ආබ්‍රහම් කියන්නෙ යහපත් ජීවිතයක් ගෙවපු එඬේරෙක්. එඬේර යුගයේ එඬේරු කියන්නෙ තැනින් තැන ගිය මිනිස්සුනෙ ඉතින් ආබ්‍රහමුත් තැනින් තැන යන ජීවිතයක් තමා ගත කළේ. යහපත් පුද්ගලයෙකුවෙච්ච ආබ්‍රහම්ගෙන් පැවත එන ජාතියට ඔවුන්ටම කියා රටක් දෙන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.
එහෙම පොරොන්දුවෙච්ච රටට තමයි 'පොරොන්දු වූ දේශය' (Promised Land) කියන්නෙ.
ඕගොල්ලොන්ට මතකයි නේද ආබ්‍රහම්ගෙ මුණුබුරෝ දෙන්නා, ජාකොබ් හා ඒසව්. මතකනෙ ජාකොබ් තමුන්ගෙ සහෝදරයව රවට්ටලා පියාගෙ ආශිර්වාදය හොරකම් කරන් මාමා ගාවට පැනලා ගිය හැටි. මාමාගෙ දෝණියැන්දෑ කෙනෙකුට බැල්මට් එක දාපු හැටි. ඒත් මාමත් බලු වැඩේ කරලා නංගි පෙන්නලා අක්කව දුන්නා. අන්තිමට ජාකොබ් කෑගහද්දි නංගිවත් දුන්නා. පස්සෙ නංගිගෙයි අක්කගෙයි හුටපට හින්දා තව බිරින්දෑවරු දෙන්නෙකුත් හම්බුනා. ඔය හතරෙන් ජාකොබ්ට පුත්තු දොලහක් ලැබුනා.
පුත්තු දොළහෙන් ජාකොබ් වැඩියෙන් ආදරය කළේ ජෝසප්ටනෙ. මේකට කලකිරිච්ච සහෝදරයො කළේ ඔහුව වහල්කමට විකුණපු එක. මිසර අධිපතියෙකුගෙ ගෙදර හිතදිනාගෙන හිටියත් ගෙදර ලමාතැනීගෙ බැල්මට් එකෙන් නම් බේරෙන්න බැරිවුනා. පස්සෙ ඒ හින්දම හිරෙත් ලැග්ගා. ඒත් රජ්ජුරුවන්ගෙ හිතදිනාගෙන පස්සෙ කාලෙක රටේ දෙවෙනි පාලකයා වුණෙත් මේ ජෝසෙප්මනෙ. ජෝසෙප් හින්දා තමයි අනික් සහෝදරයන්ට මිසරයට යන්ඩ වුනේ.
මිසරයේදී මේ ගිය කට්ටිය ලොකු සෙනගක් වුනාට පස්සෙ ඒ රටේ වහල්ලු වෙනවා. ඉපදෙන හැම පිරිමි ළමයවම මරන්න නියෝග ලැබුනත් වාසනාවන්ත විදිහට බේරුනු මෝසෙස්ව තමයි ඉශ්රායෙල් ජනතාව මුදවාගැනීමේ නියමුවා හැටියට දෙවියන් වහන්සේ විසින් පත් කරන්නෙ.
දෙවියන් වහන්සේ ජනතාව මුදවාගෙන මෝසෙස්ගේ නායකත්වය යටතේ පොරොන්දු වූ දේශයට පිටත් කරනවා. ඕගොල්ලන්ට මතක ඇතිනෙ වසංගත දහය ඒවගේම රතු මුහුදෙන් එගොඩ වෙච්ච එව්වා කාරිය. ඊටපස්සෙ දසපනත නීතිමාලාවක් විදිහට ඔවුන්ට ප්රදානය කරනවා. ඒ සීනායි කන්ද මුදුනෙදි. දස පනත විතරක් නෙමෙයි මුළු ජුදා ව්‍යවස්ථාවම මෙතනදිලු ලැබුනෙ.
ඔන්න ඔය ටික තමයි කොටස් දොළහක් විදිහට ඔයගොල්ලන්ට කිව්වෙ. පහළ එක් එක් ලිපිය කියෙව්වොත් කතන්දරේ සම්පූර්ණයෙන්ම දැනගත්තැකි.
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස)
මම හිතන්නෙ මේ කතාව හොඳටම දිග වැඩිවුනා. ඒක නිසා අදින් ඉවර කරන්නයි බැලුවෙ. අද කොටසෙදි අනිවාර්යයෙන් කට්ටියව පොරොන්දු වූ දේශයට දාලායි පස්ස බලන්නෙ. ඒක නිසා ලිපිය ටිකක් දික්වෙයි.
------------------------------------------------------------------------------------------------------------
පහුගිය කොටසෙදි මතක ඇතිනෙ මෝසෙස් දසපනත ගත්තා. දසපනත විතරක් නෙමෙයි මුළු ඉශ්රායෙල් ව්යස්ථාවම වගේ ලැබුනෙ සීනායි කන්දෙදි කියලායි කියවෙන්නෙ. ජාතියක් වශයෙන් තිබිය යුතු නීති රීති රාශියක් මේ ව්‍යවස්ථාවේ තිබුනා. ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට අදාළ නීති ඉඩකඩම් පිළිබඳ නීති ආදි එකී මෙකී නොකී හැම නීතියක්ම පාහේ තිබුනා.
ඒ කරඬුව හැඳින්වූයේ ගිවිසුම් කරඬුව නමින් |
සීනායි කන්ද වටා වසර කිහිපයක් කඳවුරු බැඳගෙන ඉද්දීම ඉශ්රායෙල් ජනතාව මේ නීති පිළිපදින්න පටන්ගත්තා. ඒක නිසා එදා වහලුන් විදිහට ආපු ජනතාව වෙනුවට සංවිධානාත්මක ජාතියක් පහළ වීමේ ලක්ෂණ ඇතිවුනා. ප්රජාමූලිකයන් මනාව සංවිධානය වුණා. නොයෙක් විදිහේ අධිපතීන් ඉශ්රායෙල්වරුන් අතරින් බිහිවුනා. පූජකවරු බිහිවුනා. හමුදාවන් බිහිවුණා. සංගණන පැවැත්වුනා. ඉතින් සීනායි කන්දෙන් පිටවෙද්දි ජනතාව තරමක් සංවිධානාත්මකයි.
දෙවියන් වහන්සේගේ නියමයෙන් කරඬුවක් තැනුනා. ඒ කරඬුව හැඳින්වූයේ ගිවිසුම් කරඬුව නමින්. දෙවියන් වහන්සේ දුන් දසපනත ලියූ ගල්පුවරු ඒ කරඬුව තුළ තැන්පත් කර තිබුනා. ඉශ්රායෙල් ජනතාව සීනායි කන්ද අසලින් පිටත්වෙච්ච තැන ඉඳන්ම මේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පෙරටුවෙන් ඔසවාගෙන ගියා. නැවතුනු තැන්වලදී විශේෂ කූඩාරමක එය තැන්පත් කළා.
ක්‍රම ක්‍රමයෙන් තරමක් ශක්තිමත් ජාතියක් වුනු ඉශ්රායෙල්වරු සීනායි කන්ද අසලින් පිටත්වෙලා පාරාන් පාළුකරයට ආවා. එතනදී තමයි සෑම ගෝත්‍රයකින්ම එක්කෙනා බැගින් විමසිලිමත්, ස්ථානෝචිත ප්‍රඥාව ඇති අයව තෝරාගන්නෙ. මෝසෙස් ඔවුන්ට කතාකරනවා. "මම හිතනවා මෙතන ඉන්න හැම කෙනාම ඒ ඒ ගෝත්‍රයේ ඉන්න බොහොම නුවණති අය කියලා. හොඳයි ඕගොල්ලන්ට පැවරෙන කාර්යය මේකයි. දකුණට ගිහින් කඳුකරය හරහා කානාන්වරුන්ගේ දේශයට යන්න. ඒ රට මොන වගේද බලන් එන්න. එහි වාසීන් බලසම්පන්න ද දුර්වලදැයි බලන්න. කොච්චර පිරිසක් ඉන්නවාද බලන්න. ඔවුන්ගේ නගර ගැන බලන්න. ඔවුන් ඉන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියා බලන්න. රටේ දුර්වල තැන් දැනගන්න. "
බරටම ඔසවාගෙන එන්නෙ මිදි, දෙළුම්, අත්තික්කා වගේ පළතුරු |
මේ විදිහට දොළොස්දෙනෙක් තෝරාගන්නෙ කානාන්දේශය ගැන ඔත්තු බලන්න. "හරි, එහෙනම් ගිහින් එන්න. එනකොට පළතුරු ටිකක් ගේන්න"
පිටත්වෙලා ගිය ඔත්තුකරුවෝ නැවත එන්නෙ දවස් හතලිහකට පස්සෙ. ඒ වෙනකොට ඉශ්රායෙල්වරු කාදේශ් කියන ස්ථානයේයි හිටියෙ. ඔත්තුකරුවො බරටම ඔසවාගෙන එන්නෙ මිදි, දෙළුම්, අත්තික්කා වගේ පළතුරු.
"කොහොමද ඒ පැත්තෙ තොරතුරු?"
"ඒක නම් හරිම සාරවත් රටක් මෝසෙස්තුමෙනි. ගොවිතැන් හරිම සරුයි. රට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා" ඔවුන් සියල්ලෝම උත්තර දෙනවා.
"අපි දැන්මම සේනා අරගෙන ගිහින් ඔවුන්ට පහරදෙමු. ඔවුන් ලේසියෙන්ම පරද්දන්න පුලුවන්." එහෙම කියන්නෙ ඔත්තුකරුවන්ගෙන් කෙනෙක්වෙච්ච කාලෙබ්.
ඒත් ජෝෂුවා හැර අනික් සියලුම ඔත්තුකරුවෝ ඊට විරුද්ධ වෙනවා. "මොන පිස්සුද? ඒක අපිට කවදාවත් කරන්න බැරි වැඩක්. ඒ මිනිස්සු යෝධයො වගේ හරිම ශක්තිමත් බලසම්පන්නයි. නිකන් අපිට මැරුම් කන්නයි වෙන්නෙ"
මේ කියමනත් එක්කම ඉශ්රායෙල් ජනතාව කලකිරෙනවා. ඔවුන් මිසරයෙන් ආවෙ නිස්ඵල ගමනක් කියලා හිතලා කටුකුටු ගාන්න ගන්නවා. ඒ මොහොතේ ඇතිවෙච්ච කටුකුටුව රෑ වෙනකොට මහා කෝලහාලයක් බවට පත්වෙලා.
"මෝසෙස්, උඹ අපිව ගෙනාවෙ කානාන්වරුන්ට කියලා මරවන්නද?"
"මීට වඩා හොඳයි මිසරයේ මැරුනානම්"
"අපිට බෑ කවදාවත් කානාන්දේශය අයිති කරගන්න"
සෙනඟගේ කෝලහාලය අතරට ආපු ඔත්තුකරුවන්වූ කාලෙබ් හා ජෝෂුවා ඔවුන්ව සන්සුන් කරගන්න හදනවා. "මිනිසුනේ දෙවියන් වහන්සේව විශ්වාස කරපල්ලා. අපිට ඔවුන් පරාද කළෑකි" ඒත් මෙයින් කෝපය ඉහවහා යන ඉශ්රායෙල්වරු කාලෙබ්වත් ජෝෂුවාවත් අල්ලාගෙන යන්නෙ ගල්ගසා මරාදමන්න.
ඒත් දෙවියන් වහන්සේගේ හදිසි මැදහත්වීම නිසා ඔවුන් ගැළවෙනවා. "කොච්චර කළත් මා විශ්වාස නොකරන ජනතාව. මම සියල්ලන්ම වනසාදමනවා" ඒත් එවරත් මෝසෙස්ගේ මැදිහත්වීම මත දෙවියන් වහන්සේගේ කෝපය නිවී යනවා. "මම නුඹලාට කමා කරන්නම්. ඒත් මා හෙළා දැකපු විවේචනය කළ කාටවත් මා පොරොන්දු වූ දේශයට ඇතුල්වෙන්න ලැබෙන්නේ නෑ. ඒක නිසා ආපහු හැරී පාළුකරයට පලයල්ලා."
දෙවියන් වහන්සේ තවදුරටත් මෝසෙස්ට කතා කරනවා. "මම මෙච්චර දේවල් කරලත් මේ මිනිස්සු මාව විශ්වාස නොකර මට අකීකරු වෙනවා. මාව හෙළාදැකපු මට විරුද්ධ වුනු අවුරුදු 20ට වැඩි කිසිම කෙනෙකුට පොරොන්දුවූ දේශයට යන්න ලැබෙන්නේ නෑ. ඔත්තුකාරයන් ඔත්තු බැලූ දවස් හතලිහට හරියන විදිහට මම උඹලාව පාළුකරයේ අවුරුදු හතලිහක් ඇවිද්දවන්නම්. එතකොට මට විරුද්ධ වෙච්ච හැමෝම මියයාවි. "
ජනතාව නොමඟට යොමුකළ ඔවුන්ගේ ධෛර්යය නැතිකළ ඔත්තුකාරයන් දහදෙනාම වසංගතයකින් මියයනවා. ඒත් සමඟම දෙවියන් වහන්සේව අදහාගන්නා ජනතාව ඊටපස්සෙ කරන්නෙත් දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක්මයි. පාළුකරයට යෑමට ලැබුණ අණ නොතකා ඔවුන් යුද්ධයට යනවා. ඒත් එයින් අන්ත පරාජයක් ලබනවා.
පොළව දෙබෑකර කැරලිකරුවන් සියල්ල පස්වලට යට කරදමනවා |
එහෙත් මෙයිනුත් පාඩමක් ඉගෙනගන්නේ ඉශ්රායෙල්වරු නොවේ. ඉශ්රායෙල්වරු අතර හිටපු කෝරා නම් මිනිහෙක් මෝසෙස්ගේ නායකත්වයට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. ඔහුගේ තර්කය වන්නේ මෝසෙස්ට පණක් නොව ඕනෑම කෙනෙකුට මේ ගමනට නායකත්වය දිය හැකි බවයි. ඒත් දෙවියන් වහන්සේ පොළව දෙබෑකර කැරලිකරුවන් සියල්ල පස්වලට යට කරදමනවා. ඉන්පසු මෝසෙස් වෙත එන මැසිවිලි අඩු කිරීමට සිතන දෙවියන් වහන්සේ මෝසෙස් හා ආරොන් යටතේ ගෝත්‍රයට එක බැගින් නායකයන් පත්කරනවා.
ඔන්න මම වතුර දුන්නා |
ඔහොම කැරකිලා කැරකිලා ආයෙත් කාදේශ් වලට ආ වෙලේක තමයි මීරියම් මිය යන්නෙ. මතකයි නේද මීරියම්. අර මෝසෙස්ව පන් පෙට්ටියක දාලා තියෙද්දි ඈතට වෙලා බලන් හිටියෙ. මීරියම් මරණෙන් පස්සෙ ආයෙ ඉශ්රායෙල්වරුන් මෝසෙස්ව හා ආරොන්ව වටකරගෙන ආයෙ ඉල්ලනවා. වෙන මොකුත් නෙමෙයි වතුර. මෝසෙස් හා ආරොන් පිටතට ගිහින් දෙවියන් වහන්සේට යාච්ඤා කරලා මහා ආඩම්බරෙන් තමයි සෙනඟ මැද්දට එන්නෙ. "ඒයි මෙහෙවරෙල්ලා. උඹලාට මොනාද ඕනෙ. මේ පර්වතෙන් වතුර දෙන්නද? මට බෑ කියලද හිතන්නෙ වතුර දෙන්න. මෙන්න බලාපල්ලා. ඔන්න මම වතුර දුන්නා"
මෝසෙස් පර්වතයට පහරදෙද්දී වතුර ගලා එනවා. වතුර ගලාඑද්දී ජනතාව සතුටු වුන නමුත් දෙවියන් වහන්සේ මෝසෙස්ගේ නොමනා හැසිරීම ගැන කෝප වෙනවා. ඒ නිසාම පොරොන්දු වූ දේශය දැකීමේ වරම ඔවුන් දෙදෙනාට ඒ කිව්වෙ මෝසෙස්ටත් ආරොන්ටත් අහිමි වෙනවා.
ලෝකඩ සර්පයෙක් |
ඉතා වයස්ගතව හිටපු ආරොන් හෝර් කන්දේදී මියයන්නෙ තම පුත් එලෙයාසර්ට ප්‍රධාන පූජක ධූරය පවරමින්. ඉශ්රායෙල්වරු දින හතක් තිස්සේ ඔහු ගැන ශෝක වෙනවා. ඒ අතරම ඉශ්රායෙල්වරුන්ට පහරදීමට ආ රජවරුන් කීපදෙනෙක්ගේ සේනාවන් හා සටන් ඇතිවී ඒවා නිමවෙන්නේ ඉශ්රායෙල්වරුන්ට ජය ලබාදෙමින්. ඒ කාලෙම තමයි කට හොඳනැති ඉශ්රායෙල්වරු සර්ප ප්‍රහාරයකට ලක්වෙන්නේත්. එයට ප්‍රතිකාරයක් විදිහට ලෝකඩ සර්පයෙක් තනනු ලබනවා. ඒ දිහා බලන හැමෝටම සුව වෙනවා.
ඉශ්රායෙල්වරුන්ට අමෝරිවරුන්ගේ රජෙක් වුණු සීහොන්ගේ පාලන ප්‍රදේශයෙන් යන්න සිදුවෙනවා. ඒත් ඊට කලින් රජුගෙන් අවසර ගන්න ඕනනෙ. "රජතුමෙනි, ඔබගේ රට මැදින් යන්නට අපට අවසර දුන මැනව. ඔබගේ වගාවන්ට අපි හානි නොකරමු. ළිං වලින් වතුර නොබොන්නෙමු. දේශසීමාව පසු කරන තෙක්ම රජ මාවත ඔස්සේම යන්නෙමු. අපට අවසර දුන මැනව" යි ලිපියක් යැවූවත් මෙතරම් විශාල ජනතාවකින් විය හැකි හානිය දකින රජු අවසර ලබාදෙන්නේ නෑ. ඒ මදිවාට ඉශ්රායෙල්වරුන්ට පහදීමට රජුගේ සේනාවත් එවනවා.
මේ වනවිට යම් තරමක ශක්තිමත් හමුදාවක් සහිතව සිටි ඉශ්රායෙල්වරු මැනවින් ඒ සේනාවට ප්‍රතිප්‍රහාර ලබාදෙනවා. ඒ නිසාම රජුගේ මුළු පාලන ප්‍රදේශයම අල්ලාගන්න ඔවුන්ට හැකිවෙනවා. ඉන්පසු අමෝරිවරුන්ගේ රජෙකුට වූ 'ඕග්' ට වෙන්නෙත් ඒ දේමයි.
දිගින් දිගටම සටන් කරමින් ඒවා ජය ගනිමින් යන ඉශ්රායෙල්වරු බාලාක් රජුගේ දේශසීමාවටත් පැමිණෙනවා. කලින් රජවරුන්ට වූ විපත්තිය සිහිවෙන රජු ඇමති මණ්ඩලය කැඳවනවා. "ඉශ්රායෙල්වරු අපිට කරදරයක් වෙන්න යන්නේ. මොනාහරි මේකට කරන්න වෙනවා. ඔවුන් එක්ක යුද්ධ කරලා දිනන්න බැරි පාටයි"
"අපි බාලාම් දිවැසිවරයා ලව්වා මේ මිනිසුන්ට ශාප කරවමු" ඒ අවසරයෙන් රජුගේ දූතයන් පඬුරුද රැගෙන දිවැසිවරයෙකු වූ බාලාම් සොයායනවා.
ඒ දූතයන් ඇවිල්ලා බාලාම්ගෙ ගෙදර රාත්‍රියේ නවාතැන් ගන්නවා. ඒත් එදා රාත්‍රියේ හීනයකින් දෙවියන් වහන්සේ බාලාම්ට කතා කරනවා. "මේ මිනිසුන් කවුද බාලාම්?"
"ස්වාමිනී, ඔවුන් ඇවිත් ඉන්නෙ මාව එක්කගෙන ගිහින් ඉශ්රායෙල්වරුන්ට ශාප කරන්න"
"ඒ මාගේ ජනතාව නුඹ ශාප කිරීමෙන් පලක් නෑ. යන්න එපා"
ඉතින් බාලාම් දූතයන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. හිස් අතින් පැමිණි දූතයන් දකින රජු බොහෝ පුද පඬුරුද සමඟ ප්‍රභූන්ව එවනවා. ඒ පුද පඬුරු කොච්චර විශාල වුනත් දෙවියන් වහන්සේට පිටින් යන්න ඔහු කැමති නොවුනත් මේ ගැන නැවතවරක් දෙවියන් වහන්සේගෙන් අහන්න තීරණය කරනවා. "හොඳයි යන්න ඕනාම නම් යන්න. හැබැයි ශාප නොකර ඉන්න වගබලාගන්න"
උදෙන්ම නැගිටලා හොඳ ඇඳුමක් එහෙම දාගෙන කොටළු වාහනෙන් බාලාම් යනවා රජු හමුවෙන්න. ඒත් දෙවියන් වහන්සේ මේ ගැන තරහින් ඉන්නෙ. කඩුවක් අතින්ගත් දෙවියන් වහන්සේගේ දූතයා කොටළුවාගෙ පාර හරස් කරලා හිටගන්නවා. කොටළු ගොයියත් මොකද කරන්නෙ පාරෙන් බහිනවා කුඹුරට. බාලාම්ට පේන්නේ නෑනෙ දේව දූතයෙක්ව. ඉතින් හොඳට පාර තියාගෙන කැලේ යන කොටළුවාට කෙවිටෙන් පාර ලැබෙනවා. කෙවිටි පාර කාගෙන ඇඹරි ඇඹරි ආයෙ පාරට ඇවිත් කොටළුවත් ඉස්සරහට යනවා.
ආයෙ තාපප්පයක් තිබුනු තැනකදි දේව දූතයා පාර හරහා. කොටළු ගොයියා පයිනවා පාරෙ අයිනට.
'දොක්' බාලාම්ගෙ කකුල තාප්පෙ.
'චටස්'කෙවිට කොටළුවගෙ පිටේ.
අස්සෙන් මුල්ලෙන් දාලා දේවදූතයගෙ වෙට්ටුවෙන් බේරිලා කොටළුවත් ගමනේ යනවා. පාරත් එන්න එන්නම පටු වෙනවා. කොටළුවෙක්ට යන්න පමණක් ඉඩ තියෙන තැනකදි දූතයා ආයෙත් දර්ශනය වෙනවා. බාලාම්ව බේරාගෙන තවත් ඉදිරියට යාමට නොහැකි කොටළුවා බාලාම් පිටේ ඉද්දිම වැඳ වැටෙනවා.
'චටස්'
මේ වෙලාවෙ දෙවියන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දෙනවා.
"ඔබතුමා මට තුන්පාරක්ම ගැහුවේ මම මොනවා කළාටද?"
වියරු වැටී සිටින බාලාම්ට මේ කතාකරන්නේ කොටළුවෙක් කියලවත් තේරෙන්නෙ නෑ. "උඹ මාව විහිළුවකට ගත්තද? අම්මපා.. කඩුවක් තිබ්බානම් කපනවා උඹේ බෙල්ල"
කොටළුවාට අවහිර කෙරුවේ මමයි බාලාම් |
"මම ඔබට අයිති වෙච්ච දා ඉඳන්ම ඔබට සේවය කළා. මම කවදාවත් ඔබට මෙහෙම සැළකුවාද? "
ඒත් එක්කම දේව දූතයාව බාලාම්ටත් පේන්න ගන්නවා. ඔහු වැඳ වැටී "ස්වාමිනී මම ඔබට අකීකරු වුනා. ම්ට සමාවෙන්න" යි ලතවෙන්න ගන්නවා.
"කොටළුවාට අවහිර කෙරුවේ මමයි බාලාම්. ඌ එහෙට මෙහෙට වුනේ ඔබව බේරන්න හිතාගෙන. දැන් ඉතින් ආ ගමන යන්න. හැබැයි ඔබ කියන්න ඕනෙ මම කියන දේවල් විතරයි"
බාලාම් බාලාක් රජුව හමුවෙනවා. රජුගේ සංග්රහවලින් ගිමන් නිවාගන්නා ඔහුට රජු ආරාධනා කරන්නෙ ඉශ්රායෙල්වරුන්ට සාපකිරීමට. ඒත් සාප කරන්න ගත්තට කියන කියන සාප අවසන් වෙන්නේ ආශිර්වාද වාක්‍ය වලින්. මේ විදිහට කීප සැරයක් උත්සාහ කළත් ආශිර්වාද වාක්යමයි කියවෙන්නෙ. මෙයින් කෝපයට පත් රජු හිස් අතින්ම බාලාම්ව එලවා දමනවා.
මේ අතර මිදියන්වරුන්ගේ ජනාවාස අතර කඳවුරු බැඳගෙන ඉන්න ඉශ්රායෙල්වරු ළඟපාත නගරවලට යන්නට එන්නට වීමත් සමඟම මිදියන් කාන්තාවන් සමඟ හොරෙන් හොරෙන් හාදකම් පටන්ගන්නවා. අනාචාරයේ හැසිරෙනවා මදිවට ඒ ස්ත්රීන්ගේ කීමට නොයෙක් දෙවි දේවතා ඇදහිලිත් පටන්ගන්නවා. දෙවියන් වහන්සේ කිපිලා ඔවුන් සියලුදෙනාවම එල්ලා මරන්න නියම කරනවා.
මරණයට පත්වෙච්ච තම ඥාතීන් ගැන දුකට පත්වෙලා ලතෝනි දිදී ජනතාව ඉඳිද්දිම එක පුද්ගලයෙක් මිදියන් කාන්තාවක් කුඩාරමට කැඳවාගෙන එනවා. "මුන් එහෙ යනවා මදිවට මෙහෙටත් අරන් එනවා" හොඳටම කිපෙන ආරොන්ගේ මුණුබුරා වෙච්ච පිනේහාස් ඒ කාන්තාවත් ඇය කැඳවාගෙන ආ ඉශ්රායෙල් ජාතිකයාත් හෙල්ලෙයෙන් ඇණ මරාදමනවා. බලාගෙන යනකොට ඒ කාන්තාව මිදියන් අධිපතියෙකුගේ දුවක්. ඒක නිසා ඉශ්රායෙල්වරුන්ට සිදුවෙන්නෙ මිදියන් වරුන් හා යුද්ධ කරන්න. එයිනුත් ඉශ්රායෙල්වරු ජයගන්නවා.
තවත් කාලයක් ගතවෙනවා. දැන් ඉශ්රායෙල්වරු බොහෝම ශක්තිමත් ජාතියක් වෙලා. පොරොන්දු වූ දේශය පෙනෙන මානයේ. මෝසෙස් හැර එදා මිසර දේශයෙන් පිටතට පැමිණි කිසි කෙනෙකු ජීවතුන් අතර නෑ. සියලුදෙනාම මියගිහින්. දෙවියන් වහන්සේ කිවූ විදිහටම දෙවියන් වහන්සේට විරුද්ධව කතා කළ ක්‍රියා කළ ඔක්කොම මියගිහින්. ඉශ්රායෙල්වරු තවත් ගෝත්‍රික ජනතාවක් නොවන මට්ටමට ඇවිත්. නීතිරීති මාලාවක් ලැබිලා දැනුම ලැබිලා දැන් ඔවුන් ශිෂ්ඨාරගතවෙන්න සූදානම්.
මෝසෙස්ටත් දැන් වයස අවුරුදු එකසිය විස්සක්. දෙවියන් වහන්සේගේ අණපරිදි ඔහු ඉශ්රායෙල්වරුන්ට නායකත්වය දීමෙන් විශ්‍රාම යනවා. දෙවියන් වහන්සේට නොකඩවා කීකරුව සිටි දැහැමි පුද්ගලයෙක්වූ ජෝෂුවාට සියලු වැඩකටයුතු භාරවෙනවා.
ජෝෂුවා නායකත්වයේ වැඩ කරන අතරේ මෝසෙස් දෙවියන් වහන්සේ දුන් නීතිරීති සියල්ලත් ඔවුන්ව මිසරයෙන් බේරාගත් විස්තරත් ලියා අනාගත පරම්පරාවලට දැනගත හැකිවන විදියට ගිවිසුම් කරඬුවේ තැන්පත් කරනවා. පාළුකරයේදී දෙවියන් වහන්සේ දුන් ආහාර සිහිවෙන්න මන්නා ස්වල්පයක්ද තැන්පත් කරනවා. මේ විදිහට ගිවිසුම් කරඬුව කියන්නෙ අනාගත පරපුරට මේ සිද්ධිය සිහිගන්වන සිහිවටනයක්.
මේ අතර දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරනවා. "මෝසෙස්, තව ටිකදිනකින්ම මම ජනතාව ජොර්දාන් ගඟෙන් එතෙර කොට ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද පොරොන්දු වූ දේශය ඔවුන්ට දෙනවා. එහෙත් මා කී පරිදි මට අකීකරු වූ කිසිවෙකුත් පොරොන්දු වූ දේශයට ඇතුළු වෙන්නේ නෑ. මෙරීබාහිදී ජලය ලබාදීමේදී මට අගෞරව කළ ඔබත් ආරොනුත් ඊට අයිතියි. ආරොන් මියගිය විදිහටම පොරොන්දු වූ දේශයට ඇතුළු වීමට කලින් ඔබත් මියයනවා. එහෙත් මුළු ජීවිතයම ඔබ මට විශ්වාසවන්තව හිටපු නිසා මිය යන්න කලින් පොරොන්දු වූ දේශය ඔබට පෙන්වන්නම්. දැන් ජනතාවගෙන් සමුගෙන එන්න"
එදා නයිල් ගඟෙන් හමුවී ජීවිතය ගලවාගෙන මිසර කුමරෙකු වූ මෝසෙස්, පස්සෙ තම ජාතියම ගලවාගැනීමේ කාර්යයට නායකත්වය දුන්නා. අවුරුදු හතලිහක් තිස්සෙ නොයෙක් දුක් ගැහැට කරදර ඇනුම් බැනුම් මැද ජනතාව මෙපමණ දුරක් ගෙනාවා. දැන් මෝසෙස්ගේ කාර්යය අවසානයි.
මෝසෙස් ඉශ්රායෙල්වරුන්ව රැස් කරවනවා. ඊටපස්සෙ මිසර දේශයේ ඔවුන් විඳි දුක් ගැහැට වගේම දෙවියන් වහන්සේ ඔවුන්ට පිහිටවෙච්ච හැටි, වසංගත එවලා මිසර වැසියන් බය කළ හැටි, රතු මුහුදෙන් එතෙර කරවලා පාරාවෝගේ හමුදාවෙන් බේරපු හැටි, කාන්තාරයේදී කෑම වතුර දීපු හැටි, දසපනත දීපු හැටි ආදී සියලුම දේ අලුත් පරම්පරාවට කියලා දෙනවා. ඒ වගේම ව්‍යස්ථාවත් පැහැදිලි කර දෙනවා. "මා කියපු මේ කරුණු තදින් හිතට ගන්න දරුවනේ. මේ ව්‍යවස්ථාවෙ කරුණු පිළිපදින්න. ඒ වගේම දරුදැරියන්ට ඒවා උගන්වන්න. පිළිපදින්න උපදෙස් දෙන්න. මේවා ඔබට ජීවය දේවි. ජොර්දාන් ගඟෙන් එතෙරදී ඔබටම ලැබෙන දේශයේදී මේ නීති නියමාකාරයෙන් පිළිපදිමින් හිටියොත් ඔබ චිරාත් කාලයක් වැජඹේවි."
මම නුඹට එය පෙන්වීමි |
ගෝත්‍ර වශයෙන් ජනතාව පැමිණ තම අසාහාය නායකයාගෙන් සමුගන්නවා. ඔහු ඔවුන් සියලුදෙනාටම ආශිර්වාද කරනවා. සියල්ල අවසානයේ ඔහු ඔවුන්ගෙන් සමුගෙන නෙබෝ කන්දෙ පිස්ගා කඳු මුදුනට නඟිනවා. කඳු මුදුනේදී මුළු කානාන් දේශයම ඔහුට පෙනෙනවා. "මෝසෙස්, බලන්න මම නුඹේ මුතුන් මිත්තන්වූ ආබ්‍රහම්ට ඊසාක්ට ජාකොබ්ට පොරොන්දු වූ දේශය. මම නුඹට එය පෙන්වීමි" පොරොන්දු වූ දේශය දැක සතුටින් පිරුණු මෝසෙස් ඒ සතුට දරාගෙනම මියයනවා. ඉශ්රායෙල්වරු පුරා මාසයක්ම ඔහු වෙනුවෙන් ලතවුනාලු.
මුළු ඉතිහාසය පුරාවටම මෝසෙස් තරම් දෙවියන් වහන්සේ සමඟ කිට්ටුවෙන් ජීවත්වූ මිනිසෙක් ඉඳලා නෑ කියලා තමයි කියන්නෙ. අන් දිවැසිවරුන්ට නොලැබිච්ච විදිහට මෝසෙස්ට පුළුවන් වුනා දෙවියන් වහන්සේගේ පණිවිඩ කෙලින්ම ලබාගන්න. ඒ වගේම අවුරුදු ගණනාවක් පුරා දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජනතාව මෙහෙයවන්න.
මෝසෙස්ගේ මරණයෙන් පස්සෙ ඉශ්රයෙල්වරුන් මෙහෙයවීමේ සියලුම වගකීම් පැටවෙන්නෙ ජෝෂුවාගේ කරපිට. දෙවියන් වහන්සේ ජෝෂුවාට කතා කරනවා. "මාගේ සේවක මෝසෙස් මළේය. දැන් ඉතින් නුඹ ඉශ්රායෙල් ජනතාවත් රැගෙන ජොර්දාන් ගඟෙන් එතෙර වන්න. එහෙ නුඹලා පය තබන හැම බිම් අඟලක්ම නුඹලාගේ ජාතියට ලැබේවි." දෙවියන් වහන්සේගේ කීම ඉහළින් පිළිගන්නා ජෝෂුවා තම ජනතාව පොරොන්දු වූ දේශයට ඇතුළත් කිරීමට සූදානම් කරනවා. හැකිතාක් ආහාර පාන රැස්කරන අතරම යුද්ධ සේනාවත් ශක්තිමත් කරනවා.
දැන් ඉශ්රායෙල්වරු ලෑස්තිවෙන්නෙ කානාන්වරුන්ට පහරදෙන්න. ඒත් ඊට කලින් ඔත්තු බලන්න ඕනනෙ. සතුරා ගැන හොඳ වැටහීමක් ගන්න ඕනෙ ඔක්කොටම කලින්. ඉතින් ජෝෂුවා තමුන්ට ඉතා විශ්වාසදායී මිනිසුන් දෙන්නෙක් ගෙන්වලා ජෙරිකෝවට යවනවා ඔත්තු සේවෙට.
මේ දෙන්නත් රට පුරා ඔත්තු බලලා බලලා හවස් ජාමේ ගොඩවෙන්නෙ රාහබ්ගෙ ගෙදරට. රාහබ් කියන්නෙ ජෙරිකෝවෙ හිටපු නගර සෝබනියක් හෙවත් වෙසඟනක්. මිනිස්සු දෙන්නා ගිය වැඩේ හරියට කරලා නැති පාටයි. මොකද කියනවානම් රාහබ් රජුගෙ බුද්ධි අංශය මේ වෙනකොට දැනගෙන ඉන්නෙ ඔත්තුකාරයො දෙන්නෙක් රටට ඇතුලුවෙච්ච බව. ඒවගේම ඒ දෙන්නා රාහබ්ගේ ගුබ්බෑයමට රිංගපු බව.
ටිකකින් රාහබ්ගේ ගේ වටේටම සෙබළු. රාහබ්ව ගෙනියන්න නෙමෙයි. ඒක ඒ කාලෙ එහෙ නීතිගතව තියෙන්න ඇතිනෙ. අර ඔත්තුකාරයො දෙන්නා අල්ලන්නයි සෙබළු ආවෙ. "අද හවස මිනිස්සු දෙන්නෙක් මෙහෙ ආවා නේද? ඒ දෙන්නා ඉශ්රායෙල් ඔත්තුකාරයො. ඒ දෙන්නව භාරදෙන්න "
රාහබ් ඉතින් මායම් දෙක තුනක් දාලා මෙහෙම කියනවා. "දෙන්නෙක් නම් ආවා තමයි. මම දැනගෙන හිටියෙ නෑ ඔත්තුකාරයො බව. ඒත් ඒ දෙන්නා ගියානෙ. කළුවර වැටීගෙන එනකොට වාසල් දොරටු වහන හින්දා ඊටකලින් පිටවෙන්න ඕනා කියලයි ගියෙ. මේ දැන් ගියා විතරයි. ඉක්මණට ගියොත් අල්ලගත්තෑකි" ඒ මායමට අහුවෙච්ච සෙබළුත් ඔත්තුකරුවන්ව ලුහුබඳින්න හිතාගෙන පිම්මේ දුවන්න ගන්නවා.
මිනිසුන් දෙදෙනාව එළියට බැස්සවීම |
රාහබ් කරන්නෙ ඔත්තුකරුවන් දෙදෙනාව ගෙයි පියස්සට කැඳවාගෙන යාම. එතන තිබ්බ හණ දඬු ගොඩක් අස්සෙ දෙදෙනාටම නවාතැන් ලැබෙනවා. "ඇයි ඔබ අපට මෙච්චර උදව් කරන්නෙ?"
"අපි දන්නවා ඔබලා මිසරයෙන් ගැලවිලා ආපු හැටි. මිසරයේ ජනතාවට පහර දුන්න හැටි. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබලාව රතු මුහුදෙන් එතෙර කළ හැටි. ඔබලා රජවරුන්ට පහර දුන්න හැටි. ඔබලා අපේ රට අල්ලා ගන්ඩ යන බවත් දන්නවා. දෙවියන් වහන්සේ ඔබලාගේ පැත්තේ නිසා ඔබලා අනිවාර්යන්ම අපේ රට අල්ලා ගනීවි. ඉතින් එදාට මම කරපු මේ උදව්ව මතක් කරලා මාත් මගේ පවුලත් මරණයෙන් බේරාගන්න "
"හොඳයි. අපි පොරොන්දු වෙන්නම්"
රාහබ්ගේ ගේ තිබිලා තියෙන්නෙ රටේ පවුර අයිනෙමයි. ඉතින් රාහබ් කරන්නෙ ජනේලෙකින් කඹයක් තාප්පෙන් එළියට වැටෙන විදිහට දාලා මිනිසුන් දෙදෙනාව එළියට බැස්සවීම.
"සෙබළු ඕගොල්ලන්ව හොයාගෙන කඳුකරයටයි යන්න ඇත්තෙ. ඒක නිසා පරිස්සමෙන්. එහෙ නෑ කියලා දැනගත්තාම ආයෙ මෙහෙ හොයන්න ඒවි. ඒක නිසා වෙන පාරකින් යන්න"
"මේ උදව්ව කවදාවත් අමතක වෙන්නෙ නෑ රාහබ්. මේ රතු පටිය ඔබේ ජනේලයේ බඳින්න. එතකොට අපේ සේනාව මේ ගෙදරට අත තියන එකක් නෑ"
ඔත්තුකරුවන්ගේ තොරතුරුවලට අනුව ජෝෂුවා ඉදිරි යුධ සැලසුම් අඳිනවා.
ජොර්දාන් ගඟත් දෙබෑ වුනාලු |
ඉන්පසු ජොර්දාන් ගඟෙන් එගොඩ වෙනවා. මුලින් මතක ඇතිනෙ කිව්වා ගිවිසුම් කරඬුව කියලා එකක් ඉශ්රායෙල්වරුන්ට පෙරටුව ගෙනගිය බව. ඉතින් මේ කරඬුව කරමත තබාගත් පූජකවරු තමයි මුලින්ම ගඟට බහින්නෙ. ඔවුන් බැස්සාම රතු මුහුද දෙබෑවුනාක් මෙන් ජොර්දාන් ගඟත් දෙබෑ වුනාලු. ඉහළින් ගලාඑන වතුර නැවතුනාම ඉශ්රායෙල්වරුන්ට පුළුවන් වුනාලු කරදරයක් නැතිව එගොඩවෙන්න. මේක සිහිවෙන්න ජොර්දාන් ගඟෙන් ගත්තු ගල් දොළහකුත් ඉශායෙල්වරු රැගෙන ගියාලු.
ඉන්පස්සෙ තමයි ඉශ්රායෙල්වරු ජෙරිකෝවට පහරදෙන්නෙ. රාහබ් කරපු උදව්ව හින්දා ඇයටත් ඇගේ පවුලටත් හානියක් වෙන්නේ නෑ. ඉශ්රායෙල්වරු ජෙරිකෝව අල්ලා ගන්නවා. ඒවගේම දිගින් දිගටම පහර දීමෙන් අසල පිහිටි රටවලුත් ඔවුන් සන්තක කරගන්නවා. ඒ යුද්ධ ගැනත් ලොකු විස්තර තිබ්බත් ඒවා කියන්න ගියොත් තව තවත් නීරස වෙයි.
ඕං දැන් පොරොන්දු වූ දේශය තවදුරටත් පොරොන්දුවක් නෙමෙයි. දැන් ඒ දේශය ඉශ්රායෙල්වරුන්ගේ. ඊළඟ කාර්යය වෙන්නෙ ඒ ඒ ගෝත්‍රවලට කොටස් වෙන්කරදීම. මතකනෙ ගෝත්‍ර දොළහ.
ඉන්පස්සෙ තමයි ඉශ්රායෙල්වරු ජෙරිකෝවට පහරදෙන්නෙ |
1.රූබන් (Reuben)
2.සිමියොන් (Simeon)
3. ලෙවී (Levi)
4. ජුදා (Judah)
5.ඉස්සාකර් (Issachar)
6. සාබුලොන් (Zebulun)
7. දාන් (Dan)
8. නප්තලී (Naphtali)
9. ගාද් (Gad)
10. ආෂෙර් (Asher)
11. ජෝසප් (Joseph)
12. බෙන්ජමින් (Benjamin)
මේ ගෝත්‍රවලින් ලෙවී ගෝත්‍රයේ අයව පූජකයන් කරා කියලා මම කිව්වා මතක ඇතිනෙ. ඒ නිසා ඒ අයට වෙනම රටක් ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට හැම රටකම වගේ ඔවුන්ට වෙන්වූ නගර ලැබෙනවා. ඔවුන්ට ජීවත්වීම සඳහා ජනතාවගේ ආධාර ලැබෙන අතරේ ඔවුන්ගේ එළු බැටළු පට්ටි වලට තණබිම් ටිකකුත් ලැබෙනවා. ඒවගේම වැඩිම ජනතාවක් හිටපු ජෝසප්ගේ ගෝත්‍රය ඔවුන්ගේ පුත්තු දෙන්නා වුනු මනස්සේ හා එප්‍රායිම්ගේ නමින් ගෝත්‍ර දෙකකට බෙදෙනවා. ඊටපස්සෙ දේශය කොටස් දොළහකට බෙදලා දාදු දානවා. එතනින් තමයි ඒ ඒ ගෝත්‍රවලට අයිති ප්‍රදේශ තීරණය වෙන්නෙ. ඔය සිතියම බලන්නකො. ඊට පහළින් තියෙන්නෙ ඉශ්රායෙල්වරු මිසරයේ ඉඳන් ආපු හැටි දක්වන සිතියම.
ඒ ඒ ගෝත්‍රවලට අයිති ප්‍රදේශ |
ඉශ්රායෙල්වරු මිසරයේ ඉඳන් ආපු හැටි දක්වන සිතියම |
පරම්පරා |
තැන තැන යන එඬේරුන් විදිහට ඉඳලා, ඊටපස්සෙ මිසරයේ වහලුන් වෙලා, එයින් නිදහස් වෙලා ඉශ්රායෙල්වරු තමුන්ටම කියලා රටක් ලබාගත්තු හැටි මම කිව්වනෙ. ඒත් මේ රටේදිත් ඔවුන්ට යහතින් ඉන්න ලැබෙන්නේ නෑ. ඔවුන්ට පෙර ඒ රටේ හිටපු ජාතීන්ගෙන් ශේෂවූවන් සමඟ වසර දහස් ගානක් තිස්සෙම දිගින් දිගටම යුද්ධ ඇතිවෙනවා. ඒ වගේම බැබිලෝනියාවෙන් පැමිණි ආක්‍රමණයක් නිසා බැබිලෝනියාවෙ වහලුන් වෙන්නත් ඔවුන්ට සිදුවෙනවා. ඊටපස්සෙ පර්සියානු ආක්‍රමණයක් ඇතිවෙනවා. ඊටත් පස්සෙ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ආක්‍රමණය. ඊළඟට රෝමානු ආක්‍රමණය. ඒ කාලෙ තමයි ජේසුස් වහන්සේ බිහිවෙන්නෙ.
මෙතෙක් කලක් ඇදි ඇදී ආපු 'පොරොන්දු වූ දේශය කරා' කතාව මෙයින් නිමයි. මෙතෙක් කල් මාත් එක්ක පොරොන්දු වූ දේශයට යෑමට ආපු ඕගොල්ලො ඔක්කොටම ස්තුතියි. මීට සම්බන්ධ ඉතිහාස කරුණුත් එක්ක තව නොබෝ දිනකින් ආයෙත් මේ පාරෙන්ම යමු.
මූලාශ්‍ර : ශු. බයිබලයේ උත්පත්ති, නික්මයාම, ලෙවී ව්‍යවස්ථාව, ගණන් කතාව, ද්විතීය නීති සංග්‍රහය හා ජෝෂුවා යන ග්රන්ථ.
විශේෂ ස්තුතිය :
- මේ කතා මාලාව පුරා මම උපුටාගත් චිත්‍ර ඇඳි සියලුම චිත්‍ර ශිල්පීන්ට හා ඒවා වෙබ් අඩවිවල පලකළ අයට.
- මේ ලිපි මාලාව කියවූ ප්‍රතිචාර දැක්වූ දිරිමත් කළ හා ඊළඟ කොටස පලවනතුරු පුල පුලා බලා සිටි හැමට.
සටහන : මේ කතාමාලාව අඩංගු චිත්‍රපට කිහිපයක් බලන්න.
- Moses the Lawgiver (1974 TV miniseries)
- Moses (1996, TNT Bible Series)
- The Prince of Egypt, 1998
- The Ten Commandments: The Musical, 2006
- The Ten Commandments, 1923
- The Ten Commandments, 1956
- The Ten Commandments, 2006 TV series
- The Ten Commandments, 2007
- Gods and Kings (Moses story directed by steven spielberg),2013
දිග කතාවක් වගේ .....
ReplyDeleteහ්ම්... මට මතක විදිහට අවුරුදු 40ක විතර ගමනක් !
Delete@ Sanjaya සිතුවිලි,
Deleteඔව් මම කියපු මුලු කතාවම වෙන්ඩ ගතවෙච්ච කාලය අවුරුදු පන්සීයකටත් වැඩී..
@ මධුරංග,
ඈ.. බන්.. මතක විදිහට කියන්නෙ උඹ මේක කියෙව්වෙ නැද්ද? මේකෙදි මම කිව්වා ඉශ්රායෙල් ජනතාව අවුරුදු හතලිහක් රස්තියාදු වෙන්න හේතුව..
මම අද මේ අවසාන කොටස නිදහසෙ කියවන්න ඕන නිසා පාන්දර 5.00 ට නැගිටලා කියෙව්වා. ඊට පස්සේ ඒ ගැන මෙනෙහි කරමින් මුළු කතාවම උපරිමයෙන් රස වින්දා. දැන් තමයි අදහස් ප්‍රකාශ කරන්න හිතුවේ. ඔබ වෙහෙස මහන්සිවී සද්කාර්යයක් කල බව මුලින්ම කියන්න ඕනේ. වටිනාකම දන්නා අයට මේ ලිපි මාලාව විශ්වකෝශයක කොටසක් තරම්ම වටිනවා. මේ කතා මාලාව පදනම කරගනිමින් වර්තමාන කාලයේ මේ කතාවට පසුබිම් වූ ප්‍රදේශයේ දේශපාලනික, ආර්ථික, හා සමාජමය තත්වය පිලිබඳ විවරණයක යෙදෙන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම එයත් දීර්ඝ ලිපි මාලාවක් වෙයි. ඊශ්‍රායලයේ පළාත් වල නම් කියවීමේදී යිට්ශාක් රාබින්, බෙන්ජමින් නෙතන්යාහු මතක් වුනා. ජනප්‍රියත්වය පසෙක තබා හරවත් දේ ලිවීමට මේ තරුණ වයසේදීම ඔබ පෙළඹීම හොඳ සාධනීය ලක්ෂණයක්. ඔබේ පරිනත භාවය පෙන්නුම් කිරීමක්. ඉදිරියේදීත් ඔබෙන් මෙවැනි හරවත් නිර්මාණ බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඒ තරම් උනන්දුවක් දැක්වීම ගැන සන්තෝසයි.. අගය කිරීම ගැන නම් ගොඩාක් ස්තුතියි විචාරක මහත්මයා දේශපාලනික, ආර්ථික, හා සමාජමය තත්වය පිලිබඳ විවරණයක පුළුවන් තරමින් යෙදෙන්නයි බලන්නෙ.. දිගට දිගට නම් කියන්න අදහසක් නෑ.. උපරිම කොටස් දෙකක් වෙයි.. දිග කතා වැඩිදෙනා කියවන්නෙත් නෑ වගේ..
Deleteහුර් රේ... හුර් රේ... !
ReplyDeleteඅද නම් සමරන්න ඕන දවසක්. !
ඇත්තම කියන්ඩ එපැයි මේ කතාවේ පහලින් තියෙන ජොර්දාන් ගඟේ සිද්ධි ටික දන්නෙත් අදමයි.
එහෙනම් සමරමු... :)
Deleteමාත් ඒ ගැන දැනගත්තෙ මේ ලිපිය ලියද්දි තමයි..
පොඩි කාලේ මේ සිද්ධි ටික තිබ්බ ලස්සන පින්තූර පෙතක් මං ගාව තිබ්බා... මට මතක විදියට මොන්ටිසෝරියේ ෆාදරි කෙනෙක් තමයි දුන්නේ.. ඒකේ පින්තූර ටික ආයිත් හිතේ මැවෙන විදියට ලස්සනට ලියලා තියෙනවා කතාව.. අද තමා මම ඔක්කොම කොටස් ටික කියෙව්වේ..
ReplyDeleteහරිම ලස්සන වැඩක් හරී...
( හැබැයි අර මිනිස්සුන්ව මරන්න තවත් මිනිස්සු කට්ටියකට උදවු කරපු දොවියෝ ගැන නම් මගේ කිසිම ප්‍රසාදයක් නෑ...)
මම හිතන්නෙ මෝසෙස්ගෙ චිත්‍ර කතා පොත වෙන්න ඕනෙ.. කොටස් ඔක්කොම එකපාර කියෙව්වා කියන්නේ අගය කරන්ඩ වටින වැඩක්.. කොම්පීතරේ බදාගෙන ඉන්නවා කියලා ඔයාව ගෙදර මිනිස්සු එලවයිද දන්නෙ නෑ..
Deleteස්තුතියි..
දෙවියන් ළඟට ගිය දවසක කියන්නම්... :)
පොරොන්දු වූ දේශයට එනවත් එක්කම අපේ හරීත් පොරොන්දුව ඉටුකලා. ඇත්තටම මෙච්චර දීර්ඝ කතාවක් කම්මැලි නැතුව කරුණු හොයලා, පරිවර්තනය කරලා අපිට ඉදිරිපත් කරපු හරීට අපේ ප්‍රනාමය. මේක ලේසි වැඩක් නොවන බව පරිවර්තන එකක් දෙකක් කරන්න හදපු මාත් දන්නවා. හරියට කොටි වල්ගෙ අල්ලාගත්තා වගේ නේද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මහන්සි නම් උනා තමයි හෙන්රි අයියේ.. ඒත් පරිවර්තනයක් නම් නෑ.. මොකද සිංහලෙන් ලියවෙච්ච බයිබලේ තියෙනවනෙ.. ඒත් ඉතින් ඒක ගෙඩි පිටින් කොපි කළේ නෑ.. මුලින්ම වෙන වෙන කතන්දර එක්ක තියෙන පැටලුම් ඇරලා කතාව බේරගත්තා.. ඊටපස්සෙ මගේ වචනයෙන් වර්තමානෙට ටිකක් ළඟින් යන බාසාවකින් දුන්නා.. බයිබලේ තියෙන සමහර දෙබස් නැතිකළා වගේම දෙබස් නැති සමහර තැන්වලට මම අතිනුත් දෙබස් දාලා ඇති..
Deleteහරියට කොටි වල්ගෙ අල්ලාගත්තා වගේ නේද? ඕං මේ කතාවෙන් අතඇරියා වලිගෙ..
හප්පෝ... මට සෑහෙන්න ගොඩක් කියවන්න තියෙනවා වගේ. හිටිමිහිට ඒ ටිකත් කියවලා එන්නම්.
ReplyDeleteහිමීට කියවන්නකො එහෙනම්..
Deleteලිපිය හොදින් කියෙව්වාම එය ලියන්න ඔබ දැරූ උත්සාහයේ තරම හිතා ගන්න පුලුවන්... සුපිරි වැඩක්... වෙනදා වගේම මගෙන් සුභ පැතුම් !
ReplyDeleteස්තුතියි සිරා... මේ තරම් දිග ලිපියක් කෙනෙක් කියවනවා කියන එක අහන්නත් සතුටුයි..
Deleteඔක්කොම කියෙව්වා. මේගොල්ලෝ හරියට දුක් විඳපු ජාතියක් නේද? පොරොන්දු වූ දේශය ලැබිලත් යහතින් ඉන්න ලැබිලා නෑ නේ. මෝසස්ට ඇතුල් වෙන්න නොලැබුන එකත් පව් වැඩේ :)
ReplyDelete'ඔක්කොම කියෙව්වා. ' කතාවෙ මුල ඉඳන්ම රැඳිලා හිටපු අයනෙ..
Delete'මේගොල්ලෝ හරියට දුක් විඳපු ජාතියක් නේද?' මම හිතන්නෙ තාමත් ඒ දුක ඉවර නෑ.. ඒගොල්ලන්ව දුකින් මුදවාගන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච ගැලවුම්කාරයා එනකම් ඒගොල්ලො මඟ බලාගෙන ඉන්නෙ..
මටත් හරිම දුකයි මෝසෙස් ගැන..
ඊශ්‍රායෙල් ගොයියලට අදටත් නිදහසක් නෑනෙ නේද ? හැමදාම සටන් සටන්...
ReplyDeleteමෙච්චර කාලයක් මෝසෙස් වගේම මහන්සියෙන් අපිව මෙච්චර දුරක් එක්කන් ආපු හරීට අපගේ හද පිරි ප්‍රණාමය !
කට්ටිය ඊශ්රායලේට ගිහින් තියෙන්නෙ පරංගියා කෝට්ටෙ ගියා වගේනෙ..
අදටත් ඊශ්‍රායලයේ යම් කෙනෙක් දෙවියන්වහන්සේ හා ගණු දෙණු කරනවා වෙන්ඩ පුළුවන්ද ? ඔවුන් මෙච්චර බල සම්පන්න ඒක නිසාද දන්නෑ..
'ඊශ්‍රායෙල් ගොයියලට අදටත් නිදහසක් නෑනෙ නේද ?' ඔව් තාමත් සටන්වල නිමක් නෑ..
Deleteප්‍රණාමය හිසනමා භාරගනිමි. ඒවගේම මගේ ලිපි උනන්දුවෙන් කියවූ හා ප්‍රතිචාර දැක්වූ අය නොවන්නට මේ ලිපි මාලාව අතහැරලා හුඟක් කල් වෙන්න තිබුනා.. ඒ නිසා ඒ අය ඔක්කොටමත් ස්තුති කරන්න ඕනෑ..
පරංගියා තව හොඳයි.. දවස් තුනයිනෙ රස්තියාදු උනේ.. ඒ වගේද කෙටි දුරක් අවුරුදු හතලිහක් යනවා කියන එක.. අවුරුදු හතලිහක් උදේ දවල් රෑ වටු මසුයි මන්නායි කන එක..
'අදටත් ඊශ්‍රායලයේ යම් කෙනෙක් දෙවියන්වහන්සේ හා ගණු දෙණු කරනවා වෙන්ඩ පුළුවන්ද ?' ඒ ගැන නම් දන්නෙ නෑ.. ඒත් ජුදෙව්වෝ තාමත් ගැලවුම්කාරයා එනකම් මඟ බලාගෙන ඉන්නවලු..
//.. ඒත් ජුදෙව්වෝ තාමත් ගැලවුම්කාරයා එනකම් මඟ බලාගෙන ඉන්නවලු..//
Deleteඅන්ත ක්රිස්තුගේ ග්රහණයෙන් ලෝකය ගලවාගන්න ජේසුතුමාගේ නැවත පහලවීම ගැනද මේ කියන්නේ ??
මෙහෙමනෙ හසිත වැඩේ... දෙවියන් වහන්සේ මවපු මිනිස්සු පව් කරනවනෙ.. ඉතින් මිනිසුන්ව මේ පව් වලින් මුදවලා මිනිසුන්ට විමුක්ති මාර්ගය පෙන්වන්ඩ තමුන්ගේ පුත්‍රයාව මේ ලෝකයට එවන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.. ඉතින් එහෙම එන්ඩ නියමිත කෙනාට තමයි ගැලවුම්කාරයා කියන්නෙ..
Deleteමේ මෝසෙස් වගේම කාලෙන් කාලෙට ජනතාව අතර දිවැසිවරු පහළවුනා.. ඔවුන් අනාගත ගැළවුම්කාරයාගේ ඉපදීම ගැන අනාවැකි කිව්වා.. ඒවාට අනුව ගැලවුම්කාරයා බිහිවෙන්නෙ ජුදා ජාතියෙන්..
ජුදා ආගමිකයො ඔවුන්ගෙ මති මතාන්තර අනුව හිතාගෙන ඉන්නෙ ගැළවුම්කාරයා කියන්නෙ සක්විති රජ වගේ චරිතයක් කියලා... ඒ කිව්වෙ ජුදා ජාතියෙන් බිහිවන කුමාරයෙක් මුළු ලෝකයේම පාලනය සියතට අරන් ජුදා වැසියො කාටවත් යටත් නැති ජාතියක් කරයි වගේ හැඟීමක්.. ඒක තමයි ඔවුන් විමුක්තිය විදිහට දකින්නෙ..
ඉතින් අර පුරාණ දිවැසිවරු කියපු අනාවැකි වලට ගැළපුනත් ජේසුස් කියන වඩුවාගෙ පුතා දෙවියන් වහන්සේගේ පුත්‍රයා හෙවත් ගැළවුම්කාරයා ලෙස ඔවුන් දකින්නේ නෑ.. ආගමික නායකයන් හා චාරිත්‍ර වාරිත්‍ර විවේචනය කරමින් හා ආගමික නීතිවලට වහල් නොවූ ප්‍රතිපත්තිගරුක ජීවිතය ගැන දේශනා පවත්වන ජේසුස්ව ඔවුන් දකින්නෙ කැරලිකාරයෙක්, දේව අපහාසකාරයෙක්, ජනතාව නොමඟ යවන්නෙක් විදිහට.. ඉතින් කුරුසයේ ඇණගහලා මරණවා..
ඒත් කතෝලිකයො හිතන්නෙ ගැළවුම්කාරයා යනු ලෞකික සුගතියකට වඩා අධ්‍යාත්මික සුගතියක් උදාකරන්නෙක් හැටියට..
ඉතින් ජුදාවරුන්ට තවම ගැළවුම්කාරයෙක් නෑ. ඔවුන් දේව පුත්‍රයා එනකම් බලා සිටිනවා..
ඒ කියන්නේ කතෝලිකයන් සහ ක්‍රිස්තියානි අය විතරයි ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පිළිගන්නේ ? යුදෙව්වෝ ජේසුතුමාව පිළිගන්නේ නැද්ද ??
Deleteපරණ ගිවිසුමේ ආසාවෙන්ම කියවාපු කතා ටික. හරී සෑහෙන මහන්සියක් අරගෙන තියෙන හැඩයි. ස්තුතියි හරී. මම මේ ඔක්කොම ටික බුක් මාර්ක් කලා..ආයෙම කියවන්න...
ReplyDeleteඔන්න කියෙව්වේ නැත්නම් නේ :)
Delete@ ළිහිණි,
Deleteළිහිණි ආවෙ පස්සෙ නිසා ඒ ලිපි මඟඇරෙන්න ඇති.. එහෙනම් හිමීට කියවලා බලන්නකො..
@ මධුරංග,
අනිමු හොඳ ටොක්කක්... :)
මම අද තමයි මේ පැත්තේ මුලින්ම ආවේ. මම නම් බුද්ධාගමේ ඒත් ඉස්සර ඉඳං හරි ආසයි වෙන ආගම් වල කතා අහන්න. මේ ගැන බ්ලොග් එකක ලියලනම් උඹ කලේ ලොකු දෙයක්. මුල ඉඳන්ම කතා ටික බලන්න ඕන.
ReplyDeleteතැන්කූ වේවා!
ඇනෝනිමස්ව සාදරයෙන් පිළිගන්නවා.. ඔය වගේ වෙනත් ආගම්වල දේවල් දැනගන්න ආසාවෙන් ඉන්න අය ගැනත් හිතලා තමයි මම පුළුවන් තරම් සරල බාසාවෙන් ලියන්න උත්සාහ කරන්නෙ.. හිමීට ඉතුරු ලිපිත් කියවලා බලන්න..
Deleteඅපූරු කතාව. සෑහෙන මහන්සියක් අරන් තියනවා ලියන්න. ජය!!
ReplyDeleteඔය වගේ කමෙන්ට් දකිනකොට මහන්සිය කොහෙන් ගියාද නෑ..
Deletegreat story, enjoyed very much, Thanks! - sean
ReplyDeleteThank you very much!
Delete//...වතුර ගලාඑද්දී ජනතාව සතුටු වුන නමුත් දෙවියන් වහන්සේ මෝසෙස්ගේ නොමනා හැසිරීම ගැන කෝප වෙනවා...//
ReplyDeleteමෝසස්ගේ නොමනා ක්‍රියාව මොකක්ද ?
//..එයට ප්‍රතිකාරයක් විදිහට ලෝකඩ සර්පයෙක් තනනු ලබනවා. ඒ දිහා බලන හැමෝටම සුව වෙනවා...//
ලෝකඩ සර්පයා දමලා තියෙන්නේ කුරුසෙක නේද ? ඒ කාලේ ඉදන්ම කුරුසය යුදෙව්වන්ගේ සළකුණක්ද ??
//...මෝසෙස් ඒ සතුට දරාගෙනම මියයනවා. ඉශ්රායෙල්වරු පුරා මාසයක්ම ඔහු වෙනුවෙන් ලතවුනාලු....//
මියගිය මෝසස්ගේ දේහයට මොකද කරන්නේ ??
මේ වගේ දීර්ඝ කතාවක් වෙහෙස මහන්සි නොබලා අපි අතරේ බෙදා ගත්ත එකට බොහොම ස්තුතියි අයියා.
//"මෝසෙස් හා ආරොන් පිටතට ගිහින් දෙවියන් වහන්සේට යාච්ඤා කරලා මහා ආඩම්බරෙන් තමයි සෙනඟ මැද්දට එන්නෙ. "ඒයි මෙහෙවරෙල්ලා. උඹලාට මොනාද ඕනෙ. මේ පර්වතෙන් වතුර දෙන්නද? මට බෑ කියලද හිතන්නෙ වතුර දෙන්න. මෙන්න බලාපල්ලා. ඔන්න මම වතුර දුන්නා"//
Deleteමෙතනදි මෝසෙස් මේ ජනතාවට සහන සලසන්නේ දෙවියන් වහන්සේ බව පෙන්වන්නේ නෑ.. ඔහු හරිම අහංකාර විදිහට මේ පර්වතයෙන් වතුර ගන්නෙ තමන්ගේ බලයකින් බව පෙන්වුවාලු..
//ලෝකඩ සර්පයා දමලා තියෙන්නේ කුරුසෙක නේද ? ඒ කාලේ ඉදන්ම කුරුසය යුදෙව්වන්ගේ සළකුණක්ද ?? // හසිත හොඳින් නිරීක්ෂණය කරලනෙ.. මෙතන විශේෂ අදහසකින් එහෙම කුරුසයක් තියෙනවා කියලා හිතන්ඩ බෑ.. ඒක කුරුසයක් නෙමෙයි නිකන් ගැටගහපු ලී දෙකක්.. ජුදයන්ට අනුව කුරුසය කියන්නෙ ශුද්ධවූ ලාංඡනයක් නෙමෙයි.. අපරාධකරුවන්ට මරණ දඬුවම් දෙන ක්‍රමයක්..අපි එල්ලුම් ගහ ගැන තියෙන ආකල්පය වගේ එකක්..
//මියගිය මෝසස්ගේ දේහයට මොකද කරන්නේ ?? // වළලනවා. හැබැයි බයිබලයේ කියන විදිහට ඒ වළලපු තැන කවුරුත් දන්නේ නෑ.. ඒත් මුස්ලිම්වරු කියනවා මෝසෙස්ගේ සොහොන තියෙනවා කියලා නෙබෝ කන්දේ..
මෙතෙක් කලක් මේක කියෙව්වටත් ස්තුතියි මල්ලි..
කුරුසය යුදෙවුවන්ගේ විතරක් සලකුණක් නෙවෙයි.. පුරාන ශිෂ්ටාචාර බොහොමයක (උදා: පැරණි ඊජිප්තුව) කුරුසය සලකුණක් විදියට භාවිත වෙලා තියෙනවා..
Delete@ හරී
Deleteස්තුතියි අයියා පිළිතුරුවලට. එතකොට මෝසස් ශාන්තුවරයෙක් විදිහටද කතෝලිකයන් පිලිගන්නේ ??
මේ ප්‍රශ්නේ කලින් ඇහුවත් වගේ මතකයි "ගිවිසුම් කරඬුවට" මොකද වුනේ ??
Deleteහරීගේ මහන්සියට දහස්වාරයක් ස්තුතියි..එහෙන් මෙහෙන් දැනගෙන හිටිය කරුණු පිළිවෙලකට ලියලා තේරුම් ගන්න සැලැස්වුවාටත් වැරදියට දැනගෙන හිටිය දේවල් නිවැරදි කලාටත්..
ReplyDeleteදස පනත ගැන ගොඩක් කියවලා නැති නිසා දැන් ඒ ගැන හොයන්න වෙලාව..කොටස් කීපය පුරාම දෙවියන් වහන්සේ ගැන කියවද්දි මට හිතුනේ උන් වහන්සේත් සාමාන්‍ය කෙනෙක් කියලයි..
ඒ ගැන මට නම් හිතෙන්නෙ මිනිස්සු තමන්ගෙ බලාපොරොත්තුවලට දේවත්වයක් ආරූඪ කරගෙන කියලා..(මේක අපහාසයක් නෙවි..බුද්ධාගමේ නිසා මේ දේව සංකල්පය තේරුම් ගන්න අමාරුයි)
ඊළඟ කොටස් (විචාරය ගැන) එනකම් බලා සිටිමි..
දිගටම රැඳී හිටියටත් ස්තුතියි..
Deleteදසපනත ගැන ගොඩක් දේවල් නෑ.. පනත් දහයයිනෙ තියෙන්නෙ.. :)
//කොටස් කීපය පුරාම දෙවියන් වහන්සේ ගැන කියවද්දි මට හිතුනේ උන් වහන්සේත් සාමාන්‍ය කෙනෙක් කියලයි..// හෑ.. ඒ කිව්වෙ කවුරුහරි 'දෙවියන් වහන්සේ' කියලා නම තියෙන මනුස්සයෙක් ගැන කියනවා කියලාද හිතුවේ..
දේව සංකල්පය ගැන එක වැකියකින් කිව්වොත් මිනිස්සු කැමතිනෙ තමුන්ට කරන්න තියෙන වැඩ අනුන් පිට පවරන්න. ඒ වගේ නොපෙනෙන දෙවි කෙනෙක්ගෙන් යැපෙන්න මිනිස්සු කැමතියි. ඒක මිනිසුන්ගේ හිතට නිදහසක්.
මට හිතෙන හැටියට මේ නිසාම නේද බෞද්ධ දර්ශනය බුද්ධාගම වෙලා තියෙන්නෙ..
බොහෝමයක් ආගම් වගේම කතෝලික ආගමත් පදනම් වෙන්නේ විශ්වාසය මත. ඒත් ජේසුස් වහන්සේ ඒ විශ්වාසයන්ට අමතරව ප්‍රතිපත්තිමය කාරණාත් වැදගත් බව පෙන්වූවා. ඉතින් විශ්වාසය වගේම ප්‍රතිපත්තිගරුක වීමත් තමා නියම ආගම ඇදහීමක් වෙන්නෙ. උදාහරණයකට කිව්වොත් තමුන්ගෙ සහෝදරයාට අසල්වැසියාට වෛර කරන මිනිහා පල්ලියක පන්සලක ගිහින් පදිංචිවෙලා හිටියත් ගැළවීමක් නෑ.
ළඟදීම නම් ලියවෙන එකක් නෑ.. :)
යාන්තං ඇති, කතාව ඉවර කරලා තියෙන්නෙ.. මං හිතුවෙ උඹ මෝසෙස් එක අපිවත් කාන්තාරෙ අවුරුදු 40ක් ඇවිද්දවයි කියලා.. :D
ReplyDeleteහි..හි.. ඇත්තටම මේක පටන්ගන්නකොටනම් මම හිතුවෙ මාසෙකට එක කතාවක් ගානෙ දාලා අවුරුද්දක් විතර අදින්න.. ඒත් කමෙන්ට් දාන අයගේ දිරිගැන්වීම නිසා පට පට ගාලා ලිව්වා..
Delete@ හසිත,
ReplyDeleteරිප්ලයි බටොන් වැඩ නොකරයි.. ඒක නිසා මෙතන කියන්නම්..
//ඒ කියන්නේ කතෝලිකයන් සහ ක්‍රිස්තියානි අය විතරයි ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පිළිගන්නේ ? යුදෙව්වෝ ජේසුතුමාව පිළිගන්නේ නැද්ද ??//
ඔව්.. ඒ දෙගොල්ලො විතරයි.. හැබැයි ජුදා ආගමෙන් කැඩීගිය සමහර කොටස් දැන් ගැලවුම්කාරයෙක් ගැන බලාපොරොත්තු අතහැරලා තියෙනවලු.. තව මුස්ලිම් වරු කියන්නෙ ජේසුස් වහන්සේ කියන්නෙ මුහම්මද් නබිතුමාට කලින් හිටිය නබිවරයා කියලයි.. මේ ගැන වැඩිවිස්තර ඉදිරියට ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කියවද්දි දැනගන්න ලැබෙයි..
//ස්තුතියි අයියා පිළිතුරුවලට. එතකොට මෝසස් ශාන්තුවරයෙක් විදිහටද කතෝලිකයන් පිලිගන්නේ ??//
නෑ හසිත.. මෝසෙස්, නෝවා, ආබ්‍රහම් වැනි ජුදා බයිබලයේ එන අය ශාන්තුවරු ලෙස හඳුන්වන්නේ නෑ.. ඒවගේම විශේෂ ගෞරවයක් දක්වන බවකුත් පේන්ට නෑ.. ඒ අයට කියන්නෙ දිවැසිවරු එහෙම නැත්නම් ආදිපිතුරුවරු කියලා.. ඒ අයට යාච්ඤා කරන්නේ නෑ..
//මේ ප්‍රශ්නේ කලින් ඇහුවත් වගේ මතකයි "ගිවිසුම් කරඬුවට" මොකද වුනේ ??// මම ලිපියෙ යටින් කිව්වා වගේ ඉශ්රායෙලය යුද්ධ ගොඩකට අහුවුනානෙ.. ඉතින් ඒ යුද්ධ වලදී විනාස වෙන්න ඇති කියලයි කියන්නෙ.. ඒත් දැන් දැන් සමහර රටවල් කියනවා ඔවුන් ගාව මේක තියෙනවාලු..
රිප්ලයි බට්න් එක අපිට නම් වැඩ :)
Deleteස්තුතියි පිළිතුරුවලට. ඉස්සරහට ජේසුතුමාගේ කතාව ලියන්නද ඉන්නේ ?
ඕං දැන් වැඩ..
Deleteඇත්තටම මම ලියන්න හිටියෙ ලෝකයෙ හිටපු එක්තරා නායකයෙක් ජේසුතුමාගෙ චරිතයට වෙනත් අර්ථකතනයක් දීලා තමුන්ගෙ දේශපාලන වාසි සඳහා යොදාගත්තු හැටි.. ඒත් ඉතින් එකපාරටම ඒක ලියලා ජේසුගේ චරිතය නොදන්න කෙනෙකුට තේරෙන එකක් නෑනෙ.. ඒක නිසා මුලින් ජේසුස් වහන්සේ ගැන ලියන්න හිතුවා..
හොඳයි හොඳයි
Deleteමට හිතුනේ කතාව කොටස් දෙකකට දැම්මා නම් හොඳයි කියලා . එතකොට තමා රහ වැඩී...
ReplyDeleteඅනෙක අවුරුදු 40 කතාවක් ඔහොම ඉවර කරන්ට පුලුවන්ද?
අර අත්තික්කා කියන පලතුර මොකක්ද? අහලා තිබුනට අදහසක් නෑ.
හරීගේ 'මෙතක් කතාව' ලියලා තියන හැටි හරිම අපූරුයි. හිනාවෙවී තමා ඒ ටික කියෙව්වේ.:)
මටත් හිතුනා මේ ටිකත් දෙක තුනකට කඩන්න.. ඒත් තවත් අදින්න හොඳ නෑ කියලා හිතුනා.. කතාවෙ නම් තව තව කොටස් තියෙනවා අක්කෙ.. ඒත් ඉතින් එහෙම කියන්ඩ ගියොත් නීරස වෙනවනෙ..
Deleteඅත්තික්කා(fig tree) කියන්නෙ කාන්තාර ආශ්‍රයේ වැඩෙන ගහක්.. පරණ ගිවිසුමේ වගේම නව ගිවිසුමෙත් අත්තික්කා ගැන කිහිප පොළකම ලියවෙනවා.. Fig tree වචනෙ දැක්කාම පොඩ්ඩි අක්කට හිතෙන දේ මටත් හිතුනා..
මෙතනින් රූප බලන්ඩකො..
http://en.wikipedia.org/wiki/Common_fig
මෙතෙක් කතාව දැම්මෙත් කට්ටියට කතාව අමතකවෙලා ඇති කියලා..:)
මුලින්ම ඔබ මේ දීර්ඝ විස්තරය රසවත්ව ලියන්න දැරූ උත්සාහය සාර්ථකයි. ඒවගේම මෙවන් ආගමික ඉතිහාසයක් සරලව පැහැදිලි කිරීම්සහිතය ඉදිරිපත් කරන්න දැරූවෙහෙසටත් ඒවෙනුවෙන් කැප කළ කාලයටත් ස්තූතියි. මේවා කොහේහරි ලිඛිතව මුද්රණයවෙලා තියෙනවානම් අරි අගෙයි. මොකද ඔබේ උත්සාහය අපතේ ගිහින් නෑ.
ReplyDeleteඅන්තිම කොටස තව කොටස් දෙකකට කඩා දැම්මා නම් හොඳයි කියල හිතුනා..
හරීගේ උත්සාහයෙන් වැදත්ම කරුනු රැසක් දැකගත්තා. විහේෂයෙන්ම අපි ෆිල්ම්වලින් බැලූ කතාවල අගමුල තේරුම් ඇතිවව
දයා අයියලා ආගම් භේද නොසලකා මේ වගේ ලිපි කියවන එක අහන්නත් සන්තෝසයි..
Deleteඔව්.. දයා අයියේ මටත් ඒක හිතුනා ඒත් මට අවශ්‍යය වුනේ තවදුරටත් ඇදගෙනගියොත් මේක තවත් නීරස වෙයි කියලා.. ඒක නිසායි කොහොමහරි ඉවරකරන්න හිතුවේ.. අනික මේ ලිපි මාලාවෙන් මම පාඩමක් ඉගෙනගත්තා.. තවදුරටත් මේ වගේ දීර්ඝ කතා නොලියන්න.. මේ වගේ දිගු ලිපි බ්ලොග් අවකාසෙට ගැළපෙන්නේ නෑ වගේ..
//හරීගේ උත්සාහයෙන් වැදත්ම කරුනු රැසක් දැකගත්තා. විහේෂයෙන්ම අපි ෆිල්ම්වලින් බැලූ කතාවල අගමුල තේරුම් ඇතිවව// නියමයි.. මේ කතාව කියවලා ඔය යට කියන ෆිල්ම් බැලුවානම් සිද්ධි නියමෙට තේරෙයි.. චිත්‍රපටියක යම් යම් සංකේත මඟින් පෙන්වන කරුණු කතාව කලින් නොදැන තේරුම් ගන්න බෑනෙ.. මේ වගේ සරල කතාවක් ආශ්රයෙන් කෙරුනු චිත්‍රපටියක් එහෙම තේරුම් ගත්තත් ඩාවින්සි කෝඩ්, ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් වගේ එකක් තේරුම් ගන්නනම් පෝස්ට් පනහක්වත් ලියන්න වෙයි.. :)
හරී මේ ලිපි සෙට් එකට උනු මහන්සියේ තරම හිතා ගන්න පුලුවන්,,දැනගෙන උන්නු කතා උනාට ආයෙත් ඒ මතක අලුත් උනා,,ගොඩක් ස්තූතී හරී
ReplyDeleteනිතරම ඇවිත් කියවලා ගියාටත් ස්තුතියි කියන්න ඕනෙ..
Deleteදවස් තුනක් තිස්සේ කොටස් 3 කට පෝස්ට් එක කියෙව්වා. ජෙරිකෝව ආක්‍රමණය කරද්දී නලාවක් පිම්බා කියනවා නේද? ඒ ගැන මොකද නැත්තේ?
ReplyDeleteහදිස්සියේ ඉවර කරලා වගේ. අනිතිම ටික කලබලෙන් නේ ගිහින් තියෙන්නේ.
පෝස්ට් එක දිග වැඩී නේද? ඇයි ඉතින් ක්සැන්ඩර් අයියමනෙ කිව්වෙ දවසකට කියවන්ඩ ලැබෙන ප්‍රමාණෙ මදි කියලා.. :)
Deleteඔව් හොරණෑ පිම්බ කතාවක් තියෙනවා.. එව්වා ලොප් කළා.. :)
හදිසියේ ඉවර කළේ නෑ.. ඒත් එකම ආකාරයේ කතාව තමා නැවත නැවත තියෙන්නෙ.. ඉතින් එපාවෙනවනෙ.. ඒකයි සාරාංශයක් දැම්මෙ..
පොරොන්දු වූ දේශය කතා මාලාව එක හුස්මට කියෙව්ව. හරිම ලස්සනයි වගේම ප්‍රතිචාර වලට උත්තර දීල තිබෙන හැටිත් ඉතාම අගෙයි. විවේචන දෙස මධ්‍යස්ථව බලන්න හැමෝටම බෑ. බෞද්ධ කතාන්දර විවෘත මනසකින් විවේචනය කල විට මට බෞද්ධ අයගෙන්ම ලැබුනු ප්‍රතිචාර එච්චර යහපත් වුනේ නෑ.
ReplyDeleteමට තිබෙනව මුළු කතාව පිලිබඳවම ප්‍රශ්න කිහිපයක්.
1. ඊශ්‍රාල වරු නුමුහුන් ජාතියක් ලෙස හඳුන්වන්නෙ කොහොමද? ජාකොබ් විවාහ කරගත්තෙ නෑනල දෙන්නෙකුයි, සේවිකාවො දෙදෙනෙකුයි. ඔවුන්ගෙ පුතුන් අනිවාර්යයෙන්ම වෙනත් ගෝත්‍ර වලින් විවාහ වෙන්න ඇති. මව වෙනත් ගෝත්‍රයක වීම ප්‍රශ්නයක් නෙවෙයිද?
2. මම හිතා හිටියෙ මේ පැටිකිරිය හොයන එක (අගේ කරන එක ) බුද්ධාගමේ කතාවල හැටියක් මිසක් කතෝලික ආගමේ හැටියක් නෙවෙයි කියල.(බුදු හාමුදුරුවො එහෙම කලා කියන එක නෙමෙයි, නමුත් පලවෙනි ඉන්දියනු ආර්ය රජුගේ සිට සිදුහත් කුමරා දක්වා අඛණ්ඩ පරපුරක් male order නම් එක්කම මං කොහෙ හරි කියවල තියෙනව )
බලපුවම එහෙම නෑනෙ. ඒබ්රහම්ගෙ ඉදන් ජේසුතුමා දක්වා පීතෘ පිළිවලට ලියැවුනු පැටිකිරියක් ඔවුන්ටත් තියෙනව. එතකොට ජේසුතුමා ඕකට සම්බන්ද වෙන්නෙ මරිය තුමියගෙ පාර්ශවයෙන්ද? එහෙමනම් එතනදි male order එක කැඩිල තියෙනව.
3. ජේසුතුමාගේ මුතුන්මිත්තන් බහු විවාහ කරගෙන තිබෙද්දී කතෝලිකයින් බහු විවාහ වලට තරයේ විරුද්ධ ඇයි?
@ Kalikala කලිකාල
Delete//.....නමුත් පලවෙනි ඉන්දියනු ආර්ය රජුගේ සිට සිදුහත් කුමරා දක්වා අඛණ්ඩ පරපුරක් male order නම් එක්කම මං කොහෙ හරි කියවල තියෙනව.....//
පළමු රජතුමා වුණු මහා සම්මත රජතුමාගෙන් ඉදන් සිද්ධාර්ථ කුමාරයා බිහිවුණු ශාක්‍ය වංශය ඇතිවීම දක්වාත් ශාක්‍ය වංශයේ සිදුහත් කුමාරයා ඉපදීම දක්වාත් විස්තරය මහාවංසයේ වගේම පූජාවලිය කියන ග්රන්ථයේත් ඇතුළත් වෙලා තියෙනවා
කතා ඔක්කොම කමෙන්ට් එක්කම කියෙව්වද? එපා වෙන්නැතිනෙ.. :)
ReplyDeleteඅගය කිරීමට ස්තුතියි වගේම මගේ බ්ලොගයට ඔබව සාදරයෙන් පිළිගන්නවා.. මේ මධ්‍යස්ථබව දිගින් දිගටම රැකගන්න තමා හිතාගෙන ඉන්නෙ..
1.ඉශ්රායෙල් වංශය ආරම්භ වන්නේම ජාකොබ්ගෙන්.. ඒ නිසා ඔහු කාව විවාහකරගත්තත් එය ඉශ්රායෙල් වංශයේ නුමුහුන් බාවයට බාධාවක් නොවෙයි.. නමුත් හෙබ්‍රෙව් වංශය දිගින් දිගටම හෙබ්‍රෙව් ස්ත්‍රීන්ගෙන් පිට අයවලුන් විවාහ කොටගෙන නැතිබවයි පේන්නෙ.. මම කිව්වෙ බයිබලයේ විශේෂකොට දැක්වෙන හෙබ්‍රෙව්වන් ගැන.. අනික් ජාතීන්ට අයත් කාන්තාවන් විවාහ කරගත් හෙබ්‍රෙව්වරුන් ගැනත් කියවෙනවා.. නමුත් අනිත් ජාතියත් එක්ක මුහුවෙච්ච ගමන්ම ඔවුන් ගැන විස්තර නවතිනවා.. හරියටම දන්නේ නැතත් මට හිතෙන හැටියට නම් ගෝත්‍ර අතර විවාහ සිදුවෙන්න ඇති.. වර්තමානයේදීත් කාන්තාවන් විවාහය සමඟ සැමියාගේ පරම්පරාවට බැඳෙනවා වගේම ඔවුනුත් සිය ස්වාමියාගේ ගෝත්‍රවලට බැඳෙන්න ඇති.. ජාතීන් අතර විවාහ නම් බොහෝදුරට අඩුවෙන්න හේතුවෙලා තියෙන්න්නෙ ජාතීන් අතර තිබුනු අනික් ජාතිය පිළිකුල් කිරීමේ ගුණය.. උදාහරණයකට කිව්වොත් මිසර වැසියන් විසින් එඬේරුන්වීම නිසා හෙබ්රෙව්වන්ව පිළිකුල් කළ අතර හෙබ්‍රෙව්වන් විසින් අචර්මඡේදිත වීම නිසා මිසරීයන්ව පිළිකුල් කළා...
2.ආබ්‍රහම්ගේ ඉඳන් නෙමෙයි ආදම්ගේ ඉඳන්ම පරම්පරා විස්තර දක්වලා තියෙනවා.. දාවිත්ගේ වංශයට ජේසුතුමා අයත් කියනවනෙ.. මෙහෙම කියන්නෙ පිය පාර්ශවය මූලික කරගෙන.. නමුත් ජේසුස් වහන්සේගේ මව වෙන මරියාත් අයිතිවෙන්නේ දාවිත්ගේ වංශයටම තමයි... ඒත් සමහරු කියනවා ජේසුස් වහන්සේ පියෙකුගේ මැදිහත් වීමකින් තොරව බිහිවුනා නම් දාවිත්ගේ වංශයට අයිති වෙන්න විදිහක් නෑ කියන එක.. ඊට විරුද්ධ මතයක් දරන අය කියන්නෙ ජේසුස් වහන්සේ බිහිවුනේ පියෙකුගේ මැදිහත් වීමකින් නොවුනත් එතුමාව හදාවඩා ගත්තේ දාවිත්ගේ වංශයේ මනුස්සයෙක් බැවින් නීත්‍යානුකූලව දාවිත්ගේ වංශයට අයිති බවයි..
3. "ජේසුතුමාගේ මුතුන්මිත්තන් බහු විවාහ කරගෙන තිබෙද්දී කතෝලිකයින් බහු විවාහ වලට තරයේ විරුද්ධ ඇයි?" ඇත්තටම ජේසුතුමාගේ මුතුන්මිත්තෝයි කතෝලිකයෝයි කියන්නෙ එකිනෙකට බොහෝ වෙනස් කොඨ්ටාස දෙකක්.. ඉශ්රායෙල්වරු ගෝත්‍රිකයන් බව කතාව කියවද්දී තේරෙන්න ඇතිනෙ.. ඔවුන්ගේ ගෝත්‍රික සමාජය ගැළපෙන ආකාරයේ හෙවත් ගෝත්‍රික සමාජයක් ශිෂ්ඨ කළහැකි ආකාරයේ තද නීති තමයි තිබුනේ.. ගෝත්‍රිකයන් අතර බහුවිවාහ කියන්නේ අසාමාන්‍යය දෙයක් නෙමේනෙ.. ඉතින් ජේසුස් වහන්සේ තමයි නීතිරීතිවලට වඩා මානුෂික මුහුණුවරක් හඳුන්වා දුන්නෙ.. ඉතින් ජුදා ආගමිකයන්ගේ විශ්වාස හා ආකල්පයි කතෝලිකයන්ගේ විශ්වාස හා ආකල්පයි එකිනෙකට වෙනස්..
බහුවිවාහ ගැන සමහරු දරණ මතය නම් දෙවියන් වහන්සේ එය අනුමත නොකළ බවයි.. ආදම්ට එක බිරිඳක් දුන්නේ ඒකලු.. ඒත් පසුකාලීනව ගෑණුන්ට සාපේක්ෂව පිරිමි අනුපාතය ඉතාම පහළ මට්ටමකට පත්වූ නිසා ඒ යුගයේ අය බහු විවාහ කරගන්න ඇතිලු..
ස්තුතියි
@ හසිත,
ඉතිහාස ග්රන්ථය්ක් වුන මහාවංශයේ බුදුරජාණන් වහන්සේගේ වංශය ගැන සටහන් වන්නේ ඇයි? ඒවගේම ත්‍රිපිටකයේ තියෙන්නෙ ඉතිහාසමය කරුණු නෙමේද?
@ හරී
Deleteමහාවංසය ඉතිහාස ග්රන්ථයක් බව හැබෑව. ඒත් ඒකේ වැඩි වශයෙන් තියෙන්නේ බෞද්ධාගමික ඉතිහාසය නොවැ. මහාවංසයේ මුල් පරිච්ඡේද කීපයේ තියෙන්නේ බෝසතාණන් වහන්සේ නියත විවරණ ගත්තු හැටි, ඒ වගේම බුදු සිරිත, ලක්දිවට වැඩම කළ අවස්ථාවන්, ඒ වගේමයි ප්‍රථම, දෙවන, තුන්වන ධර්ම සංගායනා වගේම ශාසන ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙන කරුණු. විජයාගමනය කියන්න පටන් ගන්නේ 6 වෙනි පරිච්ඡේදයේ ඉදන්.
ත්‍රිපිටකයේ තිබෙන බෞද්ධ සූත්‍ර කියවද්දී නම් ඉතිහාස කරුණු යම් තරමකට හෙළිකරගන්න පුලුවන් වුණොත් වැඩි වශයෙන් තියෙන්නේ ධර්ම කරුණු. ඒත් චුල්ල වග්ග පාලිය, මහා වග්ග පාලිය වගේ කොටස්වලත් මහා පරිනිබ්බාණ සූත්‍රය වගේ කොටස්වලත් බුදු සිරිත වගේම ශාසන ඉතිහාසය ගැනත් කරුණු ඇතුළත් වෙනවා
"ඒ මාගේ ජනතාව නුඹ ශාප කිරීමෙන් පලක් නෑ. යන්න එපා" ඇයි එහෙ නම් අනිකුත් අය දෙවියන් වහන්සේ අදහන්නේ?ඊස්ශ්රාල් කාරයෝ විතරද දෙවියන් වහන්සේගේ?දෙවියන් වහන්සේ හොද කෙනෙක් නම් ඇයි මිනිස්සු මරණයට නියම කරන්නේ?ඔවයින් දෙවියන් වහ්සේ පිළිබද අනික් ජනතාව තුල අපැදීමක් තමා ඇතිවන්නේ.මේ කතාව ලීවට ස්තුතියි.ඉදිරියටත් ලියමු.මුන් ජර්මනියට සංක්‍රමණය වීම,හිට්ලර් මොවුන්ගේ බෝවීම පාලනය කිරීමට සමුල ඝාතනය කිරීම,පලස්තීන ජාතියත් එක්ක කෙල ගැනීම.මෙවා ගැනත් දැන ගන්න ඉදිරියට ලියාගෙන යන්න.යුදෙවොන්ගේ කතාව කියවන්න මේ අඩවියට එවපු හසිතටත් ස්තුතියි.
ReplyDeleteඉශ්රායෙල්වරු දෙවියන් වහන්සේ තෝරාගත්තු ජනතාව කියනවානෙ.. ඒකයි විශේෂ සැළකිලි.. :)
Deleteඉදිරියටත් ලියන්නම්.. හිට්ලර්ගෙ කතාවට ආරම්භය නම් අරගෙන තියෙන්නෙ..
ආයෙත් කියවන්ඩ එන්නකො.. හසිතටත් ස්තුතියි...
This comment has been removed by the author.
ReplyDeleteattatama meka nam wachanayen wistara keera nohaki blog ekak mama hamadaama asawen me blog eka kiyawanawaa meka mata hamba una gift ekak thank u friend very nice letter
ReplyDeleteආසාවෙන් කියවනවා කියන එක අහන්නත් සතුටුයි.. ඒකතමා බ්ලොග් ලියන්නෙකුට අහන්න ලැබෙනම මිහිරිම වචන.. අගය කිරීමට ස්තුතියි ලහිරු..
Deleteමම උපතින් බෞද්ධයෙක්.ඒත් මම දැන් ආගමක් අදහන්නේ නෑ.ලිපිලේඛනවල ආගමට ඉස්සරහින් බෞද්ධ කියල දානවා විතරයි.කතෝලික සභාව ගැන නම් මට ඇත්තේ ප්‍රසන්න හැඟීමක්.මෑතකදී ගබ්සාව පිළිබද ප්රශ්නයේදී කාඩිනල් තුමා කළ සටන ගැන මට දැඩි ගෞරවයක් උන්වහන්සේ ගැන ඇතිවුනා
ReplyDelete.මට මතකයි මම බයිබලය කියවපු මුල්ම දවස.බයිබලයෙ මුල්කොටස් කියවනකොට මට පුදුම හිතුනා.නව ගිවිසුමේ දෙවියන් වහන්සේ විශිෂ්ටයි.ඒත් පරන ගිවිසුමේ මුල් පරිච්ඡේදවල ඊශ්‍රායෙල් වරුන් අන්‍ය ජාතීන් සමූලඝාතනයට මෙහෙයවීම නම් වැරදියි.එක් අවස්ථාවක දෙවියන් වහන්සේ මෝසෙස්ට හා යෝශුවාට උපදෙස් දෙනවා හුස්ම ඇති සියල්ලෝම සමූලඝාතනය කරන ලෙස
දෙවියන් වහන්සේ සාවුල් සමග අමනාපවුන හේතුව තමයි අමලෙක්වරුන්ගේ කිරිදරුවන් හා මහල්ලන් ඇතුලු හුස්ම ඇති සියල්ලෝම සමූලඝාතනය නොකිරීම.
හුස්ම ඇති සියල්ලන්ම මරන ලෙස උපදෙස් දෙන දෙවියන් සමූලඝාතනය,මංකොල්ලය හා ස්ත්රීදූෂනය අනුමත කරනවා.
මේ කතාව කොමෙන්ට් එකක් ලෙස දමන එක හරි මදි නිසා මම කෙලින්ම නොකියා නිකම් වටින් ගොඩින් එක් අවස්ථාවක කිව්වා.
කතෝලිකයන් මේ ආගමේ නාමයෙන් කළ අපරාධ කෙලෙස දකිනවාද යන ප්රශ්නය මට තිබෙනවා.
ඔය යුගයේදී රටක් යටත් කරගත්විට කළේ ඔය දේවල් තමයි.ඒත් ආගමක නාමයෙන් මෙවැනි දේවල් වීම වැරදියි.
මොකද මේවා කරන්නේ ලෝකය මැවූ දෙවියන්.
පසුකාලීනව කතෝලිකයන් ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ කළ අපරාධවලට ගුරුහරුකම් ලැබුනේ ඔවුන්ගේ ඊනියා ශුද්ධ ග්‍රන්ථයේ සදහන් යුධ අපරාධ වලින් බව ඉතිහාසඥයන් කියනවා
මේව කියල හරිගේ හිත රිදවන බවත් මම දන්නවා.මේවට උත්තර දෙන්න හරිට බැරි බවත් මම දන්නවා.
ඒත් වැරැද්ද වැරැද්ද විදියට දකින කෙනෙක්.හිත රිදවීමක් වුනානම් සමාවෙන්න
"ඒත් වැරැද්ද වැරැද්ද විදියට දකින කෙනෙක්.හිත රිදවීමක් වුනානම් සමාවෙන්න" එහෙම එකක් නෑ.. මම ඔනෑම දෙයක් ගැන මැදහත් සිතින් හිතන්න කැමතියි..
Deleteපළවෙනි කාරණාව බයිබලයේ පරණ ගිවිසුම සමයේ ඉන්න ජනතාව ගෝත්‍රිකයෝ.. ඒක නිසා ඔවුන්ට තිබෙන්නේ ගෝත්‍රික ආකල්ප.. උගත්කමක් තිබුනෙත් නෑ... ඒ නිසා තියෙන්නෙ ගෝත්‍රික නීති.. කොටින්ම කිව්වොත් මෝසෙස්ගේ 'ඇසට ඇසය දතට දතය' නීති.. ඒ කියන්නෙ උඹගේ ගෝත්‍රයේ එකෙක්ව කවුරුහරි මැරුවානම් උඹ ඒ ගෝත්‍රයේ එකෙක්ව මරපන් වගේ නීති.. පොදුවේ බලපුවාම නූගත් ගෝත්‍රික ජනතාවක් පාලනය කරන්න පුළුවන් මෙවැනි ගෝත්‍රික නීතිවලින්ම තමයි.. ඒක නිසයි පුරාණ ගිවිසුමේ කතාවල කෘර බවක් පේන්නෙ..
නමුත් ගෝත්‍රික සමාජයක් ශිෂ්ඨාචාරගතවෙලා, සංවර්ධනය වෙලා, උගතුන් බිහිවුනාටත් පස්සේ අර ගෝත්‍රික නීතිම කරපින්නාගෙන ඉන්නවානම් ඒක මෝඩකමක්.. ජුදා සමාජය මේ නීති වලින් අන්ධවෙලා මනුෂ්‍යත්වයට වඩා නීතියට මුල්තැන දෙන වකවානුවක තමයි ජේසුස් වහන්සේ එන්නෙ.. ජේසුස් වහන්සේ උගන්වන්නේ නීතිරීතිවලට වඩා මනුෂ්‍යත්වය උතුම් බවයි.. මේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් නිසා තමයි ඔබ නව ගිවිසුම ඉතා සාධාරණව දකින්නෙ..නමුත් බහුතර ජුදා සමාජය එය පිළිගන්න කැමති නෑ.. නමුත් ජේසුස් වහන්සේගේ වචන පිළිගත් සුළුතරය කිතුනුවන් වෙනවා..
"කතෝලිකයන් මේ ආගමේ නාමයෙන් කළ අපරාධ කෙලෙස දකිනවාද යන ප්රශ්නය මට තිබෙනවා." පිළිතුර ලැබෙන්න ඇතැයි සිතනවා..
"නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න."
"එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න." කියපු ජේසුස් වහන්සේගේ ධර්මය පිළිගන්නා හා ඒ අනුව ජීවත්වන්නෙක් ආගමේ නාමයෙන් හෝ වෙන අරමුණකින් යමෙකුට හිරිහැර කිරීම කතෝලික සභාව අනුමත කරන්නේ නෑ..
ආයෙත් කියනවා.. මෙතන හිත රිදෙන්න දෙයක් නෑ.. :)
ප්‍රතිචාරය ගැන ස්තුතියි.
ReplyDeleteඒත් මෙතන ගෝත්‍රික කතාවක් බයිබලයට අනුව නැහැනෙ.ඇත්තටම ඊශ්රායෙල්වරුන්ගෙ ගෝත්‍රික ම්ලේච්ඡත්වය තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.ඊශ්‍රායෙල්වරු විතරක් නොවෙයි ඔය කාලෙ ලෝකෙ කොයි ගෝත්‍රයත් හැසිරිලා තිබෙන්නෙ ඔය විදියට තමයි.හැබැයි මේක මේ විශ්වය මවපු දෙවියන්වහන්සෙගෙ පොත්.ශුද්ධ වචනය.මේකෙ හැම වචනයකම වටිනාකම කියල නියම කරන්න බෑ.විශ්වාශකරන කිතුනුවාට මේ වචන හැමදේකටම වඩා උතුම්.ඉතින් මේ වාගෙ පොතක කොහොමද ගෝත්‍රික ම්ලේච්ඡත්වයකට ඉඩ ලැබෙන්නෙ.දෙවියො කරන්න ඕන ගෝත්‍රිකයො ශිෂ්ටකරන එකනෙ.
නව ගිවිසුමටත් පදනම්වූ දෙවියන් වහන්සෙ තමයි මේ මිනීමරන්න කියන්නෙ.කානානිවරුන්ගෙ ඉඩම ඒ මිනිස්සු සමූලඝාතනය කරල අල්ලගන්නවට වඩා වෙන භූමියක් දුන්නනම් ඉවරනෙ.
උපතින් කිතුනුවෙක් වුන හරි මේක කොහොම දකිනවද දන්නෙ නෑ.බලන්න සතුරු හමුදාවක් යම් නගරයක් වටකරල හුස්ම ඇති සියල්ලෝම මරනව කියන්නෙ.අඩුගානෙ පාවාදීමක් කරලවත් තමන්ගෙ අඹුදරුවන්ගෙ පණ බේරාගන්න බෑ.එහෙම දේකදි කෙනෙක් කොච්චර අසරන වෙනවද?වයසක දෙමවුපියො කිරිදරුවො ආරක්ෂාකරන්නෙ කොහොමද.
ආක්රමනිකයත් මෙතනදි අසරණයි.පොඩ්ඩක් හරි තියන මනුස්සකමකට කිසිම කෙනෙකුගෙ පණ බේරන්න බෑ.බේරුවොත් දේව කෝපයට ලක්වෙනව.
සාවුල් එක්ක දෙවියන් කෝප වෙලා රාජවංශය දාවිත්ට දුන්නෙ ඒ නිසයි.
යෝශුවාගේ පොතේ තියන සමූලඝාතන නම් දෙවියෙක් තියා යකෙක්වත් නොකරන ඒවා
මෙතනදි හැමදෙයක්ම සංස්කෘතියට සාපේක්ෂයි.සිංහල බෞද්ධ සංස්කෘතියෙ යකෙක්වත් ඔය දෙවියො හැසිරෙන විදියට හැසිරෙන්නෙ නෑ
ඔය දෙවියො ඇතිවුනේ දරුණු සෙමිටික් මිනිසුන් අතර.මැදපෙරදිග කවදත් ලේ ගංගා ගලාගියා.මිනිසුන් පනපිටින් හමගහපු ඇසිරියන් වරු,ගැබිණියන්ගෙ බඩවල් පලපු සිරියන්වරු,බෙලිකපන අරාබිවරුන් ගෙන් පිරුන භූමියක්නෙ
පරන ගිවිසුමේ සමූලඝාතනයට ලක්වූ අයත් හොඳ අය නොවෙයි .උනුත් යක්කුවාගෙ පිරිසක්
කොහොමටත් දෙවියන්වහන්සේගේ කතා පොතේ මෙහෙම අහස පොලව නුහුලන අපරාධ තිබෙන එක ගැලපෙන්නේ නෑ
නව ගිවිසුම අතිවිශිෂ්ටයි.ඒක සාධාරන දෙවිපියානන්වහන්සේ කෙනෙක්ගෙ ස්වරූපය තියෙනවා.රෝම ධිරාජ්ය යටතේ ඊශ්‍රායලයට ග්‍රීක,ඉන්දියානු සංස්කෘතිවල ආභාෂය ලැබුනා.
පරන ගිවිසුමේ මරපියව් කොටපියව් කියපු දෙවියන් වහන්සේ කම්මුලට ගැහුවොත් අනෙක් කම්මුලත් අල්ලන්න කියන්නේ ඒ නිසයි
"මෙතන ගෝත්‍රික කතාවක් බයිබලයට අනුව නැහැනෙ." අහවල් ගෝත්‍රය.. අහවල් ගෝත්‍රය කියලා නැද්ද?.. හොඳින් බලන්න.. අනික 'අපි ගෝත්‍රිකයෝ ඒකයි මෙහෙම කරන්නේ' කියලා ලියවෙන එකක් නෑනෙ.. :D
Deleteඉතුරු ටිකත් ඔක්කොම කියෙව්වා.. කියන්න තියෙන්නෙ මෙච්චරයි.. අහිංසක මං මොනවා කරන්නද අප්පා..? :)
Deleteමම ස්ත්‍රීවාදය බ්ලොග්කරු ඔබ මෙන්ම මම දන්නා දේ අනුන්ට කියා දී සතුටු වන්නෙක්
ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
මම කිව්වේ බයිබලය කියන්නේ ගෝත්‍රිකයන්ගෙ ඉතිහාස පොතක් නොවෙයිනේ.ඒක ආගමික පොතක්.එහෙව් පොතක ගෝත්‍රිකයන්ගෙ බලුකම් ජඩකම් දාන්න ගියොත් හොද මිනිස්සුත් නරක් වෙනවානෙ..මම අහන්නේ බෞද්ධයකු ලෙස මෙය දුටු විගසම මේ වගකීමෙන් තොර හැසිරීම මා හෙළා දුටුවත් උපතින් කතෝලිකයකු ලෙස ඔබ මෙය දකින කෝනය වෙනස්.මම මෙය නිකම් අහන්නේ.මේ වැඩේ වැරදියි කියල ඔබට හිතුනෙ නැද්ද?එහෙම හිතුන නම් ඒ සිතිවිල්ල ඇති කළේ සාතන් විසින් යයි සිතා දෙවියන්ට යාඥා කිරීමට ඔබලා කුඩා කළ සිට හුරු කරලා ඇති.
මම සිතනවා කුඩා කළ වැඩිහිටියන් මොනවා ඔලුවට දැම්මත් ඔබේ හෘද සාක්ෂිය බයිබලයේ පරන ගිවිසුමේ ඇති මේ අපරාධ හෙළා දකින බව.
මම හිතන්නේ දේව සංකල්පය යුදෙව්වන් විසින් ව්කෘති කළ බවයි.යුදෙව්වන් මුල සිටම මෙය විකෘති කළා.එහි ප්‍රතිපලයක් ලෙස ආගමික යුද්ධ වැනි දේ ඇතිවුනා .ආගමේ නාමයෙන් ලේ ගලා ගියා.
දෙවියන් වහන්සේ යන සංකල්පය ඉතා උතුම් දෙයක්.එහිදී සියල්ල සර්ව ව්‍යාපී සර්වසාධාරණ පරමාදර්ශී මහා කාරුණික චරිතයකට ඌනනය කෙරෙනවා.
නූතන කතෝලික සභාව තුල මම එය දකිනවා.එසේම යේසුස් වහන්සේගේ ජීවන චරිතය කියවන විටද එය පැහැදිලියි.යුදෙව් ජාතික දෙවියා ජාත්යාන්තරීකරණය වීමේ කථාන්දරයේදී පරන කුණු මොනවට අවුස්සනවද නේද?
මට නම් හිතෙන්නෙ ඉතිහාසයේ ඒ ඒ කාලයන් තුළදී නිවැරදි දේ කියන එක වෙනස් වෙලා තියෙනවා කියලයි.. උදාහරණයකට කිව්වොත් කාලෙකට කලින් වහල් සේවය කියන එක වැරැද්දක් ලෙස නොදැක්කත් අද වන විට එය මානව හිමිකම් කඩකිරීමක් ලෙස සලකන්න මිනිසුන් පුරුදු වෙලා.. ඉතින් ඒ කාලෙදි මිනිසුන් මරාගැනීම හෝ අන්‍ය ජාතියක් යටත් කරගැනීම විශාල පාපයක් විදිහට මිනිසුන් නොසළකන්න ඇති.. කළු සුදු භේදයේදී කල්ලන් පහත් වන්නාක් මෙන් ජුදෙව්වන් විසින් අචර්මඡේදියන් සියල්ල පහත්කොට සැළකුවා.. රටවල් අල්ලා ගැනීමේදී කල්ලන් මැරීම සුද්දන්ට වීර ක්‍රියාවක් වූ සේම අචර්මඡේදිතයන් මැරීම ජුදෙව්වන්ට වීරක්‍රියාවක් වන්නට ඇති.. එම නිසා එය ආගමික ග්‍රන්ථයකට යෙදීම ප්‍රශ්නයක් නොවන්නට ඇති..
Deleteඉතින් ජේසුස් වහන්සේ උත්සාහ කළේ නීතියෙන් පිරිලා මනුෂ්‍යකම වල්වැදිලා තිබුන ජුදෙව් ආගමික නීතිවලට වඩා මනුෂ්‍යත්වය උතුම්බව පෙන්වන්න.. ඒකට විරුද්ධ වුන ආගමික නායකයොනෙ උන් වහන්සේව මරාදමන්නෙ.. එතනම තියෙන්නෙ දෙවියන්ගේ නාමයෙන් කරපු අපරාධයක් නේද? නමුත් ඒක ජුදෙව්වරුන්ගේ කෝනයෙන් සාධාරණයි.. ඉතින් එවැනි ආගමකින් මිදිලා මානුෂීය වෙනසකට පත්වෙච්ච පිරිසෙන් තමයි කතෝලික සභාව බිහිවුනේ.. හැබැයි ජේසුස් වහන්සේ බලාපොරොත්තුවූ ගැළවුම්කරුවා බව පෙන්වන්න ජුදයින්ගේ ආගමික ග්රන්ථ යොදාගැනීමට සිදුවෙනවා..
නමුත් එසේ බිහිවූ කතෝලික සභාව තුළත් යම් යම් කාලවල නීතිය මනුෂ්‍යත්වයට උඩින්ගිය අවස්ථා නොතිබුනා නොවේ.
මමත් ගොඩාක් ආසාවෙන් හිටි ඉතිහාස කථාවක් කියවන්න අවස්ථාව ලැබුණා. එයට ගොඩාක් ස්තූතියි.
ReplyDeleteකියෙව්වාටත් ස්තුතියි!
Delete