9.02.2012

අද රෑ තමයි රෑ.... පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)

මෙතෙක් කතාව :-
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)       පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)

------------------------------------------------------------------------------------------------------------

 කලින් ලිපියෙදි අපි දැනගත්තනෙ මෝසෙස්ට දෙවියන් වහන්සේ හමුවුන හැටි. ඒ වගේම දෙවියන් වහන්සේ පවරපු වැඩේ අදිමදි නොකර බොහොම උනන්දුවෙන් භාරගත්තු හැටිත්. ඉතින් අද කතාවෙ හැටියට මෝසෙස් තමුන්ගෙ බැටළුවන්ට තණ කවලා කාරිය හැන්දෑජාමේ ටිකෙන් ටික ගෙදරට කිට්ටුවෙනවා. ගෙදර කිව්වට ඉතින් මාමණ්ඩිගෙ ගේ. මතකනෙ මම කලින් කිව්වෙ මෝසෙස් බින්න බැහැපු හැටි. ඉතින් මෝසෙස් සත්තු ටික කොටුවට දාලා ඇඟපත එහෙම හෝදගෙන කෑම ටිකකුත් කාලා හිමීට මාමණ්ඩිට කිට්ටු කරනවා. "මාමෙ, මම මිසරයට ගිහින් මගේ නෑයො ටිකක් බලලා එන්නද?"

"මොකද මේ හදිස්සියෙ?"

"හදිස්සියක් නම් නෙමෙයි මාමෙ. කාලෙකින් ගියෙත් නෑනෙ. ඒකයි පොඩ්ඩක් ගිහින් එන්න හිතුවෙ"

"හොඳයි ගිහින් එන්න" මාමණ්ඩි ගමනට අවසර දෙනවා. ඒ අවසරයෙන් පහුවදා උදේම ඔහු මිසරය බලා පිටත් වෙනවා.

ආරොනුත් මෝසෙසුත් එකිනෙකා හමුවෙනවා.
මෝසෙස් මිසරයට එන අතර දෙවියන් වහන්සේ ආරොන් නම් මෝසෙස්ගේ ඥාති සොහොයුරෙකුට දර්ශනය වෙලා ඔහුව මෝසෙස් වෙත එවනවා. මිසර දේශසීමාවේදී ආරොනුත් මෝසෙසුත් එකිනෙකා හමුවෙනවා. ඔවුන් සතුටින් සිප වැළඳගෙන බොහෝ කාලෙකින් හමුවීමේ ප්‍රීතිය සමරනවා.  ඉන්පසු දෙවියන් වහන්සේගේ නියමයෙන් සිදුවීමට නියමිත ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරනවා. ඔවුන් මෙතනදි පොඩි පෙරහුරුවක් තමයි කරන්නෙ. ඉතින් මුලින්ම දෙවියන් වහන්සේගේ ප්‍රවෘත්තිය ඉශ්‍රායෙල්වරුන්ට කියන්න ඕනනෙ. ඒක නිසා ඉශ්‍රායෙල්වරුන්ගෙ ජන නායකයන් කැඳවලා දෙවියන් වහන්සේගේ පණිවිඩයත්, උන් වහන්සේ කිරීමට බලය දුන් හාස්කමුත් පෙන්වනවා. මේ පණිවිඩයෙන් ඉශ්‍රායෙල් වැසියො උද්දාමයට පත්වෙනවා. තමුන්ගේ කන්නලව් වලට දෙවියෝ කන්දීලා. තමුන් දුඛිත ජීවිතයෙන් මුදා පොරොන්ඳු වූ දේශයට ගෙනියන්න දෙවියන් වහන්සේට මතක්වෙලා. ඔවුන් සතුටින් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා.

ඊළඟට අවශ්‍ය පාරාවෝගේ අවසරය.  මෝසෙසුත් ආරොනුත් පාරාවෝ ඉදිරිපිට. "ස්වාමිනි, පාළුකරයේදී දෙවියන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්න කියා දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා යාමට ඉශ්‍රායෙල්වරුන්ට අවසර දෙන්න"

"දෙවියන් වහන්සේ?? ඒ කවුද? මොකටද මම එයා කියන කියන ඒවා කරන්නෙ? මම අවසර දෙන්නෙ නෑ" පාරාවෝ තරහින් කෑ ගහනවා.

"හෙබ්‍රෙව්වරුන්ගෙ දෙවියන් වහන්සේ අපට හමුවුනා. පාළුකරයේදී උන් වහන්සේ වෙනුවෙන් තුන් දිනක මංගල්‍යයක් පැවැත්වීමට යාමට අපට අවසර දෙන්න. ඒ මංගල්ලෙ තියන්න බැරිවුනොත් උන් වහන්සේ වසංගතයකින් අප වනසාවි." මෝසෙසුත් ආරොනුත් ඇවටිලි කරනවා. ඔය විදිහට දිගින් දිගටම කළ ඇවටිලි කිරීම පාරාවෝ ගනන් ගන්නේ නෑ. අවසානයේ "උඹලා දෙන්නා හදන්නෙ කට්ටියට නිවාඩුවක් ඉල්ලා දෙන්න වගේ. උඹලෑ මිනිස්සුන්ට කටවහන් වැඩකරන්න කියපල්ලා" යි ඔවුන් දෙදෙනාව එළවා දමනවා.

මෝසෙස්ලාගේ ඇවටිලි නිසා පාරාවෝ ඉන්නේ හොඳටම කිපිලා.  'මුං දෙන්නා ආවනෙ මෙතන නිවාඩු ඉල්ලන්න. දැන්ම මොකුත් නොකළොත් පස්සට මේක කරදරයක් වේවි.' ඔහු අලුත් නීතියක් පනවනවා. 'මින්පසු ගඩොල් පිච්චීම සඳහා පිදුරු සපයනු නොලැබේ. පිදුරු සොයාගැනීමද ඉශ්‍රායෙලුන්ගේ කාර්‍යයකි. නමුත් කිසිම හේතුවක් මත ගඩොල් නිෂ්පාදනය අඩු නොකළ යුතුය'. Bricks without straw කියමන ඇතිවෙලා තියෙන්නෙ මේ සිද්ධිය නිසාලු. මේ නීතියත් සමග ඉශ්‍රායෙල් වහලුන් අතර විශාල නොසන්සුන්තාවක් ඇතිවෙනවා. කබලෙන් ලිපට වැටීමක් වූ මේ අසාධාරණ නීතියට එරෙහිව කතා කිරීමට ගිය ඉශ්‍රායෙල් නායකයිනුත් පාරාවෝගේ ආරක්ෂකයින්ගෙන් නොසෑහෙන්න ගුටි කනවා. නීතියට අවනත වීම හැර වෙනත් විකල්පයක් අසරණ ඉශ්‍රායෙලුන්ට නෑ. අන්තිමේ ඉශ්‍රායෙලුන්ගෙ ඔක්කොම තරහාවල් යන්නේ මෝසෙස්ලාගෙ පිටින්. "උඹලා මොකක්ද මේ කළේ. උඹලාට හෙන ගහනවා මේ කරපු අපරාදෙට" ඉශ්‍රායෙල්වරු මෝසෙස්ටත් ආරොන්ටත් සාප කරනවා.

තමන් කරපු දෙයින් ජනතාවට වූ හානිය දකින මෝසෙස් දෙවියන් වහන්සේට මොරගහනවා. එහෙත් දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. "මෝසෙස්, මම දන්නවා පාරාවෝ ලේසියෙන් අවසර නොදෙන බව. මම ඉශ්‍රායෙල්වරුන් පිටතට ගන්නෙ මගේ බලය පෙන්වලා. ඉශ්‍රායෙල්වරුන්ට විශ්වාසයෙන් ඉවසාගෙන ඉන්න කියපන්. සියල්ල කළහැකි දෙවියන් වහන්සේ මමයි". නමුත් ඉශ්‍රායෙල්වරු මෝසෙස්ව තඹේකට මායිම් කරන්නේ නෑ. 'අපේම එවුන්වත් මම කියන දේ අහන්නේ නැතිකොට පාරාවෝ අහයිද?'ඔහු ඒ ගැන කලකිරෙනවා. 

ආරොන්ගේ හැරමිටිය සර්පයෙක් බවට පත්වෙනවා
කලින් වතාවේ ප්‍රතික්ෂේප වූ නමුත් දෙවියන් වහන්සේගේ නියමයෙන් මෝසෙස් හා ආරොන් නැවතත් පාරාවෝ ඉදිරිපිටට යනවා.  "හොඳයි. උඹලා දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්න බව ඔප්පු කරපල්ලා" ඒ අවසරයෙන් ආරොන්ගේ හැරමිටිය සර්පයෙක් බවට පත්වෙනවා. එහෙත්පාරාවෝ පුදුමයට පත්වූ බවක් පේන්නෙ නෑ. ඔහු මිසරයේ සිටින මායාකරුවන් ගෙන්වනවා. මායාකරුවන් ද හැරමිටි බිම දැමූ විට ඒවා සර්පයින් වෙනවා. "හැක්..හැක්.. උඹලා හිතන්නෙ මම මෝඩයෙක් කියලද? පලයව් බොරුකාරයො දෙන්නා" මෝසෙසුත් ආරොනුත් පලායන්නෙ හැරමිටියත් අහුලගෙන. ඒක තිබුනට වඩා බර වෙන්නැති. මොකද ආරොන්ගෙ සර්පයා මායාකරුවන්ගෙ සර්පයින්ව ගිල්ලලුනෙ.

මේ විදිහට  මෝසෙසුත් ආරොනුත් නිතරම කළ ඇවටිලි වලින් අධික ලෙස කෝපවුනු පාරාවෝ ඉශ්‍රායෙලුන්ට වැඩි වැඩියෙන් පීඩා කරද්දි තමයි දෙවියන් වහන්සේ වසංගත එවීම පටන්ගන්නෙ. මොන මොන වසංගත ද එව්වෙ කියලා එකින් එක කියන්නම්. මේ විදිහට වසංගත දහයක් එවනවා. ඒ දහයෙන් පළවෙනි නමේදිම වෙන්නේ එකම ක්‍රියාවලියක්.
 'මුලින්ම මෝසෙස් වසංගතය ගැන අනතුරු අඟවලා මිසරයෙන් පිටවෙන්න අවසර ඉල්ලනවා. පාරාවෝ ඒක ගනන් ගන්නේ නෑ. කියූ පරිදිම වසංගතය එනවා. අන්තිමේදී ඒ වසංගතය උහුලාගන්න බැරිවෙන පාරාවෝ 'වසංගතය නවත්වන්න. මම යන්න දෙන්නම්' යි මෝසෙස්ට කියනවා. මෝසෙසුත් දෙවියන් වහන්සේට යාච්ඤා කරනවා. වසංගතය නවතිනවා. පාරාවෝ මෝසෙස්ගේ පස්සට පයින් ගහලා එලවනවා.'
මේ ටික පළවෙනි වසංගත නමේදිම වෙනවා. ඒක නිසා ඒ ටික ආයෙ ආයෙ කියන්නේ නෑ කියලත් මතක තියාගන්ට. වසංගතේ ගැන විතරයි කියන්නෙ. ඉතින් මුල් වසංගත නමේදිම ඔය ක්‍රියාවලිය වුනු බව හිතාගන්ට ඕනෙ හොඳද? මේවායින් හානිවෙන්නෙ මිසර වැසියන්ට විතරයි.

පළමු වසංගතය තමයි වතුර ලේ වීම ( Plague of blood ).  මෝසෙස් තමුන්ගෙ හැරමිටියෙන් නයිල් ගඟේ වතුරට ගහපු ගමන් ගඟම ලේ බවට හැරෙනවා. ගඟේ මාළු මැරිලා ගඳගහන්න ගන්නවා. ආරොන් වතුර භාජනවලට හැරමිටිය දික්කරාම හැම භාජනයකම තිබ්බ වතුරත් ලේ බවට හැරෙනවා. නයිල් ගඟෙන් බීමට වතුර ගත්තු මිසරවාසීන්ට සිදුවෙනවා ගං ඉවුරේ වලවල් හාරන්න. මේ විදිහට නයිල් ගඟේ දවස් හතක් ලේ තිබුනලු.
වතුර ලේ වීම
දෙවෙනි වසංගතයත් එක්ක තමයි 'දෙක දෙක බක බක උම්බලකඩ උම්බලකඩ' සද්දෙන් මිසර වැසියන්ගෙ කන් පිරෙන්නෙ.  මුළු රට වැහෙන්නම නා නා ප්‍රකාර ගෙම්බෝ( Plague of frogs ). හට්ටි මුට්ටි වළං උඩයි ඇඳෙයි හැමතැනම ගෙම්බෝ. හිතන්නකො පේන පේන හැමතැනම ගෙම්බෝ ඉද්දී කොහොමද පිරියාව. ඔන්න ඔය ගෙඹි පැටියෙක් කී බෝඩ් එක උඩ. :)
දෙක දෙක බක බක උම්බලකඩ උම්බලකඩ
ඒකෙනුත් පාරාවෝ මට්ටු නොවිච්ච තැන කිනිතුල්ලො බෝවෙන්න පටන් ගන්නවා( Plague of lice or gnats ).  දූවිලි වගේ හැමතැනම කිනිතුල්ලො. මිසර වැසියන්ගෙ ඇඟවල් වැහෙන්න කිනිතුල්ලො එල්ලෙනවා.
ඇඟවල් වැහෙන්න කිනිතුල්ලො
ඊළඟට වේදිකාවට එන්නේ මැස්සෝ.  මැස්සෝ ඇවිත් මුළු මිසරයම වසා ගන්නවා( Plague of flies ). මිසර වාසීන් අතර ලෙඩ රෝග පැතිරෙනවා. ඒත් මට්ටු වෙන්නෙ පාරාවෝ නෙමෙයි.
මැස්සෝ ඇවිත් මුළු මිසරයම වසා ගන්නවා
ඊළඟ වසංගතය හැටියට මිසර වැසියන්ට අයත් ගව පට්ටි ඔක්කොම මැරෙනවා.( Plague of pestilence ) ඒත් ඉශ්‍රායෙල්වරුන්ගේ එක හරකෙක්වත් මැරෙන්නේ නෑ.
ගව පට්ටි ඔක්කොම මැරෙනවා
හයවන වසංගතය විදිහට මෝසෙස් අළු අරන් අහසට විසි කරනවා.  ඒවා වදින වදින මිසර වැසියන්ගේ ඇඟේ ගඩු හටගන්නවා. (Plague of boils)
මිසර වැසියන්ගේ ඇඟේ ගඩු හටගන්නවා
හයවන වසංගතය ඉවරවෙලා එලෙව්වට පස්සෙ මෝසෙස් ආයෙත් පාරාවෝ රජු හමුවෙනවා. "දෙවියන් වහන්සේ ඔබට මේ පණිවිඩේ දෙන්න කිව්වා. මෙච්චරකල් දෙවියන්සේ කිසිම මිසර වැසියෙකුගේ ජීවිතේකට හානි කළේ නෑ. ඒත් තවත් අහංකාරකම් කරනවා නම් හෙට මේ වෙලාව වෙනකොට ඇදහැලෙන ගල් වර්ෂාවකින් එළිමහනේ සිටින මිනිසුන්ද සතුන්ද වගාවන්ද සියල්ල විනාශ වේවි."

අහංකාර පාරාවෝ ඒත් ගනන් ගන්නේ නෑ. දවස ගෙවිලා පහුවෙනිදා දහවල් වෙනවා.

'චටස්'

'ග‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්ර'

වැටෙන්නෙ වතුර නෙමෙයි ගල්
ගොරවන අකුණු ගහන විදුලි කොටන හඬ දසතින්ම නැගෙනවා. එක්වරම වර්ෂාවක් ඇදහැලෙනවා. ඒත් 'දඩ බඩ' ගාලා වැටෙන්නෙ වතුර නෙමෙයි ගල්. කොහොමද වැහි බින්දු වෙනුවට ගල් කැට වැටෙනකොට.( Plague of hail )

ගල් වර්ෂාවෙන් මිසරයට වෙන විනාශය දැකීමෙන්  කම්පාවෙන පාරාවෝ වහාම මෝසෙස්ව ගෙන්වනවා. "මම පව් කළා මෝසෙස්. මම පව් කළා. මම අවසර දෙන්නම්. මේ ගල් වර්ෂාව නවතා දෙන්න" මෝසෙස් යාච්ඤා කරද්දීම ගල් වර්ෂාව නැවතුනත් පාරාවෝගෙ හිතත් ඒ එක්කම වෙනස් වෙලා. කරන්න දෙයක් නෑ 'එක හිත නැති උඹේ හිතත් දහ අට වංගුව වාගේ' කියලා මෝසෙසුත් හැරිලා එන්නැති. ඒත් ඒ වෙනකොට මිසර වැසියන්ගෙ හණ වගාවත් යව වගාවත් සම්පූර්ණයෙන් වැනසිලා ඉවරයි. කෙත්වතුවල හිටපු ගවයිනුත් මිසර වැසියනුත් මියගිහින්. ඒත් මෝසෙස්ගේ අනතුර ඇඟවීමට බයේ සතුන්ව එළියට නොදා ගෙවල් ඇතුළට වෙලා හිටපු අයත් ඔවුන්ගේ සතුනුත් බේරුනාලු.

ඊළඟ වසංගතයේ අනතුරු ඇඟවීමත් එක්කම පාරාවෝ කැමතිවෙනවා පිරිමින්ට විතරක් යන්න දෙන්න.  ඒත් මුළු සෙනඟට යන්න දෙන්න ඔහු කැමති වෙන්නේ නෑ. ඒක නිසා පළඟැටියන්ගෙන් රටම පිරී යනවා( Plague of locusts ). උන් ගල් වර්ෂාවෙන් බේරිලා ඉතිරිවෙච්ච ධාන්‍ය ටිකට වගකියනවා.
පළඟැටියන්ගෙන් රටම පිරී යනවා
නමවෙනි වසංගතය විදිහට මිසරය පුරා අන්ධකාරයක් පැතිරෙනවා.  කෑලි කැපිය හැකි අන්ධකාරය දින තුනක්ම පවතිනවා. ළඟ ඉන්න කෙනාවත් පෙන්නෙ නෑ. සුපුරුදු පරිදි වසංගතය නිමවීමෙන් පසු පාරාවෝ ලයාන්විත ස්වරයෙන් මෝසෙස්ව අමතනවා. "මට දැන් තෝව ඇතිවෙලා තියෙන්නෙ. දෑහට නොපෙනි පලයන්. ආයෙ මේ පැත්තෙ ආවොත් උඹව බාවනවා"
මිසරය පුරා අන්ධකාරයක් පැතිරෙනවා
මිදියන් රටේ තමුන්ගෙ බැටළු පට්ටි අතෑරලා මිසරයට ඇවිත් පාරාවෝගේ නින්දා අපහාස මැද ගෙවන ජීවිතය මෝසෙස්ට තිත්තවෙලා.  පාරාවෝට කියන්න කිය කිය දෙවියන් වහන්සේ තමුන්ව යවනවා. එහෙන පාරාවෝ බනිනවා. ඊටපස්සෙ නීතිරීති තද වුනාම ඉශ්‍රායෙල් මිනිස්සුම බනිනවා. මෙහෙමත් ජීවිතයක්. කාගෙන්වත් හොඳක් නෑ.

ඔහොම කලකිරිලා ඉන්න අතරෙ දෙවියන් වහන්සේ ආයෙම මෝසෙස්ට කතාකරනවා.  "මෝසෙස්, අද රෑ තමයි රෑ."

ඊළඟට..

ප.ලි.  මේ කතාව පුරාවටම තැනින් තැනින් චිත්‍ර අහුලලා දාලා දාලාම මටත් චිත්‍ර කලාව ටිකක් පිහිටලා වගේ. ඔන්න 100 වැනි ලිපියෙ සතුටටත් එක්ක අද කතාවෙ එක චිත්‍රයක් මගෙන්.


45 comments:

  1. ඉතිං බං, මේ විදියට සෙනගට යන්න දෙන්නැති වෙන්නෙ නැති වෙන්න පාරාවොගෙ හිත ගල් කරන්නෙත් දෙවියන් වහන්සේම නේද.?? උන්වහන්සේ මුලදීම ඒක කියනවානේ මෝ‍සෙස්ට..

    "ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට: නුඹ මිසරයට නැවත පැමිණිකල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් පාරාවෝ ඉදිරියේ කරන්ට බලාගනින්න. එහෙත් සෙනග යන්ට නොහරින ‍ලෙස මම ඔහුගේ සිත දැඩි කරන්නෙමි." - නික්මයාම [4.21]

    ඉතිං මේක හරිම අසාධාරණ නැද්ද.??

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ දෙවියන්වහන්සේ එහෙම නොකර එකපාරම මෙන්න මෝසස් අන්න පොරොන්දු වූ දේශය ඔන්න පලයල්ලා කියලා දුන්නා නම් දෙවියන් කෙරේවන භය පක්ෂපාතී බව සහ උන්වහන්සේ කෙරෙහි වන පැහැදීම අඩුවෙන නිසා මෙහම කළා කියලයි. නිකම්ම යන්න දුන්නා නම් ඉතින් පොරොන්දු වූ දේශය වෙනුවට මිසරයම ලබාගන්නට පුළුවන් නේ. ඊශ්‍රායල් වරු විසින් කරන ලද පවුකම් වලට වන්දි විදියටත් මිසරයින් කල පාපයට වන්දි විදියටත් මෙහෙම දෙයක් කළා වෙන්න ඇති.

      Delete
    2. @ බුරා අයියා,

      ඔව්.. බයිබලයේ තියෙන විදිහට පාරාවෝගෙ හිත ගල් කරන්නෙත් දෙවියන් වහන්සේම තමයි.. අසාධාරණයි කියලා පේනවා තමයි ඒත් ක්සැන්ඩර් අයියා හිතපු විදිහට තමයි මමත් හිතුවෙ..

      කතාවෙ මුලින් මුලින් විස්තර වෙන හැටියට මෝසෙස් කියන්නෙ උගතෙක් වුනත් පෞර්ෂයක් තිබ්බ මනුස්සයෙක් නෙමෙයි.. මේ කාර්‍යය පවරන්නෙත් කොච්චර බලෙන්ද? ඒ වගේම කිසිම බුද්ධියක් නොතිබිච්ච වහල් රැලක් වෙච්ච ඉශ්‍රායෙල්වරු පාලනය කිරීම ලේසි පාසු දෙයක් නෙමෙයි.. මේ නිසා මෝසෙස්ව පොඩ්ඩක් පුහුණු කරන්නත් දෙවියන් වහන්සේගේ බලය පෙන්වා ඉශ්‍රායෙල්වරු පාලනය කරගන්නත් මේ විදිහට කරන්නැති කියා සිතනවා..

      Delete
    3. @ Alexander Cage,

      මම හිතන්නෙත් ඔහොම තමයි ක්සැන්ඩර් අයියෙ.. ස්තුතියි උත්තර දුන්නාට..

      Delete
  2. ඔය තියෙන්නේ.. ඒත් ඉතින් අපි බල කරලමද මන්දා ටිකක් දඩිබිඩියේ ලියලා කියලා හිතුනා.. අර සර්පයා ගැන කියන තැන ඉඳලා ටිකක් කතාව වේගෙන් යනවා වගේ.

    මම හිතන්නේ අන්තිම චිත්රේ හරි ගෙ නේද?

    සීයටත් චිත්‍ර කලාවටත් මගේ සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. වසංගත විස්තර වෙච්ච හරියෙදි කතාවෙ රිද්මය බිඳවැටුණු බව මම පිළිගන්නවා.. චිත්‍රපටි වලත් බයිබලය හැර අනෙකුත් පොත් වලත් ඔය විදිහට වේගයෙන් තමයි වසංගත විස්තර කෙරෙන්නෙ.. මමත් වේගයෙන් ගියෙ එකම ක්‍රියාවලිය නැවත නැවත කියන්න ගියාම කියවන අයට ලිපිය නීරස වෙයි කියලා හිතලා.. ඉදිරි ලිපි වලදී ආයෙත් සුපුරුදු වේගයෙන් යමු..

      කොහොමද හඳුනා ගත්තෙ.. හරියටම හරි අන්තිම චිත්‍රෙ තමයි මම ඇන්ඳෙ..

      සුභපැතුම් වලට ස්තුතිය.. හදවතින්ම භාරගන්නවා..

      Delete
  3. ප්‍රශ්න පත්තරේ ..... :)

    1. ""මාමෙ, මම මිසරයට ගිහින් මගේ නෑයො ටිකක් බලලා එන්නද?" මාමණ්ඩියා දන්නවාද මෝසස් කාගේ කවුද කියලා. විශේෂයෙන් මිසරයේ මෝසස් කරපුවා එහෙම ?

    2. "දෙවියන් වහන්සේ ආරොන් නම් මෝසෙස්ගේ ඥාති සොහොයුරෙකුට දර්ශනය වෙලා ඔහුව මෝසෙස් වෙත එවනවා" මේ දර්ශනය කොහොමද සිද්ධ වෙන්නේ ?

    3. මෝසස් පාරාවෝ හම්බෙන්න යද්දී ඉන්නේ අලුත් පාරාවෝ කෙනෙක්ද ? එයා මෝසස් කරපු අපරාධයට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි ?

    4. ප්‍රශ්නයක් නැත. 100 බැට් කිරීම වෙනුවෙන් සුභාශිංසන එකතු කරනවා ඕන් :D

    ReplyDelete
    Replies
    1. මිසරය පුරා අන්ධකාරේ හරි සැරට තිබිලා වගේනේ :D

      Delete
    2. 'අන්ධකාරේ !!!'

      අන්න මල්ලි වචනේ.. !
      කතෝලික ආගමේ අය ලෝක විනාසයක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ ලෝක විනාසයට කලිනුත් ඔය වගේ අන්ධකාරයක් එනවලූ.

      හරි දන්නවා ඔය ගැන වැඩි දුර විස්තර... මම නම් ඕවා දන්නෙ නෑ.. අපේ ගෙවල්ගාව කොල්ලෙක් තමයි මටත් ඕක කිව්වේ..

      ඔය ලෝක විනාසයට එන අන්ධකාරය නැති කරන්ඩ කිසිම දේකින් බෑලූ. ඒකට පාස්කු ඉටිපන්දම් වගේ ඒවා ලූ පාවිච්චි කරන්ඩ පුලුවන් වෙන්නේ...

      ඒකත් හරී කියයි... !

      Delete
    3. @ හසිත,

      1. ඒ ගැන නම් විශේෂ සඳහනක් නෑ.. සමහරවිට දැනගෙන ඉන්නත් ඇති..

      2. ඒකත් විස්තර වෙන්නේ නෑ හසිත.. ආරොන්ට දර්ශනයවෙලා මෝසෙස්ගේ පෙරමඟට ඔහුව යැව්වා කියලා විතරයි තියෙන්නෙ..

      3. ඔව්.. මරන්න හෙව්ව පාරාවෝ නෙමෙයි.. මෝසෙස්ගේ වැඩිමහල් සහෝදරයායි ඉන්නෙ.. පැහැදිලිව කිව්වොත් මෝසෙස්ව හදාගත් පාරාවෝගෙ දියණියගෙ පුත්‍රයා..
      ඔය වගේ යම් රජකෙනෙක් මැරෙනකම් වෙනත් රටක වාසය කරපු සිද්ධි කිහිපයක්ම බයිබලයේ තියෙනවා.. ඒ රජ මැරෙනතුරු විතරයි පනවපු ආඥාව වලංගු.. මෝසෙස් මරන්න නියම කරපු ආඥාව ඒ රජුගේ මරණයෙන් අවලංගු වෙන්න ඇති..

      4. ස්තුතියි.. මේ ගමන එන්න හසිත ඇතුළු සියලුදෙනාගෙන්ම ලැබුණු දිරිමත් කිරීමත් අගය කරන්න ඕනා..

      ඔව්.. ළඟ ඉන්නකෙනාව පේන්නෙත් නැති තරම් අන්ධකාරයක්නෙ .. ඒක නිසා බොහොම සැරයි...

      Delete
    4. @ මධුරංග,

      කතෝලික ආගමේ ලෝක විනාසෙ ගැන මම දන්න තරමින් නම් කියන්නෙ ලෝකාන්තිමේදි ජේසුස් වහන්සේ නැවත වඩිනවා කියලා විතරයි.. ඊට එහා විස්තරයක් නම් මම දන්නේ නෑ.. හොයලා බලන්නම්..

      ඔය ඉටිපන්දම් කතාව කාලයක් දරුණුවටම ගියා.. මම හිතන්නෙ 2000ට කලින්.. 2000දි ලෝකෙ විනාස වෙනවා කියලා තමයි ඔය කතාව ගියෙ..

      ඒ කියනවිදිහට ලෝකාන්තිමේදී විශාල අන්ධකාරයක් එනවලු.. පාස්කු ඉටිපන්දම් වගේ ආශිර්වාද කරපු ඉටිපන්දම් විතරලු පත්තු කරන්න පුලුවන්.. ඉතින් එතකොට මට හිතිච්ච දෙයක් තමයි පාස්කු ඉටිපන්දම විතරක් නම් පත්තු වෙන්නෙ ඒක පත්තු කරන්නත් බෑනෙ.. මොකද ගිනිකූර පත්තු වෙන්නෙ නෑනෙ... :)

      Delete
  4. හරීගේ චිත්තරය හරිම ලස්සනයි හොදටම අන්ධකාරය පෙන්නලා තියනවා, බ්ලොග් කලාවට වඩා චිත්‍ර කලාවට දක්ශයි වගේ.
    පාරාවොගේ හිත ගල් කරලා මෝසෙස්ව යවනවා ඊශ්‍රායෙල් ජනතාව බේර ගන්න කියලා,,දෙවියන් වහන්සෙත් හරි අසාධාරනයි මෙතන, එහෙම කරන්න ඇත්තේ මෝසෙස්ව පරික්ශා කරන්න වගේ ඉදිරියෙදි ජනතාවක් හසුරවලා පොරොන්දු දේශයට ගෙනියන්න,දස පණත වගේ දෙයක් දෙන්න තරමට පුලුවන් එකෙක්ද කියලා බලන්න සෑහෙන දේවල් ටැස් කොරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මම වැනි ආධුනිකයෙකුගේ චිත්‍රයක් අගය කිරීම පිළිබඳ ස්තුතියි! ඔයාගෙ ප්‍රකාශෙ හරි. දෙවියන් වහන්සේ පෙර පුහුණුවක් තමයි දීලා තියෙන්නෙ..

      Delete
  5. අද කතාවත් අපූරුයි..ගොඩක් ලස්සනට ලියලා තියනවා..
    ශතකයටත් උණුසුම් සුභ පැතුම්..කොහොම වුනත් හරීගේ චිත්‍ර කලා හැකියාවත් තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. කතාව අගය කිරීමටත් සුභපැතුම් වලටත් පාර්ථනාවටත් ගොඩාක් ස්තුතියි!

      Delete
  6. අර බුරෙන්තිනෝ අහපු ප්‍රශ්නේ මට ඒ දවස්වල ඉඳන් තිබ්බ එකක්.ඇත්තටම පාරාවෝගෙ හිත ගල් කරපු දෙවියන් වහන්සේ අපරාධෙ මිනිස්සු ගොඩකට දඬුවම් කෙරුවා නේද?

    අන්ධකාරේ චිත්‍රෙනං පට්ටයි.උඹට මාර කලා ඇහැක් තියෙන්නෙ.

    පෝස්ට් සීයට මගෙන් සුභ පැතුම් මචං.කෝප නොගෙන මගේ මුග්ද ප්‍රශ්නවලට උත්තර දෙන උඹලා වගේ මිනිස්සු හොයන්ඩ හරි අමාරුයි.....

    ReplyDelete
    Replies
    1. මම උඩින් කීපතැනකදි කිව්ව නිසා ආයෙ ආයෙ කියන්න ඕනෙ නෑ කියලා හිතනවා...

      චිත්‍රය අගය කිරීමට ස්තුතියි.. සුභපැතුම් සතුටින් බාරගන්නම්..

      මුග්ද ප්‍රශ්න?? කවුද දන්නෙ ඇහුවෙ ඒවා කියලා.. :)

      Delete
  7. මරු මචං... 100ට සුභ පැතුම්... මං දන්නවා උඹ ඇඳපු චිත්‍රේ... අර කට්ට කළු එක නේද....

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි.. චිත්‍රෙ හොඳයි නේද?.. ඔන්න සුභපැතුමත් සතුටින් භාරගත්තා..

      Delete
  8. ලිපි 100ට සුබ පැතුම්....

    ඒක නෙමේ හරි.. අර අන්තිම සිත්තරේ ඇන්දේ උබ නේද ? කලු පාට විතරක් තියෙන නිසා ඇහුවේ...
    ඉස්සර මාත් එකම පාටින් චිත්‍ර අඳිනවා. එතකොට පාට පෙට්ටියේ පාට ඉතුරුයි නේ !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධුරංග ළමයා.. ඔව්..ඔව්.. කළු චිත්‍රය තමයි.. කොහොමද හොඳයි නේද?

      එකම පාටින් කිව්වම මතක් වුනේ අර රතුපාටින් විතරක් ඇඳපු චිත්‍රය විචාරය කරපු මහාචාර්‍යය වරු..

      මගෙ කලින් චිත්‍ර කතාව මතකයි නේද?

      http://dreamsofharee.blogspot.com/2011/08/blog-post.html

      Delete
  9. මම හිතාගෙන හිටියේ ඔයා ලිපි 100 පහුකරලා හුඟක් කල කියලයි. ඉතින් මමත් දන ලිපි සීයෙක් නේ.මගේම දරුවකුට වැකේ මනසින් ඔබේ හිස අතගා ආශිර්වාද කරනවා. අපි නැති කාලෙදිත් බ්ලොග් ලෝකයේ ඉදිරියටම යන්නට.

    දැන්නම් දස පනත චිත්‍රපටිය නැවත පෙනෙනවා පැහැදිලිව. 1960 ගණන්වල බැලුවේ. බාගේනවත් නැවත බලන්න ආසාව ඇතිවුනා.

    ඔයාගේ චිත්‍රය නේද අර අන්තිමට තියන මිසරය පුරා අන්ධකාරයක් පැතිරෙනවා කියන එක. හරිම ලස්සන චිත්‍රයක්. :D :D :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම ලිපි ලිව්වෙ හුඟාක් හිමින්.. ඉතින් 100ක් ලියන්න අවුරුදු දෙකක්ම ගියා.. මම ඒ ආශිර්වාදය පිළිගන්නම්..

      "අපි නැති කාලෙදිත් බ්ලොග් ලෝකයේ ඉදිරියටම යන්නට. " මේ ටික කියවද්දී ඇහැට කඳුලකුත් ආවා.. කවදාහරි ඉතින් අපි හැමෝටම මේ ලෝකෙ දාලා යන්න වෙනවනෙ.. ඇත්තටම මැරෙනවා කියලා හිතෙනකොට 'මොකට ඉපදුනා ද?' කියන හැඟීම තමයි මට ඇතිවෙන්නෙ.. මේ කියමන මට හැමදාම මතක තියේවි..

      එහෙනම් බාගෙනම බලන්න.. මෝසෙස් බලන්න ඇති නේද?

      චිත්‍රය අගය කළාට ස්තුතියි.. ඉදිරියටත් චිත්‍රයක් ඇඳීමට සුදුසු ස්ථාන තිබුනොත් අනිවාර්යෙන් අඳින්නම්..

      Delete
  10. 100 ට සුබ පැතුම්..

    අර උඹේ සිත්තරේ නම් මරු ආ.. ඒකෙන් එවකට පැවතුන මිසර, හේබෘ සමාජයේ දරිද්‍රතාවය, අවිච්චින්නතාවය, භෞමික අඛන්ඩතාවය, විශමතාවය ආදී එකී නොකී දහසකුත් ප්‍රශ්න සාකච්චා වෙන ගමන්ම.. උබේ සිත්තර ඇදීමෙ සුපිරි හැකියාව මොනවට කියාපානවා.. ඒ ගැන මාගේ ප්‍රමාණය පිළිගනින්...

    ඇයි බන් මේ දෙවියො විහිළු කරන්නෙ.. තමන්ම පාරාවොගෙ හිත දැඩි කරවලා අර මෝසෙස්ව නිකාන් බලු කරනවා.. ඕකම තමයි දැන් කාලෙ ඔෆිස් වලත් වෙන්නෙ.. එකෙකුට කියනවා උඹ මෙහෙම කරපන්.. ඌ යනකන් ඉඳලා අනිත් එකාට කෝල කරලා කියනවා අරූ දැන් එයි.. මෙහෙම කරන්ඩ හදයි කීයටවත් ඉඩදෙනවා එහෙම නෙමේ කියලා කියනවා.. අරූ ඉතින් යකඩෙ වගේ දෙපැත්තෙන්ම තැලෙනවා..

    ලියලා තියන භාශාවත් සරල සුගම තේරෙන හින්දා කතාව කියවන්ඩ ආසයි...කම්මැලි නෑ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි! මේ කතාව ලියනකොට සෙන්නලාගෙ පල්ලියෙ වීදි යනවා ඇහුනා.. මතකද අර සෙන්නලා අමාරුවෙන් වවපු ගස් කපලා බිමට ටයිල් ඇල්ලුවා.. ඔන්න අද මම දැක්කා ආයෙ ගස් හිටෝනවා..

      සිතතරේ අගය කිරීමට නම් ගොඩාක් ස්තුතියි! තමුන්ගෙ නිර්මාණයක් තමුන්ම අගය කරන එක හරි මදිනෙ. ඒකයි මම ඔය ටික නොකිව්වෙ. ඇත්තටම සෙන්නා කිව්ව නිසා මේ කියන්නෙ. ඔය විදිහට එක් එක් ලක්ෂණ නිරූපණය කරන්න මම සෑහෙන්න මහන්සි වුණා. මේ අගය කිරීමත් එක්ක මට හිතෙනවා ඒක සාර්ථකයි කියලා.

      එහෙම කළේ ඇයි කියන එකට උත්තරේ කලින් කමෙන්ට් වල කියපු නිසා ආයෙ කියන්න ඕනෙ නෑ කියලා හිතෙනවා. ඔෆිස් ගැන නම් කතාකොට වැඩක් නැත.

      Delete
  11. සීයට සුබ පැතුම්!!!

    මම පාරාවෝ නම් අර සැරමිටිය සර්පයා උනු වෙලාවම ඉල්ලන ඕනි දෙයක් කරනවා...:)

    ඇත්ත කතා කලාම ගොඩක් අය ඒබව විශ්වාස කරන්නේ නෑනේ. දැන් කාලෙත්, ඒ කාලෙත් වැඩි වෙනසක් තිබිලා නෑ.

    හැබෑට ගෙම්බෝ 'දෙක දෙක බක බක උම්බලකඩ උම්බලකඩ' කියලා කෑගහනවද? අහලා බලන්ට ඕනි.
    ඔයාගේ චිත්‍රෙටත් සුබ පැතුම්.:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි අක්කෙ..

      මම හිතන්නෙ එකපාරින් යන්න දෙනවා කියන්නෙ වෙන හේතුවක් හින්දා නෙමෙයි.. සර්පයන්ට බය හින්දා? :)

      ඔව් එහෙම තමා කෑගහන්නෙ.. පරීක්ෂණයක් කරලා බලන්ඩ.. ඒ ගමන් හාදුව ගානෙත් දුන්නානම් හරි.. කොහොමද වැරදිලාවත් කුමාරයෙක් එහෙම හිටියොත්..

      ඒකටත් ස්තුතියි!

      Delete
  12. හරීගේ සියට හෘදයාංගම සුබ පැතුම එකතු කරනවා. බ්ලොග් එකක් විනොදයට ලිව්වත් එයින් විහාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් බව ඔබ ඔප්පුකර තිබෙනවා. මම ශුද්ධ වූ බයිබලයේ කතා කියවන්න පුරදු වුණේ ‍ඔබේ ලිපි මගින්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි.

    වසංගත දහය නම් මරු මම පාරාවෝ වුණානම් අර කිනිතුල්ලො එවන එකයි මැස්සො එවන එකයි ලංවෙන කොට ඉල්ලන සේරම දීලා මම රටින් පැනල යනවා උඹ ඕනෙ මළඉලව්වක් කර ගනිං කියලා.

    මේ කතාමාලාව ‍"ටෙන් කමාන්ඩ්ස්මන්ට්" ෆිල්ම් එකට සම්බන්ධයක් නැද්ද මොකද ඒ ෆිල්ම් එකෙත් මෝසස් හිටියානේ.

    චිත්‍ර කලා හැකියාවන් දියුණුවේවා.. ඊළඟ දවසේ ලෙකු වැස්සක් එාහම අදින්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. ටෙන් කමාන්ඩ්මන්ට්ස් එකේ තියෙන්නෙ, මෝසෙස් එයාගෙ ජනතාව මිසරයෙන් බේරගෙන ආපහු පො‍රොන්දු දේශයට යන අතරමගදි කාන්තාරයේ ‍දෙවියන් දර්ශනය වෙලා අණ-පනත් ලබා දෙන කතාව‍නේ.. ඒක එන්නෙ තව ඉස්සරහට..

      Delete
    2. @ දයානන්ද රත්නායක,

      සුභපැතුම සතුටින් පිළිගන්නම්.. ශු. බයිබලය කියන්නෙ ඉතිහාස කතා, නවකතා, කෙටිකතා, කවි, ගීත රැසක එකතුවක්.. තමුන්ගෙ ආගමික විශ්වාසය කුමක් වුවත් සාහිත්‍යය රසවිඳින්න ඒක බාධාවක් වෙන්නේ නෑ..

      පාරාවෝ වුනාම කරන්න තියෙන්නෙ ඒක නෙමේනෙ දයා අයියේ.. මෝසෙස්ලාට යන්න දුන්නා නම් ඒ ඇති..

      මම ටෙන් කමාන්ඩ්ස්මන්ට් චිත්‍රපටය බලලා නෑ.. ඒත් විකියෙන් කියෙව්ව හැටියට ඒ චිත්‍රපටයේ තියෙන්නෙ මෝසෙස්ගේ ඉපදීමේ සිට දස පණත ලබාගැනීම දක්වා කතාව.. මේකට ඉස්සෙල්ලා ලිපියෙදි මෝසෙස් ඉපදුනා.. නමුත් මගේ කතාවත් එම චිත්‍රපටියත් අතර වෙනස්කම් තිබෙනවා.. මම කියන්නෙ බයිබලයේ කතන්දරයනෙ.. ඒත් චිත්‍රපටියේ පිටපතට වෙනත් දේද එකතුවී තිබෙනවා..

      ස්තුතියි.. බලමු වැස්සකුත් අඳින්න..

      Delete
    3. @ Buratheno,

      චිත්‍රපටියේ කතාව බයිබලයේ කතාවට වෙනස් නේද?

      Delete
  13. අපෙ අප්පේ....දැක්කයින් දැක්කෙ නෑ ඒ වගේ චිත්‍රයක්... කළා හැකියාවට ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. තැන්කෝ තැන්කෝ.. දැන් නම් මට හිතෙනවා බ්ලොග් ලිය ලිය ඉන්නවෙලේ චිත්‍රටිකක් ඇඳගත්තොත් හොඳයි කියලා..

      Delete
  14. පුදුම වසංගත තොගයක්නේ එවලා තියෙන්නේ...හැබැයි මටත් හිතාගන්න බැරි අර කීප දෙනෙකුටම ආපු ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ දෙපැත්තටම වැඩ කරලනේ...

    ඔයාගේ චිත්රේ නම් හරිම ලස්සනයි අනේ...100 ට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. මෝසෙස්ට ඔන් ද ජොබ් ට්‍රේනින්ග් එකක් දීලා..

      අගය කිරීමත් සුභපැතුමත් සතුටින් භාරගන්නම්..

      Delete
  15. මම මේ කතාව හැමෝගෙම කොමෙන්ට්ස් වල දන්නා හිතුවේ මම මේක මාරයාගේ එකේ දැම්ම මිනිහ ඇත්තට බය නිසා කොමෙන්ට්ස් එක මකල දල සද්ද වහල හිටිය. මේ කතාවේ ඇත්ත හොයා ගන්න ඕනි නම් ලිපිනය අංකය 70 වගේ තමයි මම හිතන්නේ වැව පාර, වැබොඩ නුවර පාරේ නුවර පැත්තේ ඉදන් කඩවත පැත්තට යනකොට කඩවතට කිට්ටුව ඉදිගහමුල හන්දියෙන් හැරිලා යන්න. මාරයාගේ පොස්ට් වලින් 99.9% කම බොරු. රන්ගි ගැන ඇත්ත කතාව රන්ගි කියන්නේ පුංචි අම්මගේ දුව මරය නිසා ප්රෙග්නනට් උන. කට්ටිය එකතු වෙලා වෙන කෙනෙක්ගේ කරේ එල්ලලා බේරුනා. ඇත්ත එලි වෙනකොට ඒ හැම දෙයක්ම ඉවර උන. අම්ම ඒ ගැන හෙව්වේ නැත්තේ අයි කියල කට්ටිය අහල තියෙනවනේ. අම්ම කියන්නේ අංක එකේ බඩුවක්, තරුණ වයසේදී පොඩි උන් දෙඑකුඉ මිනිහයි දල වයස වැඩි කෙනෙක් එක්ක පැනල ඇවිත් තමන්ගේ ඕන එපා කම් පිරිමහ ගන්න ගමේ ඕනෑම කොල්ලෙක් රවට්ටපු අංක එකේ අම්මණ්ඩි කෙනෙක්. ගමේම ඉන්න හොඳ සල්ලි කරයෙක්ගේ ස්පෙයා වීල් එක කියල ගමේ හැමෝම අදටත් හොඳටම දන්නවා. අම්ම රට ගියේ මේ මිනිහගේ ඕනි එපා කම් වලට. මරය කියන්නේ පිළිකාවක් නිසා පපුව ඔපෙරේසන් කරලා ඉන්න ගනියෙක්ගේත් පපුවේ අනිත් පැත්ත මිරිකලා අතල් ගන්න හදපු අංක එකේ වලත්තයෙක්. මල්ලි කියන්නේ සුදු කැප්ටන් කෙනෙක් ඒ වගේම නම්බ වන කසිප්පු මුදලාලි. තව විස්තර ඕනි නම් ලිපිනය තියෙනවනේ කට්ටිය එකතු වෙලා හොයා ගන්න. මරල කුණුහරප කොමෙන්ට් ගැන කිව්වට මේ කොමෙන්ට් එක ගැන කතා නැහැ නේද. මම කොමෙන්ට් කරනවා ඌ මකනවා.

    ReplyDelete
    Replies
    1. මේක දැක්කෙ දැන්නෙ.. ඇත්තටම මම නම් බ්ලොග් ලියන අයගෙ පෞද්ගලික ජීවිතය ගැන වදවෙන්නේ නෑ.. ඒ අයගේ පෝස්ට් එක හොඳ නම් ඒක කියවලා මට හිතිච්ච දෙයක් කියලා එනවා..

      Delete
  16. 100 ට සුබ පැතුම්.මම නොදන්නා ගොඩක් දේවල් මේ බ්ලොග් එකෙන් ඉගෙන ගත්තා.ඇත්තටම මම මුකුත් දැන ගෙන ඉඳලා නෑ.බොහොම ස්තූතියි මේ වගේ විස්තර බෙදා හදා ගත්තට .ජය!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! ජයෙන් ජය!

      Delete
  17. හුග දවසකින් මේ පැත්තට ආවෙ... මේ කථා පෙළම කියවලා බලන්නම්....

    ලිපි 100 කඩඉමට මගෙන් සුභ පැතුම් ! ජයවේවා !

    ReplyDelete
    Replies
    1. මම බැලුවා මොකෝ මේ පැත්තෙ නාවෙ කියලා.. අර සිරා ඉල්ලපු වෙඩිමේ පෝස්ට් එකත් මං ලිව්වා...

      සුභපැතුම් වලට ස්තුතියි ජයවේවා!

      Delete
  18. 100ට සුභ පැතුං!!!!!!!!
    ඊට පස්සේ එකේදි නේ පාරාවොගේ පුතාට කෙලවෙන්නේ???????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔව් ඔව්.. ඊළඟ කොටසෙදි..

      Delete
  19. අවසාන චිත්‍රයෙන් වාස්තවික යථාර්තයක් ගැන කියවෙන සශයවාදී අදහසකට වඩා පශ්චාත්නූතනවාදී රැඩිකල් තරුණයෙලුගේ නව ලිබරල් දෘශ්ඨිවාදී ස්වභාවයක් නිරූපනය වෙනවා.අත්‍යන්තයෙන්ම භාව ප්‍රකාශිතයි.

    ReplyDelete
    Replies
    1. මේක කියවලා ඔළුව කැරකිල්ල හැදුනා.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...