නිසාලු.

ටිකකින් ජේසුස් වහන්සේ බීමට දෙයක් ඉල්ලනවා.  සෙබළු ජේසුස් වහන්සේගේ මුඛයට ලංකරන්නේ කටට ගැනීමටත් බැරි තිත්ත කාඩි. උන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා.

පාලකයන්ගේත් සෙබළුන්ගේත් ගැරහුමට ලක්වන ජේසුස් වහන්සේට තමන් දෙපස එල්ලී සිටින හොරුන්ගෙනුත් සැනසීමක් ලැබෙන්නේ නෑ. "ඔබ ක්‍රිස්තුස් කිව්වා නේද? තමුනුත් ගැළවිලා අපිවත් ගලවන්නකො" එක හොරෙක් ජේසුස් වහන්සේට සරදම් කරනවා.

ඒත් අනික් හොරා ඔහුට තරවටු කරන්නෙ ජේසුස් වහන්සේ නිර්දෝෂී බවත් ඔවුන් සුදුසු දඬුවම් ලබන බවත් පවසමින්. ඔහුගේ පසුතැවිල්ල දකින ජේසුස් වහන්සේ ඔහුගේ වැරදිවලට ඒ මොහොතේම සමාව දානය කරනවා.

එදා ගව මඩුවක උපත ලබපු, අවුරුදු තුන හමාරක් පුරාවට ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ගොස් ජනතාවට නීතිය නොව මානුෂිකත්වය මූලිකවූ ධර්මයක් කියාදීපු,  පව්කාරයින්ව යහමඟට ගත්තු, රෝගීන් සුව කරපු ජේසුස් වහන්සේගේ අවසාන මොහොත ළඟාවෙලා. උන් වහන්සේ පියණන් වහන්සේට මොරගහනවා.

"පියාණෙනි, මාගේ ආත්මය ඔබගේ හස්තවලට බාරකරමි"

"පියාණෙනි, පියාණෙනි, ඔබ මා අත්හැරියේ මන්ද?"

අවසානයේ "සියල්ල නිමාවිය" කියමින් ජේසුස් වහන්සේ සිය අවසාන හුස්ම පොද වාතලයට මුසු කරනවා. ජේසුස් වහන්සේ තම ජීවිතය පූජා කරනවා.

තිරය දෙකඩ වී යනවා [මෙතනින්]
ජේසුස් වහන්සේගේ අපවත් වීමත් සමඟ සොබාදහම කම්පා වෙන්න පටන්ගත්තාලූ.  මහා සුළඟක් සමඟ පරිසරයම අන්ධකාර වෙන්නටත් අකුණු ගසන්නටත් පටන් ගන්නවා. භූමිකම්පාවකින් ප්‍රදේශය සෙලවෙද්දි ජුදයින්ගේ අති ශුද්ධ ස්ථානය වසර දහස් ගණනක් පුරාවට ආවරණය කරගෙන සිටි තිරය දෙකඩ වී යනවා. ජුදයින් පසුතැවිලිවීමේ සකේතයක් විදිහට තම වස්ත්‍රය ඉරාදමනවා. මතකනෙ ජෝසප් නැතිවෙච්ච වෙලේ ජකොබ් වස්ත්‍ර ඉරාගත්තු හැටි.  ඒ නිසා ශු. වස්ත්‍රය ඉරීයෑම දෙවියන් වහන්සේ තම ශෝකය ප්‍රකාශ කිරීමක් විදිහට අර්ථ දක්වලාත් තියෙනවා. අනික් අතට එය දෙවියන් වහන්සේ හා මිනිසා අතර තිබූ පැරණි ගිවිසුමේ අවසානය ලෙසත් සැළකෙනවා. කොහොම වෙතත් මේ පරිසරයේ සිදුවූ විපරියාස දැකපු සමහරු තමුන් විසින් නිර්දෝශී පුද්ගලයෙකු මරණයට පත්කළ බව පිළිගත්තාලු.
 
පහුවෙනිදා දෙවියන් වහන්සේට කැපකළ සබත් දිනය නිසා මිනිසුන් ඊලඟ දිනය උදාවීමට (ජුදයින්ගේ දිනය උදාවෙන්නෙ ඉරබැසයාමත් සමඟ) පෙර කුරුස වලින් ඉවත්කළ යුතු උනා. මේ වනවිටත් හොරු දෙදෙනා මියගොස් සිටියේ නෑ. ඒ නිසා ඔවුන්ගේ කකුල් කඩා දමනු ලබනවා. කකුල් කඩා දැම්මාම ඉක්මණින් මැරෙන්නේ මම කලින් කිව්ව විදිහට. නමුත් ඔවුන් ජේසුස් වහන්සේ වෙත එද්දී උන් වහන්සේ මිය ගිහින් ඒ නිසා කකුල් කැඩීමක් සිදුවන්නේ නෑ. එක් සෙබලෙක් ජේසුස් වහන්සේගේ ඉල ඇට අතරින් සිය හෙල්ලය යවා හදවත සිදුරු කරනවා. ඒ සිදුරින් පැමිණි ලේත් වතුරත් වැටීමෙන් ඒ සෙබලාගේ කනවෙලා තිබ්බ ඇසක් හොඳ උනාලු.

ජේසුස් වහන්සේගේ සිරුර තැන්පත් කිරීම [මෙතනින්]
හවස් වෙද්දී ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වෙච්ච අරමතියාවේ ජෝසප් නම් ධනවත් මිනිසෙක් ජේසුස් වහන්සේගේ සිරුර පිලාත්ගෙන් ඉල්ලා සිටිනවා.  පිලාතෙන් අවසර ලැබූ ඔහු තමන් වෙනුවෙන් කප්පවා සකස් කළ තිබූ සොහොන්ගෙයි ජේසුස් වහන්සේව තැන්පත් කරනවා. නමුත් සබත් දිනය උදාවීමට ඉතා ආසන්නව පැවතීම නිසා අවමඟුල් පිළිවෙත් කිරීමට අවශ්‍ය කළමනා මිලදී ගැනීමටවත් වත් පිළිවෙත් සිදුකිරීමටවත් කාලයක් ලැබෙන්නේ නෑ. ජේසුස් වහන්සේව රෙදිකඩකින් ඔතා තාවකාලිකව තැන්පත් කිරීමයි සිදුවෙන්නෙ. මේ රෙදිකඩ එදින අන්තිම රාත්‍රි භෝජනයේදී මේසයට එලපු රෙද්දලු.

 ජේසුස් වහන්සේව ගල්ලෙනේ තැන්පත් කළපසු නායක පූජකයින් පිලාත්ව සොයා යනවා.   "ස්වාමිනි, ඒ වංචාකරයා ජීවත්ව ඉද්දී තුන් දිනකට පසු මරණින් නැගිටින බව කිව්වා. දැන් ගෝළයෝ මළ සිරුර හොරකම් කරගෙන ගිහින් මරණෙන් උත්ථාන වුනා කියාවි. ඒක නිසා සොහොනට මුරකාවල් දමමු. " පිලාත්ගෙන් ලද අවසරයෙන් මියගිය ජේසුස් වහන්සේගේ සොහොනට රැකවල් යෙදෙනවා.
ඒ කාලෙ සොහොන් සකස් කළ හැටි [මෙතනින්]
අද වනවිට කල්වාරි කඳුමුදුනත්  ජේසුස් වහන්සේගේ ගල්ලෙන පිහිටි ප්‍රදේශයත් ආවරණය කරමින් ශ්‍රී ගල්ලෙනේ දේවස්ථානය ඉදිකොට තිබෙනවා.
ශ්‍රී ගල්ලෙනේ දේවස්ථානය [මෙතනින්]

දේවස්ථානයේ සැලැස්ම [මෙතනින්]
ජේසුස් වහන්සේගේ කතාව තවම අවසන් නෑ.

මූලාශ්‍ර : 
  • http://en.wikipedia.org/wiki/Crucifixion_of_Jesus 
  • http://en.wikipedia.org/wiki/Calvary
  • http://en.wikipedia.org/wiki/Church_of_the_Holy_Sepulchre
  • http://en.wikipedia.org/wiki/Simon_of_Cyrene
  • http://www.jesus-story.net/crucified.htm

42 comments:

  1. අද තමය මෙතනට අපු පලවෙනි දවස .... ජෙසුගැන තියෙන ලිපිටික ඔක්කොම මුල ඉදන්ම කියවල එන්නම් කොමෙන්ටුවක් දාන්න. වෙලාවක් තිබුනොත් අපේ පැත්තෙත් එන්න
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මැලේ රාළව සාදරයෙන් පිළිගන්නවා.. එහෙනම් නිවාඩු පාඩුවෙ ඉතුරු ටික කියවලා බලන්න.. ඔන්න මම ඒ පැත්තෙත් ආවා..

      Delete
  2. ඒ කාලේ තිබුණු දඬුවම් ක්රමයක්නේ මේක නේද? මට ජේසුතුමාගේ මරණය ගැන අහනකොට එන ප්රශ්නයක් තමා ඇයි දෙවියන් එයාගේ පුතාව එහෙම තනි කලේ කියන එක. හැම තිස්සෙම ඔලුවට එනවා "My God, my God, why have you forsaken me?" කියලා අහපු එක.

    දෙවියන් ඒ මොහොතේ එයාව අත් ඇරලා දැම්මේ ඇයි කියන එක හිතාගන්ට බෑ. දෙවියන් එයාගේ වැඩ පිලිගත්තා. ඒවගේම එයා අහිංසක කෙනෙක්. දෙවියන්ට විරුද්ධව කිසි දෙයක් කලේ නෑ. දෙවියන්ට කීකරුයි. එයා කියන හැම දෙයක්ම කලා. එයා දෙවියන්ගේ පුත්රයාලු. දෙවියන් එයාට ආදරේ කලාලු. ඒ හන්දා මෙතන ගැටලුවක් එන්නේ නැද්ද? :(

    මම හිතුවේ හරී බැඳලා හනිමූන් ගිහින් කියලා . ඒ හන්දා මේ පැත්තේ ආවෙත් නෑ. ඇයි ඉතින් බැඳලා කියලා පෝස්ට් දැම්මනේ...:D:D

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ හරී බැඳලා හනිමූන් ගිහින් කියලා

      උත්තමාවි ගිය ගමන තමයි හැමෝම ගියෙ කියල හිතුවද?

      Delete
    2. @ පොඩ්ඩි,

      ඔව් පොඩ්ඩි, ඒ කාලෙ තිබුනු දරුණුම දඬුවම තමයි මේක.. ජේසුස් වහන්සේ දෙවි කෙනෙකු උනත් 100%ක්ම මනුෂ්‍යය ලක්ෂණ තිබිච්ච බව පෙන්වනවාලු මේ කියමන නිසා.. තමුන්ගෙ මරණ මොහොතෙදි තමුන් ගැනම මනස්ථාප වෙන්න ඇතිලු.. මතකනෙ කලින් ජෙත්සෙමෙනි උයනෙදිත් මේ විදිහට ඇඬුවා..

      දෙවියන්ගේ පුත්‍රයා තමයි.. ඒත් ජේසුස් වහන්සේව දෙවියෝ මේ ලෝකෙට එවන්නෙ මිනිසුන්ගේ පාප වෙනුවෙන් වන්දි ගෙවන්නලුනෙ.. ඔන්න ඒ ගැන වැඩි විස්තර ඊළඟ ලිපියේ..

      "මම හිතුවේ හරී බැඳලා හනිමූන් ගිහින් කියලා . ඒ හන්දා මේ පැත්තේ ආවෙත් නෑ. ඇයි ඉතින් බැඳලා කියලා පෝස්ට් දැම්මනේ...:D:D" කෝ පොඩ්ඩි ලියලත් නෑනෙ.. පොඩ්ඩිත් හනිමූන් ගියාද? :D ඒක තමයි පහුගිය දවස්වල පේන්න නොහිටියේ..

      @ ඉන්දික උපශාන්ත,

      :D

      Delete
  3. නත්තල වෙනුවෙන් පෙන්වන කතා, චිත්‍රපටිවල එහෙම සමහර විට ඔය සිදුවීම් නිරූපණය වෙනවා මම දැකල තියෙනවා. ලංකාවෙත් ක්‍රිස්තු චරිතය ෆිල්ම් එකෙත් මේ සිදුවීම් යම් යම් අයුරින් නිරූපණය කරල තිබුනා. අපි අහල විතරක් තිබුනු ඒ කතා නැරඹුවාම එකාතකින් කම්පනයක් ඇතිවෙනවා. මට නම් ඒ දවස්වල හිතුනෙ ඒ සමාජය හරි කර්කෂ කෲර සමාජයක් කියලා. කොහොම උනත් අන්තිමට බලන් ගියාම ඔවුනුත් පාලනය උනු සමස්ත රෝම අධිරාජ්‍යයම කෲර ඒකාධිපතිපාලනයක් තමයි.

    හරී, පහුකාලෙක ලෝක ජනයා ජුදෙව්වො පිළිකුල් කරන්නෙ, කොන්කරපු ජාතියක් විදියට සලකන්නෙ ජේසුස් වහන්සේව වධ බන්ධනයට ලක්කරල කුරුස ගතකරපු නිසාද.

    ReplyDelete
    Replies
    1. ඔව්, පොඩි කාලෙ එහෙම මේ කතා ඇහෙද්දි හිතෙන්නෙ ජුදයෝ කියන්නේ මහා කුරිරු මිනිස්සු කොඨ්ටාසයක් කියලා.. හැබැයි ඒ වෙලාවට අමතක වෙනවා ජේසුස් වහන්සේත් ජුදෙව්වෙක් නේද කියලා.. අනික මෙතනදී ජේසුස් වහන්සේව මරණයට යොමු කරන්නේ ජුදයෝ උනත් වද දෙන භටයෝ රෝමානු භටයෝ.. ඒ උනාට අපි පොඩි කාලෙ ඉඳන්ම ඇහුවේ "දුෂ්ඨ ජුදයෝ ජේසුස් වහන්සේගේ කරපිට කුරුසිය තබති" කියලායි..

      "පහුකාලෙක ලෝක ජනයා ජුදෙව්වො පිළිකුල් කරන්නෙ, කොන්කරපු ජාතියක් විදියට සලකන්නෙ ජේසුස් වහන්සේව වධ බන්ධනයට ලක්කරල කුරුස ගතකරපු නිසාද. " ඔව් ඒකත් හේතුවක් තමයි ජුදයින්ව කොන් කරන්න.. තවත් සමහරු කියන කාරණාවක් තමයි ජුදෙව්වන්ට තවමත් සැනසිල්ලක් නැත්තෙ එදා කරගත්තු පාපය නිසා කියන එක.. "ඒ ලේ වල ඵල විපාක අප පිටද අප දරුවන් පිට ද වේවා" කියලා කිව්වලු මරණයට නියම කරන වෙලාවෙ..

      Delete
  4. ජේසුස්වහන්සේගෙ කතා‍ව කතාවලටම ගැලපෙන එකක්. අර වීරය ගැන අපේ තියෙන නිරපේක්ෂ ආශාව අවුළුවන එකක්. ඒ නිසා මේකෙ වර්ෂන් කීයක් ආවත් කව කාලෙකට එපා වෙන එකක් නෑ.

    මට ටික කාලෙකට කලින් ලැබුණා 'මහා ධීවරයානෝ' කියන පරණ තඩි පොත. ඒකෙ තියෙන්නෙ ඔයා මේ කියන අවස්ථාව දක්වා කතාව වෙන කෝණයකින්. ගොඩක් රසවත් පොතක්. අවාසනාවකට ඒ පොතේ අන්තිම පිටු 50-60ක් විතරම ගැලවිලා ගිහිල්ලා. පොත බැඳල තිබුණ නූල් දිරල නිසා. ඔය පොත් කඩවලට ගියාම හොයල බලන පොත් අතරින් එකක් එකක් ඒක. දැක්කොත් ගන්න අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. "ජේසුස්වහන්සේගෙ කතා‍ව කතාවලටම ගැලපෙන එකක්. අර වීරය ගැන අපේ තියෙන නිරපේක්ෂ ආශාව අවුළුවන එකක්. " දුප්පත්ම පවුලකින් ඉපදෙන හැටි, සමාජ අසාධාරණයට විරුද්ධව කතාකරන හැටි, ඒ නිසාම මරණයට පත්වෙන හැටි වීර කතාවක් වගේමයි.

      මම ඒ පොත කියවලා නෑ.. හැබැයි 'මහා ධීවරයානෝ' නමෙන් කියවෙන විදිහට නම් ජේසුස් වහන්සේගේ අග්‍රශ්‍රාවකයා වෙච්ච පේදුරු තුමා ගැන කියවෙන එකක් වගේ.. දුන්න ඔත්තුවට ස්තුතියි... දැක්කොත් මම ගන්නම්...

      Delete
  5. අප්පච්චියේ..............මේ කතාවේ කියන ප්‍රාතිහාර්යයක් සිද්දවුනා වගේ තමයි කාලෙකට පස්සේ ආයෙත් ලිපියක් බලන්න ලැබීම. හරිම සතුටුයි. ඒ වගේම මේ ලිපිය කියවන්නා තුල ලොකු උනන්දුවක් ඇති කරනවා.

    ආයෙනම් අතුරුදහන් වෙන්න එපා. මාසෙකට එකක්වත් ලිපි ලියන්න.

    ජේසුස් වහන්සේගේ පොලොවයට සොහොන දැන් කාටවත් බලන්න දෙන්නේ නැද්ද? කාලෙකට සැරයක්වත් විවෘත කරන්නේවත් නැද්ද? ඒ ගැන කරලා තියන පුරාවිද්‍යාත්මක පර්යේෂණ වාර්තා තියනවද? මොනවද කියලා තියෙන්නේ. සොහොන් ගැබේ පින්තූර නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි විචාරක මහත්මයෝ, මීට කලින් එකක් ලිව්වේ? :) පුළුවන් තරමින් උත්සාහ ගන්නම් ලිපි ලියන්න...

      ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ යම් යම් සිද්ධි මෙන්ම මේ ගල්ලෙනේ පිහිටීමත් විවාදාත්මකයි.. ඒත් දැනට පිළිගැනීමට ලක්වෙන්නේ මම ලිපියෙදී කියූ ස්ථානය තමයි.. ඒ ගැන වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්..

      http://www.bibleistrue.com/qna/pqna1.htm

      Delete
  6. හරි කොහෙද බන් අතුරුදන් වෙලා හිටියේ. මේ දවස් වල බ්ලොග් ලෝකේ ගොඩක් මිනිස්සු හිටි ගමන් අතුරුදහන් වෙනවා. මොකක්ද රහස. කොහොම හරි කමක් නැ මාසෙකට 2ක් වත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් වැඩ වැඩි වුනානෙ.. කාලයක් නොලියා හිටියම ආයෙ එකක් ලියන්න ගන්න හරිම අමාරුයි.. ලියන්නම්කො.. :)

      Delete
  7. හරිම කණගාටුයි. මරණයෙන් නැගිටීම දැනුත් ඉදලා හිටලා සිද්ධ වෙනවා. ඒත් එයාලට ශාස්තෘවරයෙක් කියලා කියන්නෙ නැහැනෙ? කොහොම උනත් ජේසු කියන පුද්ලයාගේ මරණයෙන් හෝ නැගිටීමෙන් පස්සෙ සිද්ධ වුනේ එයාට විර්ද්ධව කටයුතු කරපු රජතුමාගේ වැඩසටහනමයි.

    ඒක මාර්කට් කලේ ජේසු තුමාගේ නමින්. නැතුව ජේසු ඉන්දියාවට පැනල ගිහින් එහේ හිටපු හාමුදුරුවන්ගෙන් ඉගෙනගත් බුද්ධ ධර්මය දේශනා කරන්න අවස්ථාව හම්බ වුනේ නැහැනෙ. ඒ යට ගහපු අවුරුදු 13 තමයි ලෝකෙ අදුරු යුගයකරා ගෙනාවෙ.

    ReplyDelete
    Replies
    1. මරණයෙන් නැගිටීම කියලා අදහස් කරන්නේ අර මැරෙන්නම ගිය කෙනෙක් ආයෙ ජීවතුන් අතරට පැමිණීම වෙන්නැති.. හැබැයි මෙතන ඔබ කියන ජේසු කියන පුද්ගලයා මියගිය බවටත් පුදුම සහගත ලෙස අතුරුදහන් වූ බවටත් සාක්ෂි තියෙනවානෙ.. ඒවා ඊළඟ ලිපියෙන් කියන්නම්..

      "කොහොම උනත් ජේසු කියන පුද්ලයාගේ මරණයෙන් හෝ නැගිටීමෙන් පස්සෙ සිද්ධ වුනේ එයාට විර්ද්ධව කටයුතු කරපු රජතුමාගේ වැඩසටහනමයි." ඔව් ඒක ඇත්ත. ජේසුස් වහන්සේ තමුන්ගේ බලයට එරෙහිවෙයි කියලා උන් වහන්සේව මරපු ජුදාවරුන් වගේම පහුකාලීනව හිටපු කතෝලික සභාවේ නායකයිනුත් තමුන්ට එරෙහි වූවන් ඝාතනය කළා..

      ඉන්දියාවේ කතාව නම් මතභේදාත්මකයිනෙ.. ජේසු ඉන්දියාවට ගියාද නැද්ද කියන එක කවුරුත් දන්නෙ නෑනෙ..




      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අවුරුදු කීපයකට කලින් "Passion of Christ" චිත්‍රපටිය කැම්පස් එකේ පෙන්නුවා. සජිත්ට බලන්න ඕනෙ කිව්ව නිසා මාත් එයා එක්ක බැලුවා. ඔයා කියපු කරුණු එකක් නෑර ඒකෙ තියෙනවා. කෝ අර කපුටෙක් ඇහැක් ගලවගන්න සිද්දිය?

    තව දෙයක් කියන්න ඕනෙ. තරුණ පිරිමි ළමයි පවා ඒ ෆිල්ම් එක බලද්දි හොඳටම අඬනවා මම දැක්කා. කතෝලික ඔබලාගේ දෙවියන් කෙරෙහි ඇති අප්‍රමාන ආදරය මම එදා වටහා ගත්තා.

    ReplyDelete
    Replies
    1. "Passion of Christ" චිත්‍රපටයේ තනිකරම තියෙන්නෙ ජේසුස් වහන්සේ දුක් විඳපු හැටිනෙ.. ඒ චිත්‍රපටියේදි බයිබලයේ තියෙන විදිහට වගේම චිත්‍රපටියක් බවට පත්කරන්න යොදපු කොටසුත් තියෙනවා. අනික සමහර කරුණු සංකේතාත්මකව පෙන්වනවානෙ.. ඇහේ සිද්ධියක් බයිබලයේ නෑ..

      ඔය චිත්‍රපටිය බලලා ගොඩ දෙනෙක් ඇඬුවා කියලා ආරංචියි..

      Delete
  10. මොකද යාලුවා ඩැන් ලියන්නෙ නැද්ද

    ReplyDelete
  11. පියා, පුත්‍රයා දෙන්නම එක්කෙනම් "පියාණනි ඔබ මා අත් හැරියේ මංද ? " කියලා අහන්නෙ ඇයි ඒ ? අඩු ගානෙ මරණින් පස්සෙවත් ඊශ්‍රායෙල්වරු විශ්වාස කරනවද ජේසුස් කියන්නෙ දෙවියන්වහන්සේ පොරොන්දුවුන සිය පුත්‍රයා කියලා ? එහෙම නැත්නම් ඔවුන් තාමත් බලන් ඉන්නවද ගැලවුම්කරු එනතෙක් ?

    ReplyDelete
    Replies
    1. "පියා, පුත්‍රයා දෙන්නම එක්කෙනම් "පියාණනි ඔබ මා අත් හැරියේ මංද ? " කියලා අහන්නෙ ඇයි ඒ ?" මටත් තියෙන ගැටළුවක් තමයි තුන්දෙනා වහන්සේලා එක්කෙනෙක් නම් මේ විදිහට වෙන් වෙන්ව පවතින්නේ කොහොමද කියන එක.. ඒක පැහැදිලි කරගෙන උත්ත‍ර දෙන්නම්කො.. මෙතනදි නම් ජේසුස් වහන්සේ එහෙම කෑගහන්නේ මනුස්සයෙක් විදිහට ලොකු අසාණකමක් දැනුන නිසාලු..

      "අඩු ගානෙ මරණින් පස්සෙවත් ඊශ්‍රායෙල්වරු විශ්වාස කරනවද ජේසුස් කියන්නෙ දෙවියන්වහන්සේ පොරොන්දුවුන සිය පුත්‍රයා කියලා ? එහෙම නැත්නම් ඔවුන් තාමත් බලන් ඉන්නවද ගැලවුම්කරු එනතෙක් ?"
      නැහැනෙ.. ඊශ්‍රායෙල්වරු මෙසියස් වහන්සේ එහෙමත් නැත්නම් ගැලවුම්කාරයා කියලා බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායෙල් ජාතිය ලෝකයේ බලවත්ම ජාතියක් කරන්න පුළුවන් කෙනෙක්ව.. ඒ කාලෙ බලාපොරොත්තු වෙලා තියෙන්නෙ රෝම අක්‍රමණයෙන් තමුන් බේරාගත හැකි කුමාරයෙක්ව.. ඉතින් වඩුවෙකුගේ පුතෙක් තමුන් ගැලවුම්කරු කියද්දී මරන්න හිතෙන්නැති..

      ඒත් මට නම් හිතෙන්නෙ මෙතනදි ගැළවුම්කරු කළේ නීතියේ බැමි වලින් තොරව මානුෂිකව ආගමක් ඇදහීමේ නිදහස ලබාදීම..

      ඉතින් ඊශ්‍රායෙල් වරු පස්සෙ පිළිගත්තා ජේසුස් වහන්සේ නිර්දෝශී, ගෞරවයට ලක්විය යුතු පුද්ගලයෙකු බව.. නමුත් ඔවුන්ට අනුව ජේසුස් වහන්සේට ලෝකයම රැවටිලා මුලාවෙලා ඉන්නෙ.. නියම ගැලවුම්කරු තවම පැමිණ නෑ..

      ඒත් සමහර ජුදා නිකායන් ගැලවුම්කරුගේ පැමිණීම පිළිබඳ බලපොරොත්තු අතඇරලාලු..

      Delete
  12. ආපහු කතාව පටන් අරගෙන..ලොකු දෙයක්. මරණයෙන් නැගිටින කෑල්ල එන තුරු බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. ජේසුස් වහන්සේ මැරිලා තුන්වෙනි දවසේ නැගිට්ටා.. ඒත් පෝස්ට් එක ලියන්න පරක්කු වෙයි..

      Delete
  13. හරී, මම ක්‍රිස්තු චරිතය ගැන
    උනන්දුවක් දක්වන කෙනෙක්. ඔබේ
    ලිපිපෙළ කියවල "passion of Christ " චිත්‍රපටය බැලුවම කලින්
    නොතේරුන ගොඩක් තැන් වැටහුනා
    . එත් කිසිම විදියකින් උත්තර හොයාගන්න බැරිවුන ගැටළු කීපයක්
    තියෙනවා.
    දෙවියන් වහන්සේ ඇයි තමන්ගේ
    පුත්‍රයාව අතහැරලා දාල අරතරම්
    වේදනාකාරී මරණයක් අත්වෙනකම්
    බලන් හිටියේ (මේක තවත් අය අහල
    තියෙන නිසා පොදු උත්තරයක් දුන්නම ඇති)
    1.ජේසු තුමා අපවත් වනතුරුම කිසිම
    ප්‍රතිචාරයක් නොදක්වපු දෙවියන් වහන්සේ එතුමා අපවත් වීමෙන්
    පසු පල්ලියේ තිර දෙකඩ කිරීමෙන් ශෝකය ප්‍රකාශ කලේ ඇයි?ඊට
    සුලුවෙලාවකට කලින් යම්කිසි ප්‍රාතිහාර්යක් පැවනම් සියල්ල වෙනස්
    වෙන්න තිබුන නේද?
    2. තමන්ව අත්අඩංගුවට ගන්න ආපු
    හේවායගේ කන මොහොතින් සුවකරපු එතුමා ඇයි තමන්ගේ තුවාල
    හොඳකරගන්න නොපෙලඹුණේ? ඒවා
    දැකීමෙන් මරියතුමී ඇතුළු එතුමාට
    ආදරය කල අය කොතරම් වේදනාවක් විඳින්න ඇතිද?
    3・ඇයි එතුමා තමන්ගේ මරණය
    වලකන්න පිලාත්ටවත් ඉඩනොදුන්නේ
    ? බුදුදහමේ වගේ මරණයට කාලය
    ආවම එය වෙනස්කල නොහැකි
    කියල මරණය භාර ගත්තද?
    4・ඇයි අපේ පව්වලට කරගැසීමට
    සිදුවුණා නිසා උන්වහන්සේට දුක්
    විඳින්න සිදුවුනා කියන්නේ. තමන් කරපු පින්පව්, කර්මය තමන් පසුපස්සේ එනවා මිසක් ඒවා වෙනත් පුද්ගලයෙකුගේ ගිණුමට බැර කරන්න
    පුලුවන්ද?
    අපහාසයටවත් උපහාසයටවත්
    නෙවෙයි මේ ප්‍රශ්න ඇසුවේ. ඔබ
    වගේ මෙහෙම සරලව පැහැදිලි
    කරන්න පුළුවන් දැනුම ඇතිකෙනෙකුගෙන් පිළිතුරු ලබා
    ගන්න පුළුවන් වෙයි කියල හිතන
    නිසා. කියල දුන්නොත් ඔබට ගොඩක් පින්.

    ඔබට ජේසු පිහිටයි..!!





























































    මළවුන්ගෙන් නැගිටිනකොටවත් කැළැල් සුවකර ගන්න නොපෙලඹුණේ?




















































































    ReplyDelete
    Replies
    1. මුලින්ම පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන්නම්.. මේ දවස්වල වැඩ අධිකයි..

      ඒත් ඔබතුමාගේ/තුමියගේ ප්‍රශ්න ඔක්කොටම මම ජේසුස් වහන්සේ ගැන ලියවෙන ඊලඟ ලිපියෙදි උත්තර දෙන්නයි ඉන්නෙ.. අමනාප වෙන්න එපා.. ඒ ප්‍රශ්න වලට ලිපියකින්ම පිළිතුරු දෙන එක හොඳයි කියා සිතුනා..

      ඔබට ස්තුතියි!



      Delete
  14. මම කලින් comment එක දාපු
    කෙනාමයි. සිංහල ලිව්වේ කොපි
    paste කරමින් ගොඩක් අමාරුවෙන්
    . Comment එක publish කරද්දී
    මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්න ඒක වරදක් නෙමෙයිනෙ :) මම ස්තුති කරන්න ඕනා මෙතරම් උනන්දුවෙන් හා අමාරුවෙන් ප්‍රතිචාර දැක් වීම ගැන.. ප්‍රශ්න වලට උත්තර සහිත ලිපිය ඉක්මණින් ලියන්නම්..

      Delete
  15. කාලෙකට පස්සේ ඇවිත් අපි බලාන හිටිය පෝස්ටුවක් දැමීම ගැන ස්තුතියි හරී..ඊළඟ කොටසත් ඉක්මනින් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම්.. කොහෙද මේ වැඩත් එක්ක බෑනෙ..

      Delete
  16. ආගමික සාස්තෲවරයෙකුගේ අතීතතය හැම මිනිසෙකුටම ගැටලුවක් බුදුන්වහන්සේ , ක්‍රිස්තුස්වහන්සේ , පිළිබඳව මතිමතාන්තර එමටයි. ඒත් අප කල යුත්තේ අතීතය විමසිම නොව ඒතුලින් ජීවිතයට ලබාගත හැකි අධ්‍යාත්මය ලබාගැනිමයි.

    ආයෙමත් මේ කතාපුවත පටන් ගත්ත එක හොඳයි. සරලව යේසුස් වහන්සේ ගැන ඉගනගන්න තියන තැන මෙතැනයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් එහෙමයි.. ඒ ඒ සාස්තෲවරුන්ගේ ජීවිත කතා දැනගෙන ඉන්න එක හොඳයි.. හැබැයි ඒ ඒවා විවේචනය කරන්න නෙමෙයි.. කතාවක් හැටියට.. වඩා වැදගත් වන්නේ ධර්මය පිළිපැදීම..

      ඉක්මණින් ඊළඟ ලිපිය ලියන්නම්..

      Delete
  17. ලිපි මාලාවම කියෙව්ව. හරී කියවල තියනවද මීහයිල් බුල්ගාකොව්ගෙ මාස්ටර් සහ මාගරීටා කියන නව කතාව. යේසුස්ගෙ මරණය ගැන ටිකක් විස්තර දැනගත්තෙ ඒකෙන්(කාලෙකට උඩදි). බරබ්බස් නිදහස් කිරීම වගේ දේවල් තිබුන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මම කියවලා නෑනෙ.. මරිය මග්දලේනා ගැන කියවෙන කතාවක් කියලා හිතෙනවා නම දැක්කාම..

      Delete
  18. ෙයෙහව් වා ෙග් සාක්ෂි කාරෙයා් කියන්ෙන කනුවක තියලා අැන ගැහුවා කියල ඒ් ගැන ඔෙබ් මතය ෙමාකක්ද

    ReplyDelete
    Replies
    1. ජේසුස් වහන්සේ ඇණ ගැසූ කුරුසියේ හැඩය ගැන මතිමතාන්තර බොහොමයයි. මෙතන නම් තියෙන්නෙ ඓතිහාසික කාරණාවකට වඩා භාෂා ප්‍රශ්නයක්. භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය වීමේදි වගේම කාලයත් සමඟ සමහර වචනවල අර්ථයත් වෙනස්කම් වලට භාජනය වෙනවනෙ..

      මුලින්ම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ලියවිලා තියෙන්නෙ ග්‍රීක භාෂාවෙන්.. ඊටපස්සෙ ලතින් භාෂාවෙන්. එතනදී ජේසුස් වහන්සේගේ මරණය සිදුවෙච්ච වස්තුව stauros කියලාත් xylon කියලාත් පාවිච්චි වෙලා තියෙනවලු. xylon කියන වචනය ගහක් හඳුන්වන්නත් ලී හඳුන්වන්නත් ලීයෙන් හදපු දෙයක් හඳුන්වන්නත් පාවිච්චිවෙලා තියෙනවා. stauros කියන වචනය කෙලින් හිටවපු කඳක් එහෙමත් නැත්නම් කනුවක් හඳුවන්න වගේම කුරුසියක් හඳුන්වන්නත් යොදාගෙන තියෙනවා. ඉතින් මේ අපහැදිලිතාව මත තමයි කනුවක්ද කුරුසියක්ද කියන ගැටළුව ඇතිවෙලා තියෙන්නෙ.

      ඒත් ඒ කාලෙ සංකේතාක්ෂර යොදාගනිද්දි ජේසුස් වහන්සේගේ මරණය දක්වන්න ග්‍රීක ටෝ අකුර යොදාගත්තෙ (T) ජේසුස් වහන්සේගේ මරණය කුරුසියක සිදුවුන නිසා බවත් කියවෙනවා..

      වැඩි විස්තර පහල ලින්ක් එකෙන් බැලුවැකි..

      http://en.wikipedia.org/wiki/Dispute_about_Jesus%27_execution_method

      Delete
    2. ජේසුස් වහන්සේව මරණයට පත් කළ කාලයේ දී කුරුස වර්ග 3ක් භාවිතා කරලා තියනවා. එකක් † හැඩය, අනෙක්වා T හැඩය සහ X හැඩය. මෙතනින් ජේසුස් වහන්සේව මරණයට යොදා ගෙන තියෙන්නේ † හැඩයේ කුරුසයයි. ඒ වගේම ඇන්ඩෲ මුණිතුමාව ඇණ ගහලා තියෙන්නේ X හැඩයේ කුරුසයකයි.

      Delete
    3. විස්තරයට ස්තුතියි සහෝදරතුමා.. හැඩ ටික ලස්සනට දාලා තියෙනවානෙ..

      Delete
  19. ශුද්ධ වූ ත්‍රිත්වයට සමාන දෙයක් ගැන බුද්ධාගමෙත් තියෙනවා
    මිහිදු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජ්ජුරුවන් ගෙන් ඇහුවා
    ඔබට නෑයෝ සිටිද්ද කියලා
    ඊට පස්සෙ ඇහුවා ඔබට නොනෑයෝ සිටිද්ද කියලා
    ඊට පස්සෙ ඇහුවා නෑයෝත් නොනෑයෝත් නොවන අය සිටිත්ද කියලා
    රජ්ජුරුවෝ කිව්වා එක්කෙනෙක් ඉන්නවා ඒ මමයි කියලා
    අපි සාමාන්‍ය තර්කනයේදී ඔව් නෑ කියන අවස්ථා මෙතනදී ඔව් සහ නෑ කියන 3වන අවස්ථාව ගැන කතා කරනවා
    ගණිතයේදීත් මේක පාවිච්චි කරනවා
    x=5
    x≠5
    කියන අවස්ථා වලට අමතරව කලනයේ (Calculas) දී
    x→5 කියලා අවස්ථාවක් ගැනත් සඳහන් වෙනවා මේක ඉහත අවස්ථා දෙකම එකවිට සිදුවීමක්
    උදාහරනයක් ලෙස කලනය යොදා ගෝලයක පරිමාවට සූත්‍රයක් තැනීමේදී ගෝලයඉතා තුනී පෙති ගනනාවකට
    බෙදලා එම එක් එක් පෙත්තක් සිලින්ඩරයක් ලෙස සලකා එම පෙතිවල පරිමාවල එකතුව ගෝලයේ පරිමාව ලෙස ගන්නවා
    නමුත් මෙහිදී පෙතිවල ඝනකම 0 නොවිය යුතුයි වගේම 0 විය යුතුයි
    ශුද්ධ වූ ත්‍රිත්වය 3ක් ද 1ක්ද කියන එකත් ඒ වගේ ප්‍රශ්නයක්
    බුද්ධාගමෙත් ඔයට සමාන දෙයක් තියෙනවා
    බුද්ධාගමට අනුව නිවන කියන්නේ ලෝකෝත්තර තත්වයක් සිද්ධාර්ථ තාපසතුමා වයස 35දී නිවන් අවබෝධ කරගත්තා (බුදු වුනා)
    පස්සේ වයස 80 වන තුරු මනුශ්‍යෙයක් හැටියටත් හැටියටත් ජීවත් වුනා ඉන් පස්සේ පිරිනවන් පෑවා
    ඒ කියන්නේ වයස 35 - 80 අතර කාලය ලෞකික ලෝකෝත්තර අවස්ථා දෙකේම සිටියා

    ReplyDelete
    Replies
    1. ලොකු විස්තරයක්. ඒ වගේම ශු. ත්‍රිත්වය පැහැදිලි කරන්න පුළුවන් හොඳ උදාහරණයක් බව පේනවා.. කලනයේදී කුඩා පරිමාව නොසැළකිය හැකි තරම් කුඩායි කියලානෙ ගන්නෙ..

      හැබැයි නිවන කියන කාරණාව නම් මට ටිකක් පැටළිලි සහගතයි.. සමහර බෞද්ධ යාළුවෝ නම් කිව්වෙ නිවන යනු නැති වීම බවයි.. අපිට ගෙවන්න දෙයක් නැති වුනාම අපි කියලා කෙනෙක් මේ විශ්වයෙන් තුරන්වෙලා යනවලු.. ඒක සැපතක්ලු..

      කතෝලිකයන් සතුන්ගේ මරණයක් දකින්නෙත් ඒ විදිහටනෙ. මේ හිටියා මරණයෙන් පසු නැත්තටම නැති වුනා.. නැවත ඉපදීමක් හෝ මරණයෙන් පසු සිදුවන දෙයක් නෑ.. ඒත් කතෝලික මිනිසුන් ප්‍රාර්ථනා කරන්නෙ මරණින් පස්සෙ සදාකාලික සැපතක් ලබා ගැනීමට.. එතකොට නිවන කියන්නෙ ශුන්‍යයක් වෙනවා නම් ඔවුන්ට අනුව ඒක නිශ්ප්‍රයෝජන දෙයක්.

      විස්තරයට ගොඩාක් ස්තුතියි!

      Delete
  20. mata danaganna puluwanda holy chalice holy grail kiyanne mokakda kiyala?

    ReplyDelete
    Replies
    1. Holy Chalice හා Holy Grail සම්බන්ධ කතා ඔක්කොම වගේ පුරාවෘත්ත මට්ටමේයි පවතින්නෙ.

      Holy Chalice කියලා හඳුවන්නෙ ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී වයින් බොන්න පාවිච්චි කරපු භාජනයටයි. ඇත්තම භාජනය කොහේ තියෙනවාදයි කියන්න හරියටම දන්නේ නැති වුනත් පුරාවෘත්ත වල ඒ සම්බන්ධ කතා රාශියක් තියෙනවා. එ වගේම Holy Chalice තමන් සතු යැයි කියන අයත් ඉන්නවා.

      Holy Grail කියන්නෙත් කුසලානක්. මේක Holy Chalice එකට වඩා මධ්‍යතන යුගයේ පුරාවෘහ්ත වල යෙදිලා තියෙනවා. නයිට්වරු, රජවරු ඒක ලබාගන්න උත්සාහ කළ හැටි ගැනත් ආරක්ෂා කරන්න උත්සාහ කරපු හැටි ගැනත් කතා තියෙනවා. Holy Grail කියන්නෙ ජේසුස් වහන්සේ ම්යයන මොහොතේදී වෑස්සුන රුධිරය එකතු කරගත්තු කුසලානයක්ලු.

      සමහරු නම් කියන්නෙ මේ දෙකම එකක් කියලායි.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...